පේමතෝ ජායතී අසෝකෝ
නවකතාවක් වගේ විශාල කෘතියක්
කියවල ඉවර කලාට පස්සෙ ඒකෙන් ඇතිවෙන හැඟුම් සමුදාය ආපස්සට විචාරාත්මක වචනවලින්
කියන්නෙ කොහොමද කියල මං නිතරම කල්පනා කරන දෙයක්. නවකතාවක් බොහෝවිට ජීවිතය වගේ. මේක
මෙහෙමයි, මේ විදියයි කියල තනි සරල රේඛාවකින් පෙන්නල දෙන්න බැහැ. ඒ ඉලක්කය නොයෙක්
දිශාවන් වෙත ගමන් කරනවා. ඒ සමස්ත ගමනේ එකතුව අපේ සිත්වල ඇතිකරන කම්පනය මත අපි එහි
සාර්ථකත්වය අසාර්ථකත්වය මනිනු ලබනවා.
ඒ අතින් ගත්තම පේමතෝ ජායතී අසෝකෝ කියන්නෙ මට කියවන අතරේ කේවල අත්දැකීම් වශයෙනුත් සමස්ත කෘතිය දිහා
ආපස්සට හැරිල බලද්දිත් විශේශතා කිහිපයක්ම හමුවෙන හොඳ පොතක් කියල බය නැතුව කියන්න
පුලුවන් විදියේ කෘතියක්. පොත පුරාවටම දේශපාලනයත්, ප්‍රේමයත් එකිනෙක මත කැලතී,
පැටලී එකිනෙකා මත වෙලෙමින් ඉදිරියට ඇදෙනවා. අවංකවම මේක ලංකාවේ ඉතා මෑත කාලීන
දේශපාලන, සමාජ ස්වභායේ ඉතා සංකීර්ණ පෙදෙසක් පදාසයක් පෙන්වන අපූර්ව නවකතාවක්.
පොත කියවද්දි
නිරන්තරයෙන් මතකයට නැගුනේ ලියනගේ අමරකීර්තියේ මෑත කාලීන නවකතා කිහිපයක්.
අමරකීර්තිගෙ පොත් වල වගේම මේකෙත් ඍජුව පැවසෙන දේශපාලන සංවාදාත්මක පාඨ ඕනෑ තරම්
හොයාගන්න පුලුවන්. නමුත් ප්‍රේමතී ජායතී සෝකෝ තුල ඊට වෙනස් මොකක්දෝ සජීවී බවක්
නැත්නම් අවංක ගතියක් තැවරිලා තියෙනව කියල මට හිතෙනවා. ඒක හැඟෙන්නෙ දේශපාලන
සංසිද්ධිත් එක්ක හරි හරියට එතෙන පෙම් හුටපට නිසාද, දේශපාලන කරලියේ සැඟවුනු හෝ සඟවන
ලද යථාර්ථයන් ඒකී මූලයන් ඔස්සේම ග්‍රහනය කරගෙන තියෙන නිසා ද කියන එක ගැන නැවත
වතාවක් හිතන්න වෙනවා.
ප්‍රධාන චරිතය වන
රවිඳු ගමන් කරන්නෙ ලංකාවෙ තරුනයෙක්ට ආවේනිකවම වගේ හිමිවන වාම දේශපාලනයේ ආවේශගත
උරුමයත් කරපින්නාගෙන බව ආරම්භයේම පැහැදිලි වෙනවා. ඔහුගේ දේශපාලන ගුරුවරයා තම පන්ති
කාමරයේම සගයෙක් වන සුධීර නැමැත්තෙක්. නමුත් සුධීරගේ හා රවිඳුගේ දේශපාලන ගමන් පථ
ඉතා සියුම් චලනයකින් ආරම්භ වී විශාල විචල්‍යයක් දක්වා විකාශනය වන අපූරුව නවකතාවේ
සෑම පරිච්ඡේදයකින්ම අනාවරනය වෙනවා. සුධීරගේ ගමන් මගෙන් මෙන්ම රවිඳුගේ ගමනින්
ලංකාවේ මෑතකාලීන වාම දේශපාලනයේ ඇතුලාන්තය අපූරු අයුරින් හෙලිදරව්කිරීමේ වාසිය
කතුවරයාට ලැබී තිබෙනවා.
