Monday, September 19, 2016

බැමිනිතිකාලය  ගැන කෙටි ලිපියක්...





බැමිනිතිකාලය - නවකතා
අනුරාධ මහසිංහ
සයුර ප්‍රකාශන


බැමිනිතිකාලය. තරමක් අමුතු නමක් වගේම වෙනස්ම විදියේ පිටකවරයක්. ඓතිහාසික පුවතක් පාදක කරගත් ප්‍රබන්ධයක් නිසා(දැන් මේ විදියෙ නවකතා රැල්ලක් වගේ තියෙන නිසා) මේක කියවන්න ගත්තෙ තරමක් අවිස්වාසෙන් උනත් මූලාරම්භයේ ඉඳන්ම වෙනස් ප්‍රවේශයකින් පාඨකයාව ග්‍රහනය කරගන්න කතුවරයා සමත්වෙනවා. එහි සූක්ශම වියමනක් තියෙනවා. කෙටි නවකතාවක් ලෙස ගොඩනගා ඇතත් මේ සිදුවීම් යටින් සංකීර්න දේශපාලන, සමාජ යාථාර්ථයක් සියුම් විදියට ගෙත්තම් කරන්නට ඔහු සමත් වෙලා කියලයි හිතෙන්නෙ. විශේශයෙන් ඒ ගෙත්තම මැස්ම නොපෙනෙන ගානට සියුම් කරන්නට ඔහුට හැකිවී තිබෙනවා. මේ කතාව කියවෙන ආකෘතිය එහි ඇති කුතුහලය සහ කතාව ගලාගෙන යාමට කර ඇති මෙහෙය අතිවිශාල බවත් කියන්න පුලුවන්.

මේ තුල අඩංගු ආකර්ශනිය සිදුවීම් කිහිපයකටම මම කැමතියි. එකක් කලුහාමිට බරනී මුන ගැසීම සහ කරත්තය පෙරලීම තෙක් සිදුවීම, දෙවැන්න රජතුමාගේ බිසව කරත්තයෙන් බැසීම ගැන ඉඟිය. මට ඒ මොහොතේ හිතුනේ මේ කතාවට අතිවිශාල ආලෝකයක් සැපයිය හැකි මොහොතක් කතුවරයාට මඟ හැරෙමින් යනවා කියලයි. නමුත් කතාව අවසානයේ දී තීරනය කරන්න පුලුවන් ඔහු එය සංයමයෙන් හා උපකමික විදියකට එය මේ කතාව තුල භාවිත කර ඇති බව. තුන්වැන්න වේලංග සහ පිරිවර මාංශ අනුභවය. මේ ආකර්ශනීය රූපකාත්මක සිදුවීම් තුනෙන් තමයි මාව මේ කතාවට බැඳ ගත්තෙ. පුද්ගලිකව මම දේශපාලනික යථාර්ථයන් මතු කරනවා වැනි නිර්මානවලට කැමති නැතත් මේ කතාව තුල මොකක් හෝ මාව කලඹවන යමක් ඇති බව දැනෙනවා. විශේශයෙන් කතාව තුල අවස්ථා ගනනකදීම අපට අදාල සර්වකාලීන දේශපාලන ක්‍රියාදාමයන් පිලිබඳ කෙරෙන සාහසික ඉඟි කිරීම් ප්‍රසංසනීයයි. අනික මේක කෙලින්ම මහ රජතුමන්ගේ ආශ්‍රිත සිදුවීමක් ලෙස නොපෙන්වා කලුහාමි වැනි නිකම්ම මිනිසෙකු ආශ්‍රෙයන් හෝ වේලංග වැනි කෙනෙක් ඇසුරින් ගෙනහැරපෑමට ක්‍රියා කිරීමම වැදගත් ඉදිරි පියවරක්. වේලංග, කලුහාමි දෙදෙනා වෙත අවස්ථා කිහිපයකදී මෙහි කේන්ද්‍රය දෝලනය වන ආකාරයත් සුන්දර අත්දැකීමක්. කතාව පලාගෙන දේශපාලනය මතු වෙන්නෙවත් දේශපාලනය පලාගෙන කතාව මතු වෙන්නෙවත් නැති තරමට මේකෙ සාරය හොඳින් කවලම් වෙලා තියෙන බවත් කියන්න පුලුවන්.

මුල් අවස්ථාවන් කියවන විට නවගත්තේගම වැනි ශෛලියක් මතකයට නැගුනත් පසුව ඒක ඒ තරමටම දැනුනෙ නැහැ. කතාවේ නමින්ම උනත් ( බැමිනිතිකාලය) අදාල යුගය, කාලය ගැන ක්ශන වටහාගැනීමක් ලබාගන්න පුලුවන්. ඒක කතාවට පිවිසීමට විශාල වාසියක් සපයනවා.( මේ ඉතිහාස කතා පුවත ගැන පුලුල් දැනුමක් මට නැහැ. කතාව විඳින්න ඒක ලොකු බාධාවක් උනෙත් නැහැ.) නමුත් අවසන් බාගයේ රජතුමා සහ පඬි රට සෙබලුන් අතර යුද ගැටුම් ආදී දේ කතුවරයා පෙරමුනට පැමින කතාව කියන ආකාරය ඍජු වැඩිදෝයි කියලත් වෙලාවකට හිතෙනවා. සහ ඒක බරපලත අවුලක් විදියටත් මම දකින්නෙ නැහැ.
අවසන් වශයෙනුත් මම මේකට කැමති බව කට පුරා කියන්න පුලුවන්. කාලෙකින් හොඳ නිර්මානයක් කියෙව්වා කියා හිතෙනවා සහ යලි යලි ඒ ගැන කල්පනාබරිත වෙනවා. නිර්මානකරුවා ඉතා පහසුවන් සංකීර්න තැන් ස්පර්ශ කරනවා. නිසැකවම ඒ පිටුපස විශාල උත්සාහයක් ඇති. ඒ වෙනුවෙන් මගේ අවංක සතුට. සහ සටහන.

කලා කවුලුව

Monday, September 12, 2016

සිංහලෙන් ලියන්න බයද?





