Monday, January 21, 2019


තේමාත්වකවාදය සම්බන්ධ ප්‍රශ්න සහ පිලිතුරු


නිර්මානයක සංකේත, යටි අරුත්, රූපක සම්බන්ධයෙන් ඔබට ඇති අදහස කිව්වොත්?

සංකේත, යටි අරුත්, රූපක වගේ දේවල් නිර්මානයක සාර්ථකභාවය නිර්නය කරන අංග කියල පිලිගන්න පුලුවන්. බොහෝ විට මේ සංකල්ප වඩාත් සමීප වන්නේ නිර්මානයක තේමාත්මකය පැත්තටයි. යම් නිර්මානයක එවැනි දෑ මනාව සංගෘහිත කිරීමෙන් ඊට ආලෝකයක්, හෝ එහි විශිශ්ට භාවය වර්ධනය වීමක් සිදුවිය හැකියි. නමුත් නිර්මානයක විශිශ්ටභාවය හෝ සාර්ථක භාවය මනින එකම හා වැදගත්ම මිනුම්දඬු ඒවා යයි අපට එක හෙලාම පිලිගන්නත් බැහැ. එවැනි කිසිදු අංගයක් නොමැතිව සාර්ථකත්වයට පත්විය හැකි නිර්මාන තිබෙන්න පුලුවන් බව අප අමතක කලයුතු නැහැ.

කෙසේ වුවත් මේ නිර්නායක කෙරෙහි වත්මන් විචාරකයා මෙන්ම නිර්මානකරුවන් ද අධිතක්සේරුවෙන් වර්නනා කිරීම හරහා නිර්මාන තුල මේවා පැවතීම අනිවාර්ය අංගයක් බවට වන වක්‍ර බලහත්කාරකමක් සිදුවන බවයි මගේ අදහස. අනෙක් පැත්තෙන් අපේ කලානිර්මාන බොහොමයක් දෙස විමසිලිමත්ව බැලීමේදී පේනවා මෙවැනි අංග යොදා ගැනීම පුරුද්දකට ගොස් ඇති බව. එක් අතකින් එය වැරදි යයි කියන්නට බැහැ. නමුත් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ එකී පුරුද්ද මත සාමාන්‍ය සරල සිදුවීමක, අදහසක් සහිත නිර්මානයක ද එවැනි දෑ සොයාන්නට යාමෙන් විචාරකයාත්, පාඨකයාත් අතරමං වන තත්වයකට පත්වීමයි.

ඔබ අවසානයට දැක්වූ අදහස තව දුරටත් විග්‍රහ කරල කිව්වොත්?

මෙහෙමයි. මම අත්දකින ආකාරයට අපේ ජාතික සංකේත වල සිටම තියෙන්නෙ යම් ගැඹුරක්, සංකේතයක්, තේරුම් සමුදායක් ලබාදෙන්නට දරන වෑයමක්. අපේ ජාතික කොඩිය ගත්තම ඒ තුල තියෙන සෑම ඉරි කැබැල්ලකටත් තේරුමක් දෙන්නට නිර්මානකරුවන් හෝ එකී රාජ්‍ය තාන්ත්‍රිකයන් උත්සාහ ගෙන තිබෙනවා. වෙනත් රටක ජාතික කොඩියක් එක්ක සංසන්දනය කිරීමේදී මේ තත්වය විශේශී බවයි පේන්නෙ. බොහෝ රටවල කොඩිවල තිබෙන්නේ සරල වර්නයක්, දෙකක්. නැත්නම් කුඩා ජ්‍යාමිතික හැඩතලයන්. තම රට නියෝජනය කිරීමේ සරල වර්නාවලියක්. නමුත් අපේ රටේ තත්වය අනූව සිංහයාගේ කේශර වලින් පවා ගැඹුරු අර්ථයක් විදහා පාන ආකාරයෙනුයි එය නිමවලා තියෙන්නෙ.

අලුතෙන් උපන් දරුවෙකුට නමක් දැමීමේදී පවා බොහෝ අය සිතන්නේ එය තේරුමක්, අදහසක් ඇතිව කල යුතු බවයි. මෑතකදී මගේ මිතුරු මිතුරියන් කිහිප පොලකට කුලුඳුල් දරුවා ලැබුනා. ඔවුන් මට කතාකොට නමක් යෝජනා කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවල මම මගේ සිහියට පැමිනි, සුන්දරයි යයි සිතෙන නම් කිසිපයක් යෝජනා කලා. ඇත්තෙන්ම ඒ බොහොමයක තිබුනේ සුන්දර ශබ්ද පමනයි. එසේ යෝජනා කලාම ඔවුන් පෙරලා මගෙන් විමසන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නම නම් ලස්සනයි. තේරුම මොකක් ද ඒ නමේ? එවිට මම තේරුමක් මම පවා දන්නේ නැති බවත් එහි තේරුම එකී දරුවාම වන බවත් ඔවුන්ට කීවා. කෙසේ වෙතත් අනතුරුව ඒ අය දරුවන්ට එම නම යොදා ගත්තාදැයි කියන්න නම් මම දන්නේ නැහැ.

සැබවින්ම බිම් මට්ටමේ සිට ඉහල තලය දක්වාම අපේ රටේ තත්වය ඕකයි. අපට කිසියම් දෙයක් සරලව භාරගත හැකි පුරුද්දක් හෝ ශක්තියක් නැහැ. යම් සංකේතයක්, ව්‍යංගයක්, ගැඹුරක් සහිත දේ පමනක් විඳින තැනට අපව පුහුනු කර තිබෙන බවයි මට සිතෙන්නේ. කොටින්ම ගීතයක් පවා සරලව වින්දනය කරන්න බොහෝ අය අසමත්. ඇයි බහුතරයක් විචාරකයන් ගීතයක පදරචනාවක් අරගෙන ඔය තරම් විග්‍රහ, ගැඹුරු තේරුම් සපයන්නේ? එය සැබවින්ම විඳිනවානම් ඔවැනි දේ කිරීම අවශ්‍යමයි කියා මම නම් සිතන්නේ නැහැ.
මම මේ කියන කාරනාව වරදවා වටහා ගන්න එපා. කොටින්ම මම කියන්නේ නිර්මානවල ගැඹුරු අරුත් හෝ සංකේත, ව්‍යංග, රූපක තිබීම අනවශ්‍යයි හෝ එසේ කිරීම සුදුසු නොවේය යන අර්ථයෙන් නෙමෙයි. එසේ තිබෙන්නා වූ නිර්මාන ද රසවත්. නමුත් මා කියන්නේ එසේ නොවන නිර්මාන ද රසවිඳීමේ හැකියාවක්, සැබෑ වින්දනයක් අප සතුව තිබෙද්දීත් අප පුහුනු කල වින්දනයක් පසුපස දිවීම මොන විදිහේ විකාරයක්දැයි කියායි. මගේ පසුගිය පිලිතුරේ අවසානයේ තිබෙන්නේ අප රසවත් නිර්මානයක් වින්දනය කිරීමේ දී නිරන්තරයෙන්ම සංකේත, ගැඹුරු අරුත් සොයන්නට යාම අත්‍යාවශ්‍ය ද එසේ සොයා බලා නිර්මානවල සාර්ථක අසාර්ථක භාවය නිර්නය කිරීම මොන තරමේ ආකෘතික ගත දෙයක් ද කියායි.

නමුත් නිර්මානකරුවා දක්වන අරමුනෙන්ම විචාරකයා/රසිකයා නිර්මානය වින්දනය කල යුතු නැහැ. රෝලන්ඩ් බාත් කර්තෘ ඝාතනයෙදි කියන්නෙත් නිර්මානකරුවාගේ අරමුනම නිර්මානය වින්දනයේදී බලනොපාන බව වගේ අදහසක් නේද?

