Wednesday, December 26, 2018


වික්‍රමසිංහ කතිකා - 04 

උපන් දා සිට 





වික්‍රමසිංහ කතිකා ආයෙ ආරම්භ කරන්න හිතුනෙ නැවත වතාවක් වික්‍රමසිංහගෙ උපන්දා සිට කියවන්න පුලුවන් උන නිසයි. කලින් වතාවන් දෙක තුනකම මුලු පොතම නැතත් අතරින් පතර කියවපු මතකය තාමත් තියෙනවා.

උපන්දා සිට, බාල විය - තරුන විය - මැදි විය කියල නම් කරල තියෙන කොටස් තුනම මේ වතාවෙත් මම අතරින් පතර ඒත් කලින්ට වඩා වෙනස් ඇහැකින් යුතුව කියෙව්වා.

වික්‍රමසිංහගෙ මතවාද ගැන මගේ තියෙන අදහස ඔබට ලියා එවීමෙන් මගේ කතිකාව නව නැම්මකට ගන්න පුලුවන් වේවි හෝ එය වෙනත් මානයකින් බැලීමට හෝ අදහස් නැවත උපත ලැබීමේ හැකියාව ගැන දන්නා නිසයි මේක ලියා එවන්නට අදහස් කලේ. ඔබ වික්‍රමසිංහ ගැන බොහෝ ගැඹුරට අධ්‍යනය කර ඇති නිසා මේ සංවාදයට ඔබ හවුල් වීම හැම අතින්ම අප දෙදෙනාටම අත්කරදෙන්නේ වාසියක් වෙන්න පුලුවන්.

මීට පෙර මම දෙතුන් වතාවක් සරච්චන්ද්‍රෙග් පින් ඇති සරසවි වරමක් දෙන්නේ පොතත් කියවා තියෙනවා.
ඉතින් මෙම කතිකා ලිපි මාලාව ඇරඹුනේම වික්‍රමසිංහ - සරච්චන්ද්‍ර ද්වි ඝටනය ඇසුරින් නිසා මෙම ලිපියත් ගලා යන්නේ එම දෙදෙනා අතරින් සංසන්දනාත්මකවම තමයි.

උපන්දාසිට කෘතියෙන් නැවත නැවතත් මට තහවුරු උනේ වික්‍රමසිහගේ අනෙක් කෘති කියවීමෙන් අනතුරුව ඇතිවූ ආකල්පයම තමයි. එනම් පුද්ගලයෙක් වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ සෑම දෙයක් දෙසම බලා ඇත්තේ බුද්ධිවාදී හෝ තාර්කික දෘශ්ටියෙන්. ඔහු ජීවිත කාලය පුරා අත පෙවූ හෝ ඉතා උවමනාවෙන් මනස යොමු කල විශයන් මොනවාදැයි විමසා බැලීමෙන් උනත් මෙය සනාථ කරගැනීමට හැකියි.

ඒ විතරක් නෙමෙයි. සමස්ථ ජීවිතය හරස්කඩක් ලෙස ගැනීමේදී පවා වික්‍රමසිංහ ඉතා අසීරුවෙන් මෙන්ම දැඩි උත්සාහයෙන් පැමින ස්වකීය ඉලක්ක කරා දැඩි පරිශ්‍රමයෙන් එලඹුනු අයෙක්. පුවත්පත් කලාවේදියෙක් වූ පසුව වවා ඔහුගේ දෛනික ජීවිතය මෙන්ම කලාත්මක ජීවිතය ඉතා පරිස්සමින් සැලසුම් කරනු ලැබූ එකක් බව මේ පොතෙන් පේනවා.

විවාහය, දරුමල්ලන් හෝ යෞවන ප්‍රේමය වැනි සංකල්ප දෙස වික්‍රමසිංහගේ මනස යොමුව තිබුනේද මම පෙරකී තාර්කික බුද්ධිවාදී දෘශ්ටියෙන්ම බවයි මට නම් පෙනෙන්නේ. හරියට අපි නූතනයේ අත් දකින් බොහෝ අයග් ජීවිතය වගේම හරිම සැලසුම් සහගතව ඉලක්කවලට ලඟා වෙමින් ජීවිතේ සෑම ඉසව්වක්ම ක්‍රමිකව ඉහල නගිමින් ගමන්කරන සාමකාමී එකක්.

වික්‍රමසිංහගේ මේ ස්වභාවයම තමයි ඔහුගේ සමස්ත සාහිත්‍ය ජීවිතය වෙත ප්‍රක්ශේපනය වන බව පෙනෙන්නෙත්. කොටින්ම ඔහු තත්කාලීන සෑම කෘතියක්ම විවේචනය කරනු ලබන්නේම ඔහුගේ බුද්ධියේ පූර්ව මිනුම් දන්ඩේ ස්වරූපයට අනූවයි. උපන්දා සිට කෘතියේ එක් තැනක ඔහු සරච්චන්ද්‍රෙග් මලගිය ඇත්තෝ කෘතිය විචාරය කරනවා. ඒ විචාරය මෙන්ම අනෙක් කෘති ගැන ඔහුගේ කෙරෙන විවේචන සියල්ලක්ම ගලා යන්නේ බුද්ධිවාදී හා තර්කවාදී මිනුමෙන්. කොටින්ම ඒක වික්‍රමසිංහගේ විදිය කියලයි මට හිතෙන්නේ.

එක් අතකට එය ගැටලුවක් හෝ වරදක් යයි බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ වික්‍රමසිංහ ඉතා දැඩිව ස්වකීය අභිමතාර්ථයම සාධනය කරනු වස් මුලු මහත් සිංහල සාහිත්‍යයම තමාගේ මිනුම් දන්ඩෙන් මැන ඒ අනූව හැඩ ගැස්වීමට කල දැඩි වෙහෙසෙන් සිංහල සාහිත්‍යෙය් නිදහස් ගමනට යම් බලපෑමක් උනාද යන්නයි. අපට ආවේනික, නිදහස්, සාහිත්‍ය මගක් සකසා ගන්න අවශ්‍ය යයි පුන පුනා තර්ක කරමින් වික්‍රමසිංහ ඉටුකල කාර්යයෙන් සිදුවුනේම නිදහස් හෝ ආවේනික තත්වය කෘතීම කිරීමක් හෝ ඒකමානීය දිශාවකට තල්ලු වීම දෝ කියල මට හිතෙනවා.

වික්‍රමසිංහ ගැමිකම(හෝ නාගරික), අපේ මූලයන්ගෙන්, සමාජයෙන් පැමිනෙන කතා ගතයුතු බව නිරන්තරව තර්ක කලේ බුද්ධිවාදී මිනුම්දන්ඩෙන් පමනයි. මෙතැනදී ආසියාතිකයන් වශයෙන් හෝ ශ්‍රී ලාංකිකයන් සතුව බටහිර ඇත්තන්ට වඩා වෙනස් හැඟුම් ලෝකයක් ඇති බවට වන තර්කය වික්‍රමසිංහ අතින් ගිලිහෙනවා.
මං ඒක තවදුරටත් පැහැදිලි කරන්නම්.

මං පුද්ගලිකව විස්වාස කරන්නේ ආසියාතික හෝ දකුනු ආසියාතික මිනිසා ස්වභාවයෙන්ම බටහිරයන්ට වඩා හැඟුම්බරයි. එනම් ඔවුන් නිරන්තරයෙන් හැරෙන්නේ තාර්කික හෝ බුද්ධිවාදී විශයන්ට වඩා හැඟුම්බර කාල්පනික තලයන්ටයි. ප්‍රේමය වැනි විශයක් අරගත්තොත් ආසියාතිකයන් හැසිරෙන අන්දමත් බටහිර මිනිසුන් හැසිරෙන අන්දමත්සපුරා වෙනස්. මෙතැනදී ආසියාතිකයන් ප්‍රේමය වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරමින් හෝ අඬා වැලපෙමින්, ඒ වෙනුවෙන් පූජනීය වූ පරිත්‍යාග කරනු ලැබුවත් ස්වභාවයනේම බටහිර ලෝකය කියන්නේම ප්‍රේමය ජීවිතයේ එක් ඉසව්වක් පමනක් බවයි.

මෙවැති තත්වයන් සන්සන්දනය කිරීමේදී අප සරලව හිතන්නේ එය බටහිර දියුනු සංකල්පයක් බවත් අපගේ නොදියුනු සංකල්පයක් බවත් වැනි දේ. නමුත් අපි ගැඹුරින් කල්පනා කර බැලුවොත් ආදි කාලයේ සිටම අප ආධ්‍යාත්මයට බර වූ කොට්ඨාසයක් බව තහවුරු වෙනවා. අපේ ආගම්, ගවේශනය කිරීම්, වෛද්‍ය සංකල්ප හෝ තොවිල් පවිල් ආදී ඕනෑම විශයක් දිවෙන්නේ ආධ්‍යාත්මික පැත්තකටයි. නමුත් මුලු මහත් බටහිර ලෝකය දිව්වේ ලෞකික ලෝකයක විද්‍යාත්මක හා තාර්කික ලෝකයක් වෙතයි. ඔවුන් හොයාගත් කාර්මිකත්වය,විද්‍යාව හා වෙනයම් ඕනෑම දෙයක් ඊට සාධක ලෙස දක්වන්න පුලුවන්.