අන්තර්ජාලය භාවිතා කරනවත් එක්කම සිංහල ලේඛන විදිය අලුත් මාවතක ගමන් කරනව කියල කිව්වොත් එක අතකට ඒක වැරදි නැහැ. එහෙමත් නැත්නම් ලේඛනයේ ස්වභාවික වර්ධන විලාසය හොඳින් මතුවෙලා පේන්නෙ අන්තර්ජාලය වගේ පොදු ජනයාට ඉක්මනින් සහ පහසුවෙන් සහභාගී විය හැකි මාධ්‍යයකදී කියල අපිට කියන්න පුලුවන්. භාශා විශාරදයන්, භාශා විද්වතුන් මොන ආකාරයේ අන පනත්, බාධක පමුනුවලා තිබුනත් අන්තර්ජාලයෙන් සිදුකෙරෙන සංවාද, ලිපි, සටහන් බොහොමයක් ගලාගෙන යන්නේ පොදු මිනිසාට වඩාත් සමීප සරල කතාකරන විලාසයකින්. ඒක සංවිධානාත්මක කල්ලියක සූක්ශම මෙහෙයවිමක ප්‍රතිඵලයක්  නෙමෙයි. බටහිර කුමන්ත්‍රනයකුත් නෙමෙයි. ඒක ස්වභාවිකයි. ඉබේ හට ගැනුනු එකක්. මේ වෙනකොට ෆේස් බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවල සිංහලෙන් ලියන බහුතරයක් පාවිච්චි කරන්නෙ මේ සරල වාක්‍ය රටාව. කතා කරන භාශාව.
ඒ කෙසේ නමුත් ලිඛිත භාශාවේ අධිකාරීත්වය අඩපන වෙලා කියලත් ඒකෙන් කියවෙන්නෙ නැහැ. අද සිංහල උගන්වන පාසල්වලින් එලියට එන්නෙ ලේඛන ක්‍රමය ගැන මේ කෘතිම අදහස් බලහත්කාරයෙන් මනසට ඇතුලත් වුනු ශිශ්‍ය බට කන්ඩායම්. ඒ අතින් මේ තරමට හෝ භාශාව ස්වභාවික මාවතක ගමන් කිරීම ගැන පුදුම වෙන්න ඕන සහ සතුටු වෙන්න ඕන. අද සිංහල කියන්නෙ පාසල් සිසුන්ට වගේම විශ්ව විද්‍යාල සිසුන්ටත් නම ඇසූ සැනින්ම බිය ඇතිකරන විශයක් බවට පත් වෙලා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි ව්‍යාකරන දුශ්කර නිසා. ව්‍යාකරන සංකීර්න නිසා.
පාසල්වල සිංහල උගන්වන ගුරුවරයාගේ ප්‍රධාන වගකීම වෙලා තියෙන්නේ සමාජයේ අන් අය නොදන්න තමන්ම විතරක්ම දන්නා මැහැඟි ව්‍යාකරන දැනුම සිසුන්ගේ පිලිතුරුවල තියේදැයි පරීක්ශා කිරීම. මම කිව්වොත් මි යන්නෙන් අවසන් වෙනවද නුඹ කිව්වොත් හු යන්නෙන් අවසන් වෙනවද වගේ දේවල් පරීක්ශා කරනවටයි උග්නනවටයි වැඩි දෙයක් සිංහල ගුරුවරයට නැහැ කියලයි ගුරුවරු හිතාගෙන ඉන්නෙ. එක අතකට ගුරුවරයා විතරක් නෙමෙයි මුලු අධ්‍යාපන ක්‍රමයෙම අවුලක් තමයි මේක.   
මම නම් හිතන්නේ භාශාවක් හසුකරුවනව කියන්නෙ ඊට වඩා සරල සහ ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් වෙන්න ඕන කියලයි. භාශාව සන්නිවේදන මාධ්‍යයක්. සන්නිවේදන මාධ්‍ය අතරින් වඩාත්ම දියුනු තලයට පත් වූ එකක්. ලේඛනය කියන්නේ ඒකෙ දෘශ්‍ය ස්වරූපය. භාශාවේ ශබ්ද අපි සම්මුතිකව පිලිගන්නා සංකේත රටාවක් මගින් ඉදිරිපත් කරල තියෙනවා. භාශාවක් වඩා හොඳින් ප්‍රගුන කරනව කියල කියන්නේ ඒ භාශාවෙන් අපේ හැඟීම් සිතුවිලි අපිට වඩාත් සංවිධිතව සහ ආකාර්ශනීය පිලිවෙලකින් අසන්නාට හෝ කියවන්නාට හොදින් වැටහෙන පරිදි ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනව කියන එකටයි. කරුනු ගොඩක් මනා පිලිවෙලකට ගැටගහග්න පුලුවන්ද කියන එකටයි. ලේඛනයේදී ඒක කතාකරන භාශාවෙන් ද ලියන භාශාවෙන් ද කියල හොයල බලනවට වඩා කරුනු කොහොමද පෙලගස්වල තියෙන්නෙ කියන එකයි වඩාත් වැදගත්.
නමුත් අපේ ලොකු කුඩා බහුතරයක් සිංහලෙන් ලියන්න  බයයි. ලියන්න පුලුවන් උනත් හොඳ කරුනු තමන් සතු උනත් බය ඇතිවෙන්නෙ ඒක කොයිතරම් දුරට ව්‍යාකරනානුකූලද කියන තැනදියි. උක්තයට අනූව ආඛයාතය ගැලපිලාද කියල හොයන්න වෙන තැනදියි. නණ -ලළ හරියට පිහිටලාද කියල සැක හිතෙ තැනදියි.  ලේඛකයො පුවත්පත් ලිපි රචකයො පවා එහෙමයි. අපි ලියන ලිපියක් හෝ සටහනක් වෙනත් භාශා ප්‍රවීනයෙක් ලවා පරීක්ශා කරගන්න අපිට වෙලා තියෙන්නෙ ඒකයි. අපි බයයි. අපිට සැකයි. අපි හිතනවා අපි මේක හරියට දන්නෙ නැහැ කියලා. අපිට තව කාගෙ හරි පිහිට පතන්න සිද්ධ වෙනවා.අපේ මව් භාශාව ලියන්න බය වෙන්න සිදුවීම ගැන ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕන.
අපි කතාකරන භාශාවේ කොතනකවත් ඔය ආකාරයේ උක්ත ආඛ්‍යාතයක් නැහැ. නණ - ලළ භේදයක් නැහැ. නමුත් අපි කිසම ප්‍රශ්නයක් නැතිව අදහස් හුවමාරු කරගන්නවා. අදහස වෙනස් වෙන්නෙ නැහැ. විකෘති වෙන්නෙ නැහැ. සංදිග්ධතා නැහැ. ලියනකොටත් ඒ ක්‍රමයම භාවිතා කරනවනම් ඒක සිංහල ඉගෙන ගන්නව කියන එක ඔය තරම් භයානක හැඟීමක් සිතට ඇතිකරන්නක් වෙන එකක් නැහැ.
සංස්කෘතික ලැග්ම කියන එක හැම සංස්කෘතියක් තුලම සංස්කෘතියේ ස්වභාවික චලනය අහුරාගෙන සිටින බව අපි අත් දකින සත්‍යයක්. විශ්වවිද්‍යාල උප සංස්කෘතිවල වගේ උප සංස්කෘතිවල ඉඳන් මහා සංස්කෘතියෙත් මේ ලැග්ම ඒ විදියටම බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. (අපි විශ්ව විද්‍යාලෙදි පලමු වසරෙදි ගැහැනු ලමයින්ට කලිසම් අදින්න තහනම්. නමුත් අපි ඒක වෙනස් කරලා එයාලගෙම ආරක්ශාව උදෙසා කලිසම්  අදින්න ඉඩ දෙන්න ඕනෑ කියන යෝජනාවක් සම්මත කරගන්න උත්සහ කලත් ඒක බොහෝ විවේචන හමුවේ පසු බස්ස හැටි මට  මතකයි. පුදුමයට කරුන ඒකට තදින්ම විරුද්ද උනේ අන් කවුරුවත් නෙමෙයි ගැහැනු ලමයින්ම වීමයි.) මම හිතන්නෙ භාශාව සම්බන්ධයෙන් පවා ක්‍රියාත්මක වෙන්නෙ මේ ලැග්ම.  එක පුංචි සංකල්පයක් වෙනස් වෙනව කියන්නෙ මුලු සංස්කෘතියම කඩා වැටීමක් විදියට දකින අයයි මේ ඕනෑම සංස්කෘතියක අධිපතීත්වය දරන්නේ. ඒකට තදින්ම එරෙහි වෙන්නේ. ස්වභාවික මාර්ගය අවහිර කරගෙන ඉන්නේ.
මේ ලඟදි ෆේස් බුක් එකේ එක්තරා සමූහයක කෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා කතාකරන භාශාව ලියන්න ගන්න එක හොඳද නරකද කියලා. ඒකට ලැබුනු ප්‍රතිචාර වලින් 80% විතර කියල තිබුනෙ ඒක හොඳ නැහැ කියලයි. සමහරු බොහොම ආවේගෙකින් පිලිතුරු දෙන්න උත්සාහ අරන් තිබුනා. කතා කරන භාශාවෙන් ලියන්නෙ සිංහල දන්නෙ නැති අය කියල සමහර අය තර්ක කරනවා. තවත් අයගෙ අදහස උනේ අනුරාධපුර යුගයේ වගේ දියුනු සාහිත්‍ය යුගයන් පරිශීලනය කරන්න අපිට ලේඛන විදිය දැනගන්නම වෙනවා නැත්නම් ඒක ලොකු පාඩුවක් කියලයි. කතාකරන බසින් ලිව්වොත් ඒක නිකම් ගමේ ගොඩේ කතාවක් වගේ නැත්නම් රස්තියාදුකාර භාශාවක් වෙයි කියලා බය හිතෙනවා කියල තව පිරිසක් අදහස් දක්වල තිබුනා. හාස්‍යයට කරුන වෙන්නෙ ඒ හැම උත්තරයක්ම වගේ ලියල තිබුනෙත් කතාකරන භාශාවෙන්ම වීමයි.
කතා කරන භාශාව ලියන්න ගන්න ඕන කියන තර්කය අද ඊයෙක හටගත්තු එකක් නෙමෙයි. මං හිතන විදියට ඒක වඩාත් ගැඹුරින් තාර්කිකව කරුනු විග්‍රහ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ ඒ පිලිබඳ අදහස් ඉදිරිපත් කරන්නෙක් විදියට අජිත් තිලකසේන මෙහිදී ලොකු මෙහෙවරක් කරනවා. ඒක හුදකලා සටනක්ද දන්නෙත් නැහැ.  70 දශකයේ ඉඳන්ම ඔහු මේ ගැන කතා කලා. යෝජනා ඉදිරිපත් කලා. ප්‍රතිපත්තියක් විදියට ඔහු ඒ මාර්ගයේ ගමන් කලා සහ කරමින් ඉන්නවා. 
නව පරපුර වගේම භාශා විශාරදයන් ඉදිරිපත්කරන ගැටලු වලට, ප්‍රතිතර්ක වලට හොඳ සාධනීය පිලිතුරු ගොනු කරමින් ඔහු ලියූ ලිපි වල එකතුවක් විදියට සහ එය පිලිවෙලකට ඉදිරිපත් කරමින් ඔහු පොතක් ලියනවා මැදිවහර නමින්. ඒක ප්‍රකාශයට පත්වෙන්නෙත් මේ අවුරුද්දෙ. මැදිවහරෙන් ඔහු යෝජනා කරන්නෙ තව දුරටත් අපි ආයාසකර ලේඛන ක්‍රමයේම එල්ලිලා ඉන්න එකේ තේරුමක් නැහැ කියන එකයි. ඒක සිංහල භාශාවේ අනාගතය ගැන ලොකු හැදෑරීමකින් සහ අවංක ආදරයකින් කරන යෝජනාවක් උනත් බොහෝ වියතුන් වගේම සාමාන්‍ය ජනයා තිලකසේනව  දකින්නෙ ඔහු තරම් සිංහල භාශාව විකෘති කරපු කෙනෙක් තවත් නැති ගානටයි. මට හිතෙන්නෙ ඒ කිසි කෙනෙක් තිලකසේන දශක හතරක් පහක් තිස්සෙ ලොකු ගවේශනයකින්, ගැඹුරු හැදෑරීමකින් ඉදිරිපත් කල භාශාව සම්බන්ධ කෘති, සටහන්  එකක්වත් කියවලා නැතිව ඇති.
වෙහෙසකර උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය අතහැර සරලව වාක්‍ය අවසන් කරන විදිය කොහෙත්ම භාශාව රස්තියාදු කිරීමක් හෝ පරිනත ස්වභාවය පහත හෙලීමක් නොවන බවට ඔහු මැදිවහර කෘතියෙදී  පෙන්නලා දෙනවා. කොටින්ම කතා කරන භාශාව ලියන්නට ගන්නවා යනු කතා කරන බස එහෙම පිටින්ම ලේඛනයට ගන්නවා කියන එකම නෙමෙයි. එය කොහොමටත්ම කල නොහැකි කාර්යයක්. ඒ වෙනුවට උක්ත ආඛ්‍යාතයේ අසීරුතා මගහැරීම සරල ක්‍රියාවලියක්. මම කියල ලිව්වත්, අපි තොපි, නුඹ, නුඹලා මිනිසුන්, මිනිස්සු ආදී මොන ආකාරයෙන් ලිව්වත් කලා, කෙරුවා, කරනවා කියල වාක්‍ය අවසන් කරන්නට හැකිනම් එය පහසු සහ  ඕනෑම අයෙකුට අවබෝධකරගත හැකි තත්වයක් ඇති කරනවා. ලේඛයයේදී සෙසු වචන භාවිතයන් විදග්ධ ස්වරූපයේ ඒවා උනාට කමක් නැහැ. කතා කරන බස වෙනුවට මැදිවහර ලෙස ඔහු  එය නම් කරන්නෙත් මේ නිසාම වෙන්න ඕන.   
මම හිතන්නෙ අපි සිංහල භාශාව අතරින් අනාගතයට ගමන් කරන්න ඕන නම් මේ ආකාරයට භාශාවේ අනවශය බර හෑල්ලු කරගන්නම වෙනවා. එහෙම කලොත් විතරයි ලොකු කුඩා, උගත් නූගත් ඕනෑම අයෙකුට බයක් සැකක් නැතිව භාශාව පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ. ඒක අපේ භාශාව අනාගතය වෙත ගමන් කිරීමේ මාර්ගය එලි කරන්නක් මිසක් විකෘති කරන්නක් විදියට භාර ගන්න එකයි ලොකුම විකෘතිය. කාලයේ තාලයට භාශාව වෙනස් වෙනවා. භාශාව පරිනාමනය වෙන දෙයක්. එය ආයාසයෙන් නවත්වා ගන්නා තැන තමයි එය පසුබෑමට ලත් වෙන්නේ. ආයාසයෙන් හදාරන්න වෙන්නේ එතකොටයි.   ඒකට පෙරමුන ගන්න ඕන මූලික වශයෙන්ම ලේඛකයා. රචකයා.  තිලකසේන කියන ආකාරයට නිර්මානාත්මක ලේඛකයා, පුවත්පත් රචකයා, දැන්වීම් ලියන්නන් වැනි පුද්ගලයන් මේ කාර්යයට මුල පුරන්න ඕන.

