Saturday, February 25, 2023

මනසින් දුටු අතීතයක් - රංග වික්‍රමසිංහ

 

මේ සටහන උපුටා ගන්නෙ මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල ප්‍රාඥයා කියන මාර්ටින් වික්‍රමසිංහගේ 85වන ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පොතෙන්. ඔහුගේ පුත් රංග වික්‍රමසිංහ මේ පොතේ එක් පරිච්ඡේදයක තම තාත්තා ගැන අව්‍යාජ සටහනක් පළ කරනවා. පහතින් දැක්වෙන්නේ ඒ සමස්ත සටහනයි.




" ම ආදරී, ඕ ම ආදරී

ඕ මා ආදරී, චන්දරා

බෝ පෙමාදරයෙන් විසූ මට

වෙන්වුනා මගෙ චන්දරා ''.

 

ඇස් ඇරෙනවාත් එක්කම ශබ්ද නගා කියන මේ සින්දුව මට ඇසේ. මට පුරුදුව තිබුණේ හිස උතුරට ලා නිදාගන්නටය. මගේ වම් පැත්තේද, දෙපා පැත්තේද වූ කවුළුවලින් ඇතුල්වන අලුයම එළිය, ලා නිල් පැහැති සාලයේ බිත්ති මත වැටී කනමැදිරියන්ගේ වැනි මෘදු ආලෝකයක් මතු කරයි.

සිංදුව ඇසෙන්නේ කවුළුවලට පිටින් වූ ආලින්දයෙනි. ගායකයා තාත්තාය. උතුරින් වූ බිත්තියේ එල්ලන ලද ඔරලෝසුවේ නාද තැටිය එක වරක් වදියි. ඔළුව හරවා ඔරලෝසුව දෙස බලන්නටත් පෙර වෙලාව උදේ පහමාර බව මා දැන සිටියේ, සෑමදාම පහමාරට මිනිත්තු කිහිපයකට පෙර අවදි වෙන්නට මා ඇබ්බැහි වී තිබූ නිසාය. මේ ඇබ්බැහිකමට හේතු වූයේ කුකුළා හැඬලීම නොව තාත්තා උදේ පාන්දර සිංදු කියමින් නංවන හඬය.

මාත් අක්කාත් රෑ නිදා ගත්තේ සාලය මැද බිම අතුරන ලද පැදුරු මතය. අයියලා දෙදෙනා නිදා ගත්තේ ගෙයි උතුරු සීමාව වූ කාමරයේය. ලොකු නංගී අම්මාගේ කාමරයේ තොටිල්ලක නිදා ගත්තාය. මේ කාලයේ පොඩි නංගී ඉපදී නැති බව මට මතකය. නෑදෑයෙකු අපේ ගෙදර නවාතැන් ගත් දිනයක බාල අයියාට ද රෑ නිදන්නට සිදු වූයේ සාලයේය. තාත්තා දිනපතා පාන්දර පහටත් පෙර නැගිට කන්තෝරු කාමරය නමින් අප හැඳින්වූ ඔහුගේ පුස්තකාලයට යයි. ලේක් හවුසියේ රැකියාව කළ ඔහු එකල වැඩ නිමකොට ආපසු ගෙදර ආවේ රෑ දහයට විතරය. ඔහු එන විට අප අවදිව සිටියේ කලාතුරකිනි. තාත්තාගේ නිදන කාමරයේ දොරකඩ, මා නිදාගත් සාලයට මුහුණලා තිබූ බැවින් ඇතැම් විට තාත්තාගේ පැමිණීම නිසා මම අවදි වීමි. කන්තෝරුවෙන් ආ ගමන් තාත්තා ඇඳුම් මාරුකොට, මුහුණ කට සෝදා, රෑ කෑම කයි. අනතුරුව ඔහු රෑ එකොළහ දොළහ වන තෙක් පොතක් කියවයි.

" රෑ වෙලා.........දැන් නිදාගන්න '' යි අම්මා කියනවා මට ඇසෙයි. එහෙත් තාත්තා බිහිරෙකු මෙන් පොත කියවයි.

මෙසේ රෑ වනතුරු පොත් කියවා ඉන් අනතුරුව නිදන්නට යන තාත්තා පාන්දර පහට පමණ නැගිට ඔහුගේ පුස්තකාලයට යයි. තාත්තාගේ පුස්තකාලය පිහිටියේ මා නිදාගත් සාලයට යාබද ආලින්දයේ දකුණු කෙළවරේය. එය අඩි දොළහක් විතර දිග - පළල ඇති හතරැස් කාමරයකි. තාත්තාගේ ලියන මේසයට පසුබිම වූයේ පොත් රාක්ක වලින් වැසුණ බටහිර බිත්තියයි. මේසයට වාඩි වූ විට පුස්තක ලයේ දොරකඩ තුළින් ඔහුගේ දෑස යොමු වුයේ නැගෙනහිර දෙසටයි. පොත් වලින් බර වූ රැක්ක වලට මුවා වීම නිසා බිත්ති හතරින් වැඩි කොටසක් නොපෙනේ.රාක්කවල වූ විවිධ පාට වලින් යුතු උස් - මිටි මහත - හීන්, බර සැහැල්ලු, අලුත් - පරණ යනාදි නොයෙක් ආකාරයේ පොත්වල නඩත්තුකාරයා වූයේ තාත්තාය. ආලින්දයේ සිට පුස්තකාලය දෙස බැලූ ඇතැම් විටෙක රතු,නිල්, කොළ, දුඹුරු, කළු, සුදු, සහ ආදී නොයෙක් පාට පැල්ලම්වලින් යුතු පොත් රාක්කය මට පෙනුනේ බටහිර බිත්තියේ රාමු කරන ලද දැවැන්ත සිතියමක් ලෙසිනි.

තත්තා පාන්දරින් නැගිට පුස්තකාලයට ගොස් පොත් ලියයි; කියවයි. අනතුරුව ඔහු හීන් කෙඳි වලින් යුත් දුවිලි පිහා දමන අස්සක් ගෙන පොත් රැක්ක ඉදිරියේද, ආලින්දයේ ද එහාට මෙහාට කඩිසර ලෙස සක්මන් කරයි. සක්මන් කරන ගමන් ඔහු පොත් රාක්ක සහ බිත්තිවල දුවිලි පිස දමයි; මකුළු දැල් කඩයි; සිංදුවකින් කොටසක්ද සද්ද නගා කියයි. වරින් වර පොත් රාක්කයක් ඉදිරියේ නැවතී පොතක් අතට ගෙන, කන්නාඩි කුට්ටම නළලට ඔසවා, පොත දසට ළං කර පිටු කිහිපයක් පෙරළමින් කියවයි.

ඔහු ඇබ්බැහි වී තිබූ ව්‍යායාමය ලබා දෙන මේ දිනචරියාව නිසා පොත් රාක්ක - වල දූවිල්ලක්, මකුළු දැලක් දකින්නට නැත. තාත්තාගේ මේ ඇබිබැහි කමේ ඉතා වැදගත් ප්‍රතිඵලයක් මා වටහා ගත්තේ මෑතකදීය.

පොත්වල දුවිලි ගසන විට යම් කිසි පොතක මාතෘකාවක් යම් කිසි ගැටළුවකට හෝ කරුණකට අවධානය යොමු කරයි. ඔහු ඒ පොත අතට ගෙන පිටු පෙරළයි; අතරින් පතර පිටු කිහිපයක් කියවයි. ඇතැම් පිටුවල ඔහුම පෙර පැන්සලකින් කළ සටහනක් ද කියවයි. අවුරුදු බොහෝ ගණනාවක් තිස්සේ දිනපතා මෙසේ පොත් පත් ආසාවෙන්, කුතුහලයෙන් අතපත ගා පෙරළා බලා කියවීමෙන්, සටහන් තැබීමෙන්, පොත් සහ ඔහුගේ මතකය අතර වැඩුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව නිසා තාත්තාගේ පුස්තකාලය ශරීරයෙන් පිටත වැඩෙන තම මොලයේ කොටසක් වැන්න. ඔහුගේ පුස්තකාලයේ පොත් දහස් ගණනක් තිබු නමුත් ඒවා ක්‍රමවත් නාමාවලියක් අනුව සකස් කර තිබුණේ නැත. එහෙත් අසූ අවුරුදු වියෙහිදී වුව, යම්කිසි පොතකින් උපුටා දක්වන ලද පාඨයක් ගැන ඔහුගෙන් විමසු විට පොත් හය දහස අතුරින් වුවමනා පොත තෝරා අවශ්‍ය තැනට පෙරළා විමසන්නාට පෙන්වීමට ඔහුට විනාඩි දෙක තුනකට වඩා ගත වූයේ ඉතා කලාතුරකිනි.ඔහුගේ මේ පුදුම ධාරණ ශක්තිය වැඩිමට ද ඉහත කී ඇබ්බැහිකම වැදගත් උත්තේජනයක් වි යයි මම සිතමි.