ඔව්. එය  වෙනම තර්කයක්  බවයි මට සිතෙන්නෙ.‍ විචාරකයා හෝ රසිකයා නිර්මානකරුවාගේ අරමුන අනූවමනිර්මානය දෙස  බැලිය යුතු බව නෙමෙයි මම කියන්නේ.  හොඳයි අපි හිතමු යම් රසිකයෙක් සරල අදහසක් ඇති කවියක සංකේත දකිමින්, යටි අරුත් පාදා ගනිමින් වින්දනයේ යෙදෙනවා කියලා. නමුත් ඔහුගේ ඒ වින්දනය පවා ඔහුගේ සැබෑ අවංක වින්දනයමද යනුවෙන් එතැනදී ගැටලුවක් මතු වෙනවා. ඒක යම් ආකාරයකට සමාජ ක්‍රමයට අනූව පුහුනු කරපු/ ඇබ්බැහි වුනු ක්‍රමයක්. මම කලිනුත් කිව්වේ ඒකයි. අපට යමක් සරලව භාරගන්න බැහැ. සරලව විඳින්න බැහැ. නැත්නම් ගැඹුරු තේරුමක් නැති නිර්මානයක් තුල වටිනාකමක්/වැදගත්කමක් නැති බව අප විස්වාස කරනවා.  අපි කරන්නේ විශිශ්ට යයි සම්මත සියල්ලකම ගැඹුරක්, යටි අරුතක් සොයන්න ගන්නඑකයි. එහෙම නැති එකක් විශිශ්ට නෑ වගේ අදහසක් ඒ හරහාම ස්ථාපිත වෙලා. මම කියන්නෙ මේක සමාජයක් විදිහට අපිව ආකෘතිගත කිරීමෙන්/සූක්ශම වූ බලහත්කාරී මැදිහත්වීමක් මත සිදුවෙලා කියලයි. අද අපි අපට පේන දකින හැම එකකම තේරුම හොය හොයා දුවනවා

ජාතික කොඩිය සම්බන්ධයෙන් ඔබ අරගත් තර්කයේදී අපට සිතන්න බැරිද මෙය අප රටේ අනන්‍යතාවයක් කියල. එහෙම සංකේත දකින එක හෝ ඒවාට හොඳ තේරුමක් දෙන එක අපට ආවේනික දෙයක් වෙන්න බැරිද?

ඒක වැදගත් අදහසක්. අපි තරමක් විමසිලිමත්ව බලන්න ඕනෑ අපේ රටේ අනන්‍යතාවය මත ද එහෙම නිර්මානවල හෝ වෙනයම් දෙයක සංකේත, තේරුම්, යටි අරුත් හොයන්න වෙහෙසෙන්නෙ හෝ එසේ නිර්මාන කරන්නේ  කියලා. මතුපිටින් බැලුවාම නම් තේරෙනවා ඉස්සර ඉඳන්ම බොහොමයක් විශිශ්ට යයි සම්මත නිර්මානවල ගැඹුරු අරුත්, තේරුම්, උපමා, සංකේත, වගේ දේවල් මගින් යම් තේරුමක් දෙන්න වෙහෙසුනු බව.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යෙය් නැගීම පොත හරහා මෙන්ම ඔහුගේ බොහොමයක් විචාර පොත් හරහා මතුකරන තර්කයක් මෙතනදී අපට මේ සංවාදය වෙනුවෙනුත් භාවිත කල හැකියි. එතනදී වික්‍රමසිංහ කියන්නෙ සංක්කෘත, පාලි සාහිත්‍යෙය් බලපෑමෙන් අපේ දේශීය සැබෑ සාහිත්‍ය ක්‍රමට යට ගිය බව හෝ අර(පාලි සංස්කෘත) අධිපති සාහිත්‍ය ක්‍රමය උවමනාවට වඩා ස්ථාපිත වූ බව. වික්‍රමසිංහගේ තර්කයට අනූව අපට පැහැදිලියි අතීතයේ ඉඳන්ම සාහිත්‍යෙය් මේ විදග්ධ අධිපති කතිකාව කොතරම් ප්‍රබල උනා ද කියන එක. පාලි, සංස්කෘත උගත් ලේඛකයන් කලේ තමන්ගෙ දැනුම ප්‍රකට කරන්න වගේම විශිශ්ට යයි සම්මත කරන්න පොදු ජනතාවගෙන් දුරස්ථ, යම් තේරුමක්, සංකීර්න අදහසක්, වර්නනා  සහිත උගතුන්ට පමනක් යෝග්‍ය නිර්මාන බිහිකිරීමයි. අනෙක් අතට ඔවුන් ඇසුරු කරපු සංස්කෘත භාශාවේ/ සාහිත්‍ය යේ ආභාසය මත ඉබේම ඒක සිදුවුනා වෙන්නත් පුලුවන්. මේ අනූව පේනවා ඒක අපට අනන්‍ය වූ ක්‍රමයක් නොවන බව. වික්‍රමසිංහ සිංහල සාහිත්‍ය යේ නැගීම කෘතිය හරහා වැඩි වැඩියෙන් වර්නනා කරන්නෙ ගුත්තිලය, සද්ධර්මරත්නාවලිය වැනි දේශීය ඌරුවක් සහිත කෘති. ඔහු තර්ක කරන්නෙ මේ කෘතිවල අර සංස්කෘත බලපෑමෙන් තොර දේශීය ලේඛන ශෛලිය ඇතුලත්ව ඇති බවයි.

සද්ධර්මරත්නාවලිය, ගුත්තිලය ගත්තත් සංකේත, ගැඹුරු අරුත්, තේරුම් වෙනුවට වින්දනයට මුල් තැන දීපු සරල බවක් ඒ තුල තිබෙන බව අපට පිලිගන්න පුලුවන්. අනෙක් අතට සාමාන්‍ය ජනයා  මැදිහත් වූ ජන කවි, ජන නාට්‍ය, කැටයම්, චිත්‍ර වගේ, සීගිරි ගී වගේ දේවල් නිරීක්ශනය කලාම තේරෙනවා දේශීය අනන්‍යතාවය තිබුනේ කොතැනද,  අපේ වින්දන පාරාසය තුල තිබුනෙ කවරාකාර ලක්ශන ද කියලා.

එතකොට තේමාත්මකවාදය නැත්නම් අන්තර්ගතානුවාදය යනුවෙන් ඔබ නම් කරන්නෙ මේ තත්වයද?

මෙහෙමයි. මේ කාරනා තරමක් දීර්ඝව සහ සෙමෙන් කතාබහ කල යුතු ඒවා. නමුත් ඔබ ඇසූ ප්‍රශ්නයට යම් විදිමත් පිලිතුරක් මෙතනදී දක්වන්නම්. ආකෘතිවාදය නැත්නම් ව්‍යුහවාදය ගැන අප අසා තිබෙනවා. තවත් විදිහකට නිර්මානයක ආකෘතිය, අන්තර්ගතය ගැනත් කතා වෙනවනෙ. ලෝකයේ හෝ අපේ රටේ ආකෘතිවාදීන් හෝ ආකෘතිවාදය ගැන සාකච්ඡා කෙරුනත් ලෝකයේ කොතනකවත් අන්තර්ගතානුවාදයක් ගැන කතාවෙලා තිබෙනවා යයි මම අසා නැහැ. හැබැයි අපට මෙහෙම අදහස් කරන්න පුලුවන්. නිර්මානයක ආකෘතිකමය ස්වභාවය, ව්‍යුහාත්මක සැකැස්ම ගැන සාකච්ඡා කරන අය ආකෘතිවාදීන් නම්  එසේ ඔවුන්ව වර්ග කරනු ලබන අනිත් කන්ඩායම කවුරුන් විය හැකිද? සැබවින්ම නිර්මානයක තේමාත්මකය, අන්තර්ගතය ගැන බහුල ලෙස අවධානය යොමු කරන අය ඉබේටම අන්තර්ගතානුවාදීන්/තේමාත්මකවාදීන් බව මේ අනූව නිගමනය කල හැකියි.

