Sunday, January 6, 2019


සිස්ටම් එක අවුල්ද? -  02

ධනවාදී අවජාතකයා(ඕපපාතිකයා) හා සමාජවාදී සුජාත පුත්‍රයා




මේ කලින් ලියපු ලිපියකට ලියන ඌන පූර්නයක්. ඌන පූර්නයකටත් වඩා ඒක ගැන වෙනත් මානයකින් කීමක් කියල කියන්නත් පුලුවන්.

විශේශයෙන්ම මේ සංවාදය ලිපියකින් කෙරුනත් මෑතකදි මම මගේ ලඟම හිතවතුන් කිහිප දෙනෙක් එක්කම මේ ගැන සාකච්ඡාවක් පටන් ගත්තා. පැයක් දෙකක් නොදැනිම ඇදි ඇදී කෙලවරක් නැතිව අවසන් උනු මත ගැටුමෙන් මට එලි පෙහෙලි උනු කාරනා කිහිපයක් සිස්ටම් එක සම්බන්ධව යලි යලිත් ලියා තැබිය යුතු බව සිතුනා. මේ වෑයම ඒකටයි.

මූලිකවම සිස්ටම් එක අවුල් නැහැ කියන එකෙන් මාක්ස්වාදීන් හෝ එකී මතයට පක්ශපාතී පිරිස් විශාල කලබලයකට පත් වෙන බවක් පේනවා. අනිත් අතට සිස්ටම් එක කියන එක  ඒ අය අර්ථ ගන්වා ගන්නෙ විශාල සහ සංකීර්න එකකට. ඔවුන්ට අනූව මේ සියල්ලම සිස්ටම් එකක්.නැත්නම් අපි මේ භුක්ති විඳින හෝ අත්දකින සියල්ල ධනවාදී සිස්ටම් එකේ සෘජු හෝ වක්‍ර ප්‍රතිඵල වගේ තැනකට ඔවුන්ගෙ චින්තනය නාබිගත වෙලා තියෙනවා. විවාහය , ආදරය කරනඑක, පවුල් වෙන එක වගේ දේවල් වලට යනකම්ම සිස්ටම් එක දුරදිග ගිහින් බව ඔවුන්ගෙ මතවාද වලින් ඔප්පු උනා.

තාර්කිකව බැලුවම ඔවුන් හරි තමයි. තාර්කිකව ගත්තම  එහෙම ඔප්පු කරන්නත් පුලුවන්. සියල්ලම සිස්ටම් එකේ ප්‍රතිඵල. එකී අර්තෙන් අරගත්තොත් ස්වභාව ධර්මයා පවා මේ සිස්ටම් එකට අනූව හැඩගැහිල කියල තර්ක කිරීම ආයාසකර එකක් නෙමෙයි.

නමුත් මගේ අදහස තියෙන්නෙ ඔය කියන හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගිය, අග මුල නැති වැල් වගේ සිස්ටම් එකක් ගැන නෙමෙයි. මේක හරි සරල අදහසක්. සාමාන්‍ය අපේ ව්‍යවස්ථාව කියල අපි අරගමු. නැත්නම් මේ මන්ත්‍රීන් තේරී පත්වෙන හෝ පාලනය කරන රාමුව සැකසී තියෙන විදිහ සිස්ටම් එකක් විදිහට කොහෙත්ම නරක නෑ කියලයි මම කියන්නෙ. ඒක ඉතාම දියුනු විදික්‍රමයක්. බොහොමයක් රටවල තවදුරටත් ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා මීට වඩා සිදුරු, රිංගන්න පුලුවන් ඉඩ කඩ තිබියදී පවා. එහෙම බැලුවම වරද තියෙන්නෙ ඒ ක්‍රමය ඇතුලෙ නෙමෙයි. ක්‍රමයකට පන නෑ. ඒක යෝජනාවක්. සංකල්පයක් විතරයි.  ඒ ක්‍රමය යහපත් එකක් ද අයහපත් එකක්ද කියල තීරනය කරන්නෙ එය අතට පත් වූ මිනිසුන් විසින් ඒකට දෙන හැඩය අනූව කියන එකයි මගේ අදහස.

