Tuesday, October 9, 2018




පරම්පරා




දැන් අම්මගෙ වයස අවුරුදු 63යි. ඒ කියන්නෙ මේ වෙනකොට එයාට ලොකු වයසක් වෙනවා කියන එක බව මටත් හිතෙන්නෙ මේ ටයිප් කරන වෙලාවෙදිමයි.

මම අම්මගෙ බාලම පුතා නිසා අම්මට මාව හම්බ වෙන්න ඇත්තෙ අවුරුදු තිස් ගනන්වලදි වගේ. මට මතක තියෙන කාලය වෙද්දි අම්මගෙ වයස අවුරුදු හතලිහකටත් කිට්ටුයි.

මෙවැනි වයසක ඉන්න නිසා හෝ අම්මගෙ සහජ ගතිගුන ස්වභාවය නිසා අම්මව මට පෙනුනෙ බොහොම නිශ්ශබ්ද, විනෝදෙට, ජොලියට එතරම් බරක් නැති අම්ම කියන සාම්ප්‍රදායික නාමයටම ඉපදුනු මනුශ්‍ය දූතිකාවක් විදියට.

අම්ම සින්දුවක් කියනව තියා සින්දු අහනවද, විඳිනවද කියලවත් ජීවිතේ මේ තාක් කල් මොනම සාක්ශියක්වත් තිබෙනවද කියල කවුරුමහරි මගෙන් ඇහුවොත් මට ඒ සඳහා දෙන්න පුලුවන් එකම එක නිදසුනක් විතරක් තියෙනවා.

මේක උනේ මගේ මතකයේ ඈත සීමාවෙ මං පුංචිම පුංචි කාලෙ වන නමුත් අම්මා ඒ සින්දුව කිය කිය අමුතු විදිහක නර්තනයක යෙදුනු හැටි මට හොඳටෝම මතකයි.

සිරිමා බෝ මුල - විදුරාසන මත
බෝසත් වැඩ හිඳිනා
සුරනා රැඟුමන් දිලෙනා නැටුමක
මර දූවරු තිදෙනා ආආආආ...
මරු දූවරු තිදෙනා

අම්ම ඒක කියන්නෙම සාමාන්‍ය කටහඬටත් වඩා වෙනස් සෞම්‍ය හඬකට මාරු වෙමින්. අම්මගෙ කටින් ජීවිතේ අහල තියෙන එකමෙක සින්දුව පවා රේඩියෙකේ කොයියම්ම වෙලාවකවත් අහල නැති එක මට දැනුනෙ හොඳ දෙයක් විදියට. එතකොට ඒ සින්දුව අයිති වෙන කාටවත් නෙමෙයි. අපේ අම්මටම විතරයි. ඒ තාල, රිද්ම, ස්වර ඔක්කොම අම්මගේ.

අම්ම ඒ සින්දුව කිව්ව විතරක් නෙමෙයි. ඒකටම ගැලපෙන නර්තනයකුත් ඉදිරිපත් කරපු එකයි විශේශ.
මැටි පහනක් අරගෙන ඒක අල්ල උඩ තියලා අටේ ඉලක්කම වගේ අත ඒ මේ අත අඹර අඹරා අම්ම ඒ සින්දුව කිව්වෙ අපිට නං ඒක අනුගමනය අමාරුයි කියන්න වගේ ආඩම්බර ලීලාවකින්.

එතැනින් පස්සේ අපි ලොකු මහත් වෙන්න වෙන්න, අම්ම වයසින් මුහුකුරා යන්න යන්න අම්මගෙ කටින් වෙන මොනම සින්දුවක් තියා ඒ සින්දුවවත් ආයෙ අහන්න පුලුවන් දවසක් උදා උනෙත් නෑ. අනේ අම්මෙ සින්දුවක් කියන්නකො කියල ඉල්ලීම් කරන්නවත් බැරි විදිහට අපි අතර නිදහස් සන්නිවේදන මාර්ග ඇහිරිලා ඒක අහේතුකවම සීමා සහිත ගනුදෙනුවක් බවට පරිවර්තනය උනු කාලයක් එලඹුනා.

ඒත් මේ ලඟදි දවසක අම්මගෙ කටින් අර හඬින්ම ඒ ගීතයම ඇහුනම මං කාමරේ ඉඳන් හොඳින් කන් දීගෙන අහගෙන උන්නා.

