Wednesday, March 21, 2018


හින්දි මීඩියම් සිංහලෙන්





හින්දි මීඩියම් හැම අතකින්ම සිංහල මීඩියම් අපිට වැදගත් චිත්‍රපටයක්. මුලින්ම මේ චිත්‍රපටිය තුල කතා හය වෙන තේමාත්මකය ගත්තොත් ඒක මේ කාලසීමාව තුල අපේ රටේ ධාවනය වන ප්‍රධානතම ඉසව් වලින් මූලිකම එක යයි පිලිගන්න පුලුවන් මට්ටමේ එකක්.

පලමු වසරට දරුවන් ඇතුලත් කරගැනීමේ තරඟය.හින්දි මීඩියම් තුල කතිකා වෙන මූලිකම කතා සාරය මේකයි. 
පන්ති භේදයකින් තොරව සමාජයේ සෑම පවුලක් තුලම මේ තරඟයේ තරංග මාලා සෙලවීමටවත් නොහැකි පරිද්දෙන් ගෙල මුල දක්වාම සිරවී තිබෙන අන්දම හාස්‍ය මුසු සිනමා බසකින් ඉදිරිපත් කිරීමට හැකිවීමම අගය කල යුතු එකක්. මේ තේමාව ලංකාවට තොකරම්ම ලඟද කියන එකත් එක්ක චිත්‍රපටිය අපේ කරගන්න අපිට තියෙන ඉඩ කඩ පුලුල් වෙන බවයි මට හිතෙන්නෙ.

තේමාත්මක කතන්දර වගේ දේවල් හැරුනු විට මට හැඟෙන වැදගත්ම කාරනාව තියෙන්නෙ මේ සිනමා විලසයේයි. මෙවැනි ආකාරයේ සමාජ නිරූපන තේමාවක් ඉදිරිපත් කිරීමේදී සහ එය පොදු සිනමා රසිකායා හා සම්බන්ධ කරගැනීමේදී හින්දි මීඩියම් සිනමාකරුවන් සිංහල මීඩියම් සිනමාකරුවන්ට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්න බවයි මට නම් හිතෙන්නෙ. මොකද මේ වගේ තේමාවක් සිංහල මීඩියම් නිසමා කරුවෙක්ගෙ අතින් නිර්මානය උනානම් ඒක වෙනවා ඇත්තෙ දරුවන් පාසලට ඇතුලත් කරන්නට මගඩි වැඩ කරන පන්තිය දෙස විවේචනාත්මක දෘශ්ටියකින් යුතු සම්භාව්‍ය උපමා රූපක, සංකේත වලින් පිරුනු පොදු සිනමා රසිකයාට තබා දියුනු සිනමා රසිකයන්ටවත් රසවිඳින්න බැරි මොකක්දෝ අසම්භාව්‍ය බරකින් පිරුනු එකක් විදියටයි. හින්දි මීඩියම් සිනමා කරුවා ජය ගන්නේ මෙතනදී කියලයි මට නම් හිතෙන්නෙ.

මොකද ඔහු භාවිතා කරන්නෙ ඉතා සරල හාස්‍ය පිරුනු විලාසයක්. ඒ හාස්‍යය ඇතුලෙන් ඔහු කතාව සමාජයේ නොයෙක් තල ස්පර්ශ කරමින් සුන්දරව ගලා යාමට සලස්සනවා. ඒ නිසාම අපට මේ ක්‍රියාවේ යෙදෙන පවුල කෙරෙහි ඇතිවන්නේ වෛරයක් හෝ තරහක් නෙමෙයි. ඒක අනුකම්පාවකුත්, දුකකුත් නෙමෙයි. නමුත් මේ සියල්ලේම එකතුවක්. නිශ්චිතව කියන්න බැරි තරමට ඔවන් එක්ක එකඟ වෙන්නත් ඔවුන්ව විචේචනව කරන්නත්, ඔවුන්ට හිනා වෙන්නත්, ඒ එක්කම ඒ හිනාවේ සැබෑ අරුත් සිංහල මීඩියම් වලින්  විමසා බලද්දී  වේදනා විඳින්නත් අපට සිදු වෙනවා.

පලවෙනි පන්තියට දරුවව ඇතුලත් කරගන්න දෙමව්පියන් නොකරන වැරුද්දකුත් නෑ. නොකන කට්ටකුත් නෑ. නමුත් ඒ සියලු මගෝඩි වැඩවලට සමාජයේ උස්-පහත් හැමෝම එක විදියටම පෙලඹෙන්න තරම් මේ වරදෙ නාබිය තියෙන්නෙ කොයි ඉසව්වක වෙන්න පුලුවන්ද? ඒක එහෙම තරඟයට පනින දෙමව්පියන්ගෙ සහජ වැරැද්දක්ද? මේ සමාජ -දේශපානය ක්‍රමය සැලසිලා තියෙන විදියෙ උරුම කරුමයක් මත සිදුවන්නක්ද?
මුලු කතා පුවතම ජනප්‍රිය බොලිවුඩ් සිනමා ශෛලිය අනූව කෙරුනත් ඒ හාස්‍ය තුල ගෙනෙන යථාර්ථය අතින් එය පිම්මක් ඉදිරියට පැන තිබෙනවා. චිත්‍රපටයේ අවසානය ඊටත් වඩා වෙනත් කොනයක් ගත්තානම් හොඳ බව සිතුනත් සමස්ත කතාවෙන් ගොඩනඟන සාර්ථකත්වය හා සන්සන්දනය කරද්දී ඒක එතරම් තැකියයුතු කරුනකුත් නෙමෙයි.Irfan Khan ප්‍රධාන චරිතය නිරූපනය කරන මේ චිත්‍රපටය SaketChaudharyගේ අධ්‍යක්ශනයක්.


ආදරේ හැඟුම් ගඟුලක කිමිදෙමින් - Call  Me By Your Name





Call me by your name කියන්නෙ 2017 වසරේ තිරගත වූ ඉහල ප්‍රේක්ශක ප්‍රසාදයක් දිනාගත් ඉතාලියානු චිත්‍රපටයක්. 1980 දශකයේ එක්තරා පවුලක් ඇසුරේ සිදුවන සියුම් සිදුවීමක් මීට පසුබිම් වෙනවා.

මේක වඩා වැදගත් වෙන්නෙ සමරිසි- සමකාමී තේමාවක් අඩංගු චිත්‍රපටයක් වීම නිසාමත් නෙමෙයි. මට දැනෙන විදියට ඒක මෙහි එක් කුඩා අංශයක් විතරයි. චිත්‍රපටිය තනිකරම දුවන්නෙ ආදරේ ඇසුරෙදි පුද්ගලයන් ක්‍රියාකරන්න පුලුවන් සරලම හා ස්වභාවිකම සංසිද්ධි වලින් ආවරනය වෙමින් වගෙයි. ඒක සමරිසිද - විරුද්ධ ලිංගිකද කියල නොහිතෙන විදිහේ හැඟුම් ගනුදෙනුවක් මේ චිත්‍රපටය පුරාවට සමපාත වෙනවා.

ඒලියෝ හා ඔලිවර්ගෙ ආදර කතාව අසම්මත විදිහේ එකක් උනත් ඔවුන්ගෙ හාත්පස පවුල් පරිසරය ඒකට බාධාවක් නොවන අයුරක් පෙනෙන්න තියෙනවා. කොටින්ම ඒලියෝගෙ දෙමාපියන් සුමිතුරන් විදිහට ඔහුගේ බැඳියාව තේරුම් ගන්නවා සහ ඒ වෙනුවෙන් කිසිම ආකාරයක බාධාවක් නොවෙන්නත් වගබලාගන්නවා.  ඒ නමුත් ඔවුනොවුන්ගේ ආදරය ප්‍රකාශ කිරීම්, හමුවීම් මෙන්ම ඇතිවන සංකීර්න බන්ධනයන් ගැන ඉඟ රූප මාධ්‍යෙයන් මේ තරම් අපූරුවට විදහා පෑමට හැකි වීමම විශ්මිතයි.

සමස්ත කතා පුවත ගෙන බලද්දි මේ චිත්‍රපටිය ඇතුලෙ හකුලලා අරගන්න පුලුවන් විදියේ වටකුරු කතාවක් අඩංගු නැහැ. ඒ වෙනුවට එදිනෙදා ජීවිතයේ සුලු සුලු සිදුවීම්වලින් කතාව ඉදිරියට ඇදෙනවා. නරඹන්නා වෙහෙස කරන්නෙ නැති - සම්භාව්‍යයයි කියන්නත් බැරි - සරල කමක් එක්කම සිදුවීම් යට හා චරිත අභ්‍යන්තරයේ පැන නගින සංකීර්න මනෝභාවයන් ස්පර්ශ කරන්න නිර්මානකරුවා සූක්ශම වීම නිසාම මේ චිත්‍රපටිය අපේ හදවත ඇතුලට සීතල දියරක් වගේ කිදා බහින්න පටන් ගන්නවා.

