Saturday, December 31, 2016


මේ මගේ සඳයි


බලන්න ඉතා ආසාවෙන් ඉන්න පැරනි සිංහල චිත්‍රපට කිහිපයක්ම ලැයිස්තුවක් විදියට හිතේ තියෙනවා.(නිද. පාරදිගේ, නිම් වලල්ල,වැලි කතර, හාරලක්ශෙ, කලුදියදහර, දෙලොවක් අතර වගේ ඒව) ඉන් එකක්වත් තාම බලන්න හම්බ උනේ නෑ. අනාගතයේදි බලන්න ලැබෙයිද දන්නෙත් නෑ.  පැරනි සිංහල චිත්‍රපට බොහොමයක නම් පමනක් අසන්න ලැබීම නූතන පරම්පරාවෙ අභාග්‍යයක් ද මන්දා. නූතන තාක්ශනික යුගයක වෙලත් ඇයි එවැනි චිත්‍රපටි බොහොමයක් තවමත් අන්තර්ජාලයෙන් හොයාගන්න බැරි වෙන්නෙ. සිනමාවට වඩා පැරනි තාක්ශනය සමඟත් එතරම් සම්බන්ධයක් නැති සාහිත්‍යෙය්දි නම් තත්වය ඔයිට වෙනස්.  පරන පොතක් නම් අවම වශයෙන් ඒක මුද්‍රන කිහිපවාරයක් සිදුවෙලා හරි පාඨකය සොයාගෙන එනවා. නැත්නම් පුස්තකාලෙකින් පවා එකක් හොයාගන්න අසීරු නැහැ. නමුත් සිංහල චිත්‍රපට සම්බන්දයෙන් නම් තත්වය හාත්පසින්ම වෙනස්. පරන සිංහල චිත්‍රපට ඇතැම්විට 90 දශකයේ සිනමා නිර්මාන පවා හොයාගන්න එක ලේසි නැහැ. ඒකට නිශ්චිත, ප්‍රේක්ශකයාට මිත්‍රශීලී ක්‍රමවේදයක් අපේ සිනමා කර්මාන්තය ඇතුලෙ තවමත් ගොඩනැංවිලා නැතුව ඇති. ටොරාන එකෙන් සමහර චිත්‍රපට ගන්න පුලුවන් බව ආරංචි උනත් දීප ව්‍යාප්තව ඒව විකුනන ක්‍රමවේදයක් තියෙනවද කියන්න නම් දන්නෙ නෑ.


කලින් කිව්වත් වගේ මේ මගේ සඳයි චිත්‍රපටය බලන්න ඉතා ආසාවෙන් හිටියත් තාම  බලන්න අවස්ථාවක් උදා උනේ නෑ. දන්න විදියට මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2000දී. තිර පිටපත දෙතුන් වතාවක් කියවන්න අවස්ථාව ලැබුනු නිසා ඒක බලන්න තියෙන ඇල්ම තව තවත් වර්ධනය උනා.  පිටපත කියවද්දිත් හිතෙන්නෙ මේක වෙනස්ම ශෛලියකින් සැකසුනු එකක් විය හැකි බවයි. මේ කෙටිම කෙටි සටහන චිත්‍රපටය ගැනම නෙමෙයි උනත් මේ ඒ ගැන නෙමෙයිත් නෙමෙයි. අශෝක හඳගම තිරපිටපත සහිත කෘතියේ පෙරවදන සරසන්නෙ අලුත්ම අදහස් මුසුවක් ඊට එක් කරමින්. ඇත්තෙන්ම ඒක හරිම අව්‍යාජ වගේම අවංක ප්‍රෙව්ශයක් කියලයි මට හිතෙන්නෙ. පහතින් දැක්වෙන්නෙ ඒ පෙරවදන.

ඉස්සර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කාලාවේ පරමාර්ථ සම්බන්ධව අපට විවිධ අර්ත දැක්වීම් තිබුණා. ඔබේ කෘතියේ අරමුණ කුමක්දැයි අහන ප්‍රශ්නයකට අපට තිබුණේ ජනතාව, පන්ති අරගලය, පෝෂණය වගේ ගාම්භිර උත්තර. ඒත් අද මට දැනෙන්නේ ඒවා බොහෝම රොමෑන්ටික් කතා හැටියට.
කෘතියක අරමුණ විය යුත්තේ කෘතියමයි. කලාකරුවෙකුගේ අභිප්‍රාය විය යුත්තේ පරිනත කෘතියක් නිර්මාණය කිරීමයි. පරිණත කෘතියක් සමාජයක චින්තන ප්‍රවාහය කැළඹිමකට ලක් කරනවා. ඇතැම් විට එහි දිශානතිය වෙනස් කරනවා. කෘතියක් සමාජ සංවර්ධනයට උර දෙන්නේ එහෙම.
කෘතියක් නිර්මාණයේ දී මා කරන්නේ මාවම ප්‍රශ්න කර ගැනීම. කෘතිය එළිදැක්වුණාම තමා ප්‍රශ්න කිරීම සමාජය ප්‍රශ්න කිරීමක් බවට පත් වෙනවා. නොඑසේනම් තමා තමා සමඟම කරන සංවාදය සමාජගත වෙනවා. සංවේදී සමාජයක් නම් ඊට ප්‍රතිචාර දක්වනවා.
විවිධ ප්‍රෙවේශයන් ඔස්සේ මේ මගේ සඳයි කෘතිය කියනේනට ගත් උත්සාහයන් කිහිපයක් සමඟ කෘතියේ පිටපත මුද්‍රණය කරන්නට ගත් තීරණයට මගේ මනපය පළකෙරුනේ එකී ප්‍රතිචාර සුරැකිව තැබීම අනාගතයේ විමර්ශනය සඳහා වැදගත් වේ යයි හැඟුන නිසා. සංසන්දනාත්මකව මෙකී අදහස් නැවත සලකා බැලීමකට එමගින් ඉඩ සැලසෙනු ඇති.

