Monday, August 10, 2020

බන කියන රටක් - බන අහන රටක්

 

මෙවර මැතිවරනය පැති ගනනාවකින් විශේශිත බව බැලූ බැල්මට කියන්න පුලුවන්. ඒ වගේම මැතිවරනයෙන් පස්සෙ දිනූ කන්ඩායම් ගැන වගේම පැරදුනු කන්ඩායම් ගැනත් නොයෙක් විශ්ලේශන, විග්‍රහ කොතෙකුත් කෙරෙන කාලයක් තමයි මේ. මගේ මේ වෑයම මට දැනෙන, පෙනන හා හැඟෙන විදිහට ලංකාවේ ජනතාවගෙ මැතිවරන ජන මනස ක්‍රියාත්මක වන විදිහ ගැන මේ මැතිවරන ප්‍රතිඵලයත් එක්ක පොඩි නිරීක්ශන කිහිපයක් එකතු කරන්න.

ප්‍රවාහයන්

අපි පුංචි කාලෙ ඉඳන්ම මැතිවරන වලට තරඟෙ තිබුනෙ කන්ඩායම් දෙකක් අතර. ඒ කාලෙ මිනිස්සු හිතුවෙ මේක මොන විදිහටවත් වෙනස් කරන්න බැරි ප්‍රධාන ධාරාවෙ පක්ශ දෙක බලය අරගන්නව කියල. ඒක අපේ ආත්මයටම බද්ධ වුනු වචන දෙකක් වගේ. ශ්‍රී ලංකා - යූ ඇන් පී. මිනිස්සු කතා කරන්නෙත් එහෙම. ඌ ශ්‍රී ලංකා කාරයෙක්. අපි පරම්පරාවෙනම යූඇන්පී. කාලාන්තරයක් තිස්සේ මෙහෙම ඇසුනු, පෙනුනු නිසා අපට හිතෙන්න ගත්තෙ මිනිස්සු රැස්වෙන්නෙ මූලිකවම මේ පක්ශ දෙක වටා කියලයි. නමුත් මේ මැතිවරනයෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නෙ ඒක එහෙමම නෙවෙයි කියල. ලංකාවෙ මිනිස්සු මැතිවරනෙදි ක්‍රියාත්මක වෙන්නෙ සංකේන්ද්‍රනය වෙන්නෙ  ප්‍රවාහයක් වෙත කියල  කිව්වොත් ඒක අර ශ්‍රී ලංකා - යූ ඇන්පී කියන මුල් බැසගත් පාක්ශික හැඟීමට වඩා වෙනස් කාරනයක්.

ප්‍රවාහයක් කියන එක තව අරුත් ගැන්නුවොත් මෙහෙමයි.

මැතිවරනෙට කලින්ම අපේක්ශක කන්ඩායම් දෙකක් විසින් නිපදවනවා බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකේ ප්‍රබලතාව ගැන මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ හදනවා ලොකු විස්වාස පද්ධතියක්. මේ වතාවෙ එන්නෙ මේ අය. මේ ගොල්ලො තමයි දිනන්නෙ වගේ සංකල්ප පද්ධතියක්. ඒ බ්‍රෑන්ඩ් එක නැත්නම් ප්‍රවාහය දිගේ තමයි මිනිස්සු ගමන් කරන්නෙ.  පෙල ගැසෙන්නෙ.  

රාජපක්ශ බ්‍රෑන්ඩ් එක කලක සිට හැදිල තිබුනු බලවත් එකක්. ප්‍රවාහයක්. ඒක දැන් සැඩ පහරක් තරම් දියුනුයි. යූඇන්පී එකෙන් සමගි ජන බලවේගය කැඩිල ඒක ප්‍රවාහයක් විදිහට ශක්තිමත් වෙන්න බලපෑ කාරනා ටිකක් අමුතුයි. සහ අපිට හොඳින් මතුපිටට පෙනෙන්න තියෙන එකක් උනා කිව්වොත් ඒක හරි.

එතනදි මූලිකවම උනා කියල මට හිතෙන්නෙ සජිත් කියන පුද්ගලය වටා ගොඩ ගැසී ඇතැයි කියන ඉල්ලුම වටා  ප්‍රබල අපේක්ශකයන් රොත්තක් ඒකරාශී වීම. ප්‍රවාහයක් ලෙස අර්ථකතනය කරන්න මූලික අඩිතාලම වැටෙන්නෙ එතනදි. එතන ඉඳන් ඡන්ද දායකයා විස්වාස කරන්න ගත්ත බ්‍රෑන්ඩ් එක මේක. දිනන්නෙ මේක, එන්න තියෙන හැකියාව තියෙන්නෙ මේක වගේ එකක්. සජිත් කඳවුර දිනන්නෙ ඒක වටා.

ප්‍රවාහයන් හෝ බ්‍රෑන්ඩ් මිසක් ලංකාවෙ මැතිවරනයෙදි පුද්ගල සාධක බලන්නෙ නැතිම තරම්. සලසා බැලුවත් ඒක ද්විතීයිකයි. වැදගත්ම දේ අදාල අපේක්ශකය එන්නෙ මොන ප්‍රවාහයෙන්ද කියන එකයි ඡන්ද දායකයට වැදගත් වෙන්නෙ. ඒක අපිට ප්‍රතිඵල වලින්ම බලාගන්න පුලුවන්. දේශපාලන පතාක යෝධයෝ එහෙමත් නැත්නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තු එයි, දිනයි, එයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියල මිනිස්සුම කියන ගොඩක් අය මේ ප්‍රවාහ දෙකෙන් එකකට ඇතුලත් නොවුනු නිසාම පැරදුනා. රනිල්, අකිල, තෙවරප්පෙරුම, නවීන්, හඳුන්හෙත්ති ඇතුලු ජවිපෙ කන්ඩායම මෙතනදි පැරදෙන්නෙ මේ ප්‍රවාහමය කාරනාව නිසයි.  ඒ වගේම ගීතා, උද්දික වැනි නිලියන් දිනන්නෙත් සමහර සිරගත මිනිස්සු දිනන්නෙත් මිනිස්සු පුද්ගල කාරනාව සැලකිල්ලට ගන්න නිසාවටත් වඩා ඒ අය දිනන ප්‍රවාහයක් තෝරා ගැනීම මතයි.