ආරම්භයේ පටන්ම මේ චරිතවල ස්වභාවයන් මතු කරන්න පුලුවන් සිනමා ආඛ්‍යානයක් සිනමාකරුවා ගොඩනගන්නෙ ඒක සිනමා ආඛ්‍යානයක් කියල කියන්නත් බැරි තරමේ ජීවිතයට සමීප රිද්මයක් සකසමිනුයි.
ආදර කතාවක පවතින්න පුලුවන් විදිහේ හැම අංශුවකම බර -ඒක ඕලාරික කරන්නෙ නැතිව අනාවරනය කරන්නෙ කොහොමද කියන එකට මේ චිත්‍රපටය කදිම නිදර්ශනයක් බවයි මට හිතෙන්නෙ. ආදර ගනුදෙනුවක් උනත් ඒක නරඹන්නා ඉන් දුරස්ථ කරවන තරමේ පැනි බේරෙන රෝමාන්තික භාවයකට තල්ලු වෙන්නෙ නැහැ. ඔවුන් අතරේ ලිංගික ගනුදෙනු සිදුවෙනවා, සිප වැලඳගැනීම් සිදුවෙනවා. නමුත් ආසියාතික තලයේ සිදුවෙන තරමේ බරසාර හෝ බොලඳ වදන් ගනුදෙනු ඔවුන් අතර හුවමාරු වෙන්නෙ නැහැ. ඒක ඔවුන් ජීවත්වෙන පරිසරයට, සමාජයට බෙහෙවින්ම අනුරූප සන්නිවේදන විදියක් බව හැඟවෙන අතරේම එකිනෙකා අතර ඇති අනයෝන්‍ය බන්ධනය මුහුනුවරින් ශරීර භාශාවෙන් මතුකෙරෙන්නෙ නිරායාසයෙන්ම වගේ.

ඒලියෝගෙ වගේම ඔලිවර්ගෙ චරිතවලට ගත් නලු නිලියන් තමාගේ භූමිකාව සජීවී කරන විදිය පුදුම හිතෙන තරම්. ඔවුන්ගෙ ශරීර භාශාව පවා ඒ චරිතවල ආත්මයන් එක්ක තදින් කා වැදී තිබෙන බවයි හැඟෙන්නෙ. චිත්‍රපටයෙ අවසන් භාගයේදී චරිතවල සංකීර්නතාවයන් උච්ච ස්ථානයක් වෙත ගමන් ගන්නවා. විශේශයෙන් ඔලිවර්ගේ දුරකතන ඇමතුමෙන් පසුව ඒලියෝ ගිනිමැලය අසබඩ කල්පනාවේ නිමග්නවන මොහොත වදනින් විස්තර කල නොහැකි සංවේදනා ගොන්නක් නරඹන්නාගේ හදවත මත ද අවුලුවන්න සමත් වෙනවා.

Sunday, March 18, 2018

විජ්ජුලතා - නන්දනීය කවි පොතක වින්දනීය මතක




මේ අපේ පැත්තෙ එක්කෙනෙක් ලියපු කවි පොත් දෙකක්. ඔයාගෙ කවි තරං නං හොඳ නෑ කියල අපේ දූ කිව්වෙ
මීට සතියකට විතර කලින්ඔ ෆිස් එකේ මිස් කෙනෙක් කවි පොතක් ගෙනත් දුන්නෙ එහෙම කතාවක් කියන ගමන්මයි.
මං පොත් දෙක අතට අරගෙන ඒ දිහා බලන්නෙවත් නැතුව කම්පියුටරේ වැඩ කරන ගමන් මේසෙ උඩින් තිබ්බා. පොත දිහා බැලුව වෙලාවෙ දැක්කෙ ලාබෙට - ගමේ ගොඩේ ප්‍රින්ට් කරපු පරන සහ ටිකක් අලුත් කවි පොත් දෙකක් විදිහට. මිස් කිව්ව නිසා දමල ගහල ආපහු දෙන්න බැරිකමට මං පොත් දෙක බෑග් මල්ලෙ ඔබාගෙන ගෙදර ආවා.
සතියක් ගතවුනත් පොත් දෙක එලියට ආවෙ නෑ සහ මට බලන්න මතක් උනේ වත් නැහැ. එකම එක දවසක් ඉස්කෝලෙකට ගියපු වෙලාවක කරන්නම දෙයක් නැතිකොට මේසෙ උඩ වාඩිවෙලා ඉද්දි මං බෑග්ගෙක ඇවිස්සුවෙ පාලුවට, කම්මැලිකමට එරෙහිව මොනවම හරි කරන්න හිතාගෙනයි. මේ කවි ආපහු මට හම්බ උනේ අන්න එහෙමයි.
පොත අතට ගත්තෙත්, කවියක් දෙකක් කියවගෙන ගියෙත් පොත ලියපු මනුස්සය සාම්ප්‍රදායික, වයසක, පරන ඩයල් එකක් කියල හිත හිත කවි වලින් ගන්න දෙයක් නැහැ කියල පූර්ව නිගමනේකට එලඹුනු ගමන්මයි. ඒ පොතේ කවි අතර අර මට පොත දුන්නු ඔෆිස් එකේ මිස්ගෙ නමින් කවියක් තිබිලා මගේ ඇස් ඒ ලඟ නතර උනා. හම්බවෙච්ච ගොදුර දිහා බලද්දි මගේ කට කොනට ආපු හිනාවෙන් මගේ ලඟ හිටපු අනිත් මිස්ලත් ඇහුවෙ මොකෝ තනියම හිනාව කියල. මං සිද්ධිය කියල කවියෙ මාතෘකාවත් කියල, කවිය කියවන්න පටන් ගත්තෙ අර මිස්ට නෝන්ඩි කරන්නත් ඒ මිස්ට මොකක්ම හරි සම්බන්ධයක් ඇති කියලත් තිබ්බ කුතුහලේ හිතේ ඇනි ඇනි තිබුනු නිසායි. ඒත් මං ඒ උගුලට අහුවුනා. ඒ කවියෙ මොකක්දෝ අමුතු සුන්දරත්වයක් මාව කලඹන්න, අවුලුවන්න ගත්ත.
නෙරි පොටේ චීත්තය ඉන වටා                 දැවටිලා
පොරි බඳුන පුලුලුකුල සැලෙන විට           ඉහිරිලා
කිරි ගරුඬ ලපටි ගොබ ඇගෙ ලමැද          ලියලලා
හරි දඟයි බෝරිච්චි හැට්ටයට                   හිරවෙලා

කුරුල් ලන් එලවලා නියර මත පිය                මනී
බුරුල් කර රත්තිගේ රැහැන සුරතට               ගනී
බුරුල් ලෙන් තොල් තෙමා වසු පැටව් උඩ     පනී
තුරුල්  වී ඇගෙ ලැමට සිසිල උනුසුම            මනී

පොතේ නම දොල උපත. කවියා නන්ද පාඬිකෝරාල කියල කෙනෙක්. මම කවදාකවත් අහපු/දැකපු නැති හම්පඩ පරන කවියෙක් අලුත් විදියකඩ මාව හොල්ලන විදිය හිතාගන්නවත් බැරුව මං විජ්ජුලතා කියන දෙවනි කවි පොත අතට අරගත්තා. ඒ පොතෙත් ඊට නොදෙවනි කවි කිහිපයක්. තත්පරෙන් තත්පරේ ඒ කවි එකින් එක මාව අල්ලගන්නවා. මං හරි සොඳුරු  උගුලේ තව තවත් පැටලුනා.
එලිසමය නමින් තනි/ එක කවියක් ඔහුගෙ කවීත්වය පෙන්වන කදිම නිදසුනක් වගේ.