පෙරවදන
මේ මගේ සඳයි
අශෝක හඳගම
සංහිඳ ප්‍රකාශන



Monday, December 19, 2016

පෙමතො ජායති සොකො - ක්‍රොයිට්සර් සොනාටා.



පෙමතො ජායති සොකො.. මේ නම ඇසුව ගමන් හිතෙන්නෙ සරච්චන්ද්‍රගෙ නාට්‍යයක් කියල. නමුත් මේක කෙටි නවකතාවක්. පරිවර්තනයක්. කොයිට්සර් සොනාටා. ලියෝ තෝල්ස්තෝයි විසින් රචිත ක්‍රොයිට්සර් සොනාටා කෙටි නවකතාව සිරිල් සී පෙරේරා අතින් අනුවාදනය වෙන්නෙ පෙමතො ජායති සොකො නමින්.

නවකතාව ගැන සටහනක් ලියන්න සූදනම් උනත් පොතේ තියෙන ආකර්ශනීය පෙරවදන නිසා පොත ගැන තිබුනු උනන්දුව වෙනත් දිශාවකට ගමන් කරන්න පටන් ගත්තා. ලොව සුපතල ලේඛකයන් තමන් කෘතියක් රචනා කරන කාලය අතරතුර ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් කෘතියක් රචනා කිරීමට ලේඛකයන් ගන්නා තමන්ටම ආවේනික ක්‍රියා පිලිවෙත් මොනවද කියල ඇතැම් ප්‍රසිද්ධ ලේඛකයන්ගේ ජීවිත කතා ඇසුරින් අවබෝධ කරගන්න පුලුවන්. ඇත්තෙන්ම මේක ගවේශනයක් කරන්න හිතෙන තරමේ ආකර්ශනීය තේමාවක්. මෙහි පෙරවදනේ ඒව සඳහන් කරල තියෙන්නේ සරලව කෙටියෙන් උනත් ඒක සොයාගෙන යන්න හිතෙන තරමේ උත්තේජනයක් දෙන්න හැකි මට්ටමේ මූලාරම්භයක්.

නිර්මාන කාර්යයෙහිදී අනුගමනය කල පිලිවෙත් මතු පරපුර වෙනුවෙන් ඉතා සුලු වශයෙන් හෝ සඳහන් කොට ඇත්තේ ලේඛකයන් අතලොස්සක් පමනි. තමන් නිරත වී සිටින සාහිත්‍ය හා කලා කටයුතු ගැන නිතර හමුවී සකච්ඡා කිරීම පැරීසියේ විසූ ලේඛකයන් හා කලා කරුවන අතර පැවති සිරිත විය. සමහරු මේ කතාබහ සටහන් කොට තැබූහ. නිතර හමුවී සාකච්ඡා කිරීම පැරනි රුසියන් ලේඛකයන් අතර පමනක් නොව සෝවියට් ලේඛකයන් අතරද පැවති චාරිත්‍රයක් විය. සමහරු නිර්මාන කාර්යයෙහි දී මතුවන ප්‍රශ්න මිතුරන් සමඟ ලියුම් මගින් සාකච්ඡා කළහ. දිනපොත් ලියා තැබූහ. පොතක් පලවීමෙන් පසු කරන විවේචනයට වඩා පොත ලියන විට කරන විවේචනය වැඩදායක විය. ප්ලෝබෙයාර්(1821-80) තමා විසින් ලියා අවසන් කරන ලද පලමු නවකතාව මිතුරන්ගේ විවේචනය නිසා ඉවත දැම්මේය. පොතක් ලියා පලවන තුරු එය රහසක් ලෙස රැකගන්නා ලේඛකයෝ දැනුදු සිටිති. සමහරු ලියන පොත් ගැන කල් තියා සාකච්ඡා කිරීම අසුබ දෙයක් ලෙස සලකති. (පෙමතො ජායති සොකො. පෙරවදන. සිරිල් සී පෙරේරා)

