Sunday, December 15, 2019

මන්දා නාලනී?








ශිහාන්ගෙ කතාවත් එක්ක ආයෙ සංවාදයක් ඇවිලිලා නිමිල යමින් තිබෙන වටපිටාවක මට ආයෙ අලුත් කෝනෙකින් ඒ දිහා බලන්න හිතුනා. ශිහාන්ගෙ කතාවෙ බොහෝ තැන් වලට එකඟ වෙමින්ම ඔහු ඇතුලත් නොවූ කලාපෙකට ඇතුල් වෙන්නයි මගේ සූදානම.

මෙතනදි ශිහාන් කියනවා ඔහු නව පරපුරේ ගායකයෙක් විදිහට සංගීත ප්‍රසංගෙක හවුස් ෆුල් කරන්න කොයිතරම් වෙහෙසෙන්න ඕනද කියලා. නමුත් නන්දා මාලනී සරල ලීලාවකින් ඇවිත් ගයද්දි වාඩිවෙන්න සීට් නැති වෙන බවත් ඔහු මතුකරනවා.

ඒ වගේම පැරනි ගායන පරපුරේ හෝ වැඩිහිටි පරම්පරාවේ නිර්මානකරුවන් නිරන්තරයෙන් මතක් කරන කරුනු අතර මෙවැනි අදහස් තිබෙනවා.

ඒ කාලෙ අපි සින්දු කියද්දි මෙච්චර චැනල් තිබ්බෙ නෑ. දැන් අයට කොච්චර චාන්ස් තියෙද
අපිට තිබුනු මාර්ග හරි සීමිතයි.
අපි සෑහෙන කල් අභ්‍යාස කරල, හදාරල තමයි මේ තැනට ආවෙ.
අපි සින්දු ඇහුවෙ ගුවන් විදුලියෙ වෙලඳ සේවෙන් විතරයි. ඒකට අද ඉන්ටර් නෙට් එකෙන් කොච්චර සින්දු අහන්න පුලුවන්ද?
එදා අපිට තිබුනෙ නැති චාන්ස් මේ අයට කොච්චර තියෙද? ඒත් කෝ එයාල ඒවගෙන් ප්‍ර යෝජන ගන්නවද?

නමුත් ඉතා සංවිධිතව බැලුවොත් මට හිතෙන්නෙ මේ මාර්ග දෙකම එකිනෙකට නොදෙවනි ලෙසම දුශ්කරයි කියලයි. කිසිම මාර්ගයක් නැති වීම වගේම මාර්ග බහුල වීමත් මගියෙක්ගෙ ගමනේ දුශ්කරබව ඇතිකරන කාරක කියලයි මම විස්වාස කරන්නෙ. ලෝක මට්ටමින් තාක්ශනය, සන්නිවේදනය වගේ අංශවල අධික දියුනුව හමුවේ නව පරපුරට නිර්මානකරුවන් විදිහට ඉස්මතුවෙන්න කොහොමටත්ම ලේසි නැහැ. අනිත් අතට අද ඇතිවෙලා තියෙන කාර්ය බහුල ජීවන ප්‍රවාහය විසින් නිර්මානකරුවෙන් එකතැන තබාගෙන ස්වයං අධ්‍යනයක් කරන්න තරම් හිතවත්, පහසු තැනක් වෙන්නෙ නැහැ. අතීත නිර්මානකරුවා නිවසට වෙලා හුදකලාව පොත් කියවමින්, පරිකල්පනය කරමින් අධ්‍යනය කිරීම ඔවුන්ගේ දස්කමක් පමනක් නෙමෙයි. මේ සියල්ලට අදාල යුගය, පරිසරය නිසැකවම බලපෑමක් ඇතිකර තිබෙන බවද පේනවා.

එකම එක චැනල් එකක් විතරක් තියෙන, වාදනය, ගායනය, පද රචනා ආදී දේ පහසුවෙන් එක්කාසු කරගන්න බැරි වටපිටාවක තමන්ගෙ හඬේ ප්‍රබලත්වය ජනතාව අතරට ගෙනයන්න තියෙන අපහසුවටම නොදෙවනි අපහසුවක් ගායනා, වාදන, සුලබ අනන්ත අපරිමාන තියෙන පරිසරයක් තුලද තියෙනවා. ඒ අතින් නව නිර්මානකරුවන් සිටින්නේ තාක්ශනික, සන්නිවේදන දැවැන්තව  දියුනු වූ වටපිටාවක දුශ්කර අඩවියක් පසුකරමිනුයි. ඒ දුශ්කර බව මීට දශක තුන හතරක පැවති දුශ්කර බව හා සැසඳීමෙන් මැනීම සාධාරන මිනුම් ක්‍රමයක් නෙමෙයි.
ශිහානුත් මතු කරන විදිහට ආයතනික වානිජ ව්‍යුහයන් වගේ ඒවත් මේ දුශ්කරබව තීව්‍ර කරනවා. ඉතින් ලේසියි වගේ පෙනුනට ගමන කොහොමටත් ලේසි නැහැ.