හෙමීට සාලෙ මැද්දෑවෙන් අම්ම සින්දු කියන එක දිහා උවමනාවකින් තොරව වගේ බලාගෙන මං ඉස්තෝප්පුව දිහාට ගියා. අම්ම හිටියෙ අයියගෙ දූත් එක්ක හුරතල් කතන්දර සින්දු ආදිය කියමින්. කොන්ඩ කරල් දෙකකුත් ගොතලා. ඒක කරල තියෙන්නෙ එක වසරෙ ඉන්න පුංචි දූ පොඩ්ඩ.

නිශ්ශබ්ද, හුදකලා, බව තුරන්වෙලා අම්මා භූමිකාවෙන් ආච්චිගෙ භූමිකාව වෙත අම්ම ඉතා හොඳ පිම්මක් පැනල විත්තිය මං ඉස්තෝප්පුවේ ඉඳන් ඈත බලන ගමන් ප්‍රත්‍යක්ශ කරගත්තා.

සිරිමාබෝමුල විදුරාසන මත සින්දුව නැවත මගේ මතකයේ ඉස්මත්තට ගෙන ඒම වෙනුවෙන් අම්මට ස්තූතිවන්ත වෙන අතරේම මම ගූගල් එකේ එහෙම සින්දුවක් තියෙනවද බලන්නත් එක්ක ෆෝන් එකේ තිරය උඩ ඇඟිල්ල එහා මෙහා දුවවමින්ම අම්මගෙ සින්දුව රස වින්දා.

අම්ම ඒ සින්දුව පරම්පරා දෙකකටම ලෝභ නැතුව පරිත්‍යාග කලේ සවිඥානිකව නෙමේ අවිඥානිකව වීම තමයි වැදගත්ම දේ කියල මට හිතෙන්නේ.

Wednesday, October 3, 2018


මතකයි අද වාගේ




සුජාතා අත්තනායකගෙ ගොඩක් ගීතවලට මම ඒ තරම් ආස කරන්නෙ නෑ. ඒ කටහඬට කොහොමත්ම ආස නැති නිසා වෙන්න ඇති. ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ සින්දුව උනත් වෙන ගායිකාවක් ගායනා කෙරුවනම් ඊට ලස්සන වෙන්න තිබුන කියල මට නොයෙක් අවස්ථාවන්වල හිතිල තියෙනවා. පිච් ඍති වොයිස් ගැන මගේ දැනීම අල්ප උනත් මට හැඟීමක් වශයෙන් හෝ වින්දනයක් වශයෙන් ඒ ගීත දැනෙන මට්ටම තියෙන්නෙ හුඟක් ඈතයි.

සුජාතා ගායනා කරන සතර අතින් කලු කරගෙන වහින වෙලාවේ... සින්දුව ඇහුවම මට හිතුනෙ ගායනයේ හෝ කටහඬේ අවුලකටත් වඩා ඒ තේමාව ගායිකාවකට මොනතරම් ගැලපෙනවාද කියලයි. 

මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑ වෙලාවේ...
අතර මගක සිටි මා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා..

මේක අද කාලෙ කෙල්ලෙක්ට වෙන්න පුලුවන් වැඩක් ද කියල හිතෙද්දි ඒ පදරචනයත් එක්ක මට එකඟ වෙන්නම බැරි උනා. කවියක, කෙටිකතාවක වගේ තිබුනනම් විසංයෝජනීය අර්තෙකින් දාපු එකක් කියල හිත හදාගන්න පුලුවන් උනත් මේක එහෙමත් හිතන්න බැරි තරම් සරල ගීතයක්.

මේක කොල්ලෙක් කිව්වනම් මොකද කියල හිතුනු සිතුවිල්ල එහෙම්මම හිතේ නිදාගෙන ඉද්දි ඒ අදහස ආපසු අවදිකරවලා ගත්තෙ මා නොවන මම වැඩසටහනට ආපු අමල් පෙරේර විසින්.