මට නම් පෙනෙන්නෙ අපේ රටේ බොහොමයක් විචාරකයන් සේම නිර්මානකරුවන් ද තේමාත්මකවාදීන් බවයි. මොකද අද අපි දකින විචාරවලින්, සාකච්ඡා, පොත් එලිදැක්වීම් වලින් නිරන්තරයෙන් වර්නනා කෙරෙන්නේ, අදහස් පල කරන්නේ තේමාත්මකය ගැන පමනක් නිසා. මේ තත්වය කොතරම් සූක්ශමව විකාශනය වෙලා ද කිව්වොත් බහුතරයක් පාඨකයා නිර්මානයක් සැබෑවට විඳිනවා වෙනුවට කරනු ලබන්නේ නිර්මානයක් කියවා එහි තේරුම, යටි අරුත්, සංකේත සොයා පාදා ගැනීම පමනයි. පාඨකයා/රසිකයා සිතනවා නිර්මානයකින් අප කලයුතු එකම කාර්යය එය පමනක්ය කියා. ඒක සමීකරනයක් විසඳනවා වැනි වැඩක් බවයි ඔවුන් සිතන්නේ. මම මගේ ලඟම මිතුරෙක් සමඟ ලඟදි මේ ගැන කතා කලාම ඔහු හරි අපූරු කතාවක් ඒ ගැන කීවා. රසිකයාත්, විචාරකයාත් සිතන්නේ නිර්මානයකින් නිර්මානකරුවා අප වෙත ගෙනෙන්නේ ප්‍ර හේලිකාවක් කියලයි. ඒ ප්‍ර හේලිකාවේ හරහට,  පහලට ඇත්තේ මොනවාදැයි ඉඟි වැකි නිර්මානය තුල සැඟවී ඇතියි කියල හිතලා ඒ අය කරන්නෙ ඒ ප්‍ර හේලිකාව පුරවන එක. විචාරකයන් කරන්නෙ ප්‍ර හේලිකාව පුරවගන්න බැරි අයට පත්තර පිටු හරහා, පොත් හරහා නැත්නම් සංවාද හරහා විචාරකයා ඒ ප්‍ර හේලිකාව පුරවලා පෙන්නන එකයි. අද නිර්මානයක් රසවිඳිනවා යයි සම්මත වෙලා තියෙන්නේ මේ තත්වයයි. එය තේමාත්මකවාදීන්ගේ ග්‍රහනයට හසුවී ඇතැයි මම ප්‍රකාශ කරන්නේ ඒ නිසයි.

ඇත්තෙන්ම නිර්මානයක් වින්දනය කරනවා කියන්නෙම ඊට වඩා පුලුල් මෙන්ම සංකීර්න කාර්යයක් වෙනවා. නිර්මානයක ඇත්තේ හකුලුවා ගන්න පුලුවන් කතාවකුත්, පෙන්නන්න පුලුවන් තරමේ තේරුමකුත් පමනක් නෙමෙයි. බොහෝ විට නිර්මානයකින් අප ලබන කම්පනය වචන වලට හැරවීම පවා කල හැකි පහසු කාර්යයක් නෙමෙයි. මේ ගැන රයිනර් මරියා රිල්ක තරුන කවියෙක් වෙත යවනු ලැබූ ලිපියක අපූරුවට කියල තියෙනවා. එයාගෙ අදහස මෙහෙමයි.

විචාරාත්මක වචන තරම් කලා කෘතියකට දුරස්ත අන් කිසිවක් නැහැ. ඒවායින් හැමවිටම සිදුවන්නේ යම් තරමක වැරදි වටහා ගැනීම්. කල හැකි යැයි මිනිසුන් විස්වාස කරන තරමට, දේවල් විශද හෝ ප්‍රකාශ කල නොහැකියි. බොහෝ අත්දැකීම් ප්‍රකාශ කරන්නට බැහැ. ඒවා සිදුවන්නේ කෙදිනක හෝ වචනයක් ඇතුලුවී නැති අවකාශයකයි. මේ අන් කිසිවකටත් වඩා, කලා කෘතීන් පිලිබඳව කතා කල නොහැකියි. කලා කෘතීන් පිලිබඳව - අපේම කුඩා අනිත්‍ය ජීවිතය පසෙක ඉවසා දරා සිටින්නා වූ ඒ ගුප්ත ජීවන අස්තිත්වයන් පිලිබඳව- කතා කිරීම අපහසුයි.

රිල්ක දක්වන ඒ අදහස වගේම තරුන නවකතාකරුවෙක් වෙත යවන ලිපි අනූව සැකසුනු මාරියා වර්ගාස් ලෝසාගේ අදහසකුත් මට මෙතනදී මතක් වෙනවා. එයා විචාරය සම්බන්ධව දරන අදහස මෙහෙමයි.

සාර්ථක ප්‍රබන්ධයක හෝ කවියක හැම විටම මොකක් හරි අංගයක් හෝ මානයක් තියෙනව තාර්කික විචාරාත්මක විග්‍රහයෙන් හරියටම අල්ලගන්න බැරි. ඒකට හේතුව විචාරය තර්කයේ සහ විචාරයේ ව්‍යායාමයක් වීමත්සාහිත්‍යයික නිර්මානයේදී සහජඥානය, සංවේදීතාව, අනාගතය දැකීමේ ශක්තිය සහ අහම්බය ආදිය මැදිහත් වීමත් ඒ අංග ඉතාම සියුම් විචාරයේ දැලට හසු නොවීමත්.

මේ අදහස් දෙක හරහාම අපට මතක් කරන දෙයක් තියෙනවා. නිර්මානයක් මගින් අප වෙත ගෙන එන වින්දනය, සංතෘප්තිය විචාරය හරහා මතු කිරීම කොතරම් අසීරු ද යන වග. නමුත් මට පෙනෙන විදිහට අපේ විචාරකයන් සිදුකරන්නෙ ඒ අපහසුතාවය මත සක්මන් කරන්න වෙර දැරීම නෙමෙයි. නිර්මානයක තමා සොයාගත්, පාදාගත් අදහසක් තේරුමක් හෝ සංකේතයක් අනෙක් අයට පෙන්වීම තමාගේ එකම කාර්යය කියායි විචාරයකන් සිතන්නේ.

හැබැයි ඔතනදී කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් නේද නිර්මානයක් මගින් ඇඟවෙන බොහෝ දේ ප්‍රකාශ කල නොහැකි නම්, අසීරුනම් අපට විචාරය ඇතුලේ දී කල හැකි එකම කාර්යය ඒවායින් මතුවෙන තේමාත්මකය ගැන සාකච්ඡා කිරීම පමනක් නේද කියලා?

ඒක ඒ තරම්ම දෙයක් නෙමෙයි. මම නම් නිරන්තරයෙන් අත් දකින්නේ පාඨකයාත් විචාරකයාත් සෑම විටකම යම් පුහුනුවකින්, සීමාවකින් නිර්මානයක් වෙත එලඹෙනවා කියලයි. මොකද අපට පාසල් අධ්‍යාපන යේදී පවා නිර්මාන රස විඳින්න උගන්වන්නේ ඒවායෙහි යටි අරුත් ගැන හාරා අවුස්සන්න පමනයි. භාශාව ගැනවත් වෙනත් රසවිඳීම් අලංකාර ගැනවත් නෙමෙයි. නිර්මානයේ ගැඹුර ගැන වෙහෙසෙන්න අපට එතැනදී පුහුනුවක් දෙනවා. මට මතකයි අපට උසස්පෙල විභාගයට නියමිත සැලලිහිනි සංදේශය, මනමේ නාට්‍යය, නූතන පද්‍ය සංග්‍රහය වගේ සෑම පොතකම වචනයක් වචනයක් පාසා ඒවා මගින් පෙන්වන සමාජ යථාර්ථය, යටි අරුත් වගේ දේවල් අපට කටපාඩම් කෙරෙව්වා. නිර්මානයක් රස විඳිනවා යනු ඒවායෙහි අරුත් හාරා ගොඩ ගැනීම යයි අපට මූලික බලකිරීම සිදුවන්නේ පාසලින් බව පෙනෙනවා.

