Saturday, May 29, 2021

සයුරක්, නොදුටු කඳුලක්... A Plastic Ocean

 

අපි මේ කතාව බෙදා ගන්නවා. මොකද දැනගැනීමෙනුයි ආදරයක් ඇති වෙන්නේ. ආදරයෙනුයි වෙනසක් ඇති වෙන්නේ...

-          චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රෙග් ලීසන්



2016 වසරේ හැදුණු චිත්‍රපටයක් උනත් මේක ඉතාම අහම්බ හම්බ වීමකින් මට බලන්න පුලුවන් උනේ 2019දි. ඒත් එතරම් කාලයක් මේ චිත්‍රපටය මගේ ඇස නොගැටීම පිළිබඳව චිත්‍රපටය ආරම්භයේදීම මගේ හිතට කුතුහලය මුසු වුනු තැවුලක් නැගෙන්න පටන් ගත්තා. බොලේ මේක ලංකාව සම්බන්ධ වන වාර්තා චිත්‍රපටියක්. කොයිතරම් සම්බන්ධ ද කිව්වොත් චිත්‍රපටය ආරම්භ වෙන්නේ පවා ලංකාවේ දර්ශන තලයකින්.

කෙටියෙන් මේකයි. මුහුදු ජීවීන් පිළිබඳ ඇල්මකින් පසුවන පුද්ගලයෙක් ඔහුගේ කණ්ඩායමක් සමඟ ලෝකය පුරා සංචාරය කරනවා තල්මසුන් ගැන පර්යේෂණ කරන්න. එයාලගෙ මුල්ම අවධානය යොමු වෙන්නේ ලංකාවෙ ත්‍රිකුණාමලය ආශ්‍රිත මුහුදු තීරය. ඒ එතෙක් අවුරුදු 30ක් පුරා නිරන්තර යුධ ගැටුම් නිසා මේ මුහුදු තීරය සාමාන්‍ය ජනතාවගේ බුක්තියට හසු නොවීම නිසා තල්මසුන් නිරීක්ෂණය කරන්න ඔවුන්ට ඉතා පහසු වෙයි කියන පූර්ව නිගමනය අනුවයි. ඒත් ඔවුන්ට මුහුන දෙන්න වෙන්නේ ඊට වඩා වෙනස් යථාර්ථයකට. කැමරා ආම්පන්න සමග දියේ ගිලී ගොඩට මතුවෙන නිරීක්ෂකයන්ගේ සිරුරුවල පැටලෙන්නේ පොලිතීන් කවර, සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය. තනිකරම ප්ලාස්ටික් වලින් සැදුනු තට්ටුවක් ජලය මත පාවෙමින් තිබුනු බව ඔවුන් දකිනවා. මේක එම කණ්ඩායම විස්මයට පත් කරනවා. තල්මසුන් ගැන අධ්‍යනය පස්සට දාලා ඔවුන් යොමු වෙනවා ලෝකයේ ප්ලාස්ටික් මුහුදට මුසු වන ආකාරය හා ඒවායින් වන විනාශය ගැන නිරීක්ෂණය කරන්නට. එතැන්සිට ඔවුන්ට මුන ගැසෙන දේ අපිව තිගස්සන සුලුයි.

ලෝකය පුරා නොයෙක් මුහුදු කලාප, වෙරළතීර, ගැඹුරු මුහුදු පතුල් පවා වඩාත් විධිමත්ව හා කැපවීමෙන් නිරීක්ෂණය කරන කණ්ඩායම එකින් එක සිය අත්දැකීම් මෙම චිත්‍රපටය හරහා බෙදා ගන්නවා. ඇතැම් රටවල වෙරලාශ්‍රිත ජීවීන්ගේ  පටන් බොහොමයක් මුහුදු ජීවින්ගේ ශරීරභ්‍යන්තරය තුළ කොපමණ ප්ලාස්ටික සංචිතයක් අඩුංගුදැයි මේ ගමනේදී ඔවුන් අපට සාක්ෂි සහිතව පෙන්වා දෙනවා. එක්තරා පක්ෂියෙකුගේ සිරුර ඇතුලත කුඩා ප්ලාස්ටික් කැබලි 250කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව ඔවුන් දකින්නේ වෙරලේ මැරී වැටී සිටින පක්ෂියෙකුගේ උදරය පලා බැලීමෙන්.