දැන් බලන්න නූතන සිනමාව දෙස. දියුනු බටහිර හොලිවුඩ් සිනමාවේ නිරූපනය වන්නේ එක්කෝ ඉතා බිහිසුනු වෙඩිතබා ගැනීම්, කාර් රේස්, අලුත් වීරයෙක්(බැට් මෑන්,සුපර් මෑන් වැනි) වගේ දේවල්. නමුත් ආසියාවේ දියුනු බොලිවුඩ් සිනමාවේ කාලාන්තරයක් තිස්සේම නිරූපනය වන්නේ ප්‍රේමය, රෝමාන්තික ලෝකය වැනි දේවලුයි. මට හිතෙන්නේ මෙම මූලයන් හෝ සම්ප්‍රදායන් හිතාමතා ඇතිකල ඒවාට වඩා ඒවා සම්ප්‍රදායන් ලෙස ඒ ජන සමාජ ඇසුරින්ම ඉබේ හටගත් ඒවා බවයි.

මිනිසුන් ලෙස ආසියාතික අපි හැඟුම්බර පක්ශයට කොහොමටත් ලඟයි. අප දෙමාපියන් කෙරෙහි, සහෝදරයන් කෙරෙහි මෙන්ම අපේ ආදරනීයයන් කෙරෙහි දක්වන දයාව කරුනාව හෝ බැඳීම අපේ ශරීරියේ රසායනිකත්වය විසින් හසුරුවන්නක්. ඉතා ඉක්මනින් හිතා මතා ඒවායෙන් ගැලවීමට අපේ සමාජය පමනක් නෙමෙයි අපේ අභ්‍යන්තරය පවා ඉඩ දෙන්නේ නැහැ. දරුවෙක් ඉපදුනාම ආසියාතික අම්මෙක් හැසිරෙන අන්දමයි බටහිර අම්මෙක් හැසිරෙන අන්දමයි එකක් නෙමෙයි - දෙකක් බව මට අපේ බිරිඳ ඇසුරින් සිය දහස් වාරයක් පෙනී තියෙනවා. නමුත් මට හිතෙනවා බටහිරයන්ගේ රසායනිතක්වය අපට වඩා ඉඳුරාම වෙනස් තැනකයි තියෙන්නේ.  අප ඔවුන්ගේ සංකල්ප ගෙන අපේ රටේ මූලයන් හා ජන ජීවිතය ඇසුරින් ගෙන දැක්වීම එතරම් ඵලදායී යයි මට නොසිතෙන්නේ මේ නිසයි.

පින් ඇති සරසවි වරමක් දෙන්නේ

සරච්චන්ද්‍ර  යනු උක්ත මගේ සංකල්පය අනූව පෙන්විය හැකි ලාංකිකයෙක් හෝ ආසියාතිකයෙක් බවයි මට හිතෙන්නේ. ඔහුගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් ගවේශනය කලත් මීට සාධක සොයාගත හැකියි.

ඔහුගේ පවුල් ජීවිතය, ඔහු පුද්ගලයන්, දරුමල්ලන් දෙස බලන්නාවූ බැලුම. හැඟුම්බර කලාපය ඔහුගේ කෘතිය හරහා මතුවෙනවා. ඔහු ප්‍රිය කරන්නා වූ විශයන් අයත් වන්නේම වින්දනාත්මක හෝ හැඟුම්බර වූ කලාපයකටයි. සංගීතය, කවිය වැනි දේවල් තර්කයේ මිනුම් දන්ඩෙන් පෙන්වාදිය නොහැකි අපූර්වත්වයක් අප හදවතේ නිරන්තරයෙන් ජනිත කරවනවා. හරියට ප්‍රේමය වගේ. ප්‍රේමය නිරන්තරයෙන් විඳිනු, විඳවනු මිසක් එහි මහා ලොකු දර්ශනවාද හෝ යටි අරුත් තියෙන්න පුලුවන්දැයි සැකයි.

සරච්චන්ද්‍ර ඔහුගේ මුල්කාලීන කෘතිවලින් අනාවරනය කලේ මෙම හැඟුම්බර හෝ ස්වකීය සැබෑ ජීවන තත්වයන්. කල්පනා ලෝකය, මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදු දා, සිංහබාහු, මනමේ වැනි කෘති පවා මේවාට නිදසුන්.

මේ හැමකක්ම තුල චරිතයන්ගේ චිත්‍යභ්‍යන්තරික සංකීර්නතා දිස්වන බවයි මට හිතෙන්නේ. බුද්ධිවාදී සමාජ ගමනකට වඩා එවැනි චරිත ස්වකීය අභ්‍යන්තරය විසින්ම ගෙනෙන පැන හා ගැටෙනවා. අනතුරුව සමාජය ඉදිරියේත් ඇදවැටෙනවා. ගැටෙනවා.

මට මේ වෙලාවේ අහම්බෙන් වගේ මතක් උනේ අපේ උසස් පෙල කෙටිකතා සංග්‍රහයේ තිබූ සරච්දන්ද්‍රෙග් කෙටිකතාවයි. මුද්‍රා නාටකය එහි නමයි. සමහර විට ඔබටත් මතක ඇති. මුද්‍රා නාටකයෙන් නිරූපනය වන්නේ තම බිරිඳ නැටුම් ඉගනගන්නවාට සිත යටින් විරුද්ධ සහ තාර්කිකව පක්ශ වන ස්වාමිපුරුශයකිගේ සිතිවිලි සමුදායකුයි. මට හිතෙනවා එය ඉතා සියුම් තේමාවක් බව. එදා පවා මම ඒ කෙටිකතාවට සෑහෙන ඇලුම් කලා. බිරිඳට නැටුම් පන්තියට ඉඩ දී ඔහුම ඊට එරෙහිව කටයුතු කරන අභ්‍යන්තර සංකීර්නත්වයක හැටි ඔහු හොඳින් නිරූපනය කරනවා.

ජපන් කාම කතා හෙවනැල්ල

මම හිතන්නේ ඒ කාලයේ වික්‍රමසිංහගේ දැඩි විවේචන හමුවේ හෝ වෙනයම් සිදුවීම් නිසා සරච්චන්ද්‍රෙග් හෝ වෙනයම් පුද්ගලයෙකුගෙන් මතුවෙන්නට ඉඩ තිබූ මෙවැනි සාහිත්‍යයික පෙදෙසක් ක්‍රමිකව අන්ධකාරයේ සැඟවුනු බව. සරච්චන්ද්‍ර පවා පසුකාලීනව සිය කෘතිවලට ස්වාධීනව ගලායාමට ඉඩ දුන්නාද කියලාවත් මම දන්නෙ නැහැ. නමුත් එක දෙයක් පැහැදිලියි. ඔහු සිය විඳීම් පක්ශය ඇතුලෙන් දිගු ගමනක නිරත වුනා. එනම් සංගීතය, ගීතය, කවිය ඇසුරේ යන සුන්දර මාවතක් ඔහු කලාත්මක(නාට්‍ය) ජීවිතය ලෙස තෝරාගෙන තිබුනා.
ජපන් කාම කතා ලෙස වික්‍රමසිංහ දකින කතා පවා (මම ඒ ගැන දැඩිව සිතන්නේ නැතිව පොත් කිහිපයක් පමනක් කියවා තමයි මේ කියන්නේ) ඉතා හැඟුම්බර කලාපයන් ආමන්ත්‍රනය කරන කෘති බවයි මම දකින්නේ. විශේශයෙන් ඔසමු දසායි, යසුනරි කවබතා වැනි ලේඛකයන් නිර්මානවලින් පමනක් නෙමෙයි තම ජීවිතය පවා කෙලවර කරගත්තේ මෙවැනි සංකීර්නත්වයක පැටලෙමිනුයි. කවබතාගේ නිර්මාන බොහොමයක ඇත්තේ ප්‍රේමය හෝ ඉතා තද බැඳියාවන් සහිත ලෝකයක තතු විත්තියි. ඒවා ආසියාතිකයන්ට උරුම වූ ජීවන විලාසයන් මතින් පැමිනි දේ විය හැකියි.

අවසන් වශයෙන් මට කීමට ඇත්තේ වික්‍රමසිංහ හෝ සරච්චන්ද්‍ර වේවා ඉතා දැඩිව, කෙවිටක් රැගෙන මෙහෙයවන ආකාරයෙන් කලාවක දිශාව හරිගස්වන්නට වෙරදැරීම නිශ්ඵල බවයි. ඒවා ගමන් කරන්නේ ඒ ඒ ජන සමාජයේ සාමූහික අවිඥානයේ ස්වරූපයට අනූවයි. අපි ඉක්මන් වී ඒවායෙහි ගමන පෙන්වා දීම එහි ගමන කෘතීම කිරීමක් විතරයි. ගංගාවක් අතුගංගා, වැසි ජලය මෙන්ම කුනු වතුරද එක් වෙමින් සයුර සොයා ඇදෙනවා. ගංගාව යනු ඒ සියල්ලේම එක්කාසුවක්.