කොහොමටත් තමන්ගෙ ගීතයක් වගේම වෙන ඕනම කෙනෙක්ගෙ ගීතයක් උනත් තමන්ගෙ හැඩේට තමන්ගෙම කරගෙන ගයන්න අමල්ට තියෙන්නෙ විස්මිත හැකියාවක්.  අමල් එහෙම කියපු සින්දු ඕන තරම් ජනප්‍රියත් වෙලා තියෙනවා. විකසිත වත කමලේ ඒ අතර ඉහලින්ම තියෙනවා. මිල්ටන් පෙරේරගෙ උඩු ගුවන යටින් මහ දෙරන පිටින්, මිල්ටන් මල්ලවාරච්චිගෙ ඔබ වෙනුවෙන් මා ගැයූ ගී, වගේ සින්දු වැඩිපුර ප්‍රචලිත වෙලා නැතත් මම යූ ටියුබ් එකෙන් අරං නිතර අහමින් ඉන්න සින්දු කිහිපය අතරේ තියෙනවා.

සතර වටින් කලුකරගෙන වහින වෙලාවේ....

https://www.youtube.com/watch?v=1bIi7_8hh24

අමල් මේ සින්දුව තෝර ගත්තෙ ඇයි කියල ඒ වැඩසටහනේ දි කිව්වෙ නැතත් ඔහු මේක ගායනා කරද්දි මං අර මුල් කාලෙ සුජාත ගායනා කරද්දි ඇතිවුනු අවුල් සේරම කඩාගෙන බිම වැටුනා.  අනිත් අතට කෙල්ලෙක් විසින් කොල්ලෙක්ව කුඩේ යටින් එක්කගෙන යාම වගේ දෙයක් හිතද්දි විස්වසනීයත්වයත් එක්කම කැටි ගැහිච්ච මොකක්දෝ අතීතකාමී සන්තෝසයකුත් මගේ යටින් දිවයනව දැනෙනවා.

ඒ වගේම අමල් ඒක කියන විලාසයම මිහිරියි.
හතර වටින් කලු කරගෙන
වහින වෙලාවේ...
ඔහු වේ...යන්න අදින්නෙ ඔපෙරාවක වගේ නැත්නම් වෙස්ටන් ටයිප් එකකින්. මුල් ගීතයේ නැති අලංකාර ඔහු තමන්ගෙම විදිහට ගලපනවා.

ගෙදර ගිහින් ඇරලූ දා..... එතන දා...යන්න පවා ඔහු අලුත් අලංකාරයකින් හැඩ කරනවා.

එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතෙ වලලු රන්ඩු උනා අඩි සද්දෙට ඉබේ...

මේව පිරිමි හඬින් කියද්දි ගැලෙපෙන්නෙ නැති උනත් මට ඒක ඉවසන්න පුලුවන් තරම් රසයකින් අමල්ගෙ මල්මල් හඩ මාව වසඟ කරගෙන ඉවරයි. සංගීත භාන්ඩ අතලොස්සක් අරගෙන කරන මිහිරි සංගීතෙත් ඒකට එකතු වෙලා. සැක්ස ෆෝන් එකෙන් කට පුම්බගෙන ගහන තාලය ඒ සංගීතය අතරින් වෙනස් මිහිරියාවකින් මාව වට කරන්න තරම් සමත් වෙනවා.

ඒ මිහිරි සංගීතමය අත්දැකීම් එක්ක මාව අතීතකාමී පුද්ගලික ඉතිහාසයකටත් තල්ලු වෙනවා.

අතර මගක සිටිමා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා.....

මතකයි අදවාගේ...


Tuesday, October 2, 2018



මාගේ - මනාපේ - ප්‍රසිද්දේ

මා කීවෙමි ලන්දේ







මං එන්ඩස්කොපි  කාමරේට ගියේ ගැහැ ගැහි. බයයි සීතලයි දෙකම එක්කාසු වෙලා මගේ සර්වාංගයම වෙව්ලනවා.
එන්ඩර්ස්කොපි කාමරේ බිං ගෙයක් වගේ. පිටත පෙනෙන මොනවත් නෑ. මහ දවල්ද මැදියම් රෑ ද කියල වෙනසක් නැතුව ලයිට් පත්තු වෙනවා. කොලපාට ඇඳුම් ඇඟ ගා ගත්තු මුඛවාඩම් දා ගත්තු දොස්තරල, හෙදියො මාව වට කරගන්නවා. කීයෙ ඉඳන්ද නොකා හිටියෙ, බෙහෙත් ඇලජික්ද වගේ ලිස්ට් එකක් කටපාඩමින් වගේ අහනවා. මං හැම එකටම නෑ කියන්න ඔලුව වනනව අර හීතලේම ගැහි ගැහි.  මට ඇඳේ දිගාවෙන්න කියල ඒ අය යුහුසුලු වෙනවා.

