Tuesday, December 18, 2018


   සියුමැලි රෝස මලේ, මල් සමය නිමවෙන්නෙ නෑ.
Pariyerum Perumal 




මම දමිල සිනමාපට ඒ තරම්ම නරඹලා නැහැ. නරඹපු අතලොස්ස අස්සෙන් මේ මොහොතේ මතක් වෙන්නෙ 96 ෆිල්ම් එක. ඒකත් එක්කම එක හුස්මට වගේ බලපු pariyerum perumal මාව අමුතු ලෝකෙකට කැඳවගෙන ගියා. මේක 96 චිත්‍රපටියට වඩා විශේශ විදිහට මට දැනෙන්න හේතු කිහිපයක් තිබුනා. 

මූලිකම හේතුව මේකෙ දෙමල සමාජයේ සංස්කෘතික ලක්ශන අව්‍යාජව පෙන්නන රිද්මයක් සහිත සිනමා රීතියකින් යුක්ත වීම කියල කියන්න පුලුවන්. සංස්කෘතියක් විදිහට දෙමල සමාජයේ එදිනෙදා සිදුවීම් ඇසුරින් රූප රාමු විකාශනය වෙද්දි එහි තියෙන ජීවමය ගුනය අපිට තදින්ම දැනෙන් ගන්නවා. බහුතරයක් දෙමල සිනමාපට  බලල නැති නිසා අනෙක් ඒව එක්ක ඒ තත්වය සංසන්දනය කරන්න තරම් දැනීමක් මට නැති උනත් මේක මම මෑතකදි අත් විඳපු බොහොමයක් නිර්මානත් එක්ක බලද්දි ඒ සජීවී භාවය තදින්ම මාව පැහැරගත්ත බවනම් කියන්නම වෙනවා. 

සංස්කෘතික - සමාජ ජීවන රිද්මයන් ඒ තරම් හොඳින් උකහා ගනිමින් නිර්මානයක් කරනව කියන්නෙම නිර්මානකරුවගෙ ස්වාධීන හා නිදහක් නිර්මාන කාර්යයේ එක් කොටසක් කියල මට හිතෙනවා. අනෙක් අතට නිර්මානකරුවා එකී සංස්කෘතික ජීවිතයට හොඳින්ම බද්ධ වූ කෙනෙක් වෙන්නම වෙනවා. මේ තත්වය ඉතා හොඳින් නිර්මානයට අදාල කරගත්තු අවස්ථාවක් විදිහට මට පෙනුනෙ මෑතක මම කියවපු හොඳම කෙටිකතාපොතකින්. සුදර්ශන සමරවීරගෙ සුනෙත් කාන්තගෙ ශෝකාන්තය තුල තියෙන්නෙත් ඒ තරම් සජීවී ජීවන විලාසයෙන් මතු වී පෙනෙන කතා අහුරක්. 

මේ චිත්‍රපටියෙ කතා පුවතත් අවසානය දක්වාම සම්මත කතා පුවත්වලින් සියුම්ව වෙනස්වෙනසුලු ලක්ශන කිහිපයක් තියෙනවා. පෙම්වතාගෙ ස්වභාවය කොහෙත්ම සම්මත වීරයාගෙ චරිතය නිරූපනය කරනව වෙනුවට ඔහු වීරයාගෙ භූමිකාවට ප්‍රවිශ්ඨ වෙන්නෙ වෙනත් මාර්ගයකින්. වානිජ චිත්‍රපටයක තියෙන ත්‍රාසය, භීතිය හෝ වීරත්වය නිරූපනය කරන්න පුලුවන් අවස්ථා එමට තියෙද්දි මේ චිත්‍රපටිය ඒකම අනන්‍ය මාවතක ස්වාධීන ගමනක නිරතවන බවයි පේන්නෙ. 

සටන් ජවනිකා පවා ඉතාමත් තාත්වික ආකාරයෙන් නිරූපනය කරන්න චිත්‍රපටකරුවා සමත් වෙලා තියෙනවා.  ප්‍රේමය වගේ විශයකදි පුද්ගලයන් මුහුනදෙන මනෝමූලික කාරනාවන් සියුම්ව සහ සරල ආකාරයෙන් නිරූපනය කරන්න සමත් වීම වගේ ‍ දේවලුත් මේ චිත්‍රපටිය තුල හොඳන් මතුකෙරිල තියෙනවා. 

ඉංග්‍රීසි අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ ස්වරූපය වගේ සමාජ දේශපාලන කාරනා බොහොමයකුත් මේ අස්සෙ ගලා යමින් තිබෙනවා.  


පෙම්වතා සහ පෙම්වතිය අතර සම්බන්ධයේ ස්වරූපයත් ඒ ඒ චරිතවල ස්වභාවයනුත් වෙනස් සහ විස්වසනීය විදිහට නිරූපනය කරන්න වීමත් හොඳ දෙයක්.  මේ වගේ කියපු නොකියපු බොහෝ දේවල් නිසා මේක මෑත කාලීනව මම බලපු බොහොමයක් චිත්‍රපට අතරින් ඉහලටම මතුවෙලා එන්න සමත් වෙලා ආපු බව  පැහැදිලිවම කියන්න පුලුවන්. 

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...