අපේ සාහිත්‍ය හෝ කලාව හැඟුම්බර පක්ශය තෝරාගත යුතුයයි මම මෙහිදී අවධාරනය කරනවානම් එයත් අර විදියම ආකෘතිගත කිරීමක් විතරයි. එනිසා මට යෝජනා කල හැක්කේ මොන ආකාරයට හෝ තම නිර්මානයට තමා අවංක වීම මත එහි ගමන නිදහස් වන බවයි. ආසියාතිකයන් බහුතරය හැඟුම්බර වුවත් එසේ නොවන තාර්කික අයත් එහිම අඩු වැඩි වශයෙන් සිටිය හැකියි. එසේම බටහිරත් හැඟුම්බර, ආධ්‍යාත්මයට බර වූ අය අතරින් පතර හෝ සිටින්න පුලුවන්. ඒ ඒ අය අතින් තම සම්ප්‍රදායට පටහැනි නිර්මාන මතුවීමේ ප්‍රවනතාව තිබෙනවා. නමුත් නිරන්තරයෙන්ම තමාට අවංකව කරන නිර්මානය ව්‍යජයක් ලෙස පෙනෙන්න තියෙන ඉඩ අඩුයි. තම සිතැඟි හෝ ස්වකීය මනෝභාවයන් ඇසුරින් මෙන්ම තමා අත්දකින සමාජ ස්වරූපයන් අව්‍යාජව ගෙනහැර පාන්නෙකුට ව්‍යාජ ලේබලය ඇලවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අල්පයි. එවැනි නිර්මාන සමාජය අතින් හොඳින් විචාරය වෙනවා. මතු වෙනවා හෝ ප්‍රතික්ශේප වෙනවා. ව්‍යාජ විචර මතුකිරීම් - උඩ දැමීම් ඇත්තේ ඉතා කෙටි කාලසීමාවක් පමනයි. ඒවා ගැන අප වැඩි වැඩියෙන් කලබල වීම අවශ්‍යත් නැහැ.
මේ කරුනු පිලිබඳ ඔබේ මතය කෙටියෙන් හෝ කියා එවනවානම් වටිනවා. අපේ සංවාදය අපි අපිටම විවරකර දෙන කවුලු ඇසුරින් ආලෝකය ලැබෙන්නේ හුදෙක් අපටම විතරන් නොවෙන්න පුලුවන්. එනයින් මේ සංවාදය අතිශය වැදගත් බවයි මට හිතෙන්නේ.



වික්‍රමසිංහ කතිකා - 03 
සාහිත්‍යයේ විද්‍යාව 




ලිපිපෙල ලියාගෙන යද්දී ඒ ගැන තිබුනු උනන්දුව නිසාම වික්‍රමසිංහගේ කෘති කිහිපයක් එක දිගට  කියවා බැලුවා. ඇත්තෙන්ම ඒවා ආකර්ශනීයයි සහ මෙතක් ඔහු ගැන තබා තිබූ ප්‍රතිරූපයට වඩා තියුනු සහ බුද්ධීමය ස්වරූපයක් ඒ මුහුනුවරට එමගින් ලැබුනු බව කිව හැකියි. වික්‍රමසිංහ අපේ අක්මුල් සොයා යමින් ගවේශනාත්මකව ඔහුගේ සාහිත්‍ය චාරිකාව යම් කේන්ද්‍රයක් වෙත දිශානතිගත කරනවා කියල හිතන්න පුලුවන්. ඔහුගේ විචාරශීලි කතිකාවන් බොහොමයක් ඒ හරහා යමින් පාඨකයාගේ බුද්ධිය හා ආකල්ප ඔහුගේ ආස්ථානය වෙතට ඇතුල්කරගන්න තරම් තාර්කික අතින් බෙහෙවින් ශක්තිමත්. ඒ නිසාම තව දුරටත් ඒවා කියවීමේ අනියත් බියක් හිත ඇතුලේ හොල්මන් කරන බවත් මට හැඟී ගියා. ඇත්තෙන්ම මට හිතෙනවා ඒවාට වඩා ලං වෙන්න ලං වෙන්න අපේ අවිඥානය මෙල්ල කරගත නොහැකි පරිද්දෙන් අපේ සංස්කෘතියට දේශීයත්වයට හෝ උරුමය (ජාතිකවාදය?) වෙතට නාබිගත වෙනව වැඩිද කියලා. වික්‍රමසිංහ මෙතනදී මොනතරම් මැද මාවතක ගමන් ගත් බ වක් පෙනුනත් ඒක උපේක්ශාවෙන් යුක්තව සංයමයෙන් යුතුව ඒ ගමන නිරතවීම හැමවිටම කල නොහැකි බවක්ද හිතෙනවා. ඒ කියන්නේ වරින් වර අපි අපේ දේ වෙතට නොදැනුවත්වම බර වෙන්න දක්වන අවිඥානික ආසාව අපව මෙහෙයවනවා වෙන්න ඇති. ඔබට මේ සම්බන්ධව මොකද හිතෙන්නේ? එසේම නව සන්නිවේදන ක්‍රමෝපායන් හරහා සංස්කෘතියේ සීමා මායිම් ඉරි එන්න එන්නම දියවෙවී යන්න පටන් ගෙන වගේම විවිධ සංස්කෘති අංග කවලම් වීමේ ප්‍රවනතාවයන් හරහා සංස්කෘතික හරයන් කවලම් වෙමින් සීග්‍රගාමී ගමනක නිරතවෙමින් ඉන්න බවත් පේනවා. එවැනි වටපිටාවක් තුල තවදුරටත් අපි අපේ සාහිත්‍ය යේ හෝ කලාවේ අපේ අනන්‍යතා මායිම් සලකුනු කිරීමට වෙහෙස දැරීම මොනතරම් දරට ප්‍රා යෝගිකයි කියල ද ඔබට හිතෙන්නෙ?‍

කොහොම උනත් වික්‍රමසිංහ ජපන් කාම කතා හෙවනැල්ල ගැන දැක්වූ අදහස් සම්බන්ධව මගේ ඇති විවේචනය තවමත් සිතින් සේදී ගිහින් නැහැ. නමුත් ඒ ගැන දීර්ඝ ලෙස කරුනු දක්වන්නට ගැම්මක් හෝ ආවේශයක් මේ මොහොතේ ඇත්තේ නැහැ.

සොයන්නාට හම්බවේ වගේ සරච්චන්ද්‍රෙග් සාහිත්‍ය විද්‍යාව පොත හොය හොය සිටි කාලයක අහම්බෙන් හම්බ උනා. ඒ නිසා ඒ මොහොතේම ඒක කියවන්න ගත්තා. සාහිත්‍ය විද්‍යාව සරච්චන්ද්‍ර අතින් ලියවෙන්නෙ 1965දී. ඒ කියන්නෙ කල්පනා ලෝකයට පසුව කෙරෙන ලියවිල්ලක් විදියට සලකන්න පුලුවන්. මට පේන විදියට සාහිත්‍ය විද්‍යාව කල්පනා ලෝකයටත් වඩා ඉදිරියෙන් තබන්න පුලුවන් තරමේ කෘතියක්. සරච්චන්ද්‍ර ගේ ගමන වික්‍රමසිංහගේ ගමනට හාත්පසින්ම වෙනස් වූවක් කියල මෙතනදි තවදුරටත් ගම්‍ය වෙනවා.

සාහිත්‍ය විද්‍යාවෙදි ඔහු වැඩි ඉඩක් වෙන්කරගන්නෙ සාහිත්‍යෙය්දි භාශාව භාවිත කල යුතු ආකාරය ගැන විග්‍රහ කරන්නයි. ඔහු එකම අදහසක් විවිධ වූ ආකාරයෙන් ලියනවා. ඒ ඒ තත්ව යටතේ කථකයාගේ පසුබිම, මනෝභාවයන් ඒ ඒ භාශා උපක්‍රම මගින් නිරායාසයෙන් හෙලිවන හැටි පෙන්නන්න ඔහු එතැනදී සමත් වෙනවා. වාර්තා ශෛලිය වගේම නිර්මානාත්මක භාශා විලාසයන් ඔහු එතැනදී පෙන්වා දෙනවා. අපේ සාහිත්‍යකරුවන් හොඳින් ග්‍රහනය කරගත්තානම් ඇත්තෙන්ම සරච්චන්ද්‍ර ඒ තරම් වේලාසනින් කියූ කරුන නිසා අපේ සාහිත්‍ය මීට වඩා අලංකාර වූ මාවතක ගමන් කිරීමේ හැකියාව ඇතිවෙන්න ඉඩ තිබුනා. සහ ඒ නිසාම වික්‍රමසිංහ පුන පුනා කියූ අපේ සංස්කෘතික උරුමයන් හෝ අනන්‍යතාව භාශාව හරහා නෛසර්ගිකවම සුරැකෙන්න හැකියාව තිබුනා. (තත්කාලීනවම වගේ තිලකසේන මේ සාහිත්‍යෙය් භාශාත්මක මැදිහත්වීමේ අපූර්වත්වය ඔහුගේ නිර්මාන හරහාම පෙන්වලා දුන්නත් ඔහුගෙන් ඔබ්බට එය විහිදී යාමක් පේන්නෙ නැහැ)
සාහිත්‍ය විද්‍යාවෙදි සරච්චන්ද්‍ර සංස්කෘත විචාරවාදයන් වගේම බටහිර විචාර මූලධර්මයන්ද ඇසුරු කරන බවට අනුමාන කල හැකියි. වඩාත්ම වැදගත් දේ ඔහු සාහිත්‍යය යන්න අරගන්නේ විශ්වීය අර්ථයෙන්. සාහිත්‍ය රචනා පිලිබඳ න්‍යායික විපරමක් සරල ආකාරයෙන් පෙන්වාදෙන්නයි ඔහු උත්සාහ ගන්නේ. නමුත් ඔහුගේ අර්ථ නිරූපන කවිය මූලික කරගන්න උත්සාහ ගන්නා නිසාම එය හුදෙක් සමස්ථ සාහිත්‍ය ලෝකය ඇමතීමේ අරමුනින් ගිලිහෙන බවක් ද පේනවා. ඒ නිසාම ඔහු දක්වන කරුනු කවිය වටා කේන්ද්‍රගත වූ බව සිතන්න පුලුවන්. නමුත් ඔහුගේ තර්කයන්, හුවාදැක්වීම් අපේ සමස්ථ සාහිත්‍ය වෙතටම ආරෝපනය වූවනම් එය අතිශය වැදගත් බවක් සිතෙනවා.

