Sunday, October 30, 2016

රජා මං වහලා





ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම පවා නාට්‍ය කලාව ක්‍රමිකව පල්ලම් බහිමින් තියෙනව කියල පසුගිය කාලෙ පුරාවටම හිති හිති තිබුනු නිසා නාට්‍ය පිටපතක් ලියන්න වගේම නාට්‍ය නරඹන්න තිබුනු උනන්දුව පවා දන්නෙම නැතුව හිතෙන් ඉවත් වෙලා වගේ තිබුනා. කොහොම උනත් අවුරුදු ගානකින් හිත හොල්ලන ආකාරයේ නාට්‍ය නිර්මානයක් දකින්න නොලැබීම ප්‍රේක්ශක අපේක්ශා දුර්මුඛ කරවන බව නම් මම කාලාන්තරයක් තිස්සේ අත්වින්ද සත්‍යයක්.
මේ රජා මං වහලා නාට්‍ය ගාල්ලට ආපු දෙවනි වතාව.පස්වරු 2.30 (පාසල් දර්ශනය) පලවෙනි දර්ශනයෙදි උනත් සැලකිය යුතු නරඹන්නන් පිරිසක් අසුන්ගෙන හිටි බවක් ද පෙනුනා. ආරම්භයේ ඉඳන්ම නාට්‍ය යේ අපට අත්දකින්න සිදුවෙන නැවුම් ආකෘතිය අපිව මොහොතකටවත් නාට්‍යෙයන් වෙනතකට යන්න නොදී ඇඳ බැඳ තබා ගන්න තරමේ සමත් එකක්. ඇත්තෙන්ම ඒ ප්‍රේක්ශකාගාරයේ සිටි බහුතරය උසස් පෙල වයසේ සිසු සිසුවියන් උනත් ඒ අය පවා මේ නිර්මානාත්මක උගුලේ රසවත්ව පැටලැවී සිටි බවක් පෙනුනා.
නාට්‍යෙය් ආකෘතිය කතන්දර කීමේ විදියක්. ඒ බව ආරම්භයේදීම නාට්‍යය ඇතුලෙන්ම අපව දැනුවත් කරනවා. මෙතනදි කාට හරි හිතෙන්න පුලුවන් කාලාන්තරයක් තිස්සේ අපේ නාට්‍ය කලාව ආකෘතික අත්හදාබැලීම් වලම ආකෘතිගත වෙලා නිසා මේකත් එවැනි අසාර්ථක උත්සාහයක් ද කියල. නමුත් නාට්‍යකරුවා ඒ සියලු බාධක අපහසුවකින් තොරව ජයගන්නා බවක් මුල ඉඳන්ම දකින්න පුලුවන්.
මේ නාට්‍යෙය් මම වැඩියෙන්ම කැමති මොකකටද කියල ඇහුවොත් ඒකට කියාගන්න තරම් හරි උත්තරයක් එකපාරටම හිතාගන්න බැහැ. මම කැමති මේ ආකෘතියටද, නැත්නම් ඒ හරහා කියවෙන කතාවලට ද? නැත්නම් ඒ ඒ අවස්ථා අපූර්ව රංග වින්‍යාසයක් මගින් ගෙනහැරපාන නිසාද? වේදිකා සැලසුමේ ඇති අපූර්වය්තයට ද? සංගීතය භාවිත කර ඇති නැවුම් විලාසයට ද? අවසන් වශයෙන් මට කියන්න පුලුවන් මේ සියලුම දේවල් කැටිවුනු අවසාන නිමවුම තමයි මාව මේ තරම් කැලඹුවේ. වැදගත්ම කරුන මම ඉහත කී සියල්ල හොඳින් බද්ධ වී මැස්මක් නොපෙනෙන තරම් සියුම් හුයකින් ගෙත්තම් වී තිබීමත් කියල හිතෙනවා.
නාට්‍යෙය් සියලුම නලු නිලියන් ප්‍රමානය පහයි, රංග භාන්ඩ වෙන්නෙ බැරල් කිහිපයක්. මතකයේ හැටියට බැරල් 8ක් පමන. නාට්‍ය ඇතුලේ මේ බැරල් ඕනෑම දෙයක් බවට පත් වෙනවා. අශ්වයෙක්, ලොකු කන්දක්, රාජාසනයක්, තැබෑරුමක්, ඇතෙක්, ටැප් කනුවක් ආදී විදියට බොහෝ ස්ථාන නිර්මානය වෙන්න මේ බැරල් පාවිච්චි වෙන විදියනම් පුදුම හිතෙන තරම්ම නිර්මානාත්මකයි. ඒ වගේම ඒක වෙනමම රසයක් ජනික කරවන්නකුත් වෙනවා.
නලු නිලියන් පවා එහෙමයි. කතන්දරය කියමින් සිටින නිලියම එක පාරටම ඒ චරිතයට පන පොවනවා. සැනකින් ඇය සාලුවක් පොරවාගෙන වෙනත් චරිතයකට මාරු වෙනවා.  නලුවෙක්ට ස්ථිරවම එක චරිතයක් භාර දීල නැහැ. එක වෙලාවක රජතුමාට රඟ දැක්වූ නලුවාම එම රජාගේ වහලාට ද රඟනවා. වහලාට රඟ දැක්වූ නලුවා තවත් වෙලාවක රජාට රඟදක්වනවා. නාට්‍ය ඇතුලේ මේක තේමාත්මක සංකීර්න පටලැවිල්ලකුත් වෙනවා. දුටුගැමුනු එලාර සටනට පන පොවන්නේ නිලියන් දෙදෙනෙක්. මෙවැනි රසවත් වගේම අර්ථවත් දේ හැම අවස්ථාවක් වෙනුවෙන්ම නාට්‍යකරුවා සූක්ශමව භාවිතාකරන විදියයි විශිශ්ට වෙන්නෙ. ඔහු ඒ ආකෘතිය ඇතුලේ හැම තැනකම නිදහසේ සෙල්ලම් කරන බව පැහැදිලියි.


විශෙශයෙන් මේ නාට්‍ය ඇතුලේ සංගීතය යොදාගනිපු ඒ වෙනස්ම විලාසිතාව ගැන නොකියත් බැහැ. සංගීතය ශිල්පියත් මෙහි චරිතයක්. නැත්නම් ඒ චරිතය ඒ ඒ මොහොත වෙනුවෙන් සංගීතය සපයනවා. ගිටාරයක් සහ බැරල් වලට අතින් හා ලී කෑලි වලින් තලමින් නිපදවන හඩ මුලු නාට්‍ය පුරාම මවන සංධ්වනියත් මේ නාට්‍යෙය් රසාලිප්ත බවේ රහසට මුල් වන හේතුවක්.
ඒ වගේම පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ කුඩා විවේකයක්වත් නොගෙන මේ නලු නිලියන් පස් දෙනාම එක විදියටම වෙහෙසෙනවා. කිසිම භේදයකින් තොරව මේ අය බැරල් පෙරලනවා. ඒ ඒ අවස්ථාවට උචිත විදියට බැරල් භාවිතා කරනවා. ඒ කිසි දෙයක් නිර්මානය කරන බවට වෙනම කැපිල නොපෙනෙන විදියට අවස්ථා වේදිකාව මත නිමවෙනවා.
මං හිතන්නෙ මෙවැනි මනරම් නාට්‍ය අත්දැකීමක් නාට්‍ය රසිකයන්ට නරඹන්න වෙන්නෙ ඉතාම කලාතුරකින්. සත්තකින්ම මේ පිටුපස දැවැන්ත කැපකිරීමක් ඇති. ඒ වෙනුවෙන් ඒ සමස්ථ පද්ධතියටම මගේ ගෞරවනීය ප්‍රනාමය කලා කවුලුවෙන් පුදකරන ගමන් මේ නාට්‍ය තවමත් නරඹා නැතිනම්  නාට්‍ය කලා හිතැති හැමෝටම පනිවිඩේ දෙන්නෙ ඉක්මනින්ම ගිහින් මේ මනරම් අවස්ථාව උදාකරගන්න කියල කියන ගමන්මයි. 