පහනින් පහන දල්වන විට එක       පෙලට
කිසි පාඩුවක් නැත මුල් වුන ගිනි       සිලට
එක පහනක පමන සෑහෙයි         අගුපිලට
ඉහිරුනු එලිය එලි වැට වෙයි     ගෙමිදුලට

සඳැස් කවි ආරට ආසක්ත නොවුනත්  ඔහුගෙ මෙවැනි සරල, අවංක කවි අතරේ තව තවත් නිදහසේ ඇවිදින්න මට ඇතිවුනේ ලෝබකමක්. ඉතාම කලාතුරකින් හමුවෙන සමීප මිත්‍ර යෙක් වගේ මං ගෙදර ඇවිත් ඉතිරි කවි ගොන්නම තකහනියෙ පෙරලුවා. සමහර කවි කියවද්දි, පුදුමෙට, ආසාවට වගේ කඳලුත් පැන්න.
මතක බන ඒ වගේ සංවේදනාවෙන් මාව එක තැන මොහොතක් නතර කරවපු කවි පන්තියක්

ගෙයි පිලිකන්න පැත්තේ වැල් කැඩුනු       ඇඳක්
විට්ටම් මුනින් හරවා ඇලයකට                 මදක්
අත්හැර ගොසිනි එය - ලේ කිරි කරපු        මවක්
එම ඇඳ වියල මත වැටුනා කඳුලු               බිඳක්

ඉහ ඉද්දර පහන් කල තෙල් සිලු               දැල්ලේ
පිත්තල පහන යලි තනිවී ගෙයි                 මුල්ලේ
අව්වට තව් මැරුනු ගොස්කොල           සැරසිල්ලේ
තොඩි වැල් බැඳපු කනුවල ලනු කොන්     එල්ලේ

සිව් රියනේ කන්ද මත රතු පස්                    පිරුනු
බෝතල දෙකක් ඇත ඉටි නාවර               පෙරුනූ
මල් වඩමක්ව වෙනෙකෙකු වෙනුවෙන්      මැරුනූ
මල මල් කියයි තෙවලා දහමක                කරුනූ

දුක පල කරනඋදවිය ආ ගිය                     වාරේ
තනකොල මැරී ඇත ගෙට එන අඩි                       පාරේ
කුස්සිය දුක් විඳපු හැටි මොනවට               තේරේ
මැටි කල ගෙඩිය පත්ලෙන් කඳුලැලි         බේරේ

සීවලී පින්තූරයක් කනපිට                                        හැරවී
මුනිවත රකියි පාතුර දානෙන්                     ගොරවී
නිදහස ලද බුලත් හෙප්පුව                       කරදර වී
දුප්පත් වී හතර වරිගෙම                           අහවර වී

අන්තිමටම ඉතිරි වුනු වී කුරුනි                   දෙකත්
දන් දී පන්සලට අහුලා පඬුරු                        ටිකත්
දවමත් දූ දරුවො හරියට බඩට                  නොකත්
මහ පන යන වැඩකි ඇත්තට මැරෙන            එකත්

ආහර බඳුන් මත ලැගගෙන පිලුනු                         වුන
මැස්සෝ හඬති තවමත් මල ගෙදර                        එන
සිත කය වදන දොරගුලු නැති දොරටු        තුන
වහගත නොහැක පෙනි පෙනි මේ මතක    බන

සරල සංවේදනාත්මක සුන්දරත්වය වගේම ගැඹුරු දහමක විලාසයත් එක ලෙසින් කැටි කරගන්නට මේ කවිය සමත් වෙලා තියෙන බවයි මගේ අදහස. ඉතා සුලබ සිදුවීමක අපට පෙනි පෙනී මග හැරෙන අනු කොටස් එකින් එක පෙන්වන නන්දගෙ කවීත්වය ආනන්දනීයයි.
රිද්මය තමන්ගෙ කවියෙ ආත්මය කරගත්තු මේ කවි පොත පුරාවටම නූතන වස්තු විශයන් රැසක් තේමාකරගන්නත් උත්සාහ ගන්න බවක් පේනවා. පැරනි කවි සමයෙන් පෝශනය ලැබූ මෙවන් කවිකාරයින් අති නූතන ඉසව් අතර සැරිසරමින් එවැනි අත්දැකීම් කවි අතර රැඳවීම මාව පුදුම කරවන්න සමත් උනා. අතීතකාමී සුන්දරත්වයත් එවැන්නෙකුගේ ඇසින් නූතනත්වය දකින වෙනස්ම කොනයත් එක විට හසුකරගන්නට මේ කවි පොත කදිම අවස්ථාවක් සකසන බව නම් නිසැකයි.

උනු උනුවෙ ගොඩබාපු හැටියෙ                        ඉන්ටර්කූල්
රිමුට් කොන්ට්රෝලයෙන් කල නොහැක      කොන්ට්‍රෝල්
කොන්ක්‍රීට් මහ වනේ අලි ගිලින බෙලි                        ජූල්
ගොඩගසිගෙන සේල් අසන්චිව නැත                         සීල්

සහස්‍රය ලැබුව විට කිතුවසින්                    දෙදහසට
අල්තාර සිවලිංග නැගුනි සමනල                    උසට
කොස් පොලොස් දිරවයිද බතල නුපුරුදු         කුසට
බැලලියෝ කපු කටිති කුප්පමේනිය                ගසට

හෙට දකින සිහින

ගත දුනුකේ මල් සුවඳට කලු                     මැනිකේ
ඇඟිලි ටිකේ හනි හනිකේ                     පරිගනකේ
එහෙව් ඇය පිටු දැකුමට                          නොහැකේ
වෙබ් අඩවියෙන් බැස පලයන් සුදු               මැනිකේ

හයිවේ ඇවිත් මීමුරයේ                  කොටකෙතනේ
පිට කොටුවේ කන්තෝරුවෙ               හිම පතනේ
එෆ් එම් තරංගය වාගේ රං                         එතනේ
ණුඹේ කිචි බිචිය කිචි කවනව               දුරකතනේ

කොලඹින් වඩින හාමුදුරුවො            පන්සලට
නලිනි ජාතකය රඟපාවිද?                      බනට
අංගජාතකේ පත් කරලා                   පිලිකුලට
කැන්ද කොට හැලප ගත හැක         නිමිත්තට

මෙවැනි කවි වල අති නූතන ඉංග්‍රීසි වදන් එලෙසම භාවිතා කරමින් කවියා තමන්ගෙ කවි භාශාව තවත් දියුනු තලයකට පත්කරගන්න දරන වෑයම ප්‍රශස්ථයි.
සමකාලීන සමාජ විපර්යාස දෙස උපහාසය මුසු බැල්මකින් බලන නන්දගේ කවි බස පාඨක මුවගට සිනාවක් කැන්දන්නට තරම් ශක්තිමත් එකක්.
වත්ත බදු දෙමින්
සොච්චමක් අරන්
ගසේ අතු කපා සෑදුව
කොඩියල් බොමූ

වැනි උපහාසයට බර නමුත් අමුතු අලංකාරයක් ගෙනදෙන කවි කිහිපයක්ම මේ කවි පොත් දෙක පුරාවටම දැකගන්න පුලුවන්.
***
පොතේ මුල පිටක තිබිලා දුරකතන අංකය හොයාගෙන මං නන්දට කතා කලා. නන්දගෙ වයසක කටහඬ උද්යෝගයෙන් මුවහත් වෙලා බොහෝ කරුනු කාරනා මාත් එක්ක බෙදා හදා ගත්තා. සුන්දර  කවි සහිත කවි පොතක්  වගේම අතලඟම හොඳ විචාර බුද්ධියක් සහිත ලේඛකයෙකු හමුවීමත් කාන්තාරයක වැහි කඳුලක් දකින එක තරම්ම දුර්බල නිසා මගේ සිතත් පිනා ගියා. ලඟදිම දවසක වරුවක් විතර මුනගැසිලා කතාබහ කරන්න නන්ද කල ඇරයුම බාර අරගත්තෙ සන්තෝසෙකින්.
නන්දත් එක්ක පැය තුන හතරක සංවාද නොයෙක් ඉසව් කරා ඇදී ගියේ නොදැනුවත්වම වගේ. නන්ද හිටිවන කවියෙක් කියල දැනගන්න ලැබුනෙත් එතකොටයි.
විජ්ජුලතා නමින් කවි පොතට නම දාන්න හේතුවත් සීගිරිය උඩින් විදුලි කොටා ඇති රූපයක ෆොටෝ එකක් දාන හේතුව වගේම කවි පොතේ ඇති විජ්ජුලතා කවිය ගැන තමන්ගෙ අභිමතාර්ථය පැහැදිලි කිරීම ඒ සියලුම කතා අස්සෙන් මගේ හිතේ තදින් කා වැදුනා.
සීගිරි කවිවල තියෙනවා විජ්ජුලතා ගැන කවියක්. නන්ද කතාව ආරම්භ කෙරුවෙ එහෙමයි.
ඒ කවියෙන් කියන්නෙ මෙහෙම දෙයක්. කාශ්ශ්‍යප රජ්ජුරුවො චිත්‍ර ශිල්පියට කිව්වෙ සීගිරිය ඉහලින් අහසෙ විදුලියක් කෙටුවම ඇතිවෙච්ච රූප දර්ශනය සිතුවමට නගන්න කියලලු. නමුත් චිත්‍ර ශිල්පියා ඇඳල තියෙන්නෙ උඩුකය නිරුවත් ස්ත්‍රී රූප. රජ්ජුරුවො චිත්‍ර ඇඳල ඉවර උනාට පස්සෙ ඇහුවලු කෝ විජ්ජුලතා කියල. චිත්‍ර ශිල්පිය කිව්වලු ගැහැනිය තරම් විජ්ජුලතාවක්(හෙනයක්/ඉන්ද්‍රජාලයක්/ක්ශනික කම්පනයක්) වෙන කොයින්ද කියන අර්තෙන් මේ තියෙන්නෙ විජ්ජු ලතා කියල කිව්වලු.
එහෙම කිය කියා නන්ද හිනා වෙනවා.
මේක ඇත්තම කතාව නොවුනට ඒක සීගිරි චිත්‍ර දැකපු කවියාගෙ පරිකල්පන ලෝකය. බලන්න දරුවො ඒක මොනතරම් ශක්තිමත් ද කියල. නන්ද දෑතම මිටි කරමින් කියනවා.
ඉතින් මගේ කවියෙ තියෙන්නෙ නූතන කවියෙක් සීගිරි චිත්‍ර බලලා ඇතිවෙච්ච පරිකල්පනයක් ගැන කතාවක්.
මම නන්ද පැහැදිලි කරනකම් අහගෙන ඉන්නවා. කර්තෘ ඝාතනය, කලා කෘතියක අරමුන නිර්මාන කරුවා පැහැදිලි කිරීමෙන් ව්‍යුක්ත වෙන්න ඕන වගේ තාර්කික සංවාද ප්‍රවාද මං මොහොතකට පැත්තකට විසිකරල දානවා. ඒ තරම්ම මේ පැහැදිලි කිරීම් වලට මං ආසක්ත වෙලා.
බැලුවො සිහිගිරි
සුතනඹුවන් සියොවැ ආමි
අහා මියුලැසි රූ අසිරි

