Thursday, December 5, 2019

ඒ වනතුරු ඔබ ලග ඉන්නට ඇත්නම්..





මං බස් එකට නැග්ග.
අක්කට මැසේජ් එක ගැහුවෙ එහෙම. අක්කට යවන මැසේජ් එකක් ග යන්නෙන් ඉවර උනොත් ඒක අසුබයි කියල මගේ හිතේ මනෝ විකාරයක් පැලපදියම් වෙලා තිබුනා. ඒ නිසාම මැසේජ් එක සංස්කරනය කලා උක්ත ආඛ්‍යාත නිපාත කරනම් ගහලා වෙනස් විදිහකට.

මං නැග්ග බස්  එකට.

අක්ක නගින්නෙ ගම්පහින්. කොටුවෙන් ටිකට් එකක් එයාටත් එක්ක අරගෙන සීට් එක වෙන් කරගෙන මේ පැයභාගයේ ඒ ආසන හිඩැසේ බෑගය තියාගෙන ගමන් ඇරඹුවා.

අඩියෙන් අඩිය බස් එකේ සෙනග පිරෙනවා.
මං මගේ අසුන ගැන හිත තැවෙන භීතියකින් ඉතිරිවෙලා තියෙන අනෙක් අසුන් බලමින් බලමින් ගනිනවා.

අනේ තව කවුරුවත් නගින්නෙපා. මං හිතෙන් යදිනවා මමම මවාගත්තු දෙවියෙක්ට.

මේක මගේ යාලුවෙක්ට වෙන් කරල තියෙන්නෙ. එයා ගම්පහෙන් නගිනවා. ඔයාට ඕන නම් එතකං මේතන ඉඳගන්න. කවුරුම හරි සීට් එක ඉල්ලුවොත් එහෙම කියල ශේප් කරගන්න පුලුවන් වෙයිද? එහෙම කිව්ව ගමන් ඒ මනුස්සය මගේ ඇඟට කඩා පනීවිද?

දහසකුත් කල්පනා මගේ හිස වටා භ්‍රමනය වෙනවා.

දැන් කොහේද?
අක්කගෙන් මැසේජ් එකක්.

මෙතන. මං හිනාවෙවී පිලිතුරු මැසේජ් එක කොටනවා

අක්ක ඔරවන මූනක් එවනවා. මං හිනාව පිටාර ගලන්න නොදී තොල් දෙක තදකරගන්නවා.

මදාවිකාර කොල්ලෙක් ඉස්සරහ දොරින් නැගලා ඇවිත් මගේ සීට් එක දිහා බැල්මක් හෙලාගෙන ඇවිත් මට පිටිපස්සෙ තිබ්බ සීට් එකේ පතබෑවුනා. මට සැනසුම් සුසුමක් පිට උනා. 

තඩි ගෑනු කෙනෙක් ඇවිත් සීට් එකේ අසුන්ගත්තෙ අක්කට කෝල් එකක් ගන්න හදද්දිමයි. මං හදාගෙන හිටපු වාක්‍ය එකක්වත් නොකිය ගිලගත්තා. ගම්පහට තව මිනිත්තු 10ක් ඇති උපරිම. මං හිතින් කඩා වැටුනා හොඳටම.

අක්ක නැග්ගොත් මොනා කියයිද? එයාට සීට් එක දීල මං හිටගෙන යනවා. එහෙම කොහොම කලත් මේ ගමනෙන් බලාපොරොත්තු වුනු සොම්නස, සතුට ඒ එකකින්වත් ලැබේවිද? ඔක්කොම සුන්නද්දූලි උනා නේද?

මේ මං අක්කත් එක්ක  එක සීට් එකක වාඩිවෙලා යන්න පෙරුම් පුරපු පලවෙනි දවස. අක්කට නං ඕවයෙ ගානක් තියේවිද? අපරාදෙ එක සීට් එකක් හම්බ උනේ නැත්තෙ. කයියක්කත් දාන්න. එහෙම කියල නිකං ඉඳී. ඔක්කොම දුක, වේදනාව මට විතරයි.

අක්ක තඩි බෑග්ගෙක මගේ ඔඩොක්කුව උඩින් තියල තඩි ගෑනු කෙනාගෙ මූන දිහා තොල් පෙරලල බැලුවෙ මට කොලොප්පං කරන්න වගේ බැල්මකින්. මං අක්කට සීට් එක දෙන්න නැගිට්ටා.

දෙන්නම හිටගෙන යමු.  තීරනය අක්කගෙ. අපි බෑග් බස් එකේ සිවිලිම් රැක් එකට පටවලා එල්ලිලා කතාකර කර යන්න සූදානම් උනා විතරයි. පිටිපස්සෙ අසුනෙ මදාවිකාර කොල්ලා මගේ අතට තට්ටු කරලා අපිට සීට් එකේ වාඩි වෙන්න කියල ඔලුවෙන්, මූනෙන් කියමින් නැගිටලා පිටිපස්සට ගියා.

වාඩිවෙන ගමනුත් අක්කට හිනා. හොඳටම.

හිතන්නැති අපි කපල්ලෙක කියල. අක්ක මට වැලමිටෙන් අනිමින් කිව්වා.
 මගේ හදවත ඇතුල සීතල වෙලා ගියා.

මගේ මූනෙන් තුස්නිම්භූත බැල්මක් වැටෙන්න ඇති.
අක්ක ඒ දිහා මොහොතක් බලාන උන්නා නිරුත්තරව.


***

බස්සෙකෙන් බැහැල බෝඩිමට යද්දි මං ඒ දවස්වල අක්කට යවන්නම ඕන කියල හිතෙන සින්දුවක අන්තරා කොටසක් ෆෝන් තිරේ උඩ ටයිප් කලා. සින්දුව කියන්නෙ නෙලූ අධිකාරී. අක්කගෙ මූනත් නෙලූගෙ මූනට සමානයි.

සදාකාලිකව ඔබෙ හදවත මට හිමි නැත
කෙටි කලෙකට වුව මට එහි ලොවුතුරු සුව ඇත


අන්තිමට ඒක නොයවා මැසේජ් ඩ්‍රාෆ්ට් එකට දැම්මා.

දැන් ඒ ෆෝන් එකවත්
මැසේජ් එකවත්
අක්කවත් ලඟ නෑ.
සින්දුව තාම හිතේ තියෙනවා.
මතකයන් එහෙමයි.


No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...