නොවරදින
මලයාලම් සිනෙකම්.
මේ මාතෘකාව මම හොරාගත්තෙ සොඳුරු මලයාලම්
සිනමාව ගෘප් එකේ රසිකයෙක්(ධනුශ්කා නිශාධි) දාපු කමෙන්ට් එකකින්. ඇත්තටම ඒක මලයාලම්
සිනමාව නම් කරන්න දෙන්න පුලුවන් නිර්මානාත්මකම තේමාවක්. අපි පොඩි කාලෙ අහල තිබුනෙ
නොවරදින මලයාලම් ගුරුකම් සම්බන්ධයෙන් උනත් දැන් දැන් මලයාලම් සිනෙකම් තමයි මලයාලම්
ගුරුකම් වලටත් වඩා ප්‍රබල වෙලා තියෙන්නෙ.
මහේශ්ගේ පලිගැනීම (MaheshintePrathikaram)
මේක මලයාලම් චිත්‍රපට වලින් මම බලපු
සුවිශේශීම ගුනාංග වලින් යුතු චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ගැන කතාකරන්න කලින් මලයාලම්
සිනමාවෙ මම අත්දැකපු අලුත් මා මාව කැලඹීමට ලක් කරපු හේතු කිහිපයක් ගැන දල වශයෙන්
සටහන් කල යුතු බව සිතුනා. මලයාලම් චිත්‍රපට බහුල වශයෙන් නරඹා නැතත් ඉන් එකක් දෙකක්
නැරඹූ සැනින් ඒවාට ඇබ්බැහිවීමේ ස්වභාවයක් ඒවා තුල ඝනීභූත වෙලා තිබෙන බව පේනවා.
මලයාලම් ෆිල්ම් සම්බන්ධව විශේශ ඇල්මක් දක්වන ඕනම අයෙකුගෙන් විමසුවෙත් මේ කාරනාව
කොතෙක් දුරට ඇත්තක් දැක් සොයගන්න බැරිකමක් නැහැ.
මීට වසර කිහිපයකට කලින් මට මලයාලම් ෆිල්ම්
වලට වහ වැටුනු සරසවි මිතුරෙක් මුනගැසුනා. ඔහු ලඟ මලයාලම් චිත්‍රපට ලිස්ට් එකක්
තිබුනත් මම ඒ එකක්වත් බලල තියා නමක්වත් අහල තිබුනෙ නැහැ. අනෙක් අතට මට ඒ ගැන
පසුතැවීමක් ආවෙත් නැහැ. මලයාලම් චිත්‍රපට කිව්වම මගේ ඔලුවට ආවෙ දෙමල වානිජ
සිනමාවෙන් අර නිතර දකින කඨෝර, කඩු පොලු උස්සන් මරන, උඩ ගිහින් කරකැවෙන විදිහේ
සිනමාවකට පොදු රසිකයා වගේ මගේ අර සරසවි මිතුරත් ඇබ්බැහි වෙලා ඉන්නව ඇති කියලයි. ඒ
කෙසේ වෙතත් ඔහු මලයාලම් සිනමාවට මේ තරම් ආදරේ මොකදැයි මම නිකමට ඇසූ ප්‍රශ්නෙට එයා
දුන්නු උත්තරේ මට අදත් මතකයි.
ඒව බලනකොට මට හිතෙන්නෙ මම ලංකාවෙ කතාවක්
බලනව කියල. ඒ පරිසරය, පසුබිම, මිනිස්සු ඒ ඔක්කොම මෙහේ වගේමයි.
එහෙම කියල ඔහු මට මලයාලම් චිත්‍රපට කිහිපයක්
බලහත්කාරෙන්ම මගේ පෙන් එක ඇතුලට එබුවා. නෙරම්, ප්‍රේමම්, ඔට්ටාල්, චාර්ලි වගේ නම්
කිහිපයක් තිබුනත් ගෙදර ගෙනත් අහෙන් මෙහෙන් ප්ලේ කරත් නිස්කලංකේ ඒ දිහා බලන්න තරම්
නිදහසක් හරි උවමනාවක් හරි මගේ ඇතුලෙන් ඇවිලිලා නාව නිසා මම ඒව ඔහේ තියෙන්න ඇරිය
විතරයි. නමුත් ඇත්තටම මලයාලම් සිනමාව දිහාවට මගේ හැඟීම ඇවිලිලා එන්න මුල පුරපු
කතාව තමයි ප්‍රේමම්. ප්‍රේමම් බැලුවට පස්සෙ අර යාලුව කියපු කතාව ඇත්තක් කියල මට
ආයෙත් වතාවක් මතකෙට ආවා. ඒ මිනිස්සු, පරිසරය, වගේ හැමදෙයක්ම අපට සමීපයි.