මේ මගේ ජීවිතේ තුන්වෙනි සිහිනැතිකිරීම් අවස්ථාව. එක වතාවක් ඒක කලේ කුඩා අවධියේ නිසා ඒක මතකත් නෑ. දෙවනි වතාව මීට මාස තුනකට කලියෙන්. එදා ඉක්මනට අරගෙන හාන්සි උන ගමන් සිහි නැතිවුනු නිසා සිහි නැතිවීම ගැන එදා අද තරම් තද දැනීමක් හැඟුනෙ  නෑ.

කොහොමටත් මේ අවස්ථාවට මුහුන දෙන හැම වාරෙකදිම වගේ මං ජීවිතේ ගැන සියලු බලාපොරොත්තු අත්හැරගන්න හිත හදාගෙනයි හිටියෙ. මට ආයෙ සිහිය එන එකක් නෑ, ඔපරේශන් එක වරදීවි, එහෙම උනොත් මැරේවි වගේ දාහකුත් අතාර්කික- මෝඩ කල්පනා ඇවිත් සිහිහෙන් ඉන්න මාව අවසිහියෙන් අඩපන කරලයි තිබ්බෙ ඒ වෙද්දිත්.

මට ඇඳ උඩ දිගාවෙන්න කියලා ඒ අය කතාබහක. එතැන ගිය වතාවට වඩා වෙනස්. රේඩියෝවක සද්දෙකුත් එනවා.  මට ඒ ගැන සිහියක් තිබුනෙ නෑ ඇතුල් වෙද්දි නං. මං අවසන් චුති සිත හොඳ එකක් වෙන්න ඕන කියල හිත හදාගෙන ඉන්නවා. මෝඩමමං. හෙනම බුද්ධිවාදී ටෝක් දෙන මං මේ වෙලාවෙ අන්තිම අසරන බොලඳ අඩියක බව මටම තේරෙනවා.

වම් අත ඇඟ යටින් පසු පසට හිටින්න ඇල වෙලා හාන්සි කරවලා කකුලක් නවාගන්න කිව්වා. ඒ අතරේ නාස් ලන්නක් වගේ වයර් ටිකක් නහයෙ පැටලුවා - කටට රවුම්-දිගටි මොකක්දෝ දුන්නා හපාගන්න. මං ඒක හපාගෙන හිටියා. දකුනු අත වටේට පෙශර් මනින බෙල්ට් එක බැන්දා දැනුනා. කකුලෙත් තව මොකක්දෝ එකක්. මාපට ඇඟිවිවලත් අඩු වගයක් ගැහුවා.

මුතූ- නෙතුක පුතු කොහේ ඉඳගෙන මොනව කරනව ඇත්දැයි මට නිකමට වගේ හිතන්න ඕන වෙනවා.
මං බලාගෙන ඉන්නවා. අනේ ඉක්මනට සිහි නැති වෙනවනම් කියල හිත හිත
ඒත් ඒ අය තාම ඒකට සූදානම් නෑ.

මගේ ඇස්වලට අහුවෙන්නෙ ඉලක්කං නලියන මැශින්, වයර් රෝල්, එල්ලෙන අඬු, කොල පාට තිර රෙදි, ඔක්ශිජන් ටැංකි වගේ නුහුරු - බයානක දසුන් ටිකක්
මෙන්න ඒ අස්සෙ රේඩියෙකේ සංගීත නාදයක් ආයෙ ඇසෙනවා. ඒක ලස්සනට පටන් ගත්තෙ. මට හොඳට මතකයි. මං ඉස්සරම ඉස්සර-පොඩිකාලෙ අහල තියෙන සින්දුවක්. පදවැල පටන් ගන්න කලින් මට සින්දුව මතක් වෙනවා මේ මරනීය සිතුවිලි සහිත මොහොතෙ පවා.