සිය අවංක දේශපාලන
චින්තාවලි ඔස්සේ තම අනාගත ජීවන අභිලාශ පවා කැප කරමින් වාම දේශපාලන පක්ශ තුල ශ්‍රමය
වැගිරූ තරුනයන් සිය දහස් ගනනකගේ බලාපොරොත්තු ක්ශයව ගිය අයුරුත් එකී පක්ශ මූලයන්
මෙන්ම පරමාර්ථ සිඳගත් එකී තරුනයන්ගේ අනාගත දේශපාලන හා පුද්ගලික දිවිය මොනාකාර
අගාධයකට වැටෙන්නේ ද යන්න ගැන සුධීර හරහා මතුකරගන්නට හැකිව තිබෙනවා. මෙම සගයන්
දෙදෙනාගේ සමීප හා පරස්පර ගමන් මග හරහා වැටී තිබූ ලාංකේය වාම දේශපාලන කතනදරයේ
මෙන්ම ලෝක වාම දේශපාලන වෘත්තාන්තයේ ප්‍රබලතා
මෙන්ම දුබලතා ද විවේචනාත්මක ඇසකින් දකින්නට මේ කෘතිය අපට ආරාධනා කරන බව
පැහැදිලියි.
ආරම්භයේ සිටම සුධීර
ඉතා දැඩි හැදෑරීමකින් මෙන්ම විනයක් සහිතව වාම පක්ශ දේශපාලනයේ වුවමනාකම් වෙනුවෙන්
අවංක වෑයමක නිරත වෙනවා. ඇප කැප වෙනවා. ස්වකීය ආධ්‍යාත්මික ආශාවන් මෙන්ම උපාධිය වැන
සමාජ වටිනාකම් ද අත්හරින්නට ඔහු දෙවරක් සිතන්නේ නැහැ. වාම දේශපාලනික හැදෑරීම්වලින්
සන්නද්ධ වන මෙවැනි තරුන වෙනත් ස්වකීය ජීවිතය තමන් විසින්ම රවටාගැනීමේ තරම නිම්මි
වැනි දේශපාලන ක්‍රියාකාරිනියන් හරහා පවා මතු කිරීමෙන් ඔවුන් කෙරෙහි ඇතිවන්නේ
වෛරයකටත් වඩා දයානුකම්පාවක්.
රවිඳු නිරන්තරයෙන් මේ
ක්‍රියාවලියේ සිටින්නේ මතුපිට ස්පර්ශ කරන්නෙක් විදියට පමනයි. එක් අතකින් ඔහු
ස්වකීය ආශාවන් සමඟ ඒකාත්මික වෙනවා. වාම දේශපාලන සුරලෝකයත් ඔහුගේ එක් නොනැසෙන - විසිතුරු - දිගුකාලීන - ස්වභාවික ආසාවක් වගේ එකක්. නමුත්
සුධීර, නිම්මි තරමටම රවිඳු න්‍යායාත්මක බරසාර ආකෘතික ගත ජීවිතයක් වෙත ඇලුම් කරන්නේ
නැහැ. ප්‍රේමය, දේශපාලනය, කලාව අතරේ ඔහු නන්නත්තාර වෙනවා.
මට කවදාවත් පුද්ගලික
වැඩක් ඇතුලේ ස්ථාපිත වෙන්න, පුද්ගලික ජයග්‍රහන පස්සේ දුවන්න කිසි උනන්දුවක් තිබ්බේ
නෑ. අනිත් අයගේ වුවමනාවට බලෙන් එහෙම වෙන්න උත්සාහ කලාට ඉබ්බා දියේ දානවා වගේ ඇදිලා
ගියේ සමාජ දේශපාලන වැඩ පැත්තට. හැබැයි සුධීරට වගේ වැඩ ඇතුලේ ස්ථාපිත වෙන්න පුලුවන්
ව්‍යුහයක් මට හම්බ උනේ නෑ. ඒක මගේ වැරැද්දද සමාජ ව්‍යාපාරවල වැරැද්දද?
(321 පිටුව)
එපමනක් නෙමෙයි, ලංකාව
ඇතුලතත් ඉන් පිටතත් සමාජ දේශපාලන මති මතාන්තර ඔස්සේ ඔහුගේ ගමන ඉමක් නැති ආකාසයක පා
වෙනවා. ඒ අහසේ කාන්තාවන්, කලා කෘති, මාක්ස්වාදය වැනි වලාකුලු උඩ ඔහු ඒ මේ අත අඩි
තබ තබා ඇවිදිනවා. කේන්දර, බොහීමියානු ජීවිතයක ඇත්ත යථාර්ථය, සමාජ සබඳතා, යුතුකම්,
රැකියා වැනි එකිනෙකට පරස්පර ජීවන ඉසව් දෙස ඔහු බලන සැබෑ දෘශ්ටිය හා එතුනු ගැලවීමට
නොහැකි සමාජ දේශපානික යාන්ත්‍රනය ඔහුගේ තර්ක, සංවාද හරහා පාඨකයාට ද ආලෝක ධාරා
විහිදුවනවා.