රාජිතල, ගයන්තල දිනමින් අකිලල රවීල පැරදෙන්නෙ මේ ප්‍රවාහයන් කියන කාරනාව ගැන ඒ අය දක්වපු සැලකිල්ලේ ප්‍රමානය කියලයි මම නම් හිතන්නෙ.

තෙවරප්පෙරුම සාධකය එතනදි  විශේශයි. මේ තරම් මිනිස්සු එක්ක සම්බන්ධවෙලා, උදව් කරල එකතුවෙලා ජන්දෙ දිනන්න පුලුවන් කියන ජනප්‍රිය අදහස තෙවරප්පෙරුමගෙ ප්‍රතිඵලෙත් එක්ක බිඳ වැටුනා. වෙන්න පුලුවන් වැදගත්ම දේ එයා කොච්චර හොඳ කලත් වැඩක් නෑ එයා එන්නෙ පරදින කන්ඩායමකින් නම්.

මෙහෙම බැලුවම මේ මූලික ප්‍රවාහ දෙකෙන් ඇරෙන්න සංගක්කාර ජන්දෙ ඉල්ලුවත් දිනන්න තියන ඉඩ ඉතාම අල්පයි. අතුරලියේ රතන හාමුදුරුවන්ට වගේම බොදු බලේට උනෙත් ඒකමයි.

ලංකාවෙ මිනිස්සු කොයි වෙලාවකවත් තමන්ගෙ ඡන්දෙ නැත්නම් තනි ඡන්දෙක වටිනාකම ගැන හිතන්නෙ නෑ. එයාල හිතන්නෙ දිනන්න පුලුවන් කඳවුරකට තමන්ගෙ ඡන්දෙ දැමීම ගැනයි. තම ඡන්දයට වටිනාකමක් ලැබෙන්නෙ එතකොට කියලයි එයාලගෙ ආකල්පය.

හොඳ මිනිස්සු තෝරාගැනීම හෝ යහපත් මනුස්සය කවුද කියල අඳුනා ගැනීමේ නොහැකියාවක් නෙමෙයි මිනිස්සුන්ට තියෙන්නෙ. කොටින්ම අනුර ඇතුලු ජවිපෙ තුල ඉතාම ප්‍රතිපත්ති ගරුක කන්ඩායමක් ඉන්නව කියල පැහැදිලිවම ඡන්ද දායකයා දන්නවා. කොහෙත්ම ඒ අයගෙ බුද්ධියේ ගැටලුවක් නෑ.  නමුත් ඒ අයට තමන්ගෙ ඡන්දය දාල ඒක නිකං අපතේ යවන්න මිනිස්සු කැමති නෑ. මොකද ඒ අය තනි ඡන්දෙක වටිනාකම දන්නෙ නැති නිසා. තකන්නෙ නැති නිසා.

අනේ එයාලට දීල වැඩක් නෑ පුතා. එයාල එන්නෙ නෑ. අපේ ගමේ වයසක මනුස්සයෙක් එහෙම කිව්වා.

අපි ඒක අහල හිනාවෙලා ගියාට එතන අපිට නොපෙනෙන ඇත්තක් තියෙනවා. ඒ තමා මිනිස්සු හිතන විදිහ.

මේක අපිට පැහැදිලි කරගන්න තියෙන ලේසිම තැන තමයි 2004 මැතිවරනය. එතනදි ජවිපෙ පොදු පෙරමුන එක්ක සන්ධානගත වෙලා මැතිවරනෙට ඉදිරිපත් වෙනවා. ප්‍රතිඵලය පුදුම සහගතයි. ජවිපෙන් මන්ත්‍රිවරු 42ක් ජයගන්නව විතරක් නෙමෙයි ගොඩක් දිස්ත්‍රික්කවල ජයග්‍රහන මනාප ලැයිස්තුවේ පෙරමුන ගත්තෙත් මේ ජවිපෙ කන්ඩායමම තමයි.

ඒ ප්‍රතිඵලය හා මේ වතාවෙ ප්‍රතිඵල දෙකේදි අපිට හිතන්න පුලුවන් ලොකුම දේ ප්‍රවාහයන්ට එකතු නොවී, බ්‍රෑන්ඩ් එකක ආලෝකයෙන් තල්ලු වෙනව මිසක් තනි තනිව ප්‍රවාහයන් හදාගැනීම හෝ ඒ හරහා මැතිවරනයට ඉදිරිපත් වීම තරම් අනුවන ක්‍රමයක් තවත් නැති බව. මේ තත්වය හොඳින් අවබෝධ කරගත්තු සුලු පක්ශ ගානක් ඉන්නව සහ ඒ අය හැම වතාවකම මැතිවරනවලදි දිනන්නත් දක්ශ වෙනවා. චමිපිකල, විමල්ල, වගේම වාසුල, දිනේශ්ල පාර්ලිමේන්තු එන්නෙ මේ ක්‍රමේට. පක්ශ විදිහට එයාලට කොහෙත්ම පැවැත්මක් නෑ. කොටින්ම සීයක් දෙසීයක් එකතු කරගන්න බෑ. නමුත් එයාල දන්නවා ප්‍රවාහයකට එකතු වීමෙන් තමන්ගෙ මතය කොයි තරම් දිනවන්න පුලුවන් ද කියලා. ඒක ලංකාවෙ මැතිවරන ජන මතයේ විශේශිත තැනක් කියලයි මම දකින්නෙ

ජවිපෙ දියාරුව

ජවිපෙ පරාජය ගැන නොයෙක් මැසිවිලි නැගෙනවා. ඡන්ද දායකයට බනින අතරේ එහෙම බනින එක වැරදියි කියන පිරිසකුත් ඉන්නවා.

මට හැඟෙන හැටියට මෙතනදි ජවිපෙ අර්බුදයක් පැහැදිලිවම තියෙනවා. ඒක ඉහතින් කිව්ව ප්‍රවාහය කියන කාරනයෙන් ව්‍යුක්ත එකක් විදිහට සලකන්නම්.