නිකමට හෝ අප ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි මාධ්‍ය වල ගී රස වින්දන වැඩසටහනක් අරගෙන බලමු. එවැනි වැඩසටහන්වල දීර්ඝ ලෙස රසවිඳින්නේ හෝ වඩා විශිශ්ට ගීත ලෙස පෙන්වා දෙන්නේ කවරාකාර ගීත ද? ගීතයක විශිශ්ට භාවය බොහෝ විචාරකයන් විසින් තීන්දු කරන්නේ පද රචනාව හරහාම විතරයි. ගුවන් විදුලියේ ගීත තෝරන්න එන වැදගත් පුද්ගලයන් ද තමාගේ කැමතිම ගීත 10 විදිහට තෝරන්නේ මොකක් හෝ තේරුමක් තියෙන, යටි අරුතක් ඇති ගීත දහයක්. නමුත් ඇත්තටම ඒ ඔවුන් කැමති ගීතද? වැඩසටහනක් වෙනුවෙන් යමක් කතා කිරීමට,නැත්නම් තමාගේ තත්වය පෙන්වීමට සුදුසු විශිශ්ට යයි සම්මත ගීත ද ඔවුන් තෝරනු ලබන්නේ? මෙවැනි ගීත තෝරාගැනීම දිහා බැලුවාම පේනවා ඒවා තුල යම් වට්ටෝරුගත ස්වභාවයක් තිබෙන බව.

ගීත සම්බන්ධව විචාරය කරන අය අතර ගීතයේ ගායකයාගේ කටහඬ, ඒ තනුව කොතරම් මිහිරිද, එසේත් නැතිනම් සංගීතය හරහා කොතරම් මිහිරක් ජනනය වෙනවද කියල නිකමටවත් හිතන්නෙ, අදහස් පල කරන්නෙ නෑ. ඔවුන් ගීතයේ වෙනත් ගැඹුරු අරුතක් වෙනුවන් සමාජ පනිවිඩයක් ගෙනහැර පාන්න වෙහෙසෙන බවක් පමනයි මටනම් පෙනෙන්නෙ.

දැන් ඔබගේ ප්‍රශ්නයට යම් සාධනීය පිලිතුරක් මෙතන ඇති. ඇත්තෙන්ම නිර්මානයක අපේ සැබෑ වින්දන පාර්ශවය ගැන කතා කිරීම අපහසු වෙන්න පුලුවන්. අපි හිතමු කවියක් කියලා. ඒ කවිය මගින් අපට නිර්වචනය කල නොහැකි හැඟුමක් ගෙන එනවා නම් අප ඒ සැබෑවම දන්වා ඒ කවිය විචාරය ඇතුලේ උපුටා දැක්වීම කල හැකියි. මෙහි මෙවැනි මෙවැනි වදන්, පද බෙදීම් වල රසවත් භාවය ගැන කතා කල හැකියි. නමුත් තේමාත්මකවාදී විචාරකයා කවිය යයි නිරන්තරයෙන් බදා ගන්නේම යටි අරුත්, සමාජ දේශපාලනික යථාර්ථ ගොන්නක් පිඬු කල දෙයකට යයි සිතා ඒක විශ්ලේශනය කිරීමට වෙහෙසෙන බවක් පමනයි පෙනෙන්නේ.

නමුත් ඔබ තේමාත්මකවාදීන් යයි වෙන් කරනු ලැබූවත් ඔවුන් සංකේත, රූපක,   වගේම වෙනත් ව්‍යුහීය අංගත් එතනදී මතු කරනවා නේද?

ඒ කුමක් වෙනුවෙන්ද? තේමාත්මකවාදීන්ගේ මූලික අරමුන තේමාත්මකය තුල ඇති සාරගර්භ අදහස සමාජගත කිරීමයි. ඒ වෙනුවෙන් ඔවුන් තමාගේ අතට හසුවෙන සියල්ල තේමාත්මකය වෙනුවෙන් භාවිතා කරනවා. හරියට දේශපාලඥයින් වගේ. දේශපාලඥයින් කරන්නේ තමා අභිමුව ඇති ඕනෑම දෙයක්, වස්තුවක් දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කිරීමයි. ඕනෑම දේශපාලන මතවාදයක පිරිසක් කරන්නේ මේ තත්වයම තමයි. ධනවාදී සමාජවාදී ඕනෑම දේශපාලන කඳවුරක් තමා අභිමුව ඇති සියල්ලක්ම දේශපාලන අරමුනක් වෙනුවෙන් භාවිතා කරන ආකාරයක් පෙනෙනවා. තේමාත්මකවාදී විචාරකයා ද එසේමයි. එක්කෝ ඔවුන් යම් අරමුනක් වෙනුවෙන් එවැනි නිර්මාන භාවිතා කරනවා. නැතිනම් සමාජ යථාර්ථය පෙන්වීමේ පරම අභිලාශය සඳහා නිර්මානයක සෑම අංගයක්ම සූක්ශමව භාවිතා කරනු ලබනවා.

එතකොට ඔබේ අදහස තේමාත්මකවාදය හෝ තේමාත්මකවාදීන් නිර්මාන හෝ විචාර කාර්යය දූශිත කරනවා කියන එකද?

නැහැ. කොහෙත්ම එහෙම අදහසක් නෙමෙයි. මට උවමනා වන්නේ තේමාත්මකවාදය කියා දෙයක් ද ඇති බව පෙන්වීම පමනයි. කොටින්ම එය හොඳයි ද හෝ නරකයි ද කියා කියන්න මට බැහැ. මට කියන්න පුලුවන් එකම කාර්යය තේමාත්මකවාදය යනු නිර්මානයක් රසවිඳිය යුතු එකම සහ හොඳම විදික්‍රමය යයි අප පිලිගත යුතු නැති බව. එය නිර්මානයක් විඳිය හැකි එක් මානයක් පමනයි. එය අති විශිශ්ට හෝ හොඳම මොඩලය යයි හෝ එහි අධිකාරීත්වය අපේ සමාජය තුල කොතරම් ව්‍යාප්ත වෙලා ද කියන එක කියන්නයි මම උත්සාහ කලේ. ඒ වෙනුවෙන් තවත් අදහස් මතවාද අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු. ඒ තාක් මේ සංවාදයට බාහිර පිරිස් සම්බන්ධ වී ගැටලු, තර්ක, සිය අදහස්, විවේචනයන් ඉදිරිපත් කරනවානම් හොඳයි. මොකද මෙහි අප දකින්නේ එක් පටු මානයකින් පමනක් විය හැකියි. ඔවුන් දක්වන අදහස් හරහා, විවේචන හරහා අපට මේ සංවාදය වඩාත් ඔපමට්ටම් කරගන්නත්, ගැටලු ඇති තැන් නිරාකරනය කරගන්නත් පහසුවක් වේවි. දැනට එපමනයි.



Sunday, January 6, 2019


සිස්ටම් එක අවුල්ද? -  02

ධනවාදී අවජාතකයා(ඕපපාතිකයා) හා සමාජවාදී සුජාත පුත්‍රයා




මේ කලින් ලියපු ලිපියකට ලියන ඌන පූර්නයක්. ඌන පූර්නයකටත් වඩා ඒක ගැන වෙනත් මානයකින් කීමක් කියල කියන්නත් පුලුවන්.

විශේශයෙන්ම මේ සංවාදය ලිපියකින් කෙරුනත් මෑතකදි මම මගේ ලඟම හිතවතුන් කිහිප දෙනෙක් එක්කම මේ ගැන සාකච්ඡාවක් පටන් ගත්තා. පැයක් දෙකක් නොදැනිම ඇදි ඇදී කෙලවරක් නැතිව අවසන් උනු මත ගැටුමෙන් මට එලි පෙහෙලි උනු කාරනා කිහිපයක් සිස්ටම් එක සම්බන්ධව යලි යලිත් ලියා තැබිය යුතු බව සිතුනා. මේ වෑයම ඒකටයි.