මේකට අපිට නිදසුන් ගනනාවක් අරගන්න පුලුවන්. අන්තර්ජාලය භාවිතා කරන  එක නරක දෙයක් නෙමෙයි. එය ඉතා දියුනු තත්වයකට ලෝකය අරගෙන ගිහින් තියෙනවා සහ යමින් තියෙනවා. නමුත් අපි සමාජයක් විදිහට අන්තර්ජාලය හරහා කරන්නෙ පුද්ගල ගිනුම් හැක් කරන එක නම්, බැංකු ගිනුම් පිරික්සන එකනම්, මිනිසුන්ගෙ පුද්ගලිකත්වය තර්ජනයකට ඇදදාන වීඩියෝ ලීක් කරන එක නම්, ව්‍යාජ ගොසිප් පල කරන එක නම් වරද තියෙන්නෙ අන්තර්ජාලය කියන ක්‍රමය ඇතුලෙ නෙමෙයි. (ලංකාවෙ මිනිස්සු වැඩියෙන්ම ගූගල් සර්ච් කරන්නෙ සෙක්ස් කියන වචනෙ නම් ඒක ගූගල් එකේ වරදක්ද)  එය අවභාවිතාකරන අපේ සමාජය ඇතුලෙ කියන එකයි මගේ මතය. (කැස්සට බොන සිරප් එක මෑතකදි ෆාමසි වල තහනම් කරල තිබුනා. ඒ තහනම් කරල තිබුනෙ ඒක කැස්සට බොන්න හොඳ නැති එකක් නිසා හෝ එය ශරීරයට අහිතකර නිසා නෙමෙයි. එය මත් ද්‍රව්‍යක් විදිහට භාවිතා කරන්න පාසල් ලමුන් මෙන්ම වැඩිහිටියන්ද පුරුදු වී තිබීම. එතකොට කැස්ස පැනිය තහනම් කිරීම කියන්නෙ කැස්ස පැනියෙ අවුලක් මත සිදුවෙච්චි දෙයක් නෙමෙයි කියන එක අපි නිහතමානීව පිලිගන්න ඕන)

ආගමික තත්වයක් අරගෙන බැලුවත් ඒක එහෙමමයි. වර්තමාන පන්සල්, හාමුදුරුවරු අරගත්තට පස්සෙ ඒ අය විසින් නඩත්තු කරගෙන යන ක්‍රමවේදයට අපිට කොහොමටවත් එකඟ වෙන්න බැහැ. ඒක ඉතා නරක තත්වයකට දිනෙන් දින පත්වෙමින් තියෙනවා. එතකොට ඒක නරක තත්වයට ඇදවැටෙමින් තියෙන්නෙ ආගමික හරයේ ඇති අවුලක් නිසාද? නැතිනම් ඒක ප්‍රා යෝගිකව භාවිතා කරන අපේ භාවිතාවෙ අවුලක්ද ඒක? තත්වය මෙසේ තිබියදී අපි බෞද්ධ දර්ශනය බැහැර කරනවානම් ඒක ඇත්තටම යහපත් තත්වයක් වෙන්න බෑ. මොකද තත්වය නරකක් ලෙස පෙනෙන්නෙම ඒක නූතනයේ ඒකට හැඩයක් දීපු අය හරහා ඒකෙන් පෙන්නන චිත්‍රය නිසා.