මෙතනදි ජවිපෙ කන්ඩායම ඇත්තටම මිනිස්සුන්ට  ආදරේද කියන ප්‍රශ්නෙ මිනිස්සු තුල තියෙනවා. ඒහෙම ආදරනීය හෝ ජනතාවට සේවය කිරීමේ මූලික උවමනාවක් ඒ අයගෙන් දැන් පේනවද කියල ප්‍රශ්නකාරීයි.

අපි පොඩිකාලෙ ජවිපෙ සහ දැන් ජවිපෙ ඉඳුරා වෙනස්. ඒ කාලෙ ජවිපෙ පැහැදිලිවම ගමට බැස්සා. මිනිස්සු අතරට ගියා. ගමේ පුස්තකාල, පිං ලිඳවල් වගේ ඒව පවා හැදුවා. සමහර පාසල්වලට ඩෙස් පුටු අරගෙන දුන්නා. වෙනත් අවශ්‍යතා පිරිමැසුවා. නමුත් නූතන ජවිපෙ මේ කාරනයෙන් ඉවත් වෙලා.

ඒ අය ඒක අරගත්තෙ දේශපාලන න්‍යායාත්මක කාරනයක් විදිහට. අපි නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕන නෑ. අපි මොකටද සුබ සාධන රාජ්‍ය සංකල්පය අරගෙන යන්නෙ වගේ දේවල් ජවිපෙ ඇතුලෙ දරුනුවට සාකච්ඡා උනා. කොහොමටත් ඒකෙන් උනේ ජවිපෙ ග්‍රාමීය ඡන්ද පදනම එන්න එන්නම දියාරු වීම. මිනිස්සු අතහැරල, මිනිස්සුන්ගෙ හෘද ස්පන්දන හඬට සවන් නොදී වාද පිටිවල තර්ක කරමින් යන ගමනක් මිනිස්සු විස්වාස කරන්නෙ නෑ. මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ.

ජවිපෙ දැන් හිතන්නෙ පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රී වෙන්න, හොඳම කතිකය වෙන්න, හොරකම් ගැන හෙලිදරව් කරන්නා වෙන්න. පොලිස්කාරයා වෙන්න.

නමුත් මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න තියෙන්නෙ ඊට යටින්. ගම් මට්ටමේ බිම් මට්ටමේ සියදාස් ගානක් දුක්විඳින මිනිස්සු ඉන්නවා පිලිසරනක් බලාගෙන. අඩුම තරමේ තමන්ගෙ දුක් කන්ද ගැන සානුකම්පාවෙන් අහගෙන ඉන්න කෙනෙක් නැති. මේ අයට අත දෙන්න හෝ දුක ගැන අහල බලන්න සැලැස්මක් ජවිපෙට නැතිවෙලා. එහෙමත් නැත්නම් ගම් මට්ටමේ විකල්ප සක්‍රීය ඡන්ද දායකයගෙ ශක්තීන් උකහා ගන්න, ඒ ශක්තීන් මුදා හරින්න වේදිකාවක් ගොඩනගන්න ජවිපෙට බැරිවෙලා. නැත්නම් අමතක කරල. වෙන්න පුලුවන් නරකම දේ මේ ක්‍රෙම්ට ගියොත් ඉදිරියේදි ජවිපෙ දියාරුව තව තවත් වේගවත් වීම විතරයි.

මෙවර ජවිපෙ දිනාගත්තු එකම මන්ත්‍රී ආසන දෙක හිමිවුනේ නාගරික ජන්ද ප්‍රදේශවලින් වීම අහම්බයක් නෙමෙයි. ඒක ඒ අය නියෝජනය කරපු, ඒ අය මැදිහත් වුනු පාර්ශවයට ලැබුනු තෑග්ග.

 

බන කියන රටක් - බන අහන රටක්

ලංකාවෙ බන කියන එක පුදුම විදිහට මාර්කට් වෙනවා. ඒක කලාව ඇතුලෙ පවා එහෙමයි. මෑතක සහෝදරයා ටෙලි නාට්ටියේ නොයෙක් දෙබස්, අදහස්, මතවාද ෆේස්බුක් එක ඇතුලෙ සංසරනය වීම මෙතනදි දකින්න පුලුවන්.  මොකක් හරි උපදේශාත්මක පාඨයක් හරි දැනුවත් කිරීමේ කියමනක් හරි සමාජ මාධ්‍ය ඇතුලෙ සංසරනය වෙන්නෙ ඉතාම වේගෙකින්. මොකද ආදි කාලෙ ඉඳන්ම අපේ අයට බන අහල පුරුදුයි. බන කියලත් පුරුදුයි.

ජවිපෙ විසින් සන්සිඳුවන්නෙ මේ ජනතා පිපාසාව. ඒ අයගෙ කතා, තර්ක විතරක් පුදුම සහගතයි. ඒව මිනිස්සුන්ව පුබුදු කරවන සුලුයි. තව කෙනෙක්ට පෙන්නන්න හිතෙන තරම් රසවත්. තිත්තම ඇත්ත.

නමුත් අපි ජාතියක් විදිහට පුරුදුවෙලා ඉන්නෙ බන අහන්න මිසක් පිලිපදින්න නෙමෙයි. බන පිලිපදින එක ලංකාවෙ මිනිස්සුන්ට අදාල කාරනාවක් නෙමෙයි. ඒ අය කැමති සාදුකාර දෙමින් බන අහන්න. අපි බන අහනව කියල පෙන්නන්න. ඉතින් එහෙම බන අහන මනුස්සා බන රකිනවද කියල හිතන එක වැරුද්දක්. ලංකාවෙ මිනිස්සු හැසිරෙන්න එහෙමයි.

ජවිපෙට හැමදාම වැරදුන තැනත් එතනමයි. අනුරගෙ කතාවක් හරි ජවිපෙ විවේචනයක් හරි ජනගත වෙන්නෙ ඉතාම ඉක්මනින්. ඒ තර්ක වලට, වාදවලට මිනිස්සු බැඳෙනවා. වහ වැටෙනවා. ඒව ඇත්ත බව කියමින් හිස වනනවා. මේව සමාජ මාධ්‍ය ඇතුලෙ මිලියන ගනන් බලද්දි, ලයික් කරද්දි ජවිපෙට හිතෙනවා මේ වතාවෙනම් හරි. කලින්ට වඩා අපි ඉදිරියෙන් කියලා. ඒක එහෙම හිතෙන එක සාධාරන උනත් ලංකාවෙ ජන මනස හැසිරෙන හැටි තේරුම් නොගැනීමයි එතන තියෙන ඛේදවාචකය වෙන්නෙ.