වැදගත්ම දේ ඒක නෙමේ. මේ ප්ලාස්ටික් මුහුදු නිරීක්ෂණ ගමනේ දී ඔවුන් ලෝකයේ විවිධ රටවල් මුහුදට ප්ලාස්ටික් යොමුකරන ප්‍රමාණය අනුව යම් පෙලගැස්වීමක් කරනවා. ඒ අනුව ලොකයේ වැඩි වශයෙන් මුහුදට ප්ලාස්ටික් මුදාහරින රටවල් 6ක් මේ චිත්‍රපටයේදී නම් කර දක්වනවා. ආසියානු කලාපීය රටවල් එහි වැඩි වශයෙන් දක්නයට ලැබෙන අතර ශ්‍රී ලංකාව එම සටහනේ 6 වැනි ස්ථානය ගැනීම පුදුම දනවන පුවතක්. මෙතරම් අඩු ජනගහනයක් සිටින කුඩා රටක් ලෝකයෙන්ම අංක 6ට පත්වීම සත්තකින්ම පුදුම දනවන කරුණක් නෙමෙයිද?

මං හිතන්නේ ප්ලාස්ටික් මුහුදට මුදාහැරීම සම්බන්ධව මේ තාක් අපේ රටේ විධිමත් මැදිහත්වීමක් හෝ ජනතාව දැනුවත් කිරීමක් සිදුවෙලා නැහැ. අවම තරමින් අපේ රට ඍජුවම සම්බන්ධ කරගනිමින් සැකසුනු මේ චිත්‍රපටය ගැන පවා ගැඹුරු සංවාදයක් අප සමාජය තුළ ඇතිවුනා දැයි යන්න ප්‍රශ්නකාරීයි. මේ චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක අපූරු කරුණක් මතුකරනවා.

අපි ප්ලාස්ටික් හෝ පොලිතින් පරිසරයට මුදා හරින්නේ නැහැයි කියා සිතාගෙන අප අතැති ප්ලාස්ටික් අපද්‍රව්‍ය කසල බදුනකට දමා සිත නිදහස් කරගන්නවා. නමුත් එසේ මුදා හරින ලද ප්ලාස්ටික්වලට අවසානයේ සිදුවන්නේ කුමක්දැයි ඇත්තටම අප දන්නවාද? අපි අපේ වගකීමෙන් නිදහස් උනත් සත්තකින්ම ඒ කාර්යයෙන් සාර්ථක ඵලයක් අත්පත් නොතිබෙනවානම්?

මීගමුව වෙරළ තීරය ආශ්‍රිතව අනතුරට ලක්වී ඇති එක්ස්පර්ට් පර්ල් නෞකාව මගින් සාගරයට මුදාහරින ලද අපද්‍රව්‍ය සම්බන්ධව මේ දිනවල කොතෙකුත් සංවාද සාකච්ඡා පැන නගිනවා. ඒ මගින් ලංකාවේ මුහුදු තීරයට කොතරම් විශාල බලපෑමක් සිදු වුනාද, සාගරයට, සාගර ජීවි පද්ධතියට සිදුවූ බලපෑම ගැන විශාල කතාබහක් ගොඩනැගුනු අතර ක්ෂණිකව සිදුවන එවැනි කම්පන මගින් සමාජය යම් තිගැස්මකට හෝ ඇවිලීමකට ලක්වීම සාධාරණ වන අතරේම ඉතා සියුම් ලෙස පියවරෙන් පියවර වසර ගණනාවක් තිස්සේ අප විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ම මේ තාක් සාගරයට කරන ලද විනාශය උක්ත නෞකාව මගින් සිදුකරන ලද ක්ෂණික විනාශයට වඩා අඩු තත්වයක තිබෙනවා යයි අප අනුමාන කරන්නේ කෙසේද?

