Wednesday, June 1, 2022

හැන්දෑවරු

 



ගාලු කොටුවෙ හවසක් කියන්නෙ වචනෙන් කියන්න බැරි අත්දැකීමක්. කොහොමටත් ගාලු කොටුව ඇතුලෙ රවුමක් ගහන එක ඇතිකරන හැඟීම අන් කවර අත්දැකීමකටත් වඩා වෙනස්. මට හැමවෙලාවෙම දැනෙන්නෙ මං නන්නාඳුනන විදෙස් රටක ඇවිදිනව වගේ දැනීමක්. ඉස්සර - මීට අවුරුදු දෙක තුනකට කලින් මායි ඩිලක්ෂනුයි හැම සතිඅන්කෙම වගේ ගාලු කොටුවෙ ඇවිදින්න ගියා.

සමහරක් දාට කලුවර වැටෙනකම්ම අපි ඔහේ වැතිරිලා ඉන්නවා. ඇත්තටම අපි කරන දෙයක් නෑ - අපි දෙන්න කතා බහ කරන්නෙත් නැති තරං. තේරුමක් ඇතිව හෝ නැතිව ඔහේ මුහුද දිහා බලාගෙන ඉන්නවා. කාලය ඔහේ හුලඟෙ ගහගෙන යනවා. අන්ධකාරෙ තැවරිච්ච නන්නාඳුනන මිනිස්සු අපිව පසුකරගෙන ඇවිදිනවා. ළමයි සරුංගල් අරිනවා. සමහරු ක්‍රිකට් ගහනවා.  අහසක් කියල කිව්වට අපේ ඔලුවට උඩින් මේ තියෙන්නෙ නිමක් නැති - තෙරක් නැති හිස්ම හිස් අවකාශයක් නේද කියල මට මොහොතකට හිතෙනවා. මම කොටුව උඩ මොහොතකට හෝ කොටු නොවෙච්චි ජීවියෙක් වගේ හාන්සිවෙලා  ඒ මහා හිස්කම දිහාට ඇස් ඇරගෙන ඉන්නවා. ඒ වලාකුළු ඇබින්දක්වත් නැති හිස්ම හිස් අහසක්. ඩිම්බයක් හොයාගෙන යන ශුක්‍රානුවක් වගේ වල්ගය නලියන නයාපට්ටමමක් වරින් වර මගේ ඇසට හසුවන මායිමේ පාවෙනවා.

පළවෙනි කවිපොත නම් කරන්න ඕනත් හැන්දෑව කියල බව හැන්දෑවකින් මන්මත්වෙච්චි එක්තරා හවසක මං හිතුවා. හිතේ මොකක්දෝ සහනයක් - සංයමයක් ඇතිකරනසුලු දැනීමක් හැන්දෑවක තැවරිලා තියෙනවා. ඒ අන්ධකාරයයි, ආලෝකයයි මුහුවෙච්ච සංක්‍රාන්ති මොහොතේ සදාකාලිකවම ලෝකය නතර වෙලා තියෙනවනම්...

ඉස්සර පේරාදෙණියෙ අරුනාචලම් එකේ අඹගහ ලඟ බංකුවට වෙලා ඒ ඉදිරියේ තියෙන පිට්ටනි තුනේ දුවන - ඇවිදින - සෙල්ලම්කරන ළමයි මිනිස්සු දිහා වගේම පාරෙ ඈත කෙලවරට වෙනකං ඇදෙන යාන වාහන දිහාත් බලා ඉන්න එකේ කියාගන්න බැරි මිහිරියාවක් තිබුනා. පේරාදෙනි අහස යට මේ වෙලාවට නොයෙක් මාළු රෑන් රෑන් පීනන මාළු ටැංකියක් වගේ. එල්ලයක් නැතිව මගේ ඇස් ඒ සමස්තය දිහාම එල්ලවෙලා තියෙනවා. කල්පනා බැමි ලිහිල අයාලේ ඇදී යනවා. නිශ්චිත අරමුණක් නැතිව හැඟුම් විසිරිලා යන මේ වගේ වෙලාව දන්න අඳුනන කවුරුවමත්ම මුන නොගැසේවා කියල මගේ ඇතුළු හදවත ප්‍රාර්ථනා කරනව

ඒ ලෙවල් කරන කාලෙ හවස පන්ති ඇරිලා හියාරෙ හන්දියෙන් බැහැල කිලෝමීටර් තුන හතරක දුර පයින් ගෑටුවෙ පුදුම ආසාවකින්. කල්පනාවකට කරට අත දාගෙන ඒ තනිකම් හැන්දෑවෙ ඇවිදින එකෙන් ලැබෙන ආශ්වාදය වෙන කොහෙන්වත් ගන්නත් බෑ. ඇත්තටම ඒකට කියන්නෙ කල්පනා කරනව කියන එකද නැත්නම් කල්පනාවක් නැතිව හිත හිස්ම හිස් කරලා ඒ හිස්කමේ ප්‍රමෝදෙන් වල්මත්වෙන එකද කියන්න මං හරියටම දන්නෙ නෑ.

මං ලියන්න ගත්තෙ හැන්දෑව ගැන ද, කල්පනාවක් නැති කල්පනාවක තියෙන ආශ්වාදය ගැන ද, තනිකමේ සෞන්දර්යගැන ද කියල හිතාගන්නවත් බෑ. ඒ හැමකක්ම කවලම්වෙච්ච මේකත් අයාලේ ගියපු ලියමනක් ද මන්දා...

 

Tuesday, January 25, 2022

රේන් මෑන් - රේමන්ඩ්ගේ ජීවිතෙත් එක්ක චාලිගේ ජීවිතෙන් කොටසක්

 


චාලි කියන්නෙ අවුරුදු 25ත් 30ත් අතර අවිවාහක තරුණයෙක්. ඔහු දැඩි ආර්ථික අර්බුදයක ගැලිල ඉන්න මොහොතකයි චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. හිටි අඩියෙම ඔහුට ආරංචි වෙනවා තමන්ගෙ පියා මියගොසින් බව. චාලි තමන්ගෙ පියා එක්ක සියලු ගනුදෙනු අතහැරල ස්වාධීනව ජීවිකාව පවත්වාගෙන යන්නෙක්. පියාගෙ මියයාමත් තමන් මේ මෙහොතේ සිරවෙලා ඉන්න උග්‍ර අර්ථික අර්බුදයත් සමඟ පියාගෙ අන්තිම කැමත්ත කවරාකාර වෙන්න ඇත්ද කියල චාලිට කුතුහලයක් ඇතිවෙනවා. ඒ ඔස්සේ ලුහුබදින චාලිට අවසානයේ දැනගන්න ලැබෙන්නෙ කිසිදු ආකාරයෙන් නොසිතූ නොපැතූ තොරතුරු ගොන්නක්. තමන්ගෙ පියා තමාට පවරල තියෙන්නෙ කාර් එකකුත් රෝස මල් පදුරකුත් පමණක් බව චාලි දැනගන්නවා. එසේම පියාගෙ සියලු ධනස්කන්ධය එතෙක් ඔහු නොදැන සිටි ඔහුගේම වැඩිමහල් සහෝදරයෙක් වෙත පවරන්න පියා කටයුතු කරල තියෙන බවත් චාලි දැනගන්නවා. චාලි තමන් කිසිදා නොදුටු, නොඇසූ එකී සහෝදරයා සොයා ගමන් ආරම්භ කරනවා.   

චාලිගෙ සහෝදරය රේමන්ඩ්  චිත්‍රපටය ඇතුළෙ හැඳින්වෙන්නෙ මානසික ආබාධයකින් පෙලෙන්නෙක් හැටියට. ඒත් මොකක්ද ඔහුගෙ ආබාධය. මොකක්ද අර්බුදය කියල කවුරුම හරි ඇහුවොත් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. රේමන්ඩ් බුද්ධි ඌනතාවකින් පෙළෙනවද කියල ඇහුවොත් කියන්න වෙන්නෙ නෑ කියල. එහෙනම් ඔහු මන්දමානසික තත්වයේ කෙනෙක්ද? ඒකත් එහෙමයි කියල කියන්න අමාරුයි. කොහොම උනත් රේමන්ඩ් සාමාන්‍ය මනුෂ්‍යයෙකුත් නෙමෙයි. හැබැයි බැලූ බැල්මට ඔහුගෙ ගැටලුව මොකක්දැයි හෝ ඒ ගැටලුව විග්‍රහ කරගන්නවත් ලෙහෙසියෙන් කෙනෙකුට බැහැ.