ඉතින් බන කියලම වැඩක් නෑ. බන වැදගත් වෙන්නෙ මිනිස්සුන්ට අහන්න. සැනසෙන්න.

දිනාගන්නව කියන්නෙ ඒකම නෙමෙයි. දිනා ගන්න නම් වෙන දේවල් කරන්න ඕන. ඒකට මූලිකවම ජන මනස තේරුම් ගන්න ඕන. මිනිස්සුන්ට ඇත්තට ආදරය කරන්න ඕන. ලංවෙලා ආදරය කරන්න ඕන. මොකද මේ තාක් මේ අසරන මිනිස්සු රැවටිලා ඉන්නෙ බොරු ආදරේකට. දැන දැනත් එයාල ඒ බොරු ආදරේටම ජිවිතේ දෙනවා. ඇත්තටම ඒ මිනිස්සු පව්.

Thursday, July 2, 2020

ඔයාට මග පෙන්වන්නෙක් ඉන්නවද?





අධිකරන විභාගෙට ලකුනු ඩිංගක් මදි. අපරාදෙ මං ඒක ඒ තරමටම ගනන් ගත්තෙ නෑ නෙ බං.
මංජුලගෙ ස්වරයෙ ලොකු ශෝකී භාවයක් තිබ්බෙ නැතත් එයා ඒක කිව්වෙ අවංකවම දුකකින් වෙන්න ඕන. මොකද මං මංජුල ගැන සෑහෙන දන්න නිසා. මංජුල මගේ ලඟම යාලුවෙක් නොවුනත් අපේ යාලුකම අවුරුදු පහ හයක් විතර වයසයි. ඒ වයස ඇතුලෙ එකම කාර්යාලෙක වැඩ කරද්දිත්, ඉන් පිටතත් අපි අපි අඳුනගන්න පුලුවන් තරමට අදහස් බෙදාහදා ගත්තා. 

මංජුල කියල කියන්නෙ එදිනෙදා හමුවෙන පොදු මිනිස් කුලකයෙන් ඉඳුරා වෙනස්කම් රැසක් දරන මනුස්සයෙක්. ඒකට මේ මේ කියල කියන්න පුලුවන් නිශ්චිත හේතු කියන්න අමාරු උනත් මංජුලව හැමෝටම දිරවන්නෙත් නෑ

කොහොමටත් මේ කතාව මංජුල ගැන නෙමෙයි. මංජුල මාත් එක්ක කතාකරපු දුරකතන සංවාද‍යේ සාරය ඉදිරියට අරගෙන යාමක්. 

අපිට ජීවිතේට මග පෙන්වන අය අඩුයි මචං. මංජුල කිව්වෙ සීරියස් විදිහට. ඒ ලෙවල් කරන වෙලාවෙනම් මොකක්ද චාන්ස් එකකට එහෙම කෙනෙක් හමුවුනා. ඒත් මං හිතන්නෙ බං අපි හැමෝටම ජීවිතේ හැමවෙලාවෙම මග පෙන්නන්න කෙනෙක් ඉන්න ඕන.

ඒ කතාව මම ඉස්මුදුනෙන්ම අනුමත කලා. ඇත්ත. අපි හැමෝටම තනියම ජීවිතේ අරගෙන යන්න කොහොමටත්ම බෑ. අපි කොයිතරම් බුද්ධිමත් උනත්, උගත් උනත් ඇත්තමට තනි තීරන අරගන්න බැරි නිමේශයක් හැමෝටම එන්න පුලුවන්. හොඳ මගපෙන්වීමක අවශ්‍යතාව තදින්ම දැනෙන්න ගන්නෙ එතකොට. 

උපදේශනය හා මාර්ගෝපදේශනය පාසල් මට්ටමේ ඉඳලම වෘත්තීය භාවයෙන් කතා කෙරෙන මාතෘකා උනත් මම හිතන්නෙ ඒක කෙරෙන්න ඕන එහෙම වෘත්තීය භාවයෙන්ම නෙමෙයි. අනිත් අතට වෘත්තීයභාවයෙන් කෙරෙන මගපෙන්වීමේ මොකක්දෝ දුරස්ථකමකුත් මතුවෙන්න තියෙන ඉඩ වැඩියි. 

අපි කාටමත්ම ජීවිතේ හරි තීරන අරගන්න අමාරුයි. කොටින්ම එක සුලු තීරනයකින් ඔයාගෙ මුලු ජීවිතේම කනපිට හැරෙන්න ඉඩ තියෙනවා. අනිත් අතට ඔයාගෙ ජීවිතේ දිහා ඔයා බලන කෝනය හැමදාම ඒකාකාරී මුහුනුවරක් ගන්නවා. ඒක ඔයාට තේරෙන්නෙ නෑ. ඔයා දන්නෙ ඔයා තීරන අරගන්නව කියල විතරයි. ඒක තමන්ට ගැලපෙනවද, තමන්ගෙ අරමුනු හා හොඳන්ම සමපාත වෙනවද කියල කියන්න හැම වෙලාවෙම ඔයා දක්ශ නොවෙන්න පුලුවන්. ඔයාගෙ ජීවිතේ දිහා ඔයාගෙම උරහිසට උඩින් බලන්නෙක් ඉන්න එකේ වටිනාකම දැනෙන්නෙ එතනදී.