මූලිකවම සිස්ටම් එක අවුල් නැහැ කියන එකෙන් මාක්ස්වාදීන් හෝ එකී මතයට පක්ශපාතී පිරිස් විශාල කලබලයකට පත් වෙන බවක් පේනවා. අනිත් අතට සිස්ටම් එක කියන එක  ඒ අය අර්ථ ගන්වා ගන්නෙ විශාල සහ සංකීර්න එකකට. ඔවුන්ට අනූව මේ සියල්ලම සිස්ටම් එකක්.නැත්නම් අපි මේ භුක්ති විඳින හෝ අත්දකින සියල්ල ධනවාදී සිස්ටම් එකේ සෘජු හෝ වක්‍ර ප්‍රතිඵල වගේ තැනකට ඔවුන්ගෙ චින්තනය නාබිගත වෙලා තියෙනවා. විවාහය , ආදරය කරනඑක, පවුල් වෙන එක වගේ දේවල් වලට යනකම්ම සිස්ටම් එක දුරදිග ගිහින් බව ඔවුන්ගෙ මතවාද වලින් ඔප්පු උනා.

තාර්කිකව බැලුවම ඔවුන් හරි තමයි. තාර්කිකව ගත්තම  එහෙම ඔප්පු කරන්නත් පුලුවන්. සියල්ලම සිස්ටම් එකේ ප්‍රතිඵල. එකී අර්තෙන් අරගත්තොත් ස්වභාව ධර්මයා පවා මේ සිස්ටම් එකට අනූව හැඩගැහිල කියල තර්ක කිරීම ආයාසකර එකක් නෙමෙයි.

නමුත් මගේ අදහස තියෙන්නෙ ඔය කියන හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගිය, අග මුල නැති වැල් වගේ සිස්ටම් එකක් ගැන නෙමෙයි. මේක හරි සරල අදහසක්. සාමාන්‍ය අපේ ව්‍යවස්ථාව කියල අපි අරගමු. නැත්නම් මේ මන්ත්‍රීන් තේරී පත්වෙන හෝ පාලනය කරන රාමුව සැකසී තියෙන විදිහ සිස්ටම් එකක් විදිහට කොහෙත්ම නරක නෑ කියලයි මම කියන්නෙ. ඒක ඉතාම දියුනු විදික්‍රමයක්. බොහොමයක් රටවල තවදුරටත් ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා මීට වඩා සිදුරු, රිංගන්න පුලුවන් ඉඩ කඩ තිබියදී පවා. එහෙම බැලුවම වරද තියෙන්නෙ ඒ ක්‍රමය ඇතුලෙ නෙමෙයි. ක්‍රමයකට පන නෑ. ඒක යෝජනාවක්. සංකල්පයක් විතරයි.  ඒ ක්‍රමය යහපත් එකක් ද අයහපත් එකක්ද කියල තීරනය කරන්නෙ එය අතට පත් වූ මිනිසුන් විසින් ඒකට දෙන හැඩය අනූව කියන එකයි මගේ අදහස.

මේකට අපිට නිදසුන් ගනනාවක් අරගන්න පුලුවන්. අන්තර්ජාලය භාවිතා කරන  එක නරක දෙයක් නෙමෙයි. එය ඉතා දියුනු තත්වයකට ලෝකය අරගෙන ගිහින් තියෙනවා සහ යමින් තියෙනවා. නමුත් අපි සමාජයක් විදිහට අන්තර්ජාලය හරහා කරන්නෙ පුද්ගල ගිනුම් හැක් කරන එක නම්, බැංකු ගිනුම් පිරික්සන එකනම්, මිනිසුන්ගෙ පුද්ගලිකත්වය තර්ජනයකට ඇදදාන වීඩියෝ ලීක් කරන එක නම්, ව්‍යාජ ගොසිප් පල කරන එක නම් වරද තියෙන්නෙ අන්තර්ජාලය කියන ක්‍රමය ඇතුලෙ නෙමෙයි. (ලංකාවෙ මිනිස්සු වැඩියෙන්ම ගූගල් සර්ච් කරන්නෙ සෙක්ස් කියන වචනෙ නම් ඒක ගූගල් එකේ වරදක්ද)  එය අවභාවිතාකරන අපේ සමාජය ඇතුලෙ කියන එකයි මගේ මතය. (කැස්සට බොන සිරප් එක මෑතකදි ෆාමසි වල තහනම් කරල තිබුනා. ඒ තහනම් කරල තිබුනෙ ඒක කැස්සට බොන්න හොඳ නැති එකක් නිසා හෝ එය ශරීරයට අහිතකර නිසා නෙමෙයි. එය මත් ද්‍රව්‍යක් විදිහට භාවිතා කරන්න පාසල් ලමුන් මෙන්ම වැඩිහිටියන්ද පුරුදු වී තිබීම. එතකොට කැස්ස පැනිය තහනම් කිරීම කියන්නෙ කැස්ස පැනියෙ අවුලක් මත සිදුවෙච්චි දෙයක් නෙමෙයි කියන එක අපි නිහතමානීව පිලිගන්න ඕන)

ආගමික තත්වයක් අරගෙන බැලුවත් ඒක එහෙමමයි. වර්තමාන පන්සල්, හාමුදුරුවරු අරගත්තට පස්සෙ ඒ අය විසින් නඩත්තු කරගෙන යන ක්‍රමවේදයට අපිට කොහොමටවත් එකඟ වෙන්න බැහැ. ඒක ඉතා නරක තත්වයකට දිනෙන් දින පත්වෙමින් තියෙනවා. එතකොට ඒක නරක තත්වයට ඇදවැටෙමින් තියෙන්නෙ ආගමික හරයේ ඇති අවුලක් නිසාද? නැතිනම් ඒක ප්‍රා යෝගිකව භාවිතා කරන අපේ භාවිතාවෙ අවුලක්ද ඒක? තත්වය මෙසේ තිබියදී අපි බෞද්ධ දර්ශනය බැහැර කරනවානම් ඒක ඇත්තටම යහපත් තත්වයක් වෙන්න බෑ. මොකද තත්වය නරකක් ලෙස පෙනෙන්නෙම ඒක නූතනයේ ඒකට හැඩයක් දීපු අය හරහා ඒකෙන් පෙන්නන චිත්‍රය නිසා.

මම මේ ඉහතින් ගෙනාපු ගොඩක් මතවාද වලට මාක්ස්වාදී අදහස් දරන අයට ඉතා සංකීර්න පිලිතුරු තිබෙන බවත් මම දන්නවා. උදාහරනයක් විදිහට මිනිස්සු ගූගල් සර්ච් කරන්නෙ සෙක්ස් වචනෙ නම් ඒක සිස්ටම් එකේ අවුලක් බවත් මේ සිස්ටම් එකෙන් සෙක්ස් වලට දීපු තැන නිසා එහෙම අලකලංචියක් වූ බවත් ඔවුන්ට තර්කයක් ගේන්න පුලුවන්. නමුත් ඇත්තටම ඒ වගේ තත්වයන් සිස්ටම් එකේ අවුලෙන්  විතරක් සිද්ද උනාද? එහෙනම් සමහර ලිබරල් ධනවාදී රටවල අපට හිතාගන්නවත් බැරිතරම් ලිංගික නිදහසක් හිමිවෙල තියෙන්නෙ කොහොමද?  සමලිංගිකත්වය, ගනිකාවෘත්තිය වැනි දේ සම්බන්ධව ධනවාදී යයි අර්ථකථන දෙන රටවල් වලින්ම පලවෙනි ප්‍රජාතාන්ත්‍රික වෙඩිමුර පත්තුවෙන්නෙ කොහොමද?

දැන් මාක්ස්වාදීන් මම මේ උඩින්ම පෙන්වපු තර්කය ඉතා සූක්ශමව භාවිතා කරනවා.  කොහේ හෝ රටක, තැනක, අවස්ථාවක මාක්ස්වාදියෙක් වරදක් කලොත් හරි එකී මූලධර්ම අවභාවිතා කලොත් මාක්ස්වාදීන් එම චරිතය බැහැර කරනවා. විවේචනය කරනවා. රුසියාවේ ස්ටාලින් ඔවුන් බැහැර කරන්නෙ මේ ක්‍රමවේදයට අනූවයි. ඔවුන් කවමදාකවත් පාලන බලය  අතට ගන්න නොහැකි වුනු ට්‍රො ස්කිව ඉදිරියට ගෙනැත් ස්ටාර්ලින්ගේ වරද පෙන්වා මාක්ස්වාදයේ මූලධාර්මික කරුනු ආරක්ශා කරනවා.