නාට්‍ය පිටපත වගේම අධ්‍යක්ශනයත් චාමික හත්ලහවත්තගෙන්

නලු නිලියන්

සනත් විමලසිරි
තෙරුනි ආශංසා
සරත් කරුනාරත්න
උමයංගනා වික්‍රමසිංහ
තිලංක ගමගේ


Thursday, October 20, 2016



තිත්ත තොල් තුල තිත්ත තොල් 




තිත්ත තොල් 
චින්තන ධර්මදාස
විදර්ශන ප්‍රකාශන



තිත්ත තොල් සාහිත්‍ය විචාර කතිකාව ඇතුලෙ එතරම් කතාබහට ලක් නොවූ කෘතියක් විදියටයි මම දකින්නෙ. මේ වනතුරු ඒ ගැන විදිමත් සාහිත්‍ය කතිකාවක් කොහේවත් යනව දැක්කෙත් නැහැ. ඒ කොහොම උනත් මේක සිංහල නවකතාවේ හෝ සාහිත්‍ය ඇතුලේ අලුත් හැඩයක්, විලාසිතාවකින් යුතුව ගමන් ගත් පොතක් විදියට බය නැතුව නම් කරන්න බැරිකමකුත් නැහැ.
තිත්ත තොල්. ඒ නමින් හැඳින්වූවත් මේක කෙටි නවකතා තුනකින් සමන්විත පොතක්. තිත්ත තොල්, කෝපිත් එක්ක අයිස්ක්‍රීම්, මිනිත්තු එකොලහට පස්සේ.. වශයෙන් ඒ ඒ කතා නම් කරල තියෙන බවක් පේනවා. මේ කතා තුනෙන් මගේ හිත ඇදිල ගියේ පලවෙනි කතාවට. ඒ කියන්නෙ තිත්ත තොල් වලට.
විශේශයක් විදියට කාන්තා චරිතයක් කතා නායිකාව විදියට මේ කතා තුනේදිම දකින්න පුලුවන් උනත් පලවෙනි කතාවෙ එන චරිතය අමුම අමු මිනිස් ජීවියෙක් විදියටම මවන්න කතුවරය සමත් වෙලා තියෙනවා. කාන්තා චරිතයක් ප්‍රධාන චරිතයක් උනාම අපට හිතෙන්නෙ පුරුශාධිපත්‍යය නිසා අසාධාරනයට ලක්වූ හෝ ස්ත්‍රීවාදී ස්වරූපයක් ගන්නා ලිංගික සූරාකෑමට එරෙහිව අරගලයක් කරන ආකාරයේ කාන්තාවක් වගේ වෙයි කියල උනත් මේ තිත්ත තොල් සහිත එවැනි සමාජයක් හරහා උනත් ගමන් කරන්නෙ පුදුම හිතෙන තරමේ උපේක්ශාවකින් වගේ. ඇත්තෙන්ම මේ කතාව පුරාවටම ඒ කාන්තා චරිතය ඒ ඒ දේවල් දිහා හෙලන නව්‍ය වූ දෘශ්ටිය තමයි සමහරවිට මාව  කලඹන්න ඇත්තෙත්. ආදරය, ලිංගිකත්වය, විවාහය හෝ පසුබිමේ පවතින දේශපාලන සමාජයත් සමඟ බද්ද වෙමින් සහ ඒවා සමඟ ගැටෙමින් ඈ නන්නත්තාර මාවතක ඉදිරියට තල්ලු වෙනවා. නමුත් ඒ නන්නත්තාරකම හෝ උපේක්ශාත්මක දෘශ්ටිය අපිට යෝජනා කරන්නෙ මොකක්ද කියලවත් අපිට නිශ්චිත නැහැ.  ඒ චරිතය එක්ක ඒ ඒ මොහොතවල් තුල ජීවත් වෙන්න ගන්නවා මිසක් මේක ඇත්තක් ද කියලවත් හොයන්න උවමනාවක් ඇති ඇති උනෙත් නැහැ. ඒ ඒ පිරිමි චරිත ඇයට මුනගැහෙන අවස්ථා වලදි උනත් ඒ සිදුවීම් හරහා මොනම චරිතයක්වත් සාධාරන - අසාධාරන වගේ මිමි වලින් මැනෙන්නෙ නැහැ. ඒ හැමකෙනාතුලම පවතින් ස්වභාවික මිනිස් ආශාවන් හා මුහුවෙමින්ම  ඈ  ඔවුන්ව මෙන්ම ඔවුන්ගේ සිහින පවා අපරිමිත ස්නේහයකින් වැලඳගන්න බවක් පෙනෙනවා. සාමාන්‍ය නාගරික පෙම්වතුන්ගේ සිට කුඩු - ගංජාකාරයන්, හාමුදුරුවන් හෝ අලුත්ම පරම්පාරවේ තරුනයන් අතර ප්‍රේමය ප්‍රේමයක් විදියට භුක්ති විදිමින් ඇගේ ගමන් කරන නිදහස් ආර මෙතෙක් සිංහල නවකතාවකින් නොදුටු  නැවුම් සුන්දරත්වයක රසය මතු කරනවා. ඒ වගේම මිනිස් මනසෙහි ඇති ගතික ස්වාභාවය මේ කතාවේ කදිමට පෙන්වනවා. ඒ ඒ අවස්ථාවන් වල මිනිස්සු ක්‍රියාකරන්න පුලුවන් යථාර්ථවාදීම හෝ විස්වාසනීයම ස්වභාවය කියල අපිට හිතෙන දේ වෙනුවට වෙනස්ම ක්‍රියාවකට පෙලඹෙන්න මේ චරිත දරන තැත කතා තුනේදීම යථාර්ථය දියුනු තියුනු කරන හැඟීමක් දෙනවා.
ඒ තේමාවටම ගැලපෙන විදියේ භාශා භාවිතයකුත් තියෙන නිසා කතාවේ නිදහස් භාවය දෙතුන් ගුනයකින් වර්ධනය වෙලාදෝ කියලත් හිතුනු අවස්ථා තිබුනා.  මම විස්වාස කරන විදියට භාශාව තමයි මේ කතාවේ නොපෙනෙන ජීවය. ඒක කොයියම්ම වෙලාවකවත් කෘතිම නැහැ. පාඨකයා කලඹවන සුලු මොනයම්ම අවස්ථාවකටවත් වචන බර ගානක් වියදම් කරනවා වෙනුවට ඒ අවස්ථා වචනෙන් දෙකෙන් අවසන් කරන ඒ වැඩේ කාව්‍යාත්මකයි. 

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තිත්ත උනත් ඒක තොල් දෙකක්, තොල් දෙකක් උනත් ඒක තිත්තයි, තොල් දෙකක් උරනකොට තිත්ත උනත් ඒක අලුත්ම රසයක් ජනිත කරනවා වෙන්න පුලුවන්. ඒ හන්දාම තොල් පෙති ගාවල බලමුද හිත් හඳුනනව ද කියලා... කියලයි  



Wednesday, October 19, 2016

නොසිදුවීම් කිහිපයක් සහ සමර විජේසිංහ




සමර විජේසිංහගෙ කෙටිකතා මගේ අවධානයට ලක් වෙන්නෙ අහම්බෙකින්. අමුතු, සරල කවරයකින් සැරසුනු වූල ගායිකාව හෝ ග්‍රෝත්‍රිකාව කෙටිකතා පොත් දෙකින් එක් පුස්තකාලයක තිබිල කියවන්න ගත්තෙ නිකමට වගේ. ඒ වෙනකොට විශ්ව විද්‍යාලෙදි මොනව අවස්ථාවකවත් මම සමර විජේසිංහ ගැන අහල තිබුනෙ නහැ. නමුත් පලවෙනි පිටුව ඉඳන්ම සමරගෙ භාවිතාව අලුත් මිහිරියාවකින් මාව අත්පත්කරගත්තා. පුස්තකාලයේ රාක්ක පිරිස්සමින් සමරගෙ තව පොත් මොනවද කියල සොයල බැලුවත් චූල ගායිකාව සහ ගෝත්‍රිකාව ලඟ විතරක් මට නතර වෙන්න සිදු උනා.
පස්සෙ දවසක මම සමර විජේසිංහගෙ කවි ගැන තිබුනු කොලඹ කේන්ද්‍රීය කවි සංවාදෙකට සම්බන්ද වෙනවා. සමරගෙ නම, කෙටිකතා ඇසුරින් ඔහුව යාන්තමට මවාගෙන හිටිය මට ඇත්ත ඔහුව දක්කම හොල්මන් වෙලා ගියා වගේ උනා. තරුන රැඩිකල් මතදාරී දැවැන්තයෙක් වෙනුවට මගේ ඉසසරහ හිටියෙ වයෝවෘද, සාමකාමී මනුස්සයෙක්. ඒකෙදි සාකච්ජා උනේ සමර විජේසිංහගෙ එක කවිය සියවරක් කියන කවි පොත පිලිබඳ සංවාදාත්මක කතිකාවතක්. බොහෝ දේශපාලනික මත දරන තරුණයන් කවි පොත පිලිබඳව දැක්වුවේ විවේචනාත්මක වාග ප්‍රහාර කියලයි මට වැටහුනේ. සමර ඉතා සංයමයෙන් ඒ හැම දෙයක්ම අහගෙන උන්නා වගේ බොඳ මතකයක් ඒ පිලිබඳව දැන් මට මැවී පෙනෙනවා.
ඒ කියවීම පුද්ගලයෙක් විදියට සමර ගැන මගේ දැනීම සහ දකීම. නමුත් මගේ උත්සාහය ඔහුගේ නිර්මාන මාව කලඹවපු විදිය ගැන යම් සටහනක් තබන්නට.
ගොත්‍රිකාව, චූල ගායිකාව වගේම සේදිගිය පාට කෙටිකතා පොතේදීත් සමර විජේසිංහ තමන්ට අනන්‍ය ලේඛන රටාවක ගමන් කරනවා.(නොසිදුවීම් කිහිපයක් පොත මම තවමත් කියවලා නැහැ) ඒක නිදහස් රටාවක්. අමුතු හිත කිතිකැවීමක් කියල කියන්නත් පුලුවන්. උපහාසය, හාස්‍යය වගේම සමරගෙ කතාවල වචන භාවිතයේ නැවුම් බවත් පාඨකයාව අලුත් ලෝකයක් වෙත කැදවාගෙන යන්න සමත් වෙනවා. බොහෝ වෙලාවට ඒ කතා පටන් ගන්නෙ මැදින්. අසම්බන්ධිත විදියකින්. දෙබසකින් වෙන්නත් පුලුවන්. බොහෝ චරිත වලට නම්, වාසගම්, ගම්, වගේ උප්පැන්න සහතික නැති උනත් කතා ඔස්සේ තමන්ට අනන්‍ය ජීවන විලාසිතාව, හැඩය ඒ චරිත හරි ඉක්මනින් මතු කරල පෙන්නනවා. මං හිතන්නෙ ගොඩක් කෙටි කතා වල දැකගන්න නොලැබෙන  තරම් නැත්නම් හරි විරල නිදහස් ආඛ්‍යාන රටාවක් භාවිත කරමින් නිහඩ මාවතක උවත් සමර විජේසිංහට මේ දක්වාම ගමන් කරන්න හැකිවී තිබීම සතුටට කරුණක්.
සමරට තියෙනවා ඔහුගේම වූ විලාසිතාවක්. ඒක හරි විචිත්‍රයි. සිත්ගන්නාසුලුයි. අමුතුයි. අනිත් එක සීමා වැටකොටු වලින් නිර්වචනවලින් බේරිලා ඔහුගෙ කෙටිකතාව නිදහස්කාමී ප්‍රීතියක් භුක්තිවිදිනවා. මේ කෙටිකතාවල  ප්‍රස්තුතයන්  වගේම ලේඛන ශෛලියත් බොහෝ සේ තරුණයි. ඔහුගෙ සමහර කෙටිකතා ගොඩක් කුඩායි. ඒ වගේම මහා බරසාර දේශපාලන හෝ වෙනයම් ගැඹුරු මතවාදයක් නැති තරමට සැහැල්ලුයි.
අදහස් විචාර ඉදිරිපත් කරනවට වඩා සමර විජේසිංහගෙ කෙටිකතා කියවීම හෝ විඳින එක වඩා සාධාරනයි කියලයි මට හිතෙන්නෙ. ඒක කවියක්, හැඟීමක් තරමට රසවත් අත්දැකීමක් නිර්මාණය කරනවා. ආනන්දයෙන් ප්‍රඥාවට යවන හෝ විශේෂ සමාජාවබෝධයක්, දේශපාලනික මැදිහත්වීමක් කරනවට වඩා මේ කෙටිකතාවල තියෙන ඔහුටම අනන්‍ය නැවුම් මුහුනුවරත් එක්ක ඒ නිර්මාන  විඳින්න  පුලුවන් නම් ඒක තමයි ඔහුගෙ කෙටිකතා වලට කරන්න පුලුවන් උපරිම සාධාරණය.
ගොඩක් විස්තර සපයනවට වඩා ඒ සමරගෙ කෙටිකතාවල සමහර කෙටි සටහන් ටිකක් මේ ලක්ශන අදුනගන්න ප්‍රමානවත් වේවි.