යුරෝපය ආශ්‍රිතව කලා කටයුතු දියුනු මට්ටමින් සිදුවන කාලයේදී නිර්මානකරුවන් අතර තදබල ගනුදෙනුවක් තිබුනු බව එකල කලා කටයුතු පිලිබඳව එක එල්ලේම ලියා නැති කෘතිවලින් උනත් දැන ගන්න බැරිකමක් නැහැ. නිර්මානයේ මහා ශෝකය වින්ස්ටන් වෑන්ගෝ ගේ ජීවිතය අලලා සකසන ලද කෘතියේදී පවා එකල චිත්‍ර ශිල්පීන් අතර කොතරම් සමීප ඇසුරක් තිබුනාදැයි පැහැදිලි කරගත හැකියි. වැන්ගෝ, ගොගෑන්,සෙසාන්  වැනි චිත්‍ර ශිල්පීන් මෙන්ම එමිල් සෝලා වැනි සාහිත්‍ය කරුවන් ද සබඳතා පැවැත්වූ අය අතර වීම කැපී පෙනෙන දෙයක් විදියට සලකන්න පුලුවන්. මේ පොතේම එක්තරා තැනක යම් චිත්‍ර ශිල්පියෙක් ඔහු චිත්‍ර අඳින දිනවල කිසිවෙකුත් මුන නොගැනී තම නිවසටම වී වාසය කරන ආකාරයේ චර්යාවක් පවත්වාගෙන ගිය බවත් පෙනෙන්නට තිබෙනවා.
පිකාසෝගේ ජීවන තතු හෙලි කරන මගේ පිකාසෝ කෘතිය මගින් පවා චිත්‍ර ශිල්පියෙක් ලෙස පිකාසෝ තුල නිර්මාන කිරීමේදී පැවති සූදානම් වගේම පිටස්තර පුද්ගලයන් නිර්මාන කාර්යය අතර තුර හමුවීම පිලිබඳව දක්වන වෙනස්ම විදියේ ආකල්ප ගැන සඳහන් වෙනවා. ඇතැම් අය තමන්ට කොඩිවින කරන අය බව ඔහු සිතා සිටි බව දැක්වෙන ආකාරයේ සටහන් ඒ කෘතියට ඇතුලත්. පොත මේ වෙලාවේ මං ලඟ නැති නිසා උපුටාගැනීම් යොදන්න විදියක් නැහැ. (කැමති අය අරගෙන බලන්න ඒ පොත. මගේ පිකාසෝ- ප්‍රංශුවා ශිලෝ? - පරිවර්තනය මාලිනී ගෝවින්නගේ. විජේසූරිය ප්‍රකාශන) මේ වෙලාවෙ පොතේ නම මතක නැතත් එක්තරා නිර්මානකරුවෙක් කුනුවූ ඇපල් තම මේස ලාච්චුවේ දමාගෙන ඒ ගන්ධය ආග්‍රහනය කරමින් ලැබූ උත්තේජනයෙන් ලියූ බව සඳහන් වෙනවා.

අර්නස්ට් හෙමින් වේ නවකතා රචනා කලේ සිටගෙන බව මේ පොතේම සඳහන්. ඒ සඳහා ඔහු උස කකුල් සහිත මේසයක් භාවිත කල බවත් ප්‍රකට කරුනක්. ඒ විතරක් නෙමෙයි ගුස්ටාව් ප්ලෝබෙයාර් එමාබෝවාරි කෘතිය රචනා කල කාලයේ ගනිකාවන් ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කල බවත් එමා මී පාසානම් කා ජීවිතය නැතිකර ගැනීමේ වේදනාව අත්විඳිමට ඔහු ද මී පාසානම් කෑමෙන් විශාල කරදරයකට මුහුද දුන් අයුරුත් සඳහන් වෙනවා.

ක්‍රොයිට්සර් සොනාටා.

දැන් නවකතාව දෙසට හැරුනොත් ක්‍රොයිට්සර් සොනාට කියන්නෙ වෙනස්ම විදියේ නමක් බව පේනවා. ඒ වගේම මේ පොතට මේ නම ලැබීම පිලිබඳවත් රසවත් සිදුවීමක් පසුබිම් වෙලත් තියෙනවා. පෙරවදනේ කියවෙන පරිදි සොනාටා(සංගීත සන්ධ්වනියක්) වලට ක්‍රොයිට්සර් නම ලැබී තිබෙන්නේ බිතොවන් තමා විසින් රචනාකල උසස්ම සොනාටාව ඒ කාලයේ දක්ශතම වයලීන වාදකයා ලෙස ප්‍රකට වූ රුඩොල්ෆ් ක්‍රොයිස්ටර්ට පිලිගැන්වීමෙන් පස්සෙයි. එක්තරා දවසක ටෝල්ස්ටෝයි සමඟ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ ඉලියා රිපින්, සහ නලුවෙක් වූ ඇන්ඩ්‍රියෙව් බුල්ක සමඟ  ක්‍රොයිට්සර් සොනාටාවට සවන්දීමෙන් අනතුරුව ඉන් ඇති වූ උද්යෝගයෙන් තම තමන් විසින් තමන්ගේ මාධ්‍ය තුලින් එම ඉතිරී ගිය හැඟීම ප්‍රකාශ කිරීමට ගිවිස ගත් බව සඳහන් වෙනවා. ක්‍රොයිස්ටර් සොනාටා නවකතාව තුල සඳහන් වන්නේ සොනාටාවක් හෝ සංගීතය ආශ්‍රිත සිදුවීමක් නොවුනත් මෙම නවකතාවේ මූලික සිදුවීම පසුබිමෙහි ක්‍රොයිට්සර් සොනාටාවක වාදනය ප්‍රතිරාවය වන බව දැකිය හැකියි.

පවුල් සංස්ථාවක් තුල සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීමෙහි ස්වභාවය මෙන්ම විවිධ වූ මානසිකත්වයන් මත සැමියා බිරිඳව සැක කිරීම මගින් පවුලක් තුල සිදුවන විශාල ඛේදයක් මනෝමූලික සංකීර්නතා ඇසුරින් හුවා දක්වන කෘතියක් ලෙස හඳුන්වන්න පුලුවන්. තත්කාලීන රුසියන් සමාජය තුල මෙය මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියක්. කෙටි කාල සීමාවක් තුල වුවත් මෙය එකල රජය විසින් තහනමට ලක් කිරීමෙන් පවා එය පැහැදිලි කරගන්න පුලුවන්. විශේශයෙන් එකල විසූ ප්‍රසිද්ධ ලේඛකයන් මෙය උසස් වර්ගයේ කෘතියක් බව පිලිගෙන තිබෙනවා.