පාන්දර මෙසේ දූවිලි ගසමින් ආලින්දයේ සහ පුස්තකාලයේ සක්මන් කරන ගමන් තාත්තා ගැයූ සිංදු තුනක් මට හොඳින් මතකය. ලේක් හවුසියේ වැඩ කළ ජයවර්ධන මහතාගේ, " ඕ ම ආදරී චන්දරා " යන සිංදුව, "Oh my darling Clementine '' යන ඉංගිරිසි සිංදුවේ අර්ථය සහ කාලය අනුව සකස් කරන ලද්දකි. මුනිදාස කුමාරතුංග මහතාගේ " හා හා හරි හාවා'' යන සිංදුව සහ ජෝන් ද සිල්වා මහතාගේ සිරි සඟබෝ නාටකයේ එන " දන්නෝ බුදුන්ගේ '' යන සිංදුව තාත්තා නිතර කී අනෙක් සිංදු දෙක විය. මේ සිංදු තුන මට කට පාඩම් වූයේ කුඩා විෂයෙහි සිට තාත්තා උදේ පාන්දර කළ ගායනාව ඇසීමෙනි. එහෙත් සිංදුවල නියමිත තාලය මා ඉගෙන ගත්තේ තාත්තාගෙන් නොවේ. තාත්තා ඕනෑම සිංදුවක් හෝ කවියක් හෝ ගායනා කරන්නේ ඉතා සරල ඒකාකාර තාලයක් අනුවය. මේ අඩු පාඩුව පිරිමහන්නට දෝ ඔහු හිටි හැටියේ සිංදුවේ කොටසක් ගිරිය යටින් පිටවන උස් වූ ස්වරයකින් ගායනා කරයි. මෙයින් සිංදුව තවත් විකට හඬකට හැරේ. තාලයට පමණක් කන් දීමෙන් නම් තාත්තා ගයන්නේ ' ඕ ම ආදරී චන්දරා " දන්නෝ බුදුන්ගේ '' '' හා හා හරි හාවා " යන සිංදු වලින් මොන එකදැයි තීරණය කිරීම ඉතා අමාරුය. නූගත් ගැමියෙකු කියන ජනකවි සිහි කරවන ගතියක් තාත්තා ගීත ගැයූ තාලයෙන් මතුවී යැයි මම සිතමි. ", නියමිත කාලයට හාත්පසින්ම වෙනස් යැයි අප කවටකම් කළ නමුත් ඔහු එය පිළිගත්තේ නැත. වරක් හියුබත් රාජපක්ෂ විසින් තැටි ගත කරන ලද දන්නේ බුදුන්ගේ '' සිංදුවට කන්දීමෙන් පසු " මම කියන්නෙත් ඔය තාලයට තමා '' යි කීවේ හාස්‍යජනක ස්වරූපයෙන් නොවේ. තමා කළ කී දෙයකට පටහැණි මතයක් පිළිගන්නට තාත්තා මැලි වුවත්, ප්‍රත්‍යක්ෂ කරුණක් පැහැදිලි ලෙස පෙනවා දුන් විට ඔහු එය පිළිගනියි. ඔහුගේ ගායනා විලාසය ඒකාකාරී යයි ඔහු නොපිළිගත්තේ මුරංඩුකමකින්ම නොවේ යැයි මම සිතමි.

තාත්තාට වර්ණ විකෘති ලෙස පෙනෙන බව ප්‍රකට නොවූ කරුණකි. අම්මා  නම් ඔහුගේ මේ අඩු පාඩුව ගැන හොඳින් දැන සිටියේ ඉන් ඈට විඳින්නට වූ අලාභ නිසාය. අම්මා ඇතැම් විටෙක ඔහු ලවා යම් කිසි පැහැයක රෙදි කෑල්ලක් සාප්පුවෙන් ගෙන්වූ  ඈට ලැබෙන්නේ වුවමනා කළ පාටට හාත්පසින් වෙනස් එකකි. එහෙත් වර්ණ විකෘති ලෙස පෙනෙන තාත්තාට වරද නොවැටහෙයි. ඔහු වර්ණ විකෘති ලෙස දකින්නෙකු වූවාසේම, තාලය ද විකෘති ලෙස ඔහුට ඇසෙනවා ඇතැයි මට සිතේ. නොයෙක් කලා ශිල්ප දෙසට ඔහුගේ අවධානය යොමු වූ නමුත් ඔහු චිත්‍ර කලාව සහ සංගීත කලාව අරබයා යමක් නිශ්චය ලෙස විවරණය කිරීමට මැලි වූයේය. ඔහුගේ යටකී සහජ විකෘතිය එයට හේතු වී යයි මම නිගමනය කරමි.

තාත්තා උද් පාන්දර සිංදු කියමින් කරන ගෝසාව නිසා සාලයේ නිදා ගන්නා අක්කාටත් මටත් උදේ පහමාරට පසුව නින්දක් නැත.

'' ප්‍රේමා, ඔය කෝපි කෝප්පෙ ලෑස්ති නැද්ද? "

තාත්තාගේ මේ වදන් ඇසූ විගස නිදි වෙරියෙන් කම්මැලි හරිමින් උන් අක්කා හෝ මම, නැගිට දුව ගොස් අම්මා හදා දුන් ලොකු කෝපි කෝප්පය රැගෙන තාත්තාට පිළිගනවන්නට පුරුදුවී සිටියෙමි.

තාත්තා හානසි පුටුවේ දිග ඇදි, පුවත් පතේ මුහුණ ඔබාගෙන එය කියවයි. පාතින් එබී බලමින් කෝපි කෝප්පය පිළිගන්වන්නට වෑයම් කරන කුඩා මට පෙනෙනනේ එවකටත් පැසී තිබුණ ඔහුගේ සුදු රැස් වළල්ලක් වැනි අවුල් වූ කෙස් වැටිය පමණය. යමක් කියවන්නට ගත්විට තාත්තා බීරෙකු වැන්න. මගේ කට හඬ ඇසී, ඔහු පුවත් පත පහත් කරයි; නොහඳුනන්නකු දුටු සේ මගේ මුහුණ දෙස බලයි. එහෙත් මොහොතකින් ඔහුගේ මුහුණ පුරා සිනහවක් පහළ වෙයි. මා දෑත දිගුකර දෙන කෝපි කෝප්පය අතට ගනියි.

එහෙක් අක්කත් මැත් උදෑසනින් නැඟිට මෙසේ ක්‍රියා කිරීම, කුඩා අපගේ කීකරු බැතිමත් හැසිරීම කියා පාන්නක් වී යයි මට අවංකව කිව නොහැක. එකල තාත්තාට ලේක් හවුසියෙන් ලැබුනේ සුළු වැටුපකි. මහන්සි වී පොත්පත් ලිවී- මෙන්ද ඔහු අමතර මුදල් ලබා ගත් නමුත් ළමයින් හය දෙනෙකුට කවන්නට, පොවන්නට, ඇඳුම් පැළඳුම් සහ පාසැල් පොත් සපයන්නට, පාසැල් ගාස්තු ගෙවන් නට එය ප්‍රමාණවත් නොවූ හෙයින් අම්මාට ඉතා අර පිරි මැඟිල්ලෙන් වෙහෙසී වැඩ කරන්නට සිදු විය. ළමයින් වූ අපට සිරිතක් වශයෙන් උදේට කෝපි බොන්නට නොලැබිණ. නමුත් තාත්තට දුන් ලොකු කෝපි කෝප්පයෙන් තුනෙන් පංගුවක් පමණ ඉතිරි කොට කෝපි කෝප්පය ගෙන ගොස් ඔහුට පිළිගන්වන අක්කාට හෝ මට දීම, ඔහුගේ සිරිත විය. තාත්තාට කෝපි වලින් කොටසක් ඉතිරි කිරීමට අමතක වුයේ ඉතාම් කලාතුරකිනි. එවැනි දිනයක " ඇයි මට මතක් කරේ නැත්තේ " යි ඔහු සිනාසී මගෙන් අසයි. එවිට ම ලජ්ජාවෙන් මිරිකුණේ බැතිමත් හැසිරීමේ වෙස්ගත් මගේ කෑදරකම එයින් එළිදරව් වූ නිසා විය හැක.