ස්ටැපිඩි මගපෙන්වීම ගැන කියන්න පටන්ගත්තෙ එහෙමයි. මම සාවදානව අහගෙන හිටියා. ස්ටැපිඩි එයා‍ට දැනෙන හැ‍‍‍‍ෙඟෙන මට්ටමින් මගපෙන්වන්නෙක් ගැන කියවන්න පටන් ගත්තා. 
ඔයාගෙ යාලුවන්ටවත්,ගෙදර දොරේ අය උන පලියටවත් මග පෙන්වන්නෙක් වෙන්න ලේසියෙන් බෑ. අනිත් අතට උගත්කම, උපාධි තානාන්තර මගපෙන්වීම උදෙසා සලකාබැලෙන සාධක විදිහට පිලිගන්නත් අමාරුයි. මග පෙන්වන්විමක් සාර්ථක වෙන්න තියෙන අවම සුදුසුකම ඒයා ඒක කියන්නෙ ඔයාගෙ ජීවිතේ ගැන කොයිතරම් ආදරේකින්ද කියන එකයි.  අනිත් අතට ඔයාගෙ මග පෙන්වන්නා විදිහට තෝරගන්න කෙනාට ඔයා ඔයාගෙ ජීවිතේ කොයිතරම් නං ප්‍රමාණයක් හෙලිදරව් කරල තියෙනවද කියන එකත් වැදගත් වෙන්න තියෙන ඉඩ වැඩියි.  

මම කියන්නෙ විවාහය, රැකියාව, විභාග වගේ විශාල සාධක වලදි විතරක්ම නෙමෙයි. අපි එදිනෙදා ජීවිතයේදි නොසලකන තරමේ කුඩා අංශුවක් ගැන උනත් අවධානය යොමුකරවන කෙනෙක් අපි ලඟ සිටීම අපට අත්කරදෙන වාසි කන්දරාව අති මහත්. 

නිකමට හිතන්න ඔයාගෙ කකුලෙ සුලු තුවාලයක් තියෙනවා. ඔයා ඒ ගැන තකන්නෙ නෑ. නමුත් ඒක සුව නොවී, තාවකාලිකව සුව වෙමින් යලි යලි මතු වෙමින් ඔහේ තියෙනවා. ඔයා කරන්නෙ තාවකාලිකව ඒ තුවාලය මග හරින එක. ඔයාට ආදරනීය මගපෙන්නන්නෙක් ඉන්නවනම් ඔයාට එයා කියයි ඕක බලාගෙන ඉන්න හොඳ ක්‍රමයක් නෙමෙයි. ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් ඕක මුලු කකුලටම බලපාන විසක් නිපදවන්න පුලුවන් කියලා. ඒක ගැන අනතුරුදායක හැඟීමක් ඇතිකරල ඔයාට ඒක දිහා වෙනස්ම කෝනයකින් බලන්න මගපෙන්වන්නෙ ඔයා හීනෙකින්වත් නොහිතන විදිහේ නූගත් මනුස්සයෙක් වෙන්න පුලුවන්.

අපි තව තව නිදසුන් අරගනිමු. 

හිතන්න ඔයා හිතන පතන විදිහ ගැන. ඒකෙ රටාවක් තියෙනව කියල ඔයාට එකපාරටම තේරෙන්නෙ නෑ. එහෙම ඉදිද්දි ඔයාට හුඟ කාලෙකින් හමුවුනු මිතුරෙක් මෙහෙම කතාවක් ඔයාට කියනව. උඹගෙ ජීවිතේ තීරනාත්මක අවස්ථාවලදි උඹ කලේ නිශ්ක්‍රීයව ඉන්න එක නේද? උඹ පොඩිකාලෙ කියපු කතාවලින් මට තේරුනේ ඒක. නිකමට හිතල බලපං උඹ උඹේ දරුව ලෙඩ උනාමත් එහෙම ඉන්න එකේ තේරුමක් කියේවිද කියල?

මගේ යාලුවෙක් මට එහෙම කිව්වම මට ආයෙම මගේ ජීවිතේ දිහා වෙනමම විදිහකට බලන්න ආලෝකයක් ලැබෙනවා. ඇත්තටම එක වචනයක් ඇති මාර්ගෝපදේශනයක් විදිහට මුලු ජීවිතේම සාර්ථක කරගන්න. 

මගේ ගෙදර වහලෙ එක තැනකින් වතුර වැටෙනවා. ඒක වෙන්නෙ වහින දවසකට විතරක්ම නිසා ඔයාට ඒකෙ ගානක් නෑ. වහිද්දි වතුර වැටෙනවනම් ඔයා කරන්නෙ එතනට භාජනයක් තියන එක. මේක නොකඩවා අවුරුදු ගානක් ඇදිල යනවා. අපිට ඒක වදයක් හෝ කරදයක් විදිහට පෙනෙන්නෙ නෑ. ඉදහිට අපේ ගෙදරට එන මගේ යාලුවෙක් ඕක දකිනවා. එයා කියනවා වරෙන් අපි දැන්ම වහලට නැගල ඕක හදල දාමු කියල.   මං හිතන්නෙ එතනින් මාව ඇහැරුනා. අපි අවුරුදු ගානක් ඕක සාමාන්‍ය දෙයක් විදිහට දැකල, ඒකට පුරුදු වෙලා හිටියා. ඕක හදන්න ඕන කියන සුලු කා‍රනේ මට අමතක වෙලාම ගිහිල්ලයි තිබුනෙ.

සමහර මිනිස්සු මෙහෙම කියනව මට ඇහිල තියෙනව. 

අද මම මෙතන ඉන්නෙ මම ඒ ලෙවල් කාලෙදි මගේ ආත්තම්ම කියපු එක වචනයක් නිසා. ඒ එක වචනෙ හැමදාම ජීවිතේ ජීවිතේ අසීරුම තැනකදි මතක් කලාම ඒකෙන් මට සෑහෙන ෆිට් එකක් වෙනවා. 

ස්ටැපිඩි වෙලාවක මෙහෙම කියනවා.

මග පෙන්වන්නා නිතරම ජීවියෙක් වෙන්න ඕනෙ නෑ. එයා භෞතික කාරනයක් වෙන්නත් ඉඩ තියෙනවා. හිතන්න එකම එක පොතක් ඔයා අත්පොතක් විදිහට හැමදාම භාවිතා කරනවා. ඒක කියවන වාරයක් වාරයක් පාසා ඔයාගෙ ජීවිතේට ලැබෙන ජවය වෙන මොකකටවත් දෙන්න බෑ. තව කෙනෙක්ට සැර බීමක්, අමුතු ජවයක් දෙන කෑමක් උනත් එහෙම අත්දැකීමක් ලබාදෙනව වෙන්න පුලුවන්. කතාන්දරවල අපි අහල තියෙනවා කාන්තාරෙ අතරමං වෙච්චි කරත්තකාරයන්ට මග පෙන්වන තාරකා ගැන.