අනෙක් අතට වමේ පක්ශ යම් ධනවාදී සන්ධානයක හවුලට ගියොත් හෝ වැරදි විදිහට හැසිරුනොත් ඒක වමේ පක්ශ අර්බුදයකට යන අවස්ථාවක් ලෙස චෝදනා කරමින් මාක්ස්වාදයේ මූලධර්ම වල ගුන නැවත මතක් කරනවා. වමේ පක්ශ නායකයෙක් අකටයුතුකම් කලොත් ඔවුන් සුලු ධනේශ්වර වී ඇතැයි සලකමින් යලි පිරිසිදු මාක්ස්වාදයක් වෙනුවෙන් කුඩා කන්ඩායමක් ලෙස රැස් වෙන්න ඔවුන් පියවර ගන්නා බවක් ද පේනවා. නැත්නම් පශ්චාත් මාක්ස්වාදී න්‍යායන් ඉදිරිපත් කර තිබෙන අති නූතන චින්තකයන්ගේ කරුනු අනූව මාක්ස්වාදයේ නිර්මලත්වය වෙනුවෙන් තනි තනි පුද්ගලයන් ලෙස ස්වාධීනව පෙනී සිටිනවා. ඇත්තෙන්ම මාක්ස්වාදී කඳවුරේ බොහෝ අය කරන්නේ මේ ක්‍රියාවලිය බව පැහැදිලියි.

මම කියන්නේ මේක නරකක් කියල නෙමෙයි. ඇත්තෙන්ම ඒක මූලධර්මයක්/න්‍යායක් ආරක්ශා කිරීම වෙනුවෙනුත් එහි යහ පැවැත්ම වෙනුවෙනුත් කිරීම කිසිදු ආකාරයකින් වැරදි නැහැ.

නමුත් ධනවාදී කඳවුර දෙස හැරීමේදී මාක්ස්වාදීන් අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට  කැරකෙනවා. ඔවුන් යම් ධනවාදී පාලකයෙක් අර්බුද මතුකරන සැනින් එය ධනවාදයේ අවුල ලෙසින් සරලව ගෙනහැර පානවා. අප ඉදිරියේ සිදුවන ඕනෑම නරකක් පශ්චාත් ලිබරල්වාදයේ අර්බුදය ලෙස ගෙන හැර පෑම ඔවුන්ගේ මූලිකම අභිප්‍රායයි.(අර ගූගල් සෙක්ස් කතාවත් ඒ වගේ) ඒව පුද්ගලයන් කලත්, කන්ඩායම් කලත්, පක්ශ විසින් සිදුකලත් එකී දොස් බැර වන්නේම ධනවාදී ගිනුමටයි. නිදසුනක් ලෙස ලංකාවේ මහින්ද, රනිල් වැනි කන්ඩායම්වල හැසිරීම ඔවුන් ධනවාදයේ/නව ලිබරල්වාදයේ  අර්බුදයක් ලෙස අරගන්නවා. මාක්ස්වාදී පක්ශයක්ඔවැනි තත්වයක් උනොත් ඔවුන් එය පුද්ගලයන්ගේ අර්බුදයක් නැත්නම් පක්ශකය අර්බුදයක් බව පෙන්වා මාක්ස්වාදී මතවාදය ආරක්ශා කරනවා.

මාක්ස්වාදය හා ධනවාදය වෙනුවෙන් ඇතිවන සිස්ටම් අවුලේදී මතුපිට සටන ඔයාකාර බව මට නැවත නැවතත් පසක් උනේ මිතුරන් හා සිදුකල සිස්ටම් මතවාදයේදී. ඒ මතක් කරගැනීමට සහාය වීම වෙනුවෙන් ඔවුන් සියල්ලටම ස්තූතිය හිමිවිය යුතුයි.

ඇත්තෙන්ම ධනවාදය කියා නිශ්චිත, ආකෘතිකගත දෙයක් චින්තනයක් පෙනෙන්න නැති අතරේම, ධනවාදයේ චින්තකයන් ද පැහැදිලි ලෙස අත් දකින්න බැහැ. කොටින්ම එය මූලධර්මයක් ලෙස පවතින නිශ්චිත හැඩයක් සහිත කඳවුරක් නෙමෙයි. එනිසා ඒ වෙනුවෙන් අදහස් දක්වන්න, එය ආරක්ශා කරන්න සැදී පැහැදී සිටින මතවාදීන් ද පෙනෙන්නට නැහැ. එනිසා ධනවාදය හරියටම අවජාතක පුත්‍රයෙක් හෝ ඕපපාතික භූතාත්මයක්හා සමානයි.  නමුත් මාක්ස්වාදය වෙනුවෙන් එවැනි චින්තකයන් ලොව පුරා විසිරී සිටින අතරේම නිශ්චිත ලිඛිත ව්‍යවස්ථාවක් වැනි යමකුත් මාක්ස්වාදී මතවාදය වෙනුවෙන් සැකසී තිබෙනවා. ඔවුන් ඉතා සූක්ශමව ස්වකීය මතවාදයේ  පිරිසිදු භාවය වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඒ මාක්ස්වාදී සුජාත පුත්‍රයා වෙනුවෙනුයි.

මේ මතුපිට සටන පවතින තාක් ලෝකය, ධනවාදයේ අර්බුද දකිමින්, ඕපපාතික ධනවාදය ඔස්සේම ගමන් කරන අතරේම මාක්ස්වාදයේ නිර්මල සුජාත හීනය දකිමින් සිටිනු ඇති බවයි මම අනුමාන කරන්නෙ. නිකමට හිතල බැලුවොත් මේක සුවහසක් ලෝක වාසීන්ගේ ස්වභාවික මිනිස් ආශාවක්. උදාවූවත් නොවුනත් යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කිරීම කාගෙත් හීනයක්. ගැලවුම්කාරයෙක් ලෙස, දෙවි කෙනෙක් ලෙස, සාලිය කුමාරයා ලෙස වගේම සමාජවාදී රාජ්‍ය ක්‍රමය විදිහටත් කරලියට පැමිනෙන්නේත්, මේක සිදු උනොත් ඔක්කොම හරියාවි කියන අර විදිහේම ස්වභාවික ආශාවේ අති නවීනස්වරූපයක් වෙන්න බැරිද?




නොවරදින මලයාලම් සිනෙකම්.



මේ මාතෘකාව මම හොරාගත්තෙ සොඳුරු මලයාලම් සිනමාව ගෘප් එකේ රසිකයෙක්(ධනුශ්කා නිශාධි) දාපු කමෙන්ට් එකකින්. ඇත්තටම ඒක මලයාලම් සිනමාව නම් කරන්න දෙන්න පුලුවන් නිර්මානාත්මකම තේමාවක්. අපි පොඩි කාලෙ අහල තිබුනෙ නොවරදින මලයාලම් ගුරුකම් සම්බන්ධයෙන් උනත් දැන් දැන් මලයාලම් සිනෙකම් තමයි මලයාලම් ගුරුකම් වලටත් වඩා ප්‍රබල වෙලා තියෙන්නෙ.

මහේශ්ගේ පලිගැනීම (MaheshintePrathikaram)


මේක මලයාලම් චිත්‍රපට වලින් මම බලපු සුවිශේශීම ගුනාංග වලින් යුතු චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ගැන කතාකරන්න කලින් මලයාලම් සිනමාවෙ මම අත්දැකපු අලුත් මා මාව කැලඹීමට ලක් කරපු හේතු කිහිපයක් ගැන දල වශයෙන් සටහන් කල යුතු බව සිතුනා. මලයාලම් චිත්‍රපට බහුල වශයෙන් නරඹා නැතත් ඉන් එකක් දෙකක් නැරඹූ සැනින් ඒවාට ඇබ්බැහිවීමේ ස්වභාවයක් ඒවා තුල ඝනීභූත වෙලා තිබෙන බව පේනවා. මලයාලම් ෆිල්ම් සම්බන්ධව විශේශ ඇල්මක් දක්වන ඕනම අයෙකුගෙන් විමසුවෙත් මේ කාරනාව කොතෙක් දුරට ඇත්තක් දැක් සොයගන්න බැරිකමක් නැහැ.