'' හරිම ජරා කෝපි වගයක්. ප්‍රේමා කොහෙන්ද මේ කෝපි ගෙනාවේ '' යි ආලින්දයේ හාන්සි පුටුවේ දිගාවී උන් තාත්තා ඇතැම් දිනක මොරගාමින් අම්මාගෙන් අසයි.

'' ඔය කෝපි මම නෙවි ගෙනාවේ. ඔය කොළඹින් ගෙනා කෝපි' යි අම්මා ද පෙරළා මොරගාමින් පිළිතුරු දෙයි.

මෙසේ මොරගාමින් කතා කරන්නේ දෙදෙනා අතර ඇති අසතුටක් නිසා නොවේ. අපට අන්දවා කවා පොවා වේලාවට පාසැලට පිටත් කරන අටියෙන් අම්මා ආලින්දයෙන් එපිට ඈත කොනේ වූ කුස්සියට හෝ කාමරයට දුවමින් කලබල කරයි. මේ නිසා දෙදෙනා අතර දෙබසක් කළ යුත්තේ මොරගාමීන්ය.

" වෙන්න බෑ. මම ගෙනාවේ හොඳම කෝපි වගයක් '' යි තාත්තා යලිත් කියන්නේ සාමාන්‍ය කටහඬින් නිසා එය අම්මාට නො ඇසේ. මෙසේ පිළිතුරු දීම, ඔහු කටින් නොපිළිගත් දේ, සිතින් පිළිගත් බවට කරන ඉඟියක් ලෙස මට වැටහේ.

තාත්තා පෙරවරු එකොළහට හෝ දොළහට ලේක් හවුසිය බලා ගොස් ආපසු එන්නේ රෑ දහයට පමණය. සෙනසුරාදා හැර සතියේ ඉතිරි දවස් හයේ ඔහු මෙසේ වැඩ කරයි. මේ නිසා ළමයින්ගේ දඟකාරකම් සහ අකීකරු කම් මෙල්ල කිරීමේ කාරිය පැවරුණේ අම්මාටයි. ලොකු අය්යාගේ අත් උදව්වද මේ සඳහා ඈ යෙදවූ බව මට හොඳින් මතකය. අම්මාගේ පැමිණිල්ලක් උඩ ඇතැම් විට තාත්තා රුදුරු වෙසකින් අපට තර්ජනය කළ විට අප මහත්සේ බියවීමු. ඔහු ඉඳහිට සිහින් කෝට්ටක් ගෙන අපට තැලූ විට අප මර හඬ නැංවුයේ වේදනාවට වඩා බියෙනි.

ළමයින්ට කරදර හානි සිදුවේ යැයි තාත්තා වෙන දෙමාපියන්ට වඩා දැඩි බියෙන් හා සැකයෙන් ඇතැම් විට පෙලුනේ යැයි මට හැඟේ. ඇබැද්දියක් නිසා අපෙන් එකෙකුට කරදරයක් සිදුවූ විට ඔහු එය සුළු වුව ද, මහත් කොට සලකා, අපටත් අම්මාටත් දොස් නඟයි; මහත් සිත් තැවුලෙන් පසුවෙයි. දැඩි නොසන්සුන් ගතියකින් පෙලෙන විටෙක ඔහුගේ දොස් නැඟිම් වලට සහ බැනුම්වලට ඉලක්කය වූ අම්මා කරබාගෙන සිටින්නීය; කරබාගෙන නොසිටි අවස්ථාවක තාත්තා පිඟානක් පොළොවේ ගසා පොඩි කරමින් දැඩි කෝපය උතුරුවා හැරිය සැටි මට මතකය. දැඩි නොසන්සුන් ගතියක් ඇති කරන යම්කිසි සිද්ධියක් කියා තැවුල් වූ සිතින් පෙළෙන විට තාත්තාගේ ශරීරය ද දුර්වල වෙයි; බඩ පිපෙයි; කෑම අප්‍රිය වෙයි; ඇතැම් විට මල බද්ධයෙන් ද තවත් විටෙක අජිරණයෙන් ද පෙළෙයි; හින්ද නොයයි; ඇතැම් විට හීනයෙන් බයවී නින්දෙන් රෑ යාමයේ කෑගසයි. තාත්තාගේ සිහින ලොවට මාද අකමැති හවුල් කාරයෙකු වුයේ ඔහුගේ නිදන කාමරයේ දොරකඩ, මා නිදාගත් සාලයට විවෘත වූ බැවිනි.

...... තිගැස්සී ඇස් ඇරිය මට කළුවර සාලයේ එක බිත්තියක් යන්තම් සුදට පෙනෙයි. ගැඹුරු කට හඬක් බිත්තියේ වූ කළු දොරකඩින් පිටවෙයි. අමනුස්ස බසකින් දොඩන්නක් වැනි ඒ අනන් මනන් නතර වනවාත් සමඟම තියුණු උස් හඬකින් කරන අඳෝනාවක් මට ඇසේ. මේ දෙබස පිට වන්නේ තාත්තාගේ මුවින් බව මම දැන සිටියෙමි. වරක් තර්ජනංනාකාර කටහඬක් ඇසෙයි; මොහොතකින් එය බියෙන් කෑ ගසන්නෙකු තියුණු ස්වරයකින් නගන අදෝනාවකට හැරේ. හඬවල් දෙකම එකවරට දොඩන්නක් මෙන් ද විට ඇසෙයි. සිතල වූ මගේ හමේ සිරිගඩු පිපි දහඩිය මුතු වෙයි.

කුඩා දරුවෙකු සනසන්නාක් මෙන් මෘදු ස්වරයකින් කියන වදන් දැන් මට ඇසෙයි. ඒ සිහිනෙන් බිය වූ තාත්තා අමතන අම්මාගේ කට හඩයි. කෙමෙන් තාත්තාගේ භයානක දෙබස නතර වෙයි.

කෙමෙන් '' මම හීනෙන් කෑ ගැහුවා ද '' යි තාත්තා සෙමින් කියනු මට යන්තම් ඇසෙයි.

දරදඩුව උන් මම අත් පා බුරුල් කරමි...

තාත්තාගේ මනස තුළ ඇතැම්විට හොල්මන් කළ අදුරු සෙවනැලිවලට හේතු වූ අතීතය පිළිබඳ ඉඟියක් ඔහුගේ ආත්ම චරිත කථාව වන "උපන්දා සිට" සහ ඔහුගේ සමහර කෙටිකථාවලට මෙන්ම නවකතාවලට ද පිවිස ඇතැයි  මට සිතේ. තාත්තාගේ දෙමාපියන් යමක් කමක් තිබුණු කුලීනයෝ වූහ. ඔවුන් කෙමෙන් පිරිහී දිලිදු බවට පත්වීමේදී තම දූ දරුවන්ගේ අනාගතය අරඹයා ඔවුන් තුළ ඇති වූ බිය, වේදනාව, සැකය, ලජ්ජාව, කළකිරිම සහ අසරණකම විදි යනාදී හැඟීම් තාත්තා අතීතයෙන් ලැබූ අත්දැකීම් වලට සම්මිශ්‍රණය වී ඔහුගේ යටි සිතෙහි සැඟවී සිට වරින්වර මතු වී හොල්මන් කරන රූකඩ වැන්න.

ගැමි අතීතයෙන් ලත් අත්දැකීම්වල බලපෑම තාත්තායන් ගති සහ ඇබ්බැහිකම් තුළින් වටහා ගැනීම අමාරු නැත. ඔහුගේ ඇතැම් ගතියක් පාරම්පරිකව අපගේ හැසිරීම තුළ ද පවතියි.

