නොසිදුවීම්
කිහිපයක් සහ සමර විජේසිංහ
සමර විජේසිංහගෙ කෙටිකතා මගේ අවධානයට ලක්
වෙන්නෙ අහම්බෙකින්. අමුතු, සරල කවරයකින් සැරසුනු වූල ගායිකාව හෝ ග්‍රෝත්‍රිකාව
කෙටිකතා පොත් දෙකින් එක් පුස්තකාලයක තිබිල කියවන්න ගත්තෙ නිකමට වගේ. ඒ වෙනකොට
විශ්ව විද්‍යාලෙදි මොනව අවස්ථාවකවත් මම සමර විජේසිංහ ගැන අහල තිබුනෙ නහැ. නමුත්
පලවෙනි පිටුව ඉඳන්ම සමරගෙ භාවිතාව අලුත් මිහිරියාවකින් මාව අත්පත්කරගත්තා. පුස්තකාලයේ
රාක්ක පිරිස්සමින් සමරගෙ තව පොත් මොනවද කියල සොයල බැලුවත් චූල ගායිකාව සහ ගෝත්‍රිකාව
ලඟ විතරක් මට නතර වෙන්න සිදු උනා.
පස්සෙ දවසක මම සමර විජේසිංහගෙ කවි ගැන
තිබුනු කොලඹ කේන්ද්‍රීය කවි සංවාදෙකට සම්බන්ද වෙනවා. සමරගෙ නම, කෙටිකතා ඇසුරින්
ඔහුව යාන්තමට මවාගෙන හිටිය මට ඇත්ත ඔහුව දක්කම හොල්මන් වෙලා ගියා වගේ උනා. තරුන
රැඩිකල් මතදාරී දැවැන්තයෙක් වෙනුවට මගේ ඉසසරහ හිටියෙ වයෝවෘද, සාමකාමී මනුස්සයෙක්.
ඒකෙදි සාකච්ජා උනේ සමර විජේසිංහගෙ එක කවිය සියවරක් කියන කවි පොත පිලිබඳ සංවාදාත්මක
කතිකාවතක්. බොහෝ දේශපාලනික මත දරන තරුණයන් කවි පොත පිලිබඳව දැක්වුවේ විවේචනාත්මක
වාග ප්‍රහාර කියලයි මට වැටහුනේ. සමර ඉතා සංයමයෙන් ඒ හැම දෙයක්ම අහගෙන උන්නා වගේ
බොඳ මතකයක් ඒ පිලිබඳව දැන් මට මැවී පෙනෙනවා.
ඒ කියවීම පුද්ගලයෙක් විදියට සමර ගැන මගේ
දැනීම සහ දකීම. නමුත් මගේ උත්සාහය ඔහුගේ නිර්මාන මාව කලඹවපු විදිය ගැන යම් සටහනක්
තබන්නට.
ගොත්‍රිකාව, චූල ගායිකාව වගේම සේදිගිය පාට කෙටිකතා
පොතේදීත් සමර විජේසිංහ තමන්ට අනන්‍ය ලේඛන රටාවක ගමන් කරනවා.(නොසිදුවීම් කිහිපයක්
පොත මම තවමත් කියවලා නැහැ) ඒක නිදහස් රටාවක්. අමුතු හිත කිතිකැවීමක් කියල කියන්නත්
පුලුවන්. උපහාසය, හාස්‍යය වගේම සමරගෙ කතාවල වචන භාවිතයේ නැවුම් බවත් පාඨකයාව අලුත්
ලෝකයක් වෙත කැදවාගෙන යන්න සමත් වෙනවා. බොහෝ වෙලාවට ඒ කතා පටන් ගන්නෙ මැදින්. අසම්බන්ධිත
විදියකින්. දෙබසකින් වෙන්නත් පුලුවන්. බොහෝ චරිත වලට නම්, වාසගම්, ගම්, වගේ
උප්පැන්න සහතික නැති උනත් කතා ඔස්සේ තමන්ට අනන්‍ය ජීවන විලාසිතාව, හැඩය ඒ චරිත හරි
ඉක්මනින් මතු කරල පෙන්නනවා. මං හිතන්නෙ ගොඩක් කෙටි කතා වල දැකගන්න නොලැබෙන තරම් නැත්නම් හරි විරල නිදහස් ආඛ්‍යාන රටාවක්
භාවිත කරමින් නිහඩ මාවතක උවත් සමර විජේසිංහට මේ දක්වාම ගමන් කරන්න හැකිවී තිබීම
සතුටට කරුණක්.
