Thursday, August 1, 2024

පාරාදීසයට යන පාර දිගේ

 


පැරඩයිස් චිත්‍රපටය ගැන කොතෙකුත් විචාර, අදහස් පළවෙලා තිබුණත් ඒ එකක්වත් නොකියවා ෆිල්ම් එක බැලුවා. සාමාන්‍යයෙන් ඒක තමයි මගේ විදිහ. කොටින්ම නිර්මාණයක් ගැන බාහිර සමාජයේ ඇතිවන කතිකාව මගේ රසවින්දවයට විශාල බලපෑමක් කර නොගෙන යම් තාක් දුරකට හෝ ස්වාධීන හා පැහැදිලි මනසකින් ඒක බලන්න මම කැමතියි. 

මූලිකවම පැරඩයිස් මාව කැළඹිමට ලක්කළ චිත්‍රපටයක් නෙමෙයි. ෆිල්ම් එකේ අවසානය වෙත ගමන් කරද්දී ඒකත්  එක්ක අනන්‍ය වෙන්න බැරි වියවුල තදින්ම දැනෙන්න ගත්තා. මාත් එක්ක චිත්‍රපටය නරඹපු අනෙක් මිතුරන් තිදෙනාම පැරඩයිස් ගැන කතා කළේ දැඩි වර්ණනා මුඛයෙන්. ෆිල්ම් එක ගැන විචාර සටහන් එකින් එක කියවන්න යොමු වුනේ ඊට පස්සෙයි.   චිත්‍රපටය විසින් මාව වසඟයට නොගැනීමත්, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා උද්දාමයෙන් වරණනා කිරීමත් අතරේ  පැරඩයිස් මාව නොකැලඹූ හේතුව හොයා පාදගන්න, මටම පැහැදිලි කරගන්න මම උත්සාහ ගත්තා. මේ සටහන ලියවෙන්නේ ඒ ගැනයි. 

මට තදින්ම දැනුනේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක (කේශව හා අම්රිතා) ඔවුන්ගේ අභ්‍යන්තරයන් ගැටෙන සංකීර්ණත්වය ෆිල්ම් ඒක ඇතුලෙන් සියුම්ව හෝ නිර්මාණාත්මක ආකාරයෙන් ආරම්භයේ සිට අවසානය තෙක් විකාශනය නොවන බවයි. ඒ කතාවම තව විදිහකට කිව්වොත් අම්රිතාට කේශව එක්ක ඇති අවුල හෝ ගැටුම ගොඩනැංවීමේදී ප්‍රසන්න විතානගේ සිමනාකරුවෙක් වශයෙන් දක්ෂ වෙලා නැහැ. අම්රිතා කේශවට වෙඩි තබන අවසන් ජවනිකාවන් දක්වා  මේ යුවලගේ චාරිකාව ගලාගෙන ඒමේදී ඒසේ වෙඩි තැබීම සාධාරණීකරණය කළ හැකි හෝ  විශ්වාස කළ හැකි තරමේ අභ්‍යන්තර සංකීර්ණතවයක් චරිත හරහා සන්නිවේදනය වෙන්නේ නැහැ. මනා ඉවසීමකින් හෝ ජීවිත පරිඥානයකින් මේ චරිතවල අභ්‍යන්තරික මනෝභාවයන් කිරා මැනගන්නටත් සිනමාත්මකව නිරූපයන කරන්න අධ්‍යක්ෂකවරයාට නොහැකි වූයේ ඇයි දැයි කාටම හරි හිතෙන්න පුලුවන්. 

චිත්‍රපටයේ කේන්ද්‍රය වන කේශව හා අම්රිතා අතර ගැටුමට පසුබිම වශයෙන් ප්‍රසන්න තෝරා ගන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගොඩනැගෙන අරගල වටපිටාව. මෙතනදී සමාජ, ආර්ථික දේශපාලන අර්ථ ගැඹුරක් ඔස්සේ කරනම් ගැසීමට හැකි පිටියක් නිධානයක් වගේ ඔහුට ලැබී තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. එහෙමත් නැත්නම් මේ පසුබිමින් ලැබුණු විශාල දේශපාලනමය අර්ථයට ඇති ලෝලය විසින් මම අර මුලින් සඳහන් කළ සියුම් සිනමා භාවිතාව ප්‍රසන්න අතින් ගිලිහෙනවා. නැත්නම් ඔහු හිතාමතාම මග හරිනවාත් ඇති. 

අම්රිතා හා කේශව යනු විවාහක යුවලක්. මේ ඔවුන්ගේ විවාහයේ පස්වන අවුරුද්ද බව හෙළිවෙනවා. මෙකී පස්  වසර ඇතුළත දෙදෙනාගේ සම්බන්ධයේ ස්වභාවය ගැන ඉඟිකිරීමක් සියුම් නිරූපයනයක් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රසන්න ඒ වෙනුවට අරගලකාරී ලංකා පසුබිම වෙත වැඩි අවධානයක් යොමු කරවන බවක් පෙනෙනවා. යුවළ ඉතා ප්‍රේමනීයවත් එකිනෙකා කෙරෙහි බන්ධනයකිනුත් කල් ගෙවන බවක් පෙන්වනවා. මට හිතෙන්නේ මේ මුල් අර්ධය චිත්‍රපටයේ කතා සාරය වෙත විශාල බලපෑමක් කළ හැකි වැඩබිමක් ලෙස පැවතියත් එම කාල අවකාශය නිරපරාදේ නාස්ති වී ඇති බවයි. පැහැදිලිවම ඒ ඒ අවස්ථා ඊටත් වඩා දියුණු ආකාරයෙන් පාවිච්චි කළ හැකිව තිබූ බවයි. ප්‍රසන්න අර්ථ නිෂ්පාදිත සංකේත භාවිතය ඔස්සේ දිව යන අතරේ ඔහුට සජීවී ජීවිතය මගහැරී තිබෙනවා. 

අරගලය, රාම රාවනා කතාව ඇන්ඩෲ විසින් නැවත නැවතත් ගෙන ඒම ඇතුලේත් පොලීසිය නීතිය අවභාවිතාව ඇතුලේත් අසරණ දෙමළ තරණයන් නිරපරාදේ දඬුවම් විදීමත් කෙරෙහි සංවේදීතාවත් චිත්‍රපටයෙන් මතු කරන්න සමත් වෙලා නැහැ. ඒ සියල්ල දෙස නිර්මාණකරුවා බලන්නේ සංකල්පරූපී, ගැඹරු අර්ථ නිෂ්පාදිත බැල්මකින්. ඒ අර්ථයෙන් බලද්දී පැරඩයිස් චිත්‍රපයට යනු අපූරු සත්වයකුගේ ඇට සැකිල්ලක් විතරයි. ඒ සැකිල්ල මස්, ලේ සම පිරී පෝෂණය වී ලස්සනක් මතු කරන්න හැකියාවක් තිබුණත් අවාසනාවකට ඒ දේ සිද්ධ වෙලා නැහැ. 

පොලීසියේ හැසිරීම, නිවසේ මෙහෙකරුවා වන ශ්‍රී, මුස්ලිම් කෝකියා සම්බන්ධ ගොඩක් සිදුවීම් ගොඩනැගීමේදී නිර්මාණකරුවා එය ආයාසයෙන් ගොතා ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. එවැනි සිදුවීම් අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේශපාලන ගැඹුර ලබා ගැනීමෙ වෙනුවෙන් මේ චරිත පාවිච්චි වන බවක් පෙනෙන්නට ති‌යෙනවා. 


සිද්ධිමය වශයෙන් අරගත්තත් මේ චිත්‍රපටය ඇතුලේ ඇතැම් අවස්ථා නිරූපනය වන්නේ විශිවසනීයත්වයෙන් තොර ආකාරයකට. මුවාට වෙඩි තැබීමට සැරසෙන මොහොත, සොර කණ්ඩායම පැන යන මොහොත, පොලිස් මුරපොළට ගැමියන් පහර දෙන ආකාරය හා පොලීසිය පැන යන ආකාරය, රාත්‍රියේ  පොලිස් කණ්ඩායමක් පැමිණ ගැමියන්ට තර්ජනය කරන ආකාරය, තරුණයාගේ මරණය හා ඒ වෙනුවෙන් මිනිසුන්ගේ ප්‍රතිචාරය නිරූපනය, සාජන් බණ්ඩාරට ශ්‍රී වෙඩි තබන්නට සැරසෙන මොහොත, ගැමියන් සංචාරක බංගලාවට පහරදීම අවසන් කූටප්‍රාප්තිය නිරූපනය කිරීමේදී එම අවස්ථා ඉතා සාර්ථක ආකාරයෙන් ගොඩනැගී නොමැති බවක් පෙනෙනවා. මේ බොහෝ අවස්ථා බලා සිටීමට බැරි තරම් විකාර සහගත හෝ අවිශ්වසනිය බවක් පෙනුනා. 


අවසන් වශයෙන් හිතෙන්නේ නිර්මාණය ඇතුලේ කතා සාරයත්, දේශපාලනික හෝ අර්ථමය ගැඹුරත් ඒකිනෙක ඓන්ද්‍රීයව බැඳී නොමැති බවයි. සංකේත, රූපක භාවිතය ඔස්සේ ගැඹුරු දේශපාලනික කාරණා වෙත යොමුවීම තුල චිත්‍රපටයේ මතුපිට තලය නොතකා හැර තිබෙනවා. දේශපාලන අර්ථ ගැඹුර වෙනමමත්, කතා සාරය වෙන වෙනමත් ගලවා බැලිය හැකි තරමට මේ තල දෙක වෙන වෙනම පුරුද්දා ඇති බවක් ගැටගසා ඇති බවක් පෙනෙන්න ගන්නවා. ඇතැම්විට මෙය ප්‍රසන්නගේ අවුලක් පමණක් විය නොහැකියි. සමස්ත ලාංකේය නිර්මාණකරණයේම ගැටලුවක් ද විය හැකියි.