තාත්තාගේ බාලම මුනුපුරාවක මගේ තුන් ඇවිරිදි පුතා " පුකේ වැඩක්" වදන නැවත නැවතත් හඬ නගා කියමින් මිදුලේ එහාට මෙහාට දුවයි. අමුත්තෙකු සමග කථා කරමින් උන් අම්මා මගේ බිරිඳ දෙස බලා ඇගේ මුනුපුරාගේ යන වදන් නෑසුනාක් මෙන් පෙරට වඩා ටිකක් ශබ්ද නගා අමුත්තා අමතන්නීය. එහෙත් සිංදුවක් කියන්නාක් මෙන් තියුණු හඬින් කියන ලද පොඩි එකාගේ වදන් අමුත්තාගේ කට කොනට සිනහවක් නංවයි.

අමුත්තා පිටත් වී ගිය පසු අම්මා තාත්තාට දොස් නැගුවාය.

සීයා කටට ආ එක කියන හින්දා මේ පුංචි දරුවටත් නරක වචන පුරුදු වෙලා තියෙන්නෙ ''

'' සියගෙන් විතරක් නෙවි, තාත්තගෙනුත්""යැයි මගේ බිරිද සිනාසෙමින් කීවාය. තාත්තා ලියන කියන වහර තුළින් ඔහුගේ ගැමි අතීතය පිළිබිඹු වෙයි. එහෙත් එය නිර්මල ලෙස මතු වන්නේ ඔහු කිසිවෙකුට බැන වදින විටදීය. " උන් ඉංග්‍රීසිකාරයින්ගේ රිඹ ලොවින්න පුරුදු වූ අනුකාරකයෝ ''; හුළං බූරුව '' යන මෙවැනි වැන්වලින් යකුට බැන වදිනව, ඇසු අපි හොඳට සිනාසුනෙමු. ග්‍රාම්‍ය, අවිනීත ලෙස සලකා නගරිකයෝ මෙවැනි වදන් පිළිකුලින් බැහැර කරති. එහෙත් ගැමි වහරේ එන මෙවැනි වදන් අප සිත යෙමු කරන්නේ කෝපයට හා වෛරයට නොව සිනහවට සහ සමච්වලයට යයි බාල වියෙහි දී වුව මගේ හැඟීම විය. තාත්තා යමෙකුට බැන වදිනවා ඇසුවෙකුට කෝපය සහ කළකිරීම පරිහාසය සිනහවකට පෙරළීමෙන් එය පහකරන ගතියක් ගැමි වහරේ පවතින බවට ඉඟියක් ලැබෙනවා ඇතැයි මට සිතේ.

තමා නාගරික පරිසරයට අනුව හැඩ ගැසුණු ගැමියෙකි යැයි තාත්තා කීවේය. මට මතක ඇති කාලයක සිට ඔහු සුන්දර මෝස්තර ඇති ඇඳුම් අඳින්නට පළඳින්නට ආසා කළේය. ඔහු ගමනක් යන්නට ඇඳ පැළඳ ගත්තේ තම පෙම්වතිය හමුවීමට යන්නට සැරසෙන තරුණයෙකු මෙන් ඉතා සැලකිලිමත්වය.

 


කන්නාඩියකින්සේ මුහුණ පෙනෙන තුරු සාලයේ සහ ආලින්දයේ රතු සිමෙන්ති බිම ඔප නංවන්නට ඔහු ප්‍රිය කළේය. සෙනසුරාදාවක ඉටි පොලිෂ් ගා සිමෙන්ති බිම ඔප නැංවීමේ කාරියට බාල අයියා සහ අක්කා සමග මමද හවුල් කාරයෙක් වූයෙමි. ඔහු යමක් කිරීමේදී සෑම විස්තරයක්ම හොඳට සොයා බැලුවේය. සිමෙන්ති පොළව බිත්තියට යාවෙන තැන වූ පටු සිමෙන්ති ලිස්තරය වුව ද ඔප නැංවීමට ඔහු මහත් උනන්දුවක් දැක් වූයේය. පරණ දත් බුරුසු පාවිච්චි කරමින් බිත්තියේ නොගෑවෙන සේ සීරුවෙන් පොලිස් ගෑම අප නම් සැලකුවේ හරිම කරදරයක් ලෙසය.

ඔප නංවන ලද සිමෙන්ති බිම දෙස මනැසින් හැරී බලන මට අද එහි මැවී පෙනෙන්නේ අප සමාජයේ විකාශනය පිළිබඳ ඔහු දැක්වූ ආකල්පය පිළිබිඹු කරන මගේ සිතුවිලිය. අනුකරණයෙන් ඉංගිරිසිකාරයන් වන්නට දඟලන නාගරිකයන්ට බැණ වදින ඔහු, අනුකරණයෙන් ගැමියන් වන්නට වෑයම් කිරීම ද, කුහක කමක් ලෙස සලකා එය සමච්චලයෙන් බැහැර කරයි.

ඔහු අපේ අතීතය හැදෑරුවේ නටඹුන් සමාජයක් අනුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ ඇදී ඇති ඇතැම් මුල් වඩා, වත්මන් සමාජය, සමාජවාදී මානව භක්තියෙන්, ස්වාධීන චින්තනයෙන් සහ නිවහල් ජීවයෙන් පෝෂණය කිරීම පිණිසය.

තාත්තා අපගේ පාසැල් අධ්‍යාපනය ගැන සොයා බැලුවේ ඉතා කලාතුරකිනි. පාසැලෙන් ලැබූ හොඳ රපෝර්තුවක් පෙන්වූ විට, තාත්තා අපට පොතක් දෙකක් තෑගි කළේය. ඇතැම් විටෙක ඔහු සමඟ ඇම්. ඩී. ගුණසේන සාප්පුවට ගොස් පොතක් දෙකක් තෝරා ගෙන, බොදුන් සැලකින් රස කැවිලි කා බී, ගෙදර ආ ප්‍රීතිමත් දවස් මට මතකය.

ඔහු අපට තෝරා ගෙනැවිත් දුන් ආර්. ඇම්. බැලන්ටයින්ගේ ' කොරල් දූපත' වැනි පොත්වලින් අප ලැබූ, මහත් ආස්වාදය ඔහුගේ මුනුපුරන් ලබන්නේ ' මඩොල් දුව '' කියවීමෙනි. අප පොතක් කියවමින් සිටින සමහර විටෙක ඔහු එය කුමක්දැයි විමසා, අතට ගෙන පිටු පෙරල අතරින් පතර කියවයි. එය නුසුදුසු හෝ කබල් පොතක් වී නම්, කොක් හඬ නංවමින් පරිහාසාත්මකව සිනාසී " හරිම ජරාවක් යයි කියයි. එහෙත් ඔහු යම් පොතක් නොකියවන ලෙස අපට අණ නොකළේය. අප ඉගෙන ගත් ඇතැම් දේ ගැන, අප කුප්පන අන්දමින් තර්ක කොට, කුහුල අවුස්සා සිද්ධාන්ත වශයෙන් සැලකූ අපේ ඇතැම් මත ගැන තාත්තා අප තුළ සැකයක් ඇති කළේය.

ළමා වියෙහි නිතර දැකීමෙන් මතකයේ කැටයම් වූ සිතියමක් මට මනැසින් පෙනේ. ලියන මේසය මත සෙම්බුවක හැඩහුරු කමින් යුත් පිත්තල ලාම්පුවෙන් නික්මෙන එළිය, දැල්වෙන තිරය වට කරන විදුරු විමිනිය තුළින් කහවත් ආලෝකයක් නිකුත් කරයි. ලාම්පුවේ එළියෙන් තාත්තාගේ හිසකෙස් සහ ඔහුගේ අකුරු ලියැවෙන සුදු කඩදාසි එකසේ බබලයි. ලියන දෙයට යොමුවූ මුහුණ, පුළුල් නලල් තලයෙන් වැටෙන වක්‍ර සෙවනැල්ලට මුවා වී යන්තම් පෙනේ. ලාම්පුවේ එළියෙන් නලල් තලය දිලයි. බිත්ති වල වැටෙන මෘදු එළියෙන් යන්තමට පෙනෙන පොත් රැක්ක නිසොල්මන්ව බලා සිටින පිරිසකගේ සෙවනැලි මෙන් දිස්වෙයි.

මා මිනසින් මැවූ මේ සිතුවම අද සැබවින්ම ඔහුගේ මුනුපුරන්, මිනිපිරියන් දකින්නේ මේසය මතවන විදුලි ලාම්පුවක එළියෙනි.