සමරට තියෙනවා ඔහුගේම වූ විලාසිතාවක්. ඒක හරි
විචිත්‍රයි. සිත්ගන්නාසුලුයි. අමුතුයි. අනිත් එක සීමා වැටකොටු වලින් නිර්වචනවලින්
බේරිලා ඔහුගෙ කෙටිකතාව නිදහස්කාමී ප්‍රීතියක් භුක්තිවිදිනවා. මේ කෙටිකතාවල ප්‍රස්තුතයන්
වගේම ලේඛන ශෛලියත් බොහෝ සේ තරුණයි. ඔහුගෙ සමහර කෙටිකතා ගොඩක් කුඩායි. ඒ
වගේම මහා බරසාර දේශපාලන හෝ වෙනයම් ගැඹුරු මතවාදයක් නැති තරමට සැහැල්ලුයි.
අදහස් විචාර ඉදිරිපත් කරනවට වඩා සමර
විජේසිංහගෙ කෙටිකතා කියවීම හෝ විඳින එක වඩා සාධාරනයි කියලයි මට හිතෙන්නෙ. ඒක
කවියක්, හැඟීමක් තරමට රසවත් අත්දැකීමක් නිර්මාණය කරනවා. ආනන්දයෙන් ප්‍රඥාවට යවන හෝ
විශේෂ සමාජාවබෝධයක්, දේශපාලනික මැදිහත්වීමක් කරනවට වඩා මේ කෙටිකතාවල තියෙන ඔහුටම
අනන්‍ය නැවුම් මුහුනුවරත් එක්ක ඒ නිර්මාන
විඳින්න පුලුවන් නම් ඒක තමයි ඔහුගෙ
කෙටිකතා වලට කරන්න පුලුවන් උපරිම සාධාරණය.
ගොඩක් විස්තර සපයනවට වඩා ඒ සමරගෙ කෙටිකතාවල
සමහර කෙටි සටහන් ටිකක් මේ ලක්ශන අදුනගන්න ප්‍රමානවත් වේවි.
තනියම?
අපි කියන්නෙ තනියමද? යාලුවො එක්ක...
පිරිමි ද ගෑනු ද?
යාලුවො කියන්නෙ පුරුශ ලිංග පදයක්.
ඉතින් පුරුශ ලිංග තියෙන අය මොනවද කලේ?
අපි මඤ්ඤොක්ක පුච්චල කෑවා
මඤ්ඤොක්ක?
ගල උඩ?
ඔව් අපි
යනකොට අරගෙන ගියා. ඔයා රෑ කැලේ ගලක් උඩ මඤ්ඤොක්ක පුච්චල කාල තියෙනවද?
රබර්
වත්තක් කොහොම ද කැලයක් වෙන්නෙ?
ඔයා
දන්නෑ. රබර් වත්තත් කැලයක් තමයි. වෙනස එකම ගස් ජාතියයි තියෙන්නෙ. සත්තු වෙනුවට
ඉන්නෙ රබර් කපන මිනිස්සු. ඒ මිනිස්සුත් කිසිම සද්දයක් නැතුව ගස් පිරිමදිනවා.
නොරිදෙන්න. ඔයා අහල තියෙනවද කැලේක තියෙන නිශ්ශබ්දය. රබර් වත්තකත් ඒක තියෙනවා. ඒවගේමයි. ඔයා අහල තියෙනවද පායන කාලෙ නිශ්ශබ්ද
පසුබිමේ රබර් ගෙඩි පුපුරන සද්දෙ. ඇට බිම වැටෙන සද්දෙ?
ඔය කියන
කැලේ රබර් ස්ටේට් එකක් ද?
නෑ
සිංහල රබර් වත්තක්.