මලයාලම් සිනමාවේ මම මේ තාක් දැක්ක සුවිශේශතා
කිහිපයක් තියෙනවා. ඊට කලින් මම මේ චිත්‍රපටි ප්‍රධාන වර්ග දෙකක් යටතට අරගන්න
කැමතියි. එකක් තමයි සාමාන්‍ය හින්දි, දෙමල චිත්‍රපට වගේ රෝමාන්තික, ශෛලිගත කතාවක්
සහිත යථාර්ථයෙන් මදක් දුරස්වෙච්චි කතා රැගත් සුන්දර දසුන් සහිත චිත්‍රපට. මම නැරඹූ
චාර්ලි(Charlie), කූඩෛ(Koode) වගේ චිත්‍රපට මම
අරගන්නෙ මේ යටතට. ඒවගෙ තියෙන්නෙ අර ජනප්‍රිය හින්දි සිනමාවෙ ලක්ශනමයි.
(Charlie Movie)
දෙවැන්න මලයාලම් සිනමාවටම අනන්‍ය, අව්‍යාජත්වය
කැටි කරගත්තු ඉතා සියුම් කතා තේමා අඩංගු සිනමා බසක් සහිත චිත්‍රපට. MaheshintePrathikaram, Thondimuthalum Dhriksakshiyum... වැනි චිත්‍රපටි මම
අරගන්නෙ මේ ගොඩට. ඇත්තෙන්ම මම තදින් ඇලුම් කරන්නෙත් මේ කාන්ඩයේ චිත්‍රපට වලටයි.
(Thondimuthalum Dhriksakshiyum)
මේවගෙ මම අත්දකින විශේශම දේ තමයි ඉන්දියානු
ජන සමාජය තාත්විකව සහ යථාර්ථවාදීව කැමරාවට අරගෙන තිබීම. තේමාත්මකව අරගත්තත් මේ
චිත්‍රපටවල කතාවන් මහා ලොකු සමාජ දේශපාලනික විවේචනයන් ග්‍රහනය කරගන්නවට වඩා
මිනිස්සුන්ගේ ජීවිත සමීපයට ඇවිත් සියුම් අවස්ථා නිරූපනයෙන් කරන හෙලිදරව් කිරීම්
විශේශයි. බොහෝ කතාවල කතාවක් නැති තරමට සියුම් රිද්මයකින් සිනමාව ඉදිරියට විකාශනය
වෙනවා. හාස්‍ය, ආදරය, පලිගැනීම වගේ ගොඩක් දේවල් මේක ඇතුලෙ එකට කැලතිලා තියෙනවා.
මිනිස්සුන්ගෙ ජීවන රිද්මයන් අල්ලා ගන්න
මලයාලම් සිනමාව තරම් එකක් වෙන කොහේවත් තියෙනවද කියල හිතෙන තරමට ඒක අපූරු සිනමා
රිද්මයක් සහිතයි. මේ බොහොමයක් කතාවල ප්‍රධාන නලු නිලියන් පවා මේක් අප් කරන නැහැ
කියල හිතෙන තරමට සජීවීයි. පුදුම හිතෙන තරම් සුන්දර නිලියන් අරගන්නවට වඩා පොලොවෙ පය
ගසා සිටින ආකාරයේ සරල ඇඳුම් ඇඳගත් සජීවී හැඟීමක් දෙන නිලියන් අරගැනීම අතින්
මලයාලම් සිනමාව අපූර්ව වීම අපූරුවට මතුකරනවා. Thondimuthalum Dhriksakshiyum චිත්‍රපටයේ ප්‍රධාන නලු නිලියන් තෝරා
ගැනීමේ සිට මුලු කතා පුවතේම දර්ශන පථයන් ආදී හැමකක්ම මලයාලම් සමාජයට අපව බැඳගන්න
තරම් ප්‍රබල වෙනවා. අනෙක් අතට මම දැකපු සුවිශේශම සිදුවීම ඇතුලත් වෙන්නේ Maheshinte Prathikaram චිත්‍රපටයේ. මේ චිත්‍රපටයට
පාදක වෙන්නෙ ඇත්ත කතාවක් උනත් මේක සිනමාවට නැගීමේදී සිනමාකරුගේ නිර්මානශීලීත්වය
පරිකල්පනය වගේ දේවල් සෑහෙන වැදගත් වෙන්න ඇති. මෙහි ඇතුලත් කතාව ඉතාම සරලයි. වාක්‍යකින්
දෙකකින් උනත් ඉදිරිපත් කරන්න පුලුවන් තරම කෙටියි. ඒත් එවැනි සරල කතාවක් සිනමාවට
අරගැනීමට උත්සාහ කිරීමම අභියෝගාත්මකයි. නිර්මානකරු ඒ අභියෝගය ඉතා විශිශ්ට විදිහට
ජය අරගෙන තියෙනවා.
