Thursday, November 14, 2019



සනසාපන්...... මාව...... කල් නෑර.... 




මං එන්ඩස්කොපි  කාමරේට ගියේ ගැහැ ගැහි. බයයි සීතලයි දෙකම එක්කාසු වෙලා මගේ සර්වාංගයම වෙව්ලනවා.

එන්ඩර්ස්කොපි කාමරේ බිං ගෙයක් වගේ. පිටත පෙනෙන මොනවත් නෑ. මහ දවල්ද මැදියම් රෑ ද කියල වෙනසක් නැතුව ලයිට් පත්තු වෙනවා. කොලපාට ඇඳුම් ඇඟ ගා ගත්තු මුඛවාඩම් දා ගත්තු දොස්තරල, හෙදියො මාව වට කරගන්නවා. කීයෙ ඉඳන්ද නොකා හිටියෙ, බෙහෙත් ඇලජික්ද වගේ ලිස්ට් එකක් කටපාඩමින් වගේ අහනවා. මං හැම එකටම නෑ කියන්න ඔලුව වනනව අර හීතලේම ගැහි ගැහි.  මට ඇඳේ දිගාවෙන්න කියල ඒ අය යුහුසුලු වෙනවා.

මේ මගේ ජීවිතේ තුන්වෙනි සිහිනැතිකිරීම් අවස්ථාව. එක වතාවක් ඒක කලේ කුඩා අවධියේ නිසා ඒක මතකත් නෑ. දෙවනි වතාව මීට මාස තුනකට කලියෙන්. එදා ඉක්මනට අරගෙන හාන්සි උන ගමන් සිහි නැතිවුනු නිසා සිහි නැතිවීම ගැන එදා අද තරම් තද දැනීමක් හැඟුනෙ  නෑ.

කොහොමටත් මේ අවස්ථාවට මුහුන දෙන හැම වාරෙකදිම වගේ මං ජීවිතේ ගැන සියලු බලාපොරොත්තු අත්හැරගන්න හිත හදාගෙනයි හිටියෙ. මට ආයෙ සිහිය එන එකක් නෑ, ඔපරේශන් එක වරදීවි, එහෙම උනොත් මැරේවි වගේ දාහකුත් අතාර්කික- මෝඩ කල්පනා ඇවිත් සිහිහෙන් ඉන්න මාව අවසිහියෙන් අඩපන කරලයි තිබ්බෙ ඒ වෙද්දිත්.

මට ඇඳ උඩ දිගාවෙන්න කියලා ඒ අය කතාබහක. එතැන ගිය වතාවට වඩා වෙනස්. රේඩියෝවක සද්දෙකුත් එනවා.  මට ඒ ගැන සිහියක් තිබුනෙ නෑ ඇතුල් වෙද්දි නං. මං අවසන් චුති සිත හොඳ එකක් වෙන්න ඕන කියල හිත හදාගෙන ඉන්නවා. මෝඩමමං. හෙනම බුද්ධිවාදී ටෝක් දෙන මං මේ වෙලාවෙ අන්තිම අසරන බොලඳ අඩියක බව මටම තේරෙනවා.

වම් අත ඇඟ යටින් පසු පසට හිටින්න ඇල වෙලා හාන්සි කරවලා කකුලක් නවාගන්න කිව්වා. ඒ අතරේ නාස් ලන්නක් වගේ වයර් ටිකක් නහයෙ පැටලුවා - කටට රවුම්-දිගටි මොකක්දෝ දුන්නා හපාගන්න. මං ඒක හපාගෙන හිටියා. දකුනු අත වටේට පෙශර් මනින බෙල්ට් එක බැන්දා දැනුනා. කකුලෙත් තව මොකක්දෝ එකක්. මාපට ඇඟිවිවලත් අඩු වගයක් ගැහුවා.