ශිහාන් නන්දා මාලනී නිදසුනක් විදිහට ගැනීම සහ ඇගේ ගායනා විලාසයට ප්‍රේක්ශකාගාරය මන්මත් වීම ගැනද වෙනත් තාර්කික කාරනාවක් තියෙනවා. ඇත්තටම මිනිස්සු නන්දා මාලනීගේ සින්දු අහන්න යන්නෙ ඒ කටහඬට අසීමිතව ආදරය කරන නිසාද? ඒකට බලපාන්නෙ ඒ හඬේ මිහිරියාව විතරමද?

මං හිතන්නෙ ඒ වෙන්වෙන් සංකීර්න හේතු දාමයක් එකිනෙක පැටලී තිබෙනවා. නන්දා මාලනී අතීතයේ ගායනය තුල මෙන්ම හඬ පෞර්ශයක් තුල ඇතිකල ප්‍රතිරූපය එතනදී දැවැන්ත කාර්යයක් ඉටුකරනවා. මෙතනදි නන්දා මාලනී කියන්නෙ ලස්සන කටහඬක් තියෙන පැරනි ගායිකාවක් විතරක් නෙමෙයි. යම් සලකුනක්. යම් මුද්‍රාවක්. යුගයක් ඈ නියෝජනය කරනවා. ( ඉතිහාසය දිහා බැලුවම පේනවා  සමාජීයව මෙවැනි මුද්‍රාවක් ඇතිවෙන්න අහේතුක සිද්ධි මෙන්ම සහේතුක සිදුවීම්ද බලපානවා) එසේම ඇගේ මුද්‍රාවට ශිහාන්ම කියන විදිහේ තනි සුදු ඇඳීම, සරල චාම් බව වගේ ඒවත් සූක්ශමව නන්දා විසින් අදාල කරගෙන තියෙනවා. නන්දා මාලනීගේ ප්‍රසංගයක් වටා පෙලගැසෙන්නේ මේ සමස්තයේ එකතුව විසින් ඇතිකරන උත්කර්ශය. ඒක හරියට මනමේ බලන්න පේරාදෙනි වලේ සෙනග පිරෙනවා වගේ වැඩක්. මොකද මම දකින්නෙ මනමේ කියන්නෙ දැන් එහෙම මිනිස්සු මහා පැහැදීමකින්, ආසාවකින් පොරකකා බලන වර්ගයේ නාට්ටියක් නෙමෙයි. මනමේ කියන්නෙ ලංකාවෙ නාට්‍ය ඉතිහාසයේ සලකුනක්. ඒක විසින් ඇතිකරපු අධිපති කතිකාව විසින් මනමේ ඉතිරෙන ප්‍රේක්ශකාගාරයක් බවට පත් කරනවා. ගොඩක් අය මනමේ බලන්න යන්නෙ මමත් මනමේ බලල තියෙනව කියල කියන්න වෙන්න ඇති. නැත්නම් නාට්‍ය සිලබස් එකක ඒ නාට්‍ය තියෙන නිසා වෙන්න පුලුවන්.

නන්දා මාලනීට, අමරදේවට වගේ අයටත් වෙන්නෙ මේක. නැත්නම් නව පරපුරේ ගායකයන්ගෙ හඬ හෝ නන්දා මාලනී අතර හඬක් විදිහට මහා බලපතල උස් පහත් බේදයක් තියෙනව කියල මම නම් හිතන්නෙ නැහැ.

කටහඬ ඊට වඩා සියදාස් ගානක් හොඳ උනත් අද බිහිවෙන ගායිකාවකට නන්දා මාලනියක් වීම ලේසි නැහැ. අනෙක් අතට නන්දා මාලනී මේ යුගයේ බිහි උනත් එයාට රියලිටි තරඟයක වට කිහිපයක් ගිහින් ඉවත් වෙන්න සිදුවීම ද විය හැක්කක්. ඒ වගේම එයාට ගායිකාවක් විදිහට නාමකරනය වෙන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා.

රියලිටි තරඟවලින් කැපෙන දක්ශයන්ට කරන්න තියෙන්නෙ මන්දෝත්සාහී වෙන එක නෙමෙයි. ක්‍රමේට බැන බැන කැලෑ වදින එකත් නෙමෙයි.

නන්දා මාලනීල මේ තැනට ආවෙ ෆයිට් කරලා. ඒ තත්කාලීන යුගය එක්ක සෑහෙන අරගලයක්, මහන්සියක්, කැපකිරීමක් ඔවුන් අතින් වෙන්න ඇති.

ඉතින් අදත් ඒක එහෙමමයි. යුගය වෙනස්. කැපවීම, අරගලය, මහන්සිය අර විදිහමයි.  
වැඩේ අමාරුයි. ලේසියි වගේ පෙනුනට නවක නිර්මානකරුවා ඉන්නෙ ඊටත් වඩා අසීරු අවධියක.



No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...