පාසල් සමයේ සිට වසර
විස්සක් පමන ඉදිරියට දේශපාලන සංස්කෘතියේ සිදුවන ඇදහිය නොහැකි හා දැරිය නොහැකි
සංකීර්නතා පියවරෙන් පියවරට සජීවී අයුරින් දැක්වීමට කතුවරයා සමත්ව තිබෙනවා. සැදැහැ
සිතින් වන්දනාමාන කල වාමාංශික පක්ශ දේශපාලනය පය තැබිය නොහැකි ගොහොරුවක් දක්වා පරිවර්තනය වීමේ සීග්‍රගාමී ගමන අතරේ රවිඳු ප්‍රේම
පිපාසිතයෙකු විලසින් ප්‍රේමය මෙන්ම තමාගෙන් බැහැර නොයන දේශපාලන ආවේශය ද දෑතින්
අල්ලාගෙන පියාඹනවා. ඒ අතරේ ප්‍රේමයන් මෙන්ම දේශපාලන පරමාදර්ශද ඔහුගේ ඇඟිලි කරු
අතරින් බේරි බේරී ඉවතට යාම නවතාගැනීමට සමත්කමක් ඔහු සතුව නැහැ. රවිඳු හරහා මෙන්ම
සුධීර හරහාත් විප්ලවකාරී/භීශනකාරී 88-89කැරැල්ලෙන් පසු මෑත වාම දේශපාලන ආවේශයන්
වෙනුවෙන් කැපවුනු අවංක පරපුරක ඛේදාන්තය හා පීඩිත වටපිටාවන් ඉතා සූක්ශම අයුරින්
නිරූපනය වූ එකම නවකතාව මෙය පමනක්දැයි විටෙක සිතෙනවා.
ඇත්ත අරමුනක් වෙනුවෙන්
තීක්ශන බුද්ධියක් මෙහෙයවූ සුධීර හරහා සරසවි දේශපාලනයේ එක් අන්ධකාර දෝනාවක් අප
හමුවේ නිරාවරනය වෙනවා.
තමන්ගෙ කතාව සාධාරන බව
ඔප්පු කරන්න සුධීරට හේතු කෝටියක් තිබුනා. රැග් එක මාස දෙකකින් ඉවර වුනාට මොකද ඒ
හරහා වගා කරපු ජුන්නන්ගේ දීන කම, සින්නන්ගේ උද්දච්චකම මාස සෙකෙන් සමනය වුනේ නෑ.
රැග් එකෙන් පස්සෙත් රැවුල් කපන විදිහ ගැන, අඳින්න පලඳින්න ඕන විදිහ ගැන හැසිරෙන්න
ඕන විදිහ ගැන කිසි පදනමක් නැති නීති දාහක් පැනවිලා තිබුනා. නීති කඩ කරන ජුන්නන්ට
පොකට් මීටින් තියලා කනේ පාර දෙන්න පවා සින්නන්ට අයිතිය තිබුනා. රැවුල කපා නොතිබීම,
කමීස යට නොකිරීම වගේ හේතුවලටත් කනේ පාර හම්බවුනා. කෙල්ලෝ නීති කඩ කලාම කොල්ලෝ උන්ව
වට කරගෙන කුනුහරුප ඉවර කලා. ජ්‍යෙශ්ටයෙකුට අයියා නොකියන එක මිනී මැරුමක් වෙන්න
පුලුවන් ප්‍රශ්නයක් වෙනකොට අයියලා අක්කලාගේ අනට ප්‍රශ්න කිරීමකින් තොරව හිස නමන්න
මල්ලිලා නංගිලා බැඳිලා හිටියා. කැම්පස් ආදර සම්බන්ධතාවල විපරීත ලක්ශන ගැන වෙනම
පොතක් ලියන්න දේවල් තිබුනා. හත්ඉලව්වේ මේ මාක්ස් දෙයියන්ගේ අඩවිය.. ඉස්කෝලෙ යන
කාලෙ සමාජවාදී ස්වර්ග රාජ්ජය.... ඒ පුන්‍ය භූමිය තලේබාන් කඳවුරක් බව පිලිගන්න
සිදුවීමේ දරුනු පරස්පරය මගේ මිත්‍රයාට දරාගන්න අමාරු වුනා. (100 – 101 පිටු)
නැතිවුන දේවල් ගැන
දුක් නොවී ඉන්න තිබ්බා ඒකෙන් රටටවත් වැඩක් උනා නම්. පක්ශෙ දැන් සේරම කෙලවගෙන
ඉවරයි. අධ්‍යාපන ප්‍රශ්න ගැන කරපු අරගලවලින් යම් යම් ජයග්‍රහන ටිකක් හම්බවුන එක
විතරයි එකම සතුටට තියෙන්නේ. ඒත් අපි සීයක් කලා නම් ප්‍රතිඵලේ එකටත් වඩා අඩු ගානයි.