Monday, September 21, 2020

අරනකට පෙම් බඳින - මෞනේය

 



මෞනේය කියන වචනෙ දැක්ක ගමන් මට හිතුනෙ මේක අමුතු නමක් වගේ අදහසක්. ඇත්තටම මම මෞනේය කියන වචනෙ තේරුමවත් දැ‍නගෙන හිටියෙ නෑ. ඒක බෞද්ධ ආගමට සම්බන්ධ මොකක් හෝ ගැඹුරු අදහසක් තියෙන නමක් බව විතරක් දැනගෙන උන්නා.

මේ පොත ඇතුලෙ ගංග තමන්ටම අනන්‍ය කවි මාවතක ගමන් කරන බවක් පේනවා. විශේශයෙන්ම නිරායාසයෙන්ම නිර්මානය ඇතුලෙ තමන්ගෙ මුද්‍රාව සලකුනු කරන කවියන්ගෙ ගොඩට ගංග ඇතුලත් වෙනව කිව්වොත් ඒක වැරදි නෑ. ගංගගෙ කවි ගලාගෙන යන්නෙ තමන් විදින එහෙමත් නැත්නම් තමන් හද අභ්‍යන්ත‍රයෙන්ම ආශ්වාදනය කරන ඉම් පෙදෙස් ඔස්සේ. මේ කවි කියවද්දි මූලිකවම මට මතකයට නැගුනෙ ලාල් හෑගොඩ කවියව. ඒ හෑගොඩගෙ කවි ගංගගෙ කවි වලට සමාන ලක්ශන පෙන්නුම් කරන නිසා‍ම නෙමෙයි. කොහොම නමුත් මේ දෙන්නම තමන්ගෙ කවි ඇතුලෙදි තම අවට වටපිටාවෙ අපට නොපෙනෙන, පෙනි පෙනිත් අපෙන් ගිලිහෙන ස්වභාවික සෞන්දර්යයක් දිහා ක්ශූද්‍ර ඇසකින් / භාවනාත්මක සමාධියකින් එලඹෙන බවක් පේනවා. මම ගංගගෙ කවිවල කැමතිම වෙන්නෙ මේ සමාධි ගුනයට. සියුම් වින්දනීය ගුනයට. ඇත්තෙන්ම ඒක ධ්‍යානයක් වගේ එකක්. ස්වභාවික පරිසරයට ආත්මීයවම නොබැදී එහෙම කවි නිර්මානය කරන්න කොහොමටමත්ම බැරි බවයි මගේ අදහස. 

 

නිවහල් යුවතිය

වැසි වනය මැද ගලන

නිල් දොලකි ඔබ මෙමට

ලොබි ලොබින් ඩැහැ ගත්තද

ලිහි ලිහී යයි මගෙන්

 

සතුකරගත නොහැකි

අරුමැසි රුසිරු ද්‍රව බවකි

හැම ගල් කුලකටම පැන

නටමින් දුවන්නේ පහලට

 

වරෙක නිල් තඩාගෙක

නිහඬව නිසොල්මන් වී මොහොතට

පෙන්වයි ඔබ මට

ඔබ සතු මිනි අරලු ලැම මත

 

තියුනු රිවි හී සර

‍සියොලඟම විනිවිදින විට

ඔබ නැතැයි සිතෙන තරමට

සැඟවෙයි ඔබ ඔබ තුල

 

කිමිදෙමි ඔබ කුස - මතුවෙමි

නිහඬ බව අසා නැවත නික්මෙමි

දින දින නැවත එලඹෙමි

මා නිවා සනසන

ඔබයි නිවහල් යුවතිය

 

මේ කවිය ඇතුලෙ මහ කැලයක් මැද ගලන නිල් දිය පහරක් මවන්න කවියා සමත්වෙන අතරේ ආදරය, බැඳීම් සම්බන්ධව හෘදයාංගම සංවේදනා රොත්තක් අරගෙන එන්නට සූක්ශම වෙනවා. ඒ බැඳීම් අස්සෙම සැබෑ බැඳීමක් යනු කුමක්දැයි යන සන්නිවේදනයද හෙමින් ගලන්නට සලස්වා තිබෙනවා.