අපි ගිහිල්ල තියෙනව ගල මුදුනට රෑ
තනියම?
අපි කියන්නෙ තනියමද? යාලුවො එක්ක...
පිරිමි ද ගෑනු ද?
යාලුවො කියන්නෙ පුරුශ ලිංග පදයක්.
ඉතින් පුරුශ ලිංග තියෙන අය මොනවද කලේ?
අපි මඤොක්ක පුච්චල කෑවා
මඤ්ඤොක්ක? ගල උඩ?
ඔව් අපි යනකොට අරගෙන ගියා. ඔයා රෑ කැලේ ගලක් උඩ මඤ්ඤොක්ක පුච්චල කාල තියෙනවද?
රබර් වත්තක් කොහොම ද කැලයක් වෙන්නෙ?
ඔයා දන්නෑ. රබර් වත්තත් කැලයක් තමයි. වෙනස එකම ගස් ජාතියයි තියෙන්නෙ. සත්තු වෙනුවට ඉන්නෙ රබර් කපන මිනිස්සු. ඒ මිනිස්සුත් කිසිම සද්දයක් නැතුව ගස් පිරිමදිනවා. නොරිදෙන්න. ඔයා අහල තියෙනවද කැලේක තියෙන නිශ්ශබ්දය. රබර් වත්තකත් ඒක තියෙනවා.  ඒවගේමයි. ඔයා අහල තියෙනවද පායන කාලෙ නිශ්ශබ්ද පසුබිමේ රබර් ගෙඩි පුපුරන සද්දෙ. ඇට බිම වැටෙන සද්දෙ?
ඔය කියන කැලේ රබර් ස්ටේට් එකක් ද?
නෑ සිංහල රබර් වත්තක්.
(සමර විජේසිංහ, වලාකුලු.සේදී ගිය පාටකෙටිකතා සංග්‍රහය . 97-98 පිටු)

මේ කෙටිකතා යථාර්ථවාදයට, අධියථාර්ථවාදයට, සමාජ යථාර්ථවාදයට හෝ රෝමාන්තිකවාදය වගේ මොනව වාදයකටවත් අයත් නැති ඒ හැම ලක්ශනයක්ම අඩංගු කරගත් නැවුම් මිශ්‍රණයක් සහිත ඒවා. ඒ අතින් සමර සම්භාව්‍යයි කියන සාහිත්‍ය රැල්ලට සාහිත්‍යමය සමච්චලයක් කරනවදෝ කියලත් හිතෙනවා.

ඔහු මාව වැලඳ ගන්න විට මම මිදෙන්න තැත් කරනවා වගේ තව තවත් තුරුල් වෙනවා. එහෙම කරන්න පුලුවන්. වහා එකඟ වීමක් වගේ දේකට වඩා කුඩා බලකිරීමක් වගේ දෙයක් වඩාත් ලස්සනයි.

සිප ගන්න විට සිහිය නැති වෙනවා. ඇස් පියා ගන්නවා

උයනේ මල් පිපිල ඇති. හීනි තනකොල බුමුතුරුනක් වගේ ඇති. බුමුතුරුණෙ පිනි ඇති. මම සපත්තු නැතිව පිනි පාගනවා.

 (සමර විජේසිංහ .රතු පොත. සේදීගිය පාට. 28 පිටුව)

ඒ වන විට ජනේලෙ ඉස්සරහ තිබුන මල් පැලේ මල් ගහක් වෙලා. මල් නැති මල් ගහක්. උසයි. අතු රිකිලි තියෙනවා. කොල පිරිල. මල් හැදෙන්නෙ නෑ. ජනේලෙ වීදුරු ජනේලයක්. ඇතුලෙ ඉන්න අයට එලියට පේනව. එලියෙ ඉන්න අයට ඇතුල පේනව. වීදුරුවල ස්වභාවය එහෙම තමයි. කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. කුරුල්ලො දෙන්නා දැන් ඇවිල්ල බලල ගියා. ඉතා සාමාන්‍ය පොඩි කුරුල්ලො. පාට උනත් බැබලෙන තද පාට නෙවේ. නිකං පාටක් නැති සාමාන්‍ය පාට. අන්තිමට දෙන්නම එකට ආවා. තව තැන් බලන්න ඇති. මෙච්චර හොඳ නැතුව ඇති.

මම ඇඳුම් මාරු කරනකොට එයාට අනිත් පැත්ත බලාගන්න කියනවා. ඒ උනාට එයා හොරෙන් බලයි. මම එතකොට කෑ ගහනවා. හොරෙන් බැලුවෙ නැත්තන් වැඩක් නෑ. එයා ඒ වගේ දේවල් දන්නව ඇති. අලුතෙන්ම ගත්තු ලේස් යට ඇඳුම්.  අම්ම මගෙ හැමදේම දන්නව. ඒත් ලේස් ඇදුම් අම්මවත් දන්නෙ නෑ. එයා තමයි ඒව ඉස්සරවෙලාම දකින්නෙ. එයා නොබල ඉඳියි ද. නෑ බලයි.
(සමර විජේසිංහ, කොන්ඩ කුරුල්ලන් වැනි කුඩා අය ගැන. සේදී ගිය පාට කෙටිකතා සංග්‍රහය)

මේ ඕක්කොම උපුටැගැනීම් සමර විජේසිංහගෙ සේදීගිය පාට කෘතියෙන්. මම සමර විජේසිංහට කැමතිවෙන්නෙ එයාගෙ කෙටිකතා නිශ්චිත ආරම්භයක් හෝ අවසානයක් සහිතව ගමන් කරන සම්මත වටකුරු ඒව නොවන නිසායි. අනික් පැත්තට ඔහු මහා ලොකු සමාජ මෙහෙවරක් අපේක්ෂාවෙන් මේ කෙටිකතා නිර්මානය කරනව කියල නන් දොඩවන ගතියකුත් නැහැ.
සියල්ලටම වඩා ඔහු තරුණයෙක්. වයසින් කොතරම් මුහුකුරා ගියත් ඔහු තමන්ගේ කේෂ්ත්‍රය තුළ නොනැසෙන තාරුණ්‍යයක් අත්පත්කරගෙන සිටි කෙනෙක්. අන්තර්ජාලයෙන් පවා ඔහු කෙටි කවි පාඨකයා වෙත අරගෙන ගියේ අලුත් සම්ප්‍රදායක් සංස්කෘතියක් යෝජනා කරමින් වගේ. ඒ ගෞරවය, ඒ අන්‍යතා සහතිකය නිසැකවම සමරට හිමිවෙන්න ඕන කියලයි මගේ විස්වාසය.

