වික්‍රමසිංහ කතිකා - 02
කල්පනා ලෝකය ඇතුලට
(සිදුවූ බව හා සිදුවූ සැටි)
පෙර ලිපියේ සඳහන් කලේ වික්‍රමසිංහ නව පද්‍ය
සිංහලය ලිවීමේදී අනුගමනය කල ස්ථාවරය ගැන මගේ ආකල්පය. නව පද්‍ය සිංහලය පලමුව මුද්‍රනය
වෙන්නෙ 1957 දී. කල්පනා ලෝකය මුද්‍රනාද්වාරයෙන් නිකුත් වෙන්නෙ ඊට වසරකටත්
පස්සෙ1958දී. එක ලඟ බිහිවුනු එකිනෙක ප්‍රතිපක්ශ වගේම
අපේ සාහිත්‍ය විචාරවාදයන් උනුසුම් කල කෘති
දෙකක් වීම අතින් මේ සම්බන්ධතා සුවිශේශී සන්දිස්ථාන වීම එක්තරා අපූර්වත්වයක් හිතේ
ඇති කරනවා.
කල්පනා ලෝකය වඩා විශේශ කෘතියක් ලෙස මට පෙනෙන්නත් මේ සබඳතා හේතුවක්
කරගත් නිසාම වෙන්නත් පුලුවන්. පෙර ලිපියේ අවසානයේ දී මම පෙන්වා දුන්නා වගේ
වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදීම කල්පනා ලෝකය නම් පදය හෝ අදහස ඍජුවම භාවිත කරමින්
දක්වන ආකල්පය සුබවාදී එකක් නොවන බව. ඊට වසරකට පසුව සරච්චන්ද්‍ර නිමවන කාව්‍ය මූලික
කරගත් විචාර කෘතියෙ නම පවා කල්පනා ලෝකය. ඉතින් මේ ද්විත්වය අතර ද්විඝටනාත්මක
ඥාතීත්වයක් තියෙන්න පුලුවන් බව සිතෙන එක අසාධාරන නැහැ නේද? ඒ නිසාම කල්පනා ලෝකය
ලියැවෙන්නේම වික්‍රමසිංහ නව පද්‍ය සිංහලයෙන් ප්‍රතික්ශේප කල ලෝකය දයාවෙන් වැලඳ
ගැනීමක් විදියටත් සමහර වෙලාවට පෙනෙන්න පටන් ගන්නවා.
නොයෙක් දෙනාගේ අතැදැකීම් නොයෙක් දෙනා සිතන හැටි, නොයෙක් දෙනාට දැනෙන
අයුරු තම කල්පනාව යොදා අවබෝධ කරගැනීමේ අපූරු ශක්තිය කවියා තුල තිබෙන්නකි. මෙය පොදු
මිනිසාට නැති ශක්තියකි. පොදු මිනිසාට අනුන්ගේ හෘදය, අනුන්ගේ මනස ගොදුරු වන්නෙ
ස්වල්ප වශයෙනි. පොදු මිනිසා ක්‍රියාකරන විට ඔහුට අනුන්ගේ සිත නොපෙනෙයි. පෙනෙතත්
පෙනෙන්නෙ වැරදි ලෙසටය. එය නිවැරදිව පෙනෙන්නේ කවියාට පමනි. කවියාට මේ ශක්තිය
ලැබෙන්නෙ ඔහුගේ කල්පනාවේ මහිමයෙනි. එය තර්ක බුද්ධියට වඩා සහජ ඉවක් සමානය. (කල්පනා
ලෝකය - 96 පිටුව)
සරච්චන්ද්‍ර මූලිකත්වය දෙන්නෙ කවියාගෙ ඇතුලු හදට වීම වික්‍රමසිංහගෙන්
ඔහු වෙන් කෙරෙන ප්‍රධාන සාධක අතර මූලිකයි. ඔහු පවසන්නේ කල්පනා ලොවක සැරිසැරීමත්
එහි අනාථ වීමත් කවියා සිදුකරන වමත්කාරජනක චාරිකාවන් වලින් ප්‍රධානතම එකක් බවයි. ඒ
වගේම අන්‍ය සිත් ගවේශනයට කවියාට ඇති සහජ හැකියාවත් මෙතනදී ඔහු විසින් පෙන්වා දෙන
ප්‍රධාන අදහසක්.