මෙතනදි අපිට එක දෙයක් ඒත්තු ගැන්වෙනවා. මග පෙන්වීම කියන්නෙ පිටස්තර දෙයක් නෙමෙයි කියන එක. බාහිරින් මතුවෙන කාරනයක් අපේ ඇතුලාන්තයට අවශෝශනය කරගන්නා ප්‍රමානය මතයි ඔයාට මග පෙන්වීම කියන අදහස වැඩ කරන්න ගන්නෙ. ඔයා ලඟ ඉන්න මනුස්සයා ඔයාට කොයිතරම් මග පෙන්නන්න හැදුවත් ඒක ඔයාට දැනෙන්නෙ නැත්නම්, ඒක පිලිගන්න සූදානමක් ඔයාගෙ ඇතුලාන්තයෙන් එන්නෙ නැත්නම් ඒක සාර්ථක වෙන්නෙ නෑ.


මග පෙන්වීම අපි මැරෙන තුරාවට අපිට අවශ්‍ය දෙයක්. ඒකෙන් ඔයා නිවරදි කෙනෙක් කරනව නෙමෙයි. වැදගත්ම දේ ඔයාට නොපෙනෙන පැත්තකින් ඔයාට නොපෙනෙන කෝනයකින් ඔයාගෙ අනාගතය දිහා ලබන්නෙක් විදිහට ඒකෙන් ඔයාට සහයක් ලැබෙනවා. 

මගේ වයස දැන් තිස් තුනක්. මේ තිස් තුන පුරාවට දැනුවත්ව හෝ නොහැනුවත්ව මට මග පෙන්වපු අය සෑහෙන හිටිය විත්තිය මට දැන් දැනෙනවා. සමහර වෙලාවට ඒ මග පෙන්වපු අය තමන් මගපෙන්නුවද කියලවත් දැනගෙන නෙමෙයි ඒක කලේ. අනිත් අතට ජීවිතේ කොයියම්ම වෙලාවකවත් ඒ අයට කෘතඥවෙන්න අපට පුලුවන් වෙන එකතුත් නෑ. ඒත් මේ වෙලාවෙ මම ඒ හැමෝටම මගේ ප්‍රනාමය පුදකරන අතරේ කියන්නෙ එකමෙක දෙයයි.

ඔයාගෙ ජීවිතේට මග පෙන්වන්නෙක් ඉන්න ඕන වගේම ඔයත් තව ජීවිතයකට මග පෙන්වන්නෙක් විය යුතුයි. ජීවිතේ ලස්සන වෙන්නෙ එහෙම වෙන තරමටයි. 

Wednesday, July 1, 2020

ඔයා ඒකමානීය ද බහුමානීය ද?



කාගෙද මේ සුමිත් කියල නමක් තියෙන්නෙ?

යාලුවෙක් ෆේස්බුක් අප්ලෝඩ් වෙන්න ගිහින් ඒකෙ රෙජිස්ටර් වෙද්දි වැටිච්ච නම දිහා බලල පුදුමෙන් වගේ ඇහුව. 

ආ ඒ මගේ. මගේ ෆේක් එකවුන්ට් එකක්. මම සැහැල්ලුවෙන් කිව්ව

උඹල බං මාර හොරුනෙ. මගේ යාලුව ගත් කටටම කිව්ව

ඒ උත්තරේ මං කීයටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. අනිත් අතට ෆේක් එකක් පටන්ගත්තු මුල් කාලෙවත් මට ඔහොම අදහසක් හීනෙකින්වත් මතුවෙලා තිබුනෙ නෑ. 

එතැනින් මං යන්න ගත්ත ඒකමානීය කියන මාතෘකාවට. ඒකමානයි කියන්නෙ කිසියම් සංසිද්ධියක් දිහාට යොමුකරන එකම දෘශ්ටියට. මේකෙ විරුද්ද පදේ බහුමානය. මානයන් ගොඩක් තිබීම. හේතුකාරනා බහුල වීම වගේ අදහසක් අපිට ඒකෙන් ගන්න පුලුවන්. 

මගේ යාලුවගෙ පිලිතුරත් එක්ක අපි දේවල් කොයිතරම් බහුමානීව කියවනවද කියන අදහසට මම එන්න උත්සාහ කලා. ස්ටැපිඩි මේ කාරනේ කතා කරද්දි මට සෑහෙන බලපෑවා. එයා තමයි මුලින්ම බහුමානීය කියන අදහස පවා අරගෙන ආවෙ. 

මිනිස් ක්‍රියාකාරකම් වලදි දේවල් ඒකමානීයව කියවීම තරම් පටු දෙයක් තවත් නැතිව ඇති. ඒක කොහෙත්ම සාධාරන දෙයක් නෙමෙයි. මානව ක්‍රියාකාරකම් හැදිල තියෙන්නෙම හැඟීම් එක්ක. ඉතින් අපි කොහොමත ඒක එක මානයකින් මැනල තීරනයක් දෙන්නෙ. 

ඇත්ත. අපි එදිනෙදා දේවල්වලට මුහුනදෙන විදිහ සහ ඒ තැන්වලදි ක්‍රියාකරන විදිහ අති සංකීර්නයි. මම ඒක කලේ මේ හේතුව නිසා, මම මෙහෙම කිව්වෙ මෙන්න මේක දැනුන නිසා වගේ තනි උත්තර දෙන්න ලේසි උනත් ඇත්තටම ඒක සිද්ධ වෙන්නෙ තනි දෙයක් නිසා නෙමෙයි. සෑම ක්‍රියාවලියකටම සංසිද්ධි ගනනාවක් බලපානවා. 

නිකමට හිතන්න ඔයාට අද උදේ ඔෆිස් එකේ යාලුව එක්ක තරහ යනවා. ඔයා එයාට බැනගෙන බැනගෙන යනවා. 