Tuesday, April 16, 2024

ජා ජා ඩිං - වැඩිහිටියන් ද කියවිය යුතු යොවුන් නවකතාවක්

 




ජා ජා ඩිං කියන්නෙ කසුන් සමරතුංගෙ පළමු යොවුන් නවකතාව. 

යොවුන් නවකතා කියවන පුරුද්දක් ඇත්තටම මට තිබිල නැහැ. ඒක මට අයිති නැති වෙනම ධාරාවක් වගේ අදහසක් තමයි මගේ හිත ඇතුලෙ තියෙන්න ඇත්තෙ. කොහොම උනත් ජා ජා ඩිං මෑත කාලයේ හොඳම යොවුන් නවකතාව බවට සම්මාන දිනා තිබීමත්, ළඟම හිතමිතුරන් කිහිප දෙනෙක්ම මේ කතාවේ යම් විශේෂී බවක් තිබෙන බව සඳහන් කළ නිසාම හා මින් පෙර කසුන් සමරතුංගගේ කළුවරට බය කාමරේ ඇතුලෙ නම් කෙටිකතා පොත කියවා තිබීම යන කාරණා සියල්ලෙහිම අඩුවැඩි බලපෑමෙන් ජා ජා ඩිං කියවන්න යොමුවුණා.

නම අමුතු උනත් මේ කතාව ආරම්භ වෙන්නෙ ඉතාම සරල  හෝ විශේෂී නොවන තැනකින්. සඳරු නම් ප්‍රධාන චරිතයේ උත්තමපුරුෂ දෘෂ්ටිකෝණයෙන් කතාව ගලාගෙන යතත් මේක උත්තම පුරුෂ දෘෂ්ටිකොණයෙනුත් ඔබ්බට ගොස් විඥ්ඥානධාරා රීතියට ද නෑකම් කියන බවක් පේනවා. මේ කතාවෙ ගොඩක් තැන්වල කථකයාගේ මනෝභාවය නිරූපනය කිරීම නිසයි එහෙම දැනෙන්නෙ.   

මෙතනදි කසුන් ප්‍රධාන චරිතයේ පවුල් පසුබිම ගොඩනගන විදිහ ඉතාම වැදගත්. සඳරු ජීවත් වෙන්නෙ නිරෝගී පවුලක. ඔහු තාත්ත එක්ක තියෙන්නෙ යහළුවෙක් එක්ක තියෙනව වගේ සමීප සම්බන්ධයක්. එසේම සඳරු තමන්ගෙ අයිය එක්ක තියෙන්නෙත් එවැනිම පොහොසත්  මිත්‍ර සම්බන්ධයක්. තමන්ගෙ ගැඹුරුම රහසක් පවා සඳරු හෙළි කරන්නෙ තමන්ගෙ සහෝදරයට. අයියට.  සහෝදරය පවා ඒකට ඇහුම්කන් දෙන්නෙ ඉතා වැදගත් ආකාරයකට. ඒ කතාවට වටිනාකමක් දෙන ආකාරයට.

සඳරුට මුණගැසෙන බෝතල් අඩි දාන  අමුතු මිත්‍රයා වෙනස් කෙනෙක්. ඔහු වෙනත් පන්තිවලින් ප්‍රතික්ෂේප වෙච්ච, අසාධාරණයට ලක් වෙච්ච හුදකලා ජීවිතයක් ගත කරන යහළුවන් ගොඩනගාගන්න අසමත් පිරිමි ළමයෙක්. අනෙක් විශේෂම කාරණය ඔහු රෝගයකින් ද පීඩා විඳිනවා.

සඳරු හා මේ හුදකලා පිරිමි ළමයා වටා ඇතිවන මිත්‍ර සම්බන්දයේ සුන්දරත්වය තමයි ජා ජා ඩිං කතාව ඇසුරින් අප ඉදිරියේ දිග හැරෙන්නෙ. යහළුවන් ජීවිතයට කොතරම් වැදගත්ද, අපේ ජීවිතයේ රහස්, වේදනා, සතුටු ඉතිරෙන තැන්වලදී කොන්දේසි විරහිතව අපිව භාරගන්න, විනිවිද දකින්න, විස්වාස කරන්න පුලුවන් සමීපතමයෙක් සිටින එකේ වැදගත් කම මේ යොවුන් නවකතාව ඇසුරින් ඉතා සියුම්ව පෙන්නුම් කරනවා.

මනුජ නම් වූ හුදකලා රෝගී ළමයාගේ පවුල් පසුබිම සඳරුට සාපේක්ෂව ඉතා අන්ධකාර තැනකයි තියෙන්නෙ. මධ්‍යමපාන්තික පවුලක් වෙන ඔවුන්ගේ  දෙමාපියන් අවිවේකී ජීවිත ගත කරන්නන්. මනුජට වෙනත් සහෝදරයන් කිසිවෙක් නැහැ. ඔහු හැමදාම සිටින්නේ මේ හුදකලා බරින් මිරිකෙමින්. ඔහුගේ ජීවතයට ඔහුව විශ්වාස කරන සමීපතමයෙකුගේ අවශ්‍යතාව පිපාසයක් සේ දැනෙමින් තිබෙන මොහොතකයි සඳරු ඔහු වෙත යොමුවෙන්නේ. ඒකත් සඳරු විසින්ම හිතා මතා ගන්න තීරණයක් අනූව නෙමෙයි. මුලින් කිව්වාක් සේ සඳරු වටා තියෙන මිනිසු පවුර පොහොසත්. ශක්තිමක්. තමා වෙත පැමිණෙන, තමන් සමඟ මිත්‍ර වන්නට පැමිණෙන අසාමාන්‍ය ගති ඇති ළමයා ගැන සඳරු තම අයියා එක්ක කියනවා. සහෝදරයන් අතර ගනුදෙනුව ඉතා සාර්ථක හා දියුණු එකක් නිසාම අයියා ඔහුට ඇහුම්කන් දෙනවා පමණක් නෙමෙයි සඳරු කළ යුතු දේ ගැන විස්තර කරමින් ඔහුව ඒ වෙත යොමු කරන්නත් පියවර ගන්නවා. මහේල සර් නම් සඳරුලාගේ පන්තිභාර ගුරුවරයාගෙන් ද මෙතැනදී ලැබෙන සේවය ඉතා විශිෂ්ටයි.

සමාජය තියුණු ලෙස විවේචනය කරන නිර්මාණ මගින් සේම සමාජයේ විරල යහපත් හෝ පොහොසත් පුද්ගලයන් පියවර ගන්නා ආකාරය පෙන්වීම තුළින් ද ඉතා හොඳ සමාජයක් ප්‍රතිනිර්මාණය කරන්නට  හැකි බව ජා ජා ඩිං යොවුන් නවකතාව හරහා අපට කියා දෙනවා.

ජා ජා ඩිං සරල කතාවක් විදිහට ගලාගෙන ගියත් මේකෙ චරිත පුද්ගලයන් ක්‍රියාකරන ආකාරය අනුව ඉතා සියුම් මානෝවිද්‍යාත්මක තලයක් ද ස්පර්ෂ කරනවා. ඒ අතින් ජා ජා ඩිං කියන්නෙ යොවුන්, වැඩිහිටි සැවොම කියවිය  යුතු ආකාරයේ කෘතියක්.

ඉකාරස්ගේ ඇද වැටීම

ඉකාරස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කතාවක චරිතයක්. ඒ කතාව  දැනටමත් ගොඩක් අය දන්නවා ඇති. කතාව නොදන්න අය වෙනුවෙන් සරලව කතාව කිව්වොත් මෙහෙමයි.  තාත්ත කෙනෙක් සහ පුතෙක් ඔවුන්ගේ නසරානි වැඩ නිසා හිරගෙදරකට දාල ඉඳල තියෙනවා කාලයක්. මුහුදක් අද්දර. ඉතින් මේ තාත්තට අදහසක් ඇවිල්ල තියෙනවා අපි මේ හිරෙන් පැනල යන්න නම් අත්තටු නිර්මාණය කළ යුතුයි කියල. ඒ අනූව දෙන්න සිරගෙදර ඇතුළට වැටෙන කුරුලු පිහාටු කාලාන්තරයක් තිස්සේ එක්කාසු කරලා කරලා පියාපත් හදාගත්තලු. කුරුලු පිහාටු ගණනාවක් එස්කාසු කරලා ඉටිවලින් අලවලා තමයි මේ ලොකු පියාපත් නිර්මාණය කරගෙන තියෙන්නේ. එහෙම හදාගෙන දෙන්නා යම් නිශ්චිත දිනයක පියාඹන්න පටන් අරන් තියෙනවා. 