මම හිතන්නේ අද පලවෙන සිංහල නවකතා කෙටිකතා බොහොමයක් ලියවෙන්නෙ මේ ක්‍රමයට. ඉස්සර තරම් අසීරු ඔලුව කරකවන තරම් බරසාර උක්ත ආඛ්‍යාත පිරිල නැහැ. සරල වාක්‍ය රටාවන් පවා සාහිත්‍යාත්මකයි. තරුන රචකයන් පුවත්වල ලිපි ලියන්නෙ උක්ත ආඛ්‍යාතය තකන්නෙ නැතිව. ඒක හොඳ ප්‍රවනතාවයක්. සාහිත්‍ය කලා, සමාජ විචාර ලියන්න උනත් මෙය සුදුසු බව ඇතැම් ප්‍රසිද්ධ රචකයන් ඔප්පුකර තිබෙනවා. මේ වන විටත් එහෙම ලියවෙමින් තිබෙනවා. එහෙම ලියන්න හුරුවෙන  තරමට සිංහල භාශව සම්බන්දයෙන්  සුබවාදී බලාපොරොත්තු තබාගන්න අපිට පුලුවන් වේවි.සිංහලෙන් ලියන්න කවුරුවත් බය වෙන්න ඕන නැහැ. අපිට දැනෙන හැඟෙන දේ අපි ලියනවා. ඒක තමයි ලියන්න පුලුවන් හොඳම විදිය. 