 ‍මේ කවි හැමකක් තුලින්ම මතුවෙන්නෙ අසීමිත ලෙස මෙන්ම බැ‍ඳෙමින් නොබැ‍ඳෙන අප්‍රමාන ස්නේහයකින් උපේක්ශාත්මකව ලෝකය දිහා බැලුම් හෙලන්නෙක්ව.

 

කෙටි ගීය

සයුරු රල නගන

ඉපැරනි මහා ගීතය අරත

ඇසෙයි යන්තමින්

මැකෙයි සැ‍නෙකින්

තම කෙටි දිවිය තුල

ලිහිනියෙකු ගයන

කෙටි ගීය

 

කෙටි ගීය නම් ලද මේ කවිය තුල සොබාදහම ඇතුලේ සියුම් අංශුවක රස පදාසයක් මතු කරන අතරම ඒ හා බැඳුනු මහා දාර්ශනික ගැඹුරක් වෙතටද කවියා එලඹෙන බවක් පෙනෙනවා. ඒ කවිය ඇතුලෙන්ම නිසඟයෙන් මතුවෙන දර්ශනයක් තරමටම ඒක කවිය ඇතුලත එතී තියෙන හැටි අපූරුයි.

 

 හසරක් නොමැති ගමනක්  හිසින් යුතු කෙටි කවිය තුලත් ‍කවියා ස්වකීය වින්දනය, පරිසරය තුලින් තමා අත්දකින අප්‍රමාන ආස්වාදය ජීවන ගැඹුරක් වෙත විතැන් කරන්න උත්සහ දරා තිබෙනවා.

හසරක් නැති ගමනක්

කුරුල්ලන් ලවා ගී ගයවන

ස්ඵේට සතුටකින් සිටියමුත්

නිහඬයි නිසලයි ඔබ ගුල්මය

වන තුරුල

අතරමං වෙන්න පුලුවන් ද

හසරක් නැතිව ඔබ එක්ක

 

හසර දැන ගිය මගවල

අවසාන නැවතුමකි නැවතෙන

නිමක් නැති ගමනක් ද ඔබ තුරුල

අලුත් කුරුලු හඬකින් අමතා

කැඳවන්න මා ඒ ගමන

 

ගංගගෙ කවි මහා දේශපාලනික අරුත් අඟවන පන්නයේ කවි නොවන නිසාම ඒවා එකින් එක අරගෙන විචාර වාද කරන්නටත් අසීරුයි. ඒ තරමින්ම ඒ කවි තියෙන්නෙ ඒක ඇතුලෙම විනිවිදිමින් අනන්තමය සොම්නස් ගමනක් කරා ඇදෙන්න. අපට මග හැරුනු වින්දනයක් වෙත අපව පා කර හරින්න.

කවි වෙන වෙනම අරගෙන විචාරය කරන්න අසීරු නිසාම ඒ කවි ගෙඩි පිටින්ම අරගෙන නිදසුන් දැක්වීමට හිතෙන තරමට ඒ කවි අපව උද්දීපනය කරනවා.

ගංග කවි තේමා සකසා ගැනීම ගැන මේ සමස්ත කාව්‍ය කෘතිය දිහාම බැල්මක් හෙලද්දි අපට පෙනෙන්නෙ ඒව සියුම් හදකින් හා අපූර්ව වින්දන ශක්තියකින් පිරි හදකින් පමනක් පෙරි පෙරී එන තේමා ආත්ම කියලයි. සමහරවිට එදිනෙදා ජීවිතයේ අපේ ඇස්පනාපිටම අපේ සියොලඟ ගැටෙමින් තිබෙන දෙයක් අපට ආස්වාදයක්, වින්දනයක් ලබා නොදුන්හැටි මතක් කර අපි අපිට අප ගැනම පසුතැවීමක් ඇති කරන්න මේ කවි අපට බලපෑම් කරවනවා. කුරුල්ලෙකුගෙ නාදයක්, වැහි බිඳුවක්, මැඩියෙක්ගෙ ඇස් දෙකක්, ‍දියසෙවෙල බැඳුනු ගසක්, වේයන් බඳින ලද ලීයක් වගේ සුලබ දේවල් ඇසුරින් සුලබ නොවන චමත්කාරලෝකයක් ගංග අපේ සන්තානය වෙතට කැඳවලා තියෙනවා.