පියාඹන දවසේ තාත්තා පුතාට අවවාද කරල තියෙනවා වැඩි දුර යන්නෙ හෝ සූර්යයා දෙසට යන්න එපා කියල. නමුත් තරමක් දුර පියාඹද්දී පුතාට හිතිල තියෙනවා හිතුමතේ පියාඹන්න. සූර්යයා දෙසට ගමන් කරන්න.  ඒ වෙලාවෙ ඉර පායලා රශ්මිය ගොඩක් දැනුන් වෙලාවක්. ඉතින් සූර්ය රශ්මිය වැඩි නිසා අලවලා තිබ්බ ඉටි දියවෙලා ඉකාරස් මුහුදට වැටිලා මිය ගිහින්. 

ග්‍රීක මිත්‍යා කතාව ඔහොමයි. 

හැබැයි මේ ඉකාරස් කතාවෙන් ඉකාරස්ගේ ඇද වැටීම කියන සිතුවම ඇඳල තියෙන pieter bruegel නම් චිත්‍ර ශිල්පියා අපිට පෙන්වන්නෙ වෙනම යථාර්ථයක්. ඉහත කිව්ව කතාවට වැඩි කතාවට වැඩි කතාවක් මේ චිත්‍රයේ දකින්න පුලුවන්. Pieterට වස්තු විෂය වෙලා තියෙන්නෙ ඉකාරස් පිහාටු දියවෙලා, මුහුදට වැටෙන මොහොත. නිකමට හිතන්න  අපි හුඟ දෙනෙක්  මේ මොහොත පරිකල්පනය කළොත් අපිට හිතෙන්නෙ අහසේ ඉඳන් පිහාටු දියවෙලා බිමට වැටෙන තරුණයෙක්වනෙ. 

නමුත් පීටර් බෘවේගල් මේක ඇඳල තියෙන්නෙ ඉකාරස්ව නාබිගත කරල නෙමෙයි. මේ සිත්තම ඇතුලෙ ඉකාරස්ව හොයාගන්නත් තරමක් අසීරුයි. ඔහු පෙන්වන්නෙ ඒ තරම් විශේෂ නොවන අඳුරු තැනක. ඉකාරස් ඇද වැටේ නම් වැටිය යුත්තේ මුහුදේ ආලෝකය එල්ල වී ඇති කේන්ද්‍රයට වුවත් එතැන පවතින්නේ හිස්ව. සිතුවමේ පෙරබිමට මතුවෙලා පෙනෙන්නෙ කම්කරුවන්. ගොවියන්, එඩේරයෙක්, ධීවරයෙක් වැනි චරිත. 

ඉකාරස් පිහාටු ගැලවී මුහුදට වැටෙන්නේ ධීවරයෙක්  ආසන්නයේ වන නමුත් ධීවරයා එදෙස බලන බවක් පෙනෙන්නේ නැහැ. 

සත්තකින්ම මෙය 1560 දී අඳින ලද්දක් වුවත්  මේ සිතුවමෙන් බෘවේගල් නිරූපනය කරන යථාර්ථය නූතනය දක්වාම එකසේ ගැලපෙන එකක් බව පෙනෙනවා.  ඉකාරස්  පතිත වෙද්දී අවට ලෝකය ඒ දෙස ගණනක් නැතිව තම තමන්ගේ පුද්ගලික කාර්යයන්වල නිරතවෙමින් ඉන්නවා. ඉකාරස් වැටෙනවාද, ඔහු බේරගත යුතුද, ඔහුගේ ඉරණම කුමක්ද වැනි කිසියම්ම කම්පිත දෙයක් ඔවුන්ට සිදුවන බවක් පෙනෙන්නේ නැහැ.  අනෙකාගේ ඛේදවාචකය පොදු සමාජය කම්පනය නොකරන බව ද මේ සිත්තම මගින් පීටර් බෘවේගල් අපට සැල කර සිටින්නේ? අපි වටෙත් ඉකාරස්ල ඕනෑ තරම් පිහාටු ගැලවෙමින් ඇද වැටෙමින් පවතිනවාද?   

මේ සිත්තමේ කම්කරුවන් වගේ අපිත් අපේ වැඩ කරමින් සිටිනවාද?

Pieter Bruegelගේ  Landscape with the Fall of Icarus නම් සිතුවම


Wednesday, April 3, 2024

සමර මි සමර


 




සමර විජේසිංහව මම මුලින් අඳුන ගන්නෙ චූල ගායිකාව නම් පොතෙන්. ඒක කෙටි කෙටිකතා පොතක්. අමුතු ආකාරයේ පොතක්. ලියන විදිහ, කතාව ගලාගෙන යන ආකාරය, ඒ තේමා සියල්ලෙහිම නැවුම් බවක් පෙනෙන්න තිබුණා. මම සමරව සොයන්න ගත්තා. ගෝත්‍රිකාව පොතත්, එක කවිය සියවරක් පොත් මට මුණගැසුනෙ එතකොට.  සමර ෆේස්බුක් අවකාශය පාවිච්චි කරල තිබුණෙ අපි ෆේස්බුක් එන්න හුඟක් කලින් ඉඳල. ඔහු ඔහුටම අනන්‍ය කවි ධාරාවක් යටතේ සමකාලීන කවි කිවිඳියන් එක්ක හැපෙමින් කවි සංවාදයේ යෙදෙමින් කවි ගොමුවක් ඇතිකරගෙන බව මම දැනගත්තෙ ඔහුගෙ මරණෙනුත් පස්සෙ.

ජීවිතේ එකම එක දවසක් සමරව හැබහින් දකින්න මට පුලුවන් උනා. ඒ 2010 දි විතර. නුගේගොඩ ක යන්න වි යන්න කියල කවි කියවන වැඩසටහනක් සංවිධානය උනා ඔය කාලෙ. කවි ගැන කකියන උනන්දුවක් තිබ්බ ඒ කාලෙ අපි දුරබැහැර ඉඳන් පවා ඒවට සහභාගී වෙන්න පුදුම ආසාවකින්. එක් වතාවක් ක යන්න වි යන්නෙ සංවිධානය උනේ සමරගෙ කවි ගැන සංවාදයක්. සමර ගැන කුහුලක් උනන්දුවක් තිබ්බ නිසාම මමත් දෙපාරක් නොහිතා කයන්න වියන්නට ගොඩ උනා. සමර පළමු වතාවෙ දැක්කම මගේ ඇස් අදහගන්න පවා අසීරු උනා. සමර නමින් වගේම සමරගෙ ලියකියවිලි වලින්  මං පරිකල්පනය කරගෙන හිටියෙ තරුණ ලේඛකයෙක්. නමුත් හැබහින් මගේ ඇස් ඉස්සරහ උන්නෙ අවුරුදු 60ත් පැනපු වයෝවෘද මනුස්සයෙක්. එතකොට ඒ වෘද්ධ මනුස්සයද අර තරුණ  ආකෘති හරඹ සහිත කෙටිකතා, කවි ලියන්නේ? මං මගෙන්ම ඇහුවා.

ඔය කාලෙ ආදර කවි වලට වඩා සමාජයේ මූලික තැන තිබුණෙ දේශපාලනික  ගැඹුරක් සහිත කවි වලට. දේශපාලනික කියන වචනය අරන්  මම මෙතනදි කියන්න අදහස් කළේ සමාජ, සංස්කෘතික විශමතා සම්බන්ධ කවිවලට විචාර අවකාශයේ ලොකු ඉඩක් වෙන් උනා කියන එක.  කවියේ දේශපාලනය වගේ තේමා තමයි නිරන්තරයෙන් කතාබහ උනෙත්.

එදා සංවාදයේදී මට හැඟුනු ආකාරයට සමරගෛ කවිය ඇගයෙනවට වඩා උනේ විවේචනය කිරීම. විශේෂයෙන්ම එක කවිය සියවරක් කෘතියේ කවි සම්බන්ධයෙන් තද විවේචනයක් කිහිප දෙනෙකුගෙන්ම මතු උනා. සමර මේ සියල්ල සාවධානව  සන්සුන් සිනාවකින් යුත්කව අසා සිටි බවක් මට  මතකයි.

ඔය අතරෙ වසර කිහිපයකින් ආරංචියක් ආවා සමර ජීවිතය හැර ගිහින් බව. සමරගෙ මරණයට හේතුවවත් ඔහුගේ මරණය සම්බන්ධයෙන්වත් කිසි දෙයක් මම ගැඹුරින් දන්නෙ නැහැ. කොහොම හරි ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ ෆේස්බුක් ගිණුමත්, නොසිදුවීම් යනුවෙන් පවත්වාගෙන ගිය ඔහුගේ බ්ලොග් පිටුවත් මරණයට පත්ව තිබුනා. තවමත් ඔහුගේ නිර්මාණ අන්තර්ජාලයෙන් සොයන්නෙකුට හමුවෙන්නෙ නැති තරම්. ගොත්‍රිකාව, චූලගායිකාව හෝ එකකවිය සියවරක් කෘතිවල අලුත් පිටපත් සොයාගන්න තිබෙනවාදැයි දන්නෙත් නැහැ.

සමරගෙ ෆේස්බුක් පිටුව අක්‍රිය කිරීමත්, බ්ලොග් පිටුව අක්‍රිය කිරීමත් සමරගේ අවසන් කැමැත්ත මත සිදුවූවක්ද නැද්ද ගන්න ගැන පවා මම හරියාකාරව දැනුවත් නැහැ. කොහොම උනත් සමරගෙ නොපළ නිර්මාණ බොහොමයක් අන්තර්ජාලයේ පලවී තිබුණු බවක් පමණක් මා දැනුවත්. එවැනි නිර්මාණ සන්තකව ඇති කිසිවෙකු හෝ සිටී නම් එය කෘතියක් වශයෙන් පල කිරීමට හෝ එසේත් නැතිනම් ඔහුගේ නිර්මාණ අඩංගු බ්ලොග් පිටු නැවත සක්‍රීය කරන්නේ නම් එය සමරගේ පාඨකයන් පැත්තෙන් ගනු ලබන යහපත් තීරණයක් බව මට සිතෙනවා.

