මීලඟට ඔබව ගීතයකින් පිනවන්නට සැරසෙන්නේ එකොලහ ශ්‍රේනියේ සුභානි ගීතිකා සොහොයුරියයි.
ලදරු මේස වලින් හදපු දුප්පත් ඉස්ටේජ් එක උඩ ඉඳගෙන ආපු සබකෝල ගෑනු ලමයා- හිරුනි- කොලයක් බලාගෙන මයික්කෙකෙන් ඒක කිව්වෙ තනිකර කෘතීම ස්වරයකින්.
කටපාඩම් කලාට කමක් නෑ. වේදිකාව උඩ ඉඳගෙනම කොලේ බලාගෙන කියන එක කොයිතරං කැතද? මං ඉගැන්නුවනං මුලින්ම හදන්නෙ ඒක. මං තනියම හිතුවෙ මේ උත්සවේ පටන් ගනිද්දිමයි.
කොහොමටත් සුභානිගෙ නම ඇහෙද්දිම මං ටිකක් නොසන්සුන් උනා කිව්වොත් ඒක හරි.
සුභානි එකොලහ වසරෙ ලමයෙක්. මං උගන්නන කාලෙ මට මතක හිටිනම ලමය. විභාගෙට ලකුනු අඩු උනත් එවෙලෙ කියල දෙන ඕනම දෙයක් තක්කෙට මතක හිටින ලමය සුභානි.
සුභානි ගීතයක් ගයනව කවදාකවත් මං අහල තිබුනෙ නෑ.
සංගීතය පටන් ගත්තා. සුභානි මයික්කෙක අතින් අල්ලන් හීනි තාලෙකට පැද්දෙනවා.
මං සාක්කුවෙන් ෆෝන් එක අරගත්තෙ වීඩියෝ කරන්න හිතාගෙන උනත් ෆෝන් එක උකුල උඩ තියල මොහොතක් බලාගෙන හිටියා.
මට අනෙක් පැත්තෙන් උන්න මිස් මං ගැන මොනව හිතාවිදැයි යන බය මාව නතර කරන්න ඇති. උත්සවේ පටන්ගෙන සිංදු, නැටුම් හතර පහක් ගියත් ඒ එකකවත් ෆොටෝ එකක් නොගහපු මං සුභානිගෙ සින්දුව වීඩියෝ කිරීමේ අමුත්ත එයාට නොවැටහෙන්න විදිහක් නෑ.
මං සුභානිගෙ ගීතය අසමින් ෆෝන් තිරේ උඩින් ෆේස්බුක් එකේ ඇවිද්දා.
අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
සුභානිගෙ කටහඩ උපරිම මිහිරි නැතත් එයා තාලෙට ගැලපෙන්න ගායනා කරන්න දක්ශයි. සුභානිගෙ බැල්ම වැටිල තියෙන්නෙ වේදිකාව ඈත කෙලවරේ බිත්ති මුදුන දිහාට වගේ. සුදු ගවුමෙ අත්දිගට දාපු නිසා එයාගෙ පෙනුම කලින්ට වඩා වෙනස්. බෝනිකි ගතිය වැඩියි.
මං මාවම ප්‍රශ්න කලා. ඇයි මං සුභානිගෙ සින්දුව විතරක් වීඩියෝ කරන්න හැදුවෙ. සුභානිට මගේ විශේශ කැමැත්තක් තියෙනවද?
ඇත්ත.
එහෙම එකක් නැතිවෙන්න විදිහක් නෑ. ඒත් එහෙම එකක් තිබුනට මොකෝ. මං එයාට ආදරෙයි. කාටවත් ආදරේ කරන එක උතුම් ගතියක් මිසක් වරදක් වෙන්නෙ කොහොමද? ආදරේ නාමෙන් එයාව ආක්‍රමනය කිරීමයි වරදක ආරම්භය වෙනව ඇත්තෙ. ඒ අතින් ගත්තම දුරස්ථව ඉඳගෙන සුභානිගෙ දියුනුව පතමින් එයාව දැක්කත් සතුටින් ඉතිරිලා යන එක සුභානි වෙනුවෙන් ඇතිවෙන ඇත්තම ආදරයක්නම් මං ඒකට ඔහේ තියෙන්න ඉඩ අරිනවා කියල හිතාගත්තා.
මේ ටිකත් කියන්නම ඕන. සුභානි දෙමල. ජාතිය දෙමල උනාට ඉගෙනගත්තෙ සිංහලෙන්. දෙමල අකුරක්වත් ලියන්න සුභානි විතරක් නෙමෙයි අනිත් දෙමල ලමයිවත් දැනගෙන උන්නෙ නෑ. ආගම ක්‍රිස්තියානි. ඉස්කෝලෙ පන්සිල් දෙන්නෙ සුභානිගෙ නංගි. පබෝධා. මහා සංස්කෘතිය ඇතුලෙ සුභානිල නියෝජනය වෙන්නෙ හැම කුලකයකම කෑලි ඡේදනය වන අමුතු කුලකයක. සුභානිගෙ අම්ම සභාවෙ ඈතම කෙලවරේ ඉඳන් බලාගෙන ඉන්නවා. බුලත් කහට බැඳිච්ච බොල්ලෑ දත් කූට්ටමක් එක්ක එයා අවුරුදු තුනක විතර පොඩි දරුවෙක් මෙල්ල කරන්න දඟලනවා. ඒ මූනෙ තියෙන්නෙ තරහක්. ආවේගයක්. සුභානි සින්දු කියන එක ගැන අම්මට ගානක් නෑ. තාත්ත සුභානිලව දාල ගිහිල්ල.
මට සුභානි ගැන ආදරේ දෙගුන තෙගුන වෙන්න ඕවත් බලපාන්න ඇතිද?
මල්ලී සමඟින් වැලි පොල්කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්න හිතුනද...