මෙහෙව් වින්දන හදවතක් !.

‍මේ කවියක් කවියක් පාසම මාව තිගස්සවමින්, චමත්කාරයෙන් මත් කරවමින් මේ ලෝකෙ ඇතුලෙම තියෙන අමුතුම ලෝකෙකට මං ඇදි ඇදී යනවා.

 

 

Thursday, August 13, 2020

විශිශ්ටයෙක් බිහිවීමේ දුශ්කර මාවතක මද දුරක්....

 

ජීවිතේ කලකිරෙන හෝ අපි අපිවම ප්‍රශ්න කරන බොහෝ වෙලාවට අපි විසින් ආපස්සට මතක් කරන හෝ අපට නිරුත්සාහිතවම මතකයට නැගෙන ඇතැම් නිර්මාන අතලොස්සක් හරි තියෙනවා. මේක එවැනි සෑම මොහොතකම මම ප්‍රීතියෙන් වගේම අනිවර්වචනීය හැගුමකින් යලි යලිත් ස්මරනයට කැදවන වර්ගයේ චිත්‍රපටියක්.

Whiplash

විශිශ්ටයෙක් වෙන්න කොයිතරම් අමාරුද කියන එක වගේම විශිශ්ටයෙක් බිහිකිරීමේ මාර්ගය කොයිතරම් නම් රලු පරලු ද කියල මේ චිත්‍රපටිය ඇතුලෙ දිගහැරෙන විදිහ මාව පුදුම කරවනවා.

ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වෙන්න පෙරුම් පුරන තරුනයෙක් වටා කතාව ගොඩනැගෙනවා. නමුත් මේ කතාවෙ වීරයා හෝ කතා නායකයා ඇත්තටම මේ ශිෂ්‍යයද එහෙමත් නැත්නම් ඔහුගෙ ගුරුවරය ද කියල හරියටම හිතාගන්න අමාරු වෙන විදිහට කතා‍ව ඇතුලෙ මේ චරිත දෙකම කේන්ද්‍රය හරහා ගමන් කරනවා.

චිත්‍රපටය ඇතුලෙ ඒ ඒ චරිතවලට දීල තියෙන නම් අමතක නිසා මම ඔවුන් ගුරුවරයා හා ශිෂ්‍යයා විදිහට නාමකරනය කරන්නම්.

ශිෂ්‍යයා ඇතු‍ල් වෙන්නෙ ප්‍රදේශයේ නම් දරපු ගුරුව‍රයෙක්ගෙ ඇකඩමියක් වගේ තැනකට. එතන තමයි මේ චිත්‍රපටයේ ඇත්තම නාටකය දිග හැරෙන්නෙ. ගුරුවරය එසේ මෙසේ ගුරුවරයෙක් නෙමේ. ඔහු සම්මත ආකෘති කුඩුපට්ටම් කරන ස්වරූපයේ තමන්ටම අනන්‍ය විදිහක ගමනක නිරතවෙනවා. යහපත් ගුරුවරයෙක් ‍හෝ හුදෙක් හොද ගුරුවරයෙක් කියන අර්තයට වඩා ඔහු මම නම් කරන්න කැමති අසම්මත විදිහේ චරිතයක් විදිහට. ඒ වගේම පිපාසයකින් වගේ විශිශ්ටයන් හොයාගෙන යන මනුස්ස දූතයෙක් විදිහට.

මේ නිසාම ගුරුවර‍යගෙ ගති ස්වභාවයන් වගේම සිසුන් එක්ක  කරන ගනුදෙනුවත් අන්තිම වෙනස්. නියමිත තත්පරේටම පන්තියට පැමිනෙන ඔහු සිසුන්ගෙන්ද එකී හැසිරීම බලාපොරොත්තු වෙනවා. ක්ශනයකින් විශිශ්ටයෙකුගේ අංකුර අවස්ථාව ඉවෙන් මෙන් හඳුනාගන්නා ගුරුවරයා වහා ඔහු සිය කන්ඩායමට ඇතුලත් කරගන්න දෙවරක් සිතන්නේ නැහැ.