සර්පිනාවක වගේ සංගීතයක් එක්ක කනට ඉතාම හුරු ශබ්ද කාන්ඩය මුලින්ම

ලස්සනයි නේ ඒ සින්දුව - මොකක්ද ඒ?

සින්දුවේ වචන පටන් ගනිද්දිමමුඛවාඩමින් පෙරිල ආපු ගැහැනු කටහඩක් එහෙම කියනවා. මට ඒ අය පේන්නෙ නෑ. මට පේන්නෙ බිත්තියයි, අඩු බඬු කෑලි බෑලි විතරයි.

ශ්‍රියා මනමත් වී මාගේ දැකලා.... සින්දුව ආරම්භ වුනා.

සිහ ශක්ති ඔය සින්දුව කියන්නෙ. මුඛවාඩම් බැඳුනු පිරිමි කටහඬක් පිලිතුර එනවා.

ආනන්ද පෙරේරද කොහොද, අර මහත‍ තට්ටෙ තියෙන..

ආනන්ද පෙරේරා- එයා තමයි ඕක කියන්නෙ.. මට කියන්න හිතෙනවා. මගේ කටේ අර හපාගන්න කියපු රවුම නිසා කෙල ගිලගන්නවත් බෑ. අනිත් අතට කටේ මොකවත් නොතිබුනත් මං ඒක කියනෙකලුත් නෑ.
සින්දුවේ කටහඬ මාර පැහැදිලිව මට ඇහෙන්න ගන්නවා

දැන් ගායනය ඉවරවෙලා ආයෙත් ඇහෙන්නෙ සංගීතය. අමුතු සංවේදනාවක් ඇතිකරන සංගීතය
මගේ වම් අතේ ගහල තියෙන කටුවට මොකක්ද හයි කරනව මට දැනෙනව.

දැවිල්ලක් වගේ දැනේවි හොඳද. මුඛවාඩම් බැඳපු ගැහැනු කටහඬ එතකොට කියනවා

මං හිත හදාගන්නවා. ඉක්මනට සිහි නැතිවෙන්න. මේ තැවෙන සිහියෙන් අත් මිදෙන්න. තාවකාලික මරනෙට හෝ සදාකාලික මරනෙට.

මට ඇහෙන්නෙ අර සංගීතය. සර්පිනා පාට් එක

මගේ ඇස් ඉදිරියේ රූප ඇදිල පැදිල යනවා. කලින් වතාවෙ සිහි නැතිවෙද්දි එහෙම දැනුනෙ නෑ.ඒ වතාව උනේ නං එකපාර ලයිට් ගියා වගේ. මේ වතාවෙ සෑහෙන වෙනස්, සිහියෙන්ම තමයි සිහිය නැති වෙන්නෙ.

මාගේ - මනාපේ - ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ
මා කීවෙමි ලන්දේ..

පසුබිමින් ඇහෙනවා



Monday, October 1, 2018


මතකයි නේද පෙම්වන්තයෝ






සිරස 16+ ( සික්ස්ටීන් ප්ලස්) සංගීත වැඩසටහන මං දැක්කෙ, ඇහුවෙ අහම්බෙන් දවසක. ගෙදර ටී.වී එක දාල තියෙද්දි.
ඒක වෙනස්ම ආරක සංගීත වැඩසටහනක් නිසා දැක්ක ගමන් හිතට වැදෙන මොකක්දෝ වෙනස් රසයක් දැනුනා. අවුරුදු 16ත් 18ත් අතර වගේ නව යෞවන වියේ නැත්නම් හිරිමල් යොවුන් වියේ කොල්ලො කෙල්ලො රිලැක්ස් එකේ සිංදු කියනවා. එයාලගෙම බෑන්ඩ් එකක් මියුසික් දෙනවා. ඒක වෙනමම වැඩක්.

මුලින්ම මගේ හිත ගියේ අමුතු වොයිස් එකකින් සිංදු කියන කෙල්ලෙක් දිහාට. කටහඬ විතරක්ම නෙමෙයි. එයා කැමරාව දිහා බලන බැල්ම, ඇඟ නලවන විලාසය, අතපය හසුරුවන ආකාරය වගේ හැමදෙයක්ම මාව 16+ ලෝකෙ ඇතුලටම අරගෙන ගියා.පස්සෙ මං ඒ වැඩසටහන යූ ටියුබ් එකේ හෙව්වා. මට ආපු විස්තර වල වැඩිපුර තිබුනෙ අර ගැහැනු ලමය තනියම හෝ කන්ඩායම් විදිහට කියපු සින්දු එක්කාසුවක්. එහෙනම් මට දැනුනු රසය හරි. මේ වෙද්දි එයා අන්තර්ජාලය පුරා හිට් වෙමින් ඉන්න තරුවක්. නම කාංචනා.

