Wednesday, September 27, 2017

කැලඹෙන ජීවිතේ පතුලත - බොරදිය පොකුන



මං බොරදිය පොකුන මුලින්ම බැලුවෙ හෝල් එකේ. හරියටම ෆිල්ම් එක හෝල් එකට ආපු දවසෙ. හරියටම 2015 පෙබරවාරි 14. ආදරවන්තයින්ගෙ දවසෙ. තනියම.

එදා ඒක හොඳටම වැදුන උනත් පැය දෙකහමාරක් තිස්සෙ දිවෙන මේ සංකීර්න කතා තේමාව දිහා ටිකක් සංසුන්ව නොබල යමක් ලියන්න මොකක්දෝ බයක් නැත්නම් චකිතයක් හිතේ තිබුන. යූ ටියුබ් එකේ ෆිල්ම් එක තියෙනව කියල දැක්කට පස්සෙ ඒක බැලුවම කලින් තිබ්බ සැක සංකා බය ඔක්කොත අතුරුදහන් වෙලා බොර පෑදිලා දිය පැහැදිලි වෙන්න පටන් ගත්ත.

මට නම් මේක හැම අතින්ම විශේශිත චිත්‍රපටියක්. මේ වගේ කතා තේමාවක් මං වෙන මොනම කලා මාධයෙකින්වත් දැකල අහල තිබුනෙ නෑ මීට කලින්. අනිත් එක මේ තරම් සංකීර්න මිනිස් හැඟුම් වල ඇතුලාන්ත එක්කම ඒවාට හිමි සමාජ හිමිකම ගැන කතිකාවෙදි චිත්‍රපටියෙ නිර්මානකරුව ඉන්නෙ සෑහෙන ඉදිරියෙන් කියල මට හිතෙනවා.   

චිත්‍රපටියෙ ආරම්භයේ ඉඳන්ම ගලායන කතා විලාසයේ එකම සිදුවීමක්වත් අහක දාන්න බැරි තරම් කතාවට ඓන්ද්‍රීයවම සම්බන්ධයි. එසේම සෑම සිදුවීමකම අතිශය සියුම් තැනක් පවා කතාවේ ඉදිරිය සමඟ දක්වන්න සම්බන්ධය චිත්‍රපටය අවසානයේදී ප්‍රේක්ශකයාව මවිත කරවනවා. කම්පනය කරවනවා. නිර්මානකරුවා මේ හැම රූප රාමුවකම චරිත ස්ථානයත කිරීමට විතරක් නෙමෙයි ඒ රූපවල පසුබිමෙහි ඇති රූප,ශබ්ද, ඡායා මෙන්ම චරිත කතාකරන දෙබස්වල ඇති ව්‍යංගාර්ථ ආදිය එක්ක ලොකු ගනුදෙනුවක් කරන්නට වෙහෙසෙන බවක් පේනවා. මේ හැම දශමයක් වෙතම විශාල බරක්/ පලල් අවධානයක් දෙන්න තරම් නිර්මානකරුවා තමන්ගෙ නිර්මානය කෙරෙහි දක්වන ලද අවධානය ගැන නම් පුදුමයි.  



ප්‍රධාන චරිතය වන ගෝතමීත් ඇගේ යෙහලියක වන රූපයෙන් සුන්දර මංගලාත් අතර දිවෙන පරස්පර සම්බන්ධය රූපකාත්මක සම්බන්ධයක්ද කියලත් වෙලාවකට හිතෙන්න ගන්නවා. ගෝතමී ඉන්නෙ අවලස්සනේ අන්තයේ වන අතරේ මංගලා ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය වය සුන්දරත්වයේ ඉහා ඉවුරේ කරනම් ගසනවා. මේ ද්වි විරෝධී රූපකායන්ට මැදිව සුවිනීතාට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.

කලු කැත ස්වභාවය විසින් හිමිවන සමාජ හිමිකම අතරින් ගැටෙමින් හා මැඩෙමින් යන ගෝතමී ඒ නිසාම රලු පරලු වූ ප්‍රචන්ඩකාරී පලිගන්නාසුලු යකඩ ගැහැනියෙක් බවට පත් වෙන අතරේ සුන්දරත්වය නිසාම මංගලා සෙල්ලක්කාරී අහංකාර විනෝදකාමී, අනෙකා නොතකන උද්දච්ච කෙල්ලක් වෙනවා. එකිනෙකාගේ  බාහිර රූපස්වභාවයන්  පුද්ගලාභ්‍යන්තරය සමග අවියෝජනීය  සම්බන්දයක් පවත්වන අතරේ ඉන් ඔබ්බට පවතින සමාජ ජීවිතයට ද බලපෑම් කරන්නට හා එය කලතන්නට හේතුවන බව ද චිත්‍රපට නර්මානකරුවා අපට කියන්නට වෙහෙසෙන්නේ?

බොරදිය පොකුනේ තවත් විශේශත්වයක් වෙන්නෙ ඒක බහුමානීය කියවීමකට ලක් කරන්න පුලුවන් වීමයි. ගෝතමීටත් ඇගේ යෙහෙලියන්ටත් අත්වන ඉරනම මොනතරම් සංකීර්න සමාජ හා ආත්මීය ක්‍රියාවලියක් ද යන්න විමසා බැලීමක් විදියටත් 80/ 90 දශකවල අපේ රටේ සමාජ දේශපාලනයේ කැපීපෙනෙන භූමිකා වූ සොල්දාදුවන් සහ ගාමන්ට සේවිකාවන්, විශ්වවිද්‍යාල සිසුන්, විදෙස් ශ්‍රමිකයන්, දරුවන් මහ මග දමා යන මව්වරුන්වන් ආදී නොයෙක් ස්ථරවල තරුන පරපුරේ ඛේදනීය ඉරනමක සවරූපය විදහා දැක්වීමක් විදියට ගන්නත් පුලුවන්.

චිත්‍රපටිය අවසන් උනාට පස්සෙ අපට ඉතුරු වෙන්නෙ මොකක්ද? හිස් කමක්ද? දුකක් ද? වෙහෙසක්ද? ජීවිතය පිලිබඳ තේරුම් ගැනීමක් ද? මට නම් ඒක නිශ්චිතව කියාගන්න බැරි බර හැඟුම් කන්දරාවක් විතරයි. චිත්‍රපටිය ගැන කාටහරි කියන්න ඕන උනත් ඒක මොන විදිහෙ කතාවක් ද මොකක්ද සිද්ධ වෙන්නෙ කියල කියාගන්න බැරි, එහෙමත් නැත්නම් කිව්වත් නියම තත්වය වටහල දෙන්න බැරි ජීවිතය පිලිබඳ මහා ලොකු දාර්ශනික කතාවක් බවට පත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය චිත්‍රපටිය ජීවිතය තරම්ම බරයි. සංකීර්නයි.

සුමිත් නාලක පෙරේරා.

Monday, September 25, 2017

අම්මයි තාත්තයි වහල උඩ




වෙනුරගෙ කෙටිකතා පොත ගොඩගේ සම්මාන උලෙලේ හොඳම කෙටිකතා පොත බවට පත් වෙලා. ඒ පොත ගැන මීට මාස ගනනකට කලින් වෙනුරට ලියා යැවු පුද්ගලික අදහසක් පොදු අවකාශයේ පල කිරීමට ඒ නිසාම මට සිතුනා. වෙනුරට සුබ පතමින්ම ඒ සටහන මෙසේ පල කරනවා.




හිතවත් වෙනුර,

ඔබේ කෙටිකතා පොත කියෙව්වා. ඒ ගැන මගේ අදහස් ඔබ වෙත ලියා එවීම මොනවිදියකින් හෝ ප්‍රයෝජනවත් වෙතැයි සිතනවා. මේ උත්සාය ඒ වෙනුවෙනුයි. මේ මගින් ඔබට යම් යහපත් පෙලඹීමක් ලැබෙනවා නම් මා සන්තෝස වෙනවා.

පලමු කොටම මේ තරම් ඉක්මනින් කෙටිකතාපොත තැපෑලෙන් මා වෙත එවීම සම්බන්ධව ස්තූතියි. එය මා පිලිබඳ ඔබ තැබූ විස්වාසය තහවුරු කරන්නක් බව මේ මොහොතේදී මට හැඟෙනවා. කොටින්ම මා සමඟ දැඩි ඇසුරක් නොතිබී වුවත් ඔබ මා කෙරෙහි තැබා ඇති පැහැදීම ගැන අවංක සතුටක් නැත්නේ නැහැ.