රේන් මෑන් චිත්‍රපටය ඇතුලෙ ඔටිසම් කියන වචනෙ කොතනකවත් සඳහන් වෙන්නෙ නෑ. නමුත් ඔටිසම් වැඩිහිටියෙක් ක්‍රියාකරන අන්දම ගැන මේ චිත්‍රපටයෙ තරම් හොඳට සාක්ෂි සපයන වෙනත් චිත්‍රපටයක් මට මෙතෙක් මුණගැහිල නෑ. ඔටිසම් සංකීර්ණ මානසික තත්වයක් වෙන්නෙ ඒ නිසාමයි. කොටින්ම කිව්වොත් රේමන්ඩ් මිනිස් පරිගණකයකට සමානයි. රේමන්ඩ්ගෙ මතක ශක්තිය අති ප්‍රබලයි වගේම ගණිතමය හැකියාව විස්මිතයි. ඔහුට බොහෝ සිදුවීම්වල දත්තමය අගය සැනින් කියන්න පුලුවන්. යම් වාහනයක අංක තහඩුවත්, දුරකතන අංකයක්, ඉකුත් වර්ෂයක රිය අනතුරු සංඛ්‍යාව වගේ දත්තමය අගයන් රේමන්ඩ්ගෙ මතකය ඇතුලෙ අමුතු පිලිවෙලකට පැලපදියම් වෙලා තියෙනවා. ඒත් හැඟීම් සම්බන්ධව රේමන්ඩ්ගෙ මනස ක්‍රියා කරන්නෙ ඉතා දුප්පත් ආකාරයකට. ආදරයක්, සිපවැළඳගැනීමක්, හමුවීමක්, සමුගැනීමක් සම්බන්ධව රේමන්ඩ් ක්‍රියාකරන්නෙ එකම යාන්ත්‍රික මනෝභාවයකින්.

චිත්‍රපටය අවසන් කොටසෙදි වෛද්‍යවරයෙක් රේමන්ඩ්ගෙන අහනවා ඔයා සහෝදරයත් එක්ක දිගටම ඉන්න කැමතිද කියල. ඔව්. මං සහෝදරයත් එක්ක ඉන්න කැමතියි. රේමන්ඩ් රොබෝ කෙනෙක් වගේ පිලිතුරු දෙනවා. ඔයා ආයෙමත් එයාගෙ පරන නවාතැනට යන්න කැමති නැද්ද? වෛද්‍යවරයා නැවත රේමන්ඩ්ගෙන් ප්‍රශ්න කරනවා. ඔව්. මං එහේ යන්න කැමතියි. රේමන්ඩ් පිලිතුරු දෙනවා.

දවසක් රේමන්ඩ් චාලිව මග ඇරලා පාරෙ මාරු වෙන්න යද්දි හරියටම කහ ඉර මැදදි ඩිජිටල් තිරයේ සටහන් වෙනවා වහාම නවතින්න කියන වදන. චාලි උන් හිටි තැනම නතර වෙනවා. ඒ කහ ඉර උඩ පාර මැද. රේමන්ඩ් දෙන ලද විධානයට කටයුතු කරනවා මිසක් ඔහුට තේරෙන්නෙ නෑ යථා පොලොවෙ සිද්ධවෙන දේට ප්‍රතිචාර දක්වන්න.

කොහොම උනත් මේ චිත්‍රපටයෙන් අපේ අනුකම්පාව හෝ හැඟීම දැල්වෙන්නෙ රේමන්ඩ වෙතටත් වඩා චාලි වෙතට. චාලි කුඩා කාලෙම තාත්තගෙන් වෙන්වෙලා ඇවිත් ගතකරන සටන්කාමී ජීවන අරගලය මේ වෙද්දිත් විස දිලා නෑ. ඔහු ඉන්නෙ දැඩි ආර්ථික අර්බුදයක බව පේනවා. ඒත් චාලිගෙ ඇත්තම අර්බුදය ආර්ථිකය නෙමෙයි කියන එක චාලිවත් දන්නෙ නෑ. චාලිට නැත්තෙ තමන්ගෙම කියල ආදරනීය තැනැත්තෙක්. තමන්ගෙම ඥාතියෙක්. ගමන් සගයෙක්. අවසානයේ චාලිට මුනගැසෙන්නෙ තමන්ගෙ සහෝදරයා යැයි කියන තමන් එතෙක් කිසිදා නොදුටු රොබෝවරයෙක් වගේ මනුස්සයෙක්. චාලි චිත්‍රපටය පුරාවට වෙහෙසෙන්නෙ මේ රොබෝවරයාගෙන් හැඟීම් කඳුලක් අරගන්න. තමන්ගෙ සගයෙක් කරගන්න. ඔහු හරහා ආර්ථිකව දියුනු වෙන්න චාලිට උවමනාබව මතුපිටින් පෙනී ගියත් ඇතුලාන්තයෙන් චාලි ඉල්ලන්නෙ තමාගෙම හිතවතෙක්. තමන්ගෙ දුක සතුට බෙදාගන්න පුලුවන් මිනිසෙක්. ඒක අවසානයේ චාලි රේමන්ඩ් වෙත සමුදෙන මොහොතේ ඔහුගේ මුහුනෙ හෙඳින්ම සනිටුහන් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. චාලි අසරණ බැල්මෙන් බලා ඉඳලා රේමන්ඩ්ට සමු දෙනවා. රේමන්ඩ් තම ජංගම රූපවාහිනී යන්ත්‍රය එක්ක තමන්ගෙ ඇතුලෙම නන්නත්තාර ගමනක නිරතවෙලා.

 

Sunday, October 31, 2021

මාස්ක්වාදී කතන්දර

 




පුංචි කාලෙ කෙනෙක්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලා කතාබහ කිරීමේ අපහසුවක් මට තිබුනා. විශේෂයෙන් එයා ගැහැනු ළමයෙක් නං එයාගෙ දෑස් මග හරින එක වෙන්නෙ ඉබේටම. නැත්නං එයා එක්ක කතා කරද්දි ඔන්න මගේ ඇස් එයාගෙ ඇස් දෙකට කෙලින්ම එල්ල වෙනවා. ඒක අමාරුයි. නිකං පිච්චෙනව වගේ කියල මගේ හිත ඇතුලටම කා වද්දගෙන එයා දිහා බලාගෙන කතා කරන්න බැරි මොකක් හෝ අපහසුතාවක් මාව පීඩනයකට පත් කරනවා.

මේ මාස්ක් පලඳින යුගයේ එකිනෙකාගෙ දෑස් පැටලෙන එක අනිවාර්යක්.   මාස්ක් නොදාන කාලෙක අපි කාගෙ හරි මූන බැලුත් ඒ  බලන්නෙ ඇස් දිහාමයි කියල නිශ්චිත වෙන්නෙ නෑ. ඒත් දැන් ඒ දැනෙන හැඟීම වෙනස්. මාස්ක් එකකින් කරන්නෙ මූනෙ සෙසු අනවශ්‍ය අංගසියල්ල තාවකාලිකව මකා දාන එක. නැත්නං කෙනෙක්ගෙ දෑස් වෙතට අපේ ෆෝකස් එක අරගෙන යන්න අපිට පහසු කරවන එක.  කළු හිසකේ මායිමත්, මාස්ක් මායිමත් අතර පටු තීරුවේ ඇස් දෙක වෙනම ජීවියෙක් විදිහට වරින් වර මා දිහා බලන බව නිශ්චිතව මට කියන්න පුලුවන්. ඒ සමහර ඇස් තද කළුයි.  සමහර ඇස්වල තියෙන්නෙ බොර පාටක්. මට හිතෙනවා මං ආස ලොකු ඇස්වලට නෙමෙයි. ජපන්, කොරියන් මූනුවල තියෙනව වගේ ඉරිකෑලි දෙකක් වගේ කුඩා දෑස් වලට. සමහර ඇස් බැමි ගනයි. ගන ඇස්බැමි දෙපැත්තෙන් ඇවිත් නළල ලගින් හා වෙන්න තරමට වැවිල තියෙද්දි අමුතු ලස්සනක් දෙනවා. ඇස් පිහාටු ගන වෙලා ඒව වක්‍රාකාර උනාම එන බැල්මේ අමුතු කාන්තියක් තියෙන බව මං දැනගත්තෙ මනාලියන්ගෙන්. ඒ අය ඇසිපිය සලද්දි නිකං ස්ලෝමෝෂන් වෙනව වගේ. ඇස් පිහාටුවල බරින් ඇස් ඇරෙන්නෙ ආයාසයකින් වගේ.