කාංචනාගෙ ප්‍රසිද්ධ භාවය හරි, නැත්නම් වැඩසටහනින් එයාට දෙන අමුතු තැන, එයාගෙ වැඩ කිඩ වැඩියි වගේ විකාර දේවල් ගොඩක් හින්දමද මන්ද බැඳිල ගිය වේගෙන්ම මගේ ඇහැ කාංචනාගෙන් ගැලවිලා යන්න තැත් කලා. නමුත් 16+  නම් එහෙම්මම වින්ඳා. කාංචනාගෙ තැන ගත්තු තව කෙනෙක් ඒ අතරෙ ඉන්න බව මට තේරුනේ එතකොට. කාංචනාට වඩා වෙනස් අනන්‍යතා සුන්දරත්වයකින් දෙපා තිය තියා ඇවිදින හිරිමල් යෞවනියක් මේ අය අතරෙ තමන්ගෙ අනසක හීනියට වගේ පතුරමින් යනබව මං හිමීට හඳුනාගත්තා.

එයා අඳින්නෙ ඩෙනිම්. තරමක් උස කොන්ඩෙ කැරලි කැරලි වැටෙන(හරියට සරත් මධූගෙ චිත්‍රකතාවක ඉන්න කෙල්ලන්ගෙ වගේ) මූන අමුතු ආඩම්බරකාරී, ලැජ්ජාකාරී සුන්දරත්වයකින් වටකුරු වෙලා තියෙන ගැහැනු ලමයෙක්. මම මොහොතක් එයාව හොයන්න ගත්තා.

මාව ඇද බැඳගත්ත එයා මට ඇහෙන්න ගයපු මුල්ම ගීය සී.ටී ප්‍රනාන්දුගෙ සින්දුවක්. ඒකෙනුත් භාගයයි එයා කියන්නෙ. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කියන ගීතයක් - කෙල්ලෙක් විසින්ම කියද්දි දැනෙන මිහිර හාත්පසින්ම වෙනස්. හරියටම මට දැනුනෙ ඒක එයා, එයා ගැනම කියන ගීතයක් නෙමේද කියලා.

මහදමන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝසමල් කුමාරිමා ප්‍රියාවේ...

මම ඒ මිහිරි සීනු හඬ හොයන්න ඕන වෙලා යූ ටියුබ් එක පීරුවා. මුලින්ම නම හොයාගත්තා. රන්මලී. ඒක නූතන, තරුන යෞවන කෙල්ලෙකුට නොගැලපෙන ආකාරයේ පිටිසර, ගම්බද නමක්. මට මුලින්ම හිතුනෙ එහෙම. මං රන්මලී ජයසිංහ කියල සර්ච් කලත් කාංචනාගෙ තරම් ලොකු වීඩියෝ ගොඩක් මතුවුනේ නෑ. පස්සෙ රන්මලී ෆේස්බුක් එකේ හොයල බැලුවත් එයා ඒකෙවත් නෑ. කුතුහලට තීව්‍ර වෙන්න වෙන්න මං රන්මලීව හොයන එකත් වර්ධනය උනා. රන්මලීව හමු නොවෙන එක ඒ රසය දෙගුන තෙගුන කලා.

රන්මලී තනියම කියන සින්දුත් ඒ තරමට සීමිතයි. ආශික්‍යු ටූ ෆිල්ම් එකේ සින්දු දෙකක් රන්මලී කියන්නෙ තමන්ගෙ කරගෙන වගේ. අනිත් එක අහන් ඉන්න අහගෙන ඉන්න ගීතය.