එතන පාලම හදන එකට විරුද්ධ වාක්‍යත් තිබුන. එකකින් කියවුනේ පාලමේ කනුවක් හදන්න යෝජිත ස්ථානයේ මාලුවන් තුන්දෙනෙක් ජීවත් වන බව. එතැන හැර ඔවුන්ට ජීවත් වන්නට සුදුසු වෙන තැනක් නැති බව සහ ඒ නිසා පාලම් ව්‍යාපෘතිය වහා නවතා තබන ලෙස. මම සූක්ශමව ඒ වාක්‍ය අධ්‍යනය කලාම මට තේරුනා ඒ වාක්‍යයට යටින් රාජ්‍ය නොවන සංවිධානයක් ඉන්න බව. ඒ ගොල්ලෝ හිටියේ පරිසරවේදීන්ට මුවා වෙලා. වාක්‍යෙය් සමහර අකුරු පිටරටින් ගෙනාව ඒවා. ඒවට වෙනම න්‍යායපත්‍රයක් තිබුනා. මම වහාම ඇමතිතුමාට විස්තර සහිත රහස්‍ය වාර්ථාවක් ඉදිරිපත් කලා. ඇමතිතුමාගේ මග පෙන්වීම යටතේ මමත් පරිසරවෙදීනුත් සාකච්ජා මාර්ගයෙන් විසඳා ගත්තා. (ගෝත්‍රිකාව. 72 -73 පිටු)

සුමාන දෙක යන්න සුමාන දෙකක් ගියා. මගේ වෛද්‍යවරයා සුමාන දෙක ඇතුලත දියුනුවක් ලබාගෙන තියෙනවා. ලෙඩ්ඩු පස් දෙනෙක්. ඒ කියන්නෙ සුමාන දෙකක් ඇතුලත සියයට විසි පහක සංවර්ධනයක්. නරකම නෑ.
(සේදීගිය පාට. 79 පිටුව)

සමර වසර කිහිපයක් තිස්සේ නිහඬව කරගෙන ගිය සාහිත්‍ය කාර්යය නිහඩවම සැඟවෙන බවකුයි පේන්න තියෙන්නෙ. ඔහු ලියා ඇති නිර්මානකෘති අතලොස්ස තුළ පවා අපට පෙනෙන අව්‍යාජ සුන්දරත්වය, භාෂාත්මක අමුතු සෙල්ලක්කාරකම සිංහල සාහිතය කේෂ්ත්‍රෙය් නව පෙදෙසක් එලිපෙහෙලි කිරීමක්. එවැනි නිර්මානකරුවෙක් නිහඬවම සැඟවී යාම නොසිදුවිය යුත්තක්. නමුත් ඒය සිදුවෙමින් පවතින බවයි පේන්නෙ.





Tuesday, October 11, 2016

තල්ලු කරන්න එපා. ඔරුව යන තැනට යයි....




ක්ලැරා වෙනස් විදියට ගලා යන කතාවක්. සත්‍ය ඇසුරින් නිර්මිත ප්‍රබන්ධයක්. කතා නායකයා කවුරුත් හදුනන ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයි.
ක්ලැරන්ස්ගේ ජීවිතය, එය ගලා ගිය ආකාරය පිලිබඳ ගවේශනයක් කරනවාට වඩා ක්ලැරන්ස් සතුව තිබූ සංගීත ඥානය මෙන්ම ඔහුගේ භාවිතාව පිලිබඳ ඔහුම දරන මතය පිලිබඳ සාවධාන වීමටයි කතුවරයා මෙහිදී උත්සාහ ගන්නේ. සමකාලීන ලෝක සංගීත, සාහිත්‍ය පිලිබඳ තතු මෙන්ම ලංකාවේ සංගීතය ස්ථානගත වී ඇති ආකාරය සහ එතෙක්  ඔහු එහි දකින අර්බුදය ගැන වටිනා හෙලිදරව් කරන්නට කතුවරයා සමත් වෙනවා. විශේෂයෙක් කෘතියේ මැද හරියේ සිට ගොඩනැගෙන කථකයා සහ ක්ලැරා අතර මතු කරන සංවාද කෘතියට ආලෝකයක් සපයන බවයි පෙනෙන්නේ.

ක්ලැරා - ඔයාට කියන්ඩ ද? ඔය ගැන මම අවබෝධ කරගත්ත සත්‍යයක් තියෙනවා. අනයොන්‍ය පැවැත්මෙන් තමා දැනුම බිහි වෙන්නේ. ගනුදෙනු කළ නොහැකි දැනුම අසත්‍යක්.
ක්ලැරා- යුග පුරුෂයන් යයි හඳුන්වන අපේ සම්භාව්‍ය ගාන්ධර්වයින් බොහෝ දෙනා සිටින තැනට මට යන්න බැහැ. මට එතන ඉන්න බැහැ. මං වෙනස්. මම සිතන දැනුම මාව වෙන තැනකට අරන් යන්නෙ. ඔවුන් හා මං අතර පරතරය දිනෙන් දින විශාල වන බවක් මට හැඟෙනවා. නව දැනුම් මාර්ග පුද්ගලයින් එක් කරනවා වගේම දුරස් කරනවා. වෙන් කරනවා නේද? ඒක නව දැනුම් ලෝකයේ ඛේදවාචකයක් තමයි. (209 පිටුව)
............................


මම - ඔබට සංගීත අහසකම පාවෙමින් ඉන්ඩ පුලුවන් ද?
ක්ලැරා - ඇයි ඔබ ජීවිතය  පොලොවේ ඇසින් බලන්නේ?

ක්ලැරාගේ මුවින් දක්වන මෙවැනි අදහස් සත්‍ය හා ප්‍රබන්ධය අතර තැනක ස්ථානගත වෙනවා. ලංකාවේ සංගීතය, සංගීත විචාරකයන් ගීතය කෙරෙහි හෙලන දෘශ්ටිය ගැන කෙරෙන සංවාදය සංගීතය හදාරන්නන්ට පවා වැදගත් එකක්. ක්ලැරා නිරන්තරයෙන් සොයන්නේ වෙනස් මගක්. පොදු ජනයාට සමීප විය හැකි ප්‍රවේශයක්. පොදු ජනයාගේ වේදිතයන් ගැන සවිඥානික වීමක් ඔහුට අවශ්‍ය වන බවත්, ඔහු ලාංකීය සංගීතය නව මාවතකය ගැනීමක කල නිහඩ අරගලයත් මේ සංවාද හරහා මතු කරනවා. මෙය පොදු ජනයාගේ ස්නායු වලටම ආමන්ත්‍රනය කරන ගී ආරක් සොයමන් කරන ගමනක් බව පෙනෙනවා. එබැවින්ම  කතුවරයා කරුනු හොඳින් තොරා බේරාගෙන සිදුකරන නිබන්ධනයක් බව සිතෙනවා.

ක්ලැරා - සම්පූර්නයෙන්ම නොවෙයි. මම කලේ මට කළ හැකි කොටසයි. ඉන් එහාට පාරක් මට පෙනුනෙ නැහැ. එය පෙනුනෙ කේමදාසට. මම හිතන්නෙ මම හිටියෙ ප්‍රෙස්ලි ජිම් රීව්ස් සිටිය තැන වගේ තැනක. බීට්ල්ස්ලා ගිය ගැඹූරට මං සේන්දු වෙලා නැහැ. (202 පිටුව)

ක්ලැරා - සිංදුවල වචන සැමාන්‍ය මිනිස්සුන්ගෙ භාෂාවෙන් ඈත් කිරීම භයානකයි. කලාවත් ජනතාවත් අතර දුරස් වීමක් සිද්ධ වෙන්නෙ එතැනින්. පොප් ගී වල ඇත්තේ හැඟීම් භාෂාවක්. ඒවා මිනිසුන් එකතු කරන බලයකින් යුක්තයි. එය කලු සුදු දෙලොවම යා කල සැටි පුදුමයි. (163 පිටුව)

අවසානයේ කෘතිය කියවන පාඨකයාට ලංකාවේ සංගීතයේ දිශානතිය සම්බනයෙන් මෙන්ම කලාකරුවෙකුගේ භාවිතයන් පිලිබඳ ඔහුගේ මතවාදය කේන්ද්‍ර වන අයුරු ආදිය ගැන යලි යලි සිතන්නට හැකි දොරක් ද විවර වෙනවා. ක්ලැරන්ස් යනු ගිටාරයක් ගෙන සරල පද රචනාවකට ගී ගැයූ තවත් එක් ගායකයෙක් පමනක්ම නොව තව භාවිතයන් පිලිබඳ නිරන්තර ස්වයං අධ්‍යකින්, විවේචනයකින්, හැදෑරීමකින් ගොඩනැගුණු කලා කරුවෙකු  බවයි කතුවරයා අනායාසයෙන් මතු කරන සත්‍ය වන්නේ.