සාහිත්‍ය විද්‍යාවේ යම් යම් කොටස් උපුටා දක්වමින්ම මෙය පැහැදිලි කරන්න තිබුනානම් මෙය ප්‍රත්‍යක්ශ කිරීම හොඳින් කල හැකිව තිබුනා. නමුත් ජීවිතේ සියල්ලක්ම අලකමින් පිරී ගිහින්. පොතක් කියවීම, ලිවීමෙ පවා උදාසීනභාවය තුල ගිලී ගිහින්. කිසිම දෙයක් කල නොහැකි අරමුනකින් තොරව ඔහේ පැද්දෙන ජීවිතයට ඉඩ දෙමින් ඉන්නවා. අපි වයසින් මුහුකුරා යන්න යන්න තව තවත් සුපැහැදිලි වෙමින් පවතින ජීවිතයේ සිත්තමේ සාහසිකබව   දැකීම තවදුරටත් ජීවිතය අපුලකරනවාද මන්දා.

Sunday, December 23, 2018


වික්‍රමසිංහ කතිකා - 02
කල්පනා ලෝකය ඇතුලට 
(සිදුවූ බව හා සිදුවූ සැටි)






පෙර ලිපියේ සඳහන් කලේ වික්‍රමසිංහ නව පද්‍ය සිංහලය ලිවීමේදී අනුගමනය කල ස්ථාවරය ගැන මගේ ආකල්පය. නව පද්‍ය සිංහලය පලමුව මුද්‍රනය වෙන්නෙ 1957 දී. කල්පනා ලෝකය මුද්‍රනාද්වාරයෙන් නිකුත් වෙන්නෙ ඊට වසරකටත් පස්සෙ1958දී. එක ලඟ බිහිවුනු එකිනෙක ප්‍රතිපක්ශ වගේම අපේ සාහිත්‍ය විචාරවාදයන්  උනුසුම් කල කෘති දෙකක් වීම අතින් මේ සම්බන්ධතා සුවිශේශී සන්දිස්ථාන වීම එක්තරා අපූර්වත්වයක් හිතේ ඇති කරනවා.

කල්පනා ලෝකය වඩා විශේශ කෘතියක් ලෙස මට පෙනෙන්නත් මේ සබඳතා හේතුවක් කරගත් නිසාම වෙන්නත් පුලුවන්. පෙර ලිපියේ අවසානයේ දී මම පෙන්වා දුන්නා වගේ වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදීම කල්පනා ලෝකය නම් පදය හෝ අදහස ඍජුවම භාවිත කරමින් දක්වන ආකල්පය සුබවාදී එකක් නොවන බව. ඊට වසරකට පසුව සරච්චන්ද්‍ර නිමවන කාව්‍ය මූලික කරගත් විචාර කෘතියෙ නම පවා කල්පනා ලෝකය. ඉතින් මේ ද්විත්වය අතර ද්විඝටනාත්මක ඥාතීත්වයක් තියෙන්න පුලුවන් බව සිතෙන එක අසාධාරන නැහැ නේද? ඒ නිසාම කල්පනා ලෝකය ලියැවෙන්නේම වික්‍රමසිංහ නව පද්‍ය සිංහලයෙන් ප්‍රතික්ශේප කල ලෝකය දයාවෙන් වැලඳ ගැනීමක් විදියටත් සමහර වෙලාවට පෙනෙන්න පටන් ගන්නවා.

නොයෙක් දෙනාගේ අතැදැකීම් නොයෙක් දෙනා සිතන හැටි, නොයෙක් දෙනාට දැනෙන අයුරු තම කල්පනාව යොදා අවබෝධ කරගැනීමේ අපූරු ශක්තිය කවියා තුල තිබෙන්නකි. මෙය පොදු මිනිසාට නැති ශක්තියකි. පොදු මිනිසාට අනුන්ගේ හෘදය, අනුන්ගේ මනස ගොදුරු වන්නෙ ස්වල්ප වශයෙනි. පොදු මිනිසා ක්‍රියාකරන විට ඔහුට අනුන්ගේ සිත නොපෙනෙයි. පෙනෙතත් පෙනෙන්නෙ වැරදි ලෙසටය. එය නිවැරදිව පෙනෙන්නේ කවියාට පමනි. කවියාට මේ ශක්තිය ලැබෙන්නෙ ඔහුගේ කල්පනාවේ මහිමයෙනි. එය තර්ක බුද්ධියට වඩා සහජ ඉවක් සමානය. (කල්පනා ලෝකය - 96 පිටුව)

සරච්චන්ද්‍ර මූලිකත්වය දෙන්නෙ කවියාගෙ ඇතුලු හදට වීම වික්‍රමසිංහගෙන් ඔහු වෙන් කෙරෙන ප්‍රධාන සාධක අතර මූලිකයි. ඔහු පවසන්නේ කල්පනා ලොවක සැරිසැරීමත් එහි අනාථ වීමත් කවියා සිදුකරන වමත්කාරජනක චාරිකාවන් වලින් ප්‍රධානතම එකක් බවයි. ඒ වගේම අන්‍ය සිත් ගවේශනයට කවියාට ඇති සහජ හැකියාවත් මෙතනදී ඔහු විසින් පෙන්වා දෙන ප්‍රධාන අදහසක්.

ඒ වගේම වික්‍රමසිංහ අවඥාවෙන් බැහැර කරන ලද ගස් වැල් සඳ තරු වර්නනය පවා කල්පනාලොවක සිටින කවියෙත් අතින් සිදුවීම අපරිනත හෝ දුබල භාවයක් විදියට තකන්න සරච්චන්ද්‍ර සූදානම් නැහැ.
සමාජයෙහි හැසිරීමට වඩා හුදකලාබව ප්‍රිය කරන්නෝය කවීහු. රසිකයෝ. උයනක පිපී තිබෙන මල් රාශියක් නැරඹූ වර්ඩ්ස්වර්ත් කවියා පසුව තමා ඇඳෙහි වැතිර සිටි කල ඒ මල්වල අලංකාරය සිය ගුනයකින් වැඩිවී මනැසින් දුටු සැටි වර්නනා කරයි. ( කල්පනා ලෝකය 48 පිටුව)

ලෝකයේ සුඛය මතුපිට ඇත්තකි. දුක සැඟවී තිබේ. මේ සැඟවී තිබෙන දුක කවියාට නිතර පෙනේ. ඔහුගේ සියුම් නිරීක්ශන ශක්තියට එය ගොදුරු නොවන්නේ කලාතුරකිනි. මිනිසුන්ගේ කපටිකම් ද කොරහැඩිකම් ද දකින ඔහු තුල සංවේගයක් හට ගනී. ලෝකයේ සත්‍ය පරාජය වන හැටි හා අසත්‍ය ජය ගන්න සැටි දකින ඔහු වහා කලකිරෙයි. ඔහු සොයන්නේ සැලමුතු ප්‍රේමයය. අවංක මිතුරන්ය. පරම සෞන්දර්යය. එහෙත් ඔහුට මෙලොවදී එවැනි දේ නොලැබේ. (කල්පනා ලෝකය 35 පිටුව)

 මෙවැනි නිදසුන් මගින් සරච්චන්ද්‍ර අමතන්නෙ ලංකාව හෝ කොදෙව්වාසී එක්තරා සමූහයකට පමනක්ම නෙමෙයි. ඔහුට අවශ්‍ය සාහිත්‍ය කලාවේ සැබෑ තතු ස්වභාවයන් කවියාගේ හෝ නිර්මානකරුවාගේ චිත්ත ස්වභාවයන් එක්ක පවත්වනු ලබන සංකීර්න ගනුදෙනුවේ ස්වභාවය මතක්කර දීමයි. ඇතැම්විට ඔහුට මේ නිරීක්ශනයන් සඳහා හේතු වන්නට ඇත්තේ බටහිර රෝමාන්තිකවාදී සාහිත්‍ය ලක්ශනයන්ගෙන් වෙන්නත් පුලුවන්. නමුත් මම විස්වාස කරන්නේ එය අවශෝශනය කරගැනීමට තරම් ඇල්මක් ඔහුට ඇතිවන්නේම ඔහු තුලත් එවැනි මානසික පසුබිමක්, විභවතාවක් තිබීම නිසාවෙන් බවයි.