මම නිතරම රන්මලී ඉන්න සින්දු ඩවුන්ලෝඩ් කරගෙන ඇහුවා. ඒ හැම මොහොතකම රන්මලීවකාංචනත් එක්ක නොදැනිම වගේ සංසන්දනය වුනා. නිකං. කිසිම කිසි හේතුවක් නැතුව. ආපස්සට මං කල්පනා කලා ඇයි මගේ හිත අච්චර දක්ශ කාංචනාට වඩා රන්මලී දිහාට නැමෙන්න හේතු උනේ කියල. මං ඒ හේතු ගනනාවක් පස්සෙ ඇලිල, එල්ලිලා ගියා.

රන්මලී අඳින්නෙ පලඳින්නෙ එයාටම අනන්‍ය වූ විදිහට. ගොඩක්ම ඩෙනිම් කලිසම. අත් නැති -තනි  අමුපාට - බ්ලව්ස්. කොන්ඩෙ කොහොමටත් වනල දාල තමයි එයා ඉන්නෙ. මැගී නූඩ්ල්ස් වගේ කැරලි කැරලි කොන්ඩෙ. බොහෝ දවස්වලට ෆ්‍රී ශූට් වල කෙල්ලන්ගෙ වගේ නලලට මල් වැලක් වගේ බෑන්ඩ් එකක් එයා පලිනවා. මේ තමයි රන්මලීගෙ අනන්‍යතා ලක්ශන. රන්මලීගෙ වොයිස් එකේ කාංචකාගෙ තරම් වේරියේශන්ස් නෑ. නමුත් ඒක මිහිරියි. උපරිම මිහිරියි. රන්මලී - කාංචනා තරම් කැමරාව දිහා පත්තුවෙන විදිහේ බැලුම් හෙලන්නෙ නෑ. ඒ වෙනුවට යන්තම් කැමරාව දිහා හොරාට වගේ බලලා ලැජ්ජාවෙන් හරි - ආඩම්බරෙන් හරි වෙන අතක් බලාගෙන එයා සින්දුව කියනවා. ඒ සින්දුවේ තාලෙට ඇඟ පද්දන්න හැදුවත් ආවේනිකව වගේ ආපු ලැජ්ජාවක් වගේ දෙයක් රන්මලීව ඇතුලෙන් ගැට ගහල වගෙත් පේනවා. රන්මලී හිනාවෙනවා. ඒ හිනාව අස්සෙන් ලැජ්ජාවක් හෝ සබකෝල ගතියකුත් පෙරිල පෙරිල පේන්න ගන්නවා. මේ සියල්ලක්ම නිසා වෙන්න ඕන මං රන්මලීගෙ ඉදිරිපත්කිරීම්වලට මේ තරම්ම ලව්.

රන්මලී නිසා මං ආසකරපු - කවමදාකවත් අහල තිබුනෙ නැති සින්දුවක් පස්සෙ මම ලුහු බැන්ඳෙ ඔය අතරවාරෙදි. ඒ සින්දුව අහද්දි - බලද්දි මට හිතුනෙම මේ රන්මලීගෙම සින්දුවක් ද කියලයි. නමුත් සංසාර පුරුද්දක් වගේ මොකක්දෝ දැනීමක්, ඇනි ඇනි තියෙන නිසා ඒ සින්දුවේ මුල් පද පේලි අරං හොයල බලද්දි ඒක කාවින්ද්‍යා අධිකාරී කියන සින්දුවක් බව හෙලි උනා.

පෙම් හීන මල් පිපෙන කාලයේ
අපි ආදරෙන් උන්නු කාලයේ
හෙරිහින් පෙම් කතා අසුවා
රහසින් ලං වෙන්න හැදුවා
මතකයි නේද පෙම්වන්තයෝ....

ඇත්තටම මට නං දැන් මේ සින්දුව රන්මලීගෙම තමයි.

අර ලැජ්ජාකාරී හිනාවෙන්, ඇඟ පද්ද පද්ද රන්මලී ආඩම්බකාරී තාරුන්‍යමය ලීලාවකින් කියනවා. එදා එයා ඇඳගෙන ඉන්නෙ ලාම ලා එටිසෙලාට් කොලපාටක් තියෙන අත් නැති බ්ලව්ස් එකක්. අර ආඩම්බරකාරී - ලැජ්ජාකාරී විලාසයෙන්ම එයා මේ සින්දුව තමන්ගෙම කරගෙන කියනවා.

මතකයි නේද පෙම්වන්තයෝ....