සමහරු සිනාසෙද්දි ඇස් දෙක ඉරි කෑලි දෙකක් වගේ වෙනවා. සමහර අයගෙ කඳුලු පිරිල වගේ දිලිසෙනවා. නිශ්චිතව  යමක් උනා කියල නොපෙනුනත් ඒ ඇස් හැසිරෙන විදිහෙන් දැන් අපි දන්නවා එයා හිනා වෙනව කියලා. ඇස් භාෂාව හිතුවට වඩා ඉක්මනින් අපි අවබෝධ කරගෙන.  මං ඉස්සර හිතුවෙ හිනාවේ කේන්ද්‍රය තොල් දෙක දෙකම්මුල් කියල උනත් මේ මාස්ක්වාදය ඒක බොරු කරලා. හිනාව විතරක් නෙමේ, වේදනාව, බය, තරහව වගේ තව තව සංකීර්ණ භාවයන් ඇස් දෙකක් හරහා නිරූපනය වෙන හැටි මං අත්දකිනවා.

වැදගත්ම දේ මේකයි. මාස්ක් පැලදි නන්නාදුනන මූනක ඇස් දෙක හරහා අපි එයාගෙ මුහුන පරිකල්පනය කරගන්නවා.‍ දොඩමළු වෙද්දි එයාගෙ දෑස් නැලවෙන හැටි දෙපස හමේ වර්ණය, වගේ ඉගි අතලොස්සක් හරහා එයාගෙ සමස්ත මුහුන හිත ඇතුලේ සිත්තම් වෙලා ඉවරයි. අවාසි සහගත එකම දේ නන්නාදුනන කාගෙම හරි එහෙම පරිකල්පනය කරගත්තු මූනක් මාස්ක් එක ගලවලා දාපු ඇසිල්ලෙම අර පරිකල්පනය කුඩුපට්ටම් වෙලා යන තරමට පරස්පරතා පෙන්නන එක. වැඩි වාරගණනකදි මට උනේ මගේ හිතේ ගොඩනැගිච්ච පරිකල්පන මූනට ඇත්ත මූන පැරදිච්ච එක. ඇත්ත මූන දකින හැම වෙලාවකම  මේ ඇස්දෙකට මේ විදිහෙ කටක් මේ විදිහෙ තොල් දෙකක් හෝ නහයක් ගැලපෙන්නෙ නැහැ නේද කියල මට හිතුනු වාර බොහොමයි. දෑස් හා තෝල් අතර පෑහීම  අපේ රටේ මිනිස්සුන්ගෙ අන්තිම සවුත්තු එකක් ද කියල මට දවසක් හිතුනා.  

ඇස් හරහා ඉගිපාන එක, මූනු නොදැක එකිනෙකා වෙත බැදෙන එක මේ මාස්ක්වාදී යුගයේ අලුත් තත්වයක්. සමහර විට එයා අපිට වැඩි බුරුලක් දෙනවනම්, අපිට කැමැත්තෙන් ඉන්නව කියල අගවන්න එයා ගන්න විශාලම පියවර වෙන්නෙ හුස්ම ගන්න අමාරුයි කියල අගවන්න වගේ හෝ වතුර උගුරක් බොන විදිහට  මාස්ක් එකේ පටිය කනෙන් පන්නන එක.

ආයෙ ආයෙත් මට හිතෙන්නෙ මාස්ක් එක පලන්දපු මූනක ඇස්වල හිනාව අමුතු සෞන්දර්යයක් මතු කරනවා. ඇතැම්විට අපිට ඒ හිනාවක් පින්තූරෙකට රාමු කරගන්න හිතෙනවා. තොල්, කම්මුල් එක්ක නෙමෙයි. මාස්ක් එකෙන් වැහිල හිනාවෙන ඇස් දෙකක මූනකුයි මට ඕන. ඇස් දෙකක් කියන්නෙ ජීවියෙක්. ජීවයක් ඇතුලෙ වෙන අලුත් ජීවියෙක්. ඒ බැවි යලි යලිත් අපට මතක් කරන්නෙ මාස්ක් එකකින්.

මාස්ක් පලදගත්තු මූනකට කව් ගී ලිය උනා මදී...  

Friday, October 29, 2021

වඩා පිරිසිදු ආදරයක් කරා - අන්සතු ඔබ

 




අන්සතු ඔබ ගීතය ගැන කතිකාව ගින්නක් වගේ ඇවිලිලා යනවා. ඒ ගැන සම්මත අසම්මත සකච්ඡාව දියුණු තියුනු වෙමින් තියෙනවා. මේ ගීතය, රූපරාමු දිහා මුලින්ම බැලුවම මගේ හිතෙත් ඇතිවුනේ සන්තෝසයක්, වේදනාත්මක සහනයක්, අතීතකාමී රසයක් වගේ රසාලිප්ත සිතිවිලි ගුලියක්.

කැමරාකරණය, රංගනය වගේ තාක්ෂණික කාරනා ඇරුනම එතැනින් එහාට අන්සතු ඔබ ගීතය මෙතරම් ඉක්මනින් ඇවිලිලා යන්න හේතුවෙන්නැත්තෙ මොකක්ද කියල කල්පනා කරද්දි මට දැනුනු කාරණාත් එක්ක වෙනස් මානයකට මාව තල්ලු වෙලා ගියා. ගී රසවින්දන වැඩසටහනක් නිසා  ප්‍රේමය සම්බන්ධව කාරණා අපේ රසඥතාවට බලපාන්නෙ කොහොමද කියල හොයන්න මං තරමක් වැඩි කාලයක් හිත ඇතුලෙ හුඟක් දුර ඇවිදගෙන ගියා. මේ කතා කරන්නෙ එහෙම ඇවිදිද්දි මුණගැසුනු කාරණාත් එක්ක

අන්සතු ඔබ පද රචනයත්, රූප රාමු දිහාත් බැලුවම පැහැදිලිවම පේන්නෙ එතන තියෙන්නෙ ප්‍රේමයට එරෙහිව නැගුණු පරිබාහිර ගැටුමක්, බාධාවක් අභියස පෙම් කරන යුවලකගෙ ජීවිතයේ අංශුමාත්‍රයක්. සරලව කිව්වොත් පරිබාහිර සමාජයේ බාධාවක් නිසා එක්වෙන්න, නිදහසේ ආදරය කරන්න බැරි පෙම්වතුන් යුවලක් ( අසම්මත) හොර රහසින් තම ආදරය පවත්වගෙන යනවා. එතන දැඩි ආදරනීය බවක් සේම අහිංසකත්වයකුත් මිශ්‍රවෙලා තියෙනවා. ජනප්‍රිය කලාවෙදි පැහැදිලිවම අල්ලන්නෙ මේ බාහිර ගට්ටන. ජනප්‍රිය හින්දි චිත්‍රපටිවල ඉඳන් ලංකාවෙ මෙගා ටෙලිනාට්‍ය දක්වා අරගත්තොත් පෙනෙන සරල කතාන්දරය මෙහෙමයි. තරුණ යුවලක් ඉන්නවා එයාලට එක්වෙන්න බැරි විදිහේ මොනයම්ම ආකාරයක බාධාවක් එනවා. එක්කෝ දෙමාපියන්, නැත්නම් සම්මත සමාජය, එහෙමත් නැත්නම් වෙනත් දැවැන්ත සතුරෙක්. මේ සතුරාව, බාධාව පරාජය කිරීම හා යුවලගේ එක්කාසුවීම ප්‍රේමයේ කූඨප්‍රාප්තිය විදිහට අපි සලකනවා.  