මම මේ ඉහතින් ගෙනාපු ගොඩක් මතවාද වලට මාක්ස්වාදී අදහස් දරන අයට ඉතා සංකීර්න පිලිතුරු තිබෙන බවත් මම දන්නවා. උදාහරනයක් විදිහට මිනිස්සු ගූගල් සර්ච් කරන්නෙ සෙක්ස් වචනෙ නම් ඒක සිස්ටම් එකේ අවුලක් බවත් මේ සිස්ටම් එකෙන් සෙක්ස් වලට දීපු තැන නිසා එහෙම අලකලංචියක් වූ බවත් ඔවුන්ට තර්කයක් ගේන්න පුලුවන්. නමුත් ඇත්තටම ඒ වගේ තත්වයන් සිස්ටම් එකේ අවුලෙන්  විතරක් සිද්ද උනාද? එහෙනම් සමහර ලිබරල් ධනවාදී රටවල අපට හිතාගන්නවත් බැරිතරම් ලිංගික නිදහසක් හිමිවෙල තියෙන්නෙ කොහොමද?  සමලිංගිකත්වය, ගනිකාවෘත්තිය වැනි දේ සම්බන්ධව ධනවාදී යයි අර්ථකථන දෙන රටවල් වලින්ම පලවෙනි ප්‍රජාතාන්ත්‍රික වෙඩිමුර පත්තුවෙන්නෙ කොහොමද?

දැන් මාක්ස්වාදීන් මම මේ උඩින්ම පෙන්වපු තර්කය ඉතා සූක්ශමව භාවිතා කරනවා.  කොහේ හෝ රටක, තැනක, අවස්ථාවක මාක්ස්වාදියෙක් වරදක් කලොත් හරි එකී මූලධර්ම අවභාවිතා කලොත් මාක්ස්වාදීන් එම චරිතය බැහැර කරනවා. විවේචනය කරනවා. රුසියාවේ ස්ටාලින් ඔවුන් බැහැර කරන්නෙ මේ ක්‍රමවේදයට අනූවයි. ඔවුන් කවමදාකවත් පාලන බලය  අතට ගන්න නොහැකි වුනු ට්‍රො ස්කිව ඉදිරියට ගෙනැත් ස්ටාර්ලින්ගේ වරද පෙන්වා මාක්ස්වාදයේ මූලධාර්මික කරුනු ආරක්ශා කරනවා.

අනෙක් අතට වමේ පක්ශ යම් ධනවාදී සන්ධානයක හවුලට ගියොත් හෝ වැරදි විදිහට හැසිරුනොත් ඒක වමේ පක්ශ අර්බුදයකට යන අවස්ථාවක් ලෙස චෝදනා කරමින් මාක්ස්වාදයේ මූලධර්ම වල ගුන නැවත මතක් කරනවා. වමේ පක්ශ නායකයෙක් අකටයුතුකම් කලොත් ඔවුන් සුලු ධනේශ්වර වී ඇතැයි සලකමින් යලි පිරිසිදු මාක්ස්වාදයක් වෙනුවෙන් කුඩා කන්ඩායමක් ලෙස රැස් වෙන්න ඔවුන් පියවර ගන්නා බවක් ද පේනවා. නැත්නම් පශ්චාත් මාක්ස්වාදී න්‍යායන් ඉදිරිපත් කර තිබෙන අති නූතන චින්තකයන්ගේ කරුනු අනූව මාක්ස්වාදයේ නිර්මලත්වය වෙනුවෙන් තනි තනි පුද්ගලයන් ලෙස ස්වාධීනව පෙනී සිටිනවා. ඇත්තෙන්ම මාක්ස්වාදී කඳවුරේ බොහෝ අය කරන්නේ මේ ක්‍රියාවලිය බව පැහැදිලියි.

මම කියන්නේ මේක නරකක් කියල නෙමෙයි. ඇත්තෙන්ම ඒක මූලධර්මයක්/න්‍යායක් ආරක්ශා කිරීම වෙනුවෙනුත් එහි යහ පැවැත්ම වෙනුවෙනුත් කිරීම කිසිදු ආකාරයකින් වැරදි නැහැ.