ඒ වගේම වික්‍රමසිංහ අවඥාවෙන් බැහැර කරන ලද ගස් වැල් සඳ තරු වර්නනය
පවා කල්පනාලොවක සිටින කවියෙත් අතින් සිදුවීම අපරිනත හෝ දුබල භාවයක් විදියට තකන්න
සරච්චන්ද්‍ර සූදානම් නැහැ.
සමාජයෙහි හැසිරීමට වඩා හුදකලාබව ප්‍රිය කරන්නෝය කවීහු. රසිකයෝ. උයනක
පිපී තිබෙන මල් රාශියක් නැරඹූ වර්ඩ්ස්වර්ත් කවියා පසුව තමා ඇඳෙහි වැතිර සිටි කල ඒ
මල්වල අලංකාරය සිය ගුනයකින් වැඩිවී මනැසින් දුටු සැටි වර්නනා කරයි. ( කල්පනා ලෝකය
48 පිටුව)
ලෝකයේ සුඛය මතුපිට ඇත්තකි. දුක සැඟවී තිබේ. මේ සැඟවී තිබෙන දුක
කවියාට නිතර පෙනේ. ඔහුගේ සියුම් නිරීක්ශන ශක්තියට එය ගොදුරු නොවන්නේ කලාතුරකිනි.
මිනිසුන්ගේ කපටිකම් ද කොරහැඩිකම් ද දකින ඔහු තුල සංවේගයක් හට ගනී. ලෝකයේ සත්‍ය
පරාජය වන හැටි හා අසත්‍ය ජය ගන්න සැටි දකින ඔහු වහා කලකිරෙයි. ඔහු සොයන්නේ සැලමුතු
ප්‍රේමයය. අවංක මිතුරන්ය. පරම සෞන්දර්යය. එහෙත් ඔහුට මෙලොවදී එවැනි දේ නොලැබේ.
(කල්පනා ලෝකය 35 පිටුව)
මෙවැනි නිදසුන් මගින්
සරච්චන්ද්‍ර අමතන්නෙ ලංකාව හෝ කොදෙව්වාසී එක්තරා සමූහයකට පමනක්ම නෙමෙයි. ඔහුට අවශ්‍ය
සාහිත්‍ය කලාවේ සැබෑ තතු ස්වභාවයන් කවියාගේ හෝ නිර්මානකරුවාගේ චිත්ත ස්වභාවයන්
එක්ක පවත්වනු ලබන සංකීර්න ගනුදෙනුවේ ස්වභාවය මතක්කර දීමයි. ඇතැම්විට ඔහුට මේ
නිරීක්ශනයන් සඳහා හේතු වන්නට ඇත්තේ බටහිර රෝමාන්තිකවාදී සාහිත්‍ය ලක්ශනයන්ගෙන්
වෙන්නත් පුලුවන්. නමුත් මම විස්වාස කරන්නේ එය අවශෝශනය කරගැනීමට තරම් ඇල්මක් ඔහුට
ඇතිවන්නේම ඔහු තුලත් එවැනි මානසික පසුබිමක්, විභවතාවක් තිබීම නිසාවෙන් බවයි.
ඉතින් මෙවැනි ඇඟවුම් මගින් කල්පනා ලෝකය සහ නව පද්‍ය සිංහලය කෘති ගමන්
කරන්නේ එකිනෙකට වෙනස් මාවත්වල යැයි සිතනවාට වඩා එකිනෙකට ප්‍රතිවිරුද්ධ මාවත්වල යයි
සිතීම වඩා යෝග්‍ය බවයි පේන්නෙ. කලින් ලිපියේ මම අවධාරනය කල නව පද්‍ය සිංහලයේ වික්‍රමසිංහ
පවසන්නේ
පැරනි කවි සමයත් ඔවුන්ගේ කෝශයත් බැහැර කල ඇතැම්
තරුන කවීහු කාව්‍යයන් විමසා උගැන්මක් නුවනක් ලැබීමට නොසිතූහ. පින් ඇති ගනදෙවි
නුවනක් දෙන් මට යි කන්නලව් කල දරුවන් මෙන් ඔවුහු උතුරන ආලය ඇති ගැහැනිය
සරසවියකොටගෙන ඈට කන්නලව් කරන්නෝ වූහ. සමහර කවීහු නොගැඹුරු හැඟීම් හා සිතුම් වර්නනා
කිරීමෙන් ලත් සන්තෘශ්ටිය පරම ධනය කොට ගත්හ. කල්පනා ලෝකයක ජීවිත්වන කවියාගේ පරම ධනය
අසන්තෘශ්ටිය විය යුතුය. (නව පද්‍ය සිංහලය - 105) වශයෙනි.