Saturday, October 1, 2016



සිංහලෙන් ලියූ ජපන් ලේඛකයා - තදශි නොගුචි





කොකොරෝ ජපන් ජාතික නත්සුමෙ සෝසෙකිගේ නවකතාවක්. මේක කොකොරෝ නමින්ම සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙත් ජපන් ජාතිකයෙක්මයි.  ඔහු නමින් තදශි නොගුචි. මේ පරිවර්තනයේ පලවෙනි මුද්‍රනය 1979 දී සිදුකරල තියෙන්නෙ ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින්. කොකොරො පෙරවදනේ පරිවර්තක මෙවැනි සටහනක් තබනවා.
ශ්‍රී ලංකාවේ සිටි කාලයේ දී මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවනැල්ල නම් කෘතිය මට කියවන්නට ලැබුනි. යුද්ධයෙන් පැරදුනු ජපන් සමාජය නැමති අලු ගොඩ උඩ පහල වූ ක්ශනභංකුර අපරිනත සාහිත්‍ය එම කෘතියෙන් දැඩි විවේඩනයට ලක් වෙයි. එම ග්‍රන්ථකරනයේ පරමාර්ථ ඉටුකරගැනීම සඳහා එබඳු දැඩි විවේචනයක් කිරීමට මාර්ටින් වික්‍රමසිංහ පෙලඹුනා විය හැකිය. කෙසේ වුවත් එම කෘතිය කියවීමේදී මාතෘ භූමියට මෙන්ම ශ්‍රී ලංකාවටත් ඉතා ආදරය කරන්නා වූ ජපන් ජාතිකයෙකු වන මා සිතේ කිසියම් ශොකයක් උපන්නේය. වික්‍රමසිංහගේ කෘතිය මැනවින් වටහා නොගන්නෝ ජපන් සාහිත්‍ය එකම කාම සාහිත්‍යයක් ලෙස සිතතියි සැකයක් මා සිතට පිවිසියේය. එතුමන්ගේ කෘතියට පිලිතුරක් ලිවීම මට අදාල කාරියක් නොවේ. එහෙත් උසස් ජපන් නවකතා කිහිපයක්වත් සිංහලයට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මා සිත තුල ඇති වුනේ ජපන් කාමකතා හෙවනැල්ල කියවීමෙන් පසුවය. .....(කොකොරො පෙරවදන - තදශි නොගුචි)
කොකොරො පරිවර්තනයට අමතරව නොගුචි සිංහලෙන් නවකතාවක් ලිවීමත් විශේශත්වයක්. අනිත්‍ය ජීවිතයක් (1969)නම් වූ එම නවකතාව තවම මට කියවන්න නම් ලැබිල නැහැ.  ජපන් කෘති සිංහලට පරිවර්තනය වගේම සිංහල කෘති ජපන් භාශාවට පරිවර්තනය කිරීමටත් නොගුචි උත්සාහ ගෙන තිබෙන බව සඳහන් වෙනවා. මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා නම් කෘති දෙකත් ඔහු අතින් පරිවර්තනය වී තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව, ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය, විරාගය නම් වූ කෘති සියල්ලත් ඔහු විසින් ජපන් බසට පරිවර්තනය කර ඇති බව ඔහු ගැන ලියූ ලිපියක සඳහන් වෙනවා.
ඉතින් තදශි ගැන බොහෝ සිංහල ලේඛකයන් නොදන්නා නිසා මේ සටහන ලියන්න සිතුනා. ඔහු සම්බන්ධ වෙනත් තොරතුරු දන්නා අයෙක් වේ නම් සඳහන් කරන්න. අනිත්‍ය ජීවිතයක් පොත කියවන්න ලැබේ නම් ඒකත් සතුටට කරුනක් වෙයි. කොකොරො නැවත  1999 දී මුද්‍රනය කරල තියෙන නිසා බොහෝ විට ගොඩගේ පොත් හලේ තියෙන්න පුලුවන්.
මේ මා කොකරො නවකතාව කියවීමෙන් පසු තැබූ සටහනක්. අනතුරුව අනිත්‍ය ජීවිතයක් කෘතියද සොයාගන්නට හැකි උනා. ඒ නිසා ඒ ගැනද මෙහිම සටහන් කර තැබීමටයි මේ උත්සාහය.
අනිත්‍ය ජීවිතයක් මරදාන ගොඩගේ  ප්‍රකාශන ආයතනයේ රාක්කයක  කිහිපයක් ගොඩගසා තිබියදී හමුවුනා. 1969දී පලමු වරට ප්‍රකාශයට පත් කර ඇති කෘතිය 2000  දී නැවත මුද්‍රනය කෙරී තිබෙනවා.
අනිත්‍ය ජීවිතයක් ලංකාවේ නැවතී ඉගෙනගන්නා ජපන් පෙම්වතෙක් ජපානයේ වෙසෙන ස්වකීය පෙම්වතියක හා හුවමාරු කරගත් ලිපි පදනම් කරගෙන ලියැවුනු ආකෘතියකින් සමන්විත නවකතාවක්. මුලු නවකතාව පුරාවටම අඩංගු වන්නේ ලංකාවේ සිරිත් විරිත්, සංස්කෘතික පසුබිම ජපන් සංස්කෘතිය හා සමඟ සසඳමින් මෙන්ම ඒවායෙහි විචල්‍යතා ගැන කෙරෙන සංවාදාත්මක කතිකාවන් කිහිපයක්. කෘතිය සම්පාදනය කිරීමේ අරමුන පවා එය බවයි කියවන විට සිතෙන්නේ. ඒ බව ඔහුගේ පලමු මුද්‍රනයේ පෙරවදනේ ද මෙලෙස සටහන් කිරීමෙන් පැහැදිලි වෙනවා.
අනිත්‍ය ජීවිතයක් මගේ මද හැකියාවන්ට වඩා දුබලකම් හෙලි කරන කෘතියකැයි හැඟේ. සිව් වසක කලක් ලක්දිව සිටියදී මා ඇසින් මෙන්ම සිතින් දුටු දේ සටහන් කර තැබීම මගේ ආසාව වූවා විය හැකිය. බොලඳ පෙම් කතාවක මුවාවෙන් අනිත්‍ය ජීවිතයක් නමින් ඔබ අතට පත් වන්නේ ඒ මගේ දැකුම් සිතුම් මා දන්නා සංහලයෙන් විවේචනාත්මකව සටහන් කර තැබීමට මා ගත් ප්‍රයත්නයයි. (හැඳින්වීම, අනිත්‍ය ජීවිතයක්)



ආදරය, ජීවිතය පදනම් කරගත් ජීවන සංකීර්නතා වලට වඩා ජපන් ඇසින් ලංකාවේ පසුබිම, ජන ජීවිතය ගැන කියවන්නෙකුට මේ කෘතිය අතිශය වැදගත් වන බව පෙනෙනවා.  අවස්ථා කිහිපයකම සිත්ගන්නා සුලු ආකාරයට ලංකාවේ තත්කාලීන සමාජ තත්වය විවරනය වෙනවා.එවැනි බොහෝ දේවල් කෘතිය රචනා කල කාලයට වඩා විශාල ලෙස වෙනස්වී නැති බවකුයි මට නම් පෙනෙන්නේ. අනික අපි අපිටම පේනදේට වඩා අපි ගැන පිටස්තරයෙක් පවසන දේ තුල යම් අවංක හෝ සත්‍යතාවක් ඇතැයිද මෙහි ඇතැම් කොටස් කියවන බොහෝ වෙලාවට මට සිතුනා. මේ එම කෘතියෙන් උපුටාගත් කොටස් කිහිපයක්.