මහේශ්ගේ පලිගැනීමට මූලික වන ඔහු ගුටිකෑමට
බලපෑ සිදුවීම මම එතෙක් සිනමාවකින් නරඹා නැති තරමේ හාස්‍ය ජනක වගේම නිරුවත් ඇත්තක්
හෙලි කරන අවස්ථාවක් ද වෙනවා. මහේශ් ගුටි කෑම දක්වා වන සිදුවීම කොහේදෝ අන්තයක සිට
දාමයක් වගේ ගලාගෙන එන අකාරය ඉතා රසවත් එකක්. කුඩා කාලයේ ලමුන් සෙල්ලමට ගුටි පෝලිමේ
යවනවා වැනි කතාවක් මීට පාදක වෙනවා. කිසිම සම්බන්ධයක් නැති තැනකින් පටන්ගත්
කේන්තියක්, තරහක් අවසානයේ පිට වන්නේ මහේශ්ගේ ලඟින් වීම එක්තරා සමාජ යථාර්ථයක්
හෙලිදරව් කරන්නක් ද වෙනවා. තමාට ගැසූ කොල්ලාට යලි ගසනතෙක් තමා සෙරෙප්පු නොපැලඳීමට
මහේශ් ගන්නා තීරනයත් එවැනි පොලොවේ ඇත්තක් හොඳින් මතුකරගත් අවස්ථාවක්. මේ චිත්‍රපයට
පුරාවට කැටි ගැසී ඇත්තේ කේරල ජන සමාජයේ ජීවන රිද්මයන්, හැඟීම්, සහ සංස්කෘතිකාංගයන්
වීම යලි යලිත් අපට ඊට ඇද බැඳ තබාගන්න අදෘශ්‍යමාන හේතු අතර පෙරමුනේ තියෙනවා.
(Maheshinte Prathikaram)
ප්‍රේමම් චිත්‍රපටයත් ඒ වගේ. මෙහි අපට හමු
වන්නේ සැබෑ ප්‍රේමය සොය සොයා දිවයන අවංක පෙම්වතෙක්. අවසානයේ ඔහුට මුනගැසෙන ප්‍රේමය
ඔහු අසලම ගැවසුනු ඔහු සිහිනයෙන්වත් නොසිතූ එකක් වීමත්, ප්‍රේමය හිමි වනතෙක් යන
ගමන් මාර්ගයේ ඇති කුඩා කුඩා අංශු මාත්‍රයන් හෙලිදරව් කිරීමත් මේ සිනමාපටය අපට සමීප
වෙන්න හේතු වෙනවා ඇති. ප්‍රේමම් මම අර කලින් නම් කල සිනමා රීති දෙක අතරින්ම ඒ
දෙකෙහිම ලක්ශන මිශ්‍ර කරගත් සිනමාවක් ලෙස ද සලකන්න පුලුවන්.
කොහොම උනත් මලයාලම් සිනමාව මේ වෙද්දිත්
ලාංකික අපට සමීප වී තිබෙන තරම ෆේස් බුක් එකේ තියෙන විස්තර අදහස් දැක්කම නිගමනයකට
එලඹෙන්න පුලුවන්. සොඳුරු මලයාලම් සිනමාව නමින් ෆේස්බුක් ගෘප් එකක් නිර්මානය වීම ඊට
හොඳම සාක්ශියක්. ලොකු කුඩා, බාල මහලු, ප්‍රභූ නිර්ප්‍රභූ, උගත්, නූගත් ඕනෑම අයෙකුට
රසවිඳිය හැකි මට්ටමේ නිර්ව්‍යාජී ගුනයක් සහිතව විකාශනය වන මලයාලම් සිනමාවෙන් අපට
උගත හැකි පාඩම් බොහොමයි. ඒ මතක් කිරීම වෙනුවෙන් අප මලයාලම් සිනමාවට ස්තූති වන්ත
විය යුතුයි.
No comments:
Post a Comment