ඒකට හේතු තිබුනා. පක්ශෙට කවදාවත් ඒවා වෙනස් කරන්න ඕන උනේ නෑ. අඩු ගානේ විශ්වවිද්‍යාලවල
තියෙන තිරිසන් උපසංස්කෘතියවත් වෙනස් කරන්න අපට පුලුවන් වුනාද? මේ රටේ අද්‍යාපනේ
ඇත්ත ප්‍රශ්න ගැන කිසිම විදිහක වැදගත් මතයක්වත් රටට ඉදිරිපත් කරන්න අපට පුලුවන්
උනාද? විශ්ව විද්‍යාල දේශපාලනෙන් රටට වැඩත් තියෙන එක විචාරශීලී මිනිහෙක් හදන්න අපට
පිලුවන් උනාද?හැබැයි කී දෙනෙක් උපාධි අතහැරියද? අද ඒ හුඟ දෙනෙක් යන එන මං නැතුව
අනාථ වෙලා. හරක් වගේ උද්ඝෝශනවලට කොල්ලන්ව දක්කන නිවට උප සංස්කෘතිය නඩත්තු කරන එක
විතරයි මෙච්චර කැපකිරීම් කරලා... උපාධි අතහැරලා... මැරිච්ච සහෝදර සහෝදරියන්ව
තුට්ටු දෙකට විකුනලා කරපු එකම දේ.....
(259 පිටුව)
දේශපාලන සමාජ සංසිද්ධි
වලදි විතරක් නෙමෙයි තමන්ගේ ආත්මීය ප්‍රශ්න දෙස පවා විවේචනාත්මකව දකින්නට රවිඳු
ගන්නා උත්සාහය මේ කෘතියෙහි සජීවී බව දෙගුන තෙගුන කරනවා.
මිනිස්සුන්ගෙ හිත් වැඩ
කරන්නෙ මහ පුදුම විදිහට විශ්ව. මොන අවුල් මැද උනත් ශාක්‍යා ඈත් වෙච්ච එක ගැන
මට මොකක්දෝ කාලකන්නි සතුටකුත් දැනුනා කිව්වොත් කවුද විස්වාස කරන්නේ...? ඒක එයාගෙන්
නිදහස් වෙලා අයාලේ යන්න ලැබෙන එක ගැන ඇතිවුනු සතුටක්... අපි මොන කවි, සාහිත්‍ය,
සමාජ අරමුනු ගැන කතා කලත් වෙලාවකට මගේ ජඩ ආත්මාකර්ථකාමීකම් ගැන මටම හිරිහිකයි. ඒ
සේරම එක අතකින් බැලුවම මමංකාරයේ කොටස් විතරද කියලත් මට හිතෙන වාර අනන්තයි. (265
පිටුව)
සේරම පෙනුම මත රඳා
පවතිනවානම් මිනිසුන්ගේ යහගුනයන්ගෙන් ඇති වැඩේ මොකක්ද? අනිත් අතින් පෙනුම සහ ගුනාංග
අතර සම්බන්ධයක් තියෙනවා නේද? ශාක්‍යාට මාලතීට තිබුනේ එයාලගේ හොඳ ගති ලක්ශනවලටම
ගැලපෙන පෙනුමක් උනාට දැහැමිට තිබුනේ එයාගේ සුහද හිත මිතුරුකම්, ආල නුරා කතාවලට
කොහෙත්ම අදාල නැති පෙනුමක්. මිතුරියක් විදියට එයාව ඇසුරු කරන්න පෙනුම කිසි ප්‍රශ්නයක්
නොවුනට කාලයක් එයා ගැන ඇතිවෙලා තිබුනු ප්‍රබෝධමත් හැඟීම් ඒ පෙනුම නිසා හෝස් ගාලා
නිවිල ගියා. (227 පිටුව)
රවිඳු තමාව විවේචනය කර
ගැනීම වගේම විවිධ පුද්ගලයන් හරහා කෙරෙන සංවාද, තර්ක කරගැනීම් හරහාත් අපි අපිම
සිරගතව සිටින හා මෙතෙක් අර්ථකතනය කරගත නොහැකි අවුල් වියවුල් ජාලයක් අපටම ප්‍රත්‍යක්ශ
කරගන්නට උදව් ලබා දෙනවා.