නමුත් කල්පනා ලෝකය තුල සරච්චන්ද්‍ර ගෙනහැර පාන්නේ
ඊට ප්‍රති තර්කයක් විය හැකි අදහසක්.
මෙසේ මසැසට ගොදුරු නොවන බොහෝ දෙය, මනැසින් බැලිය
හැකිය. මසැසට ගොදුරු වන දෙය නීරසය. මනැසට ගොදුරු වන දෙය සිය ගුනයෙන් රසවත්ය.(කල්පනා
ලෝකය 47 පිටුව)
ලොවෙහි මේ දුක් දෙන භාව කාව්‍යෙයහි දී පරම සුඛය
දෙන රස බවට පෙරලේ. ශෝකය වුව සුඛයකට හැරේ. ශෝක ජනක කවි ශෝක ජනක කතා අප අසන්නට කැමති
වන්නේ මේ හෙයිනි. අපි සලාක පත් මිලයට ගෙන ශෝක ජනක නාට්‍යයක් බලන්නට යමු. අප මෙසේ
කරන්නේ ඒ ශෝක ජනක දෙය බැලීමෙන් අප සුවයක් බලන නිසා නොවේද? (කල්පනා ලෝකය 38 පිටුව)
වික්‍රමසිංහ පැරනි සකු කාව්‍ය ශෛලිය බැහැර
කිරීමටත් නව බටහිර කාව්‍ය අනුකාරක බැහැර කිරීමටත් දරන තැත නිසා වක්‍රාකාරව ඔහුගේ
අරමුන ජාතිකවාදී දෘශ්ටියක් වෙත කේන්ද්‍රගත වන බව මම පෙර ලිපියේදී පැවසුවා. එසේම
ඔහු ආලය, සෞන්දර්ය ආදී දේ වර්නනයන් පවා නොඉවසීමෙන් ඔහුගේ විචාර භාවිතාව
අන්තර්ගතානු සාහිත්‍යයක් වෙත බර වෙන බවක්ද මම ඇඟවූවා. මේ කාරනා ද්විත්වයම සරච්චන්ද්‍ර
ගේ කල්පනා ලෝකය මගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අභියෝගයට ලක් කරනවා.
ආකෘතිය හා අන්තර්ගතය
සාහිත්‍යය් ආකෘතිය හා අන්තර්ගතය නම් වාදය වර්තමානයේ
අපි බොහෝ වෙලාවට අඳුනාගන්නා දෙයක්. නමුත් නව පද්‍ය සිංහලයත්, කල්පනා ලෝකයත් ලියවෙන
කාලයේදී ලංකාවට මේ සංකල්ප ආගන්තුක ඒවා ලෙස පෙනෙන්න ඇති. කල්පනා ලෝකය සිව්වන මුද්‍රනයේදී
(1987) කෘතියේ අගට ආකෘතිය හා අන්තර්ගතය යන මැයෙන් කුඩා ලිපියක් එකතු කිරීමෙන්
සරච්චන්ද්‍ර ස්වකීය මතය තවත් දියුනු විදියට මතු කරන්න වෙහෙසෙන බව පේනවා.
නමුත් පලමු එලිදැක්වීමෙදිත්(1958) ඔහු මෙය අමතක
කර නැහැ. විශේශයෙන් කෘතියේ එක් පරිච්චේදයක් ඔහු නම් කර ඇත්තේම -සිදුවූ බව හා
සිදුවූ සැටි- යන ශිර්ශය සහිතවයි. මෙම පරිච්ඡේදයේදී සරච්චන්ද්‍ර දක්වන්නේ සාහිත්‍යෙය්දී
එය පවසන විදිය(ආකෘතිය) ඉතා වැදගත් සංකල්පයක් බවයි.