නමුත් ධනවාදී කඳවුර දෙස හැරීමේදී මාක්ස්වාදීන් අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට  කැරකෙනවා. ඔවුන් යම් ධනවාදී පාලකයෙක් අර්බුද මතුකරන සැනින් එය ධනවාදයේ අවුල ලෙසින් සරලව ගෙනහැර පානවා. අප ඉදිරියේ සිදුවන ඕනෑම නරකක් පශ්චාත් ලිබරල්වාදයේ අර්බුදය ලෙස ගෙන හැර පෑම ඔවුන්ගේ මූලිකම අභිප්‍රායයි.(අර ගූගල් සෙක්ස් කතාවත් ඒ වගේ) ඒව පුද්ගලයන් කලත්, කන්ඩායම් කලත්, පක්ශ විසින් සිදුකලත් එකී දොස් බැර වන්නේම ධනවාදී ගිනුමටයි. නිදසුනක් ලෙස ලංකාවේ මහින්ද, රනිල් වැනි කන්ඩායම්වල හැසිරීම ඔවුන් ධනවාදයේ/නව ලිබරල්වාදයේ  අර්බුදයක් ලෙස අරගන්නවා. මාක්ස්වාදී පක්ශයක්ඔවැනි තත්වයක් උනොත් ඔවුන් එය පුද්ගලයන්ගේ අර්බුදයක් නැත්නම් පක්ශකය අර්බුදයක් බව පෙන්වා මාක්ස්වාදී මතවාදය ආරක්ශා කරනවා.

මාක්ස්වාදය හා ධනවාදය වෙනුවෙන් ඇතිවන සිස්ටම් අවුලේදී මතුපිට සටන ඔයාකාර බව මට නැවත නැවතත් පසක් උනේ මිතුරන් හා සිදුකල සිස්ටම් මතවාදයේදී. ඒ මතක් කරගැනීමට සහාය වීම වෙනුවෙන් ඔවුන් සියල්ලටම ස්තූතිය හිමිවිය යුතුයි.

ඇත්තෙන්ම ධනවාදය කියා නිශ්චිත, ආකෘතිකගත දෙයක් චින්තනයක් පෙනෙන්න නැති අතරේම, ධනවාදයේ චින්තකයන් ද පැහැදිලි ලෙස අත් දකින්න බැහැ. කොටින්ම එය මූලධර්මයක් ලෙස පවතින නිශ්චිත හැඩයක් සහිත කඳවුරක් නෙමෙයි. එනිසා ඒ වෙනුවෙන් අදහස් දක්වන්න, එය ආරක්ශා කරන්න සැදී පැහැදී සිටින මතවාදීන් ද පෙනෙන්නට නැහැ. එනිසා ධනවාදය හරියටම අවජාතක පුත්‍රයෙක් හෝ ඕපපාතික භූතාත්මයක්හා සමානයි.  නමුත් මාක්ස්වාදය වෙනුවෙන් එවැනි චින්තකයන් ලොව පුරා විසිරී සිටින අතරේම නිශ්චිත ලිඛිත ව්‍යවස්ථාවක් වැනි යමකුත් මාක්ස්වාදී මතවාදය වෙනුවෙන් සැකසී තිබෙනවා. ඔවුන් ඉතා සූක්ශමව ස්වකීය මතවාදයේ  පිරිසිදු භාවය වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඒ මාක්ස්වාදී සුජාත පුත්‍රයා වෙනුවෙනුයි.

මේ මතුපිට සටන පවතින තාක් ලෝකය, ධනවාදයේ අර්බුද දකිමින්, ඕපපාතික ධනවාදය ඔස්සේම ගමන් කරන අතරේම මාක්ස්වාදයේ නිර්මල සුජාත හීනය දකිමින් සිටිනු ඇති බවයි මම අනුමාන කරන්නෙ. නිකමට හිතල බැලුවොත් මේක සුවහසක් ලෝක වාසීන්ගේ ස්වභාවික මිනිස් ආශාවක්. උදාවූවත් නොවුනත් යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කිරීම කාගෙත් හීනයක්. ගැලවුම්කාරයෙක් ලෙස, දෙවි කෙනෙක් ලෙස, සාලිය කුමාරයා ලෙස වගේම සමාජවාදී රාජ්‍ය ක්‍රමය විදිහටත් කරලියට පැමිනෙන්නේත්, මේක සිදු උනොත් ඔක්කොම හරියාවි කියන අර විදිහේම ස්වභාවික ආශාවේ අති නවීනස්වරූපයක් වෙන්න බැරිද?



No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...