කලා කවුලුව

Saturday, September 10, 2016

චයිනමන් - අග්‍රගන්‍ය කෘතියක්.








බැලූ බැල්මට අමුතු නමකින් මෙන්ම අමුතු පිටකවරයකින් සැරසිලා එන චයිනමන් ආරම්භයේ ඉඳන්ම එක්තරා කුහුලකින් අපේ හදවත් වෙලා ගන්නව කිව්වොත් ඒක නිවැරදියි. මේ නවකතාව ආරම්භ වෙන්නෙ නවකතාවක් යයි නොහිතෙන තරමට නැවුම් ආකෘතියකින්. එක අතකට ආකෘතිය, තේමාව, කතා පුවත ආදී සෑම දෙයක් තුලම ඒ නැවුම් බව කැටිවෙලා තියෙනවා. මම මුලින්ම ප්‍රිය කරන්නෙ මේ අලුත් ආකෘතියක් නැති (අපිලිවෙලකාරී) ආකෘතියට. මේ වගේ අපිලිවෙල දීර්ඝ කතාන්දරයක් විස්තර කරන්න හොඳම හෝ එකම විදිය මේ විදිය වෙන්නත් පුලුවන්. ආරම්භය වුනත් අපිව ඒක ඇතුලට ඇදල අරගන්න තරම් පරිපූර්නයි, ප්‍රබලයි.