ඇත්තටම ගත්තොත් නං පරිබාහිර සමාජයේ බාධකවලින් අපේ ඇතුලාන්තයට දැනෙන්නෙ පොඩි තරමෙ චූන් එකක්. නැත්නම් පරිබාහිර බාධා අපේ ප්‍රේමයන්ට යම් සහනයක්, සුවයක් වගේම ආදරය තීව්‍ර කරන හේතුවක් බවට පත් වෙනවා. අපි ආදරය කිරීමේදී හිතනවා අනේ අපි දෙන්නට ආදරේ කරන්න බැරි මේ සමාජය නිසා, සම්මතයන් නිසා කියල හිත යම් විදිහකට අස්වසාගන්නවා. ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. සමහර වෙලාවට  ඒ බාධක මත හැපි හැපී ප්‍රේමය මෝදු වෙන්න ගන්නවා.

මං ඉස්සරම කාලෙ ලියපු කවියක ඔය අදහස යම් ආකාරයකට කැටි කරන්න උත්සහ ගත්තා.

 

එපා තරදුරටත් බනින්නට

සංස්කෘතිය විසින් බඳින ලද බැමි වලට

 

ඒ තමයි ස්නේහයෙන් බන්දන එකම හුය අප

 

කිසිම කිසි ගැටීමක් - එරෙහිවීමක් නැති

එබඳු තැනකට ගෙනගොස් තැබුවා දිනෙක මම

අප දෙදෙනාගේම ආත්ම

 

එතැන් සිට වුව

මුළු හදින් ඔබ මා පිළිගනිතැයි

සිතිවිලි නමා ගන්නට

නොහැකි විය කොහෙත්තම

 

සංස්කෘතියට පිටින් රිංගන - එය යන්තමට බිඳින

අසම්මත රහසේ විනෝදය මිසක

අප අතර ප්‍රේමයේ වෙනත් අරුතක් නොමැත

 

මට හිතුනෙම අපි ආදරයෙන් බන්දන්නෙ අපිට මේ විදිහට එරෙහිවන මේ සංස්කෘතියම නේද කියල. සංස්කෘතිය නැමති බාධකය නොමැති උනා නං ඇත්තටම අපේ ආදරේ කවරාකාර ගනීවිද? එහෙනම් මුළු හදවතින්ම එයා මාව භාර ගනීවිද? එහෙමත් නැතිනම් මේ විදිහට සංස්කෘතික බාධා කොනිත්තමින්, ඒ මත හැපෙමින් ඒක අස්සෙන් හොරෙන් රිංගීමේ සතුට, හෝ අමුතු ආස්වාදය නෙමෙයිද අපේ ආදරයේ ඇත්තම අර්ථය වෙනව ඇත්තෙ?

ආදරයේ සහ වෛරයේ ස්වරූප. මේක රෙනාටා සලෙක්ල් ලියපු පොතක සිංහල පරිවර්තනයක්. පරිවර්තනය නිශාන්ත කුලරත්නගෙ. පරිවර්තකගේ හැඳින්වීමෙදි එයා හරි ලස්සන කතාවකින් මේක ආරම්භ කරනවා.

ආදරය කිරීමේදී ජයගත යුතු බාධකයන් බොහොමයක් ඇති බව  හැම ආදර කතාවක්ම අපට පැවසුවත් මෙකී බාධක සියල්ල ජය ගත්තායින් පසුව පවතින ආදරයක් ගැන මොනම විස්තරයක්වත් ඒ කිසිදු කතාවක අඩංගු නොවන්නේ ඇයි?  

ඇත්ත. කලින් කීවාත් මෙන් අපි කලා කෘති මගින් අත්දකින්නේ සුවහසක් බාධක කම්කටොලු ඉවතලා ජය ගන්නා පෙම්වතුන් යුවලක්. හැබැයි ඇත්ත කතාව ආරම්භ වෙද්දිම කතාව නවතිනවා. නැත්නම් එතැනින් එහාට කතාව අපි දන්නෙ නෑ. මං දන්න හෝ මට දැනිල තියෙන ආකාරයට ප්‍රේමයේ ඇත්ත කතාව ආරම්භ වන්නේම දෙදෙනා එකතුවෙන්න පටන්ගත්තාට පස්සෙදි. අදහස් පරම්පරා දෙකක්, අත්දැකීම් පරම්පරා දෙකක් එකට පූට්ටු වෙද්දි ඇතිවෙන පරස්පරතා ගිනි ඇවිලෙන සුලු තරම් වේදනාකාරී  වෙන්න බැරිද?

සහතික වශයෙන්ම ප්‍රේමයේ බාහිර ගැටුම්වලට වඩා අපි අපිට මුහුණ දෙන්න වෙන අභ්‍යන්තර ගැටුම් තියුණුයි. සංකීර්ණයි වගේම ඒව අර බාහිර සමාජමය ගැටුම් තරම් ආස්වාදයක්, අමුතු මිහිරක් ප්‍රේමය මත ඇති කරන්නෙත් නැහැ. නැවත නැවතත් අපිව හෙම්බත් කරවමින් අපිවම ප්‍රශ්න කරන්න තරම් මේ ගැටුම් වෙහෙසකාරියි. දරුණුතම සතුර ඉන්නෙ එලියෙ නෙමෙයි, අපේ ඇතුලාන්තයේමයි. අපිට සටන් කරන්න වෙලා තියෙන්නෙ අපිත් එක්කමයි. අපේ ඇතුලෙ තියෙන අපේම දුබලතා, සංකීර්ණතා හෝ මනෝ ව්‍යාධි එක්ක හැප්පෙන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නෙ.

මම යවන දිගු කෙටි පනිවිඩයකට එයාගෙන් එන වචනයක දෙකක උත්තරයක් මාව උස්සලා පොලොවෙ ගහනවා. එයා මාව තකන්නෙ නෑ. උවමනාවෙන්ම මාව මගහරින බව දැනෙනවා. එයාගෙ ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම, හැම පීඩනේකදිම මම එයා වෙනුවෙන් කාලය වැය කරනවා. කොටින්ම එයාගෙ ජීවිතේ හැම අරමුණක්ම, ආසාවක්ම වෙනුවෙන් මමත් එයා එක්ක හිටගන්නවා. නමුත් එයාට මගේ ගැන වගේ වගක් නෑ. මගේ ආශාවල්, අරමුණු ගැන හාංකවිසියක මතකයක් එයාට නෑ. ඉතින් අපි අතර හමුවීම් - කතාබහ  නිරන්තරයෙන් අර්බුදකාරීයි. නිරන්තරයෙන් මගේ චෝදනාව මං මෙච්චර ආදරේ කරලත් ඔයා ඔහේ ගල් පිලිමයක් වගේ ඉන්නෙ කොහොමද කියන එක. එතකොට එයා කියනවා මම හිතනවා වැඩි වග. තේරුමක් නැති කල්පනා පඹ ගාල්වල පැටලිලා දුක් විඳින බව. මගේ හැඟීම නං එයා යන්තමින්වත් කල්පනා ලෝකෙ සැරිසරන්නෙ නැති වීම. එයා හිතන්නෙ තමන් ගැනමයි. ඒ විතරමයි. මගේ ආදරේ විඳින එක විතරයි එයා කරන්නෙ. අනෙකා ගැන හැඟීමක්, දැනීමක් හෝ අවධානයක් එයාට නෑ. කොහෙත්තම නෑ. අවම සංවේදීකමක්වත් නැති කෘතිම ජීවියෙක් වීම සම්බන්ධව මට එයා එක්ක තරහයි. ඒ තරහ ඔස්සේම මට එයාගෙන් වෙන්වෙන්න බැරි වීමේ - එයාවම උවමනාවීමේ වසඟය නිසාම මම මගේ ඇතුලෙම වෙහෙසට පත් වෙනවා. මේ ගැටුම චක්‍රාකාරව අපි අතර නිරන්තරයෙන් මුනගැසෙනවා.  