නිර්මාණකරුවන්ගේ අභාවයන්ගෙන් පසු එම නිර්මාණකරුවන්ගේ අවසන් කැමැත්ත ද නොතකා ඔවුන්ගේ නොපළ කෘති පල කිරීමට පෙළඹුනු අවස්ථා ලෝකයේ කොතෙකුත් අසන්නට දකින්නට පුලුවන්. එවැනි ඇතැම් නිර්මාණ ඉතා ආදරයෙන් පාඨකයන් වැලඳගත් අවස්ථා ද නැත්තේ නැහැ.

අවසන් වශයෙන් මා සිතන්නේ සමර නැමති නිර්මාණකරුවා ඔහුගේ භෞතික  මරණයෙන් පසු මිය යාමට සැලැස්වීම සමරව සහෘදයාට අහිමි කිරීමක් වන බවයි. ඔහුගේ නිර්මාණ හැකිතාක් ලෝකයට විවෘත විය යුතුයි. එයින් රසිකයන් තව තවත් අමන්දානන්දයට පත් වීමට ඇති ඉඩකඩ අවහිර නොකළ යුතුයි. සමර අමරණියත්වයට පත් වන්නේත් සමරව අපට සමරන්නට  හැකි වන්නේත් එවැනි තත්වයක් තුළයි.

 


 

දිලිසෙන පියවර

 

අප එවා ඇත

වරක් පමණක්

මේ පොළොව මත

කෙටි දුරක් ඇවිද යාමට

 

සතුටු වෙමි

ඒ කෙටි දුරින්

බොහෝ දුරක් මා පැමිණි පසු

අප එකට

දිලිසෙන පියවර කිහිපයක්

ගමන් කළ බැවින්

සිහින් මීදුමට

අතුරුදන් වන්න පෙර ඔබ

 

මගේ ජීවිතය

එම දිලිසෙන පියවර කිහිපයය

 

සමර විජේසිංහ


Tuesday, March 26, 2024

Animal අපට කියන්නේ මොකක්ද?

 

ඇනිමල් කියන්නෙ මෑතක තිරගතවුනු ඉන්දියාවම කලඹපු ෆිල්ම් එකක්. කොහොම උනත් ලංකාවෙ ප්‍රේක්ෂකාගාරය ඉන්දියාව තරම්ම කැලඹුනු නැති බවයි මගේ පෙනෙන්නෙ. ඒකත් එක්තරා විමතියක් නම් තමයි.  මේ සටහන ඇනිමල් බලල දැනුනු සතුට ප්‍ර‍කාශ කරන්නත් එක්කයි.

මේ චිත්‍ර‍පටයෙන් කතා කරන්නෙ මොකක් ගැනද කියල කවුරුම හරි ඇහුවොත් මට එකපාරටම එන උත්තරය පිරිමි ලෝකය ගැන කියල. ඒක අංග සම්පූර්ණම උත්තරය නොවෙතත් නැවත නැවතත් මගේ ඇතුළාන්තය කැලඹිලා ගියේ නම් විජෙයි නැමති පුද්ගලයාගේ ජීවිතය දිග හැර ඇති විශ්මිත ආකාරයටයි. චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කරන්නෙත්, පිටපත ලියන්නෙත්, සංස්කරණය කරන්නෙත් සංදීප් රෙඩ්ඩි විසින්. සන්දීප් රෙඩ්ඩිගෙ පළවෙනි සහ වසගකාරී පළමු චිත්‍ර‍පටය මේක නෙමෙයි. අර්ජුන් රෙඩ්ඩි තමයි පලවෙනි වෙඩි මුරය.  ඒ වෙද්දිත් අර්ජුන් රෙඩ්ඩි ඇනිමල් ෆිල්ම් එක තරම් ප්‍රේක්ෂකාගාරය කැලඹුවේ නැතත් චරිතයේ අමුත්ත අතින් ඇනිමල් චිත්‍ර‍පටයේ විජෙයිට බොහෝ සමානකම් අර්ජුන් රෙඩ්ඩි තුලත් සංකලනය වෙලා තිබුණා.

ඇනිමල් චිත්‍ර‍පටය ඇතැම් විචාරකයන් බොහෝ අගය කරන්නත් තවත් විචාරකයන් අතින් පතුරු හරින්නටත් හේතුවෙන මූලික කාරණා කිහිපයක් තියෙනවා. මේ චිත්‍ර‍පටය කතාවක් විදිහට ගොඩනැගිල තියෙනවට වඩා සිද්ධවෙලා තියෙන්නෙ විජෙයිගෙ චරිතය ඉතා සූක්ෂම ආකාරයට හා අතපය දිගහැරල නිදහසේ දිග අරන්න බව පේනවා. විජෙයි කියන්නෙ ඇල්ෆා මේල් චරිතයක්. මේ මොහොතේ ඇල්ෆා මේල් චරිතයක් කරලියට අරගෙන එන එකම මවිතයෙන් මත් කරවන වැඩක් බවයි මම විශ්වාස කරන්නෙ. පිරිමි බව හෝ පිරිමි සංකල්පය ලෝකය තුළ එන්න එන්නම හැකිලෙමින්, දියවෙමින් හෝ  වෙනස් මුහුනුවරක් ගනිමින් පවතින වෙලාවක තමයි සන්දීප් රෙඩ්ඩි හැමෝගෙම ඔලු උඩට ටොක්කක් අනින ගමන්ම ඇල්ෆ මේල් චරිතයක් අපි ඉදිරියට පතිත කරන්නෙ.

පුද්ගලයෙකුගෙ චරිතය හැඩගැහෙන්නෙ වැඩියෙන්ම බලපාන්නෙ ළමාවියේ ඔවුන් වෙත ලැබෙන මානසික සංතෘප්තීන්ගේ අඩුලුහුඩුතා ද, නැත්නම් ඔවුන්ගේ ජාන හෝ හෝමෝන ශක්තියේ ප්‍ර‍බලත්වය ද?. ඇනිමල් චිත්‍ර‍පටය ඇතුලේ තර්ක දෙකම සර්පයන් දෙනෙනෙක් එකිනෙකා වෙලාගෙන එකිනෙකා එති එතී පොරබදමින් මේ චිත්‍ර‍පටය පුරා අවසානය තෙක් දිවෙන බවක් පෙනෙන්න තියෙනවා. එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නැහැ. දෙදෙනාම එක වගේ ප්‍ර‍බලයි. දරුණුයි. විසගෝරයි.

විජෙයි යනු කෝටිපති පවුලක ඉපදුනු එකම පුතා. ඔහු ළමාවියේ කොතරම් සත්කාර මැද ඇතිදැඩි වුව ද ඔහුගේ චර්යාවන් නිරන්තරයෙන් කිසිවෙකුට පාලනය කළ හැකි මානයක ඇත්තේ නැහැ. ඔහු අසීමිතව සිය පියාට ආදරය කරන නමුත් පියාගෙ ආදරය ඔහුට ඒ කුඩා අවදිය තුලදී අල්ප වශයෙන්වත් ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. විජෙයිගේ දැඩි ජානමය ප්‍ර‍බලත්වයත්, සිය පියාව  අහිමි වීමේ මානසික විපරීතයත් කවලම් වෙමින් ඔහු ඇතුලත ගොඩනැගෙන්නේ අමුතුම සතෙක්. කාටවත් පාලනය කළ නොහැකි සංස්කෘතික සීමා බන්දන කිසිවක් අදාළ නැති සතෙක්. ආරම්භයේ සිට අවසානය තෙක් මේ සතාගේ ස්වරූපය මතුකිරීම තමයි ඇනිමල් චිත්‍ර‍පටයේ කතා පුවත ලෙස මම නම් දකින්නේ.

Saturday, April 22, 2023

සෑම ළමයෙක්ම එයාගේ අම්මත් එක්ක තරහයි

 


 


මට පවුල වෙනුවට තියෙන එක විකල්පයක් තමයි කොමියුනය. ඒක තමයි හොඳ ම. කොමියුනය කියන්නේ මිනිස්සු එකට එකතු වෙලා ජිවත්වන පවුලක්. ළමයි අයිති කොමියුනයට, ඔවුන්ව හැමෝට ම අයිතියි. එහි කිසි ම පෞද්ගලික දේපළක් නෑ. පෞද්ගලික ආත්ම නෑ.

පිරිමියෙක් - ගැහැනියක් ආශ්‍රය කරන්නෙ එකට ජීවත් වීම හොඳයි කියලා ඔවුන්ට දැනෙන නිසා. ඔවුන් ඉන් සතුටු වන නිසා. ඔවුන් අතර ආදරය සිදුවෙන්නෙ නෑ කියලා ඔවුන්ට දැනෙන මොහොතේ ඔවුන් තවත් එයට ඇලී ගැලී ඉන්න උත්සාහ කරන්නෑ. ඔවුන් කෘතඥතාව සමඟින් ම එකිනෙකාට සමු දෙනවා. මිත්‍රකම සමඟින් ම සමුදෙනවා. ඔවුන් අනිත් අය සමඟ එකතු වෙනවා. අතීතයේ තිබිච්ච එක ම ප්‍රශ්නය ළමයින්ට මොකද කරන්නෙ කියන එක.