ඉතින් මෙවැනි ඇඟවුම් මගින් කල්පනා ලෝකය සහ නව පද්‍ය සිංහලය කෘති ගමන් කරන්නේ එකිනෙකට වෙනස් මාවත්වල යැයි සිතනවාට වඩා එකිනෙකට ප්‍රතිවිරුද්ධ මාවත්වල යයි සිතීම වඩා යෝග්‍ය බවයි පේන්නෙ. කලින් ලිපියේ මම අවධාරනය කල නව පද්‍ය සිංහලයේ වික්‍රමසිංහ පවසන්නේ

පැරනි කවි සමයත් ඔවුන්ගේ කෝශයත් බැහැර කල ඇතැම් තරුන කවීහු කාව්‍යයන් විමසා උගැන්මක් නුවනක් ලැබීමට නොසිතූහ. පින් ඇති ගනදෙවි නුවනක් දෙන් මට යි කන්නලව් කල දරුවන් මෙන් ඔවුහු උතුරන ආලය ඇති ගැහැනිය සරසවියකොටගෙන ඈට කන්නලව් කරන්නෝ වූහ. සමහර කවීහු නොගැඹුරු හැඟීම් හා සිතුම් වර්නනා කිරීමෙන් ලත් සන්තෘශ්ටිය පරම ධනය කොට ගත්හ. කල්පනා ලෝකයක ජීවිත්වන කවියාගේ පරම ධනය අසන්තෘශ්ටිය විය යුතුය. (නව පද්‍ය සිංහලය -  105) වශයෙනි.

නමුත් කල්පනා ලෝකය තුල සරච්චන්ද්‍ර ගෙනහැර පාන්නේ ඊට ප්‍රති තර්කයක් විය හැකි අදහසක්.

මෙසේ මසැසට ගොදුරු නොවන බොහෝ දෙය, මනැසින් බැලිය හැකිය. මසැසට ගොදුරු වන දෙය නීරසය. මනැසට ගොදුරු වන දෙය සිය ගුනයෙන් රසවත්ය.(කල්පනා ලෝකය 47 පිටුව)

ලොවෙහි මේ දුක් දෙන භාව කාව්‍යෙයහි දී පරම සුඛය දෙන රස බවට පෙරලේ. ශෝකය වුව සුඛයකට හැරේ. ශෝක ජනක කවි ශෝක ජනක කතා අප අසන්නට කැමති වන්නේ මේ හෙයිනි. අපි සලාක පත් මිලයට ගෙන ශෝක ජනක නාට්‍යයක් බලන්නට යමු. අප මෙසේ කරන්නේ ඒ ශෝක ජනක දෙය බැලීමෙන් අප සුවයක් බලන නිසා නොවේද? (කල්පනා ලෝකය 38 පිටුව)

වික්‍රමසිංහ පැරනි සකු කාව්‍ය ශෛලිය බැහැර කිරීමටත් නව බටහිර කාව්‍ය අනුකාරක බැහැර කිරීමටත් දරන තැත නිසා වක්‍රාකාරව ඔහුගේ අරමුන ජාතිකවාදී දෘශ්ටියක් වෙත කේන්ද්‍රගත වන බව මම පෙර ලිපියේදී පැවසුවා. එසේම ඔහු ආලය, සෞන්දර්ය ආදී දේ වර්නනයන් පවා නොඉවසීමෙන් ඔහුගේ විචාර භාවිතාව අන්තර්ගතානු සාහිත්‍යයක් වෙත බර වෙන බවක්ද මම ඇඟවූවා. මේ කාරනා ද්විත්වයම සරච්චන්ද්‍ර ගේ කල්පනා ලෝකය මගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අභියෝගයට ලක් කරනවා.

ආකෘතිය හා අන්තර්ගතය

සාහිත්‍යය් ආකෘතිය හා අන්තර්ගතය නම් වාදය වර්තමානයේ අපි බොහෝ වෙලාවට අඳුනාගන්නා දෙයක්. නමුත් නව පද්‍ය සිංහලයත්, කල්පනා ලෝකයත් ලියවෙන කාලයේදී ලංකාවට මේ සංකල්ප ආගන්තුක ඒවා ලෙස පෙනෙන්න ඇති. කල්පනා ලෝකය සිව්වන මුද්‍රනයේදී (1987) කෘතියේ අගට ආකෘතිය හා අන්තර්ගතය යන මැයෙන් කුඩා ලිපියක් එකතු කිරීමෙන් සරච්චන්ද්‍ර ස්වකීය මතය තවත් දියුනු විදියට මතු කරන්න වෙහෙසෙන බව පේනවා.

නමුත් පලමු එලිදැක්වීමෙදිත්(1958) ඔහු මෙය අමතක කර නැහැ. විශේශයෙන් කෘතියේ එක් පරිච්චේදයක් ඔහු නම් කර ඇත්තේම -සිදුවූ බව හා සිදුවූ සැටි- යන ශිර්ශය සහිතවයි. මෙම පරිච්ඡේදයේදී සරච්චන්ද්‍ර දක්වන්නේ සාහිත්‍යෙය්දී එය පවසන විදිය(ආකෘතිය) ඉතා වැදගත් සංකල්පයක් බවයි.
සාහිත්‍යයෙන් ද කෙරෙන්නේ යමක් සිදුවූ බව කීම නොව සිදුවූ සැටි දැක්වීමයි. වික්‍රමසිංහගේ ගම්පෙරලියෙහි නැතහොත් ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගමෙහි කිසියම් ගම්බද පෙදෙසක් වෙනස්වූ සැටි දැක්වේ. එබඳු ගම්බද පෙදෙස් වෙනස් වූ බව නම් අපි කවුරුත් දනිමු. එහෙත් වෙනස් වූ සැටි දැකීමට අපට අවස්ථාවක් නොලැබේ. මේ අවස්ථාව සලසා දෙන්නේ කවියාය.(කල්පනා ලෝකය 79 පිටුව)

මෙය නව පද්‍ය සිංහලය පුරාවට වික්‍රමසිංහ නොයෙක් කවීන්ගේ කවි විවේචනය කරමින් බොහෝ විට ඒවායෙහි අන්තර්ගතය අපේ රටට ගැලපෙනවාද හෝ එහි බස අපට ආවේනික ද වැනි තර්කයන්ට සංයමයෙන් දෙන පිලිතුරක් බවයි මට පෙනෙන්නෙ. සමහර විට මේක අහම්බයක් ද දන්නෙත් නැහැ. ඕමාර් ඛයියාම්ගේ භාවිතාව ගැන මේ කෘති දෙකෙන් කතිකාවන ආකාරය විමසීමෙන් පවා මේ කාරනය තවත් ගැඹුරින් විශ්ලේශනය කරගන්න පුලුවන් වෙන බවක් සිතෙනවා.

මඩවල එස් රත්නායකගේ රුබයියාට් පරිවර්තනයට ප්‍රස්ථාවනාවක් ලියන ආචාර්ය ශරච්චන්ද්‍ර ඛයියාම් උච්ඡේද වාදියෙකු ලෙස නොසලකන්නාක් මෙන් ගූඪ වාදියෙකු ලෙසද නොසලකයි. ජී.බී සේනානායක ඛයියාම් තාන්ත්‍රිකයන්ට ලං වන ගූඪවාදිකියි අනුමාන කරන බව පෙනේ. ඔහු එවැනි ගූඪවාදියෙක් නොවේය යනු මගේ මතයයි. (නව පද්‍ය සිංහලය 116 පිටුව)

ඛයියාම් මෙසේ තමාවෙතට කැඳවූවන්ට දෙසන්නේ බුද්ධි විශයක ගූඪ වාදයකි. ඒ වාදයට දෙවිදියකින් අරුත් කිය හැකිය. එය ඉන්ද්‍රියන් පිනවීමට අනුබල දෙන්නකි යනු ඊට දිය හැකි එක් අරුතකි. ඉන්ද්‍රියන් පිනවීමෙන් ජීවත් වීමෙහි නිසරු බව හෙලි කිරීම ඔහුගේ දර්ශනයෙහි යටි අදහස ය යනු අනික් අරුතයි. ඉන්ද්‍රියන් පිනවීමෙන් ජීවත් වූවෙකු මහලු වියෙහිදී හිස් අතින් මැරෙන සැටි කීමෙනි ඔහු තම කාව්‍යය අවසන් කරන්නේ (නව පද්‍ය සිංහලය 112 පිටුව)

ඕමාර් ඛයියාම් උච්ඡේද වාදියෙකියි සිතන්නට අනුබල දෙන කියුම් ඔහුගේ පද්‍යවලින් සොයාගත හැකිද? ඔහු උච්ඡේද වාදියෙකු නොවෙතියි නිගමනය කිරීමට අනුබල දෙන කියුම් නම් ඔහුගේ පද්‍යවල හිඟ නොවේ. (නව පද්‍ය සිංහලය 115 පිටුව)

ඕමාර් ඛයියාම් ගැන  සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකය තුල දක්වන්නේ මේ ලෙසටය

අනිත්‍යතාව පරම සත්‍ය බව පිලිගත් ඕමාර් ඛයියාම් ජීවිතය පිලිබඳව මෙනෙහි කිරීමෙන් කලකිරීමට පත් නොවී නිශ්ඵල වාද විවාදවල නොයෙදී ප්‍රීති සුඛාස්වාදයෙන් කාලය ගතකල මනායයි කීවේය. (කල්පනා ලෝකය 24 පිටුව)

ජීවිතය ගැන කලකිරී, ලෝකය මැවූ දෙවියන්ට පවා චෝදනා කොට මේ නුරුස්සනා සියල්ල අමතක කිරීමට මධු පානය බොන්නැයි ඕමාර් ඛයියාම් ද එම අදහස පවසයි. (කල්පනා ලෝකය 21 පිටුව)

මෙම උපුටන කියවා බැලීමෙන් මෙම අදහස්වල චිචල්‍යතා හඳුනාගැනීමට ඉඩ සලසා ඒ ගැන වඩ වඩා කතා නොකර ඉන්නම්.