අහේතුකව මට එයා ගැන සැක හිතනෙවා. මහ රෑවෙනකං කා එක්කද එයා චැට් කරන්නෙ? ඔෆිස් ගියාම එයා මා එක්ක කතා කරන්නෙම නෑ. එයා ඔෆිස් එකේ අය එක්ක ට්‍රිප් එකක් යන එක නවත්තන්න මට හිතෙනවා. එයාගෙ ඇඳුම් අසංවරයි. කොටට අඳිනවා වැඩියි. කෙලින්ම නොබැන්නත් ඉඟියකින් හරි මට ඒකට විරෝධය පාන්න හිතෙනවා. සමහරදාට කෙලින්ම බනිනවා. එහෙම බැන්නම එයා අඬනවා. මූන බුම්මගෙන ඔහේ බලාගෙන ඉන්නවා. 

කලා කෘතියකින් ඒක නිරූපනය කිරීම අර පරිබාහිර ගැටුම් තරම් ලේසි පාසු වෙන්නෙ නෑ වගේම ඒව අපිට අර නිර්මාන තරම් පුදුමාකාර සතුටක්, පට්ට සුන්දර හැඟීමක් ඇති කරන්නෙත් නෑ. කොටින්ම එහෙම නිර්මානයක් හැදුනත් අපිට බොක්කෙන්ම ඒක ශෙයා කරගන්න හිතෙන්නතේ නෑ.

ඉතින් පරිබාහිර ගැටුමක්, බාධාවක් දිහා බලල ඒක ගැන හිතල හිතට පොඩි සැහැල්ලුවක් ලබා ගන්න එක අර අපේ අභ්‍යන්තර සතුරා දිහා බලනවට වඩා අහිංසක සතුටක්, හිත සැනසෙන විදිහේ හැඟීමක් ආස්වාදයක් ඇතිකරනවා. අන්සතු ඔබ නිර්මානයක් විදිහට වැඩකරන්න හේතුවෙන මනෝමූලික කාරනාවක් විදිහට මට පේන්නෙ ඒක. බාහිර සතුරෙක් දිහා බලලා අපි මොහොතකට අභ්‍යන්තර සතුරාව අමතක කරනවා. ඇත්තටම ඒක සැහැල්ලුවක්. ඒක ඇත්තටම නිර්මානයේ වරදක් නෙමෙයි. හෙම්බත්වෙලා තමන් ඇතුලෙම කැකෑරෙමින් වෙහෙසෙමින් ඉන්න අපි මද හෝ සැහැල්ලුවක් ලබන්න ඉල්ලන්නෙ ඒ වගේ සුමට, සරල, අහිංසක හා වඩා පිරිසිදු ආදරයක්. මේ ගීතය අපේ ඒ ඉල්ලුමට කදිම සැපයුමක් වෙනව ඇති.

 

 

Sunday, September 26, 2021

බෝල ගැසිල්ල



මේ ගමේ පාරට තාර දාන දවස්. පාර පුරා ගල් අතුරලා ඒව ගල් රෝල් වලින් තලනවා. කාපට් එක දැම්මම හොඳ කල එලියක් වගේම වැඩි ඉඩකුත් තියෙන බව හිතෙනවා. ඉස්සර කුඩා පටියක් වගේ මේ පාරෙ හැම අඩියකම අපි බෝල් ගහපු හැටි මගේ මතකෙට එන්නෙ දැන් නම් එහෙම බෝල් ගහන පොඩි අය දකින්න ලැබෙන්නෙ ඉතා කලාතුරකින් නේද කියල හිතෙන ගමන්මයි.  

ක්‍රිකට් ගහනව කියල නෙමෙයි, අපි ඒ කාලෙ කිව්වෙ බෝල් ගහනව කියල. දැන් නං පාරෙ  ඒ තැන් දකිද්දි අපි ඉස්සර කොහොම බෝල් ගැහුවද කියලත් හිතාගන්න බැරි තරං. තනියම හිනත් යනවා. ඒ තරං පටු පාරක, වංගු සහිත පාරවල්වල දෙපැත්තෙම කැලෑ, කණ්ඩි හෝ වගුරු නැත්නම් කුඹුරු තියෙන පටු තීරුවක් අපි බෝල් ගහන්න තෝරගත්තෙ ඇයි කියලත් කෙනෙක්ට හිතෙන්න පුලුවන්. එත් අපි ඒ වගේ තැන්වල මාස ගණන් පිස්සො වගේ  ක්‍රිකට් ගැහුවා.

කොහෙන් කවුරු විසින් නිර්මාණය කළාද කියල හිතාගන්න බැරි, ඒත් අපි අපිම පියවරෙන් පියවර හදාගත්තු නීති රෙගුලාසි ඒ ඒ  ක්‍රිකට් පිටිවල සම්මතයන් උනා. බෝලෙ උඩින් වෙලට ගියොත් අවුට් වෙනව විතරක් නෙමෙයි, ගහපු කෙනාම ගිහින් ගේන්නත් ඕන. දනිස්සක් තරං එරෙන, පල් ගඳ ගහන වගුරේ ඇඟ කහන පදුරු අස්සේ අඩි තිය තියා බෝලෙ හොයනවා. ඒක අප්පිරිය හිතෙන අවස්ථාවක් උනත් ක්‍රිකට් ගාය ඊටත් උඩින්. ඔය විදිහට ගහද්දි නිතර නිතර බෝල නැති වෙනවා. නැතිවෙච්ච බෝලයක් හොයද්දි කලින් දවසක නැති වෙච්ච බෝලත් හමුවෙනවා. නැතිවෙච්ච බෝල හොයන්න කෙමක් ඒ දවස්වල කවුරුත් දැනගෙන උන්නා. අල්ලට කෙල තැම්බක් ගහලා ඇගිල්ලකින් ඒ මැදට ගැහුවම වැඩියෙන් කෙල විසික්වෙන පැත්තෙ තමා බෝලෙ තියෙන්නෙ.

ලකුණු ගහන්න අසීරුම මේ ක්‍රීඩා පිටිවල ලොකුම ජයග්‍රහණය අවුට් නොවී ඉන්න එක. ඒකට හොදම නිදසුන කුලසිංහලගෙ ගෙදර ක්‍රිකට් පිටිය.

කුලසිංහලගෙ මිදුල පර්චස් තුන හතරක කුඩා බිම් කඩකට සීමා වෙන්න ඇති. පටු තීරුවක්. එක පැත්තකින් ගේ. අනිත් පැත්තෙන් පොඩි බෑවුම. ඊටත් එහා වෙල. පහර දෙන්න පුලුවන් ඉස්සරහට විතරයි. නමුත් හයේ සීමාවෙන් එහා පැත්තට බෝලෙ උඩින් ගිහින් වැටුනොත් අවුට්. අපි උපරිම උත්සහ කරන්නෙ අපි වටේ රොක්වෙලා ඉන්න දහයක් දොලහක් පිල්ඩින් කාරයො අතරින් බිම දිගේ ඇදිල යන විදිහට හතරේ පහරවල් ගහන එක. හයේ පාරක් ගහන එක හීනයක් තමයි. මොකද හය දශමයක් එහා මෙහා උනොත් ඉණිමක නිමාව. තවත් විශේෂයක් තිබ්බා. කුලසිංහලගෙ පිටියට ආවේනික වෙච්ච ක්‍රිකට් වාර්තා පොතක් දිනපතා අප්ඩේට් උනා. පිටියේ වැඩිම ලකුණු, අර්ධ ශතක ගාන, හොදම කැච් එක, හොදම ෆිල්ඩින් එක වගේ නානාප්‍රකාර හෑලි ඒකෙ ලිව්වෙ සමීර කුලසිංහ.

මේ වගේ බෝල ගහද්දි වෙච්ච රසවත් සිද්ධි ඕන තරං. කසුන්ලගෙ ගෙට පල්ලෙහා බෝල ගහද්දි අපි ගැහුවෙ දෙබොක්කාවක. දෙපැත්තෙම අඩි හත අටක් විතර උසට කන්ඩිය. බොලෙ වේගෙන් ගැහුවම කන්ඩි දෙකේ කැරම් ඉත්තෙක් වගේ වැදි වැදී යනවා. ගහන්න පුලුවන් එකම ඉඩ ඉස්සරහට හෝ පස්සට. මේ වගේ පිට්ටනිවල ගහපු නිසාමද මන්ද අපිට වෙන වෙන ශොට් වලට වඩා ලේසිම කෙලින් ගහන්න විතරයි. දළු එකතු කරන්න ගිහින් එන රාජ අයියා හැමදාම විකට් ලෑල්ලට පා පහරක් එල්ල කරගෙන යන එක චාරිත්‍රයක්.