කල සන්තානයෙන් අප විසින් කැටි කර ගන්න නොයෙක් මුහුනත් වලින් යුතු පළිඟුවේ අපට ඇතැම් විටෙක නිර්මල ලෙස පෙනුනු ළමා අතීතයේ සිද්ධියක් අප තුළ මොහොතකට තියුණු බුද්ධියක් ඇති කරයි. මා තාත්තා නිරූපනය කළේ මෙලෙස අතීතයෙන් ලත් බුද්ධියක් ඇතිවයි.

 

මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල ප්‍රාඥයා

81 - 85 පිටු

 

Friday, August 5, 2022

මැරිලින් මොන්රෝ එක්ක සතියක්




මම මැරිලින් මොන්රෝ ගැන හොයන්න ගත්තෙ my week with Marilyn චිත්රපටය බැලුවට පස්සෙ. චිත්රපටය ඇතුලෙ කතා නායක ක්ලාක් නැමති තරුණයා( මැරිලින්ට වඩා වයසින් බාල) එක්තරා චිත්රපටයත් රූගත කරන අතරෙදි මැරිලින් එක්ක පෙමින් බැඳෙනවා. මේ ප්රේමයේ ආයු කාලය සතියක් පමණ කෙටි එකක් වුණත් ඒ ප්රේමය ඇතුලෙ තරුණයගෙ මනෝභාවයත්, මැරිලින් ඒ කාලසීමාව ඇතුළෙ කොතරම් මානසික ආතතියකින් සිටියද කියන එකත් හොඳින් අනාවරණය වෙනව. මැරිලින් ඒ වෙද්දිත් සිනමා ලෝකයේ බැබලෙන තරුවක්. ක්ලාක් වගේ නිකම්ම නිකං සහාය අධ්යක්ෂක වරයෙක්ට මැරිලින්ගෙ ආදරය දිනා ගැනීම කෙසේ වෙතත් මැරිලින් නිකං හැරිල බලයිවත් කියල හිතාගන්න බැරි තරමේ ජනප්රියත්වයකයි ඈ ඒ වෙද්දිත් පසුවෙන්නෙ. කෙසේ නමුත් චිත්රපටය රූගත වෙන ඉතා කෙටි කාලසීමාවක් ඇතුලෙ ක්ලාක් මැරිලින්ව නොව මැර්ලින් ක්ලාක්ව පතාගෙන පැමිණෙනවා.

මේක මැරිලින්ගෙ පැත්තෙන් ආදර සම්බන්ධයක් ආරම්භ කරනවටත් වඩා ඇගේ ආතතිය, පීඩනය හෝ අවංක චේතනාවකින් ඇඟේ හැඟුම් තේරුම්ගතහැකි මිනිසෙකු සොයාගැනීමට ඇගේ ඇති උවමනාව පෙන්නුම් කරන තැනක් වගේ.
ජනප්රියත්වයේ හිනිපෙත්තේ සිටින්නෙකුට තම ජනප්රියත්වය නිසාම අව්යාජව තමාට ආදරය කරන්නෙකු සොයාගැනීමේ දුෂ්කරතාව මැර්ලින් හා ක්ලාස් චූල පෙම් පුවත හරහා අපට පසක් වෙනව. මැර්ලින් ඒ වෙද්දිත් ඉන්නෙ විවාහ දෙකක් අසාර්ථක වීමෙන් පසුව ජීවිතයේ හෙම්බත් වූ මානසික තත්වයක. ක්ලාක් වැනි අති සාමාන්ය මිනිසෙකු/ තරුණයෙකු ඒ හෙම්බත් විකාරරූපී ජීවිතයේ වේදනාවට යම් ආකාරයකට සුවයක් අරගෙන එන්නට සමත් වෙන බවක් ඈ විස්වාස කරනවා. කොටින්ම ඇයට අවශ්යවන්නේ ජනප්රියත්වයේ සලුබරණ උනා දමා ඊට යටින් ඇති පියවි ජීවිතේ එක්ක සම්මුඛ වන්නෙක්ව බවයි පෙනෙන්නෙ.
චිත්රපටයේ වැඩ අවසන්වීමත් සමඟම මැර්ලින් හා ක්ලාක් සම්බන්ධයටද අවසානය සනිටුහන් වෙනව. ඒ වෙද්දිත් මැරිලින් කියනව තමන්ට මේ ලෝකයෙන් ගැලනේන බැරි බව. සිනමාව ඇගේ ජීවිතය වෙලා ඉවරයි. එහෙමත් නැත්නම් සිනමාව ඇගේ ජීවිතය වෙලාගෙන ඉවරයි. ඉතින් ඈ ඒ තාරකාවක් වීමේ පිපාසිත ආසාවටද ආදරය කරනවා.
කතාව ගලාගෙන යන්නෙ ක්ලාක්ගෙ පැත්තෙ ඉඳන් උනත් කතාවෙ මූලික අරමුණ නිබිගත වෙලා තියෙන්නෙ මැරිලින් වෙත බවයි සිතෙන්නෙ. මැරිලින්ගේ වේදනාබව ආතතියෙන් පිරුණු ජීවිතය දෙස අපේ සානුකම්පිත හැඟීම දනවන්නට හැම රූපරාමුවක්ම සැදී පැහැදී ඉන්නවා වගෙයි.

Thursday, August 4, 2022

සහෘද සාක්ෂිය - අමරකීර්තිත්තෙක්ක වෙනසක

 




නජිලා අධිකාරි කියල අලුත් කිවිඳියක්ගෙ කවි කිහිපයක් කියෙව්වා ලියනගේ අමරකීර්ති සර්ගෙ වෝල් එකේ තිබිලා. ඔහු කියන විදිහට ඒ ඔහු හා වට්ස්ඇප් මාර්ගයෙන් කවි ගනුදෙනු කරනා 19 හැවිරිදි කිවිඳියක්.

මේ කවි කියවිල්ල මාව රැගෙන ගියා අවුරුදු 10ක් 12ක් විතර ඈතට. හරියටම කැම්පස් කාලෙට. ඒ කාලෙ මං පිරිසක් ඉදිරියේ වචනයක්වත් අමුණගන්න බැරි තරමේ ඔතෑනි - සිරිමත් වගේ ළමයෙක්. ඒ නමුත්  පේරාදෙණි එද්දිම සාහිත්‍ය උන තදටම වැදිල තිබුණා අන් කවර දේකටත් වඩා.

ඒක අමරකීර්ති පේරාදෙණියෙ ඇවිත් දෙවනි අවුරුද්ද වගෙයි මතක. ඒ කියන්නෙ අපි වගේම ඔහුත් පේරාදෙණියට අලුත්.  ඔහු පළමුකොටම අපිට ඉගැන්වීම් කලේ සිංහල විෂයටම අදාළ කෙටි නාට්‍ය සම්බන්ධ දේශනයක්. ධනංජය කරුණාරත්නගෙ ඔබ සාපේකෂයි නාට්‍ටියේ පිටපත අපිට කියවන්න නිර්දේශ කරපු ඔහු අපි දෙන්නෙක්ට ඒකෙ දෙබස් දේශනය අතරතුර නාට්‍යානුසාරීව කියවන්න පවා දුන්නා.

ඒ නාට්ටියේ මට කියන්න තිබුණු දෙබසක කෑල්ලක් මට තාම මතකයි..

එතකොට කවුද මට කලින් ඒ නරුම වැඩේ කරපු පො.න්නයා...

මං ලෙක්චර් හෝල් එක දෙවනත් වෙන්න මේ දෙබස කිව්වා. මගේ ඇතුලෙන් පවා මට දැනුනෙ දෙදරීමක්. සර් නං ඒක සාමාන්‍ය දෙබසක් විදිහට තැකුව වගෙයි පෙනුනෙ. අපිට හඳුන්වාදෙන මේ අමුතු නාට්ටි, කවි, කෙටිකතා එක්ක  සර්ගෙ අමුතු ගති පැවතුම්, ආකල්ප වගේම දේශනයේදි හැසිරෙන ආකාරය පවා අපේ සිත් ගත්තා. කොටින්ම දේශනයක් අතරතුරදි ඔහුගෙ අත් වැඩකරන - හැඩකරන රිද්මය ඔහු නැති තැන්වල අනුකරණය කොට අනෙක් ළමයින්ට පෙන්වා හිනා ගැස්වීමට පවා මං ඒ කාලෙ පෙළඹුනා.