කොමියුනයක් තුළ දී, ළමයි අයිති කොමියුනයට. ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. ඔවුන්ට විවිධ වර්ගයේ මිනිසුන් සමඟ වැඩෙන්න බොහෝ අවස්ථාවන් තියෙනවා. එහෙම නැත්තං ළමයි වැඩෙන්නේ අම්මාත් එක්ක. අවුරුදු ගාණක් තිස්සේ ඔවුන්ට තියෙන එක ම ප්‍රතිරූප, මනුස්සයෝ දෙන්නා අම්මයි තාත්තයි විතරයි. ස්වාභාවික ව ම, ඔහු ඔවුන්ව අනුගමනය කරන්න පටන් ගන්නවා.

ළමයි ඔවුන්ගෙ තාත්තලගේ අනුකාරකයො වෙනවා. ඔවුන් ඔවුන්ගේ දෙමාපියෝ වගේ ම සමාන ලෙඩ ටික ම මේ ලෝකය මත චිරස්ථිත කරනවා. ඔවුන් එම කොපිය ම වෙනවා. එක ඉතා විනාශකාරි යි. ළමයින්ට කරන්න කිසි ම දෙයක් නෑ. ඔවුන්ට වෙනත් තොරතුරු මාධ්‍ය නැහැ.

කොමියුනයක මිනිස්සු සියයක් එකට ඉන්නවනං, එහි බොහෝ පිරිමි හා ගැහැනු සාමාජිකයෝ ඉඳියි. ඒ හින්දා එක ම පීඩාකාරි ජීවන රටාවකට හුරුවෙන්න උවමනාවක් නෑ. ඔහුට පුළුවන් ඔහුගෙ තාත්තාගෙන් ඉගෙන ගන්න, ඔහුගේ මාමලාගෙන් ඉගෙන ගන්න. සමාජයේ ඉන්න සියලු ම අයගෙ න් ඉගෙන ගන්න. ඔහුට වඩා විශාල ආත්මයක් ලැබෙයි.

පවුල්වලින් කරන්නේ මිනිසුන්ව මිරිකලා ඔවුන්ගේ ආත්මය කුඩා කරන එක. කොමියුනය තුළ ළමයට, වඩා විශාල ආත්මයක් ලැබෙයි. ඔහුට බොහෝ අවස්ථාවන් තියෙයි. ඔහු පැවැත්ම තුළ ඉතා පොහොසත් වෙයි. ඔහු ගොඩක් ගැහැනුන් දකියි. ඔහුට ගැහැනියක් ගැන එක අදහසක් විතරක් තියෙන එකක් නෑ. ගැහැනියක් ගැන එක අදහසක් විතරක් තියෙන එක විනාශකාරී යි. මොකද ඔයා ඔයාගේ ජීවිතය පුරා ම අම්මව සොයයි. ඔබ ගැහැනියක් සමඟ ආදරෙන් වෙළුණු විට, හැමවිට ම අවස්ථාවක් තියෙනවා ඔබේ අම්මට සමාන කෙනෙක් සොයාගන්න. ඒක ම තමයි ඔබ වැළකිය යුතු අවස්ථාවත්.

සෑම ළමයෙක්ම ඔහුගේ අම්මත් එක්ක තරහයි. අම්මට සිද්ධ වෙනවා ගොඩක් දේවල් තහනම් කරන්න. අම්මට සිද්ධ වෙනවා එපා කියලා කියන්න. සීමා කරන්න. බෑ කියන්න. ළමයට වියරුවක්, තරහක් දැනෙනවා. අම්මට වෛර කරනවා වගේ ම ඇය ඔහුගේ ගැලවුම්කාරයා නිසා ජීවිතේ හා ශක්තියේ මාර්ගය නිසා ඔහු අම්මාට ආදරය කරනවා. ඒක මෝස්තරයක් වෙලා.

 

ඕෂෝ සංවාද ඇසුරින්

දුමින්ද බොරළුගොඩ පරිවර්තනයක්

ආදරය නිදහස් කුරුල්ලෙකි... පොතෙන්

 

Saturday, February 25, 2023

මනසින් දුටු අතීතයක් - රංග වික්‍රමසිංහ

 

මේ සටහන උපුටා ගන්නෙ මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල ප්‍රාඥයා කියන මාර්ටින් වික්‍රමසිංහගේ 85වන ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පොතෙන්. ඔහුගේ පුත් රංග වික්‍රමසිංහ මේ පොතේ එක් පරිච්ඡේදයක තම තාත්තා ගැන අව්‍යාජ සටහනක් පළ කරනවා. පහතින් දැක්වෙන්නේ ඒ සමස්ත සටහනයි.




" ම ආදරී, ඕ ම ආදරී

ඕ මා ආදරී, චන්දරා

බෝ පෙමාදරයෙන් විසූ මට

වෙන්වුනා මගෙ චන්දරා ''.

 

ඇස් ඇරෙනවාත් එක්කම ශබ්ද නගා කියන මේ සින්දුව මට ඇසේ. මට පුරුදුව තිබුණේ හිස උතුරට ලා නිදාගන්නටය. මගේ වම් පැත්තේද, දෙපා පැත්තේද වූ කවුළුවලින් ඇතුල්වන අලුයම එළිය, ලා නිල් පැහැති සාලයේ බිත්ති මත වැටී කනමැදිරියන්ගේ වැනි මෘදු ආලෝකයක් මතු කරයි.

සිංදුව ඇසෙන්නේ කවුළුවලට පිටින් වූ ආලින්දයෙනි. ගායකයා තාත්තාය. උතුරින් වූ බිත්තියේ එල්ලන ලද ඔරලෝසුවේ නාද තැටිය එක වරක් වදියි. ඔළුව හරවා ඔරලෝසුව දෙස බලන්නටත් පෙර වෙලාව උදේ පහමාර බව මා දැන සිටියේ, සෑමදාම පහමාරට මිනිත්තු කිහිපයකට පෙර අවදි වෙන්නට මා ඇබ්බැහි වී තිබූ නිසාය. මේ ඇබ්බැහිකමට හේතු වූයේ කුකුළා හැඬලීම නොව තාත්තා උදේ පාන්දර සිංදු කියමින් නංවන හඬය.

මාත් අක්කාත් රෑ නිදා ගත්තේ සාලය මැද බිම අතුරන ලද පැදුරු මතය. අයියලා දෙදෙනා නිදා ගත්තේ ගෙයි උතුරු සීමාව වූ කාමරයේය. ලොකු නංගී අම්මාගේ කාමරයේ තොටිල්ලක නිදා ගත්තාය. මේ කාලයේ පොඩි නංගී ඉපදී නැති බව මට මතකය. නෑදෑයෙකු අපේ ගෙදර නවාතැන් ගත් දිනයක බාල අයියාට ද රෑ නිදන්නට සිදු වූයේ සාලයේය. තාත්තා දිනපතා පාන්දර පහටත් පෙර නැගිට කන්තෝරු කාමරය නමින් අප හැඳින්වූ ඔහුගේ පුස්තකාලයට යයි. ලේක් හවුසියේ රැකියාව කළ ඔහු එකල වැඩ නිමකොට ආපසු ගෙදර ආවේ රෑ දහයට විතරය. ඔහු එන විට අප අවදිව සිටියේ කලාතුරකිනි. තාත්තාගේ නිදන කාමරයේ දොරකඩ, මා නිදාගත් සාලයට මුහුණලා තිබූ බැවින් ඇතැම් විට තාත්තාගේ පැමිණීම නිසා මම අවදි වීමි. කන්තෝරුවෙන් ආ ගමන් තාත්තා ඇඳුම් මාරුකොට, මුහුණ කට සෝදා, රෑ කෑම කයි. අනතුරුව ඔහු රෑ එකොළහ දොළහ වන තෙක් පොතක් කියවයි.

" රෑ වෙලා.........දැන් නිදාගන්න '' යි අම්මා කියනවා මට ඇසෙයි. එහෙත් තාත්තා බිහිරෙකු මෙන් පොත කියවයි.

මෙසේ රෑ වනතුරු පොත් කියවා ඉන් අනතුරුව නිදන්නට යන තාත්තා පාන්දර පහට පමණ නැගිට ඔහුගේ පුස්තකාලයට යයි. තාත්තාගේ පුස්තකාලය පිහිටියේ මා නිදාගත් සාලයට යාබද ආලින්දයේ දකුණු කෙළවරේය. එය අඩි දොළහක් විතර දිග - පළල ඇති හතරැස් කාමරයකි. තාත්තාගේ ලියන මේසයට පසුබිම වූයේ පොත් රාක්ක වලින් වැසුණ බටහිර බිත්තියයි. මේසයට වාඩි වූ විට පුස්තක ලයේ දොරකඩ තුළින් ඔහුගේ දෑස යොමු වුයේ නැගෙනහිර දෙසටයි. පොත් වලින් බර වූ රැක්ක වලට මුවා වීම නිසා බිත්ති හතරින් වැඩි කොටසක් නොපෙනේ.රාක්කවල වූ විවිධ පාට වලින් යුතු උස් - මිටි මහත - හීන්, බර සැහැල්ලු, අලුත් - පරණ යනාදි නොයෙක් ආකාරයේ පොත්වල නඩත්තුකාරයා වූයේ තාත්තාය. ආලින්දයේ සිට පුස්තකාලය දෙස බැලූ ඇතැම් විටෙක රතු,නිල්, කොළ, දුඹුරු, කළු, සුදු, සහ ආදී නොයෙක් පාට පැල්ලම්වලින් යුතු පොත් රාක්කය මට පෙනුනේ බටහිර බිත්තියේ රාමු කරන ලද දැවැන්ත සිතියමක් ලෙසිනි.