සාහිත්‍යයෙන් ද කෙරෙන්නේ යමක් සිදුවූ බව කීම නොව
සිදුවූ සැටි දැක්වීමයි. වික්‍රමසිංහගේ ගම්පෙරලියෙහි නැතහොත් ලෙනාඩ් වුල්ෆ්ගේ
බැද්දේගමෙහි කිසියම් ගම්බද පෙදෙසක් වෙනස්වූ සැටි දැක්වේ. එබඳු ගම්බද පෙදෙස් වෙනස්
වූ බව නම් අපි කවුරුත් දනිමු. එහෙත් වෙනස් වූ සැටි දැකීමට අපට අවස්ථාවක් නොලැබේ.
මේ අවස්ථාව සලසා දෙන්නේ කවියාය.(කල්පනා ලෝකය 79 පිටුව)
මෙය නව පද්‍ය සිංහලය පුරාවට වික්‍රමසිංහ නොයෙක්
කවීන්ගේ කවි විවේචනය කරමින් බොහෝ විට ඒවායෙහි අන්තර්ගතය අපේ රටට ගැලපෙනවාද හෝ එහි
බස අපට ආවේනික ද වැනි තර්කයන්ට සංයමයෙන් දෙන පිලිතුරක් බවයි මට පෙනෙන්නෙ. සමහර විට
මේක අහම්බයක් ද දන්නෙත් නැහැ. ඕමාර් ඛයියාම්ගේ භාවිතාව ගැන මේ කෘති දෙකෙන් කතිකාවන
ආකාරය විමසීමෙන් පවා මේ කාරනය තවත් ගැඹුරින් විශ්ලේශනය කරගන්න පුලුවන් වෙන බවක්
සිතෙනවා.
මඩවල එස් රත්නායකගේ රුබයියාට් පරිවර්තනයට ප්‍රස්ථාවනාවක්
ලියන ආචාර්ය ශරච්චන්ද්‍ර ඛයියාම් උච්ඡේද වාදියෙකු ලෙස නොසලකන්නාක් මෙන් ගූඪ
වාදියෙකු ලෙසද නොසලකයි. ජී.බී සේනානායක ඛයියාම් තාන්ත්‍රිකයන්ට ලං වන ගූඪවාදිකියි
අනුමාන කරන බව පෙනේ. ඔහු එවැනි ගූඪවාදියෙක් නොවේය යනු මගේ මතයයි. (නව පද්‍ය සිංහලය 116 පිටුව)
ඛයියාම් මෙසේ තමාවෙතට කැඳවූවන්ට දෙසන්නේ බුද්ධි
විශයක ගූඪ වාදයකි. ඒ වාදයට දෙවිදියකින් අරුත් කිය හැකිය. එය ඉන්ද්‍රියන් පිනවීමට
අනුබල දෙන්නකි යනු ඊට දිය හැකි එක් අරුතකි. ඉන්ද්‍රියන් පිනවීමෙන් ජීවත් වීමෙහි
නිසරු බව හෙලි කිරීම ඔහුගේ දර්ශනයෙහි යටි අදහස ය යනු අනික් අරුතයි. ඉන්ද්‍රියන්
පිනවීමෙන් ජීවත් වූවෙකු මහලු වියෙහිදී හිස් අතින් මැරෙන සැටි කීමෙනි ඔහු තම කාව්‍යය
අවසන් කරන්නේ
(නව පද්‍ය සිංහලය 112 පිටුව)
ඕමාර් ඛයියාම් උච්ඡේද වාදියෙකියි සිතන්නට අනුබල
දෙන කියුම් ඔහුගේ පද්‍යවලින් සොයාගත හැකිද? ඔහු උච්ඡේද වාදියෙකු නොවෙතියි නිගමනය
කිරීමට අනුබල දෙන කියුම් නම් ඔහුගේ පද්‍යවල හිඟ නොවේ. (නව පද්‍ය සිංහලය 115 පිටුව)
ඕමාර් ඛයියාම් ගැන සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකය තුල දක්වන්නේ මේ
ලෙසටය
අනිත්‍යතාව පරම සත්‍ය බව පිලිගත් ඕමාර් ඛයියාම්
ජීවිතය පිලිබඳව මෙනෙහි කිරීමෙන් කලකිරීමට පත් නොවී නිශ්ඵල වාද විවාදවල නොයෙදී ප්‍රීති
සුඛාස්වාදයෙන් කාලය ගතකල මනායයි කීවේය. (කල්පනා ලෝකය 24 පිටුව)
ජීවිතය ගැන කලකිරී, ලෝකය මැවූ දෙවියන්ට පවා චෝදනා
කොට මේ නුරුස්සනා සියල්ල අමතක කිරීමට මධු පානය බොන්නැයි ඕමාර් ඛයියාම් ද එම අදහස
පවසයි. (කල්පනා ලෝකය 21 පිටුව)
මෙම උපුටන කියවා බැලීමෙන් මෙම අදහස්වල චිචල්‍යතා
හඳුනාගැනීමට ඉඩ සලසා ඒ ගැන වඩ වඩා කතා නොකර ඉන්නම්.