දැන් මේක ඒකමානීයව හිතමු. ඔයා එයාට බැන්නෙ එයා ඔයාගෙ පෑන අරගෙන හැමදාම අතන මෙතන දාන නිසා. ඔයා ඔහොම ඒකමානීය උත්තරයක් හදා ගන්නවා. නමුත් මම කියනවා ඒක එතැනින් නවතින්න බැරි හේතුකාරනා රැසක එක්කාසුවක් වෙන්නත් පුලුවන් කියලා. අපි ඒ සිදුවීමම බහුමානීයව කියවන්න ට්‍රයි කරමු. 

මට තරහ ගිය එකට මුල් වුනු අන්තිම හේතුව පෑන අරගත්ත එක වෙන්න පුලුවන් උනත් මම උදේ ඉඳන්ම වැඩට ආවෙ ටිකක් කලකිරුනු මානසිකත්වයක නේද? උදේ නැගිටිද්දි පරක්කු උනා. උයන්න පරක්කුයි. එද්දි මග වැස්ස. ඔය ඔක්කොම දේවල් වලින් සිද්ධ උනේ මගෙ හිතේ කේන්තියක් දලු ලා වැඩෙන එක. ඒ කේන්තියේ කෝනතර ගොන්නට පෑන නැති කිරීමේ ස්වල්ප සිද්ධියත් අවසාන දාමය විදිහට ඇමිනුනා. ඇත්තටම මම එයාට බැන්නෙ එයාගෙ වරද හින්දටමත් වැඩිය මගේ හිතේ තිබ්බ කේන්තියක් පිටකරගැනීමක් විදිහට. 

ඔහොම ඔයාට ඒ සිද්ධිය දිහා වෙන මානෙකින් බලන්න පුලුවන්. මම කියන්නෙ ඒකත් තවත් එක් මානයක් විතරයි. ඒ සිදුවීම වටා ගිනිය නොහැකි තරම් මානයන් හැංගිලා තියෙන්න පුලුවන්. කවමදාකවත් අපිට නොපෙනෙන මානයක් උනත් තියෙන්න ඉඩ තියෙනවා. 

ස්ටැපිඩි වෙලාවක මෙහෙම ලියනවා. 

යම් දෙයකට නිශ්චිත තනි උත්තරයක් තියෙන්නෙ විද්‍යාවෙදි විතරයි. නැත්නම් ගනිතයේදි. අපි කියනවා දෙකයි දෙකයි එකතු කලාම හතරයි කියල. මේක මොන විදිහට කිව්වත් එහෙමයි. නිශ්චිතවම උත්තරේ හතරයි. විද්‍යාත්මක නියතීන් එහෙමත් එහෙමම තමයි. අහවල් දවසෙ සූර්යග්‍රහනයක් කිව්වොත් ඒක සිදුවෙනවම තමයි. අනිත් අතට සූර්යග්‍රහනය සිදුවෙන කාරනේ විද්‍යාත්මකව කියද්දි ඒ සිදුවීමම තමයි. එතැනින් එපිට වෙන සංකීර්න මානයන් ඒකට නැහැ. නමුත් මානව ගනුදෙනු ඊට සම්පූර්නයෙන්ම වෙනස්. ඔයාට කවමදාකවත් කියන්න බෑ ඔයා එයාට ආදරේ කරන්නෙ ඇයි කියල තනි උත්තරයක් දෙන්න. ඔයාට පුලුවන් ද ඔයා පොත් ලියන්න පෙලඹුනේ ඇයි කියන එකට එක වචනෙකින් උත්තර දෙන්න. 

මම ඒකමානීය, බහුමානීය මාතෘකා ඔස්සේ සෑහෙන දුරකට ඇදිල ගියා. බහුමානය ගැන මගේ කල්පනාත් බහුමානීයයි නේද කියල මට හිතුනා. 

අපි සමාජ ජීවිතේදි සිද්ධි දිහා බලන්නෙ කොයිතරම් නං ඒකමානීයවද? අඩුම තරමින් අපි ඒ ගැන නැවතිල්ලෙ යන්තමින්වත් හිතනවද?

මම ටිකක් සැර උදාහරනවලින් ගත්තොත් මේක ලේසිවෙයි. නිකමට හිතන්න මෙහෙම පුවතක් ඔබට ඇසෙනවා.

මවක් සිය දරුවා ගිං ගඟට විසි කරයි.

මේ පුවත දැක්ක ගමන් ඔබට එන්න පුලුවන් ඒකමානීය අදහස මට දැන් මැවිල පේනවා.
අපෝ.. මහ පවුකාර ගෑනියෙක්. ඔය ගෑනිවත් තල්ලුකරල දාන්න තිබ්බෙ. මොන හිතකින් කලාද දෙයියනේ...

මට හිතෙන්නෙ අපි පේන සමාජෙ ඇතුලෙ අපි දකින්නෙ ඔහොම උත්තර. මේ උත්තර ඔක්කොටෝම තියෙන්නෙ ඒකමානීය මූලයක්. එයාල දකින්නෙ මේ අම්ම වැරදියි. අම්ම හිත් පිත් නැති ගෑනියෙක් කියන කෝනෙන් විතරමයි. 

අපි එතන තියෙන්න පුලුවන් බහුමානීය අන්ත දිහාට මොහොතකටවත් හැරෙනවද? මම නිකමට එකක් දෙකක් කියන්නම්. මනෝවිද්‍යාවෙදි අපි දන්නවා මවක් දරුවෙක් බිහිකලාට පස්සේ ඒ මවට පසු ප්‍රශව විශාදය කියන තත්වය ඇතිවෙන්න ඉඩකට තියෙනව කියල. ඒ කියන්නෙ මව අසාමාන්‍ය විදිහට කලකිරෙනවා. දරුවව එපාවෙනවා. කොටින්ම දරුවව මරන්න පවා හිතෙන්න ඉඩ වැඩියි. ඒක වෙන්නෙ අම්ම දරුවට තියෙන ආදරේ අඩුවැඩියක් නිසා නෙමෙයි. එයාගෙ මොලයේ රසායනික අසමබරතාවයක් නිසා. ඉතින් මේ දරුවව ගඟට විසි කරපු අම්මට ඔය තත්වෙ තියෙන්න බැරිද? මේකත් එක මානයක් විතරයි. මේක වටේ තවත් මාන කෝටි ප්‍ර කෝටි ගනනක් උනත් තියෙන්න පුලුවන්. අපි නිකමට හොයාගෙන ගියොත් අම්මගෙ පවුල්පසුබිම මොකක්ද? ස්වාමිපුරුශයා එක්ක තියෙන සම්බන්ධය මොනවගේද? ගෙදර තත්වය මොකක්ද? මේ අම්මට පොඩි කාලෙ මොනවද වෙලා තියෙන්නෙ වගේ දේවල් එක්ක අපිට එලඹෙන්න තියෙන නිගමනත් අති සංකීර්න වෙනවා.