තත්තා පාන්දරින් නැගිට පුස්තකාලයට ගොස් පොත් ලියයි; කියවයි. අනතුරුව ඔහු හීන් කෙඳි වලින් යුත් දුවිලි පිහා දමන අස්සක් ගෙන පොත් රැක්ක ඉදිරියේද, ආලින්දයේ ද එහාට මෙහාට කඩිසර ලෙස සක්මන් කරයි. සක්මන් කරන ගමන් ඔහු පොත් රාක්ක සහ බිත්තිවල දුවිලි පිස දමයි; මකුළු දැල් කඩයි; සිංදුවකින් කොටසක්ද සද්ද නගා කියයි. වරින් වර පොත් රාක්කයක් ඉදිරියේ නැවතී පොතක් අතට ගෙන, කන්නාඩි කුට්ටම නළලට ඔසවා, පොත දසට ළං කර පිටු කිහිපයක් පෙරළමින් කියවයි.

ඔහු ඇබ්බැහි වී තිබූ ව්‍යායාමය ලබා දෙන මේ දිනචරියාව නිසා පොත් රාක්ක - වල දූවිල්ලක්, මකුළු දැලක් දකින්නට නැත. තාත්තාගේ මේ ඇබිබැහි කමේ ඉතා වැදගත් ප්‍රතිඵලයක් මා වටහා ගත්තේ මෑතකදීය.

පොත්වල දුවිලි ගසන විට යම් කිසි පොතක මාතෘකාවක් යම් කිසි ගැටළුවකට හෝ කරුණකට අවධානය යොමු කරයි. ඔහු ඒ පොත අතට ගෙන පිටු පෙරළයි; අතරින් පතර පිටු කිහිපයක් කියවයි. ඇතැම් පිටුවල ඔහුම පෙර පැන්සලකින් කළ සටහනක් ද කියවයි. අවුරුදු බොහෝ ගණනාවක් තිස්සේ දිනපතා මෙසේ පොත් පත් ආසාවෙන්, කුතුහලයෙන් අතපත ගා පෙරළා බලා කියවීමෙන්, සටහන් තැබීමෙන්, පොත් සහ ඔහුගේ මතකය අතර වැඩුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව නිසා තාත්තාගේ පුස්තකාලය ශරීරයෙන් පිටත වැඩෙන තම මොලයේ කොටසක් වැන්න. ඔහුගේ පුස්තකාලයේ පොත් දහස් ගණනක් තිබු නමුත් ඒවා ක්‍රමවත් නාමාවලියක් අනුව සකස් කර තිබුණේ නැත. එහෙත් අසූ අවුරුදු වියෙහිදී වුව, යම්කිසි පොතකින් උපුටා දක්වන ලද පාඨයක් ගැන ඔහුගෙන් විමසු විට පොත් හය දහස අතුරින් වුවමනා පොත තෝරා අවශ්‍ය තැනට පෙරළා විමසන්නාට පෙන්වීමට ඔහුට විනාඩි දෙක තුනකට වඩා ගත වූයේ ඉතා කලාතුරකිනි.ඔහුගේ මේ පුදුම ධාරණ ශක්තිය වැඩිමට ද ඉහත කී ඇබ්බැහිකම වැදගත් උත්තේජනයක් වි යයි මම සිතමි.

පාන්දර මෙසේ දූවිලි ගසමින් ආලින්දයේ සහ පුස්තකාලයේ සක්මන් කරන ගමන් තාත්තා ගැයූ සිංදු තුනක් මට හොඳින් මතකය. ලේක් හවුසියේ වැඩ කළ ජයවර්ධන මහතාගේ, " ඕ ම ආදරී චන්දරා " යන සිංදුව, "Oh my darling Clementine '' යන ඉංගිරිසි සිංදුවේ අර්ථය සහ කාලය අනුව සකස් කරන ලද්දකි. මුනිදාස කුමාරතුංග මහතාගේ " හා හා හරි හාවා'' යන සිංදුව සහ ජෝන් ද සිල්වා මහතාගේ සිරි සඟබෝ නාටකයේ එන " දන්නෝ බුදුන්ගේ '' යන සිංදුව තාත්තා නිතර කී අනෙක් සිංදු දෙක විය. මේ සිංදු තුන මට කට පාඩම් වූයේ කුඩා විෂයෙහි සිට තාත්තා උදේ පාන්දර කළ ගායනාව ඇසීමෙනි. එහෙත් සිංදුවල නියමිත තාලය මා ඉගෙන ගත්තේ තාත්තාගෙන් නොවේ. තාත්තා ඕනෑම සිංදුවක් හෝ කවියක් හෝ ගායනා කරන්නේ ඉතා සරල ඒකාකාර තාලයක් අනුවය. මේ අඩු පාඩුව පිරිමහන්නට දෝ ඔහු හිටි හැටියේ සිංදුවේ කොටසක් ගිරිය යටින් පිටවන උස් වූ ස්වරයකින් ගායනා කරයි. මෙයින් සිංදුව තවත් විකට හඬකට හැරේ. තාලයට පමණක් කන් දීමෙන් නම් තාත්තා ගයන්නේ ' ඕ ම ආදරී චන්දරා " දන්නෝ බුදුන්ගේ '' '' හා හා හරි හාවා " යන සිංදු වලින් මොන එකදැයි තීරණය කිරීම ඉතා අමාරුය. නූගත් ගැමියෙකු කියන ජනකවි සිහි කරවන ගතියක් තාත්තා ගීත ගැයූ තාලයෙන් මතුවී යැයි මම සිතමි. ", නියමිත කාලයට හාත්පසින්ම වෙනස් යැයි අප කවටකම් කළ නමුත් ඔහු එය පිළිගත්තේ නැත. වරක් හියුබත් රාජපක්ෂ විසින් තැටි ගත කරන ලද දන්නේ බුදුන්ගේ '' සිංදුවට කන්දීමෙන් පසු " මම කියන්නෙත් ඔය තාලයට තමා '' යි කීවේ හාස්‍යජනක ස්වරූපයෙන් නොවේ. තමා කළ කී දෙයකට පටහැණි මතයක් පිළිගන්නට තාත්තා මැලි වුවත්, ප්‍රත්‍යක්ෂ කරුණක් පැහැදිලි ලෙස පෙනවා දුන් විට ඔහු එය පිළිගනියි. ඔහුගේ ගායනා විලාසය ඒකාකාරී යයි ඔහු නොපිළිගත්තේ මුරංඩුකමකින්ම නොවේ යැයි මම සිතමි.

තාත්තාට වර්ණ විකෘති ලෙස පෙනෙන බව ප්‍රකට නොවූ කරුණකි. අම්මා  නම් ඔහුගේ මේ අඩු පාඩුව ගැන හොඳින් දැන සිටියේ ඉන් ඈට විඳින්නට වූ අලාභ නිසාය. අම්මා ඇතැම් විටෙක ඔහු ලවා යම් කිසි පැහැයක රෙදි කෑල්ලක් සාප්පුවෙන් ගෙන්වූ  ඈට ලැබෙන්නේ වුවමනා කළ පාටට හාත්පසින් වෙනස් එකකි. එහෙත් වර්ණ විකෘති ලෙස පෙනෙන තාත්තාට වරද නොවැටහෙයි. ඔහු වර්ණ විකෘති ලෙස දකින්නෙකු වූවාසේම, තාලය ද විකෘති ලෙස ඔහුට ඇසෙනවා ඇතැයි මට සිතේ. නොයෙක් කලා ශිල්ප දෙසට ඔහුගේ අවධානය යොමු වූ නමුත් ඔහු චිත්‍ර කලාව සහ සංගීත කලාව අරබයා යමක් නිශ්චය ලෙස විවරණය කිරීමට මැලි වූයේය. ඔහුගේ යටකී සහජ විකෘතිය එයට හේතු වී යයි මම නිගමනය කරමි.

තාත්තා උද් පාන්දර සිංදු කියමින් කරන ගෝසාව නිසා සාලයේ නිදා ගන්නා අක්කාටත් මටත් උදේ පහමාරට පසුව නින්දක් නැත.

'' ප්‍රේමා, ඔය කෝපි කෝප්පෙ ලෑස්ති නැද්ද? "

තාත්තාගේ මේ වදන් ඇසූ විගස නිදි වෙරියෙන් කම්මැලි හරිමින් උන් අක්කා හෝ මම, නැගිට දුව ගොස් අම්මා හදා දුන් ලොකු කෝපි කෝප්පය රැගෙන තාත්තාට පිළිගනවන්නට පුරුදුවී සිටියෙමි.

තාත්තා හානසි පුටුවේ දිග ඇදි, පුවත් පතේ මුහුණ ඔබාගෙන එය කියවයි. පාතින් එබී බලමින් කෝපි කෝප්පය පිළිගන්වන්නට වෑයම් කරන කුඩා මට පෙනෙනනේ එවකටත් පැසී තිබුණ ඔහුගේ සුදු රැස් වළල්ලක් වැනි අවුල් වූ කෙස් වැටිය පමණය. යමක් කියවන්නට ගත්විට තාත්තා බීරෙකු වැන්න. මගේ කට හඬ ඇසී, ඔහු පුවත් පත පහත් කරයි; නොහඳුනන්නකු දුටු සේ මගේ මුහුණ දෙස බලයි. එහෙත් මොහොතකින් ඔහුගේ මුහුණ පුරා සිනහවක් පහළ වෙයි. මා දෑත දිගුකර දෙන කෝපි කෝප්පය අතට ගනියි.