ඉදුනිල් සයි බෝලෙ දැම්මෙත් අත පස්සට රවුමක් කරකවලා කැටයම් දෙක තුනක් දාලා. නුවන් බෝල ගහන්න එන්නේ  සිරිමත් මගෙ සකී - යහපත් ළමයෙකී වගේ ටී ෂර්ට් එක කොට කලිසමට යට කරලා ෂර්ට් එකේ උඩ බොත්තමත් පියවගෙන. කසුන් බැට් එක ඇල්ලුවෙ දොදොල් හැදිගාන්න වගේ. අමිලගෙ තාත්ත ඩිපෝවෙන් ගෙනාපු රතුපාට පිට ලෑලි බැට් එකෙන් ගැහුවම බැට් එක දෙදරනව විතරයි. බෝලෙ යන්නෙ නෑ. සපිරි තමයි එයාලගෙ ක්‍රීඩා පිටියෙ නීති රීති සුපිරියටම දැනගෙන හිටියේ. ඒව වෙනුවෙන් පෙනී සිටියේ.

අපි චූටිම කාලෙ බෝල ගැහුවෙ අපේ ගෙදර මිදුලෙ. ගෙට තරමක් ඈතින් තිබ්බ ටොයිලට් එකේ මහත, ඝනකම වදුරැස්ස බිත්තිය විකට් එක විදිහට සැලකුනා. අහම්බෙන් දවසක දෙකක බෝලෙ දොර යටින් රිංගලා ඇතුලට යනවා. ගියොත් නොවරදවාම පෝච්චි කටේම තමයි නතර වෙන්නෙ. ඉතින් අතින් නාල්ලා බෝලෙ ගන්න සෑහෙන දුකක් විදිනවා. හෝදල, බිම ගහල ආයෙම සෙල්ලං කරනවා.

අසංකලගෙ ගෙදර ලග බෝල ගහද්දි පාරෙ ගමන් කරමින් උන්නු ආච්චි කෙනෙක්ගෙ කම්මුලට බෝල් පාරක් වැදිලා කුනුහරුප අහගත්ත දවස අද වගේ මතකයි. අසංකලගෙ වීදුරු ජනේලෙකට හරි බෝලෙ වැදුනම අපේ කටවල් ඇඹරිලා උරහිස් ඇකිලෙනවා. කන් දෙක අත් දෙකෙන් වහගෙන දෙකට නැමෙනවා. ඒ දවස්වල අසංකලගෙ ගෙදර බිත්තියේ බෝලවල හැඩේට මඩ පාට රවුම් රවුම් සිය ගාණක් නිකං මෝස්තරයක් වගේ ඇඳිල තිබුනා.

තවත් දවසක පාරෙ බෝල ගහද්දි  නැතිවෙච්චි බෝලයක් හොයද්දි කුනුගොඩක තිබිලා ඇල්වතුර පාට හුලං ගියපු බැලුම්බෝලයක් වගේ එකක් අහුවුනා. ලොකු අයියල දෙතුන් දෙනෙක් මූනට මූන බලාගෙන හිනාවෙවී අමුතු ආතල් එකකින් ඒක කෝට්ටක අමුණලා පාරට ගෙනාවා. මේකෙ මැජික් ගතියක් තිබුනා අපිට නොතේරුනු. කවුරු කවුරුත් අමුතුවෙන් හිනා උනා. ඒත් හරියටම ඒ මොකක්ද කියල දැනගත්තෙ ඊටත් ටික කාලෙකට පස්සෙ

කොහොමටත් ඉස්කෝලෙ පිට්ටනිය වගේ ලොකු ලොකු තැන් අපිට මැච් ගහන්න මැච් උනේ නෑ. ඒ වගේම ඒ තැන්වල බෝල ගහද්දි අපිට වරප්‍රසාද හිමි උනෙත් නෑ. බෝල වැඩිය එන්නෙ නැති පැතිවල ෆිල්ඩින් කරන්නත් අහම්බෙන් බෝලයක් දෙකක් ගහන්නත් විතරක් අවස්ථාව ලැබුනු නිසා මම නං ඒ තැන් වලට ගියේ හරිම අඩුවෙන්.

එහෙම බලද්දි අපි පොඩි කාලෙ තිබුනෙ මුලු රට පුරා පැතිරිච්ච අමුතුම ක්‍රිකට් සංස්කෘතියක් තිබුනා කියල හිතෙනවා. පාරක තොටක විතරක් නෙමෙයි, ගෙවල් ඇතුලෙ හරි පන්ති කාමර ඇතුලෙ හරි කොල ගුලි ගහගෙන බැට් එකට සීආර් පොත් අරගෙන බෝල ගැසීමත් වෙනමම රහක් ගෙනාවා.  ගෙවල්වල බාල්ක වල නූලක් එල්ලලා මේස් එකක දාපු බෝලවලට තනියම බැට් එකෙන් ගහන්නත් තිබ්බෙ පුදුම උණක්. පුංචිම කාලෙ මම බෝල් දාන්න පුරුදු උනේ පේරගැට වලින් මිදුලෙ ගොඩගහල තිබ්බ ගඩොල් ගොඩට පන්දු යවල. පාරක තොටක හන්දියක් හන්දියක් ගානෙ අපි වගේම පොඩි අය ක්‍රිකට් ගැහුවා. ගෙවල් ඇතුලෙ වන් බවුන්ස් ක්‍රිකට් ගහන්නත් උනන්දු උනා. අනූ හයෙන් පස්සේ තිබ්බ හැම ලෝක කුසලානයක්ම නිදි මරාගෙන සමපෝෂ ගුලි හදාගෙන ඒව කකා ෆයිනල් ඇවිල්ලත් පරදින අවාසනාවන්ත ලෝක කුසලාන නැරඹුවා.

තරුණ වියට එලඹීමත් එක්ක අවසන් උන ඒ බෝල ගැසිල්ලේ උන්මාදය දැන් විතැන් කරගන්නෙ යූ ටියුබ් එකේ ලෝකෙ කෙහේ හරි විකාශය වන මැච් එකක් බලලා. මැච් වල හයිලයිට් බලලා. හදිසියෙන් හරි කට්ටිය සෙට් උනොත් පැයකට හරි ක්‍රිකට් මැච් එකක් ගහලා. ශෙහාන් කරුණාතිලකගෙ චයිනමන් පොතේ ඉන්න බේබදුකාර ක්‍රිකට් විචාරකය වගේ අපිත් මැරෙන තුරාවට ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන එක්තරා පිස්සො ජාතියක්ද මන්දා.

Sunday, August 22, 2021

සදාකාලික ජීවන අන්ධකාරයක් අසබඩ - සංසාර කමටහන්

 


සුනිල් කියන්නෙ මගෙ අතීත යාලුවෙක්. අතීත යාලුවෙක්  කීවම දැන් යාලුවෙක් නෙමේද කියල ප්‍රශ්නෙකුත් ඉතිරි වෙනවා. මහින්දෙ ඉගෙන ගන්නා කාලෙ, ඒ ලෙවල් කාලෙ මගෙ හොඳම යාලුවා උනේ සුනිල්. හීනයක් වගේ බොඳ වෙච්ච ඒ අතීත කාලෙ සුනිල් ප්‍රදානය කරපු නිරේලෝභී මනුස්සකම් මට තාමත් තියුණු විදිහට මතකයි. යාලුවෙක් විදිහටත් පොදුවේ මනුස්සයෙක් විදිහටත් ඒ තරම් මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් මුනගැසීම ඒ යෞවන කාලෙදි මාව විශ්මයට පත් කලා. පොත් ලියන ආසාව තදින්ම මෝරමින් තිබ්බ කාලෙ මං මගේ හිතටම කියා ගත්තා කවදකම හරි පොත් ලියන කාලෙක ඒ පොතක් සුනිල් වෙනුවෙන් පුද කරන බව.