ක්‍රොයිට්සර් සොනාටා වාර කිහිපයකදීම සිංහලට පරිවර්තනය වී ඇති කෘතියක්. 1963 දී එස්.ජී සමරසිංහ මහතා විසින් ගැහැනු කවුරුද වරදෙ නෙබැඳෙන? නමින් එක් පරිවතර්නයකුත්,කේ.ඩී.පී වික්‍රමසිංහ විසින් ප්‍රේමය හා ශෝකය නමින් වූ තවත් පරිවර්තනයකුත් සිදුවී තිබෙනවා. කෙසේ නමුත් පේමතො ජයතී සොකො සිරිල් සී පෙරේරා 2002 වසරේදී අනුවාදනය කිරීමෙන් ඒ පිලිබඳ නව මානයකින් බලන්නට අවස්ථාව ලැබීම සතුටට කරුනක්. සෙසු කෘති දැක නැතත් මේ කෘතිය මගින් ටෝල්ස්ටෝයිගේ අගනා කෘතියක් රසවිඳීමට හැකිවීමම එක්තරා භාග්‍යයක්.  


Sunday, December 18, 2016

කිම් කි දුක් 3 Iron



නිහඩ චිත්‍රපටයක්. මුලුමනින්ම නැතත් ප්‍රධාන චරිත කිහිපයක්ම චිත්‍රපටය තුල අදහස් හුවමාරු කරගන්නෙ නැහැ. ප්‍රධාන චරිතය හිමි තරුනයා අපූරු ජීවන රටාවකට හුරු වූ අයෙක්. නිවැසියන් බැහැර ගොස් සිටින නිවෙස්වලට හොර රහසේ රිංගන ඔහු නිවැසියන් යලි එනතෙක් කාලය තුල එහි වාසය කරනවා. නැත්නම් ඒ කෙටි කාලසීමාව තුල තමන්ගේම නිවසක් ලෙස එහි භාන්ඩ පරිහරනය කරනවා. වෙසෙනවා. වැදගත්ම දේ ඔහු එහි වටිනා කිසිවක්ම සොරකම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ නිවෙස්වල අක්‍රීය වූ හෝ ක්‍රියා විරහිත වූ භාන්ඩ සකසනවා. නිවැසියන්ගේ රෙදි ආදිය සෝදා තබනවා. මෙවැනි පුදුම සහගන ජීවන චර්යාවේ එක්තරා දිනයකදී ඔහුට ඇය මුනගැසෙනවා. ඇය ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට හසුවූ කාන්තාවක්. ඔහු හමුවීමෙන් පසුව මේ තරුනයාගේ චාරිකාව මොන ආකාරයේ වෙනස්කම් වලට ලක්වේවිද? ඔහුත් ඇයත් අතර නිහඩ බැඳියාව කවර අන්තයක් වෙත ගලාගෙන යාවිද? 3 Iron   චිත්‍රපටය පුරාවට කවියක් වගේ අපිව චමත්කාර ලෝකයකට කැඳවාගෙන යන්න කිම් කි දුක් සමත් වෙනවා.

කිම් කී ඩුක් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා. කොරියානු චිත්‍රපටකරුවෙක්. මේ සිනමා නිර්මානය විතරක් නෙමෙයි ඔහුගේ සියලුම චිත්‍රපට ඔහුටම අනන්‍ය වූ මාවතක ගමන් කරන වෙනස්ම මාදිලියේ ඒවායි. පොදු සමානතාවක් විදියට චිත්‍රපට කිහිපයකම චරිතයක් හෝ චරිත කිහිපයක් නිහඬ චරිත ලෙස ක්‍රියාකරන බව දකින්න පුලුවන්. වරක් මේ පිලිබඳ කිම් කී දුක් ගෙන් ඇසූ විට ඔහු ඒ සඳහා කදිම පිලිතුරක් ලබා දෙනවා. ඒ මෙසේයි.


මට නිහඬතාවය යන්න අවකාශයක්. The Isle චිත්‍රපටයේ තිබෙන්නේ වචන කිහිපයයි. එහි නිහඬතාව කතා කරනවා. මට පෙම්වතියක් සිටින බවට උපකල්පනය කරන්න. අපේ හමුවීමේදී මම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. නමුත් මම ඇයට ආදරෙයි. මට හිතෙනවා එවැනි ත්වයක් වචනවල අන්තයක් බවad Guy හි Han-giගේ නිහඬතාව ඔහුගේ අවංකභාවය පිලිබඳ සංඥාවක්. තිරරචනයේ ඔහුට තිබුනු වචන අපි පුහුනුවීම් වලදී ඉවත් කලා. The Isle චිත්‍රපටයේත් එසේමයි. මට පැහැදිලි උනා ඔවුන්ගේ නිහඬතාව වචන වලට වඩා කොච්චර ප්‍රබලද කියා.
මිනිසුන් ඇතුලතින් දරුනු ලෙස තුවාල වුනහම ඔවුනු වැඩිය කතා කරන්නේ නැහැ. ඔවුන් අනෙක් මිනිසුන් මත තැබූ විස්වාසයන් ඔවුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් කඩ වී තිබෙනවා. මිනිස්සු ආදරෙයි කිව්වට එහි අරුත ප්‍රකාශය තුල අරමුනු කර නැහැ.
-කිම් කි-දුක්-
කොරියානු සිනමාව සහ කිම් කී දුක් ගේ සිනමාරූප
සංජීව පුශ්පකුමාර
 

මුලින් සඳහන් කලාක් මෙන් කිම් කී ඩුක්ගේ සිනමා නිර්මාන අතරින් සහ මෙතෙක් මා නරඹා ඇති සිනමා නිර්මාන අතරින් අමතක කල නොහැකි චිත්‍රපටයක් ලෙස 3 Iron චිත්‍රපටය සඳහන් කරන්න පුලුවන්. ඒ ඒ චරිත අතර බන්ධනය නිහඬතාවය හරහා රොමාන්තික ලෝකයක් විවර කරන අතරේම ප්‍රේමය පිලිබඳ නව අර්ථකතන සපයන්නටත් සමත් වෙනවා. හැමදාම කියනවා වගේ වැඩි වැඩි විස්තර වචනයෙන් සඳහන් කිරීමත් අසීරු සහ දුශ්කර කාර්යයක්. හොඳම දේ නිර්මානය හා දොඩමලු වීමයි. මේ ලියමන ඒ සඳහා සුලු පෙලඹවීමක් පමනයි. 

