ඔෆිස් එකේ රේඩියෙක දාලා. අපි ඒක අහගෙන වැඩ.
කාගෙන්වත් හ්ම් හඬක්වත් නෑ.
ලංකා ඉතිහාසයේ එක කාර් එකක් විතරක් තිබ්බ රජතුමා
කවුද?ටාසන් බාප්පගෙ වගේ විකට කටහඬක් එහෙම අහනවා.
කවුද? එක කාර් එකක්?වන්කනාසික තිස්සද? සාමාන්‍ය
කටහඬ අයිති නිවේදක මනුස්සයගෙන් එන්නෙ ප්‍රශ්නකාරී බවක්.
කාවන්තිස්ස. අර කටහඬ උත්තර දෙනවා. කා වන් තිස්ස.
හාත්පසින් සිනා හඬක් නොනවත්වා ඇහෙනවා.
විකට හඬ - හරි එහෙනම් මේකට කියනවකො. තම පෙම්වතිය
බාගෙට ඇඳුම් ඇඳගෙන පාරේ යන බව කියන සින්දුව මොකක්ද?
නිවේදක - ම්...හරි. ඔබ තෙමෙයි කියා බයයි එකනෙ..
විකට- නෑ නෑ.. අඳුර අඳුර මගේ.. සොඳුර සොඳුර මගේ
ඒක..
නිවේදක - ඈ.. ඒ කොහොමද?
විකට - ඇයි ඒකෙ කියන්නෙ නොයනු මැනවි මා දා..
තනිකර එලියේ.. සභාවේ සිනා.. තනිකර එලියේ..
ඒ හිනා හඬ වැඩිවෙනවා. ඔෆිස් එකේ අයටත් ඒකටනං බකස්
ගාල හිනා ගියා. හිනාව තුනී වෙද්දි ඒ සින්දුව රේඩියොවෙ ප්‍රචාරය උනා.
ප්‍රියා කියන්නෙ මම ආසම ගායකයෙක්. ඒ සින්දුවලට ප්‍රියාගෙ
වොයිස් එකෙන් එන හැඟීම හරි තාලය හරි නිසා ඒක අපිට හොඳටම දැනෙන්න ගන්නවා. අනිත් අතට
ඒවයෙ තියෙන අමුතු වාග් මාලාව. රෝමාන්තික ගතිය.
පාසල හැර අප වෙන්වීගියා
මතක සේයා මවා
ඔබ ලියු දේ තියා - කී දේවල් පවා
සුලඟේ -විසිරී - දේ දුන්න වගේ...
මාගෙ සැමරුම් පොතේ සින්දුවේ මං ආසම තැන එතන. ඒ සින්දුවල තාලය අදින
හැටි නැවත අහන්න හිතෙන තරම්.
ප්‍රියාගෙ සින්දුවලට මං ප්‍රිය කලේ මොන කාලෙ
කොහොමද කියල මට නිශ්චිතව කියන්න අමාරුයි. මේ මොහොතෙ මතක්වෙන මතකෙ ඈතම සීමාව සුනාමි
ඇවිත් මාස දෙකකට විතර පස්සෙ යාන්තම් අටවල තිබ්බ ගාල්ල බස්ටෑන්ඩ් එකේ නිතරම දාල
තිබ්බ ලවුඩ්ස්පීකරේකින් ඈත රන් විමන් තුලින් සින්දුව අහපු මිහිරියාව මතක් කරගන්න
පුලුවන්. එතනින් පස්සෙ එක එක මොහොතවල් වල එක එක විදිහට ප්‍රියා මගේ ප්‍රියතම ගායක
ලිස්ට් එකේ ඉහලින්ම රැඳිල ඉන්නවා.
කොහේදි හරි සින්දු කියන්න සෙට් උනොත් මම ප්‍රියාගෙ
එකක් කියනවමයි. තරමක් අතිශයෝක්තියට බර කරල ප්‍රියාගෙ කටහඬ අනුකරනය කරන්නත් මට
පුලුවන්.
මේ සටහන අවසන් කරන්න මම අරගන්නෙත් ප්‍රියාගෙ
සින්දුවලින් මාව වෙනස්ම විදිහකට කලඹපු මතකයක් එක්ක පැටලිච්ච සින්දුවකින්.
දැයට කිරුල ප්‍රදර්ශනය. තිබ්බෙ නුවර ටවුන් එකේ.
අපි කැම්පස් ලමයි සෙට් එකක් වීදි නාට්‍ය කෙරුවා. කුලියට. ඒ දවස්වල හැටියට අපිට හොඳ
ගානකුත් ගෙව්වා.
නාට්ටි ඉවරවෙලා සෙනඟ ගොන්න අස්සෙ තෙරපි තෙරපී
යද්දි ඈත වීදි කෙලවරක වයසක, වැරහැලි මනුස්සයෙක් ඩොල්කියක් ගගහ ප්‍රියාගෙ සින්දුවක්
මුලු ඇඟෙන්ම කියනවා. මාව මොහොතක් එතැන නතර කෙරෙව්වා ඒ ගායනය විසින්.
මේ වයසට ගැලපෙන්නෙම නැති සින්දුවක් ඒ මනුස්සය
තාලෙට හැඩේට කියනවා. ඒ සින්දුවට දෙන්න පුලුවන් වෙනත් හැඟීමක් මට මෙතෙක් මුන ගැසිල
නෑ.
සෙනඟ තෙරපි තෙරපී ප්‍රදර්ශන කුටි, වෙලඳ කුටි ගානෙ
යන අස්සෙ අර මනුස්සයා ප්‍රියා වගේම කොන්ඩෙත් අවුල් කරගෙන සින්දුවක් කියනවා.
ආපසු එනවා...
මගෙ ගත ඉබි ගමනේ.. ඔබ ඈතක රඳවා..
කාට කියන්දෝ... කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්...
No comments:
Post a Comment