අම්මයි තාත්තයි වහල උඩ. ඒක ආකර්ශනීය නමක් බව කියන්න ඕනෑ.  ඔබේ නිර්මාන කියවීමෙන් මට එක දෙයක් අවබෝධ කරගත හැකි උනා. එනම් ඔබට හොඳ ලිවීමේ ක්‍රමයක් පවතින බව. පැහැදිලිවම එය ඔබට අනන්‍ය වූ විලාසිතාවක් වැනියි. ලංකාවේ නිර්මානකරුවන් අතර බහුතරය ලිවීමේ දෙය (අන්තර්ගතය) පිලිබඳ විනා ලිවීමේ විදිය(ආකෘතිය) දෙස විශාල අවධානයක් යොමු නොකරන බවයි මම අදහන්නේ. නමුත් ඒ අතරින් ඔබ විශේශිතයි. ඔබට කතා කීමේ විලාසයක් තියෙනවා. ඒක රසවත්. පාඨකයාව ග්‍රහනය කරගැනීමට තරම් වැදගත් මාවතක් එයින් විවර වෙනවා.

සියුම්ව අධ්‍යනය කලොත් ඔබේ සෑම කෙටිකකාවකම වගේ ආකෘතියේ පොදු ලක්ශන කිහිපයක් දැකගත හැකියි. නිර්මානකරුවෙක් විදියට මමත් යමක් කියන විදිය ගැන උවමනාවටත් වඩා සිතන නිසාද මන්දා මගේ අවධානය ඒ පෙදෙසට යොමුවීම වැඩියි වගේ. එකක් තමයි ඔබේ කෙටිකතා බොහමෙයක් ආරම්භ වන්නේ අසම්බන්දිත දෙබසකින් හෝ සිදුවීමකින්. ඒක ඉතා කෙටි විස්තර කැටියක් වගේ. ඉන් අනතුරුව ඔබ කතාව මැද්දට පනිනවා. ඇතැම් විට ඒ ඒ පාර්ශව ඔස්සේ කතාව ගලාගෙන යන්නට ඉඩ සලස්සනවා. විවිධ කෝනයන්ගෙන් එක නාබියක් වෙත කතාව දිශානතිගත කරනවා.

සමහර විට ඔබ නිරතවන රැකියාවේ අත්දැකීම් ඔබේ නිර්මාන දිවිය හැඩ ගස්සනවා ඇති. නමුත් මම ඒ ගැන වඩ වඩා කල්පනා කරන්නේ නැහැ. ඔබේ කතාවල අන්තර්ගතයන් කොහෙන් ආවත් මට කමක් නැහැ. මේ කෘතිය තුල මා වඩාත් ඇලුම් කරන කතා දෙක තුනක් තිබෙනවා. පලමුකොටම ගවුම. මම ඒ කතාවේ ගලායාමට අවංකවම කැමතියි. කතාව කියාගෙන යද්දී මම බයත් උනා මේකට බලහත්කාරී සමාජ විවේචනයක් ගෙනවිත් චොර වෙයිද කියලා. නමුත් එහෙම නැහැ. මේ කතාවේ ඒ ඒ චරිත ක්‍රියාකරන ආකාරය මනස්තාන්තයි. සහ ඔවුන්ගේ දෙබස්වලින් හෝ සිතැඟි මගින් ඔවුන්ගේ සංකීර්නතා හා සමාජ විශමතා අපූරුවට හෙලි වෙනවා. මට මුලින්ම හිතුනේ මේකෙ සර් විසින් අර ලමයට අතවරයක් කරල කතාව ඉවර වෙයි කියල. එහෙම උනා නම් මේක තවත් එක් කතාවක් විදියට විතරක්  මට දැනෙයි. අර කටු කම්බි වගේ දේවල් සංකේත විදියට භාර ගත්තොත් ඇතැම්විට සමහර පාඨකයෙකුට එහෙම හිතෙන්නත් බැරි නැහැ. නමුත් මම වඩාත් ඇලුම් කරන තැන එතැනයි. කටුකම්බි නිකම්ම කටු කම්බි වෙන්න බැරිද? ගවුම ඉරීයාම ඇත්තටම ගවුම ඉරීයාමක් වෙන්න බැරි නැහැ නේද? එතකොට ගවුම ඉරී යාමෙන් වෙනත් කෙනෙකු තේරුම් ගන්නේ වෙනස් දෙයක්. අපේ කලා කේශ්ත්‍රය තුලත් ගවුම ඉරී යාම සලකන්නේ අතවරයක් උනා, දූශනය උනා වගේ පොදු උපමාවන් සඳහා පමනයි.( එය හරියට කාන්තාවක් වමනෙ දැම්මම ගැබ් ගැනීම සංකේතවක් කිරීම වගේ නැත්නම් ටයර් සෑයක් ගිනිගන්නව කියන්නේ 89 භීශනය සංකේතවත් කිරීමක් වගේ පොදු සම්මත සංකේතයක් ලෙස නාමකරනය වෙලා)මෙතනදී ගවුම ඇත්තටම ඉරී යාමෙන් නැවතෙනලෙස මට හැඟීයාම රසවත් යයි මම කිව්වෙ ඒකයි. එතනදී නිර්මාකරුවා විදියට ඔබේ අරමුන මොකක් වුවත් මට එය අදාල නැහැ. මොකද මම එය කියවද්දී ඒ කියවීම මගේ මිස ඔබේ නොවෙයි.

සහ ඒ කතාවේදී ඔබ ඒ ඒ චරිත ජීවත් කරවන විදිය විශිශ්ටයි. ඒ හැම චරිතයකටම ආත්මයක් තියෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම් දෙබස් හා සිතැඟි තුලින් වඩා සජීවී කෙරෙනවා. ඇත්තෙන්ම මට ඒ ඒ චරිත අභ්‍යන්තරයේ ඇති සංකීර්න මනෝභාවයන් පිලිබඳ හැඟෙන්න ගත්තා. සර් මෝටර්බයිසිකලයෙන් ගෑනු ලමයව අරගෙන යන හැටි, බෙහෙත් අරගෙන දෙන දේවල් ආදිය. ඒ කතාවට මම ඇත්තටම ආදරය කරන්නේ එහි අවංක ජීවාත්මයක් ඇතැයි මට හැඟෙන නිසායි.
දෙවැන්න ධනවාදය. මේ මාතෘකාව දකිද්දී කතාව කියවන්න අපුල වගේ හිතුනත් ඇත්තෙන්ම කතාව රසවත්. මේකත් අර ගවුම වගේම නිශ්චිත දිශානතියක් වෙත හෝ වටකුරු අවසානෙක් කරා අපව රැගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ චරිතයන් ඔවුන්ගේ හීන, අපේක්ශා හා ක්‍රියාවන් ඔස්සේ විසුරුවන්න ඔබ දක්ශ වෙලා. මම නිරන්තරයෙන් කැමති එවැනි ක්ශතියක් සහිත අවසානයකට. අපේම කුඩා ජීවන සිදුවීම්වල සියුම් පෙදෙසක් අපූර්ව විදියට ගවේශනයක් වගේ ඒක.

මාධවී ගිරවියගේ කතාවත් ඒ තරම්ම රසවත්. ඇත්තෙන්ම ඒ තුල ඔබේ භාශා ශෛලිය වගේම පරිකල්පන ඥානයත් හොඳින් කැපී පෙනෙනවා. එය කියවද්දී මගේ සිවිවිලි සානුකම්පිත හැඟීම් වලින් ඇලලී ගියා. කොටින්ම ඒ ඒ ගිරවුන්ගේ ස්වභාවයන් ඔබ කෙටිම කෙටි කතාවක් තුලට මුසුකරන ආකාරය ගැන මට පුදුමයි.
සෙසු කතා ඒ තරම්ම මාව කැලඹුවේ නැහැ. විශෙශයෙන් මේ පොතේ පලමු කතාවට මම ඒ තරම් කැමති නැහැ. කොටින්ම ඇමතිවරු සම්බන්ධකරගත් ඍජු දේශපාලනික චරිත විචේචනය කරන කතන්දර වලට මම ස්වභාවයෙන්ම කැමති නැති නිසා වෙන්න ඇති. එසේම ජනමාධ්‍ය විවේචනය හෝ වෙනයම් සමාජ සංස්ථා විවේචනාත්මකව දක්වන සමහර කතා මට දැනුනේ නැති තරම්. මට හිතෙනවා ඒවා ගලායන විලාසිතා නව්‍ය වුවත් ඒවායෙගි සාරය තවදුරටත් මාව කුල්මත් කරන්නේ නැති බව. ගැන්සියේ කොල්ලෙක්, අන්දරේ එනකල්, කෝච්චිය කලුවර තරුව වගේ කතා විශාල වශයෙන් මාව තිගැස්සුවේ නැහැ.