අනියම් සම්බන්ධයක් තියෙන කෙනෙක් දිහා බලන්න. ඕනම කෙනෙක් එයා කෙරෙහි දක්වන ආකල්පය ඒකමානීයයි. මහ වල් කෙනෙක්. ජරා මනුස්සයෙක්. මූ තියන්න වටින්නෙ නෑ.
ඒ ඔයා මතුපිටින් දකින චිත්‍රය විතරයි. අපි ඒ මනුස්සයගෙ ජීවිතේ එක්ක යන්තමින්වත් ඒකාත්මික වෙලා නෑ. ඒ මනුස්සයට තියෙන ප්‍රශ්න, අර්බුද, ගැටලු කිසිවක් මායිමකටවත් නොගන්නා අපි අපේ ඇහැකින් එයාගෙ ලෝකය දිහා බලන්න ගන්නවා. එතකොට අපිට පේන්නෙ එකම එක පැත්තක් විතරයි. 

ආයෙම ස්ටැපිඩිට යමු. එයා බහුමානය ගැන තව තවත් විස්තර කරනවා.

හොඳට හිතට ගන්න. බහුමානීයව හිතනව කියන්නෙ වැරුද්දක් කරන කෙනෙක්ට සමාව දෙනවවත්, එයා ගැන අනුකම්පාවෙන් බලන්න කියන එකවත් නෙමෙයි. අපි ඕනම සිදුවීමක් දිහා ඒකට තියෙන සම්මත පොදු මිම්මෙන් බලන්නෙ නැතිව ඒක දිහා වෙමමම ඈන්ගල් එකකින් බලනවා. එතකොට ඔයාට ඒක පේන විදිහ වෙනස්. යම් දෙයක් දරාගන්න, මැදිහත්ව සිතන්න, පටු නිගමනේකට නොඑන්න ඔයාට ඒක උදව්වක් වෙන්න පුලුවන්. ඒකෙන් කියන්නෙ නෑ ඔයා දකින කෝනය විතරයි හොඳටම නිවැරදි කියලා. මේක වැරදි නිවැරදි කිරල බලන මොහොතක් නෙමෙයි. අපි සිදුවීමක් දිහා බලන මානය එක එක මානයන්ට හරවලා බලනවා. එතකොට අපිට ඒක එක එක විදිහට පේනවා. සරලවම එච්චරයි.

එදිනෙදා ජීවිතයේදි කෙනෙක් ඔයාට බැන්නොත්, ඇනුම් පදයක් කිව්වොත්, වගේ ඕනම දේකදි ඔයා ඒකට ප්‍රතිචාර දක්වන විදිහ ඔයා ඒක දිහා බලන කෝනය අනුව නිසැකවම වෙනස් වෙනවා. අපිට එදිනෙදා මුනගැහෙන, අපි එක්ක කතාකරන ඕනම කෙනෙක්ට සම්මත ලේබල් එකක් අලවන්න බැරි තත්වයක් අපිට දැනෙන්න ගන්නවා.

මෙයා හොඳයි. මෙයා නරකයි. මෙයා කපටියි. මෙයා ඔතෑනියි වගේ පොදු මිමි ඇතුලෙන් පෙරල, කිරල මැනල ගනිද්දි අපිට මැනිකක් ඒ මේ අත හරව හරව බලද්දි වගේ යම් යම් දීප්තිමත් රේඛා විහිදෙනව කියල පෙනෙන්න ගන්න මොහොතක් එනවා. ඒකට හැම ජීවිතයක් දිහාම වගකීම් සහගත බැල්මකින් බලන්න වෙනවා. 

අපි ආයෙම මුලට එමු. මට ෆේක් එකවුන්ට් එකක් තියෙනව කියල දැනගත්තු මගේ මිතුරාගෙ ප්‍රතිචාරයට මම කලකිරෙන්න ඕනද? මම එයා එක්ක තරහ ගන්න ඕනද? මට ඒ හැමෝ එක්කම තද මිතුරුකමක් ඇතිකරගන්න බැරි තරමට දුරස්ථ කමක් දැනේවිද?

මම හිතන්නෙ බහුමානීයව හිතන එකේ වටිනාමක අපට දැනෙන්නෙ මෙහෙම ප්‍රායෝගික තැනකදි. මම ඒක සන්සුන්ව භාරගන්නවා. ඒ මොහොතෙ එයාට ඒක පැහැදිලි කරල දෙන්න බැරි උනත් පස්සෙ දවසක අවස්ථාවක් ආවොත් හෙමින් කියනවා මගේ අදහස. නැත්නම් එයාට ඒක තේරුම්ගන්නම බැරිනම් එයා ඒ පටු අදහසේම උනත් හිටියාවේ. මට ඒක නීරසක් විදිහට දැනෙන එකක් නෑ. මොකද මම දේවල් දිහා බලන මානෙන්ම එයා බලන්න ඕනෙත් නෑ. එයාගෙ ආකල්ප, දේවල් දකින කෝනය තීරනය වෙලා තියෙන්නෙ ජීවන මගේ එයාට මුනගැහුනු දේවල්, ඉගනගත්තු පරිමාව වගේ සංකීර්න කාරනා ගානක් එක්ක. මම ඒ මනුස්සයගෙ ආකල්පය එක්ක ආරෝවක් ඇතිකරගැනීමේ තේරුමක් තියේවිද?



INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...