අවසන් වශයෙන් නව පද්‍ය සිංහලය සමස්තයක් විදියට ගත්තම වික්‍රමසිංහ ඛයියාම් ගැන දැක්වූ අදහසම පුලුල් ලෙස කෘතිය පුරාම පැතිරී ඇති මූලික මතය බව සිතන්න පුලුවන්. එනම් ඉන්ද්‍රියයන් පිනවීම හෝ රස විඳීමට එහා ගිය ජීවන යථාර්ථයක් වෙත නිරන්තරයෙන් වික්‍රමසිංහ සාහිත්‍ය භාවිතාව අරමුනු කරගත්  බවක් අඟවනවා. ෙමධුවිත සමඟ හෝ කල්පනා ලොවක සැරිසැරීමෙන් හෝ රසයක්, සුවයක් විඳීම සාහිත්‍යෙය් වින්දනීය අවකාශය බව සරච්චන්ද්‍ර ඛයියාම් ඇසුරිනුත් සමස්ත කෘතිය ඇසුරිනුත් අපට මතක් කර සිටිනවා.

තම ආශාවන් මැඩ ගැනීමෙහි අපොහොසත් වූ පෘථග්ජනයා සැබෑ ලෝකයේ  තතු එතරම් සැපදායක නොවන හෙයින් තම කල්පනා ශක්තිය මෙහෙයවා තවත් ලෝකයක් මවා ගනී. සිතට තෘප්තිය නොදෙන සැබෑ ලෝකයෙන් ඔහු වරින් වර ඉවත්ව ගොස් තමා විසින් මවා ගන්නා ලද කල්පනා ලෝකයෙහි ස්වල්ප වේලාවක් හිඳ සියලුම මනදොල පුරවාගෙන තම වැඩකටයුතු සඳහා පමනක් සැබෑ ලෝකයට එයි. සැබෑ ලෝකයෙහි සිත් පිත් නැති දහමින් තැලුන් පොඩි වුනු ඔහුගේ මනස කල්පනා ලෝකයට පිවිස විඩාව සංසිඳුවාගෙන තුවාල සුවකරගෙන නැවත සැබෑ ලෝකයට පිවිසෙයි. (කල්පනා ලෝකය 25 පිටුව)

මේ ද්විඝටනාත්මක සංකල්ප ඔවුන්ගේ ඉදිරි සාහිත්‍ය විචාරාත්මක කෘති ඇසුරින් කොහොම ඝට්ටනය උනාද යන්න ගැන දැනුමක් ඔබට මේ වෙනකොටත් ඇති. ඊලඟ ලිපියේදී ජපන් කාම කතා හෙවනැල්ල සමඟ තත් කාලීන සිංහල නවකතාව හෝ පේරාදෙනි ගුරුකුල සාහිත්‍ය ගැන කරුනු දැක්වීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් මම දැක්වූ අදහස් දැක්වීම්වලට ප්‍රතිවිරුද්ධ මත ඔබ සතු නම් නොපමාව මා වෙත එවන්න. එය මම මහත් ආසාවකින් මග බලා සිටින්නක් බව අමුතුවෙන් කිව යුතුත් නැතැයි සිතනවා.

Thursday, December 20, 2018


වික්‍රමසිංහ කතිකා 01 
 සිංහල නව පද්‍ය කල්පනා ලෝකෙන් මෙතෙරට




(මේක පුද්ගලිකව හුවමාරු වුන ලිපි පෙලක් උනත් පොදු අවකාශයට මුදා හැරීමෙන්  මොකක් හෝ හොඳක් වෙන්න පුලුවන් නිසා මේ ලිපි පෙල පල කරනවා. මේ එහි පලමු ලිපිය. පුද්ගලික ලිපියක් පොදු අවකාශයට මුදා හැරීම පිලිබඳ  ඈ මා සමඟ උරන නොවන බව විස්වාසයි.) 


මේ සාකච්ඡාව කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න අපහසු පසුබිමකයි තියෙන්නෙ. නමුත් වික්‍රමසිංහ පිලිබඳව ඔබ ගැඹුරින් හදාරා ඇතැයි මම සිතන නිසා සහ පසුගිය කාල සීමාවේ ඔහු ගැන සහ ඔහුගේ භාවිතාවන් ගැන අප අතර සිදුවූ අවිධිමත් හා විසිරුනු සංවාදය නිසා මෙය ඔබ සමඟ කතිකා කිරීමේ ඇති වැදගත්ගම ගැන යලි සිහිවුනා.


නමුත් මේ සඳහා මගේ පෙලඹවීම ඇති වන්නේ ඒ ලිපි පෙල නිසාමමත් නෙමෙයි. ඒකට බලපෑ එක් ප්‍රධාන කරුනක් තියෙනවා. ඇතැම් විට ඔබත් දන්නවා පසුගිය කාලය තිස්සේ මම ජපන් නවකතාවක් සිංහලට පරිවර්තනය කල ජපන් ලේඛකයෙක් ගැන උනන්දු උන හැටි. ඒකට මුල් උනේ නත්සුමෙ සෝසෙකි කියන ජපන් ලේඛකයගෙ කොකොරෝ කියන නවකතාව තදශි නොගුචි නම් ජපන් ජාතිකයා විසින් සිංහලෙන්ම පරිවර්තනයට ලක් කිරීම. එහි පෙරවදනේ තදශි මෙහෙම කතාවක් කියල තියෙනවා.

ශ්‍රී ලංකාවේ සිටි කාලයේ දී මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවනැල්ල නම් කෘතිය මට කියවන්නට ලැබුනි. යුද්ධයෙන් පැරදුනු ජපන් සමාජය නැමති අලු ගොඩ උඩ පහල වූ ක්ශනභංකුර අපරිනත සාහිත්‍ය එම කෘතියෙන් දැඩි විවේඩනයට ලක් වෙයි. එම ග්‍රන්ථකරනයේ පරමාර්ථ ඉටුකරගැනීම සඳහා එබඳු දැඩි විවේචනයක් කිරීමට මාර්ටින් වික්‍රමසිංහ පෙලඹුනා විය හැකිය. කෙසේ වුවත් එම කෘතිය කියවීමේදී මාතෘ භූමියට මෙන්ම ශ්‍රී ලංකාවටත් ඉතා ආදරය කරන්නා වූ ජපන් ජාතිකයෙකු වන මා සිතේ කිසියම් ශොකයක් උපන්නේය. වික්‍රමසිංහගේ කෘතිය මැනවින් වටහා නොගන්නෝ ජපන් සාහිත්‍ය එකම කාම සාහිත්‍යයක් ලෙස සිතතියි සැකයක් මා සිතට පිවිසියේය. එතුමන්ගේ කෘතියට පිලිතුරක් ලිවීම මට අදාල කාරියක් නොවේ. එහෙත් උසස් ජපන් නවකතා කිහිපයක්වත් සිංහලයට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මා සිත තුල ඇති වුනේ ජපන් කාමකතා හෙවනැල්ල කියවීමෙන් පසුවය. .....(කොකොරො පෙරවදන - තදශි නොගුචි)

මේ පෙරවදන නිසාම මට මාර්ටින් වික්‍රමසිංහගේ ජපන් කාම කතා හෙවනැල්ල කියන පොත කියවන්න උවමනාවක් ඇති වෙනවා. තදශි නොගුචිගේ හදවතේ සියුම් වේදනාත්මක සිතිවිල්ල පෙරවදනේ දී ඔහු දොසකින් තොරව කියූ විලාසය එක් පැත්තකින් මගේ හිත ගත්තා.

පහුගිය සැප්තැම්බර් පොත් සල්පිලේදි වික්‍රමසිංහගෙ ජපන් කාම කතා හෙවනැල්ල වගේම නව පද්‍ය සිංහලය කියන පොතත් මිලදී ගන්න හැකි වුනා. නව පද්‍ය සිංහලය මිලදී ගත්තේ ලියනගේ සර්ගෙ අලුත්ම කාව්‍ය විචාර කෘතියේ නව පද්‍ය සිංහලය ගැන සුලු මතක් කිරීමක් දැක්කට පස්සෙයි.

මගේ මූලික කියවීම ජපන් කාම කතා හෙවනැල්ලයි. ඒකට අර කලින් කියපු හේතු සියල්ලම වගේ අඩු වැඩි වශයෙන් බලපාන්න ඇති. ජපන් කාම කතා හෙවනැල්ල ගැන තදශි නොගුචි සඳහන් කල කතාව හැරෙන්නට යන්තම්වත් හඳුනාගැනීමකින් තොරව සිටි මට ඒ පොත කියවීමෙන් පස්සෙ හිතුනෙ ඒක සරච්චන්ද්‍ර මූලික කරගත් ඔහුගේ පාක්ශික (වික්‍රමසිංහ හඳුන්වන ආකාරයට පේරාදෙනි ගුරුකුලය) කන්ඩායමක් වෙත නිර්දය විදියට කරපු සාහසික ආකාරයේ විවේචනයක් කියලයි. පලවෙනි වතාවෙ කියවපු නිසා ඒකෙ සමහර ඡේද ඔහු ලියූ අරමුනින්වත් වෙනයම්ව විදියකටවත් පුලුල් ලෙස විග්‍රහකරගන්න පුලුවන් උනේ නැහැ. නමුත් දල අදහසෙහි සාරය උරා ගන්නට මට නොහැකි උනේ නැහැ.