ඉතින් ඔබේ කතා එකින් එක සියුම්ව ගෙන විවේචනය කිරීම කොහෙත්ම සාධාරන නැහැ. සහ මම දන්නවා නිර්මානකරුවෙක් සිය නිර්මාන බිහි කරන්නේ කොතරම් වැර වෑයමෙන්ද යන වග. එනිසා ඔබේ නිර්මාන දෙස බලන තවත් එක් කොනයක් පමනක් බව සිතන්න.

වෙනුර, සත්තකින්ම මම කැමති මිනිසුන්ගේ අපූර්ව ගති පැවතුම් වදනින් විස්තරකල නොහැකි ඔවුන්ගේ අරුම සහගත ජීවන විලාසයන් ගෙනහැරපාන කතාවලටයි. එසේම අන්තර්ගතානුවාදී සාහිත්‍යයකටද මම මූලිකවම කැමැත්ත දක්වනවා අඩුයි. පැහැදිලිවම අප නිර්මානකරුවන් විදියට අපේ නිර්මානය ඉදිරිපත් කිරීමේ ස්වභාවය ගැන සවිඥානික වෙන්න ඕනෑ. නැතිනම් පුවත්පත්වල සත්‍යකතා පිටු පවා නිර්මාන බවට පත්වෙන්න ඕනෑ. අපේ නිර්මාන එතැනින් වෙනස් වන්නේ අප කලාත්මකව ඒව් පවසන්න දරන වෙහෙස නිසා නේද?

මෙතැනදී ඔබේ කතාවල බොහොමයක් සිදුවීම් සහ දෙබස්වල විදියට මම තදින්ම කැමතියි. ඒවා ඕනෑවටත් වඩා සජීවීයි. ඇත්තෙන්ම ඔබේ කතා බොහොමයක් ගලා යන්නේ දෙබස් ඇසුරින්. එය මගේ නිර්මාන විදියෙන් වෙනස් වන සහ මම ඉතාමත් මවිත වන ඔබේ ශූරත්වය පෙන්නන පැතිකඩක්.

ඉතින් තව දේවල් බෙදාහදා ගනිමු. මම උත්සහ ගත්තේ අවංකවම මට දැනෙන ඔබ වෙනුවෙන් සටහන් කරන්න. එය රලු විවේචනයක් වූවානම් සමාවෙන්න.  මූලිකවම ඔබ ඔබට අනන්‍ය වූ මාවතක ගමන් කිරීමයි වැදගත්. ඒ ගමනේදී ඔබ අඩුලුහුඩුකම් මගහැර වඩාත් සරුසාර ඉසව්වක් වෙත ගමන් කරනවානම් එය ඔබටම වටිනවා. සහ මේ අදහස් බෙදාගැනීම ඔබට වගේම කාලාන්තරයකින් අහම්බෙන් වගේ සාහිත්‍ය මිතුරෙකු මුනගැසීම නිසාත් එනිසාම කලාව සම්බන්ධ අදහස් බෙදා හදාගැනීමට දොරටුවක් විවරවීම අතින් මටත් වටිනවා.

සුමිත්


සීමා නැති සීමාවක් - බැඳීම් නැති බැඳීමක්

ෆැකල්ටි ඔෆ් සෙක්ස් (සෙක්ස් නැති සෙක්ස් පොතක්)





ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියෙව්වා. ඒකට හේතු උනේ පොතේ නමට සෙක්ස් කියන වචනෙ ගෑවිලා තියෙන එකටත් වඩා කල්ට් වගේ බ්ලොග් එකකින් කියවල තිබුනු අලුත්ම අදහස් පද්ධතියට ගරු කිරීම, ආස කිරීම හෝ වහ වැටීමේ දිගුවක් විදියට කියලයි මං විස්වාස කරන්නෙ.‍

සෙක්ස් පොතක් කියල කසු කුසු ඇසුනත් මේකෙ මට දැනෙන තරම් සෙක්ස් හැඟීම් පිරවිලා තිබුනෙ නෑ. ලිංගික ක්‍රියාකාරකම් සහිත සිද්ධි ඕනෑ තරම් තිබුනත් ඒ බොහොමයක් ඒව අපිට හැඟූම් දනවන ආකාරයෙන් ඉදිරිපත් කෙරිල නෑ හෝ කරල නෑ. නිකං ඔහේ ලිංගික කාර්යයට අවතීර්න වෙලා අවසන් වෙන සිද්ධි තමයි බහුලවම තියෙනව කියල පේන්නෙ.(මං මැතකදි කියවපු සුලි මැද පිපි තඹර නවකතාවේ මීට වඩා ලිංගික හැඟුම් දනවන සිද්ධි සෑහෙන තරම් තිබුනා)ඇතැම් විට මේ ගැන කතුවරය ඕනවටත් වඩා සවිඥානික ඇති.

කොහොම උනත් ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියන්නෙ අහක දාන්න බැරි තරමේ අනන්‍යතා හිමි වුනු වෙනස්ම ආකාරයෙන් පොතක්. ප්‍රධාන චරිත දෙකම මුල ඉඳලම ක්‍රියා කරන්නෙ සාමාන්‍ය පාඨක ලෝකයට හිතාගන්නවත් බැරි තරම් සැහැල්ලු විශ්වයක කිව්වොත් ඒක හරි. හැබැයි ඒක තියෙන්නෙ වෙන කොහේවත් නෙමෙයි- මේ පොලොවේ. අපි ඉදිනෙදා ජීවත්වෙන ලංකාවෙ. අපේ වටපිටාවෙ. එත් ඒ නිදහසේ තරම අනන්තයටත් එහාට විහිදෙන දහමක් වගේ.  සමහර විට මේ චරිත දෙකෙන් ඇති කරන අලුත් වෙනස ලංකාවෙ මෙතෙක් පවුල් ආකෘතිය ඇතුලෙ ගුලිගැහිල  හෙම්බත් වෙලා - ඒක බදාගෙන ඉන්න ගැහැනු පිරිමින්ට සනීප හුස්ම පොදක් අරං එන එකක් වෙන්නත් පුලුවන් කියලයි මම විස්වාස කරන්නෙ.  ඒත් මෙතන තියෙන්නෙ එක්තරා විදියක සමාජ- සංස්කෘතික විවේචනයකුත් නෙමෙයි. කතුවරයගෙ විශේශත්වය මතුවෙන පලවෙනි තැන එතනයි. ඔහු පවුල් ජීවිතයවත්, විවාහ සංස්කෘතියවත් කිසියම්ම සමාජ සම්මතයක්වත් විවේචනය කරන බවක් කොහොත්ම පේන්නෙ නෑ. ඒ හැම එකක් ඇතුලෙම ඒ හැම ආකෘතියක් ඇතුලෙම අනන්තය දක්වා විහිදෙන නිදහසක් හදාගන්න මාර්ගයක් ඔහු නිරුත්සාහිකව යෝජනා කරනවා. ඒක තියෙන්නෙ අල්ලන්න බැරි තරම් අන්තයක නෙමෙයි. අපේ අත ලඟමයි. ඒ නිදහස වහගෙන උහුලන්න බැරි තරම් බරක් කරගහගෙන ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. අපි අපිමයි.  අපිටම මගග හැරුනු ඇත්තක් අපේ ඇස්පනාපිට දිග ඇරෙන්න ගන්නවා.