ප්‍රදීප් මැතිව්..
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ප්‍රදීප් මැතිව් කිව්වම කවුරුත් අහන්නෙ කවුද ඒ? අපි අහල නෑනෙ. කියලයි. මේ දැන්. ඔබට වුණත් එහෙම හිතෙනව නම් ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.
මං මේ ගැන දිගට හරහට හොයල තියෙනවා. මිනිහ සෙල්ලම් කල තරඟයක් තරඟයක් ගානෙ විශ්ලේශනය කරන්න පුලුවන්. ඒත් මේ රටේ හොඳම, විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකය ගැන කිසි කෙනෙක් නොදන්නෙ ඇයි?
හේතු ගොඩක් තියෙනව. වැරදි කාලෙ, වැරදි තැන මිනිහ හිටියෙ. සල්ලි, කම්මැලිකම, දේශපාලනේ, ජාතිවාදෙ, කැපිලි, ලයිට් කැපිලි,(ඒ කිව්වෙ විදුලි බලය) එහෙමත් නත්නම් කාලකන්නි කම... ඔන්න ඔය වගේ පිලිවෙලක් නැති ඒවා. මං මේ ගැන ලියන්න ගත්තට කිසි කෙනෙක් මේක කියවයිද, නැද්ද කවුද දන්නෙ... ඒකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. (චයිනමන්. පලමු ජේදය 9 පිටුව)’’

මුලු නවකතාවම එක පරිච්ජේදෙකට හකුලුවල ගන්න තරම් අවංක ප්‍රකාශනයක් ඒ ඇතුලෙ තියෙනවා. ලංකාවෙ අපේ හද ගැස්ම වූ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක බද්ද වෙලා තියෙන මේ නවකතාව මේ තරමටම අපිව කලඹවන තව හේතු තියේනන පුලුවන් බවයි මට හිතෙන්නෙ. ඒකට ලඟම හේතුව ලෙස මට නම් දැනෙන්නෙ කතාව ආරම්භයේ ඉඳන්ම ඇත්ත සහ ප්‍රබන්ධය අතර කවලමක් විදියට කතාව ගලාගෙන යාම කියලයි. මෙහි අඩංගු සිද්ධි , අවස්ථා, වාර්ථා සටහන් සෑම දෙයක්ම වගේ සත්‍ය දේවල්. ක්‍රිකට් තරඟ පැවුත්වූ වර්ශ, ක්‍රීඩාංගන, සහභාගී වූ ක්‍රීඩකයන්ගේ තොරතුරු, ආදී සියල්ලක්ම ඇත්ත දත්ත. මේ තුල ජීවත් වෙන්නෙ අපි තාමත් නිතර අසන ක්‍රිකට් තරු. අර්ජුන, ගුරුසිංහ, අරවින්ද, දුලිප් මෙන්ඩිස්, මුරලි, ආදී ක්‍රිකට් තරුවල ඉඳන් නොයෙක් විස්තර, තරඟ ගැන අපේ අතීත මතක ඔස්සේ චාරිකාවක් කරන අතරෙයි ප්‍රදීප් මැතිව් මතුවෙමින් යට යන්නෙ. කතාවෙම කියන විදියට මැතිව් සෙල්ලම් කරන්නෙ 1985ත් 1996 ත් අතර කාලසීමාවෙ ඉතාමත් සීමිත තරඟ සංඛ්‍යාවකට විතරයි. මෙවනි මතුකරිම් එක්ක අපේ කුහුල දෙගුන තෙගුන වෙනවා. ප්‍රදීප් මැතිව් ඇත්තටම ඉන්නවද, එයාට මොකද උනේ.., තාම ජිවත් වෙනවද, එයා පිහිටවපු තරඟ වාර්තා මොනවද, ඒ වාර්තා ඇත්තම ඒවද, නිරන්තරයෙන් අපිව දවන, අපේ කුතුහලය අවුලුවන, මේ ප්‍රශ්න වැලට ප්‍රබන්ධයක් යයි කියාගන්නා කෘතියකින් උත්තර සෙවීමත් නිශ්ඵල දෙයක් වෙන්න පුලුවන්. නමුත් නවකතාව පුරාම අපිත් ඩබ්, ජී කරුනාසේනත් එක්කම ප්‍රදීප්ව සොයාගෙන යනවා. වල්මත් වෙනවා. කුල්මත් වෙනවා.. ඒක තමයි නවකතාවට අපිව බැඳල තබන මූලිකම ප්‍රබන්ධමය උපක්‍රමය. කෘතියේම සඳහන් වන ආකාරයට මැතිව් ක්‍රීඩා කරල තියෙන්නෙ ටෙස්ට් මැච් හතරයි. ඒ තරඟ වලදි පවා ඔහු ලබා ගන්න තරඟ වාර්තා නොයෙක් හේතු මත යට ගිහින්. ඉතින් මේ සැඟවුනු වීරයාව, නොදිලුනු තාරකාව බොරුවක් වුනත් - බොරුවට හරි ඇත්තක් වෙනවට කවුද අකමැති. අනෙක් අතට මේක බොරුවක් යයි කියන්නේ පවා බොරුවටද?( බොරුකාරයා තමන් බොරු කියන බව පවසන්නේ ඇත්තටමද - චයිනමන් 7 පිටුව)