මුතූ- නෙතුක පුතු කොහේ ඉඳගෙන මොනව කරනව ඇත්දැයි මට නිකමට වගේ හිතන්න ඕන වෙනවා.
මං බලාගෙන ඉන්නවා. අනේ ඉක්මනට සිහි නැති වෙනවනම් කියල හිත හිත
ඒත් ඒ අය තාම ඒකට සූදානම් නෑ.

මගේ ඇස්වලට අහුවෙන්නෙ ඉලක්කං නලියන මැශින්, වයර් රෝල්, එල්ලෙන අඬු, කොල පාට තිර රෙදි, ඔක්ශිජන් ටැංකි වගේ නුහුරු - බයානක දසුන් ටිකක්

මෙන්න ඒ අස්සෙ රේඩියෙකේ සංගීත නාදයක් ආයෙ ඇසෙනවා. ඒක ලස්සනට පටන් ගත්තෙ. මට හොඳට මතකයි. මං ඉස්සරම ඉස්සර-පොඩිකාලෙ අහල තියෙන සින්දුවක්. පදවැල පටන් ගන්න කලින් මට සින්දුව මතක් වෙනවා මේ මරනීය සිතුවිලි සහිත මොහොතෙ පවා.

සර්පිනාවක වගේ සංගීතයක් එක්ක කනට ඉතාම හුරු ශබ්ද කාන්ඩය මුලින්ම

ලස්සනයි නේ ඒ සින්දුව - මොකක්ද ඒ?

සින්දුවේ වචන පටන් ගනිද්දිමමුඛවාඩමින් පෙරිල ආපු ගැහැනු කටහඩක් එහෙම කියනවා. මට ඒ අය පේන්නෙ නෑ. මට පේන්නෙ බිත්තියයි, අඩු බඬු කෑලි බෑලි විතරයි.

ශ්‍රියා මනමත් වී මාගේ දැකලා.... සින්දුව ආරම්භ වුනා.

සිහ ශක්ති ඔය සින්දුව කියන්නෙ. මුඛවාඩම් බැඳුනු පිරිමි කටහඬක් පිලිතුර එනවා.

ආනන්ද පෙරේරද කොහොද, අර මහත‍ තට්ටෙ තියෙන..

ආනන්ද පෙරේරා- එයා තමයි ඕක කියන්නෙ.. මට කියන්න හිතෙනවා. මගේ කටේ අර හපාගන්න කියපු රවුම නිසා කෙල ගිලගන්නවත් බෑ. අනිත් අතට කටේ මොකවත් නොතිබුනත් මං ඒක කියනෙකලුත් නෑ.
සින්දුවේ කටහඬ මාර පැහැදිලිව මට ඇහෙන්න ගන්නවා

දැන් ගායනය ඉවරවෙලා ආයෙත් ඇහෙන්නෙ සංගීතය. අමුතු සංවේදනාවක් ඇතිකරන සංගීතය
මගේ වම් අතේ ගහල තියෙන කටුවට මොකක්ද හයි කරනව මට දැනෙනව.

දැවිල්ලක් වගේ දැනේවි හොඳද. මුඛවාඩම් බැඳපු ගැහැනු කටහඬ එතකොට කියනවා

මං හිත හදාගන්නවා. ඉක්මනට සිහි නැතිවෙන්න. මේ තැවෙන සිහියෙන් අත් මිදෙන්න. තාවකාලික මරනෙට හෝ සදාකාලික මරනෙට.

මට ඇහෙන්නෙ අර සංගීතය. සර්පිනා පාට් එක

මගේ ඇස් ඉදිරියේ රූප ඇදිල පැදිල යනවා. කලින් වතාවෙ සිහි නැතිවෙද්දි එහෙම දැනුනෙ නෑ.ඒ වතාව උනේ නං එකපාර ලයිට් ගියා වගේ. මේ වතාවෙ සෑහෙන වෙනස්, සිහියෙන්ම තමයි සිහිය නැති වෙන්නෙ.

මාගේ - මනාපේ - ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ
මා කීවෙමි ලන්දේ..

පසුබිමින් ඇහෙනවා

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...