Thursday, December 15, 2016

නිර්මානය හා ශෝකය

ශ්‍රේශ්ඨ කලාකාරුවන් වැඩි දෙනෙක් ම යම් අන්දමක පිස්සන් හා රෝගීන් වීම පුදුමයට කරුනකි. ඔවුන් බොහෝ දෙනෙක් ම තමන් ජීවත් වූ ලෝකය සමඟ කලකිරී සිටි පුද්ගලයෝ වූහ. ඉතා තියුනු හැඟීම්වලින් යුත් ඔවුන්ට ලෝකයේ රලු බව දරා ගැනීමට අපහසුවීය. ඔවුන් උමතු පුද්ගලයන් මෙන් සිහින ලෝකවල ජීවත් නොවූවත් ඔවුන් ද තමන්ගේම ලෝකවල ජීවත් වූ අය වෙති. ඔවුන් ජීවත් වීමට ශක්තිය ලැබුවේත් ජීවිතය විඳදරා ගත්තේත් නිර්මාන කාර්යයෙහි නිරත වීමෙන්ය. (නිර්මානය හා ශෝකය -හැඳින්වීම- සිරිල් සී පෙරේරා)





මේ හැඳින්වීමෙන්ම මේක මොනවගේ කෘතියක්ද කියල හිතාගන්න පුලුවන්. ඇත්තෙන්ම වෙනස් ආකාරයේ පොතක්. ඒ කියන්නෙ පොතට ඇතුලත් වෙන්නෙ ගොගොල්, ටෝල්ස්ටෝයි, මෝපසාන්, දොස්තොයොව්ස්කි වගේ ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ කෙටිකතා කිහිපයක පරිවර්තන.හැබැයි ඒ විතරකුත් නෙමෙයි. ඔවුන්ගෙ ජීවිතයේ එක්තරා පැතිකඩක් මේ පොතට ඇතුලත් වෙනවා. එහෙමත් නැත්නම් ඔවුන්ගෙ ජීවන තතු අලලා කෙරුනු කෙටි විග්‍රහයක් ඒ ඒ ලේඛකයගෙ කෙටිකතාවට කලින් සඳහන් කරල තියෙනවා. ඒ වගේම ඔවුන් ලියා ඇති බොහොමයක් නිර්මානවලින් මෙතනදී තෝරාගෙන තිබෙන්නෙත් ඒ ඒ ලේඛකයාගේ ආත්මීය ජීවිතයට ඉතා සමීප යයි සිතෙන ආකාරයේ සහ සම්බන්ධයක් ඇති නිර්මානයි. සැබවින්ම මෙම නිර්මානකරුවන් ගෙවූ අසීරුතම වකවානු හා ඒ දුක්ඛදායී ජීවන තතු ගෙනහැරපෑමත් එවැනි දේවල සාරයන්ගෙන් හැඩවූ නිර්මානත් එකට එක්තැන් වීම වෙනස් විදියේ අත්දැකීමක් නිපදවනවා.

පසුගිය කාලයේ ප්‍රසන්න විතානගේ විසින් නිපදවූ ''ඔබ නැතිව ඔබ එක්ක'' කියන චිත්‍රපටයට මුල් වූ දොස්තයෙව්ස්කිගේ කෙටිකතාව ''බිරිඳගේ මරනය'' නමින් මේ පොතට ඇතුලත් වී තිබීමත් විශේශත්වයක්.
නිර්මානය හා ශෝකය ගොඩගේ ප්‍රකාශනයක්. කර්තෘ සිරිල් සී පෙරේරා. පලමු මුද්‍රනය සිදුවෙලා තියෙන්නෙ 1994 වසරේදියි. 


Thursday, December 8, 2016

නිදි කුමරියන් හා නිරුවතින් නිදන්නට






යසුනරි කවබතා නොබෙල් සාහිත්‍ය සම්මානය පවා දිනාගත්තු විශිශ්ට ජපන් ලේඛකයෙක්. කවබතා ජපන් සමාජයේ  රිද්මය සාහිත්‍යයට කැටි කරමින් සහ ඔහුටම අනන්‍ය රීතියක් සහිතව කෘති රචනා කල බවයි විචාරක මතය. මේ කෙටි සටහන කවබතාගෙ එක් විශේශ නවකතාවක් ගැන. යසුනරි කවබතා 1961 දී රචනා කරන ලද   Nemureru Bijo   නම් කෘතියේ  ඉංග්‍රීසි පරිවර්තනය වූ House of the Sleeping beauties නම් කෘතියේ සිංහල පරිවර්තනය ඉන්දික ගුනවර්ධන විසින් නිදිකුමරියන්ගේ නිවහන ලෙසින් නිමවා පාඨක අප අතරට පත් කොට තිබෙනවා.
වියපත්භාවය, ලිංගිකත්වය, හුදකලාව ආදී තේමා රාශියන් නිදිකුමරියන්ගේ නිවහන් ඇතුලත සිදුවන අද්භූත රහස් අතරින් හෙලි කරන්නට කවබතා සමත් වෙනවා. මම කතාව කෙටියෙන් කියනවටත් වඩා කතාව ගැන බරසාර විචාර ඉදිරිපත් කරනවටත් වඩා මේ මනරම් කෘතිය කියවීමෙන්ම ආනන්දයක් ලබන එකයි හොඳම ක්‍රමය කියල හිතෙන්නෙ. මේ වගේ කෙටිම කෙටි සටහනකින් පොතක් කියවන්න උද්යෝගයක් ඇතිවෙයිදෝ කියල යලි යලිත් සැක හිතෙන හින්දාම ඔන්න පොතේ පසුපිටේ ඒ ගැන තියෙන කෙටි හැදින්වීමත් යොදලාම මේ සටහන හමාර කරන්න හිතුවා.