නිල් කට්රොල මලකැ ඇවුනු
වැට්කොල මල සෙයි

ඔන්න කවියෙක් සීගිරිය බලන්න යනවා තමන්ගෙ අඹුදරුවන් එක්ක. සියොවැ ආමි අර කවියෙන් සහ නිල් කට්රොල් කවියෙන් ආභාසය අරගෙනයි මං ඕක ලිව්වෙ.
සලු නොයිවසුව පියවුරු
පහස වලඳන
සැදැහැති නෙත
රා ගිනි නිවී සැනැහුනු

ඇඳුම් ඇඳපු නැති කාන්තා රූප දකින අඹු දරුවන් එක්ක ඉන්න කවියාගෙ සැදැහැති නෙතේ වැදිල රා ගින්දර නිවී සැනහිලා තියෙනවා. ඇත්තටම දරුවො ඒ පියවුරු දැක්කම ශෘංගාරයක් ඇතිවෙන්නෙ නෑ මටනං. ආයෙත් නන්දගෙ හිනාව.
ල සොවින් සමුදි
රන්වනුට
බැසී ය'හින පාමුල

සීගිරි චිත්‍ර නරඹලා දුකින් නමුත් අර කවියා/කථකයා සීගිරි ගලේ අලුතෙන් හයිකරල තියෙන රවුම් රවුම් පඩිපෙලෙන් බිමට බහිනවා.
සිතු ගබ බෙයඳ
යලි දකිනු රිසි
උඩුකුරු කල උවන සරහා
ඉහල පහල සසල
අප්සරා දෙවටොර සහමුල
විජ්ජුලතා දුටු කසුබු
විලි අහිමිව බමා බමා නෙතු

චිත්‍ර සහිත ගුහාව ආපසු බලන්න එතැන ඉඳන් ඉහල බලන කථකයාට පෙනෙන්නෙ අමුතුම දර්ශනයක්. පඩිපෙල නගිමින් එයා මෙහා යන අප්සරාවන්ගේ(නූතන කාන්තාවන්ගෙ) වටොර සහ එතැනින් ඉස්මත්ත නම් විදුලිය දැකපු සැනින් පෙර පැවති විලි බිය අහිමිවී නෙත් කැරකි කැරකී ගිහින්.
එහෙම කියලා නන්ද තනියම හිනා වෙනවා. මම මොහොතක් ගල් ගැසී බලා ඉඳලා නන්දගෙ ආනන්දයටම එක්කාසු උනා.
මේ විදියට නන්දගෙ නන්දනීය කවි පිලිබඳ ආනන්දනීය ස්මරන නන්දගෙ මුහුනුවර සමගිනුත්, නන්ද නොමැතිව තනියම කියවද්දිත් මගේ හදවතේ රැව්පිලිරැව් දෙනන් පටන් අරගෙන. ඒ වෙනුවෙන් මගේ අවංක කෘතවේදීත්වය නන්දට මෙවැනි කෙටි ලිපියකින් හරි  පිරිනමන්න ඕන කියල මම හිතුවෙත් ඒකමයි.

