Wednesday, March 21, 2018


ආදරේ හැඟුම් ගඟුලක කිමිදෙමින් - Call  Me By Your Name





Call me by your name කියන්නෙ 2017 වසරේ තිරගත වූ ඉහල ප්‍රේක්ශක ප්‍රසාදයක් දිනාගත් ඉතාලියානු චිත්‍රපටයක්. 1980 දශකයේ එක්තරා පවුලක් ඇසුරේ සිදුවන සියුම් සිදුවීමක් මීට පසුබිම් වෙනවා.

මේක වඩා වැදගත් වෙන්නෙ සමරිසි- සමකාමී තේමාවක් අඩංගු චිත්‍රපටයක් වීම නිසාමත් නෙමෙයි. මට දැනෙන විදියට ඒක මෙහි එක් කුඩා අංශයක් විතරයි. චිත්‍රපටිය තනිකරම දුවන්නෙ ආදරේ ඇසුරෙදි පුද්ගලයන් ක්‍රියාකරන්න පුලුවන් සරලම හා ස්වභාවිකම සංසිද්ධි වලින් ආවරනය වෙමින් වගෙයි. ඒක සමරිසිද - විරුද්ධ ලිංගිකද කියල නොහිතෙන විදිහේ හැඟුම් ගනුදෙනුවක් මේ චිත්‍රපටය පුරාවට සමපාත වෙනවා.

ඒලියෝ හා ඔලිවර්ගෙ ආදර කතාව අසම්මත විදිහේ එකක් උනත් ඔවුන්ගෙ හාත්පස පවුල් පරිසරය ඒකට බාධාවක් නොවන අයුරක් පෙනෙන්න තියෙනවා. කොටින්ම ඒලියෝගෙ දෙමාපියන් සුමිතුරන් විදිහට ඔහුගේ බැඳියාව තේරුම් ගන්නවා සහ ඒ වෙනුවෙන් කිසිම ආකාරයක බාධාවක් නොවෙන්නත් වගබලාගන්නවා.  ඒ නමුත් ඔවුනොවුන්ගේ ආදරය ප්‍රකාශ කිරීම්, හමුවීම් මෙන්ම ඇතිවන සංකීර්න බන්ධනයන් ගැන ඉඟ රූප මාධ්‍යෙයන් මේ තරම් අපූරුවට විදහා පෑමට හැකි වීමම විශ්මිතයි.

සමස්ත කතා පුවත ගෙන බලද්දි මේ චිත්‍රපටිය ඇතුලෙ හකුලලා අරගන්න පුලුවන් විදියේ වටකුරු කතාවක් අඩංගු නැහැ. ඒ වෙනුවට එදිනෙදා ජීවිතයේ සුලු සුලු සිදුවීම්වලින් කතාව ඉදිරියට ඇදෙනවා. නරඹන්නා වෙහෙස කරන්නෙ නැති - සම්භාව්‍යයයි කියන්නත් බැරි - සරල කමක් එක්කම සිදුවීම් යට හා චරිත අභ්‍යන්තරයේ පැන නගින සංකීර්න මනෝභාවයන් ස්පර්ශ කරන්න නිර්මානකරුවා සූක්ශම වීම නිසාම මේ චිත්‍රපටිය අපේ හදවත ඇතුලට සීතල දියරක් වගේ කිදා බහින්න පටන් ගන්නවා.

ආරම්භයේ පටන්ම මේ චරිතවල ස්වභාවයන් මතු කරන්න පුලුවන් සිනමා ආඛ්‍යානයක් සිනමාකරුවා ගොඩනගන්නෙ ඒක සිනමා ආඛ්‍යානයක් කියල කියන්නත් බැරි තරමේ ජීවිතයට සමීප රිද්මයක් සකසමිනුයි.
ආදර කතාවක පවතින්න පුලුවන් විදිහේ හැම අංශුවකම බර -ඒක ඕලාරික කරන්නෙ නැතිව අනාවරනය කරන්නෙ කොහොමද කියන එකට මේ චිත්‍රපටය කදිම නිදර්ශනයක් බවයි මට හිතෙන්නෙ. ආදර ගනුදෙනුවක් උනත් ඒක නරඹන්නා ඉන් දුරස්ථ කරවන තරමේ පැනි බේරෙන රෝමාන්තික භාවයකට තල්ලු වෙන්නෙ නැහැ. ඔවුන් අතරේ ලිංගික ගනුදෙනු සිදුවෙනවා, සිප වැලඳගැනීම් සිදුවෙනවා. නමුත් ආසියාතික තලයේ සිදුවෙන තරමේ බරසාර හෝ බොලඳ වදන් ගනුදෙනු ඔවුන් අතර හුවමාරු වෙන්නෙ නැහැ. ඒක ඔවුන් ජීවත්වෙන පරිසරයට, සමාජයට බෙහෙවින්ම අනුරූප සන්නිවේදන විදියක් බව හැඟවෙන අතරේම එකිනෙකා අතර ඇති අනයෝන්‍ය බන්ධනය මුහුනුවරින් ශරීර භාශාවෙන් මතුකෙරෙන්නෙ නිරායාසයෙන්ම වගේ.

ඒලියෝගෙ වගේම ඔලිවර්ගෙ චරිතවලට ගත් නලු නිලියන් තමාගේ භූමිකාව සජීවී කරන විදිය පුදුම හිතෙන තරම්. ඔවුන්ගෙ ශරීර භාශාව පවා ඒ චරිතවල ආත්මයන් එක්ක තදින් කා වැදී තිබෙන බවයි හැඟෙන්නෙ. චිත්‍රපටයෙ අවසන් භාගයේදී චරිතවල සංකීර්නතාවයන් උච්ච ස්ථානයක් වෙත ගමන් ගන්නවා. විශේශයෙන් ඔලිවර්ගේ දුරකතන ඇමතුමෙන් පසුව ඒලියෝ ගිනිමැලය අසබඩ කල්පනාවේ නිමග්නවන මොහොත වදනින් විස්තර කල නොහැකි සංවේදනා ගොන්නක් නරඹන්නාගේ හදවත මත ද අවුලුවන්න සමත් වෙනවා.

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...