රූ, කේ එක්ක විවාහ වෙලා හිටියත් ඇයට තවත් සම්බන්ධයක් තියෙනවා. ඒක අනියම් ගනුදෙනුවක් බවට පත්වෙන්න කොහෙත්ම ඉඩ විවර වෙන්නෙ නෑ. රූ තමන්ගෙ අනෙක් සම්බන්ධය ගැන නිරන්තරයෙන් කතා බහ කරන්නෙ තමන්ගෙ ස්වාමිපුරුශයා එක්ක. කේ එක්ක. කේ ඒක සුහදව බාර ගන්න බවක් පේනවා. ඒකත් කෘතීම හෝ ව්‍යාජ සාටෝපකාරී ප්‍රබන්ධමය නිමවුමක් නෙමෙයි. ඉරිසියාව, බය, නොඉවසිල්ල වගේ පෘතජන හැඟීම් අස්සෙ කරනම් ගසමින්ම ඒ දේවල් බාර ගන්න ඔහු/ඔවුන් සූදානම්. දේවල් බෙදා ගන්න හුවමාරු කරගන්න වගේම අනෙකාගෙ උවමනාවන් වෙනුවෙන් අසීමාන්තික නිදහසක් ප්‍රදානය කිරීම සැබෑ පවුලක උවමනාව බව මේ හැම ශෘංගාරාත්මක සිදුවීමක් අස්සෙම අසට පසක් වෙන සත්‍යක් බවට පත් වෙන්නෙ ඉබේටම වගේ.

කේ තමන්ගෙ රැකියා ස්ථානනට ආපු අලුත් කෙල්ලෙක් වෙත ආදරෙන් බැඳෙනවා. ඒ ගැන ඔහුගෙ බිරිඳ එක්ක කතා කරනවා. කේ උමතු ආදරෙන් පිස්සු වැටිල දුවන්නෙ සමාජ විඥ්ඥානයෙන් පොහොසත් පශ්චාත් නූතනවාදී කෙල්ලෙක් පස්සෙන් නොවන එක වීමම මේ සිදුවීම් ජාලයට වගේම කතාවට එක් කරන සජීවී බව දෙගුන තෙගුන කරනවා. වෙනස් දර්ශනයක් අඩංගු කරවනවා.

කතාවෙ කූටප්‍රාප්තිය උපරිමයට අරගෙන එන්නෙ බෑන්ඩි(රූගෙ විවාහක නොවන පිරිමියා) එයාගෙ බිරිඳ සහ රූ එක්ක එකම ඇඳක ලිංගික ක්‍රියාවලියේ යෙදීමත්, ඒකෙම අනික් පැත්ත වන කේ, බෑන්ඩි සහ රූ අතර වන ලිංගිකමය ගනුදෙනුවත් සිදුවුනාට පස්සෙයි. කතුවරයා යෝජනාකරන පවුල් ජීවිතේ නිදහස්භාවයේ උපරිම සුරතාන්තය තියෙන්නෙ එතනයි. තමන්ගෙ බිරිඳ හෝ ස්වාමියා වෙනත් පෙමක හෝ ලිංගික ආශ්වාදයක පැටලුනාම විතරක් නෙමෙයි වෙන කා දිහා හරි හොරෙන් බැලුවම උනත් ඒක වෙනුවෙන් ගහගන්න -මරාගන්න- වෙන්වෙන්න බලන එක විවේචනය කරනවට වඩා මේ විදියෙ ගෘංගාරාත්මක යෝජනාවක් අරං එන එකම මේ කෘතියේ සාර්ථකත්වයට බලපාන බව මට හිතෙනවා.

කතාව පුරාවටම කතුවරය භාශාව පාවිච්චි කරන්නෙත් මේ විදිහෙ පවුල් ජීවිතයක් තරම්ම නිදහස් හුස්මකින් බව පේනවා. බහුතරයක් දෙබස් සිංහල ඉංග්‍රීසියෙත් තියෙන එක තරමක් මාව වෙහෙසට පත් කලත් මං ඒක බාර ගත්තෙත් අව්‍යාං කමක් විදිහට. භාශාව වගේම කතාවත් තමන්ට ඕන කරන තමන්ගෙම හැඩය දෙන්න ගත්තු මේ සැහැල්ලුවට බලපාන්න ඇත්තෙ සම්භාව්‍ය - සාහිත්‍ය - සම්මාන - විචාර අවකාශ තුන් හිතින්ම ප්‍රතික්ශේප කරපු හින්ද කියල හිතෙන ඉඩ කඩ හොඳටම වැඩියි.

ෆැකල්ට් ඔෆ් සෙක්ස් හින්ද විවාහය මහ මෝඩ සංකල්පයක් කියල විවේචනය කර කර ඉන්නවට වඩා ඒක ඇතුලෙම ජීවත් වෙන්න පහසුම හා සරලම විදියක් තියෙන බව අපට හිතෙන්න ගන්නවා. මේ පොත නිසා, පවුල් ජීවිතේ අවුල් ජාලය සුන්නද්දූලි කරල තමන්ගෙ ස්වාමිපුරුශයා හෝ බිරිඳ නෛතික හෝ සදාචාරමය බැම්මෙන් සපුරා නිදහස් කරල දාන එක තරම් ලොකු විප්ලව කරන්න එකපාරටම  බැරි වුනත් ඒ දිහා අඩුම තරමේ නිදහස් දැක්මකින් බලන්න පුලුවන් විදිහට හරි හිත හදාගන්නවත් පුලුවන් තැනකට පත් වෙන්නවත් හැකි වෙන බවයි මම අදහන්නෙ.

පවුල් ජීවිතේ කියන්නෙ සිමා නැති සීමාවකට. බැඳීම් කිසි දෙයක් නැති බැඳීමකට. සෙක්ස් කියන්නෙ ඒ බැඳීමත් නොබැඳීමත් වෙන් කරන - එක් කරන වෙරලට. සෙක්ස් කරනව කියන්නෙ රැල්ල පාගමින් වතුර ගැඹුරට දුවන එක. නැවත වෙරලට ගොඩගහන එකට. ෆැකල්ට් ඔෆ් සෙක්ස් අපිට බාර ගන්න බැරි තරම් බර ඇත්තක් සුලඟක් වගේ සැහැල්ලුවෙන් කියනවා.





ප.ලි

මං මේ සටහන ටයිප් කලෙත් වයිෆ්ගෙන්, දරුවගෙන් බේරිලා බොහොම අමාරුවෙන් ඉඩක් වෙන්කරගෙන තමයි. ඒත් ෆැකල්ටි ඔෆ් සෙක්ස් ඇතිකරපු හැඟීම මුදාහරින්න එහෙම හරි ඉඩක් හොයාගන්න මම දඟලන දැඟලින්ලෙන් මටම අවධාරනය වෙන්නෙ ඒ නිදහස් හුලඟ මේ ගුලිගැහිච්ච ආකෘතිය අතුලෙම වුනත් මට සනීපයක්  ගෙන ආව කියන එකම නෙමෙයිද? ෆැකල්ටි ඔෆ් සෙක්ස් හැම පවුල් කාරයෙක්ම බලන්න ඕන පොතක්.


සුමිත් නාලක පෙරේරා. 


Wednesday, February 22, 2017

පෙලවෙනි රජත සම්මානය කාටද?




ස්වර්න පුස්තක සම්මානය සංවිධානය කරන පොත් ප්‍රකාශකයින්ගේ සංගමයම රජත සම්මානය නමින් අලුත් සම්මානයක් මේ වසරේ සිට ප්‍රධානය කිරීමට නියමිතයි. ඒ පසුගිය වසරේ ප්‍රකාශන සමාගකින් ප්‍රකාශයට පත්වූ කෙටිකතා හෝ කවි පොත් වෙනුවෙනුයි.
සාහිත්‍ය කෘති සඳහා සම්මාන ලබා දීම සම්බන්ධව සතුටුවිය හැකි වාතාවරනයක් ඇතිවී තිබෙන බව බැලූ බැල්මට අපට සිතෙනවා.නමුත් ස්වර්න පුස්තක කෘති නිර්දේශයේදී මෙන්ම රජත පුස්තක කෘති තෝරාගැනීමේදී මෙම සංගමය වෙනස් නිර්නායක දෙකක් මත සම්මාන නිර්දේශ කෘති තෝරා ගන්නට උත්සාහ ගන්නා බව පැහැදිලියි. එනම්