සුමිත් නාලක පෙරේරා






Sunday, January 21, 2018


කෙටිම කෙටි කතාවක තේමාත්මක දිග පලල -  කැත ගැහැනියගේ හීනය






සමහර ජීවන අත්දැකීම් කපා කොටා පොත්වල ලියා තබන්නට තරම් බර වැඩියි. මාරාවේශ අතීතයේ එක් රාත්‍රියක මගේ සපත්තු දෙක ඉල්ලාගෙන, තේ කෝප්පේ බෙදාගෙන බී, එන්නම් මචං කියාගෙන ගිහිං උදේ පාන්දර අඩක් පිලිස්සුනු මල සිරුරක් විලස මහපාරේ වැතිර සිටි පාසල් මිතුරා පිලිබඳ ඊයම් බරුවක් සේ පපු කුහරය තුල සිරවී ජීවිත කාලය පුරාවටම රිදුම්දෙන මතකයට මේ පොත.
(කැත ගැහැනියගේ හීනය- පිදුම)
කැත ගැහැනියගේ හීනය ආරම්භ වෙන්නෙ සෝචනීය සැමරුමක ආවර්ජනයක් දිගහරින ගමන්මයි. කෙටි කතා විඳින්නත් කලින් මේ කෙටිම කෙටි ස්මරනීය සැමරුම මගේ හිතෙත් ලාටුවක් වගේ ඇලී - ඇලලී ගියා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේවා කෙටිම කෙටිකතා විදියට පෙනුනත් ඒවා මගින් දිගහරින සමාජ - දේශපාලනික යථාර්ථයේ දිග කොතරම්දැයි කියන්නටත් නොහැකි තරම්. මේ කෙටිකතා පිංචට කෙටි පෙරවදනක් සපයන මංජුල වෙඩිවර්ධන මේ කෙටිකතා හඳුන්වන්නෙ ඉතා කෙටිකතාමය නිමේශයන් විදියට වීමම මෙහි පඨිතමය කෙටි බව දක්වන්න ගන්න පුලුවන් කදිම නිදසුනක්.
යාං හෑලි - පෙරනිමිති - වටේ කැරකිලි කිසිවක්ම නැතුව කතාව මැද්දටම පනින්න කතුවරයට තියෙන හැකියාව ඔහුටම අනන්‍ය විලාසයක් ද අත්පත්කරගෙන තිබෙනවා. ඉතාම සරල භාශාවක් ඔස්සේ පිටු දෙකක් තුනක් පුරා විහිදෙන කෙටිකතාවක් මගින් මෙතරම් හොඳින් චරිත නිරූපනය කරන්න පුලුවන් වෙන එකම වැඩක්.
මේ කෙටිකතා හැමකක්ම ගලාගෙන යන්නෙ දෙබස්, සංවාද මගින් උනත් එක් එක් චරිතවල ස්වභාවයන් ඔවුන් ජීවත්වන සමාජ වටපිටාවන් සමඟින්ම වඩා හොඳ චිත්‍රයක් මවා ගන්න ඒක බාධාවක් වෙලා නැහැ. මේ ඉතාම කෙටි කෙටිකතා හරියට, සුලුම සුලු හමුවීමකින් උනත් තමන් පට්ට පොරක් බව අඟවන සරල, නිහතමානී මනුස්සයෙක් තරමට හදවතේ කා වදින්න සමත් වෙන්න ඇත්තෙත් ඒ නිසාමයි.
වඩා පැහැදිලිව අධ්‍යනය කලොත් එක් එක් තේමාවලින් නොයෙක් ඉසව් දිහාවට ඇඳී යන කතාවන්වල පොදු මූල කිහිපයක්ම දැකගන්න පුලුවන්.
කුඩා අවධියේදීම පියාගේ වියෝව - අහිමිවීමේ ක්ශතිය - කතුවරයා අවිඥානිකව හෝ සවිඥානිකව අත පොවන සංකීර්න  තේමාත්මක මානයක් බව කෙටිකතා කිහිපයක් නිදසුන් සපයනවා.
සුනාමියට හෝ වෙන කුමක් හෝ හේතුවකට ස්වකීය පියා අහිමි වීමෙන් පසුව පාසල් ගමන ද අතරමග නතර කල වසා නම් කොලුගැටයෙකු සුමති නම් බෝට්ටු අයිතිකාරයෙක්ගේ බෝට්ටුවක මාලු දැල් එලීමේ වීර චාරිකාවක් ඇරඹීම සම්බන්ධ කතාවකි ජෝතිපාල  නොදුටු වම සම වම නොදුටු ජෝතිපාල යන තේමාවෙන් යුතු කෙටිකතාව.
උඹට සුමතියව හම්බ උනාද වසෝ.... සල්ලි ටිකක් ඉල්ලගන්ඩ ඕනි... සුමතිය තමයි දවසකටවත් මිනිහ. උඹව මූදු එවල ඌ අම්මව බලා ගන්නව. නරක නෑ..
වසාට සුමති බාර දී ඇත්තේ මුහුද මැදදී දැල් අග්ගිසි දෙක එකට ඇමිනීමේ වීර ක්‍රියාවකි. එය හැමෝටම නොහැකි භාරදූර කාර්යයකි.
ඉස්කෝලෙදි කවටට්ටෙන් ඇන්න වගේ කටමත දොඩන එකාව බෝට්ටුවෙන් එලියට තල්ලු කරල දාන්නෙ නැත්තෙ ඇයි..? ඉස්සර වගේ නෙමෙයිනේ දැන්. වීරයො කලබල වෙන්නෙ නෑ.
(ජෝතිපාල නොදුටු වම සහ වම නොදුටු ජෝතිපාල)
කෙටිකතා පොතේ සෙන්ටෙනියල් දෝනි නම් කතාව ආරම්භ වෙන්නෙ මේ විදිහට.
දෝනි දොර ඇරගෙන ගොඩවෙනකොටම අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුලු වෙලාඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව. එකිනෙකා ඇලී ගැලී හිටපු සෙයියාවෙන් කරන්ට් වැදිල වගේ දුරස් වෙනව.
හායි දෝනි.. අද පන්ති කලින්ම ඉවර වෙලා වගේ - රාජ් අංකල්.
(සෙන්ටෙනියල් දෝනි)
තාත්ත දෝනිව බලන්න ක්ලාස් එක ලඟට එනව ඉඳල හිටලා. අවවාදවලින් නාවනව. අම්මට බනිනවා. ආයෙ කවද්ද එන්නෙ අහපුවම වැඩ වැඩ හරි බිසී කියල සල්ලි ටිකක් දෝනිගේ හෑන්බෑග් එකේ දමා නොපෙනී යනවා
(සෙන්ටෙනියල් දෝනි)
 තාත්ත සහ තවත් පිරිමි නම් ආරම්භක කෙටිකතාව පවා මේ පීතෘ අහිමි වීමේ සංකීර්නත්වයට මැදිවූ කතාවක් බවට පරිවර්තනය වෙනවා.
තාත්ත ට්‍රන්ක පෙට්ටියක ඇඳුම් පුරෝගෙන ගියාට පස්සෙ ආයෙ ආවෙ නෑ. ඒ වෙනුවට ආවේ රා.සේ.පි ලියුම්. රනවිරුවන්ට උපහාර පුදන උත්සවයක් සංවිධානය කරලා ඒකට සුදු ඇඳගෙන එන්න කියල පලාතේ මන්ත්‍රීතුමා එවපු ලියුමකුත් ඒ අතර තිබ්බ. ඒවා ගොඩක් අබල දුබල වෙලා තිබ්බ කිරි කිරි ගාන කනප්පුව උඩ ඒවා ගොඩගැහුනා.
අයිය සටනින් දිනලා ගේ උකස් කරපු සල්ලිත් අරගෙන රට ගියා. අයියගෙන්නම් ලියුම් ආවෙ නෑ. ඒ වෙනුවට අයිය සල්ලු ඉල්ලගත්තු දුරින් නෑ කෙනුකෙතු වෙන මුදලාලි මාම කෙනෙක් නිතර නිතර ගෙදර ආව. ගෙදරට ආගන්තුක කම් නැතිකරගෙන බොහෝ ආත්‍රීන් අපේ ගෙදරම ගතකරන අයිතිකාරයෙක් උනා. අම්මත් එක්කම.
(තාත්ත සහ තවත් පිරිමි)

සමකාලීන ස්ත්‍රිය මුහුනදෙන අර්බුද, ස්ත්‍රීවාදී විලාසිතාවෙන් තොරව නිරුවත්වම ඉදිරිපත් කරන්නත් මේ කෙටිකතා පොතේ කෙටිකතා කිහිපයක් මගින්ම උත්සහ ගෙන තිබෙන බවක් පේනවා. විශේශයෙන්ම කෙටිකතා කිහිපයකම දෘශ්ටිකෝනය පවා තරුනියකගේ මුහුනුවරින් තබන්නට කතුවරයාට වුවමනා වෙන්න ඇත්තෙත් මේ නිසාම වෙන්න පුලුවන්. කැත ගැහැනියකගේ හීනය නම් මේ කෙටිකතා පොතේ නම සඳහන් වන කෙටිකතාව පවා එවැනි කෙටිකතාවක්.
වඩාත් සුන්දර ස්ත්‍රීන්ට සමාජයේ නිසඟයෙන් හිමිවන හිමිකම් සහ කලු කැත ගැහැනියකට ඒ නිසාම ලැබෙන අහිමිවීම්  මේ කෙටිකතාව මගින් නිරූපනය කිරීමේදී ඒ ඒ චරිත දෙස සානුකම්පිත දෘශ්ටියක් ඇතිවෙන එක වලක්වන්න බැරි තරම් අපව ඒ තුලට ඇද - බැඳ තබා ගන්නවා. මෙතරම් සරල ආකෘතියක් යටතේ - සුලු වචන සංඛ්‍යාවක් පමනක් වියදම් කොට එකී කාර්යය සිදුකිරීමට හැකිවීමම ජයග්‍රහනයක් බව යලි යලිත් හිතෙන්නෙ මේ වගේ කෙටිකතා කියවද්දියි.
පැටි වියේදී සිටම කාන්තාවන් මුහුනදෙන - ඇතැම් විට සමාජයට හෙලිදරව් නොවන බලහත්කාර ලිංගික අතවරයන් නම් අන්ධකාර පෙදෙස වෙත මේ කාන්තා දෘශ්ටිය හරහා ආලෝක පදාසයක් නිකුත් කරන්න කතුවරය සමත් වෙලා තියෙනවා.
පූරිතයට බඩක් නෑ. ඒ උනාට තාත්තත් එක්ක ගෙදරට කඩා වදින පොලිස් කාන්ඩේ සාමාජිකයෙක්. කෙට්ටුයි, උසයි.අයියගේ වයස ඇති. කුස්සියේදී වතුර වීදුරුවක් හුවමාරු කරගන්නකොට මගේ අත ඇල්ලීමෙන් මං දිහාට එල්ල කෙරුනු ඉඟි බිඟි කවුරුත් එහාට මෙහාට වෙනකම් ඉඳල හදිසි මූන සිපගැනීමක් දක්වා දුරදිග ගියා. මගේ ඇඟ හිරිවට්ටමින්. සිද්ධිම මගේ කටින් අම්මගෙ කන හරහා තාත්තගේකනට ඇතුලු උනාම ගෙදර ගාලගෝට්ටියක් මැවුනා. කිරි කිරි ටීපෝවත් පෙරලමින්.
(තාත්ත සහ තවත් පිරිමි)
ගුනාගේ මනුස්සයා රට රස්සාවකට යන්න ඉල්ලුම්පත්‍ර පුරවගන්න රාලහමිව හොයාගෙන එනව දුක කියන්න. දුක අහන්න රාලහමි ගුනාගේ ගෙදර යනවා. මනුස්සය රට ගියාට පස්සෙත්. ගුනාගේ ඉඟුරු කෝපිවලට රාලහමි ආසවෙනවා. කලුවර වැටුනට පස්සෙ අහංකාර බැරෑරුම්කාර ඇඳුම් පැලඳුම් ලිහා දමා ගුනා එක්ක ඔද්දල් වෙලා ආයෙත් උදේට අතවරයකින් තොරව අහංකාර බැරෑරුම්කාර රාලහමි වෙන්න සීය පුරුදු වෙනව.
(සෙන්ටෙනියල් දෝනි)