ඊයේ පෝය නිවාඩු දිනයක්. මධුර හා සරත් සමඟ මා සිංහල චිත්‍රපටයක් බලන්නට ගියා. ඒ සාමාන්‍යයෙන් ඔවුන්ගේ එකම විනෝදය චිත්‍රපටි බැලීම යයි මම දැන සිටි නිසාය. උදේ සිට චිත්‍රපටි ශාලාවේ ඉදිරියෙහි පොලඟෙකු මෙන් දිගැසි පෝලිමක් තිබුනි. පැයක් එකහමාරක් පමන ඒ පෝලිමේ සිටගෙන සිටියෙමු. දහඩිය දමන්නට පටන්ගත්තේ ඉන් ඉක්බිතිවයි. එහි සෙවනැල්ලක් සෙවීමට තරම් ඉඩක් නැත. මදක් එපාවී සිටියදී ප්‍රෙව්ශපත්‍ර විකිනීමට පටන්ගත්තා. වාඩිවූ පුටුවද ඉතා ගොරොසුයි. කෙලින් වාඩිවී සිටිය යුතුය. සිවිලිමෙහි මද දිගැති විදුලි පංකා සවිකර තිූ නමුත් මැස්සන් ඉවත් කිරීමට තරම්වත් සුලඟක් ඉන් නිකුත් නොවේ. දුම් පමනක් කෙලින් උඩට නැගී අතරමං වෙනවා. හුස්ම ගැනීමටත් ඉතා අපහසු බවක් දැනෙනවා. බිත්තියේ උඩ හරියේ සවිකර ඇති ජනේලයෙන් ඉර එලියද නොසැලකිල්ලෙන් මෙන් ඇදෙයි. ඇහෙන සින්දුද මගේ ඔලුව කෑලිවලට කපා දමන්නාක් සේ අමිහිරියි. චිත්‍රපටය නොබලා දැන්ම එලියට යා යුතුයයි කිහිප සැරයක්ම සිතුනා. මොන විනෝදයක්ද මෙහි තියෙන්නේ කියලා.  (අනිත්‍ය ජීවිතයක්, 42 පිටුව)


මම පසුගිය මාසය පුරාම සිංහල වචන මාලාව බෙහෙවින් කටපාඩම් කලා. ඒ කටපාඩම් ක්‍රමය කෙසේ ද කියනවා නම් එක එක වචන කටේ දමා ඉක්බිතිව සියල්ලම ගිලිනවා වගේ හරිම අපහසු ක්‍රමයක්. එහෙත් දැන් ඒ ක්‍රමය නිසා මට ඔවුන් කතා කරන සිංහල භාශාව තේරුම්ගත හැකියි. මේ සිංහල භාශාව වරින් වර කනට ඇහෙන දෙමල භාශාව මෙන් නොව තුන් කොනක් නැති බෝලයක් සේ ඉතාම මෘදු භාශාවකැයි සිතේ. දෙමල භාශාව කතාකරන මිනිසුන්ගේ මුහුනු දෙස බලා සිටින විට ඔවුන්ගේ කට ද දිවද වේගයෙන් කැරකෙන හැටි මැනවින් බලාගත හැකියි. කටින් පිටවන ශබ්දද ඉතා ගොරෝසුයි. මෘදු ගතිය එහි ඇත්තේම නැහැ. දෙමල භාශාවට පුරුශමය ගතියක් තියෙනවා නම් සිංහල භාශාවට ඇත්තේ ස්ත්‍රීමය ගතියකැයි මට සිතේ.  (අනිත්‍ය ජීවිතයක්, 46 පිටුව)

මට කියන්න පුලුවන් එකම දෙය නම් ලාංකිකයන් හොඳ වෙන්නේ නැත්නම් ලංකාව හොඳ වෙන්නේ නැති බව පමනයි. අපේ රටත් එහෙම තමයි. මා ඉඳහිට ශිශ්‍යයන් සමඟ නොයෙකුත් දේ සාකච්ඡා කරනවා. ඔවුන් හැමවිටම කියන්නේ අනාගතයක් නොමැති බව මිසක් එය සකස්කල යුතු ආකාරය ගැන නොවේ. ඔවුන් සිතන පරිදි අනාගතයනම් ඇතත්ටම අවිනිශ්චිත තමයි. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන්හි නැත්නම් සිතෙහි යම්කිසි වහල්වී සිටින ගතියක් තියෙන බව පැහැදිලිවම පේනවා. ඔවුන් තම දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් කෙරෙහි ඇති ප්‍රබල යුතුකම් ගැන සලකා බලනවා මිස අනාගත පරම්පරාව ගැන සිතන්නේ නැහැ. ඊට හේතුව මෙහි සංස්කෘතිය හා ශිශ්ටාචාරය අපට වඩා වෙනස් වීම වෙන්න ඇති කියලා මං හිතනවා.  (අනිත්‍ය ජීවිතයක්, 48 පිටුව)

නවකතාවක් වශයෙන් කොතෙක් දුබලතා තිබුනත් විදේශිකයෙකු වශයෙන් ඔහු සිංහලෙන් ලිවීමට ගත් උත්සාහය හා මෙහි සංස්කෘතික කාරනා සම්බන්ධව ඔහුගේ ආකල්පය කෘතිය මත චිත්‍රනය කිරීමට ගත් උත්සාහය නිසාම මෙය ආසාවෙන් කියවා බැලුවා. ඒවැනි රසඥතාවක් ඇති අය වෙනුවෙනුත් නොගුචිගේ සිංහල සාතිත්‍ය මෙහෙය නොදන්නා අයට ඒ ගැන දැනුවත් කිරීමේ අරමුනිනුත් මේ සටහන ලියවුනා.





Monday, September 19, 2016

බැමිනිතිකාලය  ගැන කෙටි ලිපියක්...





බැමිනිතිකාලය - නවකතා
අනුරාධ මහසිංහ
සයුර ප්‍රකාශන


බැමිනිතිකාලය. තරමක් අමුතු නමක් වගේම වෙනස්ම විදියේ පිටකවරයක්. ඓතිහාසික පුවතක් පාදක කරගත් ප්‍රබන්ධයක් නිසා(දැන් මේ විදියෙ නවකතා රැල්ලක් වගේ තියෙන නිසා) මේක කියවන්න ගත්තෙ තරමක් අවිස්වාසෙන් උනත් මූලාරම්භයේ ඉඳන්ම වෙනස් ප්‍රවේශයකින් පාඨකයාව ග්‍රහනය කරගන්න කතුවරයා සමත්වෙනවා. එහි සූක්ශම වියමනක් තියෙනවා. කෙටි නවකතාවක් ලෙස ගොඩනගා ඇතත් මේ සිදුවීම් යටින් සංකීර්න දේශපාලන, සමාජ යාථාර්ථයක් සියුම් විදියට ගෙත්තම් කරන්නට ඔහු සමත් වෙලා කියලයි හිතෙන්නෙ. විශේශයෙන් ඒ ගෙත්තම මැස්ම නොපෙනෙන ගානට සියුම් කරන්නට ඔහුට හැකිවී තිබෙනවා. මේ කතාව කියවෙන ආකෘතිය එහි ඇති කුතුහලය සහ කතාව ගලාගෙන යාමට කර ඇති මෙහෙය අතිවිශාල බවත් කියන්න පුලුවන්.

මේ තුල අඩංගු ආකර්ශනිය සිදුවීම් කිහිපයකටම මම කැමතියි. එකක් කලුහාමිට බරනී මුන ගැසීම සහ කරත්තය පෙරලීම තෙක් සිදුවීම, දෙවැන්න රජතුමාගේ බිසව කරත්තයෙන් බැසීම ගැන ඉඟිය. මට ඒ මොහොතේ හිතුනේ මේ කතාවට අතිවිශාල ආලෝකයක් සැපයිය හැකි මොහොතක් කතුවරයාට මඟ හැරෙමින් යනවා කියලයි. නමුත් කතාව අවසානයේ දී තීරනය කරන්න පුලුවන් ඔහු එය සංයමයෙන් හා උපකමික විදියකට එය මේ කතාව තුල භාවිත කර ඇති බව. තුන්වැන්න වේලංග සහ පිරිවර මාංශ අනුභවය. මේ ආකර්ශනීය රූපකාත්මක සිදුවීම් තුනෙන් තමයි මාව මේ කතාවට බැඳ ගත්තෙ. පුද්ගලිකව මම දේශපාලනික යථාර්ථයන් මතු කරනවා වැනි නිර්මානවලට කැමති නැතත් මේ කතාව තුල මොකක් හෝ මාව කලඹවන යමක් ඇති බව දැනෙනවා. විශේශයෙන් කතාව තුල අවස්ථා ගනනකදීම අපට අදාල සර්වකාලීන දේශපාලන ක්‍රියාදාමයන් පිලිබඳ කෙරෙන සාහසික ඉඟි කිරීම් ප්‍රසංසනීයයි. අනික මේක කෙලින්ම මහ රජතුමන්ගේ ආශ්‍රිත සිදුවීමක් ලෙස නොපෙන්වා කලුහාමි වැනි නිකම්ම මිනිසෙකු ආශ්‍රෙයන් හෝ වේලංග වැනි කෙනෙක් ඇසුරින් ගෙනහැරපෑමට ක්‍රියා කිරීමම වැදගත් ඉදිරි පියවරක්. වේලංග, කලුහාමි දෙදෙනා වෙත අවස්ථා කිහිපයකදී මෙහි කේන්ද්‍රය දෝලනය වන ආකාරයත් සුන්දර අත්දැකීමක්. කතාව පලාගෙන දේශපාලනය මතු වෙන්නෙවත් දේශපාලනය පලාගෙන කතාව මතු වෙන්නෙවත් නැති තරමට මේකෙ සාරය හොඳින් කවලම් වෙලා තියෙන බවත් කියන්න පුලුවන්.