මීට වසර කිහිපයකට කලින් මට මලයාලම් ෆිල්ම් වලට වහ වැටුනු සරසවි මිතුරෙක් මුනගැසුනා. ඔහු ලඟ මලයාලම් චිත්‍රපට ලිස්ට් එකක් තිබුනත් මම ඒ එකක්වත් බලල තියා නමක්වත් අහල තිබුනෙ නැහැ. අනෙක් අතට මට ඒ ගැන පසුතැවීමක් ආවෙත් නැහැ. මලයාලම් චිත්‍රපට කිව්වම මගේ ඔලුවට ආවෙ දෙමල වානිජ සිනමාවෙන් අර නිතර දකින කඨෝර, කඩු පොලු උස්සන් මරන, උඩ ගිහින් කරකැවෙන විදිහේ සිනමාවකට පොදු රසිකයා වගේ මගේ අර සරසවි මිතුරත් ඇබ්බැහි වෙලා ඉන්නව ඇති කියලයි. ඒ කෙසේ වෙතත් ඔහු මලයාලම් සිනමාවට මේ තරම් ආදරේ මොකදැයි මම නිකමට ඇසූ ප්‍රශ්නෙට එයා දුන්නු උත්තරේ මට අදත් මතකයි.

ඒව බලනකොට මට හිතෙන්නෙ මම ලංකාවෙ කතාවක් බලනව කියල. ඒ පරිසරය, පසුබිම, මිනිස්සු ඒ ඔක්කොම මෙහේ වගේමයි.

එහෙම කියල ඔහු මට මලයාලම් චිත්‍රපට කිහිපයක් බලහත්කාරෙන්ම මගේ පෙන් එක ඇතුලට එබුවා. නෙරම්, ප්‍රේමම්, ඔට්ටාල්, චාර්ලි වගේ නම් කිහිපයක් තිබුනත් ගෙදර ගෙනත් අහෙන් මෙහෙන් ප්ලේ කරත් නිස්කලංකේ ඒ දිහා බලන්න තරම් නිදහසක් හරි උවමනාවක් හරි මගේ ඇතුලෙන් ඇවිලිලා නාව නිසා මම ඒව ඔහේ තියෙන්න ඇරිය විතරයි. නමුත් ඇත්තටම මලයාලම් සිනමාව දිහාවට මගේ හැඟීම ඇවිලිලා එන්න මුල පුරපු කතාව තමයි ප්‍රේමම්. ප්‍රේමම් බැලුවට පස්සෙ අර යාලුව කියපු කතාව ඇත්තක් කියල මට ආයෙත් වතාවක් මතකෙට ආවා. ඒ මිනිස්සු, පරිසරය, වගේ හැමදෙයක්ම අපට සමීපයි.

මලයාලම් සිනමාවේ මම මේ තාක් දැක්ක සුවිශේශතා කිහිපයක් තියෙනවා. ඊට කලින් මම මේ චිත්‍රපටි ප්‍රධාන වර්ග දෙකක් යටතට අරගන්න කැමතියි. එකක් තමයි සාමාන්‍ය හින්දි, දෙමල චිත්‍රපට වගේ රෝමාන්තික, ශෛලිගත කතාවක් සහිත යථාර්ථයෙන් මදක් දුරස්වෙච්චි කතා රැගත් සුන්දර දසුන් සහිත චිත්‍රපට. මම නැරඹූ චාර්ලි(Charlie), කූඩෛ(Koode) වගේ චිත්‍රපට මම අරගන්නෙ මේ යටතට. ඒවගෙ තියෙන්නෙ අර ජනප්‍රිය හින්දි සිනමාවෙ ලක්ශනමයි.

 (Charlie Movie)

දෙවැන්න මලයාලම් සිනමාවටම අනන්‍ය, අව්‍යාජත්වය කැටි කරගත්තු ඉතා සියුම් කතා තේමා අඩංගු සිනමා බසක් සහිත චිත්‍රපට. MaheshintePrathikaram, Thondimuthalum Dhriksakshiyum... වැනි චිත්‍රපටි මම අරගන්නෙ මේ ගොඩට. ඇත්තෙන්ම මම තදින් ඇලුම් කරන්නෙත් මේ කාන්ඩයේ චිත්‍රපට වලටයි.

(Thondimuthalum Dhriksakshiyum)

මේවගෙ මම අත්දකින විශේශම දේ තමයි ඉන්දියානු ජන සමාජය තාත්විකව සහ යථාර්ථවාදීව කැමරාවට අරගෙන තිබීම. තේමාත්මකව අරගත්තත් මේ චිත්‍රපටවල කතාවන් මහා ලොකු සමාජ දේශපාලනික විවේචනයන් ග්‍රහනය කරගන්නවට වඩා මිනිස්සුන්ගේ ජීවිත සමීපයට ඇවිත් සියුම් අවස්ථා නිරූපනයෙන් කරන හෙලිදරව් කිරීම් විශේශයි. බොහෝ කතාවල කතාවක් නැති තරමට සියුම් රිද්මයකින් සිනමාව ඉදිරියට විකාශනය වෙනවා. හාස්‍ය, ආදරය, පලිගැනීම වගේ ගොඩක් දේවල් මේක ඇතුලෙ එකට කැලතිලා තියෙනවා.

මිනිස්සුන්ගෙ ජීවන රිද්මයන් අල්ලා ගන්න මලයාලම් සිනමාව තරම් එකක් වෙන කොහේවත් තියෙනවද කියල හිතෙන තරමට ඒක අපූරු සිනමා රිද්මයක් සහිතයි. මේ බොහොමයක් කතාවල ප්‍රධාන නලු නිලියන් පවා මේක් අප් කරන නැහැ කියල හිතෙන තරමට සජීවීයි. පුදුම හිතෙන තරම් සුන්දර නිලියන් අරගන්නවට වඩා පොලොවෙ පය ගසා සිටින ආකාරයේ සරල ඇඳුම් ඇඳගත් සජීවී හැඟීමක් දෙන නිලියන් අරගැනීම අතින් මලයාලම් සිනමාව අපූර්ව වීම අපූරුවට මතුකරනවා. Thondimuthalum Dhriksakshiyum චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් තෝරා ගැනීමේ සිට මුලු කතා පුවතේම දර්ශන පථයන් ආදී හැමකක්ම මලයාලම් සමාජයට අපව බැඳගන්න තරම් ප්‍රබල වෙනවා. අනෙක් අතට මම දැකපු සුවිශේශම සිදුවීම ඇතුලත් වෙන්නේ Maheshinte Prathikaram චිත්‍රපටයේ. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ඇත්ත කතාවක් උනත් මේක සිනමාවට නැගීමේදී සිනමාකරුගේ නිර්මානශීලීත්වය පරිකල්පනය වගේ දේවල් සෑහෙන වැදගත් වෙන්න ඇති. මෙහි ඇතුලත් කතාව ඉතාම සරලයි. වාක්‍යකින් දෙකකින් උනත් ඉදිරිපත් කරන්න පුලුවන් තරම කෙටියි. ඒත් එවැනි සරල කතාවක් සිනමාවට අරගැනීමට උත්සාහ කිරීමම අභියෝගාත්මකයි. නිර්මානකරු ඒ අභියෝගය ඉතා විශිශ්ට විදිහට ජය අරගෙන තියෙනවා.