චිත්‍රපටය පුරාවට පෙන්නුම් කෙරෙන්නේ මේ අසම්මත ගුරුවරයාගේ ඇකඩමියාව තුල විශිශ්ටයෙකු වීමේ දුශ්කර මාර්ගයට ගමන් කරන සිසුවෙකුගේ කතාවයි.

ගුරුවරයා සිසුවාගේ සාධාරනීකරනය කිරීමේ හේතු, වෙනත් පුද්ගලික කාරනා ‍ත‍ඹේකට තකන්නේ නෑ. පුහුනුව, පුහුනුව, පුහුනුව. ඔහු ප්‍රාර්ථනා කරන මට්ටමට පැමිනෙන තෙක්ම ඔහු යන්තමින්වත් සෑහෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරයා කරනු ලබන්නේ සිසුවාව දරුනු වෙහෙසකට, පීඩනයකට පත් කිරීම. ඔහුගේ දරාගැනීමේ පරිමාව හෝ වෙනයම් සාධාරන කිසිම කාරනයක් අදාල කර නොගන්නා ගුරුවරයා තකන්නේ ඔහුගෙන් ලැබෙන ඵලය පමනයි. එය නොලැබෙන තැන ඔහු සිසුවාව කුනු ගොඩක් සේ හලන්නටත් කිසිම චකිතයක් ඇතිකරගන්නේ නැහැ.

ඇත්තෙන්ම මේ ගුරුවරයාගේ වගේම සිසුවාගෙ සංකීර්න හැසිරීම් රටා මේ තරම් තියුනු විදිහට හසුකරගැනීම පවා චිත්‍රපටියක් විදිහට ඉතාම විශිශ්ට එලඹුමක්. ‍විශිශ්ටයෙක් බිහිකිරීමේ නිර්දය ගුරුවරයෙකුගේ හැසිරීම හැම වතාවකම මට සැනසීමක් අරගෙන එනවා.

සමකාලීන හෝ විචාරකයන් විසින් හොඳ යයි වර්නනා කෙරෙන බොහෝ සාහිත්‍ය කෘති, චිත්‍රපට මගේ ඇතුලට යන්තමින්වත් නොවැටෙන බොහෝ වෙලාවට ම විසින් මාවම ප්‍රශ්න කරන අවස්ථා ඕනෑතරම් එලඹෙනකොට මගේ සිතට එන්නෙ විශ්ප්ලෑශ්හි ගුරුවරයාගෙ භූමිකාව.

ඩ්‍රම්ස්වාදන ශිල්පීන්,  රසවත්ව වාදනය කරන ශිල්පීන් බොහෝ ප්‍රමානයක් අතරේ ගුරුවරයාට වැදගත් වෙන්නේ එකමෙක විශිශ්ටයෙක් බිහිකිරීම විතරයි. ඔහුගේ කන්, ‍වගේම රසඥතාවයේ සෑම මොහොතක්ම බලාපොරොත්තු වෙන්නේ එවැනි විශිශ්ට කාර්යයක කූඨප්‍රාප්තියක්. ඔහු ඒ වෙනුවෙන් නිර්දය ගමනක නිරතවෙනවා.

ඇත්තෙන්ම මේ ගුරුවරයා කිසිදු අර‍්ථෙකින් හොඳ ගුරුවරයෙක් නෙමෙයි. හොඳ මිනිසෙක් නෙමෙයි.

නමුත් ඔහු කලාව වෙනුවෙන්, යම් සාධනීය කාර්යයක් වෙනුවෙන් කරන අරගලය, බලාපොරොත්තු වෙන පරිමාව සම්බන්ද‍යෙන් බලද්දි මට නම් ඔහු ආදරනීය ගුරුවරයෙක්. ජීවිතයේ කොහෙවන්වත් නොලැබෙන උපරිමයක් ලබාදෙන විශේශිත විශිශ්ටයෙක්. 

 

 

 

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...