තවත් පැත්තකින් මේ කතා කියන විලාශය අපූර්වත්වයක් තියෙනවා. ආරම්භයේ ඉඳන්ම අවසාන පර්ච්ජේදය කිහිපය වෙනකම්ම කථකයා වෙන්නෙ ක්‍රිකට් ජීවිතය කරගත් බේබදුකාර තලස්තානි ජනමාධ්‍යෙව්දියෙක්. ඩබ්, ජී කරුනාසේන. ඔහු ලෝකය දෙස ජිවිතය දෙස, ක්‍රිකට් දෙස බලන කෝනයේ ලොකු වෙනසක් තියෙනවා. ඔහුට මුනගැසෙන චරිත, ඔහු මුහුන දෙස සිදුවීම් හාස්‍ය හා උපහාසය පිරීගිය කුතුහලයක් අප තුල ජනික කරවනවා. අනිත් අතට ඒ සියල්ලටම යටින් සමාජ, දේශපාලන යථාර්ථයක් හෙලි වෙමින් පවතිනවා. ප්‍රධාන චරිතයේ ඉඳන්ම ඒ ඒ චරිතවල හැඩය නිරායාසයෙන්ම මතුවෙන ආකරය විශ්මය දනවන තරම්. ප්‍රධාන චරිතය උනත් දුබලකම්, මෝඩකම් වගේම පරිනත නූතන අදහස් සියල්ලෙහිම එකතුවක්. ඔහු තම පුතාට බලහත්කාරයෙන් ක්‍රිකට් උගන්නන්නට වෙර දරන අතරේ ජීවිතය පිලිබඳ දාර්ශනික චින්තනයක්ද දරනවා. දෙවියන් ප්‍රතික්ශේප කරනවා. බීමත්කමට ඇබ්බැහිවෙනවා. නවකතාව පුරාවටම තියෙන්නෙ මෙවැනි සජීවී ජීවිතයන්වල පැතිකඩ. හඩතල. ප්‍රදීප් මැතිව්ව නිර්මානය කිරීම පවා ඒ සජීවී බව ආකරක්ශා කරමින්ම සිදුවීම නවකතාවේ සාර්ථකත්වයට තුඩු දෙනවා.

ප්‍රදීප් සිවනාදන් මැතිව් දෙමල ජාතික ක්‍රීඩකයෙක් නිසා ඔහුට සමාජයෙන් හෝ කන්ඩායමෙන් විවිධ කැපිලි, ප්‍රශ්න ඇතිවන බව මේ කතාව තුලම ප්‍රදීප් මැතිව් පවා අදහන සත්‍යයක්. නමුත් ප්‍රදීප්ගේ ඉරනමට ඔහු ද්‍රවිඩයෙක් වීම පමනක්ම බලපානවායයි ලඝු අර්ථයක් දෙන්නට කතුවරයා කිසිසේත් සූදානම් නැහැ. ඒ වෙනුවට ඔහු ඉතා ස්වභාවික ජීවන ගමනක ප්‍රදීප් මැතිව්ව ගෙනයනවා. ගමන් කරන්නට ඉඩ දෙනවා. කතුවරයා කිසිවිටෙක ඒ ස්වභාවික ගමන අනවශ්‍ය සම්භාව්‍ය බරකින් අඩාල කරන්නේ නහැ. මැතිව් දඩබ්බරයෙක්. නාහෙට නාහන කෙනෙක්, නායකයගෙ මතයට පවා හිස නෙනමන ඉලංදාරියෙක්. ක්‍රිකට් ආයතනය පවා නොතකන්නෙක්. නීති කඩන්නෙක්, චන්ඩියෙක්. දඩි මතදාරියෙක්. ප්‍රේමනීය කෙනෙක්. කම්මැලි කෙනෙක් වගේම මුදල් අවශ්‍යතාවයෙන් පෙලෙන්නෙක්.වෙනත් කතාවල වීර චරිත වලින් ප්‍රදීප් මැතිව් වෙනස් වන්නේ එතැනදීයි. අහිංසක, අවංක, ඍජු සමාජ යහපතට උරදෙන නොයෙක් වීර චරිත වෙනුවට කතුවරයා අපි ඉදිරිපිට තබන්නේ ඇත්තම ජීවිතයක්. අපි යථාර්ථයක්, ප්‍රබන්ධයක් අතර අතරමං වීමට හේතු වන්නේත් ඒක.

රූප සටහන්, චිත්‍ර, පරිච්ඡේද බෙදිම් භාශාත්මක සෙල්ලම්, උපහාසය පිරුනු කතා ආදි සියල්ලක්ම වෙතින් නැවුම් ප්‍රබන්ධමය අත්දැකීමක් ලබාදෙන චයිනමන් ඇත්තටම ක්‍රිකට් ලෝකයේ සැඟවුනු ස්ථාන හෙලි පෙහෙලි කරන්නක් විතරක්ම නෙමෙයි. නවකතා කේශ්ත්‍රයේ නව මඟක් ගන්නා පාඨකයාව ප්‍රමෝදයෙන් යුතුව අපූරු චරිකාවක කැඳවාගෙන යන ආකාරයේ අග්‍රගන්‍ය කෘතියක්. ඒ විශිශ්ට ඉනිම වෙනුවෙන් ශෙහාන් කරුනාතිලකටත් මෙවැනි ඒ ඉනිම පිලිබඳ සිංහල විස්තර විචාරය සැපයූ දිලීප අබේසේකරටත් ස්තූතිය හිමි වෙන්න ඕන.

අග්‍රගන්‍ය යන වචනය අප ඕනවට වඩා පාවිච්චිකරන බවයි මගේ හැඟීම. ක්‍රීඩාවක සැබෑ වීරයන් සඳහා පමනයි එය සුදුසු වන්නේ. අග්‍රගන්‍ය ගෝලය, අග්‍රගන්‍ය මෙහෙයුමක්, අග්‍රගන්‍ය පහරක්, හැටියට ඉතා සාම්ප්‍රදායික දේවල් නිතර හැඳින්වීම ඒ වචනය හෑල්ලුවට ලක් කිරීමක්. ජෙෆ් බොයිකොට්. එංගලන්ත පිතිකරු ( 1964 -1982)  - චයිනමන් 8 පිටුව





ෆුල් ටයිම් කලාව සහ වින්ස්ටන් වෑන්ගෝ 


ඔවුන් සිතන්නේ චිත්‍ර ඇඳීම නිසා මා උන්මත්තකයෙකු වූ බවයි. මම දන්නවා චිත්‍ර ශිල්පියෙකු තමා දකින දෙයින් කොයිතරම් ආසක්ත වෙනවද කිව්වොත් ඔහුගේ ජීවිතයේ අනෙක් පැති සම්බන්ධයෙන් සාර්ථක නොවන බව. ඒත් ඒ නිසා ඒ වගේ මිනිසෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? (553 පිටුව)