අරමුනක් නැති තාරුන්‍යෙය් ආනාගත ඉරනමමේ සමාජය අවශෝශනය කරගන්න සමත් වෙයිද හෝ නූතන තරුනයාගේ ඉරනම මෙවන් සමාජයක කවර ගොහොරුවක් වෙත සංක්‍රමනය වෙයිද යන අවිනිශ්චිතතාව අතර දෝලනය වන චරිත කිහිපයක සුලු සුලු වතගොත කිහිපයක් හෙලිදරව් වන කෙටිකතා කිහිපයකුත් මේ අතරෙ මුනගැහෙනවා. ජීවිතේ ඉලක්කයක් හොයමින් ඉන්ටර්විව් ගානේ රස්තියාදුවෙන තරුනියකගේ දෛනික ජීවිතය ගැන සානුකම්පිතව බලන අතරේම සහතික, සම්මාන ලාභී තරුනයෙක්ට ගමේ රස්තියාදු නඩේ අතර එකල මෙකල වෙවී ලගින්නට සිදුවීමේ සොඳුරු - ඇඳුරු ඉරනම් දිවිය ගැනත් මේ සැහැල්ලු භාශා විලාසයෙන්ම මතු කරන්න මාන බලනවා. මේ සියලුම තේමා ඉසව් වෙත කෙටිකතාකරුවා ඇදෙන්නේ පාඨකයට පවා නොතේරෙන සියුම් රිද්මයකින් වීම විශේශයි. කතුවරයා සිද්ධි විග්‍රහ කරමින් ඒ වගේ ගැඹුරු විශ්ලේශනයක නිරත වෙනවා වෙනුවට දියසායම් සිත්තමක් වගේ සිදුවීමක සරල පින්සල් පහර සිහිපයක් පමනක් ඒ මේ අත විසුරුවලා නිකම් ඉන්න බවක් පේනවා. ඒ අතරින් හැම සිද්ධියකම ඇති සමාජ- දේශපාලනික හෝ ආත්මීය බරසාරත්වය කියවන රසිකයා ඇතුලෙ සක්‍රීය ලෙසින් ගොඩනැගෙන්න ඉඩ හරිනවා.
 කැත ගැහැනියගේ හීනය කෙටිකතාපොත අප ගිලී ඉන්න හීනයකින් ඇහැරලා ඇත්ත පොලව වෙත දෑස් යොමු කරවන්න දරන ප්‍රශස්ත ප්‍රයත්නයක් වෙන්නෙ මෙවැනි තේමාත්මක ඉසව් සරලම අනුපානෙකට කැටි කරල අප වෙත අරගෙන එන නිසා. සිදුවීමක සමාජ - දේශපාලනික හරස්කඩ සේම එකී සිදුවීම්වලට මුහුනදෙන චරිතවල මනෝභාවයන් වහා හඳුනාගැනීමේ ඉවක් ඇති කතුවරයා ඒ සියල්ල කවලම් කරමින් කුඩාම කුඩා කෙටිකතාවකට ඒ සියල්ල කැටි කොට පුරුද්දන්නෙ උපේක්ශාව පිරුනු දෘශ්ටියකින් බවයි පෙනෙන්නෙ. සිදුවීමක ඇති දේශපාලනික හැලහැප්පීමකට හෝ සමාජමය ඛේදවාචකයකට වහල් නොවී ඒ සියල්ල මනාව කලමනාකරනය කරගන්න තරම් සූක්ශම පරිඥානයක් කතුවරය සතුව තියෙන බව හැම කෙටිකතාවක්ම සාක්ශි දරනවා. මේ හැමකක්ම කියාගන්න පුලුවන් තරමේ සජීවි සිතුවම් මවන වාග් විලාසයකුත්, ඒ ඒ කෙටිකතාවේ ආත්මය වගේ සැහැල්ලුවෙන් සිතල දිය දහරක් වගේ ගලා බසිනවා. කැත ගැහැනියගේ හීනය සමකාලීන සිංහල කෙටිකතා අතර සුන්දරම විදිහකට වඩා කැත යථාර්ථය ඒ විදිහටම පසක් කරල දෙනව කියල මට හිතෙන්නෙ මේ සියල්ලක්ම නිසයි.


සුමිත් නාලක පෙරේරා.