  1.                කර්තෘ ප්‍රකාශන කෘති සම්මාන ප්‍රධානයේදී නොසලකා හැරීම.
  2.       ප්‍රකාශනයට පෙර සඟරා මගින් හෝ වෙනයම් පුවත්පත් මාධ්‍යයකින් කොටස්වශයෙන් හෝ පල වී තිබෙන කෘති නොසලකා හැරීම.
මෙම නිර්නායක වලින් දෙවැන්න පිලිබඳ විශාල ආන්දෝලනයකත් ඇති වන්නේ පසුගිය ස්වර්න පුස්තක සම්මාන උලෙලේදීයි. එහිදී සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව සහ කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක් නවකතා දෙක ඉන් පෙර පුවත්පත් මගින් කොටස් වශයෙන් පලවී තිබීම නිසා සම්මාන උලෙලන් පැත්තකට විසි උනා.
සම්මාන උලෙලක් මගින් කෘතියේ අන්තර්ගතයට අදාල නොවන කෘතියෙන් පරිභාහිර නිර්නායක සලකා බැලීම තරමක් අමුතු තත්වයක්. මේ පිලිබඳ පසුගිය වසරේදීද පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට නොයෙක් පාර්ශව වලින් විවේචන එල්ල උනා. ඒ එල්ල වූ විවේචන වලට පිලිතුරු ලෙස ප්‍රකාශකයින්ගේ සංගමයේ ඇතැම් නියෝජිතයින් මෙන්ම සමහර ෆේස්බුක් ක්‍රියාකාරීන්ගේද මතවාදය උනේ ප්‍රකාශකයින්ගේ සංගමයේ අරමුන වනාහි ප්‍රකාශකයින්ගේ දියුනුව වන නිසා එය පුදුමයට කරුනක් වියයුතු නැති බවයි. රජත සම්මානය පිරිනැමීම සම්බන්ධව කර්තෘ ප්‍රකාශන භාර නොගන්නේ මන්දැයි මවිසින් පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රබල නියෝජිතයෙකුගෙන් පුද්ගලිකව විමසූ විට ඔහු දුන් පිලිතුර වූයේ අපි ප්‍රකාශකයින්ගේ සංගමය බවත් අප කටයුතු කරන්නේ ප්‍රකාශකයින්ගේ දියුනුව සහ අභිවෘද්ධිය පිනිස බවත්ය.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අරමුන ප්‍රකාශකයින්ගේ දියුනුව බව ඇත්ත. එය වෙසෙසින් විමසා බැලීමට අවශ්‍ය කරුනක් නෙමෙයි. නමුත් පාඨකයන්ගේ හෝ රසිකයන්ගේ අරමුන නම් ප්‍රකාශකයින්ගේ දියුනුව නොවන බව අප සහසුද්දෙන්ම දන්නවා. මෙතනැදී කර්තෘ ප්‍රකාශන සලකා නොබැලීම විතරක් නෙමෙයි සාහිත්‍ය කලාවෙන් පරිභාහිර ඕනෑම නිර්නායකයක් ඇතුලත් කර කෘති තෝරාගැනීමේ අයිතිය ප්‍රකාශකයින්ගේ සංගමයට තියෙනවා. එය ඔවුන්ගේ අයිතියක්. නමුත් පාඨකයන්, රසිකයන් හා නිර්මානකරුවන්ට එකී තීරන වලට එරෙහිව නැගී සිටීමේ අයිතියක් සේම සම්මානයකට ඇති සමාජ වටිනාකම හෑල්ලුකිරීමේ බලයක් ද තිබෙන බව අර තරම්ම ඇත්තක්.
යම් වසරක නිර්මානය වූ සමස්ථ නිර්මානකෘතිම තෝරා නොගෙන එයින් අතලොස්සක් පමනක් සීමාවකට යටත්ව තෝරාගෙන සම්මාන ලබාදීමෙන් සම්මානය ලබාගන්නා නිර්මානකරුවාව අවතක්සේරුවට ලක්වීමේ අවධානමක්ද මෙතැන තිබෙනවා.  මොකද තමන් සම්මාන ලබාගත්තේ සැබෑ තරඟයකින් නොවන බව අදාල නිර්මානකරුවාගේම හෘද සාක්ශිය දන්නා නිසයි. ( මට මතකයි එක් වසරක අප පාසලේ ක්‍රීඩා උලෙලේදී ක්‍රිකට් තරඟය සඳහා තෝරාගත්තේ ඊට කලින් දවසේ ගුරුතුමා සමඟ පිටිය සකස් කරන්නට සහාය දැක්වූ සිසුන් පමනයි. එතැනදී දක්ශ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව අහිමි උනා. එහිදී ජයග්‍රහනය කල කන්ඩායම ප්‍රසාදය දිනාගනු වෙනුවට බොහෝ සිසුන් අතින් කිච උන හැටි මට මතකයි)
නවකතා බොහොමයක් ප්‍රකාශන කෘති ලෙස එලිදැක්වෙන නිසා ස්වර්න පුස්තක සම්මාන වලදී කර්තෘ ප්‍රකාශන කෘති සම්මාන සඳහා නොසලකා හැරීම ලොකු හැඩසක් විදියට ඒ තාක් අපට නොපෙනීම ස්වභාවිකයි. නමුත් මේ වනතෙක්ම කෙටිකතා හෝ කවිපොත් බොහොමයක් ප්‍රකාශයට පත්වන්නේ කර්තෘ ප්‍රකාශන කෘති හැටියටයි. එයිනුත් බොහොමයක් ආධුනිකයන්ගේ කෘති මේ ගොඩට වැටෙන්න තියෙන සම්භාවිතාව ඉහලයි. ඇත්තෙන්ම බහුතර ආධුනික නිර්මානකරුවන් ප්‍රකාශන ආයතනයක් ලබා කෘති ප්‍රකාශයට පත් කරන්න අකමැති නැහැ. නමුත් තවමත් කේශ්ත්‍රයට ආධුනික නිර්මානකරුවන්ට තවමත් තමන්ගේ  කෘති බොහෝ ප්‍රකාශන ආයතන ලවා ප්‍රකාශයට පත් කරගන්න පින්සෙන්ඩු වෙන්න සිදු වෙනවා. විශේශයෙන්ම කවිපොත්වලට ප්‍රකාශන ආයතනයකින් ඉඩක් ලබාගැනීම කොතරම් වෙහෙසකර කටයුක්තක්ද යන වග නිර්මානකරුවන්ම හොඳින් දන්නවා. එසේ නමුත් තමන්ගේ අරමුන පොත් ප්‍රකාශකයින්ගේ දියුනුවමයි කියන සමහර ප්‍රකාශන ආයතන හිමිකරුවන් වසරකට එකදු සිංහල කෘතියක්වත් ප්‍රකාශයට පත් නොකරන තත්වයට කටයු තු කරන එක නම් සංවේගයට කරුනක්. සැබවින්ම බහුතර ප්‍රකාශකයන් තමන්ගේ ප්‍රකාශන වලින් තවමත් ප්‍රමුඛත්වය දෙන්නේ පරිවර්තන කෘතිවලට බව පැහැදිලි ඇත්තක්.
කෙසේ නමුත් රජත සම්මානය හෝ ලබාදීමෙන් කාව්‍ය ක්ශේත්‍රෙය් දියුනුවක් ඇතිවේයයි සුබවාදී ආකල්පයක සිටින පාඨකයන් සේම නිර්මානකරුවන්ද සිටින බවක් ද පෙනෙන්නට තිබෙනවා. (කෘතියකට සම්මාන ලබා දීම මගින් සාහිත්‍ය කලාව සැබවින්ම දියුනු තත්වයකට පත්වෙනවාද යන්න වෙනමම සාකච්ඡාකල යුතු මාතෘකාවක්) එනිසා මෙතනදී රජත සම්මාන විවේචනය කරනවා වෙනුවට කාර්යය සඳහා යම් යම් යෝජනා පාඨක පාර්ශවයෙන් ලබාදෙන එක වැදගත් පියවරක් වෙන්න පුලුවන්.