ඔහු කිසිම ආකාරයක නරක දෙයක් නොකල යුතු යයි තානායමේ ගැහැනිය මහලු එගුචිට අනතරු අඟවා තිබුනි. නිදා සිටින කෙල්ලන්ගේ කටට ඇඟිල්ල දැමීම හෝ ඒ ආකාරයේ මොනයම් දෙයක් හෝ ඔහු නොකල යුතු විය.
රෙගුලාසි වලට අනූව බැඳී සිටින්නට ඔහු දුන් පොරොන්දුවත් සමඟින් තම ලිංගික ශක්තිය අහිමිව ගිය වියපත් මිනිසුන් සඳහා වෙන්වූ රහස් කාමරයේ සාමාජිකයෙකු ලෙස එගුචි තම ජීවිතය අරඹයි. ටෝකියෝවෙන් පැය කිහිපයක් දුරින් පිහිටි එම තානායමේ නිද්‍රාවට පත් කරන ලදුව නිරුවතින් නිදා සිටින නව යොවුන් තරුනියන් සමඟ සැතපෙමින් ඔවුන් තම ජීවිතයේ අවසන් ප්‍රහර්ශයට ඉඩ ලබාදෙයි. ලිංගික ආවේශය යනු තිරිහන් වීමේ ප්‍රතිඵලයක් නොව මරනය පිලිබඳව වූ හදිසි ත්‍රාසයෙන්ම හටගන්නක් බව යසුනරි කවබතාගේ සියුම් ගද්‍ය රචනාව නිදිකුමරියන්ගේ නිවහන දිගහැරෙද්දී ත්‍රාසයට පත්වන පාඨකයා අවබෝධ කරගනී.
(නිදිකුමරියන්ගේ නිවහන
පසුපිට.
පරිවර්තනය ඉන්දික ගුනවර්ධන

විදර්ශන ප්‍රකාශන)

Thursday, November 17, 2016

තැවුල් සිත



කතාව ගලාගෙන යන්නෙ හරි සරල විදියකට. කතා නායකයාට ජෝසප් ශපිරෝ නම් නන්නාදුනන්නෙක්ව අහම්බෙන් හමු වීම කතාවේ ආරම්භයයි.  එතැන් සිට මේ කතාව ගලාගෙන යන්නේ ජෝසප් ශපිරෝගේ දෘශ්ටියෙන්. ජෝසප් එයාගෙ කතාව කතා නායකයට කියනවා. ඒ කියන්නේ ජෝසප් මේ කතාවේ කතා නායකයා බවට පත් වෙනවා කියන එකයි.
හරි සරල බස් වහරක්. අපි යමක් තවෙකෙකුට පැහැදිලි කරනව වගේ සංවාදාත්මක භාශාවක් විදියට මුල ඉඳලම කතාව ගලාගෙන යනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජන වර්ගයක් වශයෙන් හෝ පිටුවහල් වූවන් වශයෙන් යුදෙව්වන් මුහුන දෙන ගැටලු ආශ්‍රයෙනුයි කතාවේ ගැටුම හටගන්නවා යයි සිතෙන්නේ. අති විශාල ජන සංහාරයක් සියැසින් දුටු හා ඊට මුහුන දුන් තවමත් ජීවත් වන ජනතාවකයේ ජීවන අපේක්ශා, අරමුනු, ජීවිතය පිලිබඳ ඔවුන් හෙළන දෘශ්ටිය කෙබඳුද? තම පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් පෙනි පෙනීම මරාදැමුනු අවධියකින් අනතුරුව ස්වකීයමාතෘ භූමියෙන් උගුල්ලා දමා නන්නත්තාර කරවන ලද ජන පිරිසකයේ ජීවිතයමොන ආකාරයක්, කුමන හැඩයක් ගනීවිද? ඒ තරම් ජන සංහාරයක් වෙද්දී  පිහිටට කිසිවෙක්ම නැති වෙනකොට ඔවුන්ගේ ආගමික විශ්වාසයට මොනව වෙන්න ඇද්ද? ඔවුන්ගේ පවුල් සංස්ථාව, සමාජ ජීවිතය, දේශපාලන අපේක්ෂාවන් මේ සියලුම ව්‍යුහයන් එක විට දෙදරා යාම ජන පිරිසක් වශයෙන් සාමූහිකව හෝ කේවල වශයෙන් දරාගන්නෙ කොහොම ද? ඒක තමයි මේ මුලු කතාවම  වට කරගෙන තියෙන සත්‍යය වෙන්නේ. මේක තමයි සිංගර් මුලු කෘතිය පුරාවමට පාඨකයා වෙත යොමුකරවන සිත් තැවුල් කරවන ප්‍රශ්නය වෙන්නේ.
පෝසප්ට හොඳට සලිලි තියෙනවා. ඔහු ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක්. ඔහුට නිල බිරික් සිටිනවා වුවත් ඔහු එයින් ද සෑහිමකට පත් වෙන්නේ නැහැ. ඔහු වෙනත් දික්කසාද වෙච්ච කාන්තාවක් ද ඇසුරු කරනවා. ඒ අනියම් බිරිගේ තවත් අනියම් සම්බන්යක් හෙලිදරව් වූ මොහොතක හදිසියේ  තම නිවසට යන ඔහුට නිල බිරිඳගේ අනියම් සබඳතාවය ද අතටම හසු වෙනවා. එතැන් සිට ඔහු වල්මත් වෙනවා. නන්නත්තාරයේ ඇවිදිනවා. අරමුණක් නැතිව හිස හැරුණු අතේ යනවා. තම අහිමි වෙච්ච මූලයක් වෙතට අවිඥානිකවම ඇදෙන්න ඔහු පෙළඹෙනවා. පිහිටක්, සරණක් හෝ මේ ඉච්චජාභංගත්වය තුනී කරගැනීමේ දහමක් සොය සොයා ඔහු ගමන් කරනවා. ඔහු ගන්නේ ඒ වන විට යුදෙව්වන්ගේ රාජ්‍යයක් සේ සැලකෙන හා තම ආගමික අතින් ශුද්ධ භූමියක් සේ සැලකෙන ඊශ්‍රාලයට.
ජෝසප්ගෙ ඇතුලු හද නිරන්තරවම ඔහු එක්කම සංවාද කරනවා. තර්ක කරනවා. ඔහු කරන කියන දේ හෙලා දකිනවා. එහෙත් ඔහු තමාට අභිමත වූ සත්‍යයක් හොය හොයා යන බව පේනවා. ඔහුට ප්‍රෙසිලා නම් කාන්තාවක් මුණ ගැහෙනවා ගුවන් යානයේ දී. ඇයත් ඔහු වගේම සියලු ව්‍යුහයන් බිඳී ගිය අවදියක ජීවිතය පිළිබඳ වෙනමම වූ දහමකට මාරු වී කාමභෝගීව දිවි ගෙවන සුඛාස්වාදය සොයන  තැනැත්තියක්. ඇයට ඒ වන විටත් දෙවියන් පිළිබඳ විස්වාසය නැතිවෙලා. ඈ ඇගේ දහමට ජීවත් වෙනවා. නමුත් තව දුරටත් ඔහු ඇය සමඟ සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයට එකඟ වෙන්නේ නැහැ.
මා වඩාත් කැමති කෘතියේ අවසාන භාගයේ ප්‍රසිලා හා ජෝසප් නැවත වතාවක්  හමුවුනු අවස්ථාවේ දෙදෙනා අතර සිදුවන සංවාදයට. මේ ඒ අතරින් තොරාගත් කොටස් කිහිපයක්.