නිර්මානයේ මහා ශෝකය - වින්සන්ට් වෑන්ගෝ නම් පරිවර්තන කෘතිය (පරිවර්තනය - සුභා රනවීර) වෑන්ගෝ ගේ චරිතය අලලා අර්වින් ස්ටෝන් නැමැත්තා විසින් ගවේශනාත්මකව ලියන ලද චරිතාපදානයක් යයි කිව හැකි  නවකතාවක් බවයි මට හිතෙන්නේ. වෑන්ගෝ ගේ අවුරුදු 38ක් තරම් කෙටිකාලීන ජීවිතයේ සිදුවීම් ඇසුරින් ලියවෙන මේ පොතෙන් වෑන්ගෝ ගේ ශෝකාන්තයට වඩා අපට පසක් වෙන්නේ නිර්මානකරුවෙක් ස්වකීය නිර්මාන උදෙසා කොයිතරම් නම් අවංක කැපකිරීමක් කරනවා ද යන්නයි. ආරම්භයේ ඉඳන් අවසානය වන තෙක්ම වෑන්ගෝ චරිතය මෙම නොනැසෙන ධෛර්යය ප්‍රකට කරවමින් මරණය වෙත ලඟා වෙනවා.
වෑන්ගෝට තමන් පතන අදරය හිමි වන්නේ නැහැ. තමන් ආදරය කරන, ආදරය අයදින කෙල්ලන් විසින් ඔහුව නිර්දය ලෙස බැහැර කරනවා. පමා වී වුවත් ඔහු එලඹෙන චිත්‍ර නිර්මාන කාර්යය උදෙසා පුරා දස අවුරුද්දක් ඔහු කරන අරගලය විටෙක විස්මය දනවන සුලුයි. ඔහුට රැකියාවක්, වෙනත් අරමුනක්, බලාපොරොත්තුවක් නැහැ. පවුල් ජීවිතයක්, ලිංගික ආශ්වාදයක්, ආදරයක් මේ හැම සංවේදනාත්මක හැඟීමක්ම ඔහුගේ චිත්‍ර නිර්මානය කිරීමේ නොසිඳෙන ආශාව අභිමුව පරාජයට පත් වෙනවා. කොටින්ම කෑම, නවාතැන්, සුව පහසුව හෝ නින්ද පවා ඔහුගේ මේ ආශාවට අභියෝග කරන්නේ නැහැ. කලාව වෙනුවෙන් ස්වකීය නිර්මානාත්මක ගවේශනය හෝ සාර්ථකත්වයට පැමිනීමට කරන අනවරත අරගලය තමයි එක්තරා විදියකට විස්මයානුකූල ශෝකයක් ජනිත කරවන්නේ. අවසාන කාලයේ දී ඒ කැපකිරීම කොතරම් දුර යනවාදැයි කියනවානම් ඔහු ශාරීරික හා මානසික දුබලතාවන්ට පත් වෙනවා. එහෙත් වෑන්ගෝ තම සටන අතහරන්නේ නැහැ.ඔහු ජීවිතය පවා තම කලාව වෙනුවෙන් කැප කරනවා. නැතනම් ඔහුට නොදැනුවත්වම ජීවිතය ඔහු කෙරෙන් මරණය වෙතට මාරු වෙනවා. එතෙක් ඔහු කිසිවක් දන්නේ නැහැ. හාත්පස මිනිසුන් පිස්සා යයි නම් පට බඳිද්දී ඔහුට විහිලු කරද්දී, හිනා වෙද්දී ඔහු කරන්නේ ගිනි කන අවුවේ, දැඩි සුලං මධ්‍යයේ නොනවැතී සිතුවම් නිර්මානයේ යෙදීමයි. තම අත ඇති අන්තිම සතය ද වියදම් වෙද්දී ඔහු කරන්නේ නොකා නොබී කුසගින්නේ උණ ගැනෙනතුරු නර්මාණකරනයේ නිරත වීමයි. ඊට අවශ්‍ය කලමණා මිල දී ගැනීම යි. ජීවිතය අන්තයට ලඟා වන තුරු නිර්මාණ එක්ක ජීවත් වීමයි. ඒ තුලම ව්‍යාකූලත්වයට පත් වීමයි. සාර්ථක වීමයි.වෑන්ගෝ ගේ චරිතය හෙලිදරව් වන මෙම ප්‍රබන්ධය තුල ඔහුගේ ජීවිතය මොනතරම් ශෝකාන්තයක ගැලී විනාශ වනවාද කියන එකට වඩා පාඨකයාව කලඹන්නේ මෙකී කැපකිරීමයි. නිර්මාන වෙනුවෙන් කරන අවංක වෙහෙසකර මෙහෙවරයි. එතරම් ම විස්මිත කැපකිරීමකින් අනතරුව පවා තමා සාර්ථක ද යන ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරුක් ඔහු ගේ ජීවිත කාලය තුල නොලැබීම තව දුරටත් ශෝකී බව තීව්‍ර කරනවා. තම මරනය එක්කම වෑන්ගෝ අමරනීය වන්නේ ද ඒ තරමට ඔහු නිර්මාන වෙනුවෙන් නොනවතින සටන සටන කෙදිනක හෝ  ඵල දරන නිසායි.
ලංකාවේ දී කෙතැනකවත් කලාව ෆුල් ටයිම් නොකෙරෙන බව මෑතක බූපති නලීන් කියන විචාරකය ලියල තිබුනු ලිපියකින් කියල තිබුන. ඇත්ත. ලංකාවෙ බොහොමයක් නිර්මානකරුවො නිර්මාන කරන්නෙ පාට් ටයිම් එකක් විදියට. ඒක එක්තරා ආකාරයකට සමාජ ක්‍රමයේ වරද. ෆුල් ටයිම් නිර්මානකරයේ යෙදීමට අවශ්‍ය මානසික නිදහස, අවස්ථාව සමාජයෙන් නිර්මානකරුවන්ට විවර කරල දිල නැහැ. ඉඩදිල තියෙනවනම් ඒ ආර්ථික උවමනාවන් පිරිමැසෙන වානිජ කලාවන් උදෙසායි. අනිත් අතට නිර්මානකරුවනුත් ඒ තැනට යන්න සමත් නැහැ. ඔවුන් තම තමන්ගේම හුදකලා සටන්වලින් පරාජිතයො බවට පත් වෙලා අවසානයේ පවුල් සංස්කෘතියේ ගොදුරක් බවට පත් වෙලා නතර වෙනවා. 17/18 වැනි සියවස්වල තරම් ඈත කාලසීමවාල යුරෝපයේ ඒකට හොඳ සමාජ වටපිටාවක් සැකසිල තිබුනු බව වෑන්ගෝ කෘතියෙන් වක්‍රාකාරව අපට පෙන්නල දෙන තවත් සත්‍යයක්. වෑන්ගෝ, ගොගෑන්, ආදී සමකාලීන නොයෙක් චිත්‍ර ශිල්පින් නිරන්තර අරගලයක නිරතවන්නේ ඔවුන්ගේ නිර්මාන කාර්ය සඳහාමයි. ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැපකරන නිර්මානකරුවන් රොත්තක් අතරේම තමයි වෑන්ගෝ ස්වකිය නිර්මානකරනයේ යෙදෙන්නේ.