Wednesday, September 19, 2018


ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් එවාලා...




මේ ගීතය මම මුලින්ම ඇහුවෙ සමනලී ෆොන්සේකා රූපවාහිනී වැඩසටහනකට ඇවිත් ගායනා කල ගීතයක් විදිහට. ඊට කලින් කවමකවදාකවත් මම මේ සිංදුව කොහේදිවත්  අහල තිබුනෙ නැහැ.

සමනලීගෙ කටහඬ නන්දා මාලනීගෙ කටහඬමදැයි කියල හිතෙන තරමටම සමීප සමානත්වයක් දරන බව ඊට කලින් මං දැනන් හිටියා. සමනලීගෙ සමනලුන් කියන සින්දුව අහද්දි ඒක හිතුනෙ වරක් දෙවරක් නෙමෙයි.

ඔබ නොවේ ඔබ නොවේ
එය අසන්නේ මමයි...

සමනලීගෙ කටහඬින් අහපු ඒ සින්දුවේ මට අද මතක එච්චරයි.
සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමි



සමනලී ඒක කියන්නෙ පුදුම තරම් හැඟීමකින් ඇස් වහගෙන වගේ. ඇත්තටම නන්දා මාලනීගෙ ඔර්ජිනල් සින්දුව ඇහුවත් නොදැනෙන, නොහැඟෙන වින්දනයක් සමනලීගෙ මුහුන, ඒ කුඩා අවිදිමත් රූප වින්‍යාසය බලා ඉඳැද්දී  දැනෙන්න ගන්නවා.

මං බයිසිකලේ වැඩට යනගමන් සින්දුව යාන්තමට මුමුනනවා. හෙල්මට් එක දාගෙන නිසා පිටිපස්සෙ ඉන්න වයිෆ්ට ඇහෙන්නෙ නෑ. බයික් එකේ පස්සෙ කවුරුවත් හිටියෙ නැතත් ඒක මං කියන්නෙ මටවත් නෑහෙන මිමිනිල්ලකින්. සමනලීගෙ නන්දාමය කටහඬ මතක් කරගෙන තොල් මිමිනීමක් කරන එක අමුතුම ආනන්දයක් ඇතිකරන මොහොතක්. කොහොමටත් දවසක් දෙකක්ම ඒ සින්දුවේ තැන ගන්න මොනම සින්දුවකටවත් බැහැ.

ප්‍රදීපාගාරයක
ආලෝක වලල්ලක් එවාලා

මං සින්දුවේ පද පේලි උවමනාවෙන් පාඩම් කලේ නැතත් මට ඒ හැමකක්ම එක පෙලට මතක් වීගෙන එනවා.
ප්‍රදීපාගාරයක කියන වචනෙ....දී යන්න ඇදෙන හැටි සමනලී - මාලනී හඬින් මතක් කරගෙන මුමුනද්දී ආලෝක වලල්ලක් කියන යෙදුමේ මිහිරියාව අතරෙ මං නතර වෙනවා. ආලෝක වලල්ලක්? මං කවදාවත් අහපු නැති අලුත් යෙදුමක් ලඟ විස්මිතව වෙන්න මට සිද්ධ වෙනවා. ඒ වෙලාවෙත් කල්පනා පසුබිමේ ගීතය ගැයෙමින් පවතිනවා. ආලෝක වලල්ලක්. මං නැවත නැවතත් කිලිපොලා යනවා.
වැඩ ඇරිල ගෙදර එන ගමනුත් මගේ කටින් පිටවෙන්නෙ  ඒසින්දුව.

ඒ ගීතයේ පදවැල, සංගීතය අතරෙ කැටි ගැසී තදබදවෙලා තියෙන වින්දනීය සංවේදනාවක පුලිඟුවක් මගේ හිත අස්සේත් නැත්දැයි දැනෙමින් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.

ජීවිතේ යාත්‍රාව
ඔබ නිසා පදවන්නෙමී.

ඒත් එහෙම සිහිවෙන කවුරුවත්ම මේ නිස්සාර, ඒකාකාර ජීවිතේ නැතත් සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමී කියන හැඟීම කාල්පනිකව හරි ගොඩනගාගන්න එක මොනතරම් රසවත් වේදනාවක් වෙන්න පුලුවන්ද?

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...