යුදෙව්වෝ කියන්නේ පුංචි ජාතියක්. ඒකත් හදාගත්තේ ඊජිප්තු, පර්සියානු, බැබිලෝනියානු, ග්‍රීක්, රෝම වගේ ජිතිවලින්. අපි වගේ හිටපු වෙනත් පුංචි ජාති, මහ ජාතිවලට එකතු වෙලා ඒවායේ කොටස් කාරයො උනා. ඒත් යුදෙව්වෝ ඕනෑවට වඩා උද්දච්චයි. උං ආසයි පහර කන්න. මට නං හොඳටම විස්වාසයි. මේ දැන් ඊශ්‍රායල් රාජ්‍යයක් හදාගෙන කරන අත්හදාබැලීමත් වැඩිකල් තියෙන එකක් නැහැ. ඒක නිසා අද මොකද වෙලා තයෙන්නේ. ආයෙ සැරයක් දස ලක්ශ ගනන් සතුරන්ගෙන් අපි වට වෙලා. දවසක මේ ඊශ්‍රායල් ආජ්‍යයත් විනාශ කරලා දාන වෙලාවට ඔයාගේ ඔය දෙයියෝ ඔහේ අහක බලාගෙන ඉඳීවි. අර පෝලන්ත පළාත්සමතලා කරද්දී උඩ බලාගෙන හිටිය වගේ. ඇත්තම කියනවා නං මේ දේ හෙට සිද්ධ වෙයිද , අනිද්දා සිද්ධ වෙයි ද කියලා බයෙනුයි මං මේ ඉන්නේ. ජෙට් එකක් යන සද්දයක් ඇහෙන හැම වෙලාවකම මට හිතෙන්නේ දැනටමත් ඒක පටන් අරගෙනයි කියලයි.”      (161 පිටුව)
ඔවු ප්‍රිසිලා. දස ලක්ශ ගනන් ජර්මානුවෝ හිට්ලර් කියන දේව රූපය වෙනුවෙන් ජීවිත පූජා කලා නං, තවත් දස ලක්ස ගණන් රුසියන් කාරයොයි යුදෙව්වොයි ස්ටැලින් කියන දේව රූපය වෙනුවෙනු ජීවිත පූජා කළා නං, මමත් කැමතියි ටෝරා පොත් වහන්සේ සහ දස පනත මූර්තය වන ඒ දේවතාවා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න. අඩු ගාණේ ඒ වෙනුවෙන් විඳවන්න. ... මනුශ්‍යයාගේ ඉරනම වෙලා තියෙන්නේ කවුරු හරි දේව වීරයෙකුට දණ නමස්කාර කරන එක නං, එහෙම නං මං කැමතියි මගේ ඕනෑ එපා කං වලට ගැලපෙන දේව වීරයෙක් හොයාගන්න. ඒක හොඳයි. දවසේ විසිහතර පැය තිස්සේම මගේ හිතේ ඔක්කාරයක්, පිළිකුලක් ඇති කරන වීරයෙකුට වැඩිය. ( 163 පිටුව)