Thursday, October 19, 2017

පේමතෝ ජායතී අසෝකෝ





නවකතාවක් වගේ විශාල කෘතියක් කියවල ඉවර කලාට පස්සෙ ඒකෙන් ඇතිවෙන හැඟුම් සමුදාය ආපස්සට විචාරාත්මක වචනවලින් කියන්නෙ කොහොමද කියල මං නිතරම කල්පනා කරන දෙයක්. නවකතාවක් බොහෝවිට ජීවිතය වගේ. මේක මෙහෙමයි, මේ විදියයි කියල තනි සරල රේඛාවකින් පෙන්නල දෙන්න බැහැ. ඒ ඉලක්කය නොයෙක් දිශාවන් වෙත ගමන් කරනවා. ඒ සමස්ත ගමනේ එකතුව අපේ සිත්වල ඇතිකරන කම්පනය මත අපි එහි සාර්ථකත්වය අසාර්ථකත්වය මනිනු ලබනවා.
ඒ අතින් ගත්තම පේමතෝ ජායතී අසෝකෝ කියන්නෙ මට කියවන අතරේ කේවල අත්දැකීම් වශයෙනුත් සමස්ත කෘතිය දිහා ආපස්සට හැරිල බලද්දිත් විශේශතා කිහිපයක්ම හමුවෙන හොඳ පොතක් කියල බය නැතුව කියන්න පුලුවන් විදියේ කෘතියක්. පොත පුරාවටම දේශපාලනයත්, ප්‍රේමයත් එකිනෙක මත කැලතී, පැටලී එකිනෙකා මත වෙලෙමින් ඉදිරියට ඇදෙනවා. අවංකවම මේක ලංකාවේ ඉතා මෑත කාලීන දේශපාලන, සමාජ ස්වභායේ ඉතා සංකීර්ණ පෙදෙසක් පදාසයක් පෙන්වන අපූර්ව නවකතාවක්.
පොත කියවද්දි නිරන්තරයෙන් මතකයට නැගුනේ ලියනගේ අමරකීර්තියේ මෑත කාලීන නවකතා කිහිපයක්. අමරකීර්තිගෙ පොත් වල වගේම මේකෙත් ඍජුව පැවසෙන දේශපාලන සංවාදාත්මක පාඨ ඕනෑ තරම් හොයාගන්න පුලුවන්. නමුත් ප්‍රේමතී ජායතී සෝකෝ තුල ඊට වෙනස් මොකක්දෝ සජීවී බවක් නැත්නම් අවංක ගතියක් තැවරිලා තියෙනව කියල මට හිතෙනවා. ඒක හැඟෙන්නෙ දේශපාලන සංසිද්ධිත් එක්ක හරි හරියට එතෙන පෙම් හුටපට නිසාද, දේශපාලන කරලියේ සැඟවුනු හෝ සඟවන ලද යථාර්ථයන් ඒකී මූලයන් ඔස්සේම ග්‍රහනය කරගෙන තියෙන නිසා ද කියන එක ගැන නැවත වතාවක් හිතන්න වෙනවා.
ප්‍රධාන චරිතය වන රවිඳු ගමන් කරන්නෙ ලංකාවෙ තරුනයෙක්ට ආවේනිකවම වගේ හිමිවන වාම දේශපාලනයේ ආවේශගත උරුමයත් කරපින්නාගෙන බව ආරම්භයේම පැහැදිලි වෙනවා. ඔහුගේ දේශපාලන ගුරුවරයා තම පන්ති කාමරයේම සගයෙක් වන සුධීර නැමැත්තෙක්. නමුත් සුධීරගේ හා රවිඳුගේ දේශපාලන ගමන් පථ ඉතා සියුම් චලනයකින් ආරම්භ වී විශාල විචල්‍යයක් දක්වා විකාශනය වන අපූරුව නවකතාවේ සෑම පරිච්ඡේදයකින්ම අනාවරනය වෙනවා. සුධීරගේ ගමන් මගෙන් මෙන්ම රවිඳුගේ ගමනින් ලංකාවේ මෑතකාලීන වාම දේශපාලනයේ ඇතුලාන්තය අපූරු අයුරින් හෙලිදරව්කිරීමේ වාසිය කතුවරයාට ලැබී තිබෙනවා.
සිය අවංක දේශපාලන චින්තාවලි ඔස්සේ තම අනාගත ජීවන අභිලාශ පවා කැප කරමින් වාම දේශපාලන පක්ශ තුල ශ්‍රමය වැගිරූ තරුනයන් සිය දහස් ගනනකගේ බලාපොරොත්තු ක්ශයව ගිය අයුරුත් එකී පක්ශ මූලයන් මෙන්ම පරමාර්ථ සිඳගත් එකී තරුනයන්ගේ අනාගත දේශපාලන හා පුද්ගලික දිවිය මොනාකාර අගාධයකට වැටෙන්නේ ද යන්න ගැන සුධීර හරහා මතුකරගන්නට හැකිව තිබෙනවා. මෙම සගයන් දෙදෙනාගේ සමීප හා පරස්පර ගමන් මග හරහා වැටී තිබූ ලාංකේය වාම දේශපාලන කතනදරයේ මෙන්ම ලෝක වාම දේශපාලන වෘත්තාන්තයේ  ප්‍රබලතා මෙන්ම දුබලතා ද විවේචනාත්මක ඇසකින් දකින්නට මේ කෘතිය අපට ආරාධනා කරන බව පැහැදිලියි.
ආරම්භයේ සිටම සුධීර ඉතා දැඩි හැදෑරීමකින් මෙන්ම විනයක් සහිතව වාම පක්ශ දේශපාලනයේ වුවමනාකම් වෙනුවෙන් අවංක වෑයමක නිරත වෙනවා. ඇප කැප වෙනවා. ස්වකීය ආධ්‍යාත්මික ආශාවන් මෙන්ම උපාධිය වැන සමාජ වටිනාකම් ද අත්හරින්නට ඔහු දෙවරක් සිතන්නේ නැහැ. වාම දේශපාලනික හැදෑරීම්වලින් සන්නද්ධ වන මෙවැනි තරුන වෙනත් ස්වකීය ජීවිතය තමන් විසින්ම රවටාගැනීමේ තරම නිම්මි වැනි දේශපාලන ක්‍රියාකාරිනියන් හරහා පවා මතු කිරීමෙන් ඔවුන් කෙරෙහි ඇතිවන්නේ වෛරයකටත් වඩා දයානුකම්පාවක්.
රවිඳු නිරන්තරයෙන් මේ ක්‍රියාවලියේ සිටින්නේ මතුපිට ස්පර්ශ කරන්නෙක් විදියට පමනයි. එක් අතකින් ඔහු ස්වකීය ආශාවන් සමඟ ඒකාත්මික වෙනවා. වාම දේශපාලන සුරලෝකයත් ඔහුගේ එක් නොනැසෙන - විසිතුරු  - දිගුකාලීන - ස්වභාවික ආසාවක් වගේ එකක්. නමුත් සුධීර, නිම්මි තරමටම රවිඳු න්‍යායාත්මක බරසාර ආකෘතික ගත ජීවිතයක් වෙත ඇලුම් කරන්නේ නැහැ. ප්‍රේමය, දේශපාලනය, කලාව අතරේ ඔහු නන්නත්තාර වෙනවා.
මට කවදාවත් පුද්ගලික වැඩක් ඇතුලේ ස්ථාපිත වෙන්න, පුද්ගලික ජයග්‍රහන පස්සේ දුවන්න කිසි උනන්දුවක් තිබ්බේ නෑ. අනිත් අයගේ වුවමනාවට බලෙන් එහෙම වෙන්න උත්සාහ කලාට ඉබ්බා දියේ දානවා වගේ ඇදිලා ගියේ සමාජ දේශපාලන වැඩ පැත්තට. හැබැයි සුධීරට වගේ වැඩ ඇතුලේ ස්ථාපිත වෙන්න පුලුවන් ව්‍යුහයක් මට හම්බ උනේ නෑ. ඒක මගේ වැරැද්දද සමාජ ව්‍යාපාරවල වැරැද්දද?
(321 පිටුව)
එපමනක් නෙමෙයි, ලංකාව ඇතුලතත් ඉන් පිටතත් සමාජ දේශපාලන මති මතාන්තර ඔස්සේ ඔහුගේ ගමන ඉමක් නැති ආකාසයක පා වෙනවා. ඒ අහසේ කාන්තාවන්, කලා කෘති, මාක්ස්වාදය වැනි වලාකුලු උඩ ඔහු ඒ මේ අත අඩි තබ තබා ඇවිදිනවා. කේන්දර, බොහීමියානු ජීවිතයක ඇත්ත යථාර්ථය, සමාජ සබඳතා, යුතුකම්, රැකියා වැනි එකිනෙකට පරස්පර ජීවන ඉසව් දෙස ඔහු බලන සැබෑ දෘශ්ටිය හා එතුනු ගැලවීමට නොහැකි සමාජ දේශපානික යාන්ත්‍රනය ඔහුගේ තර්ක, සංවාද හරහා පාඨකයාට ද ආලෝක ධාරා විහිදුවනවා.
පාසල් සමයේ සිට වසර විස්සක් පමන ඉදිරියට දේශපාලන සංස්කෘතියේ සිදුවන ඇදහිය නොහැකි හා දැරිය නොහැකි සංකීර්නතා පියවරෙන් පියවරට සජීවී අයුරින් දැක්වීමට කතුවරයා සමත්ව තිබෙනවා. සැදැහැ සිතින් වන්දනාමාන කල වාමාංශික පක්ශ දේශපාලනය පය තැබිය නොහැකි ගොහොරුවක් දක්වා  පරිවර්තනය වීමේ සීග්‍රගාමී ගමන අතරේ රවිඳු ප්‍රේම පිපාසිතයෙකු විලසින් ප්‍රේමය මෙන්ම තමාගෙන් බැහැර නොයන දේශපාලන ආවේශය ද දෑතින් අල්ලාගෙන පියාඹනවා. ඒ අතරේ ප්‍රේමයන් මෙන්ම දේශපාලන පරමාදර්ශද ඔහුගේ ඇඟිලි කරු අතරින් බේරි බේරී ඉවතට යාම නවතාගැනීමට සමත්කමක් ඔහු සතුව නැහැ. රවිඳු හරහා මෙන්ම සුධීර හරහාත් විප්ලවකාරී/භීශනකාරී 88-89කැරැල්ලෙන් පසු මෑත වාම දේශපාලන ආවේශයන් වෙනුවෙන් කැපවුනු අවංක පරපුරක ඛේදාන්තය හා පීඩිත වටපිටාවන් ඉතා සූක්ශම අයුරින් නිරූපනය වූ එකම නවකතාව මෙය පමනක්දැයි විටෙක සිතෙනවා. 
ඇත්ත අරමුනක් වෙනුවෙන් තීක්ශන බුද්ධියක් මෙහෙයවූ සුධීර හරහා සරසවි දේශපාලනයේ එක් අන්ධකාර දෝනාවක් අප හමුවේ නිරාවරනය වෙනවා.

තමන්ගෙ කතාව සාධාරන බව ඔප්පු කරන්න සුධීරට හේතු කෝටියක් තිබුනා. රැග් එක මාස දෙකකින් ඉවර වුනාට මොකද ඒ හරහා වගා කරපු ජුන්නන්ගේ දීන කම, සින්නන්ගේ උද්දච්චකම මාස සෙකෙන් සමනය වුනේ නෑ. රැග් එකෙන් පස්සෙත් රැවුල් කපන විදිහ ගැන, අඳින්න පලඳින්න ඕන විදිහ ගැන හැසිරෙන්න ඕන විදිහ ගැන කිසි පදනමක් නැති නීති දාහක් පැනවිලා තිබුනා. නීති කඩ කරන ජුන්නන්ට පොකට් මීටින් තියලා කනේ පාර දෙන්න පවා සින්නන්ට අයිතිය තිබුනා. රැවුල කපා නොතිබීම, කමීස යට නොකිරීම වගේ හේතුවලටත් කනේ පාර හම්බවුනා. කෙල්ලෝ නීති කඩ කලාම කොල්ලෝ උන්ව වට කරගෙන කුනුහරුප ඉවර කලා. ජ්‍යෙශ්ටයෙකුට අයියා නොකියන එක මිනී මැරුමක් වෙන්න පුලුවන් ප්‍රශ්නයක් වෙනකොට අයියලා අක්කලාගේ අනට ප්‍රශ්න කිරීමකින් තොරව හිස නමන්න මල්ලිලා නංගිලා බැඳිලා හිටියා. කැම්පස් ආදර සම්බන්ධතාවල විපරීත ලක්ශන ගැන වෙනම පොතක් ලියන්න දේවල් තිබුනා. හත්ඉලව්වේ මේ මාක්ස් දෙයියන්ගේ අඩවිය.. ඉස්කෝලෙ යන කාලෙ සමාජවාදී ස්වර්ග රාජ්ජය.... ඒ පුන්‍ය භූමිය තලේබාන් කඳවුරක් බව පිලිගන්න සිදුවීමේ දරුනු පරස්පරය මගේ මිත්‍රයාට දරාගන්න අමාරු වුනා.   (100 – 101 පිටු)