ඇත්තෙන්ම මට කියන්න ඕන මේකයි. අමරකීර්ති සර් ගුරුවරයෙක් විදිහට වගේම මිත්‍රයෙක් හෝ සමීපතමයෙක් විදිහට අපේ සාහිත්‍ය - කලා ලෝලී ගමන් මාර්ගය වෙත විශාල ආලෝක ධාරාවක් එල්ල කරන්න ඒ කාලෙ ලොකු උත්සාහයක් ගත්තා. මේ ඒ ආලෝක ධාරා ඇතිකළ ගමන ගැන කෙටි සටහනක්.

ලියනගේ සර්ගෙ මේ අමුතු විප්ලවකාරී පොලාපැනීම සිංහල විෂයක් විදිහට හදාරන කිහිපදෙනෙක්වම වසඟකරගෙන තිබුණා.  මාත් සුදර්ශනත් ඒ අතර ඔහුට විශේෂිත වෙන්න ඇති. සිව්වන වසර වෙද්දි අනෙක් දේශන වලට යාම සහමුලින්ම අතහැර තිබුණ නමුත් ලියනගේ සර්ගෙ දේශන මග නොහැරම යන්න මම තීරණය කළාටත් වඩා නිරුත්සාහිකවම උනේ ඒක.

සුදර්ශනත් මාත් දෙන්නම ඒ වෙනකොටත් බූන්දියට කවි ලියන්න පටන් ගෙනයි තිබුනෙ. බූන්දියේ අපේ කවි වලට යම් සාධනීය ප්‍රතිචාර එමින් තිබුණු කාලයක් ඒක. එතකොට ෆේස්බුක් මේ තරම් සමාජය ආක්‍රමණය කරගෙන තිබුණෙත් නැති නිසා බූන්දියට සාහිත්‍ය ලෝකයේ විශාල ඉඩකුත් විවර වෙලා තිබුණ.

කෙමෙන් අපේ සමීපතමයෙක් බවට පත්වෙමින් සිටි අමරකීර්ති මටත් සුදර්ශනටත් කාමරයක් පුරවා අසුරා ඇති තම පුස්තකාලය අස්පරස් කිරීමට ඔහුගෙ නිවසට එන්නැයි ආරාධනා කළා. අපි ඊට සහභාගී උනේ එක පයින්. ඒ පොත් ගොඩ අස්සේ දවසක් ගත කරන එක අපිට හීනයක්. පොත් අස්කරනවා වෙනුවට අපි කළේ වාඩිවෙලා පොත් පෙරලපු එක. පොත් අතගාන එක. අලුත් කවි පොත් වගේම පරණ හම්පඩ කවි පොත් ගානක් ඒ රාක්කවල අසුරලා තිබුණා. ගොඩක්ම පරණ පොත්වල කතුවරයගෙ අත්සන සහිතවම තිබුණු පොත් පවා අපි බැලුවෙ පුදුම අනුරාගෙකින්. එහෙම පුස්තකාලය අස්කරද්දි ඔහුත් අපි එක්ක ඒව තෝරනවා. එහෙ මෙහෙ කරනවා. සරෝජනී මිස් අපට තේ - බීම ගෙනත් දෙනවා. සමහරවිට දවල් කෑම පවා ලැබෙනවා. කතාබහට ඔතෑනි මම කතාබතා නැතිවම පොත් පීරනවා. පෙරලලා කවි කියවනවා. භූගත කවි සිත... චන්ද්‍රකුමාරගෙ පොත මට මුලින්ම මුනගැසුනෙ මේ පොත් රාක්කවල තියෙද්දියි.

සුදර්ශනට ඔහු එක්ක ලොකු දුරස්බවක් තිබුනෙ නෑ. සුදර්ශනට අමරකීර්ති සර් කියන්නෙ ගුරුවරයෙක්ට වඩා බොක්කෙ යාලුවෙක් වගේ වෙලයි තිබුණෙ.  ඔහුගෙන් කෙලින්ම පොත් ගැන අහනවා. මේ පොත කොහොමද? මං මෙයාගෙ අහවල් පොත බලල තියෙනවා වගේ කතාවකින් මුල පිරුවම ඒ කතාව දිග සාහිත්‍ය සංවාදයක් බවටත් පෙරලෙනවා. මං මහත් ආසාවකින් මොකක් හෝ පොතක් දිහා බලන් ඉන්නව දැක්කම දමිත්ට ඔය පොත ඕනද? අරන් ගිහින් කියවන්න... ඔහු ප්‍රශ්නයත් අසා පිළිතුරත් ලබා දුන් අවස්ථා තාමත් මට මතකයි.

ඔයාකාරගෙන් ලියනගේ අමරකීර්තිගෙ පොත්ගුලේ අපි කිහිපවතාවක් පොත් පත් අස්පරස් කරන්නට යොමු උනා. කාලය ගතවෙන එක සෙමෙන් වෙද්දි සුදර්ශනම මූලික වෙලා අහනවා සර් අපි පුස්තකාලෙ අස් කරන්න එන්නදැයි කියා. ඔහොම බලෙන් පොත් කාමරේ පිරිසිදු කරල දුන්නු අවස්ථාත් නැතිවම නෙමෙයි.

කාලයක් ගිහින් හිතද්දි හිතුනෙ අමරකීර්ති සර් මේ වගේ අවස්ථා අපට ලබා දුන්නෙ හිතාමතා නේද කියල. සමහරදාට ඔහුගෙ මුළු පවුලෙම අය කුලියාපිටියෙ යද්දි ඒ නිවාඩු දවස් දෙක තුන තමන්ගෙ නිවසෙ නවාතැන් ගන්න කියල ඔහු තම නිවසේ  යතුරු අපිට භාරදීල ගියා. ඒක විස්මිත අවස්ථාවක්. සුදර්ශනත් මාත් මේ පනිවිඩ ලද විගස ඉන්නෙ දින ගැන ගැන නොඉවසිල්ලෙන්. දවස් දෙකක් හෝ තුනක් අපි සාහිත්‍ය රාජධානියක ලැගුම්ගන්නව වගේ හැඟීමක්. කඳුගැටයක හැඩේට හදල - නිමවල කියෙන ඒ නිවස තට්ටු දෙක තුනක වගේ පඩි නගින්න තිබුණා. පුස්තකාලෙ තිබුනෙ උඩම. කුස්සිය, සාලෙ තිබුනෙ යටම. උයාගෙන කාල නාල පොතක් කියවල ෆිල්ම් බලල සර්ල ගෙදර එනතුරා කල් ගෙවන්නයි අපිට නියමිත වෙලා තිබුනෙ.

දවස ගතකරන ආකාරය ගැන අපි දෙන්නටම අදහසක් තිබුනෙ නැ. ෆිල්ම් බලනවද, පොත් කියවනවද, හොඳ කෑමක් උයාගෙන කාල සර්ගෙ සැර බීමක් ගසල වෙරි වෙනවද වගේ දාහකුත් ආසාවල් එකට තෙරපුනා. අපි මේ හැමකක්ම කරන්න ගිහින් එකක්වත් හරියට කරගන්න බැරි උනා වගේ හැඟීමකුත් ආවා.

නිවාඩුව අවසන්වෙලා ආපහු ගෙදර එද්දි සර් අපිට මොනවමහරි තෑග්ගකුත් ගෙනාව හැටි මට මතකයි. වතාවක් මටත් සුදර්ශනටත් දෙන්නටම ටී ෂර්ට් එක ගානෙ තෑගි ලැබුනා. තව දවසක් ඔහු එද්දි සැර බීමක් (වොඩ්ක වගේ මතක) අරගෙන ආවා. එදාට අපි අයිස් කැට දාල මහත වීදුරුවල ඒ බීම බිව්වෙ සර් එක්ක කලා ලෝකෙක කරක් ගහමිනුයි.

කලාවත්තෙක්ක වෙනසක කියන සංවාද කවය අපි පටන්ගත්තෙ ඔයකාලෙමයි. මේකෙ අරමුණ උනේ කැම්පස් එකේ අය අතර සාහිත්‍ය - කලා කතිකාවක් ඇතිකරන්න. කවි හඬනගා කියවන්න. ඒකෙන් ආකල්පමය වෙනසක් වෙත කැඳවාගෙන යන්න. මේකට අපි පොඩි හෑන්ඩ් බිලක් හැදුවා. සුදර්ශන තමයි මේකෙ අරමුණ දිගට ලියන්නෙ. ඒ ලිවීම්වල අමුතු ගැඹුරක් - බරක් තිබ්බා. මං ඒ දවස්වල යතුර කියන නමින් බිත්තු පුවත්පතක් කලා. ඒකත් තරමක් නැගල ගියා. ලෙක්චර් හෝල් එකකට යන අතරෙ අනෙක් ළමයි වගේම ඔහුත් යතුර ලඟ නැවතිලා කවියක් දෙකක් කියවලා යන්න අමතක කළේ නෑ.