කාලයේ ගග ගලාගෙන යද්දි ජීවිතේ වෙච්චි හැල හැප්පීම් ඇදවැටීම්, වෙනස් මුනගැසීම් එක්ක සුනිල්ව මට මග ඇරුණා. එකම සරසවියක වෙලත් නිතර මුණගැසිලත් අපිට අපිව මග හැරෙන එක වලක්වගන්න බැරි නියතයක් උනා. මුලදි මං ඒ ගැන තදින් කල්පනා කලත් තවදුරටත් නොනවත්වාම අපේ සම්බන්ධතා ලිහි ලිහී යද්දි ඒක විය යුතු දෙයක් බවට මං මගේ හිතටම අවධාරණය කර ගත්තා. සරසවියෙන් වෙන් උනාම අපි කලින්ටත් වඩා දුරස්ථ අය උනා. මාස පහ හයකට හෝ අවුරුද්දකට දෙකකට සැරයක් උවමනාවකට විතරක් කතා කරන දන්න අදුනන අය විදිහට අපේ සම්බන්ධතා දුරින් දුරට ඈතකට තල්ලු උනා.  

දැන් සුනිල්ගෙ කෙටිකතා පොතකට ගොඩගේ අත්පිටපත් තරඟෙ හොඳම පොතට හිමි සම්මානය ලැබිලා. මං ඒක දැනගත්තෙත් අදාළ දැන්වීම ගොඩගේ එකෙන්ම දාල තිබුනට පස්සෙ. පොත ගෙනත් කියෙව්වට පස්සෙ ඒ ගැන ලියන්න තද උවමනාවක් ආවා. නමුත් ඊට කලින් ඒ පූර්විකාව ලියන්නම ඕන එකක් කියලයි හිතුනෙ. මොකද සුනිල්ගෙ මේ පොත අපි අතරෙ ඒ දුරස්ථ සම්බන්ධය නිශ්චිත තීරණාත්මක ඛන්ඩනයකට පත් කරන්න හේතු උන නිසා.

කොහොම උනත් පොත ගැන මගේ අවංක මතය/ අදහස කියන එක මේ සියලු පෞද්ගලික දුරස්ථ හෝ සමීපතා වලින් හැකිතාක් ඈත් කර ස්වාධිනව කිරීමටයි මගෙ වෑයම.

 

සංසාර කමටහන්

පොත පුරාවටම දිවෙන කෙටිකතා විස්ස අතරින් බහුතරයක් කතා හරහා මට පෙනුනෙ දෙමාපිය ආදරය අහිමි අනාථ දරුවෙක්ගෙ හිත කීරි ගැස්සෙන සංවේදානාත්මක මතක ආවලියක්.  තේමාවක් විදිහට මොන මොන දිශානතීන් ගත්තත් මේ තමන්ගෙම නංගියෙක් හරි මල්ලියෙක් හරි ඔක්කේ ගහගෙන හැම කතාවක් අස්සේම ඉකිබිඳිමින් ආදර ඇබින්දක් ඉල්ලාගෙන යන කොල්ලෙක්ගෙ රූපයක් මට පේනවා.  සමස්තයක් විදිහට කෙටිකතා ගොන්නම ගොනුවෙන්නෙ පහල නිර්ධන පාන්තික ජීවන ඉසව් ඇසුරින්. අපි දන්න අඳුනන කාලෙ ඉදන් සුනිල් කියපු විදිහට හෝ සමහර කාලවල මමත් අත් දැක්ක විදිහට සුනිල්ට ඒ සියල්ල සම්බන්ධයෙන්ම ලෙහෙසියෙන් අතහැර දැමිය නොහැකි අත්දැකීම් සම්භාරයක් තියෙනවා. තමන්ගෙ ඇතුලෙම කාලයක් තිස්සේ එක්කාසු උනු සැරව ගුලියක් මිරිකලා දානව වගේ මේ කතා සියල්ලෙහිම එන්නෙ සුනිල් තමන් කුඩා කාලෙ හදවතේ පතුලෙන්ම වින්ද සාහසික ජීවන අත්දැකීම්වල නිර්මානාත්මක ප්‍රකාශනයක්ද කියලත් වෙලාවකට හිතෙනවා.  

අම්ම හෝ තාත්ත අහිමි එහෙමත් නැත්නම් දෙන්නම අහිමි දරුවෙක් අහල පහල ගෙවල් එක්ක දබර කරගන්නා බේබදු තාත්තෙක් මේ සියල්ල උහුලා සිටින ආත්තම්මෙක්, සියල්ල දෙස උපේක්ශාවෙන් බලන හාමුදුරුවො නමක් මේ කතාවල පොදු සාධයකයක් වගේ.

හුදු ආර්ථික පීඩාවම නොවෙතත් ඔහු ආවරණය කරන ජීවන කලාපය තුළ සංසාරයක් වගේ මිනිස් ජීවිත වෙලාගෙන, ඔවුන්ව මිරිකගෙන ඉන්න සදාකාලික අන්ධකාරයක් මේ කතා තුලින් නිරුත්සාහිකවම මතුවෙන්න ගන්නවා. අන්ත දුගී ජීවිත ඇතුලත සජීවී චිත්‍රයක් මේ ඔස්සේ මැවෙනවා. අවසාන කෙටිකතා කිහිපයක දුගී බව වෙත සානුකම්පිතව බර වීම සීමාව ඉක්මවන ගතියක් පෙනුනත් බොහෝ කතාවල සජීවී පන ගැහෙන බව සුරකින්න සුනිල් සමත් වෙලා තිබුනා

මට හිතෙන්නෙ මේ කතාවල සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව තමන්ගෙ සන්තානයේ නිධන්ගත වෙලා කියාගන්න බැරිව, මුක්ත කරගන්න බැරිව තිබ්බ ඇත්ත අත්දැකීම් මේ ප්‍රකාශනය හරහා උත්පාදනය වීමයි. මොනම සම්මානයකටත් වඩා සුනිල්ට වටින්නෙ ඒ මහා බර හෑල්ලු කිරීමෙන් ලැබෙන මානසික නිදහස වෙන්න ඕන.

මේ කතා කෙටියි. සමහරක් කතා ඉතාමත් කෙටියි. ඒ කෙටි බව නිසාම සිදුවීම්, අවස්ථා නිරූපනයේදි පුරුදු සිත්තරෙක් පින්සල් පහරකින් දෙකකින් අඳින රුවක් වගේ ඡායාත්මක සිදුවීම් පෙලහරක් විතරයි මේ කතා හැම එකකම වගේ තියෙන්නෙ. ශෛලියක් විදිහට ඒක ඔහුගෙ අනන්‍යතාවය පෙන්නන අතරෙම වචන වියදම් නොකර ජීවිතවල සංකීර්ණ පටලැවිලි පෙන්නුම් කරන කලාවක් නිර්මානය කරගෙන තියෙනවා. ඒක හැම අතින්ම අලුත්.  

අවස්ථා සිද්ධි වර්ණනයේදි සුනිල් සරල හා නැවුම් වාග් විලාසයක් උපයෝගි කරගන්නවා. සියුම් වර්ණනා කුඩා අවස්ථා නිරූපනය මේ ක්ශුද්‍ර කෙටිකතා හරඹයේදි අකැප උනත් ඔහු ඇතැම් අවස්ථා වෙතට නැවුම් බරක් අරගෙන එනවා.

ඊලඟ පෝය දවසෙ හවසම සිල් පවාරණය කරපු ඇත්තො පෝය අහසෙ හඳ කඩාගෙන ගියා.

උඩ කැරකෙන ෆෑන් පෙති වෙහෙස ගෙනාව හින්දා හාමුදුරුවො පුටුවෙ වාඩි උනා.

එදා හවස බස් එකෙන් බැස්ස අම්මා තාත්තව ලුණු කරේ තියාගත්තා.

වතුර කලය බිම තියල මානෙල් නැන්ද අඬන්න ගත්තා. එයාගෙ කඳුලු ලිඳට වැටුනා. වතුරෙ දියවුණා.

මෙවැනි අවස්ථා සරලවත්, ඒ සරල කම ඔස්සේම අලුත් බරක් සහිතවක් කතාව ගලාගෙන යාමට සලස්සනවා.