එහෙක් අක්කත් මැත් උදෑසනින් නැඟිට මෙසේ ක්‍රියා කිරීම, කුඩා අපගේ කීකරු බැතිමත් හැසිරීම කියා පාන්නක් වී යයි මට අවංකව කිව නොහැක. එකල තාත්තාට ලේක් හවුසියෙන් ලැබුනේ සුළු වැටුපකි. මහන්සි වී පොත්පත් ලිවී- මෙන්ද ඔහු අමතර මුදල් ලබා ගත් නමුත් ළමයින් හය දෙනෙකුට කවන්නට, පොවන්නට, ඇඳුම් පැළඳුම් සහ පාසැල් පොත් සපයන්නට, පාසැල් ගාස්තු ගෙවන් නට එය ප්‍රමාණවත් නොවූ හෙයින් අම්මාට ඉතා අර පිරි මැඟිල්ලෙන් වෙහෙසී වැඩ කරන්නට සිදු විය. ළමයින් වූ අපට සිරිතක් වශයෙන් උදේට කෝපි බොන්නට නොලැබිණ. නමුත් තාත්තට දුන් ලොකු කෝපි කෝප්පයෙන් තුනෙන් පංගුවක් පමණ ඉතිරි කොට කෝපි කෝප්පය ගෙන ගොස් ඔහුට පිළිගන්වන අක්කාට හෝ මට දීම, ඔහුගේ සිරිත විය. තාත්තාට කෝපි වලින් කොටසක් ඉතිරි කිරීමට අමතක වුයේ ඉතාම් කලාතුරකිනි. එවැනි දිනයක " ඇයි මට මතක් කරේ නැත්තේ " යි ඔහු සිනාසී මගෙන් අසයි. එවිට ම ලජ්ජාවෙන් මිරිකුණේ බැතිමත් හැසිරීමේ වෙස්ගත් මගේ කෑදරකම එයින් එළිදරව් වූ නිසා විය හැක.

'' හරිම ජරා කෝපි වගයක්. ප්‍රේමා කොහෙන්ද මේ කෝපි ගෙනාවේ '' යි ආලින්දයේ හාන්සි පුටුවේ දිගාවී උන් තාත්තා ඇතැම් දිනක මොරගාමින් අම්මාගෙන් අසයි.

'' ඔය කෝපි මම නෙවි ගෙනාවේ. ඔය කොළඹින් ගෙනා කෝපි' යි අම්මා ද පෙරළා මොරගාමින් පිළිතුරු දෙයි.

මෙසේ මොරගාමින් කතා කරන්නේ දෙදෙනා අතර ඇති අසතුටක් නිසා නොවේ. අපට අන්දවා කවා පොවා වේලාවට පාසැලට පිටත් කරන අටියෙන් අම්මා ආලින්දයෙන් එපිට ඈත කොනේ වූ කුස්සියට හෝ කාමරයට දුවමින් කලබල කරයි. මේ නිසා දෙදෙනා අතර දෙබසක් කළ යුත්තේ මොරගාමීන්ය.

" වෙන්න බෑ. මම ගෙනාවේ හොඳම කෝපි වගයක් '' යි තාත්තා යලිත් කියන්නේ සාමාන්‍ය කටහඬින් නිසා එය අම්මාට නො ඇසේ. මෙසේ පිළිතුරු දීම, ඔහු කටින් නොපිළිගත් දේ, සිතින් පිළිගත් බවට කරන ඉඟියක් ලෙස මට වැටහේ.

තාත්තා පෙරවරු එකොළහට හෝ දොළහට ලේක් හවුසිය බලා ගොස් ආපසු එන්නේ රෑ දහයට පමණය. සෙනසුරාදා හැර සතියේ ඉතිරි දවස් හයේ ඔහු මෙසේ වැඩ කරයි. මේ නිසා ළමයින්ගේ දඟකාරකම් සහ අකීකරු කම් මෙල්ල කිරීමේ කාරිය පැවරුණේ අම්මාටයි. ලොකු අය්යාගේ අත් උදව්වද මේ සඳහා ඈ යෙදවූ බව මට හොඳින් මතකය. අම්මාගේ පැමිණිල්ලක් උඩ ඇතැම් විට තාත්තා රුදුරු වෙසකින් අපට තර්ජනය කළ විට අප මහත්සේ බියවීමු. ඔහු ඉඳහිට සිහින් කෝට්ටක් ගෙන අපට තැලූ විට අප මර හඬ නැංවුයේ වේදනාවට වඩා බියෙනි.

ළමයින්ට කරදර හානි සිදුවේ යැයි තාත්තා වෙන දෙමාපියන්ට වඩා දැඩි බියෙන් හා සැකයෙන් ඇතැම් විට පෙලුනේ යැයි මට හැඟේ. ඇබැද්දියක් නිසා අපෙන් එකෙකුට කරදරයක් සිදුවූ විට ඔහු එය සුළු වුව ද, මහත් කොට සලකා, අපටත් අම්මාටත් දොස් නඟයි; මහත් සිත් තැවුලෙන් පසුවෙයි. දැඩි නොසන්සුන් ගතියකින් පෙලෙන විටෙක ඔහුගේ දොස් නැඟිම් වලට සහ බැනුම්වලට ඉලක්කය වූ අම්මා කරබාගෙන සිටින්නීය; කරබාගෙන නොසිටි අවස්ථාවක තාත්තා පිඟානක් පොළොවේ ගසා පොඩි කරමින් දැඩි කෝපය උතුරුවා හැරිය සැටි මට මතකය. දැඩි නොසන්සුන් ගතියක් ඇති කරන යම්කිසි සිද්ධියක් කියා තැවුල් වූ සිතින් පෙළෙන විට තාත්තාගේ ශරීරය ද දුර්වල වෙයි; බඩ පිපෙයි; කෑම අප්‍රිය වෙයි; ඇතැම් විට මල බද්ධයෙන් ද තවත් විටෙක අජිරණයෙන් ද පෙළෙයි; හින්ද නොයයි; ඇතැම් විට හීනයෙන් බයවී නින්දෙන් රෑ යාමයේ කෑගසයි. තාත්තාගේ සිහින ලොවට මාද අකමැති හවුල් කාරයෙකු වුයේ ඔහුගේ නිදන කාමරයේ දොරකඩ, මා නිදාගත් සාලයට විවෘත වූ බැවිනි.

...... තිගැස්සී ඇස් ඇරිය මට කළුවර සාලයේ එක බිත්තියක් යන්තම් සුදට පෙනෙයි. ගැඹුරු කට හඬක් බිත්තියේ වූ කළු දොරකඩින් පිටවෙයි. අමනුස්ස බසකින් දොඩන්නක් වැනි ඒ අනන් මනන් නතර වනවාත් සමඟම තියුණු උස් හඬකින් කරන අඳෝනාවක් මට ඇසේ. මේ දෙබස පිට වන්නේ තාත්තාගේ මුවින් බව මම දැන සිටියෙමි. වරක් තර්ජනංනාකාර කටහඬක් ඇසෙයි; මොහොතකින් එය බියෙන් කෑ ගසන්නෙකු තියුණු ස්වරයකින් නගන අදෝනාවකට හැරේ. හඬවල් දෙකම එකවරට දොඩන්නක් මෙන් ද විට ඇසෙයි. සිතල වූ මගේ හමේ සිරිගඩු පිපි දහඩිය මුතු වෙයි.

කුඩා දරුවෙකු සනසන්නාක් මෙන් මෘදු ස්වරයකින් කියන වදන් දැන් මට ඇසෙයි. ඒ සිහිනෙන් බිය වූ තාත්තා අමතන අම්මාගේ කට හඩයි. කෙමෙන් තාත්තාගේ භයානක දෙබස නතර වෙයි.

කෙමෙන් '' මම හීනෙන් කෑ ගැහුවා ද '' යි තාත්තා සෙමින් කියනු මට යන්තම් ඇසෙයි.

දරදඩුව උන් මම අත් පා බුරුල් කරමි...

තාත්තාගේ මනස තුළ ඇතැම්විට හොල්මන් කළ අදුරු සෙවනැලිවලට හේතු වූ අතීතය පිළිබඳ ඉඟියක් ඔහුගේ ආත්ම චරිත කථාව වන "උපන්දා සිට" සහ ඔහුගේ සමහර කෙටිකථාවලට මෙන්ම නවකතාවලට ද පිවිස ඇතැයි  මට සිතේ. තාත්තාගේ දෙමාපියන් යමක් කමක් තිබුණු කුලීනයෝ වූහ. ඔවුන් කෙමෙන් පිරිහී දිලිදු බවට පත්වීමේදී තම දූ දරුවන්ගේ අනාගතය අරඹයා ඔවුන් තුළ ඇති වූ බිය, වේදනාව, සැකය, ලජ්ජාව, කළකිරිම සහ අසරණකම විදි යනාදී හැඟීම් තාත්තා අතීතයෙන් ලැබූ අත්දැකීම් වලට සම්මිශ්‍රණය වී ඔහුගේ යටි සිතෙහි සැඟවී සිට වරින්වර මතු වී හොල්මන් කරන රූකඩ වැන්න.