මේ හැමකකින්ම ලියනගේ සර් උත්සහ ගත්තෙ නිර්මානකරුවො විදිහට අපිට යම් තල්ලුවක් දෙන්න බව මට අද හිතෙනවා.මේ නජිලගෙ කවි උපුටද්දි මට ඒ මතක දෙගුණ වෙලා මතකෙට එනවා.  මගේ හෝ සුදර්ශනගෙ කවියක් නැත්නම් නිර්මාණයක් තදින් වැඩ කළා නම් ඔහු ඇමතුමක් අරගෙනම ඒ ගැන කියන්න පසුබට උනේ නෑ. පේරා අවසාන කාලෙ මාත් සුදර්ශනත් එක්කාසුවෙලා කරපු සුමිත්ත කියන කෙටි නාට්ටිය ඔහුගෙ නොමද පැසසීමට ලක් උනා. සුදර්ශනටත් මටත් අංකුර නිර්මාන ශිල්පීන් විදිහට මතුවෙන්න අපේ සාහිත්‍ය කලා ගමන වෙනුවෙන් නිර්ලෝභී පරිත්‍යාග ගොඩක් කරන්න ඔහු දායක උන බව කිව යුතුයි. තමන්ගෙ ශිෂ්‍යයෙක් හෝ තමන්ගෙන් ගුරුහරුකම් ලබන්නෙක් ඉතා හොඳ නිර්මාණශිල්පියෙක් විදිහට වැඩෙමින් තමන්ටත් වඩා ඉහළට ඇදෙද්දි එන මහා සන්තෝසය මාත් ගුරුවරයෙක් නිසා මටත් අද වැටහෙනවා. ඔහු ඒ නිරාමිස ප්‍රීතිය අප නිසා අත්විඳින්න ඇති.

නජිලගෙ කවි දකිද්දි, ඔහු ඒ කවි උපුටද්දි ඒ දවස්වල අපිට ගුරුහරුකම් දුන්නා වගේ සාහිත්‍යාත්මක ඔවදන් දෙන අස්සේ ආඩම්බරකාර සන්තෝසකුත් - ජොලියකුත් ඔහුගෙ හිත ඇතුලෙ තදබද වෙලා ඇති. ගුරුවරයෙකුට ඒ සතුට තරම් සතුටක් කොයින්ද?

Wednesday, June 1, 2022

හැන්දෑවරු

 



ගාලු කොටුවෙ හවසක් කියන්නෙ වචනෙන් කියන්න බැරි අත්දැකීමක්. කොහොමටත් ගාලු කොටුව ඇතුලෙ රවුමක් ගහන එක ඇතිකරන හැඟීම අන් කවර අත්දැකීමකටත් වඩා වෙනස්. මට හැමවෙලාවෙම දැනෙන්නෙ මං නන්නාඳුනන විදෙස් රටක ඇවිදිනව වගේ දැනීමක්. ඉස්සර - මීට අවුරුදු දෙක තුනකට කලින් මායි ඩිලක්ෂනුයි හැම සතිඅන්කෙම වගේ ගාලු කොටුවෙ ඇවිදින්න ගියා.

සමහරක් දාට කලුවර වැටෙනකම්ම අපි ඔහේ වැතිරිලා ඉන්නවා. ඇත්තටම අපි කරන දෙයක් නෑ - අපි දෙන්න කතා බහ කරන්නෙත් නැති තරං. තේරුමක් ඇතිව හෝ නැතිව ඔහේ මුහුද දිහා බලාගෙන ඉන්නවා. කාලය ඔහේ හුලඟෙ ගහගෙන යනවා. අන්ධකාරෙ තැවරිච්ච නන්නාඳුනන මිනිස්සු අපිව පසුකරගෙන ඇවිදිනවා. ළමයි සරුංගල් අරිනවා. සමහරු ක්‍රිකට් ගහනවා.  අහසක් කියල කිව්වට අපේ ඔලුවට උඩින් මේ තියෙන්නෙ නිමක් නැති - තෙරක් නැති හිස්ම හිස් අවකාශයක් නේද කියල මට මොහොතකට හිතෙනවා. මම කොටුව උඩ මොහොතකට හෝ කොටු නොවෙච්චි ජීවියෙක් වගේ හාන්සිවෙලා  ඒ මහා හිස්කම දිහාට ඇස් ඇරගෙන ඉන්නවා. ඒ වලාකුළු ඇබින්දක්වත් නැති හිස්ම හිස් අහසක්. ඩිම්බයක් හොයාගෙන යන ශුක්‍රානුවක් වගේ වල්ගය නලියන නයාපට්ටමමක් වරින් වර මගේ ඇසට හසුවන මායිමේ පාවෙනවා.

පළවෙනි කවිපොත නම් කරන්න ඕනත් හැන්දෑව කියල බව හැන්දෑවකින් මන්මත්වෙච්චි එක්තරා හවසක මං හිතුවා. හිතේ මොකක්දෝ සහනයක් - සංයමයක් ඇතිකරනසුලු දැනීමක් හැන්දෑවක තැවරිලා තියෙනවා. ඒ අන්ධකාරයයි, ආලෝකයයි මුහුවෙච්ච සංක්‍රාන්ති මොහොතේ සදාකාලිකවම ලෝකය නතර වෙලා තියෙනවනම්...

ඉස්සර පේරාදෙණියෙ අරුනාචලම් එකේ අඹගහ ලඟ බංකුවට වෙලා ඒ ඉදිරියේ තියෙන පිට්ටනි තුනේ දුවන - ඇවිදින - සෙල්ලම්කරන ළමයි මිනිස්සු දිහා වගේම පාරෙ ඈත කෙලවරට වෙනකං ඇදෙන යාන වාහන දිහාත් බලා ඉන්න එකේ කියාගන්න බැරි මිහිරියාවක් තිබුනා. පේරාදෙනි අහස යට මේ වෙලාවට නොයෙක් මාළු රෑන් රෑන් පීනන මාළු ටැංකියක් වගේ. එල්ලයක් නැතිව මගේ ඇස් ඒ සමස්තය දිහාම එල්ලවෙලා තියෙනවා. කල්පනා බැමි ලිහිල අයාලේ ඇදී යනවා. නිශ්චිත අරමුණක් නැතිව හැඟුම් විසිරිලා යන මේ වගේ වෙලාව දන්න අඳුනන කවුරුවමත්ම මුන නොගැසේවා කියල මගේ ඇතුළු හදවත ප්‍රාර්ථනා කරනව

ඒ ලෙවල් කරන කාලෙ හවස පන්ති ඇරිලා හියාරෙ හන්දියෙන් බැහැල කිලෝමීටර් තුන හතරක දුර පයින් ගෑටුවෙ පුදුම ආසාවකින්. කල්පනාවකට කරට අත දාගෙන ඒ තනිකම් හැන්දෑවෙ ඇවිදින එකෙන් ලැබෙන ආශ්වාදය වෙන කොහෙන්වත් ගන්නත් බෑ. ඇත්තටම ඒකට කියන්නෙ කල්පනා කරනව කියන එකද නැත්නම් කල්පනාවක් නැතිව හිත හිස්ම හිස් කරලා ඒ හිස්කමේ ප්‍රමෝදෙන් වල්මත්වෙන එකද කියන්න මං හරියටම දන්නෙ නෑ.

මං ලියන්න ගත්තෙ හැන්දෑව ගැන ද, කල්පනාවක් නැති කල්පනාවක තියෙන ආශ්වාදය ගැන ද, තනිකමේ සෞන්දර්යගැන ද කියල හිතාගන්නවත් බෑ. ඒ හැමකක්ම කවලම්වෙච්ච මේකත් අයාලේ ගියපු ලියමනක් ද මන්දා...

