අපි කැම්පස්
එකේ දෙවනි අවුරුද්දෙදි මොකක් හෝ ප්‍රසංගයක් කිරීමේ ආසාවක් මගේ හිතේ පහල උනා.
මුලුමනින්ම මේක හිත ඇතුලේ ගොඩනගාගෙන ගියපු එකක්. එක එක සින්දු අරගෙන බැජ් එකේ
කොල්ලො කෙල්ලො අරං ඒකට නාට්‍යානුසාරී රංගනාත්මක නර්තන ඉදිරිපත් කරන්න තමයි අදහස
තිබුනේ. ඒක හරි සාමාන්‍ය හෝ සාම්ප්‍රදායික ආකෘතියක එකක් බව දැන් හිතුනත් ඒ දවස්වල
ඒකට මුලු හිතින්ම තිබුනු කැමැත්ත හිතාගන්නවත් බැරි තරම්.
මුලදි මුලදි
මම ඒක සෑහෙන දවස් හිතේ මව මවා හිටියා. වූස් වලේ පොඩි ස්ටේජ් එකේ සෙනග කට කපල ඉන්න
වෙලාවක මුල්ම සින්දුව ආරම්භ වෙනවා. මම ඇඳගෙන ඉන්නෙ මුට්ට කරගහන කොල්ලෙක් අඳින තාලේ
හම්පඩ වෙච්චි ඇඳුම් කඩමාලු. වේදිකාවෙ තියෙන්නෙ තැනින් තැන ලට්ට ලොට්ට බඩු භාන්ඩ.
පටන් ගනිද්දිම වේදිකාව කට්ට කලුවරයි. මම වේදිකාවට ගොඩ උනත් පේන්නෙ නෑ. වේදිකාව
මැදදි මම ගිනිකූරක් ගහනවා. පොඩි පකිස් පෙට්ටියක් උඩ කුප්පි ලාම්පුව පත්තු කරනවා.
ඔන්න එතකොටම සින්දුව ආරම්භ වෙනවා. ඒ සින්දුවේ මුලින්ම ඇහෙන්නෙ සංගීතය නෙමෙයි.
ලියුමක කෙරෙන වර්ගයේ ආමන්ත්‍රනයක්
මගේම ආදර
සිරියාවි වෙතටයි...
මම අර පකිස්
පෙට්ටිය ලඟ වාඩි වෙලා ලියුම ලියන්න පටන් ගන්නවා. සංගීතය ඉවර වෙලා ගීතයේ පද ආරම්භ
වෙද්දීත් මම පෑන කටේ ගහගෙන මනමාල හිනාවෙන් වචනයක් දෙකක් ලියනවා. නැවත කල්පනා
කරනවා.
සිරියාවි නුඹව
මම කොච්චියෙන් කොලඹ එක්ක යනවා
මේ ඉස්ටෝරුවෙ
අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
නුඹ එව්ව
ලිව්ම මගෙ පෙට්ටගමේ තාම හිනාවෙනවා
අර කොට්ට උරේ
මම ඉඹ ඉඹ තාමත් සුවසේ නිදියනවා.
සිරියාවිට
රඟපාන ගැහැනු ලමයා එක් පසෙකින් එනවා. මම එයාව කොච්චියෙන් කොලඹ එක්ක ආවට පස්සේ
සුද්දන් මුන ගැසෙන, ට්‍රෑම් කාර්වල යන, හෝ ගාන පොකුන පෙන්නනවා වගේ විවිද සිද්දි
වේදිකාව උඩ මැවෙන විදිය සැලසුම් කරල තිබුනා.
මේ සින්දුවේ
නැටවෙන සංගීතය ඒකට ලොකු හයියක් වෙයි කියල මගේ හිතේ ලොකු විස්වාසයක් තිබුනා.
මගේ මේ හීන
ගීත නර්තන ලෝකය විශ්ව විද්‍යාල භූමිය තුල කවමදාකවත් යථාර්ථයක් කරගන්න තරම් හයියක්
මට තිබුනෙ නෑ. මේ ගීතයට අමතරව තව සින්දු හත අටක් මමත් මගේ රූමාගේ අදහසුත් අනූව අපි
ඇතුලත් කරගෙන තිබුනා. ඉවාන් පවුලුශා, මගෙ අමල් බිසෝ වගේ ගීත කිහිපයක් මේ මොහොතේත්
මට මතක් වෙනවා.
වේදිකාවක් මත
යථාර්ථයක් නොවුනට මේ ගීත කිහිපයම හිතේ සැලසුම් කල නාට්‍යානුසාරී ස්වභාවයෙන්ම තාමත්
ඉඳහිට මගේ මතකෙට එනවා. විශේශයෙන්ම මුලින්ම මම යොදාගන්න සැලසුම් කල ගීතය ඒ අතරින්
ප්‍රමුඛ එකක්.
මම ආසම කරන්නෙ
ඒ සින්දුවේ අවසානයට. රොඩ්නිගෙ උපහාසාත්මක හෝ හාස්‍ය මුසු ගැමි කටහඬ අන්තිම හරිය
වෙද්දි සංවේදනාත්මක එකක් බවට පත් වෙමින් තියෙනවා.
මම ඔක්කොම
රංගන දාල ඇවිත් ආපහු පකිස් පෙට්ටිය ලඟ නැවතිලා පෑන කටේ ගහගෙන ඉන්නවා. එතැන ඉඳන්
ලියුම ලියාගෙන යන බව අභිනයෙන් පෙන්නනවා.
සිරියාවි නුඹව
මම කොච්චියෙන් කොලඹ එක්ක යනවා
මේ ඉස්ටෝරුවෙ
අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
නුඹ නාඩ ඉඳින්
මගෙ රත්තරනේ මම එන පෝයට එනවා
වේදිකාවෙ
විදුලි බුබුලු ඔක්කොම හෙමීට නිමිලා මේ වෙද්දි දැල්වෙන්නෙ අර මුලින් පත්තුකල කුප්පි
ලාම්පුව විතරයි.
මේ කුප්පි
ලාම්පුවෙ තෙල් ටික ඉවරයි දැන් මම නවතිනවා
ඒ පහන්
දැල්ලත් නිමිලා ගිහින් වේදිකාව තිත්ත කලුවර වෙනවා.
මේ ආදර පුංචි
අප්පු.
No comments:
Post a Comment