Friday, November 22, 2019


මේ අන්ධකාරයේ එලිය ලැබෙන්නේ..



චන්ද  ගනන් කරන්න ගත්තෙ රෑ නමයට විතර.

අපි හය දෙනෙක්ට එක පෙට්ටියක් භාර උනා. හතර වටේ පක්ශ නියෝජිතයන්, මැතිවරන නිරීක්ශකයන්, ඒ ආර් ඕ නෝනල, එස් පී ඕ මහත්වරු වගේ රාශියක් ඇස් ඇරගෙන බලා ඉද්දි අපි ලහි ලහියේ ගනන් කරනව. මුලින්ම කරන්න තියෙන්නෙ පෙට්ටියෙන් ගත්තු පත්‍රිකා පනහෙ ගොඩවල් වලට වෙන් කරන එක.
අපි හයදෙනා අසීරුවක් නැතුව දෙපාරෙන් වැඩේ නිම කලා. ඡන්ද පෙට්ටියේ තිබුනු ඡන්ද ගනනට අපේ ගනන් කිරීමේ සංඛ්‍යාව ගැලපුනා. ඒ නිසා අපි දාඩිය පොඩ්ඩක් පිහිදාගෙන වතුර එකක් බීල දෙවන වටේට සූදානම් උනා.

මේසෙ මගේ ඉස්සරහයින් හිටියෙ මගේ වයසෙම වගේ කන්නාඩි දාපු ගැහුනු කෙනෙක්. මුලදි ඒ තරම් විශේශත්වයක් නොදැනුනත් ඡන්ද පත්‍රිකා පනහෙ මිටි වලට බඳිද්දිත්, ඒව ගොඩ ගසද්දිත් අපි අතරෙ අවාචික, නිහඬ දොඩමලුවක් සිදුවුනා.

දෙවන වටය ආරම්භ උනේ ඔය අතරෙදි. අපට එහායින් හිටපු කන්ඩායම පනහෙ මිටි ගලවමින් ඒවයෙ තියෙන ඡන්ද ලකුනු බල බල ඒවට අදාල පෙට්ටි වලට වෙන් කරල දාද්දි ඒ වෙන්කරන ගොඩවල් අරගෙන ඒව නිවරදිව ගොනුකරලද බලමින් නැවත ඒවා පනහෙ ගොඩවල් වලට දාන එකත් භාර උනේ අපේ කන්ඩායමට. ඒ අනූව අපිට භාර උනේ පොහොට්ටු පෙට්ටිය. පොහොට්ටු පෙට්ටියේ ගොඩගැසුනු ඡන්ද පත්‍රිකා එකින් එක අරගනිමින් ඒවයෙ තියෙන්නෙ ඇත්තම පොහොට්ටුද, ඒව වලංගුද අවලංගුද කියල නිරීක්ශනය කරමින් පහහෙ මිටි වලට බඳින්න භාර උනේ අපට.

එවැනි එක් පනහෙ මිටියත් තුන් වතාවක් ගනන් කිරීම අනිවාර්යක්. ඒ අනූව මම ගනන් කල පනහෙ මිටිය තවත් දෙදෙනෙකුගේ නිරීක්ශනයට භාජනය විය යුතුයි.

ඉතින් මගේ ඉදිරිපස කන්නාඩි තැනැත්තිය ඇගේ පොහොට්ටු මිටිය මට දෙන්නෙ බැගෑපත් සිනාවකින් මුව සරසා ගනිමින්. ඒ ගන්නා අතරේ මගේ පොහොට්ටු මිටිය මම ඇයට දෙන්නෙ කලින් කතාකරගෙන වගේ සැහැල්ලුවෙන්.

මම ඇගේ මිටිය ගැනල ඉවරයි

මාර වැඩේනෙ. මේකෙ තියෙන්නෙ පනහයිනෙ. මම වාක්‍ය අරඹද්දි ඇගේ මුහුනෙ ගොඩගැසුනු ප්‍රශ්නාර්ථය වාක්‍ය ඉවර වෙද්දි සිනාවකට හැරෙනවා.

ආයෙ අපි පොහොට්ටු මිටි බඳිනවා. කලබලේට අපි දෙන්නම අරගන්නෙ එකම පත්‍රිකාව. හිනාවෙලා අපි දෙන්නම එකම මොහොතක ඒක අතහරිනවා. වෙච්චි වැඩේට හිනා ගිහින් ආයෙම අපි දෙන්නම ඒ පත්‍රිකාවම අල්ලනවා. අපේ අතැඟිලි එකට වදිනවා. මේ කලබල මොහොතේ ඒවයෙ ගානක් නෑ වගේ අපි ගනන් කරනවා

ඔය අතරෙ පොහොට්ටු ගොන්නෙ තිබිල හංසයොත් අහුවෙනවා. මාලිමාත් කලාතුරකින් එහෙමෙහෙ වෙනවා.
අපි අතරෙ අවාචික සන්නිවේදනය එන්න එන්නම මෝරනවා. කිට්ටු වෙනවා.
ඉඳහිට ගනන් කිරීම් අතරෙ අපිට අපි දිහා බැලෙනවා. 

වැඩේ අවසන් වෙද්දි උදේ දෙකයි. පොහොට්ටුව දිනලා. අපි ගෙවල්වල එන්න සූදානම් උනා. ගැහැනු ලමයා එලියට එද්දි මං එයා දිහා බලල යන්නම් කිව්වා. එයා වැඩකරන්නෙ කොහේ මොන ඔෆිස් එකකද කියල අහන්න ඕන උනත් මං එහෙම කලේ නෑ.

රෑ තුනට විතර මුතූගෙන් කෝල් එකක් ආවා. ඉවරද? පරිස්සමින් එන්න. අපි තාම ඡන්දෙ අහනවා. ඔයා එනකං නින්ද ගියෙත් නෑ. එයා කියනවා.

අවසන් වතාවට අර ගැහුනු ලමය එක්ක හිනාවෙලා මං ගෙදරට එන්න හැරුනා.
 එයත් ෆෝන් එක කනේ තියාගෙන කාටද කෝල් එකක් ගන්නවා. මේ පාන්දර දෙකට එයා ගෙදර යන්නෙ කොහොමද? එයාලගෙ ගෙවල් කොහේ වෙන්න ඇතිද?  කෝල් කරන්නෙ හස්බන්ඩ්ටද?  වගේ දේවල් හිත හිතා මං ගෙදර එනවා.

මේක මං මේ දවස්වල වැඩිපුර අහන සින්දුව. කියන්නෙ චාමික සිරිමාන්න. මේ සින්දුවත් ඉහතින් කියපු සිදුවීමත් අතර කිසිම විදිහක සම්බන්ධයක් නෑ. මෙහෙම සින්දුවක් ගැන කියන්නෙ ඒක මේ තීරු ලිපියෙ සම්ප්‍රදායක් නිසා විතරයි. මේ ඒ සින්දුව.

මේ අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා
කරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ මං ඔයා නිසා...

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...