(සමර
විජේසිංහ, වලාකුලු.සේදී ගිය පාටකෙටිකතා සංග්‍රහය . 97-98 පිටු)
මේ
කෙටිකතා යථාර්ථවාදයට, අධියථාර්ථවාදයට, සමාජ යථාර්ථවාදයට හෝ රෝමාන්තිකවාදය වගේ මොනව
වාදයකටවත් අයත් නැති ඒ හැම ලක්ශනයක්ම අඩංගු කරගත් නැවුම් මිශ්‍රණයක් සහිත ඒවා. ඒ
අතින් සමර සම්භාව්‍යයි කියන සාහිත්‍ය රැල්ලට සාහිත්‍යමය සමච්චලයක් කරනවදෝ කියලත්
හිතෙනවා.
ඔහු මාව වැලඳ ගන්න විට මම මිදෙන්න තැත් කරනවා වගේ තව
තවත් තුරුල් වෙනවා. එහෙම කරන්න පුලුවන්. වහා එකඟ වීමක් වගේ දේකට වඩා කුඩා
බලකිරීමක් වගේ දෙයක් වඩාත් ලස්සනයි.
සිප
ගන්න විට සිහිය නැති වෙනවා. ඇස් පියා ගන්නවා
උයනේ මල්
පිපිල ඇති. හීනි තනකොල බුමුතුරුනක් වගේ ඇති. බුමුතුරුණෙ පිනි ඇති. මම සපත්තු නැතිව
පිනි පාගනවා.
(සමර විජේසිංහ .රතු පොත. සේදීගිය පාට. 28 පිටුව)
ඒ වන විට ජනේලෙ ඉස්සරහ තිබුන මල් පැලේ මල්
ගහක් වෙලා. මල් නැති මල් ගහක්. උසයි. අතු රිකිලි තියෙනවා. කොල පිරිල. මල් හැදෙන්නෙ
නෑ. ජනේලෙ වීදුරු ජනේලයක්. ඇතුලෙ ඉන්න අයට එලියට පේනව. එලියෙ ඉන්න අයට ඇතුල පේනව.
වීදුරුවල ස්වභාවය එහෙම තමයි. කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. කුරුල්ලො දෙන්නා දැන්
ඇවිල්ල බලල ගියා. ඉතා සාමාන්‍ය පොඩි කුරුල්ලො. පාට උනත් බැබලෙන තද පාට නෙවේ. නිකං
පාටක් නැති සාමාන්‍ය පාට. අන්තිමට දෙන්නම එකට ආවා. තව තැන් බලන්න ඇති. මෙච්චර හොඳ
නැතුව ඇති.
මම ඇඳුම් මාරු කරනකොට එයාට අනිත් පැත්ත බලාගන්න කියනවා. ඒ උනාට එයා හොරෙන් බලයි. මම එතකොට කෑ ගහනවා. හොරෙන් බැලුවෙ නැත්තන් වැඩක් නෑ. එයා ඒ වගේ දේවල් දන්නව ඇති. අලුතෙන්ම ගත්තු ලේස් යට ඇඳුම්. අම්ම මගෙ හැමදේම දන්නව. ඒත් ලේස් ඇදුම් අම්මවත් දන්නෙ නෑ. එයා තමයි ඒව ඉස්සරවෙලාම දකින්නෙ. එයා නොබල ඉඳියි ද. නෑ බලයි.
මම ඇඳුම් මාරු කරනකොට එයාට අනිත් පැත්ත බලාගන්න කියනවා. ඒ උනාට එයා හොරෙන් බලයි. මම එතකොට කෑ ගහනවා. හොරෙන් බැලුවෙ නැත්තන් වැඩක් නෑ. එයා ඒ වගේ දේවල් දන්නව ඇති. අලුතෙන්ම ගත්තු ලේස් යට ඇඳුම්. අම්ම මගෙ හැමදේම දන්නව. ඒත් ලේස් ඇදුම් අම්මවත් දන්නෙ නෑ. එයා තමයි ඒව ඉස්සරවෙලාම දකින්නෙ. එයා නොබල ඉඳියි ද. නෑ බලයි.