ඉමක් කොනක් නැති මේ මහ
විසාල ලෝකේ තියා මට මගේ පොත් රාක්කෙවත් පරමාදර්ශී විදිහට පවත්වාගන්න පුලුවන්ද? මගේ
ජීවිතේ ඇතුලේම මට පාලනය කරගන්න බැරි පරස්පරතා විශමතා කොච්චර තියෙනවද? එහෙම එකේ
කොහොමද විවිධ විශම කෝටි ගානක් ඉන්න මෙච්චර සංකීර්න ලෝකෙකට ගැලපෙන පරමාදර්ශී සමාජ
ආකෘතියක් හදන්නෙ? එක පැත්තක ප්‍රශ්නෙකට දෙන විසඳුම තව පැත්තක වෙන ප්‍රශ්නෙකට
හේතුවක්. හැම විසඳුමකටම ඊට අදාල දුබලතා තියෙනවා. ඒ නිසා අපට කවදාවත් උත්තරීතර
පරමාදර්ශී සමාජයක් හදන්න බෑ. මිනිස්සු විතරක් නෙමෙයි ස්වභාදහමත් හැදිලා තියෙන්නේ
නපුරට ආකරයක් වෙන විදිහට. ලෝකෙ හැමදාම නරක තමයි ජයගන්නේ. (207 පිටුව)
මේ විදියට විවිධ සංවාද ප්‍රති සංවාද තර්ක විතර්ක
ඔස්සේ සමාජ දේශපාලන ක්‍රමයත්, ප්‍රේමනීය ඉසව්වල සැබෑ ස්වරූපයන්හි වියවුල් භාවයත්
ප්‍රශ්න කරමින්ම මේ කෘතිය අපූරු චාරිකාවක් යනවා. මේ සංවාද, ප්‍රශ්න කිරීම් හා
කතිකා සියල්ලගෙන්ම නිර්වචනය කල නොහැකි සමාජ යථාර්ථයක සිතුවමක් අපේ සිතේ ඇඳෙන්න
ගන්නවා. ඒක සමස්ථාර්ථය හරහා අපට ඇතිවන කැලඹුමක රාවයක් විතරයි.
කෘතිය පුරා ඇත්ත සහ
කාල්පනික ලෝකය මතුපිට තලයේම කවලම් වීම දුබලතාවක් කියල මුලින් හිතුනත් අවසානය
වෙද්දී ඒකත් එක්තරා විලාසයක් නේද කියලා හිතෙනවා. විමල්, නලීන්ද සිල්වා, ජවිපෙ,
දිවයින පත්තර වැනි ඇත්ත ලංකාවේ නාම ගෑවෙද්දීම අප කෙදිනකවත් අසා නොමැති පත්තරවල
නම්, දේශපාලඥයන්, ඇමතිවරුන්, පොත්පත් වැනි දේත් ඒ අස්සේම තියෙනවා. එය සත්‍යයත්, ව්‍යාජයත්
මතුපිට තලයේම කවලමක් බව මට හිතෙන්නේම ඒකයි.
නවකතාව ආරම්භයේ ඇති
අනාගත කාලයේ දේශපාලන ව්‍යාපාරයක නිමිත්ත මේ නවකතාවට ඇතිකරන අභිප්‍රේරනය වැදගත්
එකක් නොවන බවයි මට නම් හිතෙන්නේ. ඒක කතුවරයාගේ හිතේ තියෙන සිහිනමය බලාපොරොත්තුවක්
බලහත්කාරයෙන් මේ කෘතිය මතට සමපාත කිරීමක් කියලයි මට දැනුනේ. කෘතිය අවසානයෙත් ඒකම
අවධාරනය කිරීමත්, රවිඳු වීරයෙක් ලෙස වරනගා තිබීමත් අතිශයෝත්කි සහගත ව්‍යාජ බවක්
ගෙන දෙනවා. ඒ කෙසේ වෙතත් සමස්ත කෘතිය පුරා දිවවෙන ලංකාවේ තාරුන්‍යයට ගැලවීමට
නොහැකි සමාජ දේශපාලන සංස්කෘතික තත්වයක එක්කරා නර්ව්‍යාජ ඇත්තක් මේ කෘතියෙන්
විවේචනාත්මකව හෙලි කරමින් කරන නිර්මානාත්මක ගමන් විලාසය අපූරු බව පිලිගන්නට නම් මට
සිදුවෙනවා.