වෑන්ගෝට මුලු ජීවිත කාලය පුරාවටම මුදල් ආයෝජනය කරන්නේ ඔහුගේ සහෝදරයා. නමුත් ජීවත්වන කාලසීමාව පුරාවට කිසිකෙනෙක් වෑන්ගෝ සාර්ථක නිර්මානකරුවෙක් විදියට දකින්නේ නැහැ. අඩුම තරමින් වෑන්ගෝවත් එසේ දකින්නේ නැති තරම්. ඒ කෙසේ නමුත් ඔහු නිර්මානකරනුයේ යෙදෙනවා. සහෝදරයාගේ ව්‍යාපාරයන් පවා අභියෝගවලට ලක්වන මොහොතක පවා ඔහු සැලෙන්නේ නැහැ. පියවි ලෝකයට හිමි වන්නේ ඔහුගේ දිවියේ දෙවැනි තැනක්. උදේ පාන්නර පටන් රාත්‍රී වනතුරු. මුලු ජීවිතයම ඔහු සිත්තම් වෙනුවෙන් දියකර හරිනවා. තම ජිවිතය, ප්‍රානය පවා ඔහුගේ නිර්මානකරනය අභියස දෙවනි වන ආකාරය පුදුමාකාරයි. අනෙක් අතට ඔහු නිර්මාන කරන්නේ සමාජ යථාර්ථයක්, මඟ පෙන්වීමක් හෝ සමාජ කාර්යයකට උර දිමටමත් නොවෙයි. ඔහු මොකක් හෝ සොයාගෙන සොයාගෙන යනවා. ඉන් ඔහු තෘප්තිමත් වන බවක් පෙනෙන්නට නැහැ. නමුත් ඒ තමයි උමතු වෙමින් මත් වෙන වෑන්ගෝගේ ජීවිතය.

දියමන්තියක් හෝ මුතු කැටයක් සොයා ගැනීම තරම්ම ඉතා හොඳ චිත්‍රයක් නිර්මානය කිරීම දුෂ්කර බව මේ වන විට ඔහු සොයාගෙන තිබුණි. ඔහු තමා සමඟ නොසතුටක් අත් විඳිමින් සිටිය ද තමාගේ චිත්‍ර කවදා හෝ සාර්ථක වන බව ඔහු ගේ සිතෙහි බලාපොරොත්තුවක  ඡායා මාත්‍රයක් විය. සමහර විට එය බලාපොරොත්තුවක් පමණක් විය හැක. එහෙත් ඔහු ජීවත්ව සිටින බව ඔහුට දැනුනේ සිය චිත්‍ර සමඟ අරගල කරන විට පමණි. පෞද්ගලික ජීවිතය කියා දෙයක් ඔහුට හිමි වුයේ නැත. ඔහු මිනිසෙකු නොව ආහාර දියර වර්ග සායම් වැක්කෙරුනු සම්පූර්ණ කැන්වසයක් ඉදිරියට පිට කරන චිත්‍ර යන්ත්‍රයක් මෙන් විය.

මෙය කුමක් සඳහා ද? අලෙවි සඳහා ද? සහතිකෙන් ම නැත. තමාගේ චිත්‍ර මිළ දී ගැනීමට කිසිවෙකුට අවශ්‍ය නොවන බව ඔහු දැන සිටියේ ය. එසේ නම් මේ කලබලය කුමක් ද? තමාගේ ඇඳ යට ගොඩගසා ඇති දිනෙන් දින ඊට තවත් එකතු වන චිත්‍ර තොගයේ ඇති වදගත්කම කුමක් ද?


සාර්ථකත්වයට පත් වීමේ උවමනාව වින්ස්ටන්ගෙන් ගිලිහී ගොස් තිබුණි. ඔහු වැඩ කලේ එසේ කළ යුතු නිසාය. තමා පෙලන මානසික වේදනාව අමතක කළ හැක්කේ එයින් ම පමණි. ඔහුට භාර්යාවක්, දරුවන්, නිවසක් නැතිව ජීවත් විය හැකිය. ඔහුට ආදරය,මිත්‍රත්වය සහ ශරීර සෞඛ්‍ය රහිතව ජීවත් විය හැක. ඔහුට ආරක්ෂාව, සුව පහසුව සහ ආහාර නැතිව ජීවත් විය හැක. ඔහුට ඇදහීමට දෙවියෙකු පවා නැතිව ජීවත් විය හැක. එහෙත් ඔහුට ආධ්‍යාත්මය ඉක්මවා යන යම් උත්තරීතර කාර්යයක් නැතිව ජීවත් විය නොහැක. එය ඔහුගේ ජීවිතයයි. එනම් නිර්මාණ කිරීමට ශකතිය සහ හැකියාවයි. (465 පිටුව)

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...