(සමර විජේසිංහ, කොන්ඩ කුරුල්ලන් වැනි කුඩා
අය ගැන. සේදී ගිය පාට කෙටිකතා සංග්‍රහය)
මේ ඕක්කොම උපුටැගැනීම් සමර විජේසිංහගෙ
සේදීගිය පාට කෘතියෙන්. මම සමර විජේසිංහට කැමතිවෙන්නෙ එයාගෙ කෙටිකතා නිශ්චිත
ආරම්භයක් හෝ අවසානයක් සහිතව ගමන් කරන සම්මත වටකුරු ඒව නොවන නිසායි. අනික් පැත්තට
ඔහු මහා ලොකු සමාජ මෙහෙවරක් අපේක්ෂාවෙන් මේ කෙටිකතා නිර්මානය කරනව කියල නන් දොඩවන
ගතියකුත් නැහැ.
සියල්ලටම වඩා ඔහු තරුණයෙක්. වයසින් කොතරම්
මුහුකුරා ගියත් ඔහු තමන්ගේ කේෂ්ත්‍රය තුළ නොනැසෙන තාරුණ්‍යයක් අත්පත්කරගෙන සිටි
කෙනෙක්. අන්තර්ජාලයෙන් පවා ඔහු කෙටි කවි පාඨකයා වෙත අරගෙන ගියේ අලුත් සම්ප්‍රදායක්
සංස්කෘතියක් යෝජනා කරමින් වගේ. ඒ ගෞරවය, ඒ අන්‍යතා සහතිකය නිසැකවම සමරට හිමිවෙන්න
ඕන කියලයි මගේ විස්වාසය.
එතන පාලම හදන එකට විරුද්ධ වාක්‍යත් තිබුන.
එකකින් කියවුනේ පාලමේ කනුවක් හදන්න යෝජිත ස්ථානයේ මාලුවන් තුන්දෙනෙක් ජීවත් වන බව.
එතැන හැර ඔවුන්ට ජීවත් වන්නට සුදුසු වෙන තැනක් නැති බව සහ ඒ නිසා පාලම් ව්‍යාපෘතිය
වහා නවතා තබන ලෙස. මම සූක්ශමව ඒ වාක්‍ය අධ්‍යනය කලාම මට තේරුනා ඒ වාක්‍යයට යටින්
රාජ්‍ය නොවන සංවිධානයක් ඉන්න බව. ඒ ගොල්ලෝ හිටියේ පරිසරවේදීන්ට මුවා වෙලා. වාක්‍යෙය්
සමහර අකුරු පිටරටින් ගෙනාව ඒවා. ඒවට වෙනම න්‍යායපත්‍රයක් තිබුනා. මම වහාම
ඇමතිතුමාට විස්තර සහිත රහස්‍ය වාර්ථාවක් ඉදිරිපත් කලා. ඇමතිතුමාගේ මග පෙන්වීම යටතේ
මමත් පරිසරවෙදීනුත් සාකච්ජා මාර්ගයෙන් විසඳා ගත්තා. (ගෝත්‍රිකාව. 72 -73 පිටු)
සුමාන දෙක යන්න සුමාන දෙකක් ගියා. මගේ වෛද්‍යවරයා
සුමාන දෙක ඇතුලත දියුනුවක් ලබාගෙන තියෙනවා. ලෙඩ්ඩු පස් දෙනෙක්. ඒ කියන්නෙ සුමාන
දෙකක් ඇතුලත සියයට විසි පහක සංවර්ධනයක්. නරකම නෑ.
(සේදීගිය පාට. 79 පිටුව)
සමර වසර කිහිපයක් තිස්සේ නිහඬව කරගෙන ගිය
සාහිත්‍ය කාර්යය නිහඩවම සැඟවෙන බවකුයි පේන්න තියෙන්නෙ. ඔහු ලියා ඇති නිර්මානකෘති
අතලොස්ස තුළ පවා අපට පෙනෙන අව්‍යාජ සුන්දරත්වය, භාෂාත්මක අමුතු සෙල්ලක්කාරකම සිංහල
සාහිතය කේෂ්ත්‍රෙය් නව පෙදෙසක් එලිපෙහෙලි කිරීමක්. එවැනි නිර්මානකරුවෙක් නිහඬවම
සැඟවී යාම නොසිදුවිය යුත්තක්. නමුත් ඒය සිදුවෙමින් පවතින බවයි පේන්නෙ.
No comments:
Post a Comment