 

Tuesday, January 25, 2022

රේන් මෑන් - රේමන්ඩ්ගේ ජීවිතෙත් එක්ක චාලිගේ ජීවිතෙන් කොටසක්

 


චාලි කියන්නෙ අවුරුදු 25ත් 30ත් අතර අවිවාහක තරුණයෙක්. ඔහු දැඩි ආර්ථික අර්බුදයක ගැලිල ඉන්න මොහොතකයි චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. හිටි අඩියෙම ඔහුට ආරංචි වෙනවා තමන්ගෙ පියා මියගොසින් බව. චාලි තමන්ගෙ පියා එක්ක සියලු ගනුදෙනු අතහැරල ස්වාධීනව ජීවිකාව පවත්වාගෙන යන්නෙක්. පියාගෙ මියයාමත් තමන් මේ මෙහොතේ සිරවෙලා ඉන්න උග්‍ර අර්ථික අර්බුදයත් සමඟ පියාගෙ අන්තිම කැමත්ත කවරාකාර වෙන්න ඇත්ද කියල චාලිට කුතුහලයක් ඇතිවෙනවා. ඒ ඔස්සේ ලුහුබදින චාලිට අවසානයේ දැනගන්න ලැබෙන්නෙ කිසිදු ආකාරයෙන් නොසිතූ නොපැතූ තොරතුරු ගොන්නක්. තමන්ගෙ පියා තමාට පවරල තියෙන්නෙ කාර් එකකුත් රෝස මල් පදුරකුත් පමණක් බව චාලි දැනගන්නවා. එසේම පියාගෙ සියලු ධනස්කන්ධය එතෙක් ඔහු නොදැන සිටි ඔහුගේම වැඩිමහල් සහෝදරයෙක් වෙත පවරන්න පියා කටයුතු කරල තියෙන බවත් චාලි දැනගන්නවා. චාලි තමන් කිසිදා නොදුටු, නොඇසූ එකී සහෝදරයා සොයා ගමන් ආරම්භ කරනවා.   

චාලිගෙ සහෝදරය රේමන්ඩ්  චිත්‍රපටය ඇතුළෙ හැඳින්වෙන්නෙ මානසික ආබාධයකින් පෙලෙන්නෙක් හැටියට. ඒත් මොකක්ද ඔහුගෙ ආබාධය. මොකක්ද අර්බුදය කියල කවුරුම හරි ඇහුවොත් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. රේමන්ඩ් බුද්ධි ඌනතාවකින් පෙළෙනවද කියල ඇහුවොත් කියන්න වෙන්නෙ නෑ කියල. එහෙනම් ඔහු මන්දමානසික තත්වයේ කෙනෙක්ද? ඒකත් එහෙමයි කියල කියන්න අමාරුයි. කොහොම උනත් රේමන්ඩ් සාමාන්‍ය මනුෂ්‍යයෙකුත් නෙමෙයි. හැබැයි බැලූ බැල්මට ඔහුගෙ ගැටලුව මොකක්දැයි හෝ ඒ ගැටලුව විග්‍රහ කරගන්නවත් ලෙහෙසියෙන් කෙනෙකුට බැහැ.

රේන් මෑන් චිත්‍රපටය ඇතුලෙ ඔටිසම් කියන වචනෙ කොතනකවත් සඳහන් වෙන්නෙ නෑ. නමුත් ඔටිසම් වැඩිහිටියෙක් ක්‍රියාකරන අන්දම ගැන මේ චිත්‍රපටයෙ තරම් හොඳට සාක්ෂි සපයන වෙනත් චිත්‍රපටයක් මට මෙතෙක් මුණගැහිල නෑ. ඔටිසම් සංකීර්ණ මානසික තත්වයක් වෙන්නෙ ඒ නිසාමයි. කොටින්ම කිව්වොත් රේමන්ඩ් මිනිස් පරිගණකයකට සමානයි. රේමන්ඩ්ගෙ මතක ශක්තිය අති ප්‍රබලයි වගේම ගණිතමය හැකියාව විස්මිතයි. ඔහුට බොහෝ සිදුවීම්වල දත්තමය අගය සැනින් කියන්න පුලුවන්. යම් වාහනයක අංක තහඩුවත්, දුරකතන අංකයක්, ඉකුත් වර්ෂයක රිය අනතුරු සංඛ්‍යාව වගේ දත්තමය අගයන් රේමන්ඩ්ගෙ මතකය ඇතුලෙ අමුතු පිලිවෙලකට පැලපදියම් වෙලා තියෙනවා. ඒත් හැඟීම් සම්බන්ධව රේමන්ඩ්ගෙ මනස ක්‍රියා කරන්නෙ ඉතා දුප්පත් ආකාරයකට. ආදරයක්, සිපවැළඳගැනීමක්, හමුවීමක්, සමුගැනීමක් සම්බන්ධව රේමන්ඩ් ක්‍රියාකරන්නෙ එකම යාන්ත්‍රික මනෝභාවයකින්.

චිත්‍රපටය අවසන් කොටසෙදි වෛද්‍යවරයෙක් රේමන්ඩ්ගෙන අහනවා ඔයා සහෝදරයත් එක්ක දිගටම ඉන්න කැමතිද කියල. ඔව්. මං සහෝදරයත් එක්ක ඉන්න කැමතියි. රේමන්ඩ් රොබෝ කෙනෙක් වගේ පිලිතුරු දෙනවා. ඔයා ආයෙමත් එයාගෙ පරන නවාතැනට යන්න කැමති නැද්ද? වෛද්‍යවරයා නැවත රේමන්ඩ්ගෙන් ප්‍රශ්න කරනවා. ඔව්. මං එහේ යන්න කැමතියි. රේමන්ඩ් පිලිතුරු දෙනවා.

දවසක් රේමන්ඩ් චාලිව මග ඇරලා පාරෙ මාරු වෙන්න යද්දි හරියටම කහ ඉර මැදදි ඩිජිටල් තිරයේ සටහන් වෙනවා වහාම නවතින්න කියන වදන. චාලි උන් හිටි තැනම නතර වෙනවා. ඒ කහ ඉර උඩ පාර මැද. රේමන්ඩ් දෙන ලද විධානයට කටයුතු කරනවා මිසක් ඔහුට තේරෙන්නෙ නෑ යථා පොලොවෙ සිද්ධවෙන දේට ප්‍රතිචාර දක්වන්න.

කොහොම උනත් මේ චිත්‍රපටයෙන් අපේ අනුකම්පාව හෝ හැඟීම දැල්වෙන්නෙ රේමන්ඩ වෙතටත් වඩා චාලි වෙතට. චාලි කුඩා කාලෙම තාත්තගෙන් වෙන්වෙලා ඇවිත් ගතකරන සටන්කාමී ජීවන අරගලය මේ වෙද්දිත් විස දිලා නෑ. ඔහු ඉන්නෙ දැඩි ආර්ථික අර්බුදයක බව පේනවා. ඒත් චාලිගෙ ඇත්තම අර්බුදය ආර්ථිකය නෙමෙයි කියන එක චාලිවත් දන්නෙ නෑ. චාලිට නැත්තෙ තමන්ගෙම කියල ආදරනීය තැනැත්තෙක්. තමන්ගෙම ඥාතියෙක්. ගමන් සගයෙක්. අවසානයේ චාලිට මුනගැසෙන්නෙ තමන්ගෙ සහෝදරයා යැයි කියන තමන් එතෙක් කිසිදා නොදුටු රොබෝවරයෙක් වගේ මනුස්සයෙක්. චාලි චිත්‍රපටය පුරාවට වෙහෙසෙන්නෙ මේ රොබෝවරයාගෙන් හැඟීම් කඳුලක් අරගන්න. තමන්ගෙ සගයෙක් කරගන්න. ඔහු හරහා ආර්ථිකව දියුනු වෙන්න චාලිට උවමනාබව මතුපිටින් පෙනී ගියත් ඇතුලාන්තයෙන් චාලි ඉල්ලන්නෙ තමාගෙම හිතවතෙක්. තමන්ගෙ දුක සතුට බෙදාගන්න පුලුවන් මිනිසෙක්. ඒක අවසානයේ චාලි රේමන්ඩ් වෙත සමුදෙන මොහොතේ ඔහුගේ මුහුනෙ හෙඳින්ම සනිටුහන් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. චාලි අසරණ බැල්මෙන් බලා ඉඳලා රේමන්ඩ්ට සමු දෙනවා. රේමන්ඩ් තම ජංගම රූපවාහිනී යන්ත්‍රය එක්ක තමන්ගෙ ඇතුලෙම නන්නත්තාර ගමනක නිරතවෙලා.

 

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...