ඊට පස්සෙ නව පද්‍ය සිංහලය කියවීමෙන් මගේ සිතිවිලි අතර තිබුනු අපැහැදිලි බොඳ සිතුවම ක්‍රමිකව පැහැදිලි වේගෙන එන ආකාරය මට අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ අතර තුරම ඔබත් මමත් කල කෙටි අවිධිමත් සංවාදය ඇතුලේ වික්‍රමසිංහ සහ සරච්චන්ද්‍ර අතර ඇතිව තිබූ ද්විඝටනය ගැනද මගේ මතකය ඇදි ඇදී යන්න පටන් ගත්තා. ජපන් කාම කතා හෙවනැල්ලෙන් මේ ද්විඝටනයේ විසාල ප්‍රෙද්ශයක් එලිකරගන්න මට පුලුවන් උනා කියල හිතෙනවා.

ඒ හන්දාම සරච්චන්ද්‍ර මේවාට ලබාදෙන පිලිතුරු මොනවගේ වෙන්න ඇත්ද යන්න ගැන කුහුලක් මට ඇති උනා. එතෙක් කියවා නොතිබූ සරච්චන්ද්‍ර ගේ කල්පනාලෝකය මම කියවන්න සොයාගත්තේ මගේ පැරනි සැමරුම් ගොඩක් අස්සක දමා තිබෙද්දීයි.

ඒ නිසා මෙම විචාරාත්මක කතිකාවේ මූලික පියවර සරච්චන්ද්‍ර සහ වික්‍රමසිංහ අතර ඇතිවුනු සාහිත්‍ය සංවාදය කල්පනා ලෝකය හා නවපද්‍ය සිංහලය ඇසුරින් විග්‍රහකරන්න මට අවස්ථාව දෙන්න. ඔබ තුලත් මේ ගැන අධ්‍යනයක් ඇති බැවින් කියන්නට විශාල කරුනු ඇති. ඉතින් ඒවා මගේ මතවාදයට ප්‍රතිපක්ශව ඉදිරිපත් කරන ප්‍රතිප්‍රහාර ලෙස දැන්මම එකතු කොට මාවෙත එවන්න. මම ඒවා අපේක්ශා කරන්නේ දැඩි ලෙන්ගතුකමකින් බව කීම අවශ්‍යත් නැහැ.

සිංහල නව පද්‍ය කල්පනා ලෝකෙන් මෙතෙරට

වික්‍රමසිංහ නව පද්‍ය සිංහලය ලිවීමේ අරමුන ඔබත් සමඟ කල කෙටි සංවාදයේ දී අප අදහස් කල වික්‍රමසිංහගේ සමස්ථ මතවාදයෙන් වෙනස් වෙන්නේ නැති බව මට සිතෙනවා. ඒ කියන්නෙ මෙහෙමයි. වික්‍රමසිංහ නව පද්‍ය සිංහලයේදී තරමක් සංකීර්න වගේම තමන්ට අවශ්‍ය කරන ආස්ථානයක් වෙත එහි අරමුන දිශානතිගත කරනවා. වික්‍රමසිංහගේ අරමුන එකිනෙකට සම්බන්ධිත ප්‍රධාන කරුනු දෙකක් ඔස්සේ ඇඳී යන බවක් පේනවා. එකක් තමයි ඔහුට අවශ්‍යයි නූතන සිංහල කවිය සංස්කෘත කාව්‍ය අනුකරනයෙන් බිහිවූ පැරනි -නොගැඹුරු -සිංහල කවියේ සෙවනැල්ලෙන් මුදවා ගන්නට. එසේ මුදවාගන්නා සිංහල කවියට බටහිර අනුකාරක වලින් තොර අපේ ශිශ්ටාචාරය ඇසුරින් ගොඩනැගුනු නූතන දේශීයත්වයක් ආරෝපනය කිරීමටත් ඔහුට අවැසියි. මේ කාරනා දෙක මතුපිටින් බැලුවාම එකිනෙකට ප්‍රතිපක්ශයි කියල හිතුවත් වඩා ගැඹුරින් සලකලා බැලුවාම මේවා එකිනෙක අතර සහසම්බන්ධය සියුම්ව ගවේශනය කල හැකියි.

වික්‍රමසිංහගේ මේ අවශ්‍යතාවය පිලිබඳ මගේ මේ මතවාදයට ඔබ එකඟ නොවේ යයි සිතන්නට නොහැකි උනත් මගේ මතය සනාථ කිරීමක් විදියට යම් උපුටන කිහිපයක් දෙන්නම්.

උගත් යතිවරයන් පවා තවම සකු කවියත් සකු කවිය  අනුකරනයෙන් උපන් සිංහල කවියත් මහත් කොට සලකන්නේ එහි සැඟවී ඇති ගුභ්‍ය ධර්මය තර්කානුකූලව වටහා ගැනීමට වෑයම් නොකල හෙයිනියි හැඟේ. ක්ශත්‍රීයයන්ගේ කාම ජීවිතයට පිලිකුල් කල පඬිවරයෝ පවා සකු කවියෙහි සැඟවී ඇති ලෝකායත වාදය තර්කානුකූලව විවේචනයට වෑයම් නොකලෝය. ( නව පද්‍ය සිංහලය - 162 පිටුව)

මගේ නිබන්දනය වර්තමාන සිංහල පද්‍ය පැරනි පද්‍යෙයහි වහලින් මුදන්නට තරුන කවීන් කල තැතෙහි අවස්ථා කිහිපයක් හඳුන්වනු පිනිස ලියවුනකි. (නව පද්‍ය සිංහලය - 163 පිටු)

මානව භක්තිය නිසා උපන් උතුම් දෘශ්ටියක පිහිටි කවියකු, තැන්පත් මිනිසෙකු තුල පිලිකුල උපදවන තරම් ශෘංගාර වර්නනා සහිත කාව්‍යයක් රචනා කලත් එය පාඨකයා කලකිරවන ශෝකාර්ථයෙන් හා දුක්ඛාර්ථයෙන්ද තොර නොවන්නේය. කාව්‍යෙශ්ඛරය එවැනි දුක්ඛාර්ථයක් හා ශෝකාර්ථයක් ගැප්කොට ගත් ගෘංගාර කවියකි. හංස සන්දේශය හැර අනිත් සන්දේශ කාව්‍ය සෝක දුක් අරුතින් තොර වූ වර්නනාත්මක කාව්‍ය වෙයි. කවි කල්පයන්ට හරවන ලද ගැඹුරු විචාර චින්තාවන්ගෙන් පවා ඒ කාව්‍ය තොරවෙයි. ( නව පද්‍ය සිංහලය - 163)

ඉහතින් දැක්වූ උපුටන වලින් වැඩි වශයෙන් මතුවන්නේ පැරනි නොගැඹුරු සිංහල කවියෙන් නූතන සිංහල කවිය බේරා ගැනීමට වික්‍රමසිංහට තිබුනු උවමනාවයි. එසේම පැරනි කවියෙන් ගැලවුනු පමනින්ම එය නූතනවාදී විශිශ්ට කවියක් බව පවසන්නට වික්‍රමසිංහ ඉක්මන් වන්නෙත් නැහැ.

මේ දෙගොල්ලොම (පැරනි හා නූතන) ස්ත්‍රිය අද්භූතයක් කොටගෙන ඈ උදෙසා විසිතුරු බොලඳ ලෝකයක් මැවූහ. පැරනි කවීන් ඒ සඳහා පන ලැබුවේ සකු කවියෙනි.තරුන කවීන් පන ලැබුවේ සිනමා චිත්‍රයෙනි. නොඑසේනම් ආලය වර්නනා කල බටහිර ඇතැම් නවකතාකාරයන්ගෙනි. (158 පිටුව)

මුලු කෘතිය පුරාම වික්‍රමසිංහගේ ඇගයීමට ලක්වන බහුතරයක් කවීන් පැරනි පද්‍ය විලාසය අතහරින අතරේ නූතන කවියට දේශීය මුහුනුවරක් දෙන කවීන් බව පේනවා. සිරී ගුනසිංහ, ගුනදාස අමරසේකර, ජී.බී සේනානායක වැන නිසඳැස් ආකෘතිය අනූව කවි ලියූ කවියන්ද මීමන ප්‍රේමතිලක, පී.බී අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය වැනි සඳැස් කවීන්ද වික්‍රමසිංහගේ පැසසුමට ලක්වන බව පේනෙන පැහැදිලි කාරනයක්. නමුත් ඔහු මේ සියලුදෙනාම වර්නනයට ලක් කරන්නේ කොන්දේසි සහිතව බවක්ද දක්නට පුලුවන්.

එනම් නව පද්‍යවලට විශය වන කාරනා බොලඳ තේමාවන් හෝ නොගැඹුරු අරුත් ඇති සාමාන්‍ය තේමාත්මක කාව්‍ය නොව යම් සංකීර්න ගැඹුරක් මතුකරන ඒවා විය යුතු බව වික්‍රමසිංහ ඇදහූ බවක් පැහැදිලියි. වික්‍රමසිංහ තම කෘතිය පුරාවටම නියමින් හෝ අනියමින් සිදු කරන්නේ ගැඹුරු අරුතන් නිපද නොවන වර්නනා අංශයට බර වූ නිර්මාන බැහැර කිරීමට හා ඒවාට පහර ගැසීමටයි.