ඇත්තෙන්ම මා කලින් සඳහන් කල ආකාරයට තම කෘති ප්‍රකාශයට පත්කරගත නොහැකිව අතරමග ඇදහැලෙන දක්ශතාවයන් සහිත ආධුනික නිර්මානකරුවන්ට අතහිත ලබාදීමක්වත් මෙතනදී සිදුවෙනවානම් යම් තරමකින් හෝ ප්‍රකාශකයින්ට තමන්ට එරෙහිව පවතින චෝදනා වලින් මිදීමට ඉඩක් සැලසෙනවා. ගොඩගේ ආයතනය මෙවැනි ආධුනිකයන්ට සැබෑ සේවයක් සලසන දැවැන්ත කටයුත්තක නිරත වෙමින් සිටින බව මෑතක මට සිතෙන්නේ. විශේශයෙන් ගොඩගේ අත්පිටපත් තරඟාවලියෙන් තේරීපත්වෙන නවකතා හා කෙටිකතා සහ කාව්‍ය කෘති එම ආයතනය මගින්ම ප්‍රකාශයට පත් කරන්න ඉදිරිපත් වෙනවා. මං හිතන්නේ සැබෑ දියුනුව සහ අභිවෘද්ධිය ඇතිවන්නේ මෙවැනි කටයුතු තුලින්. එමගින් යම් පිරිසකට සේවයක් සිදුවන අතරම ආයතනයට ද යම් වාසි සහගත තත්වයක් ඇතිකරගන්න ඉඩ සැලසෙනවා. එමගින් අවම වශයෙන් අවස්ථාව නොමැති කිහිපදෙනෙකුට හෝ කෘති ප්‍රකාශයට පත්කිරීමේ දොරටු විවර වෙනවා.
ඩී. ආර් විජේවර්ධන අත්පිටපත් තරඟාවලිය මගින්ද කලකට පෙර මෙසේ අත්පිටපත් තරඟාවලියක් සංවිධානය කොට ජයග්‍රාහී කෘති ප්‍රකාශයට පත් කිරීමට අතහිත දුන්නා.


ස්වර්න සම්මාන ජයග්‍රහී කෘතියට ලබාදෙන ත්‍යාග මුදල වැඩිකරන අතරේ ප්‍රකාශකයින්ගේ සංගමයට මෙවැනි සූක්ශම දෙපසටම වාසි ගෙනදෙන තීරන ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක්ද ඇතැයි මතක් කිරීම වැදගත් බව සිතෙනවා. එය ඉල්ලා සිටීම පාඨක අයිතියක්. මක් නිසාද යත් පාඨකයින්ට  කියවීමට කෘති සැපයෙන්නේ(ඔවුන්ගේ අභිවෘද්ධිය සැලසෙන්නේ) ප්‍රකාශන ආයතන නිසා මෙන්ම ප්‍රකාශකයින්ගේ සංගමයේ දියුනුව රඳා පවතින්නේ පාඨකයන් නිසායි. මේක අන්තර්පෝශනීය ගනුදෙනුවක්. එක පැත්තක කඩාවැටීම අනෙක්පැත්තේ කඩාවැටීමට ඍජුවම රුකුල් දෙනවා. මේ බව ප්‍රකාශකයින්ගේ සංගමය මෙන්ම පාඨකයන්ද මැනවින් වටහාගෙන සිටීම මොනයම් ආකාරයකට හෝ වාසිදායක තත්වයක් නිර්මානය කරන බව මට සිතෙනවා. 

Saturday, December 31, 2016


මේ මගේ සඳයි


බලන්න ඉතා ආසාවෙන් ඉන්න පැරනි සිංහල චිත්‍රපට කිහිපයක්ම ලැයිස්තුවක් විදියට හිතේ තියෙනවා.(නිද. පාරදිගේ, නිම් වලල්ල,වැලි කතර, හාරලක්ශෙ, කලුදියදහර, දෙලොවක් අතර වගේ ඒව) ඉන් එකක්වත් තාම බලන්න හම්බ උනේ නෑ. අනාගතයේදි බලන්න ලැබෙයිද දන්නෙත් නෑ.  පැරනි සිංහල චිත්‍රපට බොහොමයක නම් පමනක් අසන්න ලැබීම නූතන පරම්පරාවෙ අභාග්‍යයක් ද මන්දා. නූතන තාක්ශනික යුගයක වෙලත් ඇයි එවැනි චිත්‍රපටි බොහොමයක් තවමත් අන්තර්ජාලයෙන් හොයාගන්න බැරි වෙන්නෙ. සිනමාවට වඩා පැරනි තාක්ශනය සමඟත් එතරම් සම්බන්ධයක් නැති සාහිත්‍යෙය්දි නම් තත්වය ඔයිට වෙනස්.  පරන පොතක් නම් අවම වශයෙන් ඒක මුද්‍රන කිහිපවාරයක් සිදුවෙලා හරි පාඨකය සොයාගෙන එනවා. නැත්නම් පුස්තකාලෙකින් පවා එකක් හොයාගන්න අසීරු නැහැ. නමුත් සිංහල චිත්‍රපට සම්බන්දයෙන් නම් තත්වය හාත්පසින්ම වෙනස්. පරන සිංහල චිත්‍රපට ඇතැම්විට 90 දශකයේ සිනමා නිර්මාන පවා හොයාගන්න එක ලේසි නැහැ. ඒකට නිශ්චිත, ප්‍රේක්ශකයාට මිත්‍රශීලී ක්‍රමවේදයක් අපේ සිනමා කර්මාන්තය ඇතුලෙ තවමත් ගොඩනැංවිලා නැතුව ඇති. ටොරාන එකෙන් සමහර චිත්‍රපට ගන්න පුලුවන් බව ආරංචි උනත් දීප ව්‍යාප්තව ඒව විකුනන ක්‍රමවේදයක් තියෙනවද කියන්න නම් දන්නෙ නෑ.


කලින් කිව්වත් වගේ මේ මගේ සඳයි චිත්‍රපටය බලන්න ඉතා ආසාවෙන් හිටියත් තාම  බලන්න අවස්ථාවක් උදා උනේ නෑ. දන්න විදියට මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2000දී. තිර පිටපත දෙතුන් වතාවක් කියවන්න අවස්ථාව ලැබුනු නිසා ඒක බලන්න තියෙන ඇල්ම තව තවත් වර්ධනය උනා.  පිටපත කියවද්දිත් හිතෙන්නෙ මේක වෙනස්ම ශෛලියකින් සැකසුනු එකක් විය හැකි බවයි. මේ කෙටිම කෙටි සටහන චිත්‍රපටය ගැනම නෙමෙයි උනත් මේ ඒ ගැන නෙමෙයිත් නෙමෙයි. අශෝක හඳගම තිරපිටපත සහිත කෘතියේ පෙරවදන සරසන්නෙ අලුත්ම අදහස් මුසුවක් ඊට එක් කරමින්. ඇත්තෙන්ම ඒක හරිම අව්‍යාජ වගේම අවංක ප්‍රෙව්ශයක් කියලයි මට හිතෙන්නෙ. පහතින් දැක්වෙන්නෙ ඒ පෙරවදන.

ඉස්සර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කාලාවේ පරමාර්ථ සම්බන්ධව අපට විවිධ අර්ත දැක්වීම් තිබුණා. ඔබේ කෘතියේ අරමුණ කුමක්දැයි අහන ප්‍රශ්නයකට අපට තිබුණේ ජනතාව, පන්ති අරගලය, පෝෂණය වගේ ගාම්භිර උත්තර. ඒත් අද මට දැනෙන්නේ ඒවා බොහෝම රොමෑන්ටික් කතා හැටියට.
කෘතියක අරමුණ විය යුත්තේ කෘතියමයි. කලාකරුවෙකුගේ අභිප්‍රාය විය යුත්තේ පරිනත කෘතියක් නිර්මාණය කිරීමයි. පරිණත කෘතියක් සමාජයක චින්තන ප්‍රවාහය කැළඹිමකට ලක් කරනවා. ඇතැම් විට එහි දිශානතිය වෙනස් කරනවා. කෘතියක් සමාජ සංවර්ධනයට උර දෙන්නේ එහෙම.
කෘතියක් නිර්මාණයේ දී මා කරන්නේ මාවම ප්‍රශ්න කර ගැනීම. කෘතිය එළිදැක්වුණාම තමා ප්‍රශ්න කිරීම සමාජය ප්‍රශ්න කිරීමක් බවට පත් වෙනවා. නොඑසේනම් තමා තමා සමඟම කරන සංවාදය සමාජගත වෙනවා. සංවේදී සමාජයක් නම් ඊට ප්‍රතිචාර දක්වනවා.
විවිධ ප්‍රෙවේශයන් ඔස්සේ මේ මගේ සඳයි කෘතිය කියනේනට ගත් උත්සාහයන් කිහිපයක් සමඟ කෘතියේ පිටපත මුද්‍රණය කරන්නට ගත් තීරණයට මගේ මනපය පළකෙරුනේ එකී ප්‍රතිචාර සුරැකිව තැබීම අනාගතයේ විමර්ශනය සඳහා වැදගත් වේ යයි හැඟුන නිසා. සංසන්දනාත්මකව මෙකී අදහස් නැවත සලකා බැලීමකට එමගින් ඉඩ සැලසෙනු ඇති.