ගැමි අතීතයෙන් ලත් අත්දැකීම්වල බලපෑම තාත්තායන් ගති සහ ඇබ්බැහිකම් තුළින් වටහා ගැනීම අමාරු නැත. ඔහුගේ ඇතැම් ගතියක් පාරම්පරිකව අපගේ හැසිරීම තුළ ද පවතියි.

තාත්තාගේ බාලම මුනුපුරාවක මගේ තුන් ඇවිරිදි පුතා " පුකේ වැඩක්" වදන නැවත නැවතත් හඬ නගා කියමින් මිදුලේ එහාට මෙහාට දුවයි. අමුත්තෙකු සමග කථා කරමින් උන් අම්මා මගේ බිරිඳ දෙස බලා ඇගේ මුනුපුරාගේ යන වදන් නෑසුනාක් මෙන් පෙරට වඩා ටිකක් ශබ්ද නගා අමුත්තා අමතන්නීය. එහෙත් සිංදුවක් කියන්නාක් මෙන් තියුණු හඬින් කියන ලද පොඩි එකාගේ වදන් අමුත්තාගේ කට කොනට සිනහවක් නංවයි.

අමුත්තා පිටත් වී ගිය පසු අම්මා තාත්තාට දොස් නැගුවාය.

සීයා කටට ආ එක කියන හින්දා මේ පුංචි දරුවටත් නරක වචන පුරුදු වෙලා තියෙන්නෙ ''

'' සියගෙන් විතරක් නෙවි, තාත්තගෙනුත්""යැයි මගේ බිරිද සිනාසෙමින් කීවාය. තාත්තා ලියන කියන වහර තුළින් ඔහුගේ ගැමි අතීතය පිළිබිඹු වෙයි. එහෙත් එය නිර්මල ලෙස මතු වන්නේ ඔහු කිසිවෙකුට බැන වදින විටදීය. " උන් ඉංග්‍රීසිකාරයින්ගේ රිඹ ලොවින්න පුරුදු වූ අනුකාරකයෝ ''; හුළං බූරුව '' යන මෙවැනි වැන්වලින් යකුට බැන වදිනව, ඇසු අපි හොඳට සිනාසුනෙමු. ග්‍රාම්‍ය, අවිනීත ලෙස සලකා නගරිකයෝ මෙවැනි වදන් පිළිකුලින් බැහැර කරති. එහෙත් ගැමි වහරේ එන මෙවැනි වදන් අප සිත යෙමු කරන්නේ කෝපයට හා වෛරයට නොව සිනහවට සහ සමච්වලයට යයි බාල වියෙහි දී වුව මගේ හැඟීම විය. තාත්තා යමෙකුට බැන වදිනවා ඇසුවෙකුට කෝපය සහ කළකිරීම පරිහාසය සිනහවකට පෙරළීමෙන් එය පහකරන ගතියක් ගැමි වහරේ පවතින බවට ඉඟියක් ලැබෙනවා ඇතැයි මට සිතේ.

තමා නාගරික පරිසරයට අනුව හැඩ ගැසුණු ගැමියෙකි යැයි තාත්තා කීවේය. මට මතක ඇති කාලයක සිට ඔහු සුන්දර මෝස්තර ඇති ඇඳුම් අඳින්නට පළඳින්නට ආසා කළේය. ඔහු ගමනක් යන්නට ඇඳ පැළඳ ගත්තේ තම පෙම්වතිය හමුවීමට යන්නට සැරසෙන තරුණයෙකු මෙන් ඉතා සැලකිලිමත්වය.

 


කන්නාඩියකින්සේ මුහුණ පෙනෙන තුරු සාලයේ සහ ආලින්දයේ රතු සිමෙන්ති බිම ඔප නංවන්නට ඔහු ප්‍රිය කළේය. සෙනසුරාදාවක ඉටි පොලිෂ් ගා සිමෙන්ති බිම ඔප නැංවීමේ කාරියට බාල අයියා සහ අක්කා සමග මමද හවුල් කාරයෙක් වූයෙමි. ඔහු යමක් කිරීමේදී සෑම විස්තරයක්ම හොඳට සොයා බැලුවේය. සිමෙන්ති පොළව බිත්තියට යාවෙන තැන වූ පටු සිමෙන්ති ලිස්තරය වුව ද ඔප නැංවීමට ඔහු මහත් උනන්දුවක් දැක් වූයේය. පරණ දත් බුරුසු පාවිච්චි කරමින් බිත්තියේ නොගෑවෙන සේ සීරුවෙන් පොලිස් ගෑම අප නම් සැලකුවේ හරිම කරදරයක් ලෙසය.

ඔප නංවන ලද සිමෙන්ති බිම දෙස මනැසින් හැරී බලන මට අද එහි මැවී පෙනෙන්නේ අප සමාජයේ විකාශනය පිළිබඳ ඔහු දැක්වූ ආකල්පය පිළිබිඹු කරන මගේ සිතුවිලිය. අනුකරණයෙන් ඉංගිරිසිකාරයන් වන්නට දඟලන නාගරිකයන්ට බැණ වදින ඔහු, අනුකරණයෙන් ගැමියන් වන්නට වෑයම් කිරීම ද, කුහක කමක් ලෙස සලකා එය සමච්චලයෙන් බැහැර කරයි.

ඔහු අපේ අතීතය හැදෑරුවේ නටඹුන් සමාජයක් අනුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ ඇදී ඇති ඇතැම් මුල් වඩා, වත්මන් සමාජය, සමාජවාදී මානව භක්තියෙන්, ස්වාධීන චින්තනයෙන් සහ නිවහල් ජීවයෙන් පෝෂණය කිරීම පිණිසය.

තාත්තා අපගේ පාසැල් අධ්‍යාපනය ගැන සොයා බැලුවේ ඉතා කලාතුරකිනි. පාසැලෙන් ලැබූ හොඳ රපෝර්තුවක් පෙන්වූ විට, තාත්තා අපට පොතක් දෙකක් තෑගි කළේය. ඇතැම් විටෙක ඔහු සමඟ ඇම්. ඩී. ගුණසේන සාප්පුවට ගොස් පොතක් දෙකක් තෝරා ගෙන, බොදුන් සැලකින් රස කැවිලි කා බී, ගෙදර ආ ප්‍රීතිමත් දවස් මට මතකය.

ඔහු අපට තෝරා ගෙනැවිත් දුන් ආර්. ඇම්. බැලන්ටයින්ගේ ' කොරල් දූපත' වැනි පොත්වලින් අප ලැබූ, මහත් ආස්වාදය ඔහුගේ මුනුපුරන් ලබන්නේ ' මඩොල් දුව '' කියවීමෙනි. අප පොතක් කියවමින් සිටින සමහර විටෙක ඔහු එය කුමක්දැයි විමසා, අතට ගෙන පිටු පෙරල අතරින් පතර කියවයි. එය නුසුදුසු හෝ කබල් පොතක් වී නම්, කොක් හඬ නංවමින් පරිහාසාත්මකව සිනාසී " හරිම ජරාවක් යයි කියයි. එහෙත් ඔහු යම් පොතක් නොකියවන ලෙස අපට අණ නොකළේය. අප ඉගෙන ගත් ඇතැම් දේ ගැන, අප කුප්පන අන්දමින් තර්ක කොට, කුහුල අවුස්සා සිද්ධාන්ත වශයෙන් සැලකූ අපේ ඇතැම් මත ගැන තාත්තා අප තුළ සැකයක් ඇති කළේය.

ළමා වියෙහි නිතර දැකීමෙන් මතකයේ කැටයම් වූ සිතියමක් මට මනැසින් පෙනේ. ලියන මේසය මත සෙම්බුවක හැඩහුරු කමින් යුත් පිත්තල ලාම්පුවෙන් නික්මෙන එළිය, දැල්වෙන තිරය වට කරන විදුරු විමිනිය තුළින් කහවත් ආලෝකයක් නිකුත් කරයි. ලාම්පුවේ එළියෙන් තාත්තාගේ හිසකෙස් සහ ඔහුගේ අකුරු ලියැවෙන සුදු කඩදාසි එකසේ බබලයි. ලියන දෙයට යොමුවූ මුහුණ, පුළුල් නලල් තලයෙන් වැටෙන වක්‍ර සෙවනැල්ලට මුවා වී යන්තම් පෙනේ. ලාම්පුවේ එළියෙන් නලල් තලය දිලයි. බිත්ති වල වැටෙන මෘදු එළියෙන් යන්තමට පෙනෙන පොත් රැක්ක නිසොල්මන්ව බලා සිටින පිරිසකගේ සෙවනැලි මෙන් දිස්වෙයි.

මා මිනසින් මැවූ මේ සිතුවම අද සැබවින්ම ඔහුගේ මුනුපුරන්, මිනිපිරියන් දකින්නේ මේසය මතවන විදුලි ලාම්පුවක එළියෙනි.

කල සන්තානයෙන් අප විසින් කැටි කර ගන්න නොයෙක් මුහුනත් වලින් යුතු පළිඟුවේ අපට ඇතැම් විටෙක නිර්මල ලෙස පෙනුනු ළමා අතීතයේ සිද්ධියක් අප තුළ මොහොතකට තියුණු බුද්ධියක් ඇති කරයි. මා තාත්තා නිරූපනය කළේ මෙලෙස අතීතයෙන් ලත් බුද්ධියක් ඇතිවයි.

 

මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල ප්‍රාඥයා

81 - 85 පිටු

 

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...