ව්‍යාජ සිතුම්වලින් පුම්බන්ට නොතකා තම අත්දැකීමක් කියන කල අමරසේකරගේ බස් වහර අපරිනත ලක්ශනයන්ගෙන් අඩු වෙයි. ඔහු සිතුවමක් භාවාත්මක කොට කියන්නට හෝ තම අත්දැකීමකට අනුචිත හැඟීමක් පිවිසන්නට හෝ වෑයම් කරන ඇතැම් විටක ඔහුගේ අපරිනතභාවය හෙලි වෙයි. ( නව පද්‍ය සිංහලය -130)

පැරනි කවි සමයත් ඔවුන්ගේ කෝශයත් බැහැර කල ඇතැම් තරුන කවීහු කාව්‍යයන් විමසා උගැන්මක් නුවනක් ලැබීමට නොසිතූහ. පින් ඇති ගනදෙවි නුවනක් දෙන් මට යි කන්නලව් කල දරුවන් මෙන් ඔවුහු උතුරන ආලය ඇති ගැහැනිය සරසවියකොටගෙන ඈට කන්නලව් කරන්නෝ වූහ. සමහර කවීහු නොගැඹුරු හැඟීම් හා සිතුම් වර්නනා කිරීමෙන් ලත් සන්තෘශ්ටිය පරම ධනය කොට ගත්හ. කල්පනා ලෝකයක ජීවිත්වන කවියාගේ පරම ධනය අසන්තෘශ්ටිය විය යුතුය. (නව පද්‍ය සිංහලය -  105)

මේ ආකාරයට ඔහු තම කෘතියේ කිහිප විටකදීම ගැඹුරු අරුත් නොනගන කල්පනාලෝකයට බරවූ නිර්මානකෘති හෝ පද්‍ය පන්ති බැහැර කරනු ලබයි. ඇතැම්විට ඒවා නූතන බටහිර කෘතීන් ඇසුරින් ලියවුනු බව සිතමින් ඔහු ඒවා උසස් කෘති ලෙස නොසලකා හරියි.

මතක වස්තුව පද්‍යය ද ගැහැනිය මහත්කොට සලකන්නෙකු හැඳින්වෙන්නකි. ගුනසිංහගේ මේ පද්‍යාවලීන්ට වස්තු වන්නේ ලක්දිව ජීවිතය පිලිබඳ අත්දැකීමක් සිතුවකමක් නොව ඔහු බටහිර පොතින් පතින් ලත් අත්දැකීම් හා සිතුම්ය. (157 පිටුව)


කල්පනා ලෝකය බැහැර කරනු ලැබීම

වික්‍රමසිංහ නොගැඹුරු (බොලඳ) නූතන පද්‍ය කෘති විචේචනය කිරීම තුලින් අවිඥානිකව හෝ සවිඥානිකව කල්පනාලෝකයට පහර ගසන බවක් පේනවා. මෙතනදී කල්පනා ලෝකය කියල අර්ථ දැක්වුවේ සරච්චන්ද්‍රගෙ පොත නෙමෙයි. සරච්චන්ද්‍ර ගෙ කල්පනා ලෝකය ලියවෙන්නෙ නව පද්‍ය සිංහලයටත් වසරකට පසුව නිසා මේ කෘතියෙහි ඒ කෘතියට විචාරයත් තිබෙන්න කොහොමටත් බැරි බව අපි දන්නවා.(පුවත්පත් ලිපි ඇසුරින් එහෙම උනාද කියන්නත් බැහැ) මෙතනදී වික්‍රමසිංහ කල්පනාලෝක කියන අර්ථය භාවිත කර තිබෙන්නේ පියවි ලෝකයේ දෙපා නොරඳා ප්‍රේමය ගැන, හෝ වෙනස් සෞන්දර්යාත්මක වස්තු ගැන කෙරෙන වර්නනා බව පේනවා. වික්‍රමසිංහට අනූව අපේ දේශිය සිතුම් පැතුම් පිලිබිඹු නොකරන, බොදු සංකෘතිය විසින් හෝ අපගේ සංස්කෘතිය විසින් සුපෝශිත අංග ඇතුලත් නිර්මාන මිස අනෙක් ඒවා බටහිර අනුකාරක පුස් අරුත් සුන් නිර්මාන වන බවයි.

මෙතැනදී වික්‍රමසිංහ දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ කුඩලිගම කවියාටයි. විශේශයෙන් කුඩලිගම පිලිබඳ විවරනය කෙරෙන පරිච්ඡේදයේදී ඔහු ශාන්ති නිකේතනය ඇසුරින් සාහිත්‍ය කලා හදාරා පැමිනෙන නිර්මානකරුවන්ගේ නිර්මාන පමනක් නෙමෙයි තාගෝර්ගේ භාවිතාව ගැන පවා දක්වන්නේ සුබවාදී ආකල්පයක් නොවන බව පේනවා.

බොහෝ තරුන කවීන්ට තමන්ගේ කුසලතා දියුනුකරගත නොහැකිවූයේ මිනිසුන් හා සමාජය නොතකා ඉර, හඳ, තරු, ගස් කොලන් ඇල, දොල, මහත්කොට සලකන බව කියන්ට තැතනූ හෙයිනි. (නව පද්‍ය සිංහලය 81 පිටුව)

වික්‍රමසිංහ කුඩලිගමගේ ඈ නැමති පද්‍ය පන්තිය හා කුරුලු කූඩුවක් නම් පද්‍ය කෘති දැඩි ලෙස විවේචනය කරන බව පෙනනවා. එසේ කරන්නේ ඔහු මිනිස් ජීවිතය ගැඹුරු අර්ථයෙන් මතු කරනු වෙනුවට ස්වභාව ධර්මයේ ඇති වස්තු වර්නනය කිරීමත් ඇතැම් ස්වභාවික වස්තු මිනිසුන් නිසා විනාශවී යාම ගැන ද්වේශ සහගතව මිනිසුන්ට චොදනා කිරීමත් නිසායි.

වික්‍රමසිංහ තාගෝර්ගැන දක්වන මතවාදය ද මෙම මූලික කාරනාවෙන් යන්තමින්වත් වෙනස් වන්නේ නැහැ.
තාගෝර් ශ්‍රේශ්ඨ උගතෙකි. උසස් ලේඛකයෙකි. එහෙත් ඔහු බොරු මානයෙන් නොතොර වූ හිස ඇත්තෙක් වීය. පෙරදිග මිනිසුන්ගේ ඇතැම් දුර්වලකම්, කිත් යසස් ලබනු සඳහා නොදැන වහල් කොටගත් ඔහු ලෝකයෙන් ඈත් වූවෙකු බව අඟවන්නට වෑයම් කලේ ය. ඔහු තම පද්‍ය කාව්‍යයන්ගෙන් ඉර, හඳ, තරු ගස් කොලන් , ආලය, ඊශ්වර භක්තිය එක්කොට වර්නනා කරන්නට වූයේ එහෙයිනි.(නව පද්‍ය සිංහලය-82 පිටුව)
මෙවැනි උපුටාගැනීම් රාශියකින් වික්‍රමසිංහ කල්පනාලෝකය ඇසුරින් නිර්මානය කල නිර්මාන විවේචනය කල හැටි දකින්න පුලුවන්.

මේ අනූව අපට ප්‍රත්‍යක්ශ වන එක් කරුනක් වන්නේ වික්‍රමසිංහ විසින් ගැඹුරු අරුත් සපයන නිර්මාන කෙරෙහි දැක්වූ පැහැදීමයි. එනම් ගැඹුරු මානව ධර්මයක් හෝ වින්තනයක් සහිත කෘති නිරන්තරයෙන් වික්‍රමසිංහගේ නෙත ගැටෙන බවක් මේ කෘතිය හරහා පෙන්නුම් කෙරෙනවා.ඒ නිසාම සාහිත්‍ය අරුත් මතුකෙරෙන ජනතාවාදී යොමුවක් වෙතට ඍජුව හෝ වක්‍රව ගමන් කිරීමට සැලැස්සීම මෙමගින් සිදුකෙරෙන්න ඉඩ තියෙනවා.  අනෙක් කරුන නම් (වික්‍රමසිංහගේ සමස්ථ විචාර කෘති මා කියවා නැතත්) සිංහල සාහිත්‍ය, ජාතිකවාදී අධිපති ධාරාවක් වෙත කේන්ද්‍රගත කරන්නට වික්‍රමසිංහට තිබුනු දැඩි උවමනාවයි. මේවා ජපන් කාමකතා හෙවනැල්ල කෘතිය කියවද්දිත් දැනට නොකියවූවත් නවකතාංග හා විරගය කෘතිය ලිවීමට වික්‍රමසිංහ පෙලඹවූ අරමුන ගැන සිතද්දීත් හොඳින් වටහා ගන්න පුලුවන් කාරුනු ලෙස මම දක්වන්නම්.

දැනට එපමනයි. ඉදිරි ලිපි වලදී සරච්චන්ද්‍ර ගේ කල්පනා ලෝකය කෘතිය නව පද්‍ය සිංහලයට පිලිතුරක් ලෙස සන්දර්භගතවූ හැටි වගේම ජපන් කාම කතා හෙවනැල්ල සහ තත් කාලීන සිංහල නවකතා පිලිබඳ විමසන්නට බලාපොරොත්තු වෙනවා.




ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...