මුල් අවස්ථාවන් කියවන විට නවගත්තේගම වැනි ශෛලියක් මතකයට නැගුනත් පසුව ඒක ඒ තරමටම දැනුනෙ නැහැ. කතාවේ නමින්ම උනත් ( බැමිනිතිකාලය) අදාල යුගය, කාලය ගැන ක්ශන වටහාගැනීමක් ලබාගන්න පුලුවන්. ඒක කතාවට පිවිසීමට විශාල වාසියක් සපයනවා.( මේ ඉතිහාස කතා පුවත ගැන පුලුල් දැනුමක් මට නැහැ. කතාව විඳින්න ඒක ලොකු බාධාවක් උනෙත් නැහැ.) නමුත් අවසන් බාගයේ රජතුමා සහ පඬි රට සෙබලුන් අතර යුද ගැටුම් ආදී දේ කතුවරයා පෙරමුනට පැමින කතාව කියන ආකාරය ඍජු වැඩිදෝයි කියලත් වෙලාවකට හිතෙනවා. සහ ඒක බරපලත අවුලක් විදියටත් මම දකින්නෙ නැහැ.
අවසන් වශයෙනුත් මම මේකට කැමති බව කට පුරා කියන්න පුලුවන්. කාලෙකින් හොඳ නිර්මානයක් කියෙව්වා කියා හිතෙනවා සහ යලි යලි ඒ ගැන කල්පනාබරිත වෙනවා. නිර්මානකරුවා ඉතා පහසුවන් සංකීර්න තැන් ස්පර්ශ කරනවා. නිසැකවම ඒ පිටුපස විශාල උත්සාහයක් ඇති. ඒ වෙනුවෙන් මගේ අවංක සතුට. සහ සටහන.

කලා කවුලුව

Monday, September 12, 2016

සිංහලෙන් ලියන්න බයද?





අන්තර්ජාලය භාවිතා කරනවත් එක්කම සිංහල ලේඛන විදිය අලුත් මාවතක ගමන් කරනව කියල කිව්වොත් එක අතකට ඒක වැරදි නැහැ. එහෙමත් නැත්නම් ලේඛනයේ ස්වභාවික වර්ධන විලාසය හොඳින් මතුවෙලා පේන්නෙ අන්තර්ජාලය වගේ පොදු ජනයාට ඉක්මනින් සහ පහසුවෙන් සහභාගී විය හැකි මාධ්‍යයකදී කියල අපිට කියන්න පුලුවන්. භාශා විශාරදයන්, භාශා විද්වතුන් මොන ආකාරයේ අන පනත්, බාධක පමුනුවලා තිබුනත් අන්තර්ජාලයෙන් සිදුකෙරෙන සංවාද, ලිපි, සටහන් බොහොමයක් ගලාගෙන යන්නේ පොදු මිනිසාට වඩාත් සමීප සරල කතාකරන විලාසයකින්. ඒක සංවිධානාත්මක කල්ලියක සූක්ශම මෙහෙයවිමක ප්‍රතිඵලයක්  නෙමෙයි. බටහිර කුමන්ත්‍රනයකුත් නෙමෙයි. ඒක ස්වභාවිකයි. ඉබේ හට ගැනුනු එකක්. මේ වෙනකොට ෆේස් බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවල සිංහලෙන් ලියන බහුතරයක් පාවිච්චි කරන්නෙ මේ සරල වාක්‍ය රටාව. කතා කරන භාශාව.
ඒ කෙසේ නමුත් ලිඛිත භාශාවේ අධිකාරීත්වය අඩපන වෙලා කියලත් ඒකෙන් කියවෙන්නෙ නැහැ. අද සිංහල උගන්වන පාසල්වලින් එලියට එන්නෙ ලේඛන ක්‍රමය ගැන මේ කෘතිම අදහස් බලහත්කාරයෙන් මනසට ඇතුලත් වුනු ශිශ්‍ය බට කන්ඩායම්. ඒ අතින් මේ තරමට හෝ භාශාව ස්වභාවික මාවතක ගමන් කිරීම ගැන පුදුම වෙන්න ඕන සහ සතුටු වෙන්න ඕන. අද සිංහල කියන්නෙ පාසල් සිසුන්ට වගේම විශ්ව විද්‍යාල සිසුන්ටත් නම ඇසූ සැනින්ම බිය ඇතිකරන විශයක් බවට පත් වෙලා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි ව්‍යාකරන දුශ්කර නිසා. ව්‍යාකරන සංකීර්න නිසා.
පාසල්වල සිංහල උගන්වන ගුරුවරයාගේ ප්‍රධාන වගකීම වෙලා තියෙන්නේ සමාජයේ අන් අය නොදන්න තමන්ම විතරක්ම දන්නා මැහැඟි ව්‍යාකරන දැනුම සිසුන්ගේ පිලිතුරුවල තියේදැයි පරීක්ශා කිරීම. මම කිව්වොත් මි යන්නෙන් අවසන් වෙනවද නුඹ කිව්වොත් හු යන්නෙන් අවසන් වෙනවද වගේ දේවල් පරීක්ශා කරනවටයි උග්නනවටයි වැඩි දෙයක් සිංහල ගුරුවරයට නැහැ කියලයි ගුරුවරු හිතාගෙන ඉන්නෙ. එක අතකට ගුරුවරයා විතරක් නෙමෙයි මුලු අධ්‍යාපන ක්‍රමයෙම අවුලක් තමයි මේක.   
මම නම් හිතන්නේ භාශාවක් හසුකරුවනව කියන්නෙ ඊට වඩා සරල සහ ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් වෙන්න ඕන කියලයි. භාශාව සන්නිවේදන මාධ්‍යයක්. සන්නිවේදන මාධ්‍ය අතරින් වඩාත්ම දියුනු තලයට පත් වූ එකක්. ලේඛනය කියන්නේ ඒකෙ දෘශ්‍ය ස්වරූපය. භාශාවේ ශබ්ද අපි සම්මුතිකව පිලිගන්නා සංකේත රටාවක් මගින් ඉදිරිපත් කරල තියෙනවා. භාශාවක් වඩා හොඳින් ප්‍රගුන කරනව කියල කියන්නේ ඒ භාශාවෙන් අපේ හැඟීම් සිතුවිලි අපිට වඩාත් සංවිධිතව සහ ආකාර්ශනීය පිලිවෙලකින් අසන්නාට හෝ කියවන්නාට හොදින් වැටහෙන පරිදි ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනව කියන එකටයි. කරුනු ගොඩක් මනා පිලිවෙලකට ගැටගහග්න පුලුවන්ද කියන එකටයි. ලේඛනයේදී ඒක කතාකරන භාශාවෙන් ද ලියන භාශාවෙන් ද කියල හොයල බලනවට වඩා කරුනු කොහොමද පෙලගස්වල තියෙන්නෙ කියන එකයි වඩාත් වැදගත්.
නමුත් අපේ ලොකු කුඩා බහුතරයක් සිංහලෙන් ලියන්න  බයයි. ලියන්න පුලුවන් උනත් හොඳ කරුනු තමන් සතු උනත් බය ඇතිවෙන්නෙ ඒක කොයිතරම් දුරට ව්‍යාකරනානුකූලද කියන තැනදියි. උක්තයට අනූව ආඛයාතය ගැලපිලාද කියල හොයන්න වෙන තැනදියි. නණ -ලළ හරියට පිහිටලාද කියල සැක හිතෙ තැනදියි.  ලේඛකයො පුවත්පත් ලිපි රචකයො පවා එහෙමයි. අපි ලියන ලිපියක් හෝ සටහනක් වෙනත් භාශා ප්‍රවීනයෙක් ලවා පරීක්ශා කරගන්න අපිට වෙලා තියෙන්නෙ ඒකයි. අපි බයයි. අපිට සැකයි. අපි හිතනවා අපි මේක හරියට දන්නෙ නැහැ කියලා. අපිට තව කාගෙ හරි පිහිට පතන්න සිද්ධ වෙනවා.අපේ මව් භාශාව ලියන්න බය වෙන්න සිදුවීම ගැන ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕන.
අපි කතාකරන භාශාවේ කොතනකවත් ඔය ආකාරයේ උක්ත ආඛ්‍යාතයක් නැහැ. නණ - ලළ භේදයක් නැහැ. නමුත් අපි කිසම ප්‍රශ්නයක් නැතිව අදහස් හුවමාරු කරගන්නවා. අදහස වෙනස් වෙන්නෙ නැහැ. විකෘති වෙන්නෙ නැහැ. සංදිග්ධතා නැහැ. ලියනකොටත් ඒ ක්‍රමයම භාවිතා කරනවනම් ඒක සිංහල ඉගෙන ගන්නව කියන එක ඔය තරම් භයානක හැඟීමක් සිතට ඇතිකරන්නක් වෙන එකක් නැහැ.
සංස්කෘතික ලැග්ම කියන එක හැම සංස්කෘතියක් තුලම සංස්කෘතියේ ස්වභාවික චලනය අහුරාගෙන සිටින බව අපි අත් දකින සත්‍යයක්. විශ්වවිද්‍යාල උප සංස්කෘතිවල වගේ උප සංස්කෘතිවල ඉඳන් මහා සංස්කෘතියෙත් මේ ලැග්ම ඒ විදියටම බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. (අපි විශ්ව විද්‍යාලෙදි පලමු වසරෙදි ගැහැනු ලමයින්ට කලිසම් අදින්න තහනම්. නමුත් අපි ඒක වෙනස් කරලා එයාලගෙම ආරක්ශාව උදෙසා කලිසම්  අදින්න ඉඩ දෙන්න ඕනෑ කියන යෝජනාවක් සම්මත කරගන්න උත්සහ කලත් ඒක බොහෝ විවේචන හමුවේ පසු බස්ස හැටි මට  මතකයි. පුදුමයට කරුන ඒකට තදින්ම විරුද්ද උනේ අන් කවුරුවත් නෙමෙයි ගැහැනු ලමයින්ම වීමයි.) මම හිතන්නෙ භාශාව සම්බන්ධයෙන් පවා ක්‍රියාත්මක වෙන්නෙ මේ ලැග්ම.  එක පුංචි සංකල්පයක් වෙනස් වෙනව කියන්නෙ මුලු සංස්කෘතියම කඩා වැටීමක් විදියට දකින අයයි මේ ඕනෑම සංස්කෘතියක අධිපතීත්වය දරන්නේ. ඒකට තදින්ම එරෙහි වෙන්නේ. ස්වභාවික මාර්ගය අවහිර කරගෙන ඉන්නේ.
මේ ලඟදි ෆේස් බුක් එකේ එක්තරා සමූහයක කෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා කතාකරන භාශාව ලියන්න ගන්න එක හොඳද නරකද කියලා. ඒකට ලැබුනු ප්‍රතිචාර වලින් 80% විතර කියල තිබුනෙ ඒක හොඳ නැහැ කියලයි. සමහරු බොහොම ආවේගෙකින් පිලිතුරු දෙන්න උත්සාහ අරන් තිබුනා. කතා කරන භාශාවෙන් ලියන්නෙ සිංහල දන්නෙ නැති අය කියල සමහර අය තර්ක කරනවා. තවත් අයගෙ අදහස උනේ අනුරාධපුර යුගයේ වගේ දියුනු සාහිත්‍ය යුගයන් පරිශීලනය කරන්න අපිට ලේඛන විදිය දැනගන්නම වෙනවා නැත්නම් ඒක ලොකු පාඩුවක් කියලයි. කතාකරන බසින් ලිව්වොත් ඒක නිකම් ගමේ ගොඩේ කතාවක් වගේ නැත්නම් රස්තියාදුකාර භාශාවක් වෙයි කියලා බය හිතෙනවා කියල තව පිරිසක් අදහස් දක්වල තිබුනා. හාස්‍යයට කරුන වෙන්නෙ ඒ හැම උත්තරයක්ම වගේ ලියල තිබුනෙත් කතාකරන භාශාවෙන්ම වීමයි.
කතා කරන භාශාව ලියන්න ගන්න ඕන කියන තර්කය අද ඊයෙක හටගත්තු එකක් නෙමෙයි. මං හිතන විදියට ඒක වඩාත් ගැඹුරින් තාර්කිකව කරුනු විග්‍රහ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ ඒ පිලිබඳ අදහස් ඉදිරිපත් කරන්නෙක් විදියට අජිත් තිලකසේන මෙහිදී ලොකු මෙහෙවරක් කරනවා. ඒක හුදකලා සටනක්ද දන්නෙත් නැහැ.  70 දශකයේ ඉඳන්ම ඔහු මේ ගැන කතා කලා. යෝජනා ඉදිරිපත් කලා. ප්‍රතිපත්තියක් විදියට ඔහු ඒ මාර්ගයේ ගමන් කලා සහ කරමින් ඉන්නවා. 
නව පරපුර වගේම භාශා විශාරදයන් ඉදිරිපත්කරන ගැටලු වලට, ප්‍රතිතර්ක වලට හොඳ සාධනීය පිලිතුරු ගොනු කරමින් ඔහු ලියූ ලිපි වල එකතුවක් විදියට සහ එය පිලිවෙලකට ඉදිරිපත් කරමින් ඔහු පොතක් ලියනවා මැදිවහර නමින්. ඒක ප්‍රකාශයට පත්වෙන්නෙත් මේ අවුරුද්දෙ. මැදිවහරෙන් ඔහු යෝජනා කරන්නෙ තව දුරටත් අපි ආයාසකර ලේඛන ක්‍රමයේම එල්ලිලා ඉන්න එකේ තේරුමක් නැහැ කියන එකයි. ඒක සිංහල භාශාවේ අනාගතය ගැන ලොකු හැදෑරීමකින් සහ අවංක ආදරයකින් කරන යෝජනාවක් උනත් බොහෝ වියතුන් වගේම සාමාන්‍ය ජනයා තිලකසේනව  දකින්නෙ ඔහු තරම් සිංහල භාශාව විකෘති කරපු කෙනෙක් තවත් නැති ගානටයි. මට හිතෙන්නෙ ඒ කිසි කෙනෙක් තිලකසේන දශක හතරක් පහක් තිස්සෙ ලොකු ගවේශනයකින්, ගැඹුරු හැදෑරීමකින් ඉදිරිපත් කල භාශාව සම්බන්ධ කෘති, සටහන්  එකක්වත් කියවලා නැතිව ඇති.
වෙහෙසකර උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය අතහැර සරලව වාක්‍ය අවසන් කරන විදිය කොහෙත්ම භාශාව රස්තියාදු කිරීමක් හෝ පරිනත ස්වභාවය පහත හෙලීමක් නොවන බවට ඔහු මැදිවහර කෘතියෙදී  පෙන්නලා දෙනවා. කොටින්ම කතා කරන භාශාව ලියන්නට ගන්නවා යනු කතා කරන බස එහෙම පිටින්ම ලේඛනයට ගන්නවා කියන එකම නෙමෙයි. එය කොහොමටත්ම කල නොහැකි කාර්යයක්. ඒ වෙනුවට උක්ත ආඛ්‍යාතයේ අසීරුතා මගහැරීම සරල ක්‍රියාවලියක්. මම කියල ලිව්වත්, අපි තොපි, නුඹ, නුඹලා මිනිසුන්, මිනිස්සු ආදී මොන ආකාරයෙන් ලිව්වත් කලා, කෙරුවා, කරනවා කියල වාක්‍ය අවසන් කරන්නට හැකිනම් එය පහසු සහ  ඕනෑම අයෙකුට අවබෝධකරගත හැකි තත්වයක් ඇති කරනවා. ලේඛයයේදී සෙසු වචන භාවිතයන් විදග්ධ ස්වරූපයේ ඒවා උනාට කමක් නැහැ. කතා කරන බස වෙනුවට මැදිවහර ලෙස ඔහු  එය නම් කරන්නෙත් මේ නිසාම වෙන්න ඕන.   
මම හිතන්නෙ අපි සිංහල භාශාව අතරින් අනාගතයට ගමන් කරන්න ඕන නම් මේ ආකාරයට භාශාවේ අනවශය බර හෑල්ලු කරගන්නම වෙනවා. එහෙම කලොත් විතරයි ලොකු කුඩා, උගත් නූගත් ඕනෑම අයෙකුට බයක් සැකක් නැතිව භාශාව පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ. ඒක අපේ භාශාව අනාගතය වෙත ගමන් කිරීමේ මාර්ගය එලි කරන්නක් මිසක් විකෘති කරන්නක් විදියට භාර ගන්න එකයි ලොකුම විකෘතිය. කාලයේ තාලයට භාශාව වෙනස් වෙනවා. භාශාව පරිනාමනය වෙන දෙයක්. එය ආයාසයෙන් නවත්වා ගන්නා තැන තමයි එය පසුබෑමට ලත් වෙන්නේ. ආයාසයෙන් හදාරන්න වෙන්නේ එතකොටයි.   ඒකට පෙරමුන ගන්න ඕන මූලික වශයෙන්ම ලේඛකයා. රචකයා.  තිලකසේන කියන ආකාරයට නිර්මානාත්මක ලේඛකයා, පුවත්පත් රචකයා, දැන්වීම් ලියන්නන් වැනි පුද්ගලයන් මේ කාර්යයට මුල පුරන්න ඕන.