මහේශ්ගේ පලිගැනීමට මූලික වන ඔහු ගුටිකෑමට බලපෑ සිදුවීම මම එතෙක් සිනමාවකින් නරඹා නැති තරමේ හාස්‍ය ජනක වගේම නිරුවත් ඇත්තක් හෙලි කරන අවස්ථාවක් ද වෙනවා. මහේශ් ගුටි කෑම දක්වා වන සිදුවීම කොහේදෝ අන්තයක සිට දාමයක් වගේ ගලාගෙන එන අකාරය ඉතා රසවත් එකක්. කුඩා කාලයේ ලමුන් සෙල්ලමට ගුටි පෝලිමේ යවනවා වැනි කතාවක් මීට පාදක වෙනවා. කිසිම සම්බන්ධයක් නැති තැනකින් පටන්ගත් කේන්තියක්, තරහක් අවසානයේ පිට වන්නේ මහේශ්ගේ ලඟින් වීම එක්තරා සමාජ යථාර්ථයක් හෙලිදරව් කරන්නක් ද වෙනවා. තමාට ගැසූ කොල්ලාට යලි ගසනතෙක් තමා සෙරෙප්පු නොපැලඳීමට මහේශ් ගන්නා තීරනයත් එවැනි පොලොවේ ඇත්තක් හොඳින් මතුකරගත් අවස්ථාවක්. මේ චිත්‍රපයට පුරාවට කැටි ගැසී ඇත්තේ කේරල ජන සමාජයේ ජීවන රිද්මයන්, හැඟීම්, සහ සංස්කෘතිකාංගයන් වීම යලි යලිත් අපට ඊට ඇද බැඳ තබාගන්න අදෘශ්‍යමාන හේතු අතර පෙරමුනේ තියෙනවා.

(Maheshinte Prathikaram)

ප්‍රේමම් චිත්‍රපටයත් ඒ වගේ. මෙහි අපට හමු වන්නේ සැබෑ ප්‍රේමය සොය සොයා දිවයන අවංක පෙම්වතෙක්. අවසානයේ ඔහුට මුනගැසෙන ප්‍රේමය ඔහු අසලම ගැවසුනු ඔහු සිහිනයෙන්වත් නොසිතූ එකක් වීමත්, ප්‍රේමය හිමි වනතෙක් යන ගමන් මාර්ගයේ ඇති කුඩා කුඩා අංශු මාත්‍රයන් හෙලිදරව් කිරීමත් මේ සිනමාපටය අපට සමීප වෙන්න හේතු වෙනවා ඇති. ප්‍රේමම් මම අර කලින් නම් කල සිනමා රීති දෙක අතරින්ම ඒ දෙකෙහිම ලක්ශන මිශ්‍ර කරගත් සිනමාවක් ලෙස ද සලකන්න පුලුවන්.

කොහොම උනත් මලයාලම් සිනමාව මේ වෙද්දිත් ලාංකික අපට සමීප වී තිබෙන තරම ෆේස් බුක් එකේ තියෙන විස්තර අදහස් දැක්කම නිගමනයකට එලඹෙන්න පුලුවන්. සොඳුරු මලයාලම් සිනමාව නමින් ෆේස්බුක් ගෘප් එකක් නිර්මානය වීම ඊට හොඳම සාක්ශියක්. ලොකු කුඩා, බාල මහලු, ප්‍රභූ නිර්ප්‍රභූ, උගත්, නූගත් ඕනෑම අයෙකුට රසවිඳිය හැකි මට්ටමේ නිර්ව්‍යාජී ගුනයක් සහිතව විකාශනය වන මලයාලම් සිනමාවෙන් අපට උගත හැකි පාඩම් බොහොමයි. ඒ මතක් කිරීම වෙනුවෙන් අප මලයාලම් සිනමාවට ස්තූති වන්ත විය යුතුයි.

Thursday, January 3, 2019


දෙසැම්බර් සීතලේ ඔක්තෝබර් යථාර්ථය


ඔක්තොබර් චිත්‍රපටියට වස්තු විශය වෙන්න සාමාන්‍යෙයන් හින්දි චිත්‍රපටයකට තේමා වෙන්නෙ නැති අති සියුම් සිදුවීමක්. ඇත්තටම බැලුවොත් කතාවක් තියෙනවා යයි කියන්නත් බැරි තරම් සුලු සිදුවීමක් වටා මේ සමස්ත චිත්‍රපයටම විකාශය වෙනවා.

නිල වශයෙන් පෙම්වතුන් නොවෙන අවම වශයෙන් තමා ගැන ප්‍රේමනීය හැඟීමකින් සිටියාදැයි විස්වාසයක්වත් නැති තම ආයතනයේ මිතුරියක් හදිසි අනතුරකට පත්වීමෙන් තරුනයෙකු ක්‍රියාකරන ස්වභාවය ගැන සියුම්ව මතු කරන්න තරම් සිනමාකරුගේ සිනමා භාශාව තාත්වික වෙලා තියෙනවා.

විශේශයෙන් මෙහි ප්‍රධාන භූමිකාව නිරූපනය කරන්න චරිතය අප සාමාන්‍යෙයන් දකින චිත්‍රපටිවල සිටින නැනවත්, වීර තරුනයා නෙමෙයි. ඔහු තමා වැඩකරන ආයතනයේ, සමාජයේ මෝඩයෙකු හෝ තැකිය නොහැකි චරිතයක් ලෙස භාර ගැනෙන වර්ගයේ හුදකලා වූවෙක්.

ඔහු සමඟ සේවයේ නිරතවන තරුනිය සෙසු අයට වඩා තරමක් හෝ ඔහුට ලෙන්ගතුව සිටිනවා. ඔහු සමඟ සිනාසෙනවා. කතාබහ කරනවා. නමුත් ඒ ගනුදෙනුව කොහෙමත්ම විශේශිතම එකක් බව පෙනෙන්නෙත් නැහැ.

හදිසි අනතුරින් තරුනිය සති කිහිපයක් හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඇය හුස්ම ගන්නවා පමනයි. එතැනින් එහා කිසිදු චලනයක්වත් ඇසිපිය සැලීමක්වත් සිදුවන්නේ නැහැ.

ඇගේ මිතුරියන්, මිතුරන්, පවුලේ ඥාතීන්, පියා පවා ඇගේ ජීවිතය ගැන ඇති සියලු බලාපොරොත්තු අතහැර දමද්දී  තරුනයා දශමයක් හෝ නෙවෙනස්ව සිය අවංක කැපකිරීම ඇයවෙත පුදදෙන විලාසය මතුකෙරෙන්නෙ හැඟීම්බර විදිහට.

මේක ඉතාම සෙමෙන් දිව යන, සමහර විට නරඹන්නාට එපා වෙන වර්ගයේ කිසිදු සිදුවීමක් සිදු නොවෙන ඔහේ ගලායන සිදුවීම් සහිත එකක්. එහි රිද්මය වගේම කතාවේ සංවේදනාවට ඇතුල් වූ අයෙකුට හැර එහි නියම හැඟීම විඳින්නට හැකි වෙන එකක් නැහැ. එසේම සාමාන්‍ය චිත්‍රපටයකින් අප බලාපොරොත්තුවන විදිහේ සිදුවීම්, අවසානයන් රහිතව මේ චිත්‍රපටය ජීවිතයේ ඇති සැබෑව දෙසට අන්ධකාර මීදුමාරයක් අස්සෙන් වගේ අපව කැඳවාගෙන යනවා. කතාවට  හෝ එය අවසන් වන විලාසයට අප කොහෙත්ම අකමැති වූවත් සිනමාපටය නැරඹීමෙන් අනතුරුව ආපස්සට ජීවිතය දෙස බලද්දී අපට ගැලවෙන්නම බැරි විදිහට එය අපේ චිත්‍යභ්‍යන්තරයේ හිඳිමින් සංවේදනා මතු කරවනවා.

රමනීය හෝ සම්භාව්‍ය යන දෙපැත්තටම නොයා මේ චිත්‍රපටය ගමන් කරන්නේ කතා දේහයට අවශ්‍ය කරන, එයම තනාගත් ස්වාධීන මාවතක වීම මාව අලුත් විදිහකට කම්පනය කරන්න සමත් උනා.

ඔක්තෝබරය ඒ තරම් සංවේදීව දැනෙව්වාට දෙසැම්බරයට ස්තූතියි.


ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...