අවසන් වශයෙන් නව පද්‍ය සිංහලය සමස්තයක් විදියට
ගත්තම වික්‍රමසිංහ ඛයියාම් ගැන දැක්වූ අදහසම පුලුල් ලෙස කෘතිය පුරාම පැතිරී ඇති මූලික
මතය බව සිතන්න පුලුවන්. එනම් ඉන්ද්‍රියයන් පිනවීම හෝ රස විඳීමට එහා ගිය ජීවන
යථාර්ථයක් වෙත නිරන්තරයෙන් වික්‍රමසිංහ සාහිත්‍ය භාවිතාව අරමුනු කරගත් බවක් අඟවනවා. ෙමධුවිත සමඟ හෝ කල්පනා ලොවක
සැරිසැරීමෙන් හෝ රසයක්, සුවයක් විඳීම සාහිත්‍යෙය් වින්දනීය අවකාශය බව සරච්චන්ද්‍ර ඛයියාම්
ඇසුරිනුත් සමස්ත කෘතිය ඇසුරිනුත් අපට මතක් කර සිටිනවා.
තම ආශාවන් මැඩ ගැනීමෙහි අපොහොසත් වූ පෘථග්ජනයා
සැබෑ ලෝකයේ තතු එතරම් සැපදායක නොවන හෙයින්
තම කල්පනා ශක්තිය මෙහෙයවා තවත් ලෝකයක් මවා ගනී. සිතට තෘප්තිය නොදෙන සැබෑ ලෝකයෙන්
ඔහු වරින් වර ඉවත්ව ගොස් තමා විසින් මවා ගන්නා ලද කල්පනා ලෝකයෙහි ස්වල්ප වේලාවක්
හිඳ සියලුම මනදොල පුරවාගෙන තම වැඩකටයුතු සඳහා පමනක් සැබෑ ලෝකයට එයි. සැබෑ ලෝකයෙහි
සිත් පිත් නැති දහමින් තැලුන් පොඩි වුනු ඔහුගේ මනස කල්පනා ලෝකයට පිවිස විඩාව
සංසිඳුවාගෙන තුවාල සුවකරගෙන නැවත සැබෑ ලෝකයට පිවිසෙයි. (කල්පනා ලෝකය 25 පිටුව)
මේ ද්විඝටනාත්මක සංකල්ප ඔවුන්ගේ ඉදිරි සාහිත්‍ය
විචාරාත්මක කෘති ඇසුරින් කොහොම ඝට්ටනය උනාද යන්න ගැන දැනුමක් ඔබට මේ වෙනකොටත් ඇති.
ඊලඟ ලිපියේදී ජපන් කාම කතා හෙවනැල්ල සමඟ තත් කාලීන සිංහල නවකතාව හෝ පේරාදෙනි
ගුරුකුල සාහිත්‍ය ගැන කරුනු දැක්වීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් මම දැක්වූ
අදහස් දැක්වීම්වලට ප්‍රතිවිරුද්ධ මත ඔබ සතු නම් නොපමාව මා වෙත එවන්න. එය මම මහත්
ආසාවකින් මග බලා සිටින්නක් බව අමුතුවෙන් කිව යුතුත් නැතැයි සිතනවා.
No comments:
Post a Comment