පෙරවදන
මේ මගේ සඳයි
අශෝක හඳගම
සංහිඳ ප්‍රකාශන



Monday, December 19, 2016

පෙමතො ජායති සොකො - ක්‍රොයිට්සර් සොනාටා.



පෙමතො ජායති සොකො.. මේ නම ඇසුව ගමන් හිතෙන්නෙ සරච්චන්ද්‍රගෙ නාට්‍යයක් කියල. නමුත් මේක කෙටි නවකතාවක්. පරිවර්තනයක්. කොයිට්සර් සොනාටා. ලියෝ තෝල්ස්තෝයි විසින් රචිත ක්‍රොයිට්සර් සොනාටා කෙටි නවකතාව සිරිල් සී පෙරේරා අතින් අනුවාදනය වෙන්නෙ පෙමතො ජායති සොකො නමින්.

නවකතාව ගැන සටහනක් ලියන්න සූදනම් උනත් පොතේ තියෙන ආකර්ශනීය පෙරවදන නිසා පොත ගැන තිබුනු උනන්දුව වෙනත් දිශාවකට ගමන් කරන්න පටන් ගත්තා. ලොව සුපතල ලේඛකයන් තමන් කෘතියක් රචනා කරන කාලය අතරතුර ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් කෘතියක් රචනා කිරීමට ලේඛකයන් ගන්නා තමන්ටම ආවේනික ක්‍රියා පිලිවෙත් මොනවද කියල ඇතැම් ප්‍රසිද්ධ ලේඛකයන්ගේ ජීවිත කතා ඇසුරින් අවබෝධ කරගන්න පුලුවන්. ඇත්තෙන්ම මේක ගවේශනයක් කරන්න හිතෙන තරමේ ආකර්ශනීය තේමාවක්. මෙහි පෙරවදනේ ඒව සඳහන් කරල තියෙන්නේ සරලව කෙටියෙන් උනත් ඒක සොයාගෙන යන්න හිතෙන තරමේ උත්තේජනයක් දෙන්න හැකි මට්ටමේ මූලාරම්භයක්.

නිර්මාන කාර්යයෙහිදී අනුගමනය කල පිලිවෙත් මතු පරපුර වෙනුවෙන් ඉතා සුලු වශයෙන් හෝ සඳහන් කොට ඇත්තේ ලේඛකයන් අතලොස්සක් පමනි. තමන් නිරත වී සිටින සාහිත්‍ය හා කලා කටයුතු ගැන නිතර හමුවී සකච්ඡා කිරීම පැරීසියේ විසූ ලේඛකයන් හා කලා කරුවන අතර පැවති සිරිත විය. සමහරු මේ කතාබහ සටහන් කොට තැබූහ. නිතර හමුවී සාකච්ඡා කිරීම පැරනි රුසියන් ලේඛකයන් අතර පමනක් නොව සෝවියට් ලේඛකයන් අතරද පැවති චාරිත්‍රයක් විය. සමහරු නිර්මාන කාර්යයෙහි දී මතුවන ප්‍රශ්න මිතුරන් සමඟ ලියුම් මගින් සාකච්ඡා කළහ. දිනපොත් ලියා තැබූහ. පොතක් පලවීමෙන් පසු කරන විවේචනයට වඩා පොත ලියන විට කරන විවේචනය වැඩදායක විය. ප්ලෝබෙයාර්(1821-80) තමා විසින් ලියා අවසන් කරන ලද පලමු නවකතාව මිතුරන්ගේ විවේචනය නිසා ඉවත දැම්මේය. පොතක් ලියා පලවන තුරු එය රහසක් ලෙස රැකගන්නා ලේඛකයෝ දැනුදු සිටිති. සමහරු ලියන පොත් ගැන කල් තියා සාකච්ඡා කිරීම අසුබ දෙයක් ලෙස සලකති. (පෙමතො ජායති සොකො. පෙරවදන. සිරිල් සී පෙරේරා)

යුරෝපය ආශ්‍රිතව කලා කටයුතු දියුනු මට්ටමින් සිදුවන කාලයේදී නිර්මානකරුවන් අතර තදබල ගනුදෙනුවක් තිබුනු බව එකල කලා කටයුතු පිලිබඳව එක එල්ලේම ලියා නැති කෘතිවලින් උනත් දැන ගන්න බැරිකමක් නැහැ. නිර්මානයේ මහා ශෝකය වින්ස්ටන් වෑන්ගෝ ගේ ජීවිතය අලලා සකසන ලද කෘතියේදී පවා එකල චිත්‍ර ශිල්පීන් අතර කොතරම් සමීප ඇසුරක් තිබුනාදැයි පැහැදිලි කරගත හැකියි. වැන්ගෝ, ගොගෑන්,සෙසාන්  වැනි චිත්‍ර ශිල්පීන් මෙන්ම එමිල් සෝලා වැනි සාහිත්‍ය කරුවන් ද සබඳතා පැවැත්වූ අය අතර වීම කැපී පෙනෙන දෙයක් විදියට සලකන්න පුලුවන්. මේ පොතේම එක්තරා තැනක යම් චිත්‍ර ශිල්පියෙක් ඔහු චිත්‍ර අඳින දිනවල කිසිවෙකුත් මුන නොගැනී තම නිවසටම වී වාසය කරන ආකාරයේ චර්යාවක් පවත්වාගෙන ගිය බවත් පෙනෙන්නට තිබෙනවා.
පිකාසෝගේ ජීවන තතු හෙලි කරන මගේ පිකාසෝ කෘතිය මගින් පවා චිත්‍ර ශිල්පියෙක් ලෙස පිකාසෝ තුල නිර්මාන කිරීමේදී පැවති සූදානම් වගේම පිටස්තර පුද්ගලයන් නිර්මාන කාර්යය අතර තුර හමුවීම පිලිබඳව දක්වන වෙනස්ම විදියේ ආකල්ප ගැන සඳහන් වෙනවා. ඇතැම් අය තමන්ට කොඩිවින කරන අය බව ඔහු සිතා සිටි බව දැක්වෙන ආකාරයේ සටහන් ඒ කෘතියට ඇතුලත්. පොත මේ වෙලාවේ මං ලඟ නැති නිසා උපුටාගැනීම් යොදන්න විදියක් නැහැ. (කැමති අය අරගෙන බලන්න ඒ පොත. මගේ පිකාසෝ- ප්‍රංශුවා ශිලෝ? - පරිවර්තනය මාලිනී ගෝවින්නගේ. විජේසූරිය ප්‍රකාශන) මේ වෙලාවෙ පොතේ නම මතක නැතත් එක්තරා නිර්මානකරුවෙක් කුනුවූ ඇපල් තම මේස ලාච්චුවේ දමාගෙන ඒ ගන්ධය ආග්‍රහනය කරමින් ලැබූ උත්තේජනයෙන් ලියූ බව සඳහන් වෙනවා.

අර්නස්ට් හෙමින් වේ නවකතා රචනා කලේ සිටගෙන බව මේ පොතේම සඳහන්. ඒ සඳහා ඔහු උස කකුල් සහිත මේසයක් භාවිත කල බවත් ප්‍රකට කරුනක්. ඒ විතරක් නෙමෙයි ගුස්ටාව් ප්ලෝබෙයාර් එමාබෝවාරි කෘතිය රචනා කල කාලයේ ගනිකාවන් ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කල බවත් එමා මී පාසානම් කා ජීවිතය නැතිකර ගැනීමේ වේදනාව අත්විඳිමට ඔහු ද මී පාසානම් කෑමෙන් විශාල කරදරයකට මුහුද දුන් අයුරුත් සඳහන් වෙනවා.

ක්‍රොයිට්සර් සොනාටා.