මම හිතන්නේ අද පලවෙන සිංහල නවකතා කෙටිකතා බොහොමයක් ලියවෙන්නෙ මේ ක්‍රමයට. ඉස්සර තරම් අසීරු ඔලුව කරකවන තරම් බරසාර උක්ත ආඛ්‍යාත පිරිල නැහැ. සරල වාක්‍ය රටාවන් පවා සාහිත්‍යාත්මකයි. තරුන රචකයන් පුවත්වල ලිපි ලියන්නෙ උක්ත ආඛ්‍යාතය තකන්නෙ නැතිව. ඒක හොඳ ප්‍රවනතාවයක්. සාහිත්‍ය කලා, සමාජ විචාර ලියන්න උනත් මෙය සුදුසු බව ඇතැම් ප්‍රසිද්ධ රචකයන් ඔප්පුකර තිබෙනවා. මේ වන විටත් එහෙම ලියවෙමින් තිබෙනවා. එහෙම ලියන්න හුරුවෙන  තරමට සිංහල භාශව සම්බන්දයෙන්  සුබවාදී බලාපොරොත්තු තබාගන්න අපිට පුලුවන් වේවි.සිංහලෙන් ලියන්න කවුරුවත් බය වෙන්න ඕන නැහැ. අපිට දැනෙන හැඟෙන දේ අපි ලියනවා. ඒක තමයි ලියන්න පුලුවන් හොඳම විදිය. 

කලා කවුලුව

INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.

  රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...