නැතිවුන දේවල් ගැන දුක් නොවී ඉන්න තිබ්බා ඒකෙන් රටටවත් වැඩක් උනා නම්. පක්ශෙ දැන් සේරම කෙලවගෙන ඉවරයි. අධ්‍යාපන ප්‍රශ්න ගැන කරපු අරගලවලින් යම් යම් ජයග්‍රහන ටිකක් හම්බවුන එක විතරයි එකම සතුටට තියෙන්නේ. ඒත් අපි සීයක් කලා නම් ප්‍රතිඵලේ එකටත් වඩා අඩු ගානයි. ඒකට හේතු තිබුනා. පක්ශෙට කවදාවත් ඒවා වෙනස් කරන්න ඕන උනේ නෑ. අඩු ගානේ විශ්වවිද්‍යාලවල තියෙන තිරිසන් උපසංස්කෘතියවත් වෙනස් කරන්න අපට පුලුවන් වුනාද? මේ රටේ අද්‍යාපනේ ඇත්ත ප්‍රශ්න ගැන කිසිම විදිහක වැදගත් මතයක්වත් රටට ඉදිරිපත් කරන්න අපට පුලුවන් උනාද? විශ්ව විද්‍යාල දේශපාලනෙන් රටට වැඩත් තියෙන එක විචාරශීලී මිනිහෙක් හදන්න අපට පිලුවන් උනාද?හැබැයි කී දෙනෙක් උපාධි අතහැරියද? අද ඒ හුඟ දෙනෙක් යන එන මං නැතුව අනාථ වෙලා. හරක් වගේ උද්ඝෝශනවලට කොල්ලන්ව දක්කන නිවට උප සංස්කෘතිය නඩත්තු කරන එක විතරයි මෙච්චර කැපකිරීම් කරලා... උපාධි අතහැරලා... මැරිච්ච සහෝදර සහෝදරියන්ව තුට්ටු දෙකට විකුනලා කරපු එකම දේ.....
(259 පිටුව)

දේශපාලන සමාජ සංසිද්ධි වලදි විතරක් නෙමෙයි තමන්ගේ ආත්මීය ප්‍රශ්න දෙස පවා විවේචනාත්මකව දකින්නට රවිඳු ගන්නා උත්සාහය මේ කෘතියෙහි සජීවී බව දෙගුන තෙගුන කරනවා.
මිනිස්සුන්ගෙ හිත් වැඩ කරන්නෙ මහ පුදුම විදිහට විශ්ව. මොන අවුල් මැද උනත් ශාක්‍යා ඈත් වෙච්ච එක ගැන මට මොකක්දෝ කාලකන්නි සතුටකුත් දැනුනා කිව්වොත් කවුද විස්වාස කරන්නේ...? ඒක එයාගෙන් නිදහස් වෙලා අයාලේ යන්න ලැබෙන එක ගැන ඇතිවුනු සතුටක්... අපි මොන කවි, සාහිත්‍ය, සමාජ අරමුනු ගැන කතා කලත් වෙලාවකට මගේ ජඩ ආත්මාකර්ථකාමීකම් ගැන මටම හිරිහිකයි. ඒ සේරම එක අතකින් බැලුවම මමංකාරයේ කොටස් විතරද කියලත් මට හිතෙන වාර අනන්තයි. (265 පිටුව)

සේරම පෙනුම මත රඳා පවතිනවානම් මිනිසුන්ගේ යහගුනයන්ගෙන් ඇති වැඩේ මොකක්ද? අනිත් අතින් පෙනුම සහ ගුනාංග අතර සම්බන්ධයක් තියෙනවා නේද? ශාක්‍යාට මාලතීට තිබුනේ එයාලගේ හොඳ ගති ලක්ශනවලටම ගැලපෙන පෙනුමක් උනාට දැහැමිට තිබුනේ එයාගේ සුහද හිත මිතුරුකම්, ආල නුරා කතාවලට කොහෙත්ම අදාල නැති පෙනුමක්. මිතුරියක් විදියට එයාව ඇසුරු කරන්න පෙනුම කිසි ප්‍රශ්නයක් නොවුනට කාලයක් එයා ගැන ඇතිවෙලා තිබුනු ප්‍රබෝධමත් හැඟීම් ඒ පෙනුම නිසා හෝස් ගාලා නිවිල ගියා. (227 පිටුව)

රවිඳු තමාව විවේචනය කර ගැනීම වගේම විවිධ පුද්ගලයන් හරහා කෙරෙන සංවාද, තර්ක කරගැනීම් හරහාත් අපි අපිම සිරගතව සිටින හා මෙතෙක් අර්ථකතනය කරගත නොහැකි අවුල් වියවුල් ජාලයක් අපටම ප්‍රත්‍යක්ශ කරගන්නට උදව් ලබා දෙනවා.
ඉමක් කොනක් නැති මේ මහ විසාල ලෝකේ තියා මට මගේ පොත් රාක්කෙවත් පරමාදර්ශී විදිහට පවත්වාගන්න පුලුවන්ද? මගේ ජීවිතේ ඇතුලේම මට පාලනය කරගන්න බැරි පරස්පරතා විශමතා කොච්චර තියෙනවද? එහෙම එකේ කොහොමද විවිධ විශම කෝටි ගානක් ඉන්න මෙච්චර සංකීර්න ලෝකෙකට ගැලපෙන පරමාදර්ශී සමාජ ආකෘතියක් හදන්නෙ? එක පැත්තක ප්‍රශ්නෙකට දෙන විසඳුම තව පැත්තක වෙන ප්‍රශ්නෙකට හේතුවක්. හැම විසඳුමකටම ඊට අදාල දුබලතා තියෙනවා. ඒ නිසා අපට කවදාවත් උත්තරීතර පරමාදර්ශී සමාජයක් හදන්න බෑ. මිනිස්සු විතරක් නෙමෙයි ස්වභාදහමත් හැදිලා තියෙන්නේ නපුරට ආකරයක් වෙන විදිහට. ලෝකෙ හැමදාම නරක තමයි ජයගන්නේ. (207 පිටුව)

 මේ විදියට විවිධ සංවාද ප්‍රති සංවාද තර්ක විතර්ක ඔස්සේ සමාජ දේශපාලන ක්‍රමයත්, ප්‍රේමනීය ඉසව්වල සැබෑ ස්වරූපයන්හි වියවුල් භාවයත් ප්‍රශ්න කරමින්ම මේ කෘතිය අපූරු චාරිකාවක් යනවා. මේ සංවාද, ප්‍රශ්න කිරීම් හා කතිකා සියල්ලගෙන්ම නිර්වචනය කල නොහැකි සමාජ යථාර්ථයක සිතුවමක් අපේ සිතේ ඇඳෙන්න ගන්නවා. ඒක සමස්ථාර්ථය හරහා අපට ඇතිවන කැලඹුමක රාවයක් විතරයි.
කෘතිය පුරා ඇත්ත සහ කාල්පනික ලෝකය මතුපිට තලයේම කවලම් වීම දුබලතාවක් කියල මුලින් හිතුනත් අවසානය වෙද්දී ඒකත් එක්තරා විලාසයක් නේද කියලා හිතෙනවා. විමල්, නලීන්ද සිල්වා, ජවිපෙ, දිවයින පත්තර වැනි ඇත්ත ලංකාවේ නාම ගෑවෙද්දීම අප කෙදිනකවත් අසා නොමැති පත්තරවල නම්, දේශපාලඥයන්, ඇමතිවරුන්, පොත්පත් වැනි දේත් ඒ අස්සේම තියෙනවා. එය සත්‍යයත්, ව්‍යාජයත් මතුපිට තලයේම කවලමක් බව මට හිතෙන්නේම ඒකයි.

නවකතාව ආරම්භයේ ඇති අනාගත කාලයේ දේශපාලන ව්‍යාපාරයක නිමිත්ත මේ නවකතාවට ඇතිකරන අභිප්‍රේරනය වැදගත් එකක් නොවන බවයි මට නම් හිතෙන්නේ. ඒක කතුවරයාගේ හිතේ තියෙන සිහිනමය බලාපොරොත්තුවක් බලහත්කාරයෙන් මේ කෘතිය මතට සමපාත කිරීමක් කියලයි මට දැනුනේ. කෘතිය අවසානයෙත් ඒකම අවධාරනය කිරීමත්, රවිඳු වීරයෙක් ලෙස වරනගා තිබීමත් අතිශයෝත්කි සහගත ව්‍යාජ බවක් ගෙන දෙනවා. ඒ කෙසේ වෙතත් සමස්ත කෘතිය පුරා දිවවෙන ලංකාවේ තාරුන්‍යයට ගැලවීමට නොහැකි සමාජ දේශපාලන සංස්කෘතික තත්වයක එක්කරා නර්ව්‍යාජ ඇත්තක් මේ කෘතියෙන් විවේචනාත්මකව හෙලි කරමින් කරන නිර්මානාත්මක ගමන් විලාසය අපූරු බව පිලිගන්නට නම් මට සිදුවෙනවා. 

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...