“ආගමක් නැතුව සදාචාරය කියලා දෙයක් නැහැ. වීර දෙවි කෙනෙකුට එයා සේවය කරන්නේ නැත්තං, ඒ වෙනුවට එයා වෙනත් කෙනෙකුට සේවය කරනවා. ලෝකෙ තියෙන බොරු වලින් ලොකුම බොරුව තමයි. මානව වාදය කියන එක. මේ මානව වාදය එක වීරයෙකුට නෙමෙයි, හැම වරයෙකුටම දණ නමස්කාර කරනවා. මොසෝලනී, හිට්ලර්. ස්ටැලින්... මේ කියන ඔක්කොම මානව වාදියෝ. එතකොට ඕනම රටක ඉන්න දේශප්‍රේමියෝ? සිය දහස් ගණන් ඉංග්‍රීසිකාරයෝ විනාහ උනා. ඇයි? වික්ටොරියාට අධිරාජිනී පට්ටම ගහන්න. තව නැපොලියන් කියලා කෙනෙක් දස ලක්ෂ ගණන් මින්සුන්ව මරනෙට දැක්කුවා. මොහොකටද? එයාගෙ ඔලුවට ඔටුන්නක් දා ගන්න. ආගම් භක්තිය තියෙන යුදෙව්වො, කවදාවත් රජෙකුටවත්, කුමාරයෙකුටවත් සේවයට ගියේ නැහැ. ඒ මිනිස්සුන්වත් මරණෙට දැක්කුවා තමයි. ඒත් අඩු ගානෙ ඒ මිනිස්සු තමන්ගේ කැමැත්තකින් නෙවෙයි ඒ මරනය භාර ගත්තේ”      (164 පිටුව)

Wednesday, November 2, 2016


ආදරේ ශෝක වංගුව






බොහෝ අය ලියනගේ අමරකීර්තිව හඳුනන්නේ නවකතාකරුවෙක්, විචාරකයෙක් විදියට නමුත් මා මුලින්ම  අමරකීර්තිව හඳුනා ගත්තේ කවියෙක් විදියට. මම දන්නා විදියට ඒ ඔහුගේ මෙතෙක් පලවූ පලමු සහ එකම කවි පොත. එකමත් එක පිටරටක - (2009). ඉතා රසවත් කවි කිහිපයක්ම එහි අඩංගුයි. කවර ආකාරයේ තේමාවක් වුවත් එහි කාව්‍යාත්මක භාවයද ආරක්ශා කිරීමට ඔහු මෙහිදී සමත් වෙනවා. මෑත යුගයේ ඔහුගේ බොහෝ නිර්මාන කියවා ඇතත් ඒ හැමකක්ම අභිබවා මගේ සිත ඇදෙන්නේ මේ පොතට. මේ එහි අඩංගු කවියක්. ආදරේ ශෝක වංගුව.

-ආදරේ ශෝක වංගුව-

තැනක් ඇත මා ආදරේ කල ඉස්සර
දෙනවාද එහි යන්න මට මැරෙන්න ඉස්සර

මහ පාර එක්ක එන අඩි පාර අපේ ගෙදරට
නැටෙව්වා ඉඟ වංගුව - ඔව් ඒ හුඟක් ඉස්සර‍

හුඟක් අය ආවා ගියා - ඒ දෙපය වින්ද දෙවැටෙහි
මග දෙතොල් වලට අඩියෙන - ඒ ලෙවල් වලට ඉස්සර

හැරී බැලූ දෙනෙත - වැට ලඟ සිට
මුලු අනාගතය දත් ලෙස - නොපෙනී යන්න ඉස්සර


ඒ දෑස් මගෙන් හැංගුව - එය වීය කුරිරු වංගුව
ආ කෙනෙක් නොපෙනියන - ඇස් හෙලන්නටත් ඉස්සර

වංගුවක් නැතුව කුමකට ද පාරකට, ජීවිතයකට
ශෝකය සඳන්නට මිස - හිත හදාගන්න ඉස්සර

සිද්ධාර්ථත් හැරිලා බැලුවා එක් වරක්
අබිනික්මනේලා - ආදරේ දමා යන්න ඉස්සර
ඒ දුකම නොවෙද ගෙව්වේ අවුරුදු හයක්
දුශ්කර ක්‍රියා දහ දුක්හි - බැඳි බැමි සිඳින්නට ඉස්සර

බලන්නට වරක් ශෝක වංගුව - සිහිනිඟත් මගෙන් හැංගුව
මහලු ඇසටත් පෙනේවිද - නොපෙනී ගිය රුව ඉස්සර

සිය දහස් වරක් මා බලා සිට ඇතත් ඕනෑ
බලන්නට යලිත් ශෝක වංගුව - අඳ වෙලා යන්න ඉස්සර

කුජ හතේ හිටපු සිරිකත ගෙන දෙතැයි දෙසූ නපුරක
අවවාද මාර සේනා මා යටත් කලහ එදවස - ඈ හැරී යන්න ඉස්සර
යන කෙනෙක් හංගවන වැලි මිදුලෙ රිදෙන දෑසින
මේ වංගුවට තාම මතකය - හද බිඳුන දවස ඉස්සර

ගෙයක් අඩි පාරක් වංගුවක්, මහ පාරක්
දෙනවාද එහි යන්න මට - සිරුරත් මැරිල යන්න ඉස්සර


-ලියනගේ අමරකීර්ති-


INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...