අවසන් වශයෙන් සුනිල්ගෙ කුලුඳුල් කෘතිය සාර්ථක මාවතකට ප්‍රවේශ වෙලා කියල අවංකව කියන්න පුලුවන්. ඒකෙ තියෙන්නෙ සුනිල්මය සංවේදනාවක්. සුනිල්මය හැඟීමක්. ඔහු ඒ තමන්ට අනන්‍ය වෙචච අත්දැකීම් සම්භාරය පෙරවදනේත් ඔහු කියනව වගේ දේශජ නවගත්තේගම සිහිකරවනා සුලු නන්නාඳුනන/ කාල නිර්නය කළ නොහැකි අතීතයක් වෙතට අපව කැන්දාගෙන යනවා. ඒ අතීතය ඇත්තේ අපේ ඇස්පනාපිටම උනත් මොකක්දෝ අපැහැදිලි දුමාරයක් ද ඒ කතා ඇසුරෙහිම පවතිනවා. මේ කතාවල අපූර්වත්වය පවතින්න ඒ දුමාරයත් වැදගත් බවයි මට අවසන් වශයෙන් හිතෙන්නෙ.

 


Saturday, June 26, 2021

ඔයා මොනතරම් මෝඩයිද?





අපරාදෙ ඔයා නිකං ඔහොම කාලෙ නාස්ති කරන්නෙ. ඔයාගෙ ඉන්න තිබුනෙ ඔතන නෙමෙයි.
ජීවිතේ සමහර අවස්ථාවල මගේ ලඟ යාලුවො වගේම සමහර දුර යාලුවොත් මට මෙහෙම කියල තියෙනවා. ඒ ගොඩක් වෙලාවට මම ඒ ගැන ගැඹුරු කල්පනාවලට යන්නෙ නැති තරම්. අර අදහසේ තියෙන ප්රසාදාත්මක අංශයෙන් මාව මත්වෙලා යන නිසා මාව කල්පනා ලෝකෙට යනවට වඩා වෙන්නෙ සැරසිලිකාරී, සැනසිලාදායී ලෝකෙක අතරමං වෙන එකද මන්දා.
ඒත් ඇත්තටම මම ඒ ගැන කල්පනා කරන්න අරගෙන ටිකක් කල්. මම ඒතරම් වටිනවද? මම මේ ඉන්න තැන මට ගැලපෙන්නෙ නැද්ද? මම ඊට වඩා ප්රබල මනුස්සයෙක්ද?
ඒත් අවංකවම ඒ ගැන හිත ඇතුලෙන් මං මං එක්කම තර්ක කලාම මම මේ නතර වෙලා ඉන්නෙ මට ඉන්න පුලුවන් ගැලපෙන තැන නේද කියල ආපස්සට හිතෙනවා. මේ මොහොතෙ මට යන්න පුලුවන් තරම් දුර නෙමේද ඒක?
බාහිරින් බලන අයට අපේ වටිනාකම්, දැනුම බුද්ධිය වගේ දේවල් පෙනෙනව උනත් මට හිතෙන්නෙ ඒ හා සමඟම බලද්දි අපි අරගෙන එන, අපේ ආත්මය වසාගෙන තියෙන අපේ මෝඩකම්, දුබලතා වගේ අංග ගැන පෙනෙනව අඩු ඇති.
ස්ටැපිඩි එතනදි නියම කතාවක් කියනවා.
ඒක හරියටම දෙපැත්තට බැදල තියෙන අශ්වයෙක් හා බූරුවෙක් වගේ. දෙන්නෙක් වගේ. ඔයාට දිගු දුරක් යන්න තියෙනවා. ඔයා තියුනුයි. ඒකෙ විවාදයක් නෑ. ඒත් බලන්න ඔයාගෙ බූරුවා හැරිල ඉන්නෙ අනිත් පැත්තට. ඔයා වඩා නුවනක්කාරයි නම් ඔයාට පුලුවන් අර බූරුවත් උස්සගෙන පුලුවන් තරම් දුරක් දුවගෙන යන්න. නැත්නම් මේකෙ අනිත් පැත්ත උනත් සිද්ධ වෙන්න පුලුවන්.
ඇත්ත. ස්ටැපිඩි කියනව වගේ අපි කවුරුවත් අංග සම්පූර්න මිනිස්සු වෙන්නෙ නෑ. දුබලකම් වගේම අනුවනකම් කියන්නෙ අපිට අපිව මුනගස්වන අපේ අවබෝධයේ කේන්ද්රය තියෙන තැන වෙන්නත් පුලුවන්.
අපේ මෝඩකම් ගැන අපි ලැජ්ජා වෙන්න ඕන නෑ. කරන්න පුලුවන් එකම දේ ඒක නිහතමානීව පිලිගන්න එක හෝ අඳුනගන්න එක. ඔයා මෝඩයෙක් නොවෙන්නෙ ඔයා ඔයාගෙ මෝඩකම දනින එක හරහා. ඔයාගෙ මෝඩකම ඔයාට අවබෝධ වෙනව කියන්නෙම ඔයා නුවනක්කාරයි කියන එකට. ස්ටැපිඩි මෙහෙම කිව්වෙ එයාට අවංකවම එයාව හෙලිදරව් කරමින් තිබුනු තැනකදි.
රැඩිකල් කියන වචනෙට පවා මම ආස නැහැ. අනිත් අතට මාව රැඩිකල් කියල හදුන්වනවට මම කැමතිත් නෑ. ජීවිතේ කවමදාකවත් මට එහෙම වෙන්න බැරිවෙයි. අති නවීන අදහස් වගේම මේ ලෝකෙ කෙනෙකු විස්වාස නොකරන තරමේ මිත්යා විස්වාස පද්ධතියකුත් මගේ ඇතුලෙ පැලවෙලා. මම දන්නෙ නෑ ඒක කොහෙන් මට දායාද උන එකක් ද කියලා. කියන්න පුලුවන් අවංකම දේ මම ඒක එකහෙලාම බැහැර කරන්න බැරි තරමට ඒ සියල්ල මගේ ආත්මයේ කොටසක් වෙලා .
අපි හැමෝගාවම තාර්කික නොවෙන විදිහේ ස්වයං විස්වාස, පොඩි පහේ පිස්සු හැසිරීම්, විස්වාස ඇදහීම් තියෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේව තියෙන්නෙ හැංගිලා. මතුපිටට පෙනෙන්නෙ නැති විදිහට අස්සෙ හංගගෙන. අපි පිටට පෙන්නන්නෙ අපේ තාර්කික දැනුමේ, නවීන හර කොටස්වල සාරයක් විතරයි.
ස්ටැපිඩි ආයෙමත් මෙහෙම කියනවා.
හිතන්න නිකමට. මම දැන් මහා දාර්ශනික කතාවක් ඔයාට කියනවා. ඒ සැනින් ඔයා හිතනවා මේ මනුස්සය මාර පොරක් මෙයාට මාර දියුනු අදහස් තියෙන්නෙ කියල. මෙහෙම හිතල ඔයාට ආපස්සට හැරෙන්න වෙන්නෙ නෑ. මෙන්න මගේ කටින් අමු මරි මෝඩ අදහසක් එලියට පනිනවා. ඒ දෙක අතර දුර මිනිත්තුවකටත් අඩුයි.
මම කියන්නෙ වෙන්න පුලුවන් අමුම විදිහ මේකයි. මේක එකම කාසියේ දෙපැත්ත. ඔයා දාර්ශනිකයෙක් වෙනව නම් ඒ තරමටම ඔයාගෙ එක් අංශයක් මෝඩකමේ පතුලෙ කිමිදෙනවා.
ඉතින් ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මම මහ මෝඩයෙක් කියලා. ජීවිතේ සමහර තීරන අරගත්තෙ, අරගන්නෙ ඒ මෝඩකම ඔස්සේමයි කියලා. ඒ එක්කම මම දන්නවා ඒ මෝඩකම දනින්න තරම් මම නුවනක්කාරයි කියලා.

මම දැන් ඉන්නෙ එතන.


ප.ලි
දැන් එතකොට ස්ටැපිඩි කියන්නෙ කවුද? මගේ ඇතුලෙ ඉන්න දාර්ශනිකයාද? මරි මෝඩයද?

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...