දැන් නවකතාව දෙසට හැරුනොත් ක්‍රොයිට්සර් සොනාට කියන්නෙ වෙනස්ම විදියේ නමක් බව පේනවා. ඒ වගේම මේ පොතට මේ නම ලැබීම පිලිබඳවත් රසවත් සිදුවීමක් පසුබිම් වෙලත් තියෙනවා. පෙරවදනේ කියවෙන පරිදි සොනාටා(සංගීත සන්ධ්වනියක්) වලට ක්‍රොයිට්සර් නම ලැබී තිබෙන්නේ බිතොවන් තමා විසින් රචනාකල උසස්ම සොනාටාව ඒ කාලයේ දක්ශතම වයලීන වාදකයා ලෙස ප්‍රකට වූ රුඩොල්ෆ් ක්‍රොයිස්ටර්ට පිලිගැන්වීමෙන් පස්සෙයි. එක්තරා දවසක ටෝල්ස්ටෝයි සමඟ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ ඉලියා රිපින්, සහ නලුවෙක් වූ ඇන්ඩ්‍රියෙව් බුල්ක සමඟ  ක්‍රොයිට්සර් සොනාටාවට සවන්දීමෙන් අනතුරුව ඉන් ඇති වූ උද්යෝගයෙන් තම තමන් විසින් තමන්ගේ මාධ්‍ය තුලින් එම ඉතිරී ගිය හැඟීම ප්‍රකාශ කිරීමට ගිවිස ගත් බව සඳහන් වෙනවා. ක්‍රොයිස්ටර් සොනාටා නවකතාව තුල සඳහන් වන්නේ සොනාටාවක් හෝ සංගීතය ආශ්‍රිත සිදුවීමක් නොවුනත් මෙම නවකතාවේ මූලික සිදුවීම පසුබිමෙහි ක්‍රොයිට්සර් සොනාටාවක වාදනය ප්‍රතිරාවය වන බව දැකිය හැකියි.

පවුල් සංස්ථාවක් තුල සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීමෙහි ස්වභාවය මෙන්ම විවිධ වූ මානසිකත්වයන් මත සැමියා බිරිඳව සැක කිරීම මගින් පවුලක් තුල සිදුවන විශාල ඛේදයක් මනෝමූලික සංකීර්නතා ඇසුරින් හුවා දක්වන කෘතියක් ලෙස හඳුන්වන්න පුලුවන්. තත්කාලීන රුසියන් සමාජය තුල මෙය මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියක්. කෙටි කාල සීමාවක් තුල වුවත් මෙය එකල රජය විසින් තහනමට ලක් කිරීමෙන් පවා එය පැහැදිලි කරගන්න පුලුවන්. විශේශයෙන් එකල විසූ ප්‍රසිද්ධ ලේඛකයන් මෙය උසස් වර්ගයේ කෘතියක් බව පිලිගෙන තිබෙනවා.


ක්‍රොයිට්සර් සොනාටා වාර කිහිපයකදීම සිංහලට පරිවර්තනය වී ඇති කෘතියක්. 1963 දී එස්.ජී සමරසිංහ මහතා විසින් ගැහැනු කවුරුද වරදෙ නෙබැඳෙන? නමින් එක් පරිවතර්නයකුත්,කේ.ඩී.පී වික්‍රමසිංහ විසින් ප්‍රේමය හා ශෝකය නමින් වූ තවත් පරිවර්තනයකුත් සිදුවී තිබෙනවා. කෙසේ නමුත් පේමතො ජයතී සොකො සිරිල් සී පෙරේරා 2002 වසරේදී අනුවාදනය කිරීමෙන් ඒ පිලිබඳ නව මානයකින් බලන්නට අවස්ථාව ලැබීම සතුටට කරුනක්. සෙසු කෘති දැක නැතත් මේ කෘතිය මගින් ටෝල්ස්ටෝයිගේ අගනා කෘතියක් රසවිඳීමට හැකිවීමම එක්තරා භාග්‍යයක්.  


Sunday, December 18, 2016

කිම් කි දුක් 3 Iron



නිහඩ චිත්‍රපටයක්. මුලුමනින්ම නැතත් ප්‍රධාන චරිත කිහිපයක්ම චිත්‍රපටය තුල අදහස් හුවමාරු කරගන්නෙ නැහැ. ප්‍රධාන චරිතය හිමි තරුනයා අපූරු ජීවන රටාවකට හුරු වූ අයෙක්. නිවැසියන් බැහැර ගොස් සිටින නිවෙස්වලට හොර රහසේ රිංගන ඔහු නිවැසියන් යලි එනතෙක් කාලය තුල එහි වාසය කරනවා. නැත්නම් ඒ කෙටි කාලසීමාව තුල තමන්ගේම නිවසක් ලෙස එහි භාන්ඩ පරිහරනය කරනවා. වෙසෙනවා. වැදගත්ම දේ ඔහු එහි වටිනා කිසිවක්ම සොරකම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ නිවෙස්වල අක්‍රීය වූ හෝ ක්‍රියා විරහිත වූ භාන්ඩ සකසනවා. නිවැසියන්ගේ රෙදි ආදිය සෝදා තබනවා. මෙවැනි පුදුම සහගන ජීවන චර්යාවේ එක්තරා දිනයකදී ඔහුට ඇය මුනගැසෙනවා. ඇය ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට හසුවූ කාන්තාවක්. ඔහු හමුවීමෙන් පසුව මේ තරුනයාගේ චාරිකාව මොන ආකාරයේ වෙනස්කම් වලට ලක්වේවිද? ඔහුත් ඇයත් අතර නිහඩ බැඳියාව කවර අන්තයක් වෙත ගලාගෙන යාවිද? 3 Iron   චිත්‍රපටය පුරාවට කවියක් වගේ අපිව චමත්කාර ලෝකයකට කැඳවාගෙන යන්න කිම් කි දුක් සමත් වෙනවා.

කිම් කී ඩුක් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා. කොරියානු චිත්‍රපටකරුවෙක්. මේ සිනමා නිර්මානය විතරක් නෙමෙයි ඔහුගේ සියලුම චිත්‍රපට ඔහුටම අනන්‍ය වූ මාවතක ගමන් කරන වෙනස්ම මාදිලියේ ඒවායි. පොදු සමානතාවක් විදියට චිත්‍රපට කිහිපයකම චරිතයක් හෝ චරිත කිහිපයක් නිහඬ චරිත ලෙස ක්‍රියාකරන බව දකින්න පුලුවන්. වරක් මේ පිලිබඳ කිම් කී දුක් ගෙන් ඇසූ විට ඔහු ඒ සඳහා කදිම පිලිතුරක් ලබා දෙනවා. ඒ මෙසේයි.


මට නිහඬතාවය යන්න අවකාශයක්. The Isle චිත්‍රපටයේ තිබෙන්නේ වචන කිහිපයයි. එහි නිහඬතාව කතා කරනවා. මට පෙම්වතියක් සිටින බවට උපකල්පනය කරන්න. අපේ හමුවීමේදී මම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. නමුත් මම ඇයට ආදරෙයි. මට හිතෙනවා එවැනි ත්වයක් වචනවල අන්තයක් බවad Guy හි Han-giගේ නිහඬතාව ඔහුගේ අවංකභාවය පිලිබඳ සංඥාවක්. තිරරචනයේ ඔහුට තිබුනු වචන අපි පුහුනුවීම් වලදී ඉවත් කලා. The Isle චිත්‍රපටයේත් එසේමයි. මට පැහැදිලි උනා ඔවුන්ගේ නිහඬතාව වචන වලට වඩා කොච්චර ප්‍රබලද කියා.
මිනිසුන් ඇතුලතින් දරුනු ලෙස තුවාල වුනහම ඔවුනු වැඩිය කතා කරන්නේ නැහැ. ඔවුන් අනෙක් මිනිසුන් මත තැබූ විස්වාසයන් ඔවුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් කඩ වී තිබෙනවා. මිනිස්සු ආදරෙයි කිව්වට එහි අරුත ප්‍රකාශය තුල අරමුනු කර නැහැ.
-කිම් කි-දුක්-
කොරියානු සිනමාව සහ කිම් කී දුක් ගේ සිනමාරූප
සංජීව පුශ්පකුමාර
 

මුලින් සඳහන් කලාක් මෙන් කිම් කී ඩුක්ගේ සිනමා නිර්මාන අතරින් සහ මෙතෙක් මා නරඹා ඇති සිනමා නිර්මාන අතරින් අමතක කල නොහැකි චිත්‍රපටයක් ලෙස 3 Iron චිත්‍රපටය සඳහන් කරන්න පුලුවන්. ඒ ඒ චරිත අතර බන්ධනය නිහඬතාවය හරහා රොමාන්තික ලෝකයක් විවර කරන අතරේම ප්‍රේමය පිලිබඳ නව අර්ථකතන සපයන්නටත් සමත් වෙනවා. හැමදාම කියනවා වගේ වැඩි වැඩි විස්තර වචනයෙන් සඳහන් කිරීමත් අසීරු සහ දුශ්කර කාර්යයක්. හොඳම දේ නිර්මානය හා දොඩමලු වීමයි. මේ ලියමන ඒ සඳහා සුලු පෙලඹවීමක් පමනයි. 

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...